Stupidity in Gangnam Style!


මහාචාර්ය ස්ටීවන් හෝකින් කියන්නේ නම්, තව වසර දාහකින් මේ පෘථිවිය වසන්න බැරි තැනක් වෙනවා, එයට කලින් මනුෂ්‍ය වාසයට සුදුසු වෙනත් ග්‍රහලෝකයක් සොයා ගත යුතුයි කියා. ඒ අතරේ පෙරේදා ලංකාවේ සිට පැමිණි සරණාගත පිරිසක් සමග ෆයිබර ග්ලාස් බෝට්ටුවක් බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ඩ්ටන් වරායට සේන්දු වුනා. එම පුවත ඊයෙත් අදත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය හා දේශපාලන  ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් වුනා. මොකද සරණාගත බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ආවේ අවුරුදු පහකට පමණ පසුව. අනෙක තමා බටහිර ඕස්ට්‍රේලියාව  දක්වා එය ලඟා වීම.

සම්පුර්ණයෙන් සංක්‍රමණිකයන් (ඇබොරිජිනල් වරුන්ද ඇතුළුව) ගෙන් හැදුනු  රටක් වන ඕස්ට්‍රේලියාවේ, සරණාගත බෝට්ටු, දේශපාලනයේ ආණ්ඩු මාරු කරන ප්‍රධාන සාධකයක්. එයට රටේ, ආරක්ෂාව පටලවා තිබීමත්, දුපතක් වීමත් හා කොහෙත් තියන ජාතිවාදය බැඳී තිබීමත් එයට හේතු ලෙස දක්වන්න පුළුවන්. හැබැයි 1976 සිට මේ දක්වා, රටට ආපු සංක්‍රමණිකයන් ගෙන් 1% ක් පමණ තමා සරණාගතයන්ට වෙන්වී තියෙන්නේ. කොහොම වුනත්, ආණ්ඩු මාරුවීම ජනමතයට අනුව කෙරෙන රටක, ජනතාවගේ කැමැත්ත නොසලකා රජයක් කරන්නත්, මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නත් යාම සියතින් වල කපා ගන්නවා වගේ වැඩක්.

ඒ අතරම තාත්තාගෙන් පුතාට, ආණ්ඩුවේ බැටන් පොල්ල දෙන රටක් වන උතුරු කොරියාවේ, කිම් ජොන් උන්, මේ දවස් වල කියන දේවල් නිසා කොරියානු අර්දද්වීපය පමණක් නොවේ, වෙනත් රටවල පවා තැති ගැන්මක් ඇතිවී තියනවා. උතුරු කොරියාව වගේ තාත්තලාගෙන් පුතාලට (ජනතාවගෙන් අහන්නේ නැතුව) හෝ සහෝදරයාගෙන් බාල සහෝදරයට රටේ පාලනය බාර දෙන රටවල් වල සංවත්සර සඳහා සුබ පතන, නමුත් වෙනත් රටවල එවැනි සංවත්සර ගණන් නොගන්න රටවල් හා දේශපාලන පක්ෂ ලොවේ අනෙක් රටවල් වලත් තියනවා. ඒ එක එක රටවල් හා පක්ෂ ලෝකයේ හොඳ හා නරක තේරුම් ගන්නා ආකාරය.

ඒ අතරේ කෙනෙක් කියනු ඇසුනා “හැබැයි ඇමෙරිකාවට  දුන්නොත් (ජොන් මල්ලි) නම් නියමයි” කියා. මේ වගේ කතා කියන එකේ තේරුම නම් මට හිතා ගන්න බැහැ.

ලෝක දේශපාලනයේ ඇමෙරිකානු ක්‍රියා කලාපය කාටවත් රහසක් නොවේ. හැබැයි ඉරාකය වගේ රටවල් වල අද තියන තත්වයට ඇමෙරිකාව වගේම, ඒ රටවල් වල හිටිය තකතීරු ඒකාධිපතියන් එකසේ වග කියන්න ඕනේ. ඒ වගේම ඇමෙරිකාව පමණක් නොවේ, ලෝකේ මොන බලවතා  යුධමය වශයෙන් සම්බන්ධ වුනොත්, රටකට යහපතක් වන්නේ කලාතුරකින්. ඇෆ්ගනිස්තානය අද නියැන්ඩතාල් යුගයටත් වඩා එහාට ගිහින් තියන එක, රුසියාවට හෝ ඇමෙරිකාවට මහ ප්‍රශ්නයක් නොවේ.

ඒ සියල්ල එහෙම තිබුනත්, උන් ගොයියා ඇමෙරිකාවට ගහන්න හදන එකට ඕස්ට්‍රේලියාවේ හෝ ලෝකේ වෙන රටක ඉන්න කෙනෙකුට සතුටු වන්න පුළුවන් දෙයක්ද? මේ වගේ යුද්දෙකින් (ගොන් කමට පටන් ගත්තොත්) වෙන දෙය හිතා ගන්න අපහසු නැහැ. අනෙක් දේ නම්, එවැනි යුද්දෙකින් ඇමෙරිකානු ප්‍රතිපත්ති ගෙනියන රජයට දන්නන්න පුලුවන්ද? වෙන එකම දෙය වන්නේ කොයි රටේ වුවත් සාමාන්‍ය මිනිසුන් මිය යාම පමණයි.

