Australian Dietary Guidelines!


තමන්ට වත් පිළිපදින්න බැරි දෙයක්, මෙහෙමයි කියලා ලියන එකත් තේරුමක් නැහැ. මේක හැම දෙයටම පොදු කාරනාවක්. තමන්ට හරිය කියා හිතෙන්නේ නැති දෙයක්, වෙනත් කෙනෙක් කියුවය කියා පිළිගන්න පිරිස් ඉන්නේ කලාතුරකින්. මෙය වඩාත්ම ගැලපෙන්නේ ආහාර වල තෝරා   ගැනීම් වලට. බොහෝ පිරිස් එදා වේල කන්න හොයා ගන්නේ කොහොමද කියල ලතවෙන අතරේ, තවත් පිරිසක් කෑම නිසාම ජිවිතේ කෙටි කර ගන්නවා.

මා පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක් ගියේ සුද්දෙකු සමගින්. අප ගිය වැඩේ කරමින් ඉන්න කොට දවල් වුනේ  නොදැනුවත්ම. සුද්ද කමුද කියල ඇහුවම, මාත් හා කියුවා. හැබැයි මා දවල් ආහාරය ගෙදරින් අරන් ගොහින් තිබුනේ නැහැ. කඩ මන්ඩියට කිලෝමීටර 15 ක් පමණ තිබුනා. ආම්පන්න ටික කාරෙකට දාගෙන, යන එක ටිකක් අපහසු වැඩක්.  සුද්ද ඇහුව, උඹ, මා ගෙනාපු එකෙන් ටිකක් කන්න කැමති නම්, මට පුළුවන් උඹත් එක්ක බෙදා ගන්න කියා. මා කැමති වුනා.

එයාගේ දවල් ආහාරේට ගෙනත් තිබුනේ පාන් පෙති හතරක්. සුදු පාන් නොවේ. බහු ධාන්‍ය ඇට තියන. මැද තිබුනේ චීස් සමග ඇපල් පෙති. මා ජිවිතේට කාපු සැන්ඩ්විචයක් නොවේ. ක්ෂේත්‍රයේ හිටපු හින්දද කොහෙද ආසාවෙන් කෑවා. එයිට අමතරව ඔහු ගාව තිබුනේ පලතුරු ටිකක්. මාත් පලතුරු ටිකක් නම් ගෙනිහින් තිබුනා.

මොන හීතල  තිබුනත්, වැස්සේ නැත් නම් බයිසිකලයෙන් වැඩට එන මේ සුද්ද සිහින් සිරුරකින් යුක්ත, නිරෝගී මෙන්ම ශක්තිමත්  මනුස්සයෙක්. ඔහුගේ මේ පාන් සැන්ඩ්විචය ගැන මා කලින් අහලා තිබුනත්, එය මොන වගේ දැයි දැනගෙන හිටියේ නැහැ.

එම සුද්ද එහෙම වුනාට හැම සුද්දම එහෙම නැහැ. ඕස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර බිලියන තිස් හතක් ආහාර සඳහා වැය කරනවා. එය ලෝකේ රටවල් අතුරින් 11 වෙනියට ලොකුම වැය කිරීම. මේ හැම දෙනාම තමන්ගේ ආහාර වේල යහපත් අයුරින් ගන්නවා කියල  සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ නැහැ.

පමණට වඩා තරබාරු කම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඇති කරන පිරි වැය ඩොලර් බිලියන 8.283 ක් ලෙස වසර 2008 දී ගණන් බලා තියනවා. මිට අමතරව දෙවෙනි ඝනයේ දිය වැඩියාව, හර්ද රෝග වැනි සමහර වලක්වා ගත හැකි රෝග නිසා මිය යන පිරිස හා රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පිරිස් ඉහල ගිහින් තියනවා. මේ දෙවැනි ඝනයේ දියවැඩියාව වසර 2023 දී ඕස්ට්‍රේලියාවේ රෝග වල ප්‍රධාන හේතුව බවට පත් වෙන බව ගණන් බලා තියනවා.

