නියැන්ඩතාල්වරුන්ට අංගම්පොර අල්ලන්න බැරි වුනේ ඇයි? Less brain space for social networking killed the Neanderthals? (1)


මේ සතියේ ඕස්ට්‍රේලියාවේ නොර්දර්න් ටෙරිටෝරි ප්‍රාන්ත රජයේ මහ ඇමතිව, පක්ෂයේ අනිත් මන්ත්‍රීවරුන් එකතුවෙලා අයින් කලේ, මහා ඇමති ටෙරී මිල්ස් වෙළඳ දූත ගමනක් සඳහා  ජපානයට ගොස් ඉන්නා අතරේදී. කලින් සතියේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති ටෙඩ් බැලියු ටත් ඉල්ලා අස්වෙන්න සිදු වුනේ,  තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය  ගන්න බැරුව.

මේ සිදුවීම් දෙකම මිට වසර කීපයකට පෙර ඕස්ට්‍රේලියානු අගමැතිව සිටි කෙවින් රඩ්ව, තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පන්නා දැමීමේ සිද්දිය අපට නැවත මතක් කර දුන්නා. හැබැයි ටෙරී මිල්ස් ව පන්නපු හැටි තමයි මෙයින් නරකම විදිහ. කොහොම  වුනත්, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට, ඇබොරිජිනල් සම්භවයක් සහිත කෙනෙක්, ප්‍රාන්ත ආණ්ඩුවක ප්‍රධානියා වෙලා තියනවා  දැන්. ඒ නොර්දර්න්  ටෙරිටෝරියේ මහ ඇමති ලෙස පත්වුණ ඇඩම් ගිල්ස්.

මේ පන්නා දැමීම වලට මුලික වුන ඇත්ත හේතු චන්ද දායකයන් වන සාමාන්‍ය ජනතාවට දැන ගන්න ගන්න ලැබෙන එක සැක  සහිතයි. මොකද දේශපාලනයේ ඇතුලේ වන දේවල් කියන්න කවුරුවත්, ඉදිරිපත් නොවෙන නිසා. කෙවින් රඩ්ව ඉවත් කල වෙලාවේ මෙවැනි සාධාරණ හේතුවක් නොදීම, අදත් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට බරපතල ලෙස හානි දායක දෙයක්.

හැබැයි ඔය දේශපාලන විචාරකයන් කියුව කරුණු අනුවත්, පසුකාලයේ කුණු කන්දල් ඇදිලා ආපු වෙලාවල් වල කියවුන කරුණු අනුවත්, රඩ්ව අයින් කරන්න හේතු වුනේ, ඔහු ක්ෂුද්‍ර කළමනා කරුවෙකු වීමත්, කණ්ඩායම් හැඟීම නැත්තෙක් වීමත් හා තමන් වටා වැඩ කරන අයට පරුෂ විදිහට සැලකීමත් යන කාරනා වල සංකලනයක් විදිහට. අර අනෙක් ප්‍රාන්ත දෙකේ මන්ත්‍රීවරුන්ගේ තීරණයට හේතු වුනෙත් මෙවැනිම කාරනා කියා කියවෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයක් තියන  රටක වුනත් , ජනතාව පත් කරන නියෝජිතයන් වැඩ කරන්නේ එයාලගේ න්‍යාය පත්‍රවලට අනුව, එවෙලාවේ හරිය කියල හිතෙන දේවල් හා තමන්ට හොඳයි කියල හිතෙන දේවල් වලට අනුව. හැබැයි, එයාල ආයිත් “ජනතා නියෝජිතයන්” ලෙස පත්වෙන්න බලාපොරොත්තුවක් හා උවමනාවක් තියනවා නම්, තමන්ට චන්දය දෙනවා යයි සිතිය හැකි මිනිසුන් සිතන්නේ මොනවාද යන්නත් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. එදා රඩ්ව පන්නපු කට්ටිය හිතපු විදිහට වැඩ සිද්ද වුනේ නැති නිසා, අද වඩාත් අමාරුවේ වැටිලා ඉන්නේ ඒ පැන්නීම සඳහා මුලිකත්වය ගත්තු පිරිසම කියලා, පේන්න තියන හා දේශපාලන විචාරකයන් ඉදිරිපත් කරන කරුණු වලින් තහවුරු වෙනවා.

