Yet another fishing trip that went horribly wrong!


මාළු අල්ලන්න නම් පව් කරලා තියෙන්න ඕනේ කියලා කියනවනේ. ඒ වගේම තමයි, කකා කියන්නා වගේ, ගස් වල හෝ භෝග වල ඇට හිටෙව්වහම, පැල වෙන්න නම්, පින් කරපු අතකින් හිටවන්න ඕනේ කියලත් කියනවා. අපේ වැඩ කරන තැන කම්පුචියානු පොරක් ගිය වසරේ පොරගේ ලබු (පොර හිටවපු ලබු වැලක) ගෙඩියක් ප්‍රදර්ශනයට අපේ කෑම කාමරේ ගෙනත් තියල තිබුනා. අතිශයෝක්තියක් නොවේ, ඒ ගෙඩිය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උසට දිගයි. පොර මේක ගෙනත් තිබුන හේතුවත් ඒකමයි. පසුගිය දවසක කතා කරපු වෙලාවක පොර කීවේ, මාළු අල්ලන්න ගියහම සාමාන්‍යයෙන් වරකට ඩොලර් තුන් හාර  සියයක මාළු අල්ල ගන්නවා කියල. දැන් මෙයා පෙර ආත්මේ කරපු පින් කොයි වගේද කියලා ඔබට කියන්න පුලුවන්ද?

දේශපාලනය කතා කරන්න නොවේ, මා බ්ලොගයක් පටන් ගත්තේ. මොකද දේශපාලනය කියන්නේ කරන්න ඕනේ දෙයක් මිස කතා කර කර තලු මරන්න ඕනේ දෙයක් නොවේ. මෙයත් දේශපාලනයට හා එලෙසම මනුෂ්‍ය ජීවිතයටත්  සම්බන්ද නිසයි ලියන්නේ. අප කොයි කවුරුත් නූගත් පාඩමක් මෙතනත් තියනවා.

කාම්බෝජය නැත්නම් කම්පුචියාව ඔබ කවුරුත් දන්නා  රටක් නේ. ඒ වගේම පොල් පොට් අයියා ගැනත් අහල ඇති, නැත්නම් කියවල ඇති. මාත් එහෙමයි අහලත් තියනවා, කියවලත් තියනවා. හැබැයි මේ ලියන්නේ ඒ සියල්ල අමතක කරලා, ඒ රටේ ඉපදුන, ඒ යුගයට අයිති, ඒ ක්‍රියා නිසා ජිවිතයම වෙනස් වුන අයෙකුගේ සිතිවිලි ආශ්‍රයෙන්.

අප සරසවියෙ ඉගෙන ගන්න කාලයේ කම්පුචියානු සිසුන් සෑහෙන පිරිසක් හිටියා. ඔවුන් ගැන මගේ මතකය වන්නේ අවිහිංසක වගේම ශරීරයේ රෝම ඉතාම අඩු පිරිසක් වශයෙනුයි. මෙතන ජරා අදහසක් නැහැ. නමුත් කකුල් වල උනත් රෝම ඇත්තෙම නැති ගානයි.

ඒ අතුරු කතාවක්. ඔබ දන්නවා ඇතිනේ පොල් පොට්ගේ කාලයේ සිදු කළ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සොයා බැලීම සඳහා පත් කල ජාත්‍යන්තර යුධ අධිකරණය. පහුගිය කාලේ එකෙක් දෙන්නෙකු වැරදි කරුවන් කරපු හැටිත් ඔබට මතක ඇති. අපේ කම්පුචියානු මිත්‍රයාට අනුව, මේ අධිකරණය නිකම් සෙප්පඩ විජ්ජාවක් පමණයි.

මුලින්ම කම්පුචියානු අගමැති, පොල් පොට් ගේත් චක් ගෝලයෙක් වුන හුන් සෙන් ගේ අභිමතයට අනුව, ඔහු හා ඔහු තෝරා ගත්  පිරිසක් මේ ක්‍රියාවලියට, ඒ කියන්නේ යුධ අධිකරණයට සම්බන්ද නොකර ගත යුතුයි කියා තීරණය කෙරුණා විතරක් නොවේ, “ජාත්‍යන්තර ප්‍රජාවත්” ඒ තීරණයට එකඟ වුනා.

