Monthly Archives: April 2013

බල මාළු කන ජපනා!


අද එළවලු කඩේට ගියහම පොල් බෑයක් ගත්තා. කවුන්ටරේ හිටපු තරුණ හාදය කියුවේ “හොඳ තේරීමක්, ගෙදර ගියහම unexpected surprises  ඇතිවෙන්න හැටියක් නැහැ. මේක නම් “එඩිබල්” කියල පේනවා කියල (සුද්දන් පවා භාවිතාකරන unexpected surprises යන යෙදුම අනවශ්‍ය දෙයක්. සර්ප්‍රයිසස් කියන්නේ, බලාපොරොත්තු නොවන දෙයක් නිසා මෙය එකම දෙයක් දෙවරක් කීමක්).

මිනිහා ටිකක් අමුතු පොරක්. තොර තෝංචියක් නැතුව කියවනවා. කස්ටර්මර්ස්ලාටම නොවේ. තමන්ටම වගේ. මිනිහගේ කතාව නම් ඇත්ත. මෙවැනි පොල් බෑ වලට තමා seeing is believing කියන්නේ. මොකද පොල් ගෙඩියක් ගෙනාවොත් හැමදාම වගේ ඇතුල නරක් වෙලා. අනික අපට පොල් ගෙඩියක පොල් වැඩියි. අද පොල් ගාල හදපු සම්බෝලේ පංකාදු පහයි.

මිනිසා දියුණු වීම නිසා, අද නොයෙක් ලෙඩ රෝග වැඩි වෙලා කියලා ලියන කතා හැම තැනම දකින්න ලැබෙනවා. එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමා එක්කෝ හරියට කන්න නොමැති කම. නැත්නම් හරියට කන්න හැකි වුනත්, වැරදි තෝරා ගැනීම්. ඉස්සර ගම් වල හර්ද රෝග, දියවැඩියාව හෝ පිළිකා නැතිය කියන මිනිසුන්ට මේවා ඔප්පු කරන්න දත්ත තියනවාද? මොකද මට නම් මතක ගම් වල හැමදාම දෙතුන් දෙනෙක් අංශ භාගේ හැදිලා  හිටියා. මට විතරක් නොවේ, බිරිඳටත් තියෙන්නේ එවැනි මතකයක්. එවැනි අයට අද කියන හැටියට “ස්ට්‍රෝක්” තමා හැදිලා තියෙන්නේ. මේවා ගැන මොකුත් නොදැන, එදා එවැනි පිරිස් ගෙපිලේ මැස්සක දුක් විඳිමින් මිය ගියා. වැඩි හෝ අඩු රුධිර පීඩනය හැදිලා හිටියත්, මේවා හොයා ගන්න එදා පහසුකම් තිබුනාද? ඒත් නැහැ. අනික දරුවන් කී දෙනෙක් අකාලයේ මිය ගියාද? මෙවැනි දේවල් නිකම් මනස්ගාත වගේ තලු මරලා වැඩක් නැහැ. මොකද හරියටම කියන්න දත්ත හොයා ගන්න ඕනේ.

පසුගිය වසරේ මා කියවපු ලිපියක් මගේ මතකයට නැගුනේ, ඊයේ පෙරේදා කියවපු එක බ්ලොග් සටහනක් දැකීමෙන්. පීරී ගාල එය හොයා ගන්න හිතුනේ බටහිර විරෝධය, “දේශප්‍රේමී බව”, විද්‍යා විරෝධය (බටහිර වෛද්‍ය විද්‍යාවද ඇතුළුව), අඳුරේ ඉන්න කළු බළලෙක් වැනි ජාතික චින්තනය හා නොයෙක් ආගම් වලට තියන අසීමිත භක්තිය නිසා  තමාගේ හිතේ ඇතිවන මනස්ගාත, ඇත්ත ලෝකයේ පවතින තත්වයට කොතරම් දුරස්ද කියා නිකමට කල්පනාවට නැගුන නිසාත්.

ලෝක ප්‍රජාවගේ  සෞඛ්‍යය පිලිබඳ මෙතෙක් කෙරුණ විශාලතම අධ්‍යයනය පිළිබඳවයි එම පර්යේෂණය ලිපිය. මේ අධ්‍යයනය මගින් වසර 2010 දක්නට ලැබෙන රෝග හා මරණ වලට හේතු හා 1970 සිට 1990 දක්වා වසර වල දත්ත සමග සසඳා බලනවා. එයට රටවල් 50 ක විද්‍යාඥයන් 500 ක් දෙනා සහභාගී වී තියනවා.

මේ අධ්‍යයනයේ දී එලිවුන එක කරුණක් තමා, ලෝකයේ පළමු වරට පමණට වඩා ශරීර බර වැඩිවීම, මන්දපෝෂණය අභිබවා ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් වීම. 1990 වසරේදී ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය ප්‍රශ්නය තමා අඩුපෝෂණය හා එමගින් නොයෙක් රෝග වලට හේතුවී දිවිය කොට වීම. අධි බර නැත්නම් a high body-mass index (BMI) ඒ කාලේ සෞක්‍ය ගැටළු ඇති කරන දහවෙනි කාරණයයි.  ඒත් අද වෙනකොට, මන්දපෝෂණය ලෝකයේ රෝග වලට හේතු වන අට වැනි ස්ථානයට වැටිලා තියෙද්දී, අධිපෝෂණය නැත්නම් BMI රෝග වලට හේතු වීමේ හයවෙනි කරුණ බවට පත් වෙලා.