සමහර රටවල් වල පක්ෂ නායකයන් ජනතාව විසින් දශක ගණනාවක් එක දිගට ප්‍රතික්ෂේප කලත්, එයාලගේ මන්ත්‍රී කණ්ඩායමට එවැනි නායකයන්ව අයින් කරගන්න බැහැ. මෙය රඩ්ට වුන වැඩේ සම්පුර්ණ විරුද්ධ පැත්ත. හැබැයි දෙතනදීම වෙන්නේ ජනතාවගේ කැමැත්තට පයින් ගැසීම. ඒ කියන්නේ ලැබෙන ප්‍රතිඵලය එකමයි.

බොහෝ විට දක්ෂ යයි කියන කියන රාජ්‍ය නායකයින්ගේ පාලන කාල වල පොදු ලක්ෂණයක් තමා, දක්ෂ කණ්ඩායමක් ඔවුන් වටා සිටීම. ඒ කියන්නේ දක්ෂ නායකයෙකු ගේ ලක්ෂණයක් තමා, දක්ෂ මිනිසුන් තෝරා ගැනීමට දක්ෂ වීම. තමන්ගේ ප්‍රධාන උපදේශකයා අංජබජල් අයෙකු නම්, ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක කරන නායකයා දක්ෂයෙක් වීමට හැකියාවක් නැහැ.

කෙවින් රඩ් සමග සිටිය කණ්ඩායම සමග කටයුතු කළ අගමැතිනි ජිලියා ගිලාර්ඩ්, වඩා කණ්ඩායම් හැඟීමක් ඇති පුද්ගලයෙක් යයි පැවසෙනවා. හැබැයි කෙවින් අදත් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට චන්දය දෙන පිරිස් අතරේ වඩාත් ජනප්‍රිය පුද්ගලයා වග ජනමත විමසුම් කියා පානවා. පසුගියදා වර්ජිනියා ටෙක් භූගෝල විද්‍යා මහාචාර්ය ජෝන් බෝයර්, තමන්ගේ පන්තියේ සිසුන්ට ඕස්ට්‍රේලියාව හා ලෝක දේශපාලනයේ ඕස්ට්‍රේලියාව ඉන්න තැන ගැන  කියා දෙන්න (ස්කයිප් හරහා) කෙවින්ට ආරාධනා කළා. මොකද කෙවින් කියන්නේ  “the most socially networked and digitally interacted politician on the entire planet”. උදාහරණයකට කෙවින්ට ට්විටර් අනුගාමිකයන් මිලියනයකට වඩා ඉන්නවා කියා කියනවා. ඔහු නිතරම තම අනුගාමිකයන් හා රසිකයන්ට තමන්ගේ ෆේස් බුක් ගිණුමේ වීඩියෝ කතන්දර දමනවා. අනික මිනිසුන් අතරට ගිය විටත්, ඔහුගේ හැසිරීම් විලාශය ව්‍යාජයි කියා දැනෙන්නේ නැහැ. ව්‍යාජ දෙයක්, ව්‍යාජ නොවන බව පෙන්නීමට හැකි වීම දක්ෂ දේශපාලකයෙකුගේ තිබිය යුතුම ගතියක්.

කණ්ඩායම් හැඟීම හා දක්ෂ කණ්ඩායමක් තෝරා ගැනීමට දක්ෂ වීම පමණක් නායකයෙකු බිහි කරන්නේ නැති වග ඉහත උදාහරණයෙන් යන්තමට පැහැදිලි වෙනවා. නායකයෙක් තමන්ගේ අනුගාමිකයන් සමගත් සම්බන්ද වෙන්න හැකියාවක් ඇත්තෙකු වෙන්න ඕනේ. ඒ සම්බදතාවයත් එක පැත්තකට යන දෙයක් නොවේ. හෝමෝ සාපියන්ස් සාපියන්ස් කියන සතාත් පරිසරයේ ඉන්න අනෙක් සතුන්ගෙන් වෙනස්ව දියුණු වීමට එක හේතුවක් වුනෙත්, මෙසේ කණ්ඩායමක් ලෙස අරමුණකින් ක්‍රියා කරන්න පටන් ගත්තු නිසා. ඔවුනගේ සමාජ සම්බන්දතා  (social networking) හදා ගැනීමේ හැකියාව, එදා හිටිය තවත් මනුෂ්‍ය විශේෂයක් වන නියැන්ඩතාල්වරුන් සම්පුර්ණයෙන් අතුගා දැමීමට හේතු වුනා කියා අලුත්ම පර්යේෂණයක් යෝජනා කරනවා. සටහන දිග වුන නිසා එම කොටස ඊළඟ සටහනින්.

