අලුත් පාසල් වාරය! A new term!


අලුත් පාසල් වාරය පටන් අරන් සති දෙකක් වෙනවා. ප්‍රාථමික වසරවලදී මා අමතක නොකර කරන දෙයක් තමා පුතාලගේ පන්තියේ ගුරුතුමා හෝ තුමිය හමු වන  එක. වැඩිපුර රැඳෙන්නේ නැති වුනත් අඩු ගානේ මා කවුද කියල හඳුන්වා දෙන්න යනවා. ගොඩක් මවුපියන් එහෙම කරන්නේ නැහැ. එමගින් දරුවාගේ පාසල් ඒම දෙමාපියන් වශයෙන් අපටත් වැදගත් බව ගුරුවරයාට මතක් කර දෙනවා.

හෙන්රි කියන්නා වගේ ගුරුවරයෙකුගේ රස්සාව ලෙහෙසි නැහැ. මෙහෙ ප්‍රාථමික පාසල් වල කෙරෙන දෙයක් තමා වසරේ පළමු හෝ දෙවන සතියේ මවුපියන් ගෙන්වා එයාලට කියලා දෙනවා වසරේ, කෙරෙන වැඩ ටික. එතැනදී ළමයා එම අවුරුද්දේ ඉගෙන ගන්නේ මොනවාද, දෙමාපියන් කොහොමද උදවු කළ යුත්තේ යනාදිය ගැන කෙටියෙන් හැඳින්වීමක් කරනවා. දරුවෙකුට අධ්‍යාපනය දෙන එක  පාසලට පමණක් කරන්න පුළුවන් දෙයක් නම් නොවේ.

 2010/11 මුදල් වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය දල ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වියදම් කළ වියදම් ප්‍රතිශතය 7.1 ක් වෙනවා. එහෙම වුනත්, ඕස්ට්‍රේලියානු රජයේ පාසල් වලට, දැනට වඩා ඩොලර බිලියන 5 ක් පමණ අවශ්‍ය බව පෙන්වා දුන්නේ රජය මගින් පත් කරපු කොමිසමකින්මයි. එනමුත් ඒ ගාණ  ඒ හැටියටම කොයි රජයකින් හෝ ලැබේ යයි හිතන්න සාධක නැහැ. ආදායම අනුව වියදම් කියන න්‍යාය අනුව එපමණ ගානක් අධ්‍යාපනයට යොදන්න අමාරුයි කියා දෙපැත්තේම කට්ටිය කියනවා. වැඩිපුරම සිදු විය හැක්කේ දැනට වියදම් කරන ගණනේ අඩු වීමක්.

ගොඩක් පාසල් වල කෙරෙන දෙයක් තමා දෙමාපිය හමුවීම්, සල්පිල් වැනි දේ සංවිධානය කිරීම. එවැනි දෙයකින් ඇත්තටම බලාපොරොත්තු වන්නේ දෙමාපියන්ට මුණගැසෙන්නට අවස්තාව ලබා  ලබා දීමටත් වඩා පාසලට අරමුදල් සොයා ගැනීම කියල කියන්නත් පුළුවන්.  මා හෝ බිරිඳ දෙගුරු සමිතියේ නිල තල නම් කවදාවත් අරන් නැහැ. හැබැයි මෙවැනි අරමුදල් රැස් කරන අවස්ථා වල, ඒවාට හැකි අයුරින්  උදවු වෙනවා. බොහෝ වෙලාවට අවශ්‍ය වන්නේ කාලය කැප කිරීම.

පාසල් මගින් අරමුදල් එකතු කරන්නේ, මධ්‍යම ප්‍රතිපාදන යටතේ කරන්න පුළුවන් දේවල් වලට අමතරව  අවශ්‍ය දේවල් කිරීමටයි. ක්‍රීඩා  උපකරණ, සංගීත භාණ්ඩ, එලෙක්ට්‍රොනික උපකරණ හා  පුස්තකාල පොත් වැනි දේවල් මේ අතර වෙනවා. පාසලක් එකතුකරන අමතර අරමුදල් රඳා පවතින්නේ, එම පාසලේ ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන්  උනන්දුව හා හැකියාව (වියදම් කිරීමේ) මත. මෙම අරමුදල් සායම් ගෑම්, තාප්ප ඉදි කිරීම් හා ගොඩනැගිලි ඉදිකිරීම් වැනි අත්‍යවශ්‍ය හා යටිතල පහසු කම් සඳහා නම් නොවේ.

