මගේ කලින් සටහන සඳහා පාදක කර ගත්තු කරුණු දෙක තෝරා ගත්තේ හේතුවක් ඇතිව. හැබැයි අපට ඇඟිල්ලෙන් ඇහැට එන්නේ නැත්නම් එය තේරුම් යන්නේ නැහැ. දැන් මේ ප්‍රතිශක්තිකරණයට එරෙහි වන පිරිස ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙසට ගත්තොත් ඉතා සුළු පිරිසක්. මා ප්‍රතිශක්තිකරණය අඩු ප්‍රදේශ කියල කියන ඒවා ඇත්තටම විශාල දිස්ත්‍රික්කයන් නොවේ. ඒ අනුව මෙය විශාල සමාජ ප්‍රශ්නයක් බවට තවම පත් වෙලා නැහැ. මේවා ගැන කියවන්නේ නැත්නම්, මේ ජිවත් වන සමාජයේ එහෙම පිරිස් ඉන්නවාද කියලත් ඔබට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියානු සෞක්‍ය සේවය නිදහස් එකක්. එහි අඩුපාඩු තිබෙන්න පුළුවන් වුවත් ලෝකයේ දැනට තිබෙන හොඳ සේවා අතුරෙන් එකක් යයි කියවෙනවා.
අනික් කරුණ තමා දුම් පානය. මෙයත් අර ප්‍රතිශක්තිකරණය වගේම දැවෙන ප්‍රශ්නයක් නොවේ. සිගරට් නම් “දැවෙනවා” තමයි නමුත් පසුගිය දශක කිහිපය තුල දුම්පානය පහල ගොස් තිබෙනවා පමණක් නොවේ, එය පහල යමින් තියනවා. එයටත් ප්‍රතිපත්ති සම්පාදනයේ හා අධ්‍යාපනයේ ප්‍රභල දායකත්වයක් තියනවා.
මේ කරුණු දෙකම රජයක් පෙරලීමට හෝ පත්වීමට බලපාන ප්‍රශ්න දෙකක් නොවේ. ඇත්තටම ගත්තොත් දුම්පානය කරන පිරිස් තරහා වීම මගින් හානියක් පමණයි වෙන්නේ. එහෙම තියෙත්දිත් මේ නීති දෙකම ඉදිරිපත් කර සම්මත කිරීම මගින් අපේක්ෂා කරන්නේ සමාජයේ පොදු යහපත (common good). එම පොදු යහපත කියන දේ සමහර විට ජනප්‍රිය නොවන්න පුළුවන්. තවත් විටෙක ක්‍රියාත්මක කිරීමේදී ජනප්‍රිය වුවත්, ඒ සඳහා සමාජයේ ප්‍රභල ඉල්ලුමක් හෝ ජනමතයක් නොතිබෙන්න පුළුවන්.
ඇමෙරිකාවේ ස්වයංක්‍රීය ආයුධ මිලදී ගැනීමේදී, මිලදී ගන්නාගේ වතගොත වඩාත් සුපරික්ෂාකාරිව සොයා බැලීමට ගෙන එන ලද යෝජනා එහි සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේප කළා. එම පනතට රටේ බහුතර ජනයාගේ කැමැත්ත තිබුන බවයි කියවුනේ. මෙය පොදු යහපත වෙනුවෙන් ගෙනා යෝජනාවක් බව මා නම් සිතනවා. බහුතරයගේ කැමැත්ත තිබෙන, එමෙන්ම පොදු යහපත සලසන යෝජනාවක් ක්‍රියාත්මක කර ගන්න බැරි වීම සමාජයකට හොඳ දෙයක් නොවේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ජෝන් හාර්වර්ඩ් විසින්, ස්වයංක්‍රීය අවි වෙළඳාම සඳහා තද නීති ගෙනාවේ 1996 වසරේදී සිදුවූ සමූල ඝාතනයකට පසුව. අද පවා ප්‍රධාන පක්ෂ තුනම එම නීති වෙනස් කල යුතු යයි සිතන්නේ නැහැ. එයින් පසුව එවැනි සමූල ඝාතයක් යලි ඕස්ට්‍රේලියාවේ සිදු නොවීමට, එම නීති වල විශාල බලපෑමක් තිබෙනවා කියා හිතන්න පුළුවන්. සමාජයේ අනෙක් කරුනුත් බලපානවා තමා.
ඇමෙරිකාවේ අවි භාවිතය සීමිත කිරීම සඳහා කතිකාවක් ඇතිවුන වෙලාවේ, ජෝන් හාර්වර්ඩ් කියපු මේ කතාව මාත් විශ්වාස කරනවා. එනම්, අප බොහෝ දෙනෙකුට ජිවිතයේ සමහර අවස්ථා තියනවා මල පනින නැත්නම් ක්ෂණිකව අසීමිතව කේන්ති යන. එවෙලෙට ක්‍රියා කරන්නේ නිරවුල් මනසකින් නොවේ. එවෙලේ අතේ තුවක්කුව තියන මිනිහා එයින් වෙඩි තියන්න පුළුවන්. පිහියක් තියන මිනිහා පිහියෙන් අනින්න පුළුවන්. එහි ප්‍රතිවිපාක ඇත්තටම තේරුම් යන්නේ පසුව. ස්වයංක්‍රීය අවියක් තියන මිනිහට කරන්න පුළුවන් හානිය හැමවිටම වැඩියි. තම තමන්ගේ ආරක්ෂාවට තුවක්කු තියා ගන්න ඕනේ කියන ඔලොමොට්ටල චින්තනයෙන් ඇත්තටම එහි අනෙක් පැත්ත, එනම් හැමෝගෙම ආරක්ෂාව නැති වන එක පමණයි වෙන්නේ.
මහජන නියෝජිතයින් ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියා නොකරන වට පිටාවක් තුල රටක අපරාධ, දුප්පත්කම හා විරැකියාව වැනි දේවල් ඉහල යනවා. ඕස්ට්‍රේලියාවේ පවතින නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කල යුතුයි කියා ප්‍රධාන පක්ෂ දෙකම හිතන්නේ නැහැ. ඒ වගේම එවැනි මතයකට බහුතර චන්ද දායකයන්ගේ කැමැත්ත ලැබේවි කියලත් හිතන්න බැහැ. ඒ වගේම ජනතාව අතර විශාල ඉල්ලුමක් නොතිබුනත්. ඇත්තටම විය යුත්තේ (ජනතාව අතර ප්‍රභල ඉල්ලුමක් නැති වුවත්) දේශපාලකයන් පොදු යහපත වෙනුවෙන් ක්‍රියා මාර්ග ගැනීමයි.
ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල වුවත්, රජය පත් කරන ජනතාවට වැඩි බලයක් කුඩා ක්‍රියාකාරී කණ්ඩායම් වලට හිමි වෙන වලකන්න බැහැ. එවැනි කුඩා කණ්ඩායම් ලෙස ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් වෘත්තීය සමිති නැත්නම් විවිධ සමාජ ව්‍යාපාර ගන්න පුළුවන්. හැබැයි මේ කුඩා කණ්ඩායම් වල බලපෑම පොදු යහපතට හෝ අයහපතට හෝ වෙන්න ඉඩ තියනවා. දිගින් දිගටම කුඩා කණ්ඩායම් වල බලපෑම පොදු අයහපත සඳහා නම්, එමගින් යහපත් සමාජයක් සඳහා පාර කපන්නේ නැහැ.
පසු වදන