ඕස්ට්‍රේලියානු වැඩිහිටි ජනගහනයෙන් 60% ක් පමණ, පමණට වඩා තරබාරු ලෙස ගණන් ගැනෙන්නේ. නරක ආහාර පුරුදු හා වැඩි පුර ආහාර ගැනීම ඕස්ට්‍රේලියාවට පමණක් පොදු තත්වයක් නොවේ. පරිවෘර්තිය ක්‍රියාවලීන් ට හා ජානමය වෙනස් කම් වලට දොස්  කීවත්, ශරීරය තරබාරු වන්නේ, අවශ්‍ය පමණට වඩා හා අනවශ්‍ය ආහාර ගෙන, ඒවා වැය කරන්නට කිසිවක් නොකර ඉඳීම නිසයි.  මේ වගේ දෙයක් කොපමණ කියුවත්, තමන් අවශ්‍ය කියලා හිතලා, වෙනස් කර ගත්තේ නැත නම්, ලෝකේ ඉන්න අනික් අයට වෙනස් කරන්න බැහැ.

අලුත්ම ඕස්ට්‍රේලියානු ආහාර මාර්ගෝපදේශක මාලාව එලි දැක්කේ මේ මාසයේ. එය ඕස්ට්‍රේලියාවේ පමණක් නොවේ ලෝකේ කොහේ වුනත් ජිවත් වෙන කෙනෙකුට  ප්‍රයෝජන වත් විය හැකි දෙයක්.

එහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තියෙන්නේ පෝෂ්‍ය පදාර්ථ දෙස නොවේ, එම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන ආහාර වලට. ආහාර කියන්නේ කන ජාති විතරක් නොවේ. බොන ජාතිත් එයට ඇතුලත්. එමෙන්ම එදිනෙදා ජීවිතය ගෙවන අන්දමත් එයට අදාළ නොවුනත් සෞඛ්‍යයයට අදාලයි. මාත් නරක පුරුදු දෙකකට “තිත” තියන්න හිතා ගත්තා. එකක් තමා ප්‍රමාණවත් ලෙස නිදා ගන්නේ නැති එක. එය පටන් ගත්තේ පසු ගිය සතියේ. ලෙඩ වුන පසුව ප්‍රතිකාර සොයන යනවාට වඩා, මග හැර ඉන්න පුළුවන් ලෙඩ වලින් ඈත් වී ඉන්න බලන එක තමා වැඩ වැදගත්. ලෝකේ හදන්න යාමට වඩා, තමන්ගේ එක නරක පුරුද්දකින් මිදෙන්න පුළුවන් නම් එය ලොකු දෙයක්. එතකොට මේ පිරිලා ඉතිරිලා තියන නිදහස් සෞඛ්‍ය සේවා වලින්, හදිසි අනතුරු,  වැළැක්විය නොහැකි  රෝග ආබාද හා ජානමය හේතු නිසා ඇති වන රෝගී තත්වයන්ට බදුන් වන පිරිස් වලට මෙයට වඩා හොඳට ප්‍රතිකාර ලබන්න පුළුවන්.

4 Comments

Filed under Food, Social

4 responses to “Australian Dietary Guidelines!

  1. Kenji @ Japan

    දැන් කාලේ අපිට වඩා කෑම/බීම ගැන දරුවො දැනුවත් කියල හිතනව රයිගම.මගේ අවු:10+ පුතා කෑම ගැන කියද්දි එයා කියන්නෙ ටීචර් කියල දුන්න කියල.දුව උනත් [17] කෑම ගැන හරි පරිස්සමින්.එලියට ගිය වෙලාවට දෙන්න මේ සේරම අමතක කරල තමා කන්නෙ.මට මුණ ගැසුණ ඩොකෙක් කිව්වා රෑට නිදන පැය ගාන අඩු උනොත් පසු දින දහවල් කෑම කා පැය 2ක් පමණ නිදාගත්තම අර අඩුව පිරිමැසෙනව කියල.එය කොයි තරම් නිවැරදිදැයි දන්නෙ නැහැ.අර ඔබ කියල තියෙන >>ලෝකෙ හදන්න යාමට වඩා << කතාවට නම් 100%.හැබැයි ලාවට වක්කරගන්න දේට තිත නැහැ නේද :)?

  2. කෑම රටා ගැන විද්‍යාත්මක වචන අඩුවෙන් යොදාගෙන කිව්වොත් මට හිතෙන්නෙ මෙහෙමයි.