ඕස්ට්‍රේලියාව කියන්නේ බදු වැඩි හා සුබසාධන වැඩි රටක් ලෙස ගැනෙනවා. එම නිසා තමයි මා කලින් සටහනක සඳහන් කළ පරිදි පෞද්ගලික පාසලකට දරුවන් යවන ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානුවෙක් කියුවේ, හරි නම් ඔහුට ආණ්ඩුවෙන් ගාණක් දිය යුතුයි කියා.

එහෙම වුනත් රජයේ පාසලකට දරුවන් යවන දෙමාපියන් උවත්, අප බදු ගෙවා තියෙන්නේ, තව දුරටත් අපට පාසලට උදවු කරන්න බැහැ කියා නිකම් ඉන්නේ නැහැ. මා කලින් කියුව අරමුදල් එකතු කරන සල්පිල් හෝ වෙනත් කටයුතු සංවිධානය සඳහා උදවු කරන්නේ දෙමාපියන්.

ආදායම අනුව වියදම ඉතා යහපත් කළමනාකරන ක්‍රමයක් උවත්, අධ්‍යාපනය කියන දේ අද නොදුන්නොත්, හෙට තියෙන්නේ වෙනම  තත්වයක්. මොකද හෙටට අවශ්‍ය ශ්‍රමිකයන් හා නිපුනතා ශිල්පින් බිහි වන්නේ අද ලබා දෙන අධ්‍යාපනය නිසා. හෙට මුදල් ලැබිල එය කරන්න හිටියත් එතකොට ප්‍රමාද  වැඩියි.

එතැනදී ශ්‍රමිකයන් අවශ්‍ය වන ක්ෂේත්‍ර මොනවාද කියන එකත්, අනාගත ප්‍රවණතා මොනවාද කියන එකත්, සාමාන්‍ය දෙමාපියන් වන අපට ගණනය කරන්න ඉතා අපහසුයි. එයට අපට ඉහලින් ඉන්න ආයතනයක පිහිට අවශ්‍යයි. එහෙම බිහි වන ශිල්පින් හා ශ්‍රමිකයන්ට තමන්ටම රැකියා ජනනය කර ගන්න බැරි බවත් ඇත්තක්. හැම දෙනාටම විව්‍යසායක දැනුමක් හා ඒ සඳහා වන සහජ හැකියාවක් නැහැ.

ඕවා අතුරු කතා. එතරම් වැඩක් නැති දේවල්. ඇත්තම කරුණ නම් අපට දල ජාතික නිෂ්පාදනයෙන් 7.1% ක් දුන්නත්  මදි. එයත් අතුරු කතාවක්. මෙන්න හරි කතාව.

 මා පසුගිය සිකුරාදා පුතාගේ පාසලේ, දෙමාපිය “බාබ කිව් සැන්දෑවට” උදව් කරන්න ගියා. එතැනදී ඉබේම කළ නිරීක්ෂණයක් තමා, වැඩිපුරම සෙනග ගැවසුණේ හා පාසලට වැඩිම ආදායමක් ලැබුනා යයි සිතිය හැක්කේ, බීර හා වයින් තිබුන බක්කියෙන්. එනමුත් බීමත් කමක් හෝ අශෝබන යයි කිවහැකි දෙයක් ආපු සෙනග අතුරින් දැක ගන්න හැකි වුනේ නැහැ. මෙය ප්‍රාථමික පාසලක්. මෙයම ආදර්ශයට අරන් වෙන සංස්කෘතියකදී හෝ සමාජ පරිසරයකදී එවැනි හමුවක් ප්‍රාථමික පාසලකදී සංවිධානය කලොත්, සමහර විට කුඩා දරුවනුත් බීර බීලා, දෙමාපියනුත් වැඩිපුර බීලා පාසලේ තියන පුටු ටිකත් කඩලා දාල යන තැනට වැඩ සිද්ද වෙන්නත් පුළුවන්.
එතන තියන අතුරු කතාව නම්, අධ්‍යාපනය කියන දේ පාසලකින් හෝ වෙන යම් ආයතනයකින් ලබන්න පුළුවන්. හැබැයි අර ජිවිතාවබෝධය කියන දෙය එහෙම ආයතනයකින් හෝ  තව කෙනෙක් කියන දෙයක් අහලා හෝ ලබා ගන්න පුළුවන් දෙයක් නොවේ. අනික එය සාපේක්ෂයි. එහිදී විභාගයක් තියලා වැඩිම ලකුණු ගන්න වෙනියෙක් හොයන්නත් බැහැ.
Advertisements

14 Comments

Filed under Education, Social

14 responses to “අලුත් පාසල් වාරය! A new term!