එවැනි පුළුල් අර්තෙකින් නොසිතා, ස්වාර්ථය ගැන සැලකුවත් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් කොහොමද? ඔන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ගනු දෙනු කරු චීනය. එතකොට මෙවැනි යුද්දෙකින් ඇමෙරිකාවේ ආර්ථිකය තව පසු බෑවා යයි හිතමු. ඒ අතරම චීනයටත් අල්ලපු රටේ යුද්දයකදී නිකම් ඉන්න ලැබෙන්නේ නැහැ.  කෙලින්ම හවුල් නොවුනත්, හවුල් වෙන්න සිදු වෙනවා. සරණාගතයනුත් ගලා ඒවි. චීනයට, ඇමෙරිකාවට විකුනන්න පුළුවන් බඩු වල ප්‍රමාණය පහල යාවි. චීන ආර්ථිකයත් පසු බාවි. එතකොට ඕස්ට්‍රේලියාවෙන් ගන්න අමුද්‍රව්‍ය හා අනෙකුත් සේවාත් අඩු වේවි. ඕස්ට්‍රේලියානු ආර්ථිකයත් මන්දගාමී වේවි. එහෙම වුනහම මෙහෙ රස්සා ප්‍රමාණයත් පහල යාවි, විරැකියාව වැඩි වේවි.

එතකොට ඕස්ට්‍රේලියාවේ රස්සාවක් කරගෙන ඉන්න කෙනෙක් හෝ ස්ථිර පදිංචි විසා ගන්න බලාගෙන ඉන්න කෙනෙක්, කිම්  ජොන් උන් මල්ලි ඇමෙරිකාවට ගහන කම් බලාගෙන ඉන්න එකේ නියම තේරුම මොකක්ද කියා ඔබට තේරෙනවනේ.

Advertisements

15 Comments

Filed under Social

15 responses to “Stupidity in Gangnam Style!

  1. buwa

    ඒකාධිපතියෙක් කොහේ හිටියත් මම ඌට විරුද්ධයි . ඇමරිකාවට ගහන්න ජොනාට බෑ , දකුණු කොරියාව ගැනයි ජපානය ගැනයි තමයි බය

    • සමහර රටවල පාලකයාත් ඒකාධිපති, විපක්ෂ නායකයාත් ඒකාධිපති. ඒත් දෙන්නාවම පන්න ගන්න එක්කෝ බැහැ, නැත්නම් ජනතාවට උවමනාවක් එන්නේ නැහැ. මොකුත් වෙයි කියා හිතන්න අමාරුයි බුවා. මේවා මෝඩ ආතල්.

  2. මම නම් එදා ඉඳන් උතුරු / දකුණු කොරියා ප්‍රශ්නේ ගැන
    උනන්දු වෙන්නේ නැහැ රයිගම් ..ඕනෙම දෙයක් කරගෙන
    ඕනේ විදිහකට තොලෙන්චි වෙලා පල කියන තැනයි මම
    ඉන්නේ ..

    එහෙත් ඔබ කියන පරිදි එහෙම 100% නිදහසේ ඉන්න බැරි හැඩයි
    නේද …?

    මට නම් කියන්න තියෙන්නේ මහන්තත්ත කම නිසා මුළු රටක්ම
    වලපල්ලට ගෙනියන අනුවණ පාලකයෙක් ( ඒකාධිපතියෙක් ) කියල
    තමයි..රටේ මිනිස්සුන්ව බේරලා , කුඩේ කුඩු කරලා දැම්මා නම්
    හරි ..

    rayigam mama mage original mail eken
    mekatama ” Testing ” msg ekak danawa …eka
    spam unoth ” Not Spam ” karanna ..

    • ඇත්තටම ශේර්මි මා ලියල තියෙන්නේ කොරියානු ප්‍රශ්නයක් නොවේ. සමහර වෙලාවට අප හිතන විදිහේ තියන “ගොං කන් විලාසිතාව” ගැන. එවැනි සිතිවිලි අපේ ජිවන විලාසිතාවට බලපාන්නේ වෙනස් අයුරින්. මට පොඩි කාලේ සිදුවුණ මේ සිද්දිය තාම විචිත්‍රව මතකයි. අපේ ඥාති මල්ලි කෙනෙක් දවසක් සෙල්ලම් කර කර ඉන්න කොට මොකක් හෝ හුටප්පරයක් වෙලා, අපට ගලක් ගහලා දුව ගෙන ගියා. මිනිහ ටික දුරක් යන කොට උඩින් ආපස්සට ගිය ගල ටොක් කියා එයාගෙම ඔළුවට වැටුනා. මිනිහා රිදුන එකටත් වඩා ඇතිවුන ලැජ්ජාවට අඬා ගෙන දිව්වා.

