අමරගේ බෝලය හතරේ සීමාවෙන් ඉවතට!


අපේ අපොස උපේ පන්තියේ හිටපු ළමයින් සරලව කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එක කාණ්ඩයක් තමා, සිංහලෙන් ලියන පාඩම් සටහන් වල, රතු ඉරෙන් වමේ කොටසේ ඉංගිරිසියෙන්, පැහැදිලි කිරීම් (තමන්ට) ලියා ගත් කාණ්ඩය. තව පිරිසක් හිටියා, පන්තියේ වැඩිය ඉන්නේ නැති, නමුත්  ක්‍රීඩාවෙන්, කැඩෙට් හා බාලදක්ෂ වැනි  ක්ෂේත්‍ර වල පාසලේ කැපී පෙනෙන අය. මොවුන් ගොඩක් වෙලාවට ශිෂ්‍ය නායකයන්ද උනා. අනික් පිරිස තමයි ඉහත දෙපිරිසටම අයත් නැති එලොවටත් මෙලොවටත් වැඩක් නැති, ක්‍රීඩාවෙන් කැපී නොපෙනෙන, ඉංගිරිසිත් ටිකක් දන්නා (නමුත් මොකුත් නොදන්නා), ඉගෙනීමෙනුත් එතරම් කැපී නොපෙනෙන බහුතර පිරිස. අර අනෙක් කාණ්ඩ දෙකටම අයත් උනේ සුළු පිරිසක්.

පළමු කාණ්ඩය ගෙවල් වල ඉංගිරිසි කතා කරන ඉහල මැද පන්තියේ දෙමාපියන්ගේ දරුවන්. ඔවුනට ඉංගිරිසි සිංහල වලට වඩා අතැඹුලක් උනා. ඉගෙනීමට එතරම් දක්ෂ නැති උනත්, අදක්ෂයි කියලත් කියන්න බැහැ. කාරයෙන් පාසල් එන හා ආපසු යන මොවුන්ගේ ජිවිත අත්දැකීම්, ලංකාවේ බහුතර පිරිසකට වඩා වෙනස් කියා ලියන්න පුළුවන්. සිංහල කුණුහරුප වැනි දේවල් මොවුන්ගේ ලෝකයේ තිබුනේ නැහැ. අන්තිමේදී   විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න තරම් මොවුන් ලකුණු ගත්තේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ජිව විද්‍යා හෝ කෘෂිකර්ම වැනි විෂය මාලාවක් හැදෑරීම ට පිටත් කිරීම මොවුන්ගේ දෙමාපියන් අපේක්ෂා නොකරන්න ඇතිය කියා මා හිතනවා. රජයේ වෛද්‍ය විද්‍යාල පාඨමාලාවට නොතේරුනොත්, ලංකාවේ හෝ පිට රටක පෞද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය හෝ නීති පාඨමාලාවක් හැදෑරීම ඔවුනගේ අවසාන විකල්පය වෙන්න පුළුවන්.

දෙවෙනි කාණ්ඩය පපුව හොඳට (භෞතිකව මිසක් වෙන අර්ථයකින් නොවේ) තියන, කොට උනත් ඇඟ පත ශක්තිමත්, ඉගෙනීම එතරම් අවශ්‍ය නොමැති, නමුත් අපොස සාපෙන් එතරම් නරක ප්‍රතිඵල නොගත්ත පිරිසක්. ඔවුන් පාසලෙත් ඉන් පිටතත් ජනප්‍රිය කාණ්ඩයක්. ඔවුනගේ දෙමාපියන් ගොඩක් වෙලාවට පහල හා මධ්‍යම මධ්‍යම පන්තියේ පිරිස්. ඔවුනගේ පාසලෙන් පිට ජීවිතය පටන් ගත්තේ  රජයේ ත්‍රිවිධ හමුදාවලත්, කොළඹ පෞද්ගලික ආයතන වල විධායකයන් ලෙසත්, නැත්නම් වතු අධිකාරු වරුන් ලෙසත් කියා අනුමාන කරන්න පුළුවන්. ඒ සඳහා ඕනෙවටත් වැඩිය කුසලතා සහතික, නිර්දේශ හා ශරීර පෙනුම ඔවුන් සතු උනා.