  1. අපි නම් මේ හයවෙනි සතියේ ඉන්නෙ මචං.

    ලංකාවෙදි ඔය ‍රැස්වීම හැඳින්වෙන්නෙ ගුරු දෙගුරු (ශිෂ්‍ය) ‍රැස්වීම / Teacher Parent Student) කියලා. මෙහෙදි Parent Teacher Student Meeting කියලා. මට කියන්න ඕනෙ වචනවල පිළිවෙල ගැන.

    >>හැබැයි අර ජිවිතාවබෝධය කියන දෙය එහෙම ආයතනයකින් හෝ තව කෙනෙක් කියන දෙයක් අහලා හෝ ලබා ගන්න පුළුවන් දෙයක් නොවේ. අනික එය සාපේක්ෂයි.<<

    මචං මෙහෙදි නම් ජීවිතාවබෝධය ලබාගන්නෙ මමයි.

    මෙහෙත් වෙනියෝ නෑ.

    සරළ ප්‍රශ්ණය දෙකක් අහන්නද?.

    ඔහේ සාමාන්‍ය ළමයගේ අධ්‍යාපනය ගැන තියෙන ආකල්පය මොන වගේද?
    එතකොට සමාජය ගුරුවරයා ගැන පසමිතුරු ආකල්පයක් hostile attitude දක්වනවද? (ලංකාවෙත් වැඩි දෙනෙක්ට ගුරුවරු දිරවන්නෙ නෑ, නිකං ඉඳලා පඩි ගන්න හොරු හැටියට තමයි සැලකෙන්නෙ, කාගෙ වැ‍රැද්දෙන් හෝ)

    • අවුරුද්ද මුල මචන්, මව්-පිය-භාරකාර කියන හමුව පොදුවේ තියන එකක්. එයින් සතියකට වගේ පස්සේ පසු මව්-පිය-භාරකාර-ගුරුවරයා හමුව තියනවා. වසර මැදදී උඹ ඔය කියන මව්-පිය-භාරකාර-ගුරුවර-ශිෂ්‍ය (තුන් කොන්) හමුව තියනවා. මේවට සහභාගී වීම අනිවාර්ය නැහැ. සමාජය නම් ගුරු වරුන් ගැන පසමිතුරු ආකල්පයක් දරනවා කියා කියන්න අමාරුයි. ගොඩක් දෙනා හිතනවා ගුරුකම කියන්නේ වැඩ කරන තරමට පඩි නැති රැකියාවක් කියා. මේ අප වගේ සමාජ ආර්ථික පසුබිමක ඉන්න අය.
      ළමයි නම් කොහෙත් එකයි. අධ්‍යාපනය ගැන ඔවුනගේ ආකල්පත්, එයාලගේ සමාජ-ආර්ථික පසුබිම අනුව වෙනස් වෙනවා. ජල්තර පසුබිමකින් එන ළමුන් ඉන්න පලාතක පාසලක් ඉබේම නොටෝරියස් වෙනවා. එවැනි පාසල් වල වැඩ කරන්න, ගුරුවරුන් ද අකමැතියි. මේ ගැන කෙටියෙන් කියන්න අමාරුයි මචන්.
      ඒ වෙනුවට මා පොඩි කතාවක් කියන්නම්. අපේ වැඩ කරන තැන සුදු කාන්තාවකගේ දියණිය පසුගිය වසරේ සරසවියට තේරුනා. ඇය ඉහලින්ම සමත්. ඇය තෝරා ගත්තේ වෛද්‍ය විද්‍යාව. සරසවියක් තෝරාගෙන එහි සම්මුඛ පරික්ෂනයටද ගියා. එයිනුත් සමත් වී, ඇය අන්තිමට හිත වෙනස් කරගෙන ඉගෙනීමට තෝරා ගෙන තියෙන්නේ, භෞත චිකිත්සක පාඨමාලාවක්. එය ගැන දෙමා පියන් ලෙස ඇයත්, ඇයගේ ස්වාමි පුරුෂයාත් මහා කනස්සල්ලක් නැහැ. හැබැයි ඒ දියණිය කුඩා කාලෙත්, දැනට පහල වසර වල ඉන්න ඔවුනගේ පුතාලත් පාසලේ වැඩ කරන හැටි ගැන ඒ දෙමාපියන් හරි උනන්දුවෙන් වැඩ කරනවා. මේ දිනවල ඇය උදේ 7.30 වැඩට ඇවිත් 4.00 පමණ ගෙදර යනවා. මොකද එක පුතෙකුගේ “හෝම් වර්ක්‌”” කරවන්න. ඔහු ටිකක් වැඩට හොර කෙනෙක් කියා ඇය මා සමග කියුවා.
      හැබැයි ජල්තර පසුබිමක ඉන්න දෙමාපියන්ට ළමුන් ඉගෙන ගත්තත්, පාසල් ගියත්, නැතත් ඔය කෝකත් එකයි.

