බල මාළු කන ජපනා!


අද එළවලු කඩේට ගියහම පොල් බෑයක් ගත්තා. කවුන්ටරේ හිටපු තරුණ හාදය කියුවේ “හොඳ තේරීමක්, ගෙදර ගියහම unexpected surprises  ඇතිවෙන්න හැටියක් නැහැ. මේක නම් “එඩිබල්” කියල පේනවා කියල (සුද්දන් පවා භාවිතාකරන unexpected surprises යන යෙදුම අනවශ්‍ය දෙයක්. සර්ප්‍රයිසස් කියන්නේ, බලාපොරොත්තු නොවන දෙයක් නිසා මෙය එකම දෙයක් දෙවරක් කීමක්).

මිනිහා ටිකක් අමුතු පොරක්. තොර තෝංචියක් නැතුව කියවනවා. කස්ටර්මර්ස්ලාටම නොවේ. තමන්ටම වගේ. මිනිහගේ කතාව නම් ඇත්ත. මෙවැනි පොල් බෑ වලට තමා seeing is believing කියන්නේ. මොකද පොල් ගෙඩියක් ගෙනාවොත් හැමදාම වගේ ඇතුල නරක් වෙලා. අනික අපට පොල් ගෙඩියක පොල් වැඩියි. අද පොල් ගාල හදපු සම්බෝලේ පංකාදු පහයි.

මිනිසා දියුණු වීම නිසා, අද නොයෙක් ලෙඩ රෝග වැඩි වෙලා කියලා ලියන කතා හැම තැනම දකින්න ලැබෙනවා. එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමා එක්කෝ හරියට කන්න නොමැති කම. නැත්නම් හරියට කන්න හැකි වුනත්, වැරදි තෝරා ගැනීම්. ඉස්සර ගම් වල හර්ද රෝග, දියවැඩියාව හෝ පිළිකා නැතිය කියන මිනිසුන්ට මේවා ඔප්පු කරන්න දත්ත තියනවාද? මොකද මට නම් මතක ගම් වල හැමදාම දෙතුන් දෙනෙක් අංශ භාගේ හැදිලා  හිටියා. මට විතරක් නොවේ, බිරිඳටත් තියෙන්නේ එවැනි මතකයක්. එවැනි අයට අද කියන හැටියට “ස්ට්‍රෝක්” තමා හැදිලා තියෙන්නේ. මේවා ගැන මොකුත් නොදැන, එදා එවැනි පිරිස් ගෙපිලේ මැස්සක දුක් විඳිමින් මිය ගියා. වැඩි හෝ අඩු රුධිර පීඩනය හැදිලා හිටියත්, මේවා හොයා ගන්න එදා පහසුකම් තිබුනාද? ඒත් නැහැ. අනික දරුවන් කී දෙනෙක් අකාලයේ මිය ගියාද? මෙවැනි දේවල් නිකම් මනස්ගාත වගේ තලු මරලා වැඩක් නැහැ. මොකද හරියටම කියන්න දත්ත හොයා ගන්න ඕනේ.

පසුගිය වසරේ මා කියවපු ලිපියක් මගේ මතකයට නැගුනේ, ඊයේ පෙරේදා කියවපු එක බ්ලොග් සටහනක් දැකීමෙන්. පීරී ගාල එය හොයා ගන්න හිතුනේ බටහිර විරෝධය, “දේශප්‍රේමී බව”, විද්‍යා විරෝධය (බටහිර වෛද්‍ය විද්‍යාවද ඇතුළුව), අඳුරේ ඉන්න කළු බළලෙක් වැනි ජාතික චින්තනය හා නොයෙක් ආගම් වලට තියන අසීමිත භක්තිය නිසා  තමාගේ හිතේ ඇතිවන මනස්ගාත, ඇත්ත ලෝකයේ පවතින තත්වයට කොතරම් දුරස්ද කියා නිකමට කල්පනාවට නැගුන නිසාත්.