ඉන්පසුව ඇරඹුන මේ අධිකරණය “ජාත්‍යන්තර” මුල්‍ය ප්‍රතිපාදන අනුව තීරණය වුන එකක්. ඒ කියන්නේ මෙය පවත්වාගෙන ගියෙත්  එන්ජීඕ එකක් වගේ. ගලා ආපු මුදල් හුන් සෙන්ගේ විතරක් නොවේ, අනික් සොක්කෝ බක්කෝ සියලු දෙනාගේම සාක්කු වලට ටික ටික වැටුනා. ඒ මුදල් මිසක් ඇත්තටම අධිකරණ ක්‍රියා වලින් වෙන දෙය ඔවුනට විශාල ප්‍රශ්නයක් වත්, ඒ ගැන උනන්දුවක් වත් තිබුනේ නැහැ.

ඔහොම ඇදගෙන යන අතර තුරේ අර නාකි අපරාධකාරයන් (මොවුන් අපරාධ කාරයන් ලෙස උසාවිය කින් තීන්දු කර නැති වුනත්, ලංකාවේ අපරාධ කාරයන්අප දන්නා  ලෙසම කම්පුචියානු මිත්‍රයාගේ වචන මා විශ්වාස කරනවා), කීප දෙනෙක් මිය පරලොව ගියා. අන්තිමට බෙදා ගන්න සල්ලිත් නැතුව, අධිකරණයත් මග හිටියා.

ඒ එකෙකුට වත් දඬුවම් කිරීමට, ඕනේ කමක් ජාත්‍යන්තර ප්‍රජාවට තියා, ඒ අපරාධ වලට අහුවුන කම්පුචියානු ජනතාවටවත් තියනවද කියල අපේ මිත්‍රයා හිතන්නේ නැහැ. මොකද පොල් පොට්ගේ චක් ගෝලයෙක් වුන හුන් සෙන් තමා දැනට වසර තිහක් පමණ එක දිගට නියමින් හෝ අනියමින් කම්පුචියාවේ පාලකයා.

වසර තිහක් එකම පාලකයෙක් තියා ගන්න කැමති ජනතාවක් ගැන ඔබ දන්නවද? සදාම්ව පන්නා “ප්‍රජාතන්ත්‍රවාදය” අඳුන්වා දෙන්න ඇමරිකාව ආවා. ගඩාපිව “පන්නන්න” යුරෝපය ඉදිරිපත් වුනා. ඇෆ්ගනිස්තානයෙන් රුසියානුවන් පන්නලා, “ප්‍රජාතන්ත්‍ර වාදය” ස්ථාපිත කරන්න නේටෝව ඉදිරිපත් වුනා. ඒත් අපේ හුන් සෙන් තාමත්, අපේ අගමැති.

මචං අපට තෙලුත් නැහැ, ලොකුවට වෙන සම්පතුත් නැහැ, තියෙන්නෙත් උපක්‍රමිකව වැදගත් තැනකත් නොවේ, කුඩා රටක්.ඉතින් මේ ජාත්‍යන්තර ප්‍රජාවට අපව ලොකු වැදගත් කමක් නැහැ. ඔය මොකෙකුට වත් අපට වෙච්ච දෙය වත් අනාගතයේදී වෙන්නේ මොකක්ද කියන එකවත් වැදගත් නැහැ. කොටින්ම කම්පුචියානු ජනතාවත් දන්නවා හුන් සෙන් දිනන්නේ ජිල් මාර්ට් වලින් කියලා. නමුත් ඒ ගැන  තැකීමක් නැහැ. කොටින්ම හුන් සෙන් කියන්නේ  වියට්නාම පඹයෙක්.  අප මචං පාලනය වෙන්නේ හැනොයි වලින්.  ඕකයි බන් ඇත්ත කතාව.

මචං, ඕව කිසිවක් මට දැන් වැඩක් නැහැ. උන්ට (ඒ කියන්නේ කම්පුචියානු ජනතාවට) වැඩක් නැත්නම් මට ඕනේ දෙයක්. මෙහෙම කියලා ඔහු කතාව නිම කළා.