  2. කාගේත් ආකල්පමය වෙනසකට කාලය ඇවිත් රයිගම්…

    • එහෙම කියුවට නලින්, වැඩිහිටියන්ගේ ආකල්ප හැදිලා ඉවර නිසා ඒවා වෙනස් කරන්න අමාරුයි. දරුවන්ගේ නම් ආකල්ප හැඩ ගස්සවන්න පුළුවන් කියා අධ්‍යාපනඥයන් කියනවා.

  3. ජීවිතාවබෝධය මැරෙනකල් ලැබෙන දෙයක් වෙන්න ඕන. ඒක බොහොම දෙනෙක් විශ්වාස කරන්න කැමති විධියෙ පරම වූ එක‍ දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස!

    • හරේ ද? හෙයාර් ද?
      මාත් එකඟයි… ජීවිතාවබෝධයෙදි මුල් හරියෙදිම අවබෝධකරගන්න ඕනේ දෙයක් තමයි, දැනට තියන අවබෝධය ඉස්සරහට වෙනස් විය හැකි බව. එය වෙනස්වන දෙයක් බව තේරුම් ගත්තහම තමන්ගේ ජීවිතාවබෝධය අනුව දකින කාරණා පරම සත්‍යය කියලා පරසක්වල ගහන්නෙ නැතිවෙයි.

      • හරේ (ෂ් ) තිසර!
        මා මේ වචනය දැනගෙන හිටිය එකක් උනත්, මේ සන්ධර්භය( සැර වැඩිද? ) ඇතුලේ යෙදුවේ ඇල්කෙමියා ගේ පිළිතුරකින් අරන්. ඔහු එතැනදී කියල තිබුන දේ සමග මා හරියට එකඟයි. ඒ කියන්නේ මේ ජිවිතාබෝධය කියන එක කියා දෙන්න හෝ පෙන්වන්න පුළුවන් එකක් නොවේ. එය තමන්ගේ ජිවිත අත්දැකීම් සමග ලැබෙන දෙයක්.
        මා කැමතියි ජිවිතාබෝධය සමග එකට යන කෙනෙකුගේ ජිවන විලාසිතාව කියන එකට. තමන්ට අවබෝධ වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථික හා සමාජ වටපිටාව කාලය සමග වෙනස් වෙන්නත් පුළුවන්. ඒ සමග ජිවන විලාසිතාවත් වෙනස් වෙනවා. හැබැයි මුලදී තමන් විශ්වාස කරපු හරයයන් වෙනස් වෙන්න විදිහක් නැහැ. මේක උදාහරනෙකින් ගත්තොත් (සමාවන්න, විමල් මහතාම තමා ගන්න වෙන්නේ). ඔහුගේ මුලික හර පද්ධතිය සමාජ වාදය (යහපත් මානව වාදී සමාජයක්) මත පදනම් වූවා නම්, ඔහුගේ ආර්ථික හා සමාජයීය තත්වයන් වෙනස්වුනා කියලා, එහි වෙනසක් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මොන තත්ත්ව යටතේ හෝ මහා ජන දේපොළ ගසා කෑම හෝ ගසා කන රජයක කොටස් කරුවෙකු වෙන්න ඔහුට බැහැ. කතාව ඒක නොවේනේ. ඒ වගේ අය ජිවිතාබෝධය කියල පෙන්වන දේවල් ඇත්තටම, තමන්ගේ ජිවන තත්ත්ව උසස් කර ගන්න උපයෝගී කර ගන්නා හිනි මන් විතරයි. ඔවුන් වගේ අය, මුලින් හිටි පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙවුවත් මෙයිට වෙනස් ඇමතියෙක් බිහි වෙන්නේ නැහැ.