ලෝක ප්‍රජාවගේ  සෞඛ්‍යය පිලිබඳ මෙතෙක් කෙරුණ විශාලතම අධ්‍යයනය පිළිබඳවයි එම පර්යේෂණය ලිපිය. මේ අධ්‍යයනය මගින් වසර 2010 දක්නට ලැබෙන රෝග හා මරණ වලට හේතු හා 1970 සිට 1990 දක්වා වසර වල දත්ත සමග සසඳා බලනවා. එයට රටවල් 50 ක විද්‍යාඥයන් 500 ක් දෙනා සහභාගී වී තියනවා.

මේ අධ්‍යයනයේ දී එලිවුන එක කරුණක් තමා, ලෝකයේ පළමු වරට පමණට වඩා ශරීර බර වැඩිවීම, මන්දපෝෂණය අභිබවා ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් වීම. 1990 වසරේදී ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය ප්‍රශ්නය තමා අඩුපෝෂණය හා එමගින් නොයෙක් රෝග වලට හේතුවී දිවිය කොට වීම. අධි බර නැත්නම් a high body-mass index (BMI) ඒ කාලේ සෞක්‍ය ගැටළු ඇති කරන දහවෙනි කාරණයයි.  ඒත් අද වෙනකොට, මන්දපෝෂණය ලෝකයේ රෝග වලට හේතු වන අට වැනි ස්ථානයට වැටිලා තියෙද්දී, අධිපෝෂණය නැත්නම් BMI රෝග වලට හේතු වීමේ හයවෙනි කරුණ බවට පත් වෙලා.

ලෝකයේ සිදුවන මරණ වලින් හතරෙන් එකකට හේතු වන්නේ අධික රුධිර පීඩනය හා හර්ද රෝගයි. මෙය සංවර්ධිත රටවලට පමණක් සිමා වුන ප්‍රශ්නයක් නොවේ. ඒ කොහොම වුනත්, බර වැඩි වෙලා හරි, අද ලෝකයේ මිනිසුන් වෙන කවරදාටත් වඩා වැඩි කලක් ජිවත් වෙනවා.  සමහර රටවල් වල ඇතිවී තියන වෙනස කැපී පෙනෙනවා. මාල දිවයිනේ සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය 1970 වසර හා සසඳන විට, අද වසර තිහකින් (28.4) වැඩි වෙලා. ඉරානයේ මේ වෙනස වසර 21.3 ක්, බංග්ලාදේශයේ මිනිසුන් එදාට වඩා අද වසර 24.1 ක් වැඩිපුර ජිවත් වෙනවා. උතුරු ඇමෙරිකාවේ මේ වෙනස වසර 7.5 යි, දකුණු ඇමෙරිකාවේ 14.3 , යුරෝපයේ මිනිසුන් 1970 හා සසඳන විට වසර 7.9 ක් වැඩිපුර අද ජිවත් වෙනවා . ඕස්ට්‍රේලියාවේ මිනිසුන් වසර 9 ක් වැඩිපුර ආයු ලබනවා අද. අප්‍රිකාවේ ජනතාවගේ ආයු කාලය වසර 13.2 කින් වැඩි වී තියනවා. ලංකාව අයත් ආසියාවේ මිනිසුන් 1970 වසරට වඩා දැන් අවුරුදු 12.9 ක් වැඩිපුර මෙලොවේ ඉන්නවා.

මේ අතරින් විශේෂයෙන් ඉරානය හා බංග්ලාදේශය වැනි රටවල් වල ග්‍රාමීය සෞඛ්‍ය වැඩ සටහන් මේ ආයු කාලය ඉහල යාමට ඉවහල් වී තියනවා. එමෙන්ම ළමා මරණ, උපත් ප්‍රශ්න හා බෝ වන රෝග වලට එරෙහිව ඇතිවී තියන දියුණුව ගොඩක් කැපිලා පෙනෙනවා. සමස්තයක් වශයෙන් ලෝකයේ අවුරුදු පහට අඩු ළමා මරණ 1990 හා සසඳන විට, අද 60% කින් පහත වැටිලා.

මේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන රටවල් ද ලෝකයේ නැතිවා නොවේ. බෙලරුසියාවේ මිනිස් ජිවිතාපෙක්ශාව 1970 හා සසඳන විට අද වසර 1.2 කින් අඩු වෙලා. අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල ආයුකාලය වැඩි වෙලා තියෙන්නේ වසර 1.1 කින් පමණයි. මේකට ප්‍රධාන හේතුව වෙනම ලියන්නම්.

කොහොම හරි අද ලෝකයේ සාමාන්‍ය ජිවිතාපෙක්ශාව අවුරුදු 70.4 යි (සාමාන්‍යයෙන් ගැහැනියක් අවුරුදු 73.3 ක් ජිවත් වෙන අතර පිරිමියෙක් වසර 67.5 ක් ජිවත් වනවා). ජපානය ගත්තොත් එහි ජනතාව තමා, වැඩිම කලක් ජිවත් වෙන්නේ. එහි සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වසර 82.6 ක්. එයට හේතුව බල මාළු කන එකද? ඒ විස්තරය ඊළඟට.

මේ සටහනින් මා කියන්න හදන්නේ වෙන දෙයක්. එය තමා අප ඉස්සර මෙයට වඩා හොඳට නිරෝගිමත්ව ජිවත් වුනා කියලා, මේ දත්ත පෙන්නුම් කරන්නේ නැහැ. අද ප්‍රශ්න නැතුවා නොවේ. හැබැයි අප (මිනිසා) එදා මුහුණ දුන්න බොහෝ සෞඛ්‍ය ගැටළු අද නිරාකරණය කරගෙන තියනවා. එදාට වටා අද රෝග හඳුනා ගැනීමේ හැකියාව ඉහලයි.  එදා සමාජයේ කීප දෙනෙක් දිගායුෂ වැළඳුවා කියලා, සමස්ත සමාජය ගැන ඉන් වැටහීමක් ගන්න බැහැ. මේ දත්ත පෙන්නුම් කරන්නේ මිනිසා එන්න එන්නම වැඩි කලක් ජිවත් වෙනවා කියලයි.

New Scientist, 22/29 December 2012 ඇසුරු කරන ලදී.

Advertisements

13 Comments

Filed under Social

13 responses to “බල මාළු කන ජපනා!

  1. මටත් මතකයි මම 7 වසරේ වගේ ඉද්දි පාඩම් කරා
    ” පැරණි හෙළයා අදට වඩා දීර්ඝායුෂ වින්දේය ” කියල ..

    ඕව තිබ්බේ සිංහල පොතේ.හැබැයි සෞඛ්‍ය පොතේ තියෙන්නේ
    පරස්පර කතාවක් සංඛ්‍යා ලේඛන එක්ක .තාක්ෂනය එක්ක
    ආයුෂ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැනේ.

    අපි බලමු මීළඟ සටහන ..කොහොම හරි ඔය කියන විදිහට
    අපේ කෙන්ජියා වැඩි පුර අදියි වගේ නේද …? 😀

    • ඉස්සර මිනිහෙක් දෙන්නෙක් ගොඩක් කල් ජිවත් වුනහම අප හිතනවා සමස්ත සමාජයම එහෙමයි කියා. මිනිසුන්ගෙන් 95% ක් ගොඩක් අඩු වයසින් මිය යනවා කියා තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එතකොට ඒ කාරනාව මේ සේප්පඩ චින්තන වලට පටලවා ගන්න බැරි වෙනවා. ඉස්සර මැලේරියාව නැත්නම් අනෙක් බෝවෙන රෝග වලින්ම කොතරම් පිරිසක් මිය ගිහින් තියනවාද? මේ අයියලා මොනවාද මේ කියන්නේ ශේර්මි?
      කෙන්ජි නම් කෙලවල්ලන් සමග සකේ ගහනවා. ශරීරයට ගොඩක් හිතකර කෑමක් හා බිමක්! 😀

  2. අනිවා… ඔබේ අදහස් හා 100% එකඟයි. ඉස්සර මිනිස්සු මැරුණෙ යක්කු ගහලා, තුවාල වන වෙලා, අත පය කැඩිලා. අද ඒවට බෙහෙත් තියෙනවා. බල මාලුවලට වඩා මම හිතන්නේ. ජීවිතේ සරළව ගැනීම කියලයි. ජීවත්වීම සංකීර්ණ ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. දුක වේදනාව අල්පේඡ්චතාවය ගැන කියන බෞද්ධයන්ටම වීම කනගාටුවට කරුණක්.