ඔහුගේ ජීවිත කතාවෙන් අංශු මාත්‍රයක් මා කියන්නම්. එක්දහස් නවසිය හැත්තෑ හය වසරේදී (මට මතක හැටියට) ඔහුගේ වයස අවුරුදු හතයි. ඔහු තමා පවුලේ බාලයා. ඔහුට අයියලා හා අක්කලා නම දෙනෙක් හිටියා. එදා ඔහු හිටියේ තමන්ගේ ආතා හා ආච්චි සමග. අනික් වැඩිමල් සහෝදර සහෝදරියන් අම්ම තාත්තා සමග. ආතා හා ආච්චි ජිවත් වුනේ ඔහුගේ ගෙදරට කිලෝමීටර තුනකට විතර දුරකින්.

ඒ දෛයෝපගත දිනයේ, ඔහුගේ ගමට ආපු කෙමර් රූජ් විමුක්තිකාමින් “ධනපති හෝ සුළු ධනේශ්වර” ලෙස හංවඩු ගැහුව ඔහුගේ දෙමාපියන් හා සියලුම සහෝදර සහෝදරියන් මරා දැමුවා. හත් හැවිරිදි ඔහුගේ ජීවිතය බේරුන, එකම හේතුව එදා ආතා හා ආච්චි සමග සිටීම පමණයි. එහෙම වුනෙත්, ඔහු පවුලේ බාලයා වුන නිසා, ආච්චි හා සීයා ඔහුව බලා ගන්න ඉදිරිපත් වුන හින්ද. පසු කලෙක ඒ ආතා හා ආච්චි කුඩා ඔහුත් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත්. සාමාන්‍ය ජීවිතයේදී විහිළු හා සිනා වලින් ජිවත් වන ඔහුගේ මේ කතාව මට කියුවේ, දේශපාලනය ගැන කතා කරත්දී.

අප නොයෙක් දේ ගැන විවේචනය කරනවා. ඒත් එකම දවසේ තමන්ගේ මව් පියන් හා සහෝදර සහෝදරියන් සියලුම දෙනාම අහිමි වුන ජිවිතයක් ගැන හිතුවාද?

එවැනි ජීවිත හොයා ගන්න අමාරු රටක් නොවේ ලංකාවත්. ඒ වගේම අර කාම්බෝජ පරීක්ෂණයත් අපේ රටෙත් දෙවරක් ක්‍රියාත්මක කරන්න පිරිසක් උත්සහ කළා විතරක් නොවේ, ඒ ක්‍රියාවන් උත්කර්ෂයට නංවන්න උත්සහ කරන පිරිස් තවමත් ඉන්නවා. අසූ නමය/අනූව වසර වල ගම් වල ජිවත් වුන මෙවැනි “ධනපති හා සුළු ධනේශ්වර”ලෙස හංවඩු ගැහුණු විශාල පිරිසක් මිය පරලොව ලැව්වා. අදත් ඔවුනගේ අඩුව පිට රටක ජිවත් වෙන මට  වඩා, දැනෙනවා ඇත්තේ ලංකාවේ ජිවත් වන ඔබට. අර විමුක්තිකාමින්ගේ  වෑයම සාර්ථක වුනා නම්, ඒ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මකයි.

ඒ එක දෙයක්. අනික තමා බටහිර හෝ ඇමෙරිකාව හෝ වෙනත් බලවේගයක් හෝ ලෝකයේ අනික් රටවල් වල ප්‍රජාතන්ත්‍ර වාදය, යහ පාලනය, නීතියේ ආධිපත්වය පීහිටු වීමට එන කම් බොහෝ දෙනෙක් බලා ඉන්නවා. කම්පුචියාව අපට කියන්නේ මොකක්ද?

දිග වැඩියි තමා. මේකත් ලියන්නම්. අතීතයේ සිදු කළ හා සිදු වුන වැරදි හා අපරාධයන් සඳහා දඬුවම් දීමෙන් හෝ ඒ ක්‍රියා ගැන සමාව ගැනීමෙන්, ඒ අපරාධයන්ට ලක් වුන අයට, වර්තමානයට හෝ වත්මන් පරපුරට වන සෙත කුමක් දැයි නොයෙක් දෙනා අහනවා. එය හරියට මිනි මැරුමක් කල, කෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හෝ වෙනත් දඬුවමක් දීමෙන්, අර මැරුණ  කෙනාට වන සෙත කුමක්ද කියා ප්‍රශ්න කිරීම වගේ.