 

Advertisements

9 Comments

Filed under Politics, Social

9 responses to “නියැන්ඩතාල්වරුන්ට අංගම්පොර අල්ලන්න බැරි වුනේ ඇයි? Less brain space for social networking killed the Neanderthals? (1)

  1. Kenji @ Japan

    >>හැබැයි,එයාල ආයිත් “ජනතා නියෝජිතයින්”ලෙස පත්වෙන්න බලාපොරොත්තුවක් හා උවමනාවක් තියෙනවානම්,තමන්ට චන්දය දෙනවා යයි සිතිය හැකි මිනිසුන් සිතන්නේ මොනවාද යන්නත් ගැන සැලකිලිමත් වන්න වෙනවා.<<
    ඔය ටික නේ රයිගම ලෝකෙ කොහේවත් නොවන්නෙම.

    • ලෝකේ කොහෙවත් නොවෙනවා කීම වැරදියි කෙන්ජි. ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය කළ (දැන් ඔවුනුත් පිළිගන්නා) එයිතිහාසික වැරැද්ද වෙනම එකක්. දේශපාලනය කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෑත කාලයේ හිටපු වඩාත් සාර්තක අගමැති වරයෙක් මෙන්ම කණ්ඩායම් නායකයෙකු ලෙස සැලකෙන ජෝන් හාර්වර්ඩ් කියන පරිදි “Politics in the end is driven by the laws of arithmetic.”
      කෙවින් රඩ් කම්කරු පක්ෂයේ නායකයා වන්නට පෙර, ඔවුන් විසින් නායකයන් ගණනාවක් අත්හදා බැලුවා. ඒ හැම පාරම ඔවුන් සාර්ථක නොවුනේ ප්‍රතිවාදියා වූ ජෝන් හර්වර්ඩ් ගේ දක්ෂකම නිසාම නොවේ. ඔවුනට නායකයන් ලෙස ප්‍රමාණවත් ජනාකර්ශනයක් ලබා ගන්න නොහැකි වුන නිසා. විශේෂයෙන් කෙවින් රඩ්ට පෙර මාර්ක් ලේතම් තරඟ කළ මහා මැතිවරණය.
      කෙවින් රඩ් තරඟ බිමට ආපු පසුව මේ සේරම වෙනස් වුනේ සාධක ගණනාවක් නිසා. වයස් ගත හාර්වර්ඩ් පාලනය ජනතාවට එපා වෙලා තිබුනා මෙන්ම, නව නායකත්වයක් කියන සටන් පාඨයත්, කෙවින්ගේ ආකර්ශනීය විලාශයත් කම්කරු පක්ෂ ජයට හේතු වුනා.
      මෙහෙම ආපු කෙවින්ව, පළමු පාලන කාලය හමාර කරන්නටත් පෙර, ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත මත පන්නා දැමුවා. මෙය ගැන කෙවින් පරාජය කල ඔහුගේ ප්‍රතිවාදියා කියන්නේ මේ වගේ කතාවක්. “The extraordinary thing about the politics in the last few years was Kevin Rudd’s removal,” “It’s very unusual for somebody who wins an election and then they get rid of him before he’s got the chance of going to the next election.”
      මේ අරුම තීන්දුව කම්කරු පක්ෂයට චන්දය දුන්නු බොහෝ දෙනාගේ සතුටට හේතු නොවුන වග ඊළඟ මැතිවරණයේදී පැහැදිලි වුනා . රඩ් ව පන්නා නායකත්වයට ආපු ගිලාර්ද්ට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට නොහැකි වුනා.
      අද අගමැතිනි ගිලාර්ඩ් ඉන්නේ එදාටත් වඩා, ජනප්‍රියත්වයෙන් අඩුව. කම්කරු පක්ෂය ඇය යටතේ ඊළඟ මැතිවරණයට යාවි කියා හිතන්න තියන ඉඩ එන්න එන්නම අඩු වෙනවා. මොකද politics in the end is driven by the laws of arithmetic!
      ලංකාවේ තියෙන්නෙත් මේ තත්වයමයි. මා පැහැදිලි කරන්න යන්නේ නැහැ දිග වැඩි නිසා.