    තරුණ කාලෙට මොන දේ කොයි ප්‍රමාණවලින් කෑවත් දිරවන දිරවිල්ල මැදි වියට ආවට පස්සෙ නැතිව යනවා. එතකොට කොයි දේ කෑවත් වරදින්න තියෙන ඉඩ වැඩියි.

    අනික උඹ කොච්චර කිව්වට්භ් ජානමය බලපෑම තියෙනවා තරබරු වීමටයි වලක්වාගත හැකි රෝග වලටයි. මචං මම ඉස්සර ඉඳන්ම ව්‍යායාම කරනවා. දැනුත් එහෙමයි, නමුත් බඩ වැටිය පාලනය කරගන්න සෑහෙම සටන්නක් දෙන්න ඕනෙ. මගෙ තාත්තත් තරබාරු පැත්තට තමයි හිටියේ.

    මගේ මස්සිනා ව්‍යායාම අක්‍රන එකෙක් වත් හරියට නිදාගන්න එකෙක්වත් නෙවෙයි, නමුත් මූ ඉරට්ට වගේ. උගේ තාත්තත් එහෙමයි.

  3. එහෙම දරුවන් තමන් ඉගෙන ගන්න ජිවිතයට යොදා ගන්නවා නම්, ඒක තමයි ඉගෙනීම කියන්නේ කෙන්ජි. නැතුව පොත කට පාඩම් කරගෙන ගිහින් විභාගෙන් ලකුණු 100% ක් අරන් ගෙදර ඇවිත්, තමන් කන දේවල් මොනවාද කියලවත් දන්නේ නැති එක නම් නොවේ. කොහෙද කෙන්ජි දවල්ට පැය දෙකක් නිදා ගන්න තියෙන්නේ (ආණ්ඩුවේ රස්සාවක් කලත්) . අනික හෙලික්ප්ටරෙන් හරි පෝෂ්‍යදායි ගොටුකොල සම්බලයක් ගෙනත් බත් ටිකක් එක්ක කාල, පැය දෙකක් නිදා ගන්න පුළුවන් රස්සාවල් හැමෝටම හම්බ වෙන්නෙත් නැහැ. එව්රිතින් ඉන් මොඩරේෂන්! මේ කියන්නේ නරක පුරුදු! 🙂

  4. උඹ හරියටම හරි. වයසට යාම හා ජානමය කරුණු ආහාර දිරවීමේ ක්‍රියා වලියටත්, එම ආහාර වල අවසාන ඵලයන් (වෙනස් වී) ශරීරයේ තැන්පත් වෙන හෝ වෙනත් ක්‍රියාවන් සඳහා යොදා ගන්න එකටත් බල පානවා. මේ ගැන කියන්න මා සුදුසුම කෙනා නොවේ. මොකද මා එම ක්ෂේත්‍රය හදාරා නැහැ. ඉතින් උඹ දන්නා ටික තමා මාත් දන්නවා ඇත්තේ. මේ වගේ දේවල් අර නීල් ආම්ස්ට්‍රෝන් ලා හඳට ගියා වගේ තමයි. ඉගෙන ගත්ත අය අනුන්ට කියා දීමේදී ඒවා සිත්ගන්නා හා තේරෙන ආකාරයට කියන්න දන්නේ නැහැ. හැබැයි මෙහෙ එවැනි අය නැත්තේම නැහැ. මේ මා දන්නා ටිකක්.

    තරුණ කාලේ (වයස 30 ට කලින්) අපේ පේශි වර්ධනයට සෑහෙන ශක්තියක් වැය වනවා. එයින් පසු පේශි වර්ධනය ඇනහිට ක්ෂය වෙමින් යන නිසා එම ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තරුණ කාලේ වඩාත් ක්‍රියා ශීලි හා ශක්තිය වැඩියෙන් අවශ්‍ය බොහෝ දේවල් වල (ඉගෙනීම වැනි) නිරත වෙනවා. එවිට එකම ආහාර ප්‍රමාණයක් ජිවිතයේ හැම කාලයකදීම ගැනීමේ සිදු වන්නේ ශක්තිය සඳහා අවශ්‍ය නොවෙන ආහාර වල අන්ත ඵල මේදය බවට පත් වෙලා සම යටින් ගබඩා වෙන එක. ඊට අමතරව ආහාර ජීර්ණය වෙන එන්සයිම වල ක්‍රියා කාරිත්වය වයස් ගත වීමත් සමග දුර්වල වෙනවා. ඔබගේ මස්සිනා වගේ සමහරුනට ශරීරයේ මේදය තැන්පත් වීමට බලපාන සමහර එන්සයිම නිපදවෙන්න අවශ්‍ය ජාන උපතින්ම පිහිටා නැහැ. ඔවුනගේ පරිවුර්තිය ක්‍රියා හා ආහාර වල අන්ත ඵල වල අවසාන ඉරණම තීරණ වීම උඹට වඩා වෙනස් (මේ සම්බන්ද නව පර්යේෂණ තියනවා මචන් කියවලා ලියන්න ඕනේ. මේ ලියන්නේ මා එදිනෙදා කියවපු දේවල් වලින් අහුලා ගත්තුවා. මතකයේ වැරදි පවා තියෙන්න පුළුවන්).