    • අල්පේච්චතාවය මොකක්ද කියල දන්නා ගිහියන් තියා මාතලන්, BMI හරි පැත්තේ තියන හාමුදුරුවරුන් දෙතුන් දෙනෙක් දානයකට හොයා දෙන්න කියා මේ අයියලට කියන්න. ගම් වල හොඳ මිනිසුන් ඉන්නවා. ඒ මිනිසුන් අල්පේච්චතා ජිවිත ගෙනි යන්නේ, ලොකු දේවල් කරන්න බැරි කම නිසා. ඔවුන් තමා, තමන්ගේ දරුවන්ට වත් එයට වඩා හොඳ ජිවිත ගත කරන්න හැකි වෙන්න කියා අධ්‍යාපනය ලබා දෙන්න උත්සහ කරන්නේ. මෙයාල කියන ඔය අපත කට්ටිය ඇත්තටම බෞද්ධ කම නිසා අල්පෙච්චතාවය ජිවිත පැවැත්ම කර ගත්තන් නොවේ. එවැනි මිනිසුන් තමා, තමන්ගේ බිරිඳව රට පටවලා දහ දුක් විඳලා හම්බ කරලා එවන මුදල් වලින් කසිප්පු ගගහ, අල්පෙච්චතා (අපත) ජිවිත ගත කරන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ, මා වගේම තුන්වේල කාල, කරදරයක් නැති ජිවිතයක් ගත කරන ගමන් බ්ලොග් ලියන මෙවැනි අයියලාගේ අල්පෙච්චතාවය පෙන්නන්න ගෙදර චායාරූප කිහිපයක් මේ බ්ලොග් සටහනට දාන්න කියන්න. විකාර නේද? මෙයාල මේවා ලියන්නේ පන්හිඳෙන් පුස් කොළ පොතේ නොවේනේ. ගෙදර අන්තර්ජාල සම්බන්ධතා, රූපවාහිනි, ශීතකරණ තියාගෙන බොරු දොඩවනවා. සාමාන්‍ය මිනිසුනට වඩා පහසු ජිවිතයක් ගතකරන්න හැකි සමාජයක් ගොඩ නගන එක තමයි, රටක ප්‍රධාන බලාපොරොත්තුව විය යුත්තේ. වෛද්‍ය විද්‍යාවෙන් අද ඇවිත් තියන දුරෙන් අපට ආපසු යාමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි අනෙක් දේවලුත්. මෙයාල දරුවන්ට ප්‍රතිජීවක දෙන්නේ නැත්ද? එන්නත් කරන්නේ නැත්ද? අන්තිමට බටහිරටම ඉගෙන ගන්න හා ජිවත් වෙන්න යවන්නේ නැත්ද?

  3. //මොකද පොල් ගෙඩියක් ගෙනාවොත් හැමදාම වගේ ඇතුල නරක් වෙලා. //

    මේ කතාව නම් හරිම ඇත්ත. මොකක් හින්දද මන් දන්නේ නෑ. අපේ ගෙදරටත් පොල් ගෙඩියක් ගෙනාවොත් ඔහොමයි.

    //ඕස්ට්‍රේලියාවේ මිනිසුන් වසර 9 ක් වැඩිපුර ආයු ලබනවා අද.//

    අපේ අම්මා නිතරම කියන්නේ තව ටික කාලෙකින් වයසක මිනිස්සු වැඩිපුරම ඉන්න රට ඔස්ට්‍රේලියාව වෙයි කියලා. :D:D:D

    • ඒක හින්ද තමයි ප්‍රවීනා පලපු පොල් ගන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ පමණක් නොවේ ඇමෙරිකාවේ, යුරෝපයේ හා චීනයේ පවා වයසක ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා. මෙයට හේතුව මිනිසුන් හා ගැහැනුන් ජිවත් වන කාලය වැඩි වෙමින් පවතින නිසා. තව අවුරුදු විස්සකින් පමණ විශ්‍රාම යන වයස අවුරුදු 70 හෝ 80 ව වෙන්නත් බැරි කමක් නැහැ. 🙂

  4. ඉතා හොද සටහනක් හිතන්න බොහෝ දේ තිබෙනවා…ස්තුතියි.

