අද ඕස්ට්‍රේලියාවේ අසල්වාසීන්ගේ දිනයයි (31.03.2013). එය හැම අවුරුද්දෙම මාර්තු මස අන්තිම ඉරිදා දවසට යෙදෙනවා. ඉරිදා ගෙදර ඉන්න දවසක් වීම වෙන්න ඕනේ මාසේ දවසක් ස්ථිර කරලා එය නොයොදා තියෙන්නේ. එය ආරම්භ වීමට ආසන්න හේතුව මෙතනින් බලන්න පුළුවන්. අප කාටත් හොඳ හා නරක අත්දැකීම් තියනවා නම්, ඒ වැඩිපුරම තමන්ගේ අසල්වාසීන් සමගයි. විශේෂයෙන් මහාචාර්ය නලින් කියන අල්පේච්චතා ජිවිත ගත කරන ලංකාවේ ගම්වල ඉන්න අසල්වැසියන් ගැන කතා ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒ සමහරුන් දෙපයින් ඇවිදින තිරිසනුන්ද කියලත් සමහර වෙලාවට හිතෙන තරමට ඒ අත් දැකීම් අප්‍රසන්න වෙන්න ඉඩ තියනවා.
අපටත් දැන් ඉන්නවා තුන් පැත්තකින් අසල වාසින්. ඉන් එකෙකු සමග අපේ ඇයි හොඳයිය හායි කීම පමණයි. තවකෙක් වැට ගාවදි කතා කරනවා. ඉඳහිට ඔය වත්තේ වවන තක්කාලි ගෙඩියක් වගේ දෙයක් දෙනවා. හැබැයි, ඔහු හා ඔහුගේ බිරිඳ (සුද්දන්) තමා අප ගෙදර මුලින්ම බලන්න ගිය වෙලාවේ වැට ගාවට ඇවිත් කතා කළේ. අනික් පැත්තේ ඉන්න ජෝඩුව එයිට වඩා අපත් සමග සම්බන්දයි. අප ගෙවල් දෙකට යන්නේ නැති වුනත්, ඒ මනුස්සයා අප ගෙදර නැති වෙලාවට වුනත්, අවට වෙන්නේ මොනවාද කියලා හොයනවා. ඒ වගේම අපේ කුණු බක්කි අරන් තියනවා. ලියුම් අරන් තියනවා.
පොරගේ එක්තරා නීති විරෝධී යයි කිව හැකි ඉදිකිරීමක් තියනවා. මා ඒ ගැන දවසක් පොරට කියුව වෙලාවේ ඔහු බොහොම සංවේදී වුනා. අපට අවශ්‍ය නම්, ඒ ගැන අදාළ තැන වලට කියලා එම ඉදි කිරීම ඉවත් කර ගන්න තිබුනා. නමුත් අප එහෙම කරන්න ගියේ නැහැ. මොකද ඔහුගෙන් අපට කෙරෙන අනික් උදවු හා සමග සසඳන විට, එවැනි දෙයකින් ඔහු හා සදහටම තරහා වීම අපට කිසි ලෙසකින් වත් වාසි දායක වන්නේ නැහැ.
තරහා කාරයෙක් අල්ලපු වැටේ ඉන්න කොට ජිවිතයම මහා අවුලක් හා අප්‍රසන්න දෙයක් වෙනවා. මොකද අප කොතරම් මග හරින්න හැදුවත් අසල් වාසියෙක්ව මුණ ගැහෙන එක නවත්තන්න බැහැ. එහෙම කෙනෙක් අර කලින් කියුවාකාරයෙන් දෙපයින් ඇවිදින තිරිසනෙක් නම් ජීවිතය තවත් අවුල්. විශේෂයෙන් ලංකාවේ වගේ රටක ගෙවල් විකුනලා, වෙන තැනකින් ගෙදරක් ගන්න එක ලෙහෙසි නැහැනේ. කොහෙත් එහෙම තමා.
රටවල් වල පැවැත්මටත් මේ අසල්වාසීන්ගේ ක්‍රියාකාරකම් වල බලපෑම අඩුවෙන් තක්සේරු කරන්න බැහැ. විශේෂයෙන් අසල්වැසියා බලපුලුවන් කාරයෙක් නම්, ගනු දෙනු කිරීමේදී ප්‍රවේශම් නුනොත්, නැති ප්‍රශ්න ඇති වෙන්නත්, තියන ප්‍රශ්න වකුරූ වෙන්නත් ඉඩ තියනවා.
සෝවියට් දේශය බිඳී ගිය පසු, රුසියාවට අල්ලපු රටවල් ගෙන යන්න උත්සහ කළේ, අසල්වැසියා වුන රුසියාවට සතුරු, ගව් ගණනක් දුර ඇමෙරිකාවට හා බටහිරට හිතැති පිළිවෙතක්. එයට හේතු වුන එයිතිහාසික හා දේශපාලනික කරුණු ගණනාවක් තිබුනා. මේ රටවල් වල සිදුවුණ සමහර රජයන්ගේ වෙනස්වීම් හැඳින්වුනේ තැඹිලි, රෝස වැනි පාට පාට විප්ලවයන් ලෙස. හැබැයි ඒ බොහොමයක් විප්ලව අද ආගිය අතක් නැහැ. මොකද ඉන්පසු ඒ රටවල් වල සිදු වුනේ කිසිවෙකු නොසිතූ දේවල්. සමහර වෙලාවට ළඟ ඉන්න සතුරා වටිනවා, ගව් ගානක් දුර ඉන්න මිතුරාට වඩා.