    ඉහත දක්වපු කරුණු නිසා ආහාර ගැනීමේ හා ගන්නා ආහාර තෝරා ගැනීමේ ක්‍රම වේද ජිවිතයේ හැම වයසකටම එක විදිහට තියා ගන්න යාම ප්‍රශ්න වලට මුල පුරන ප්‍රධාන කරුණක්. ඊ ලඟට, උඹේ මස්සිනා කන විදිහට උඹත් කෑවොත්, එයත් ප්‍රශ්න වලට මුල පිරීමක්. ආහාර කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාටත්, වයසත්, ගැහැණු පිරිම බව අනුවත්, කරන ශාරීරික හා මානසික වෙහෙස වීම වලට සරිලන අයුරිනුත් වෙනස් වෙන්න ඕනේ කියන්නේ ඒ නිසයි. මා මගේ බිරිඳ කන විදිහට කෑවොත්, දවස් දෙකෙන් මා ඉන්න තැනකුත් සොයා ගන්න නැති වේවි. ඒ වගේම ඇය මා කන විදිහට කෑවොත් අපේ ගෙදර උළුවහු දවස් දෙකෙන් දෙකට මාරු කරන්න වේවි.

    වයස් ගත වෙනවාත් එක්ක පෙර ගත්ත ආහාර ප්‍රමාණය එලෙසම ගන්නවා නම්, උඹ පෙරට වඩා වැඩිපුර කායික ව්‍යායාම වල යෙදෙන්න අවශ්‍යයි. එතකොට පේශි වර්ධනයට වලට අවශ්‍ය නොවන ශක්තිය, මේද ලෙස තැන්පත් වීම වෙනුවට ව්‍යායාම වෙනුවෙන් වැය වනවා. නැත්නම් ගන්න ආහාර ප්‍රමාණය අඩු කරන්න ඕනේ. එතැනදී බඩ පිරෙන්නේ නැත්නම් (ආහාර ගත්තා කියා තෘප්තියක් දැනෙන්නේ නැත්නම්) උඹ ගන්නා ආහාර වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ සුදු පාන් වෙනුවට කළු පාන් හෝ සුදු බත් වෙනුවට නිවුඩ්ඩ සහිත බත් හෝ කුරහන් තලප වගේ ආමාශයේ හෙමින් දිරවන දෙයක් හා වැඩිපුර කාබෝහයිඩ්රේට් වෙනුවට වැඩිපුර ප්‍රෝටීන සහිත ආහාර.

    දකුණු ආසියාවේ බඩ සහිත (උඹ වගේ නොවේ) කෙට්ටු ජනතාවක් සිටීම ගැන නොයෙක් තැන් වල ලියවී තියනවා. රනිල් කෝවිල් වඳින්න යන පින්තුරේ මතකද? එයට හේතුව අධික ලෙස බත් ගිල දැමීම ලෙසයි පැවසෙන්නේ. මේ කාබෝහයිඩ්රේට් අවසානයේ මේදය වශයෙන් බඩ හරියේ තැන්පත් වීම තමයි මෙය ගැන මා අසා ඇත්තේ. එය වෙනම කතාවක්.
    (මචන් මා මේ ක්ෂේත්‍රයේ උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් නම් නොවේ. මේ මා මට ප්‍රොයෝජනවත් වේවි කියා මතක තියා ගත දේවල්). 🙂