  5. Kenji @ Japan

    ඉස්සර මිනිස්සු කොහොමත් තමන්ගෙ වත්තෙ හෝ අහල පහලක ඇවිදල මැල්ලුමකට කොල ටිකක් හොයා ගන්නව.ඒ දවස් වල කොල මැල්ලුමක් ඕනෑම ගෙදරක පිහුන.ඉස්සර ඕනෑම ඉඩමක ඉබේට වැවුන තිබ්බොටු,තලනබටු,වැටවල් වල ඉබේට වැවුන කුරිංඤං/අගුන කොල වැනි දේවල් සහ කලවම් පලා වලට ගන්න කොල වර්ග තිබුන.පිට කෙනෙක් අනවසරයෙන් කැඩුවත් මොකුත් කිව්වෙ නැහැ.
    ඉස්සර ගේ පෙනෙන මානයෙ දුරක හිටියත්,සුළගට හමා එන සුවදින් කියන්න පුළුවන් හදන ව්‍යංජනය මොකක්ද කියල.
    ඒ කාලේ ළමයි ට තිබුන සැරව ගලන බිබිලි[හොරි]කකුලේ ඇගිලි කරු පැසවපු දේවල් නම් දැන් ලංකාවෙ ගම්බද දරුවන්ට නැති වුනත්,තේ වතු වල දරුවන්ගෙ දකින්න තියෙනව.අන්තිමට දැක්කෙ 2008 ටේ දැන් වෙනස් වෙලාද දන්නෙ නැහැ.

  6. Kenji @ Japan

    ජප්පෝ බල මාළු අමුවෙන් තියා පුච්චලවත් කන්නෙ නැහැ.බලයෝ මාර්කට් එකේවත් මම දැකල නැහැ.
    පිලී සුවද දැනෙන මාලු මෙයාල අමුවෙන් කන්නෙ නැහැ
    සමහර පැතිවල ගංගා වල පාවෙන අවන්හල් ඔරුවේ සිට පාත්තයන් දමා අල්ලගන්න මාළු පනපිටින්ම ලුණු තවරලා පන පිටින්ම අගුරු රස්නෙන් පුළුස්සල කනව.
    ජපනුන් අමුවෙන් [ෂෂිමි]කන්න ගන්න ඉතා මිල අධික නිල්/කහ වරල් ටුනා [ජපන් බසින් “මගුරො”]කියන කෙලවල්ල ගණයට අයිති මත්ස්‍ය ගැන තමයි පන්චේ කියල තියෙන්නෙ.
    තුනියට කපපු කුඩා පෙත්තක් ලයිට් සෝය සෝස් ටිකක තවරල කෝටු දෙකට තෙරපා ගෙන,අනිත් අතින් සකේ ෂොට් එක උගුරට හලාගෙන,මාළු කෑල්ලට වසබි ටිකක් මුහු කරගෙන කටට දමා ගත්තම වසබි සැර හිස් මුදුනින් තප්පරයක් ඇතුලතින් ගොස් දත් වලින් හපන විට දිවට දැනෙනා රසය දන්නේ කාපු එව්වෝ පමණි.