ලෝකයේ සිදුවන මරණ වලින් හතරෙන් එකකට හේතු වන්නේ අධික රුධිර පීඩනය හා හර්ද රෝගයි. මෙය සංවර්ධිත රටවලට පමණක් සිමා වුන ප්‍රශ්නයක් නොවේ. ඒ කොහොම වුනත්, බර වැඩි වෙලා හරි, අද ලෝකයේ මිනිසුන් වෙන කවරදාටත් වඩා වැඩි කලක් ජිවත් වෙනවා.  සමහර රටවල් වල ඇතිවී තියන වෙනස කැපී පෙනෙනවා. මාල දිවයිනේ සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය 1970 වසර හා සසඳන විට, අද වසර තිහකින් (28.4) වැඩි වෙලා. ඉරානයේ මේ වෙනස වසර 21.3 ක්, බංග්ලාදේශයේ මිනිසුන් එදාට වඩා අද වසර 24.1 ක් වැඩිපුර ජිවත් වෙනවා. උතුරු ඇමෙරිකාවේ මේ වෙනස වසර 7.5 යි, දකුණු ඇමෙරිකාවේ 14.3 , යුරෝපයේ මිනිසුන් 1970 හා සසඳන විට වසර 7.9 ක් වැඩිපුර අද ජිවත් වෙනවා . ඕස්ට්‍රේලියාවේ මිනිසුන් වසර 9 ක් වැඩිපුර ආයු ලබනවා අද. අප්‍රිකාවේ ජනතාවගේ ආයු කාලය වසර 13.2 කින් වැඩි වී තියනවා. ලංකාව අයත් ආසියාවේ මිනිසුන් 1970 වසරට වඩා දැන් අවුරුදු 12.9 ක් වැඩිපුර මෙලොවේ ඉන්නවා.

මේ අතරින් විශේෂයෙන් ඉරානය හා බංග්ලාදේශය වැනි රටවල් වල ග්‍රාමීය සෞඛ්‍ය වැඩ සටහන් මේ ආයු කාලය ඉහල යාමට ඉවහල් වී තියනවා. එමෙන්ම ළමා මරණ, උපත් ප්‍රශ්න හා බෝ වන රෝග වලට එරෙහිව ඇතිවී තියන දියුණුව ගොඩක් කැපිලා පෙනෙනවා. සමස්තයක් වශයෙන් ලෝකයේ අවුරුදු පහට අඩු ළමා මරණ 1990 හා සසඳන විට, අද 60% කින් පහත වැටිලා.

මේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන රටවල් ද ලෝකයේ නැතිවා නොවේ. බෙලරුසියාවේ මිනිස් ජිවිතාපෙක්ශාව 1970 හා සසඳන විට අද වසර 1.2 කින් අඩු වෙලා. අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල ආයුකාලය වැඩි වෙලා තියෙන්නේ වසර 1.1 කින් පමණයි. මේකට ප්‍රධාන හේතුව වෙනම ලියන්නම්.

කොහොම හරි අද ලෝකයේ සාමාන්‍ය ජිවිතාපෙක්ශාව අවුරුදු 70.4 යි (සාමාන්‍යයෙන් ගැහැනියක් අවුරුදු 73.3 ක් ජිවත් වෙන අතර පිරිමියෙක් වසර 67.5 ක් ජිවත් වනවා). ජපානය ගත්තොත් එහි ජනතාව තමා, වැඩිම කලක් ජිවත් වෙන්නේ. එහි සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වසර 82.6 ක්. එයට හේතුව බල මාළු කන එකද? ඒ විස්තරය ඊළඟට.

මේ සටහනින් මා කියන්න හදන්නේ වෙන දෙයක්. එය තමා අප ඉස්සර මෙයට වඩා හොඳට නිරෝගිමත්ව ජිවත් වුනා කියලා, මේ දත්ත පෙන්නුම් කරන්නේ නැහැ. අද ප්‍රශ්න නැතුවා නොවේ. හැබැයි අප (මිනිසා) එදා මුහුණ දුන්න බොහෝ සෞඛ්‍ය ගැටළු අද නිරාකරණය කරගෙන තියනවා. එදාට වටා අද රෝග හඳුනා ගැනීමේ හැකියාව ඉහලයි.  එදා සමාජයේ කීප දෙනෙක් දිගායුෂ වැළඳුවා කියලා, සමස්ත සමාජය ගැන ඉන් වැටහීමක් ගන්න බැහැ. මේ දත්ත පෙන්නුම් කරන්නේ මිනිසා එන්න එන්නම වැඩි කලක් ජිවත් වෙනවා කියලයි.

New Scientist, 22/29 December 2012 ඇසුරු කරන ලදී.

Advertisements

13 Comments

Filed under Social