  4. මිනිසුන්ගේ හැසිරීම ජීවිතාවබෝධය එක්ක තියන සම්බන්ධතාවය ගැන මට තියෙනෙන් නොපැහැදිලි හැඟීමක්. ලංකාවේ වැඩ කරද්දි, කෝච්චියේ හිර වෙලා, සීට් අල්ලගෙන, අනිත් මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි විදිහට දොරවල් හරස් කරගෙන ඇවිත්, ‘මහලේකම් කාර්යාලය’ ස්ටේෂන් එකෙන් බැහැලා… හයියෙන් හිනා වෙවී, කෑගහ ගහ යන පිරිස, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක පැත්තට හැරුණ ගමන් සංවර, නිශ්ශබ්ද, කාරුණික පිරිසක් බවට පත් වෙනවා. ලිෆ්ට් එකට නගින්නෙත් අනිත් අයට ඉඩ දීලා.

    ඉන්න පරිසරය අනුව වැඩ කිරීමේ ජීවිතාවබෝධය ද?

    • දේසේ හැටියට බාසේ කියන එකයි, මේ ජිවිතාබෝධය නැත්නම් ජිවන විලාසිතාව කියන දේ පටලවා ගන්න එපා තිසර. ඔබ ඔය කියන කරුණ සමාන කරන්න පුළුවන්, බස් එකක රූකාන්ත තරුණියකට, නැගිටලා ඉඩ දෙන තරුණයක්, දෙවෙනි දවසේ දරුවෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙක් නොදුටුවා වගේ ඉන්න එකට.
      මේ ගැන තිසර අද ලියන්න අමාරුයි.

  5. ජීවිතාවබෝදය සහ සදාචාරය කියන දේවල් එක්කෝ නිකන් ඇගෙම්ම
    වගේ එන වෙලාවලුත් තියෙනවා සහ දෙමව්පියන්ගෙන් , පරිසරයෙන්
    වගෙත් එනවා..

    කොච්චර කරත් හදන්න බැරි අයත් ඉන්නවනේ..නමුත් බහුතර වශයෙන්
    උපන් දා ඉඳන් උසස් යැයි සම්මත ජීවන රාමුවක ඉන්න පිරිස , අනික් අයට
    සාපේක්ෂව ගුණ ගරුකයි..

    ( හැබැයි ඒ අතරෙත් ඉන්නවා සුළු කීප දෙනෙක් මරුමුස් ඩයල් 😀 )

    කොහොම නමුත් වටපිටාව එක්ක වෙනස් වෙන පිරිසක් නිසා මිනිස්සු
    කියන්නේ ජීවනාවබෝදය උනත් බාහිරින් යම් මට්ටමකට ලැබෙනවා
    කියල හිතෙනවා ..

    • ඔබ කියන කතාව ඇත්ත. එය සමාජයෙන් නැත්නම් වටපිටාවෙන් තමා මුලිකවම එන්නේ. විශේෂයෙන් කෙනෙකුගේ පාසල් කාලය තුල. මේ ලැබෙන “ආදර්ශ” හා “අවවාද” සමපාත නොවුනොත් ඒවායින් වැඩක් වෙන්නේ නැහැ. පාසලේදී උගන්වනවා මත්පැන් පානය මහා අකුසලයක් (ආගම් විෂයට) නැත්නම් මහා නරක දෙයක් (සදාචාරය විෂයට). හැබැයි සමාජය පුරා බේබද්දන් පිරිලා. බස් වලත් කුණුහරුප කියමින් බී ගත් මිනිසුන්. එවැනි පරිසරයක ළමයා ගන්නේ මොන පැත්තද? මෙච්චර නරක නම් ඇයි, මෙතරම් බොන මිනිසුන් , ඔවුන් හිතනවා. මා හිතන හැටියට, ඒ වගේ දෙයක් පාසැලේ සදාචාරයට හෝ ආගම විෂය මගින් කියා දීම අවශ්‍ය නැහැ. ආගම කියන එක විෂය නිර්දේශයෙන් ඉවත් කර, සෞක්‍ය පාඩමේ කොටසක් ලෙස මත් පැන් හා දුම්පානය වැනි දේවල් උගන්වන්න ඕනේ.
      මෙය ටිකක් බොන්න ඕනේ ප්‍රශ්නයක් ශර්මි! 🙂

  6. Anonymous

    I appreciate your ideas.

  7. Anonymous

    I appreciate your ideas but one thing has to be corrected in the text. It is not 7.1 percent of GDP but amount equal to 7.1 percent of GDP. These are two different things. Thanks

    • Raigama

      Yes, you are absolutely right. I meant it, however, my wording was wrong. Thanks a lot for that correction and for your sensible reading too!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s