එවැනි අපරාධ වලට දඬුවම් දීමෙන්, ඒ මිය ගිය අය අප අතරට එන්නේ නැහැ තමා. නමුත් එවැනි දඬුවම් දීමකින් එවැනි අපරාධ යලි ඇති නොවීමටත්, ඒ අපරාධ වලට අසුවී, ජිවත් වන අයට යුක්තියේ හා සාධාරණත්වයේ යම් හැඟීමක් දීමටත් ඉවහල් වෙනවා. ලෝකයේ අද පවතින යහපත් යයි  කිවහැකි  සමාජ පරිනාමය වී තියෙන්නේ එවැනි ක්‍රියාවලින් ඔස්සේ. ඒ පරිනාමය සිදු වී තියෙන්නේ විදේශ බලපෑම් නිසා නම් නොවේ. ඔවුනගේ අභ්‍යන්තර අරගල ඔස්සේ හා මතාන්තර වෙනස් වීම් ඔස්සේ.

Advertisements

12 Comments

Filed under Politics, Social

12 responses to “Yet another fishing trip that went horribly wrong!

  1. kathandarakaraya

    සෙප්පඩ විජ්ජා ලංකාවෙත් කොච්චර තියෙනවාද? අර 1994 ඉඳන් මිනීවලවල් හෑරුවාට එකෙක් වරදකරු වුනාද? අඩු ගණනේ සූරියකන්ද කේස් එකවත් අවසානයක් වුනා යැයි මට මතක නෑ. දැන් ඔය මාතලේ කේස් එකටත් ඒ සෙතේම තමයි.

    ඇයි දුෂණ හොය ජනාධිපති කොමිසන්. මට මතක විදියට විජේපාල මෙන්ඩිස් වරදකරු වුනා අනුරාධපුරේ කනාටූ ඉඩමක් වෙනුවට වෙන්නප්පුවේ පොල් කෑල්ලක් මාරු කර ගත්තා ද කොහෙද කියන වරදට. අන්තිමේදී පොර නතර වුනේ චන්ද්‍රිකා ලඟ, නිකං නොවෙයි සූරියකන්දේ නන්ද මැතිව් එක්ක.

    පොල්පොට්ලා අද හිටියා නම් අපෙන් පාඩම් ගන්න තිබුණා, පවුලේ බාලයෝත් ඉතුරු නොකර, වඳ කෙසෙල් තියරියෙන් ගේම දෙන්න.

    • හැමතැනම කකා වඳ කෙසෙල් තියරිය තමයි නැගලා යන්නේ.
      සෙප්පඩ කොමිසන් අපට අමුතු දේවල් නොවේනේ. අද යහ පාලනය ගැන කතා කරන චන්ද්‍රිකා නෝනාගේ සෙප්පඩ විජ්ජා කොමිසන් තවම අමතක වෙන්න කල් මදි. ලංකාවේ බහුතර ජනතාවක් වඩා යහපත් සමාජයක්/ යහ පාලනයක් ඇති කරන්න හා එතෙක් කෙරුණ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු අයට දඬුවම් දේවි යන සිතිවිල්ලෙන් චන්දය දුන් දෙවරක් තමා 77 හා 94. මේ දෙපාරම පත් කරපු අයියලා/පප්පලා හා අක්කලා බලයට ඇවිත් කරපු, දේවල් ගැන අමුතුවෙන් ලියන්න දෙයකුත් නැහැ.
      එදා වලවල් හාරලා, අම්මලා රට වටේ අරන් ගිහින් හොටු හූරපු චන්ද්‍රිකාලා මංගලලා ඒ ජනවරම හරියට ක්‍රියාත්මක කළා නම්, සමාජය මෙයට වඩා වෙනස් වෙන්න හොඳටම ඉඩ තිබුනා. ඊට කලින් ආපු පප්පා ධර්මිෂ්ට සමාජයක් ගැන මතුරලා, ප්‍රතිස්ටාපනය කළ, අධර්මිෂ්ට සමාජය අද ඇස් පනාපිට තියනවා. අධර්මිෂ්ට ඒකාධිපති ක්‍රම බිහි කළ පාලකයන් හා පාලන ක්‍රම යටතේ ලෝකේ කොහෙත් යම් ආර්ථික සංවර්ධන ලබා ගෙන තියනවා. ඒත් ඒ පාලන ක්‍රම වලින් බිහි කෙරුණ, අධර්මිෂ්ට ක්‍රමයන්ගේ ප්‍රති විපාක දශක නොවේ සියවස් ගණනක් යනතුරු මැකෙන්නේ නැහැ.