තුන් වන අපත කාන්ඩේ අතරේ අනාගත වෛද්‍යවරුන්, පශු වෛද්‍ය, කෘෂිකාර්මික, ජිව විද්‍යා වැනි පාඨමාලාවන්ට තේරීමේ විභවය සහිත අය හිටියා. මොවුන් ගොඩක් වෙලාවට දුප්පත් හෝ පහල මධ්‍යම හා මධ්‍යම මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ දරුවන්. සාමාන්‍යයෙන් පාසල් එන, ඒ වගේම විශාල පිරිස් ඉන්න ටියුෂන් පන්ති යන, ඔවුන් අතරේ ඉගෙනීමට සමහර විට තැනක් දුන්න පිරිසක් වෙන්නත් පුළුවන් නැත්නම්, සහජ කුසලතාවයෙන් ජාම බේරාගෙන ගොඩ යන පිරිසක් වෙන්නත් පුළුවන් නැත්නම් ඒ දෙක අතරේ සංකලනයක් වෙන්නත් පුළුවන් සිසුන් හිටියා.

විශ්ව විද්‍යාලයට නොතේරෙන තුන් වන කාණ්ඩයේ බහුතරයකට, තෘතීය අධ්‍යාපනයක වියදම් කරන්න මුදල් එයාලගේ දෙමාපියන් සතුව නැහැ. ඔවුන් කෙලින්ම රැකියා වලට යන්න ඇති. තවත් පිරිසක් රැකියා විරහිත ගොඩටත්, තවත් පිරිසක් තමන්ගේ ව්‍යාපාර වගේ දේවල් පටන් ගන්නත් ඇති. තෘතීය අධ්‍යාපනය නිම කළත්, නැතත් මේ තුන් වන කාණ්ඩයට අයිති පිරිස තමා අනාගතයේදී  අප කවුරුත් දන්නා, සාමාන්‍ය සමාජයෙන් වියුක්ත නොවන පිරිස කියලා මා අනුමාන කරනවා.

(දැනට කලකට පෙර ලියවුන කටු සටහන් ගොඩේ තිබුන මෙය ලිවීමට ඇත්තම හේතුව, එහි දෙවෙනි කතන්දරයට යාම වුවත්, ඒ සඳහා කැමැත්තක් අද මට නැහැ).

Advertisements

15 Comments

Filed under Education

15 responses to “අමරගේ බෝලය හතරේ සීමාවෙන් ඉවතට!

  1. මමත් අර තුන් වන අපත කාන්ඩේ කෙනෙක්.

  2. හහ් හහ් ඒක මරු වර්ග කිරීම.

    ඔන්න ඊ ලඟ කොටසට ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ ඉන්නෙ.

    • හහ්! හහ්!! මචං මේක අර සිංහලෙන් කියුවොත් very superficial වර්ගකිරීමක්. ඊළඟ කොටසට ආදාළ වන්නේ ජිවිතයේ පසු කාලෙක අර පළමු හා දෙවන කාණ්ඩයේ හිටපු දෙදෙනෙකු අවස්ථා දෙකකදී නොසිතු අයුරින් මුණ ගැසීම. එයට මුචලින්ද කෙසේ වෙතත් කුඩා නාගයන් සම්බන්ද නිසා ලියන එක ටිකක් අසීරුයි. බලමු! 🙂

  3. මම දෙක තුන දෙකේම ඉන්නවා වගේ 😀

    • එහි පුදුමයක් නැහැ. තුනටම අහුවෙන අයත් ඉන්නවා. ඔබ වගේ දෙක හා තුනේ ඉන්න අය ගාණ වැඩි කර ගන්න පුළුවන් නම් එය ඉතා හොඳ දෙයක්. නව චක්‍රලේඛ එයට රුකුලක් වේවි. 🙂