    • ගණන් ගන්න එපා කෙන්ජි, මහල්ලා හා මුහුද ඇමතිගේ කතාවක්නේ. ජපනුන් කන්නේ කෙලවල්ලන් කියා මා නොදන්නවා නොවේ. ලංකාවේ කුඩා කාලයේ මේ මොනවත් නොකෑම නිසා මොලය කුරුවල් වුන අයෙකුගේ කතාවක් තමා මගේ මාතෘකාවට දැම්මේ.
      සකේ නොවෙයි ඕනෙම සැර ජාතියක් ටිකක් ගත්තා නම්, බලයන් උනත් වසාබි (ඕස්ට්‍රේලියානු උච්චාරණය) නැතුව කන්න බැරි කමක් නැහැ. 😀

  7. ජප්පෝ කොහොමත් දීර්ඝායි විඳීමට වාර්තාව තියලා තියෙන්නේ කාලෙක ඉඳන්. මම හිතන්නේ ඒකට දෙන හේතුව ටූනාට වඩා, සී ෆුඩ් කියලයි. ඒකට ඔය නොයෙක් ජාති අඩංගුයි නේද? අනික ඔය ඔමේගා බී සංයෝග හෙමත් මාලු තෙල් වල තියෙනවනේ.

    ඒ කාලේ කොළ ජාති ගඩා ගෙඩි කාලා ඉන්නකොට ලෙඩ රෝග තිබ්බේ නෑයි කියන කතාවෙයි, ඇත්තටම සංභයාලේඛණ වල, අගුණ යයි සම්මත පරිභෝජන රටාවකට හුරුවෙලා ඉන්න නූතන මිනිසාගේ ආයු කාලයේ ඇති වෙලා තියෙන පැහැදිලි වෙනසයි ගැන, මම වෙලාවකට පුදුම වෙනවා.

    • මේක මචන් ගොඩක් දෙනා පටල ගන්න තැනක්. මේ රටක පරමායුෂ නැත්නම් සාමාන්‍ය සාමාන්‍ය මිනිසෙක් ජිවත් වෙන වසර ගණන රටේ සෞක්‍යය ගැන එක මානයක් පමණයි. කලින් හැම රටකම කොළ, අල බතල කාපු පිරිසගෙන් යම් ප්‍රමාණයක් දීර්ග කාලයක් ජිවත් වුනා. හැබැයි ළදරු මරණ, ළමා මරණ, තරුණ කාලයේ මරණ හා විවිධ වසංගත නිසා අකාලේ මැරුණ පිරිස වැඩි නිසා තමයි, ඒ කාලයේ මේ සාමාන්‍යය පහල. මෙය ගණනය කිරීමේ එක ක්‍රමයක් පමණයි. විද්‍යාව බොරුය කියන කට්ටියට මේ ගණන් හැදීමේ ක්‍රමයත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ගමේත්, නගරයේත් සෞක්‍ය සේවා දියුණු වීම නිසා මේ අගය ඉහල ගිහින් තියනවා. අද ලෝකයේ බොහෝ රටවල මහලු ජනගහනය වැඩිවෙමින් පවතින බව ඇස් පනාපිට පෙනෙනවා.

      එයට ප්‍රධාන හේතුව වෛද්‍ය විද්‍යාවේ දියුණුවයි. අනික් කරුණ නම් ඒ කාලයේ, මෙසේ දීර්ග කාලයක් ජිවත් වුනේ ස්වභාවික වරණය යටතේ ගහනයේ හිටිය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය වඩාත් ශක්තිමත් පිරිස. එවැනි අය ජිවිතයේ මුල් කාලයේ හැදෙන ලෙඩ දුක් වලට කොහොමත් ප්‍රතිරෝධියි. අද අප කෘතිමව අපේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවා ගෙන තියනවා.

      සමාජයක ජනගහනයේ සෞඛ්‍යයයට බලපාන කරුණු ගොඩක් තියනවා. එයින් සාමාන්‍ය මිනිසෙකුට වැදගත් වන දෙක තුනක් තමා මීළඟට මා ලියන්න යන්නේ. ජිවන විලාසිතාව කියන්නේ පුළුල් දෙයක්. ජනතා හිතකාමී රජයක් පත්කර ගැනීමේ වුවමනාව හා ඒ සඳහා පෙනී සිටීමත් ජිවන විලාසිතාවේම එක අංගයක්. එවැනි තනි තනි ජිවන විලාසිතා ඇති මිනිස් කාණ්ඩයකින් තමා රටක ජනගහනය නිර්මාණය වන්නේ. මෙය මේ කතාවේ ඉතිරි කොටසින්.