  2. kathandarakaraya

    /* මාළු අල්ලන්න නම් පව් කරලා තියෙන්න ඕනේ කියලා කියනවනේ. ඒ වගේම තමයි, කකා කියන්නා වගේ, ගස් වල හෝ භෝග වල ඇට හිටෙව්වහම, පැල වෙන්න නම්, පින් කරපු අතකින් හිටවන්න ඕනේ කියලත් කියනවා. */

    මේ කාම්බෝජ මිතුරා පව්කාර පින්වන්තයෙක් වගෙයි පේන්නේ!

    මේ වගේ තවත් කේස් එකක් ගැන මං පොතකින් කියෝපු කතාවක් කාලෙකට කලින් ලිව්වා, මෙන්න ඒකට පාර.

    ලකී පොරවල් සහ අන්ලකී පොරවල්: http://kathandara.blogspot.com/2010/08/blog-post_06.html

  3. kathandarakaraya

    තව් එකක් මතක් වුනා.

    ඇත්තටම කාම්බෝජය කියන්නේ කාමයේ නිරතවෙන (භෝජනයට ගන්නා) කියන එකද?

  4. මම ඔය මුළු කතාවෙන්ම ගත්තේ අර ඔක්කොම මැරුණ කොල්ලා කොඉ වෙලාවෙත් විහිළුවෙන් තහළුවෙන් ඉන්නවා කියන කෑල්ල. ඇත්තටම අපේ ජාතිය තරම් සිරා මූඩ් එකේ ඉන්න ජාතියක් මම කොහේවත් දැකලා නෑ. විශේෂයෙන් පිටරටවලදි. අපේ මිනිස්සුන්ට උදව්වක් කරන්නේ අපේ කී දෙනාද…?

    • එහෙම තමයි මාතලන්. සමහර මිනිසුන්ගේ සිනහව යට සැඟවිලා තියන දුක් කරදර දෝමනස්සයන් කොතෙක්ද කියා, නිගමනය කරන්න බැහැ.
      අර ඔබ කියුවා වගේ ලඟට ගිහින් කතා කලත් මග හැර යන මිනිසුන් නැතුවා නොවේ. හැබැයි මෙයත් මතක් කරන්න මා කැමතියි. අප මුලින්ම සන්ක්‍රමය වුන වෙලාවේ, අපට උදවු කළ පිරිස අතර, අප කිසිදා කලින් නොදුටු හා සම්බන්ධකමක් නොමැති අය විශාල පිරිසක් හිටියා. අද විවිධ හේතු නිසා ඒ පිරිස් සමග අපේ සමීප සම්බන්ඳ තාවයක් නැහැ. එකක් අපත් අද ඉන්නේ වෙනත් නගරයක. හැබැයි, අද අප ගෙවන සාපේක්ෂ පහසු ජීවිතය සඳහා අඩිතාලම වැටුනේ, අපේ මහන්සිය නිසාම විතරක් නොවේ, ඔවුනගේ අකලංක උදවු ද නිසා.

  5. Kenji @ Japan

    ලංකාවෙත් අලුත්ම මිනි වල මාතලෙන් සොයාගෙන.ඒවා අයිති 87-90 කාලෙටලු.ඒ කාලෙ පළාත භාරව ඉදල තියෙන්නෙ දැන් රජයට සම්බන්ද 3න් දෙනෙක්ලු.හැමදාම ඔය සිදුවීම් විපක්ෂයේ අයට ලොකු ප්‍රශ්නයක් උනාට අන් අයට වගේ වගක් නැහැනෙ රයිගම.