  4. හිරු

    අමුතු තාලයේ වර්ග කිරීමක්… හැබැයි අපේ කාලේ ඔය පළවෙනි කාණ්ඩයේ අය හිටියේ නෑ වෙන්න ඕනේ.. මට මතක නෑ සිංහලට වඩා ඉංග්‍රීසි පුළුවන් එකෙක්වත් අපේ පන්තියෙ හිටියා කියලා… හි හි..

    හැබැයි සමහර විශයන් වලදි නම් සිංහලට වඩා ඉංග්‍රිසිය ලේසියි කියු උන් හිටියා… ඔය බයෝ වලදි එහෙම.. ටීචර්ලා කරන්නේ ඉංග්‍රීසි පොතක් ට්‍රාන්ස්ලේට් කරන එකයි කියලා බැන බැන හිටියා මට මතකයි… හි හි

    ඒ ඇරෙන්න වර්ග කිරීම හරි කියලා කියන්න පුළුවන්… වැඩිපුර හිටියේ අපත කාණ්ඩේ තමයි…. ඒ ඇරෙන්න ඕලෙවල් වලට තියෙන විශයන් 10ට අමතරව ( අපි කරපු අවුරුද්දේ විද්‍යාව සහ ගණිතය ප්‍රශ්න පත්තර දෙක බැගින් 4ක් දුන්නා ලේසි සහ අමාරු කියලා.. එතකොට විශයන් 8යි පේපර්ස් 10යි) අමතර විශයන් විදියට තවත් 3ක් කරලා ඒ ටිකටත් ඩී සාමාර්ථම ගත්ත මධ්‍යම පන්තියේ ළමයෙකුත් හිටියා කියලා මට මතකයි….

    • මුලින්ම කියල ඇති හිරු, මෙය සරල වර්ගීකරණයක් බව හි හි.. (ගණන් ගන්න එපා 😀 ).
      මොකක්ද අර ලේසි හා අමාරු ප්‍රශ්න පත්තර කතාවේ තේරුම? මොන ගොනාද එහෙම තීරණය කෙරුවේ?
      අපේ අපොස උපේ ලොකුම අඩුපාඩුව, ගුරුවරුන් තීරණය කළා, එයාල උගන්වන දේ වැඩක් නැහැ, ළමයින් කොහොමත් ටියුෂන් වලින් විතරයි ඉගෙන ගන්නේ කියා. පාසලේ අධ්‍යාපනය ගැන තද බලාපොරොත්තු තියාගෙන හිටිය මා වගේ කට්ටිය මේ වැඩෙන් අමාරුවේ වැටුනා. මා අපොස සාපෙ දක්වා ටියුෂන් ගියේ නැහැ. දෙක තුනක් විවිධ කාල වල පටන් ගත්තා තමයි. නමුත් ඒ එකකින් වත් මට වැඩක් නොවන වග දැනුන වහාම අල්ලලා දැම්ම. මේ ගැන මා කලින් ලියා තියනවා. ඉදිරියටත් ලියනවා. ඊයේ පෙරේද අපේ වැඩ කරන තැන නේපාල් කාරයෙක් මගෙන් දරුවන් යවන ටියුෂන් වල විස්තර ඇහුවා. ඒ ගැන ලියන්න බලන්නම්.