  2. ඊළන්නග එකත් කියවලා කොමෙන්ට් කොරන්නම්..

  3. Kenji @ Japan

    දිගු පිළිතුරට ස්තුතියි රයිගම.ඇයි එහෙනම් ඒ කස්ටියගෙ “ජනප්‍රියතාවය”දිනෙන් දින අඩුවන්නෙ ?

    • ඔබ ඔය කවුරු ගැනද කියන්නේ කියල කියන්න පුලුවන්ද? ජනප්‍රියතාවයෙන් අඩු වනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙහි ඉන්න බැහැ.

  4. Kenji @ Japan

    මම කිව්වෙ රයිගම,ගිලාඩ් මහත්මිය වගේ අය ගැන.

    • Raigama

      ජනප්‍රියතාවය අඩුවීමට හේතු විශාල ගානක් තියෙන්න පුළුවන් කෙන්ජි. හැබැයි, ජනතාවත් සමග සම්බන්ධ වෙන්න බැරි කමත්, ජනකාන්ත බවක් නැති කමත්, ව්‍යාජ බවත් ඉන් කිහිපයක්.

      මා කියන්න උත්සහ කළේ කෙන්ජි, දැන් ගිලාර්ඩ් මැතිනිය පරාද උනොත්, ඇය තව දුරටත් පක්ෂ නායකත්වයේ ඉන්නෙත් නැහැ, අනෙක් අය ඇයව තියා ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි, දැනට ඉන්න විපක්ෂ නායකයා මෙවර ආණ්ඩුව පිහිටු වීමට තරම්, ආසන සංඛ්‍යාවක් දිනා නොගත්තොත්, ඔහුවත් පක්ෂ නායකත්වයේ තියා ගන්න එකක් නැහැ, පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් විසින්. මොකද මෙවරත් සමග ඔහු දැන් දෙපාරක් ආණ්ඩු බලය ගන්න උත්සහ කරලා තියන නිසා (ඕස්ට්‍රේලියානු පෙඩරල් මහා මැතිවරණය අවුරුදු තුනකට වරක් පැවැත්වේ).

      දේශපාලන පක්ෂයක් කියන්නේ, කවදා හෝ ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රියා කරන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානයක්. එතකොට එහි සාමාජිකයන් හරි, මන්ත්‍රීවරුන් හරි තමන්ගේ නායකයා ලෙස තෝරා ගන්නේ, බලය ලබාගැනීමේ ක්‍රියාවලියේදී තමන්ව වඩාත් හොදින් ජනතාවට අලෙවි කරන්න පුළුවන් නායකයෙක්. එවැනි නායකයෙකුට තියන්න ඕනේ (එකම ලක්ෂණය නොවේ), එක ලක්ෂණයක් තමා ජනකාන්ත බව. දැන් එක දිගටම පරදින අයෙක් තමන්ගේ පක්ෂයේ නායකයා ලෙස තියා ගන්නා සියදිවි හානිකර ගැනීමේ ප්‍රයන්තයක යෙදෙන මන්ත්‍රීවරුන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ වල නැහැ. ඒකයි ජෝන් හාර්වර්ඩ් කියන්නේ Politics in the end is driven by the laws of arithmetic කියලා. දැන් මෙහෙම ජනතාව අවලංගු කල නායකයන් හෝ මන්ත්‍රීවරුන් තව දුරටත් පක්ෂයක තියා ගන්නා ආකාරයට ජිල් මාර්ට් ක්‍රම වේදයන් සකස් කර ගෙන තියන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැහැ. අනෙක එවැනි ක්‍රමයක් තුලින් සාර්ථකත්වයක් චන්ද ක්‍රමයක් තියන පරිසරයක ලබා ගන්න බැහැ. තනි පක්ෂ ක්‍රමයකට එය සාර්ථක වෙන්න පුළුවන්.

  5. Kenji @ Japan

    පැහැදිලි කිරීමට ස්තුතියි රයිගම.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s