    • මා ඊයේ කියෙව්වා යාහූ නිව්ස් වල (අන්තර්ජාතික) ප්‍රවුර්තියක්. එය ඔය මාතලේ සමූහ මිනි වල ගැන මහේත්රාත් තීන්දුව ගැන. මිනී 154 ක් ක්‍රමානුකුලව පේලි වලට හා මිනී 6 ක් පමණ එක උඩ එක ගොඩ ගසා තිබුන වගක් තමා ඒ ප්‍රවුර්තියෙන් කිය වුනේ. මෙය කවර ලෙසක වත් නාය යාමක් නිසා හෝ හතලිස් ගණන් වල වසංගත නිසා මරුන පිරිස් නම් නොවේ කියලා එය තව දුරටත් විස්තර කරනවා.
      දැන් ඔබ කියන මේ මිනී වල විශාල ප්‍රශ්නයක් වන විපක්ෂය මොකක්ද? විපක්ෂ නායකයාට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා තියනවා. එම චෝදනා සෙප්පඩ කොමිසන් මාර්ගයෙන් යටපත් කල නෝනා යලි දොඩවනවා. තුන් වන බලවේගයෙහි නායකයා මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරපු තවත් කණ්ඩායමක තීන්දු ගත්ත ටික දෙනාගෙන් කෙනෙක්. ඔබලත් මේ වරදවල් සේරම දැන් ඉන්න රජය මතම පටවලා නිකම් ඉන්න බලන්නේ. ජාත්‍යන්තරයත් කතා කරන්නේ වර්තමාන රජය එක් ජනකොටසකට එරෙහිව කළ අපරාධ විතරයි. ඒ අතරේ විපක්ෂ නායකයා උදම් අනනවා මන් තමා ජාත්‍යන්තර බැඳීම් වලට අත්සන් නොකළේ කියලා. ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයත් පත් කලත්, එය කාම්බෝජයේ වගේම සෙප්පඩ විජ්ජාවක් විතරයි. මොකද ඒ කිසිවෙකුට ලංකාව හෝ වෙනත් රටක යහ පාලනයක්, නීතියේ ආධිපත්වයක් හා සංවර්ධිත සමාජයක් බිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ.

      ඒ අවශ්‍යතාවය තිබිය යුත්තේ කාම්බෝජයේ හා ලංකාවේ ඉන්න මිනිසුන්ටයි. හැබැයි එහෙම කරන්න, තමන්ට ඕනේ අයට (විපක්ෂ/ තෙවෙනි බලවේග නායකයා වැනි) සුදු හුණු ගෑමෙනුත්, වයිර කරන වර්තමාන නායකයා මත සියලුදේම පැටවිමෙනුත් නම් නොවේ.මහාචාර්ය නලින් කියනවා වගේම, මාත් හිතන්නේ අද තියෙන්නේ ඊට කලින් තිබුන රජයේම (ගජ මිතුරු පාලනයේ) දිගුවක් විතරයි. මෙහි කැපී පෙනෙන වෙනස් කමක් සඳහා ජනතාව පෙනී නොසිටින තාක් කල්, ඊළඟට බිහි වන්නේ අද තියන රජයේ දිගුවක් විතරයි. එම පිරිස (ගජමිතුරන්) මෙහෙය වන්නා (එනම් රාජ්‍ය නායකයා) ගෑනියෙක්ද පිරිමියෙක්ද යන්න එතරම් වැදගත් නැහැ.

      යහ පාලනය ඇති කරන්න තිබිය යුතු මුලිකම අවශ්‍යතාවය නම්, සියලු නපුර වල් සම්පුර්ණයෙන්ම පිටු දැකීමයි. ඒකයි මගේ මිතුරා කියන්නේ පොල් පොට් හා හුන් සෙන් කියන්නේ එක වල්ලේ පොල් කියලා.

  6. Kenji @ Japan

    >>ඔබලත් මේ වරදවල් සේරම දැන් ඉන්න රජය මතම පටවලා නිකම් ඉන්න බලන්නෙ.<<මෙය රටේ ඉන්න ජනතාවට තමයි කියන්න ඕන රයිගම.
    77තේ ඉදල රට කරපු/කරන අය ගෙ සුරතල්ලු වන ගෝනවල සුනිල් ලගේ ඉදල ජුලම්පිටියේ අමරේ ල දක්වා බලද්දී පේනව කවුද හොදම සූරයා කියල.ඒ සූරයට වරද පැටවීම වරදක්ද?තාම මෙයා මිනි මස් විතරයි කෑවෙ නැත්තෙ.හෙට අනිද්ද එහෙම වුවත් පුදුම විය යුතු නැහැ.