      • හිරු

        හි හි.. එහෙම කළේ අධ්‍යාපන ලොක්කෝ තමා…. ඒ දවස්වල ගණං විද්‍යාව ගොඩක් ළමයි‌ ෆේල් වෙනවා කියලා දීපු බූරු විසඳුමක් තමා… විශය අමාරු ළමයින්ට පාස් වෙන්න ලේසි කරපු පේපර් එකක් දුන්නවා.. මරු වැඩේ කියන්නේ අපේ සමහර උන් ලේසි පේපර් එකට මාක්ස් අඩු වෙලා අමාරු එකට මාක්ස් වැඩියෙන් ගත්ත එක.. මාත් එහෙමයි… හි හි… පස්සේ ඒ‌ෙක් ගොන්කම තේරිලද කොහෙද ඒ සිස්ටම් එක අයින් කළා…

  5. Kenji @ Japan

    ඉතාමත් හොදට හිතල කෙටි ලිපියකින් වර්ග කිරිමනම් නියමයි.ඕක තමයි සත්‍යය.
    රයිගම; ඔය වර්ග කිරීමෙ 4ක් ලියන්න හිතුනෙම නැද්ද 🙂 ?.
    මොකද ඔය 3ට නම් මාව වැටෙන්නෙම නැහැ 🙂 🙂 .
    එහෙම කරන්න එපා,2කත් ලියන්න කියල කාරුණිකව ආයාචනය කරනවා.

    • ඔබගේ පිළිතුරේ පොඩි “එඩිට්” එකක් කළා! 🙂 (සිනා මුණ ගන්න පොඩි පරතරයක් තියන්න). හතරවැනි එක මොකක්ද කියා ඔබම කියුව නම් තමයි හොඳ කෙන්ජි! දෙවෙනි කොටස ලියන එක ටිකක් බීල තමයි හිතන්න වෙන්නේ. 😀

      • Kenji @ Japan

        කළු කෝපි/කොළ තේ බිව්වම තමයි හොද හොද දේවල් මතක් වෙන්නෙ 🙂 :).

      • Kenji @ Japan

        ස්තුතියි රයිගම!!!.

  6. සුසර විජේරත්න

    ඔබගේ වර්ගීකරණයට මමත් එකඟයි.

    ඔය කියන තුන්වැනි කොටසේ මුළුමනින්ම වගේ හිට්යේ ශිෂ්‍යත්වේ පාස් පාස් වෙලා ගමෙන් කොළඹ ගිය අපි වගේ අය . එකම කොළඹ උනත් වෙනස් පාසල් වල මේ සංයුතිය සුළු වෙනස් කම් සහිතව තිබුනා වෙන්නට පුළුවනි .

    ඔබ ඉඟි කර ඇති පරිදිම මෙහි දෙවැනි කොටසක් ලිවිය යුතුයි. මේ කොටස් තුනේ අය වැඩිහිටියන් ලෙස සමාජ ගත වුන ආකාරයත් අද ඔවුන් තමන්ගේ පාසල (Ulma mater) ගැන හිතන අකාරය වගේ කාරණා ගැන පොඩි විපරමක් කලොත් අපිටත් ඒ ගැන කියන්නදේවල් තියේවි .

    • ඔබ කියන කතාව ඇත්ත සුසර, පාසල් අනුව මේ සංයුතිය ටික ටික වෙනස් වෙන්න පුළුවන්. මේ තුන් වර්ගයේම අමරලා හතරේ සීමාවෙන් (පාසල් ජිවිතයෙන්) ඉවතට ගියහම සිදුවෙන කතන්දරේ කියන්න පුර්විකාවක් වශයෙන් තමා මේ සටහන ලියුවේ. එහි දෙවන කොටසට මා අදහස් කළේ, ඔබ ලුහුඬින් කියා ඇති කරුණු විස්තීර්ණ කිරීමක්. එහිදී අප නොහිතන ආකාරයට, ඉහත කාණ්ඩ තුන හැසිරෙන්න ඉඩ තියනවා. අර සිංහලෙන් කියනවා වගේ පොඩි surprise හමුවෙන්න ඉඩ තියනවා. එය ලිවීමට විවේකය තියන වෙලාවක් අවශ්‍යයි. බලමු සුසර. ඔබේ ප්‍රතිචාරයට ඔබට ස්තුතියි!