      අප බොහෝ වෙලාවට අපට වැඩක් වුනත් නැතත් අනුන්ට කෙල වෙන කම් බලා ඉන්නවා. ඔය ගම් වල ගොඩක් වෙලාවට, අර කියන චාම් ජිවන විලාසිතා තියනවයි කියන කට්ටිය එහෙමයි. ඒ හැර අප ලෝකේ කොහේ ගියත් සමහර විට ඒ ගති අත හැරෙන්නේ නැහැ. මේ වගේම නොවුවත් සමහර ගොං සිතුවිලි මට පවා පෙර තිබුනා. නමුත් සමහරුන් හිතන හැටි නම් තේරුම් ගන්න හරිම අමාරුයි. ඕස්ට්‍රේලියාවේ ඉඳන් යුද්ධයක් ඇතිවෙලා ඇමෙරිකාවට කෙල වෙලා යන කම් බලා ඉන්නවා. ඔන්න හැටි. අන්තිමට එහෙම දෙයක් ඇත්තටම වුනොත් කෙල වෙන්නේ තමන්ටමය කියලා මොහොතකට වත් හිතන්නේ නැහැ.

      ගණන් ගන්න එපා දීර්ග පිළිතුර ගැන. ඔබට නොවේ ලියන්නේ මට වෙනම සටහනක් දාන්න අද හිතෙන්නේ නැහැ. දැන් බලන්න, තමන්ට කන්න දෙන්න බැරිව තියෙත්දී සමහරුන් ළමයි හත අට හදනවා. ඉන්පසු කන්න දෙන්න බැරිකමට පන්සල් වල මහන කරනවා. තව සමහරු බොරු ලියකියවිලි හදලා, රට පටවනවා කන්න හම්බ කරවා ගන්න. අර මහන කරපු කුඩා දරුවන් පන්සල් වල ඉන්න කාමාතුර පිරිස් වල අඩත්තේට්ටම් විඳිමින් ලොකු වෙන්නේ. පිට රට පටවපු දරුවන් දුක් විඳිමින් ජිවත් වෙනවා නැත්නම් හිස් ගැසුම් කනවා.

      පන්සල් වල ලොකු වුන පිරිස් පවා, ලොකු මහත් වුනහම පෙනී ඉන්නේ තමන්ට අසාධාරණ කම් කළ (දෙමාපියන්ද ඇතුළුව) පිරිස් වලට එරෙහිව නොවේ. ඔවුන් තමන්ගේ වයිරය පිට කරන්න වෙන කොහෙවත් ඉන්න පිරිසක් අල්ලා ගන්නවා. හරියට අර සමාජයේ තියන නියැන්ඩතාල් කුල මල ආකල්ප නිසා පීඩනයට පත් පිරිස් පාර්ලිමේන්තු ගිහින්, එවැනි ජඩ සමාජ ආකල්ප වලට විරුද්ධව සටන් නොකර, වෙන ජාතියක් වෙත වයිරය පැතිරවීම වගේ.

      තමන්ට පවා කන්න දෙන්න බැරි කම නිසා නොදරු වයස් වලදී මහන කිරීම වැරදියි කියා සටන් කරන්නේ නැතිව, එවැනිම තවත් පිරිස් බිහි කර ගැනීමට දත කෑම මේ දෙබිඩි ජිවිතයේ කොටසක්. මෙවැනි පිරිස් පසුපස තේරුම් නොගෙන හෝ ගෙන යන පිරිස් ඉන්නවා. මා තමන්ගේ ජිවන විලාසිතාවට බලපානවා යයි කියුවේ මේ ගොන් කං සිතිවිලි.

  3. Kenji @ Japan

    මම නම් හිතන්නෙ ජොන් උන් කොල්ල රටේ ජනතාවගෙ හදවතේ ලගින්න දාන සන්දර්ශනයක් පමණයි කියල.

  4. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    මම සමකය වටේ ලියන නලින්

    • කෙන්ජි, ගිය වසරේ මා සමග සිටියාට ඔබට නොවක් තුති. ඒ වගේම ලබන වසර ඔබට, බිරිඳට හා දරුවන්ට ගෙවුන වසරට වඩා සතුට හා වාසනාව පිරි එකක් වේවා යයි පතමි!!!

  5. අනිකට කෙලවෙනකල් බලා ඉන්න එක හුඟ දෙනෙක්ගෙ විනෝදාංශයක්නේ.

    තමන් හොඳ මිනිහා වෙලා, අනිකා අතින් කයිට් කරගෙන මගේ වැඩේ කරලත් දෙන එක බලන් ඉන්නත් ආසයි නේද. 🙂

    • ඒ වගේම තමා මචන්, නිකම් ඉඳගෙන සුබසාධක සේවා වලින් සේරම ප්‍රයෝජන ගන්න අතරේ, ආණ්ඩුවට හා සුද්දන්ට බැන බැන ඉන්න එකත්. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s