  7. භීෂන යුග වලම ජීවිතේ වැඩි හරිය ගෙවීගිය නිසාමද කොහෙද තමයි මට දේශපාලනය, දේශපාලකයෝ, දේශපාලන කතා පේන්න බැරි. ඒ විශ්වාසය බිඳ වැටිලා හුඟක් කල් මචං. අනික මගේ තියෙන දුර්වල කමක් තමයි සාමාන්‍ය සිංහලයට වඩා දීර්ඝ කාලීන මතකයක් තිබීම. අර සති දෙකේ මතකය මට කිසිදා අදල වුනේ නෑ.

    • උඹේ මතකය ගැන මට අවිශ්වාසයක් නැහැ මචං. ඒ වගේම උඹේ දේශපාලනය ගැන තියන ආකල්පයත් අප බොහෝ දෙනෙකුට පොදු එකක්. හැබැයි උඹ ගේ අන්තිම කතාවෙන් (අනුවර්තනයෙන්) තේරුම් යනවා අපේ අන් අයට වඩා දේශපාලනය උඹට තේරුම් යන වග. හැබැයි ඒ කතාවෙන් කියවෙන දේ තේරුම් ගන්න ගොඩක් දෙනෙක් උත්සහ කළා කියල නොපෙනුන හින්දා, මා දමන්න හිතපු කොමෙන්ටුව නොදා නිකම් හිටියා. උඹ (හා ජෙෆ්රි) හීන් නූලෙන් කියන්න හදන දෙය සමහර විට අප කෙලින්ම කියුවත් වෙනසක් නම් වෙන්නේ නැහැ.

      ඉග්නේශෂ් කියන්නේ අප්‍රිකාවේ චරිතයක් විතරයි, මේක නිකම් සරල විනෝදයක් ගෙන දෙන මනඃකල්පිතයක් විතරක් වෙන්න පුළුවන් බොහෝ කියවන්නන්ට. එත් ඉග්නේශෂ්ලා ලංකාවෙත්, අප්‍රිකාවෙත් වෙනත් ආසියානු රටවලත් ඉන්නවා. ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදයතුල, ඉලංගරත්නලා කදිරගාමර්ලාට පැවැත්මක් නැහැ. මොකද ජනතාවත් පෝෂණය කරන්නේ ඔවුන්ව නොවේ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මිස චන්දයෙන් පත් වෙන්න බැහැ. නගර සභා හෝ පළාත් සභා වලින් පටන් ගන්න අවංක මිනිසුන් චන්ද නොලැබීමෙන්ම කැපිලා යනවා. උඩට එන්නේ ජරා පාගා මරුවන්, ස්ත්‍රී හා ළමා දූෂකයන් හා රාජ්‍ය දේපොළ මංකොල්ල කන්නන් විතරයි. දැන් අප කතා කරනවා රජ පවුලක් ගැන. මේ පවුලේ අය පත් වී තියෙන්නේ චන්දයෙන් නෙමේද? ජාතික ලැයිස්තුවෙන් එන සාපේක්ෂව අවංක යයි කිව හැකි අතීතයක් තියන මිනිසුන් පවා “සිස්ටම්” එකේදී ජරා බවට පත්වන එක හේතුවක් තමා, ඔවුනට රුකුලක් කොහේ වත් නොතිබීම. ජනතාව චන්දය දෙන්නෙත් ආරක්ෂා කරන්නෙත්, පෝෂණය කරන්නෙත් ජරා පොරවල් වීම නිසා ඒ “සිස්ටම්” එකේ ඉන්න නම්, ජරා නොවී බැහැ. පවුලකටම චන්දය දෙන ගමන්, පවුල ඇවිත් රට කනවා කියලා අනික් පැත්තට කියනවා.

      අද කෙරෙන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කතා කරනවා, හැබැයි සහයෝගය දෙන විපක්ෂයේ නැත්නම් විකල්පයේ අයියලා අතීතයේ කෙරුවා යයි චෝදනා තියන එවැනි අපරාධ ගැන වචනයක් නැහැ. එතකොට එක අපරාධකාරයෙක් පන්නලා, තව අපරාධකාරයෙක් ගෙනාවට තියන තත්වයේ වෙනසක් වෙනවාද? මේවා මචං බ්ලොගයකින් පමණක් කතා කරලා, ලියලා වැඩක් නැහැ. හැබැයි එකක් තියනවා, මා ලංකාවේ හිටියත් දේශපාලන පක්ෂයකට බැඳී, ජනතාවට නායකත්වයක් දෙන්න හැකියාවක් හෝ කැමැත්තක් තියන අයෙක් නම් නොවේ. අප ගොඩක් දෙනා දේශපාලනයට සම්බන්ද වෙන්නේ අනුගාමිකයන් නැත්නම්, චන්දය දෙන්නන් ලෙස. උඹට වගේම මාත් ලංකාවේ හිටියා නම්, එහෙම පස්සෙන් යන්න කෙනෙකු හෝ බලවේගයක් දැනට ලංකාවේ නැහැ. එවැනි නායකත්වය දෙන්න පුළුවන් දක්ෂතාව හා සහජ නායකත්ව හැකියාව තිබෙන්න පුළුවන් යයි සැලකිය හැකි බොහෝ පිරිස් “විමුක්තිකාමින්” (උතුරේ හා දකුණේ) හා එම විමුක්ති කාමීන්ට එරෙහිව ම්ලේචත්වය මුදා හල ගජ මිතුරන් විසින් නැත්තටම නැති කර දැම්මා. අද කාම්බෝජයේත් තියන රික්තය එයයි. ගම් වල සිටිය සිවිල් ක්‍රියාකාරීන් “ධනපතීන් හා සුළු ධනේශ්වරයන්” ලෙස හංවඩු ගසා මරා දැමීමේ විපාක තව දශක ගණනක් යනතුරු තියේවි. මේ බොහෝ අය එවැනි ජිවන තත්වයන්ට ලඟා වුනේ ඔය කියන සූරා කෑමෙන් නොව, මහන්සියෙන් වැඩ කිරීමෙන්, අධ්‍යාපනයෙන්.

      උඩ සිට පහලට යහපාලනය ගලා ඒමක් ගැන බලාපොරොත්තු වෙනවාට වඩා අවශ්‍ය වන්නේ, පහල සිට උඩට යහපාලනය ඇති කිරීමක්. මා ජිවන දර්ශනයක් යයි අදහස් කරන්නේ එයයි. ඒකීය පුද්ගලයන් යහපත් ජිවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම්, එවැනි පුද්ගලයන් බහුතරයක් වෙසෙන සමාජයක, ඔවුන් අපේක්ෂා කරන නායකත්වයකට බලවේගයක් හා ඒ සඳහා ඉල්ලුමක් ඉබේම ඇති වේවි. අප සියලු දෙනාම තමන්ගේ ජිවන විලාසිතාව ගැන දෙවරක් සිතිය යුත්තේ අන්න ඒ නිසා.

      කලින් ලියා ඇති පරිදි අද රෝහල් වල වැඩියෙන් පිරී ඉන්නේ, වලක්වා ගත හැකි රෝග හදා ගත් කට්ටිය. ඒ අතරේ කෑ ගහනවා නිදහස් වෙදකමේ අඩුපාඩු. සිගරට් බිබී, කසිප්පු ගගහා, ව්‍යායාම් නොකර, හර්ධ රෝග, දියවැඩියාව, පිළිකා හා වෙනත් නා නා ප්‍රකාර රෝග හදා ගෙන, ඒවට ආණ්ඩුවෙන් (ජනතාව) හරියට ප්‍රතිකාර කරන්නේ කියන්නේ නැතිව, මේවා හදා ගන්න හේතු වන ජිවන විලාසිතා වෙනස් කර ගැනීම නොවේද කළ යුත්තේ? ඒ සඳහා බලය තියෙන්නේ කා අතේද? මෙය සරල උදාහරණයක් විතරයි මචං. මේ පිළිතුර ලීවේ උඹටම නොවේ. මොකද දේශපාලනය ගැන කලකිරිලා ඉන්නවා උනත්, උඹ මේ මන් කියන කොටසට අයිති නැහැ. ඒ අය මේ බ්ලොග් බලන්නෙත් නැහැ. බැලුවත් වැඩකුත් නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s