සමන් මලින් පවන් සැලේ!


ගණන් ගන්න එපා. මා වෙලාව ඇති විට ලියනවා. නැත්නම් නිකම් ඉන්නවා. පසුගිය දවසක ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරේ වෙච්ච දෙයක් තමා, තමන්ගේ මෝටර් සයිකලයේ   හැපුණු කොආලා කෙනෙකුට උදවු කරන්න ගිය මනුස්සයෙකු  ඊට පසුව ආ කාරයක හැපීමෙන් බරපතල තුවාල ලැබීමෙන් රෝහල් ගත වූ පුවත.

මෙතැනදී මට මතක් වෙන්නේ තව කතාවක්. ඒ මීට වසර කීපයකට කලින් ඇමෙරිකාවේ සිදු වුවක්. එනම් දුම්රිය පොලක දුම්රියක් එනතුරු බලා ඉන්න එපිලේප්සි කියන රෝග තත්වයෙන් ඉන්න අයෙකු එක වරම රෝගී තත්වය නිසා දුම්රිය පීලි අතරට වැටීම. ඉන් පසු වුන දේ විශ්වාස කරන්න අමාරුයි .

දුම්රිය පොලේ එකම දුම්රිය බලාපොරොත්තුවෙන් හිටපු තව මගියෙක් අර තරුණයා මතට පැනලා ඉදිරියට එන දුම්රියෙන් එම තරුණයා පහත් කර ගනිමින් ආරක්ෂා කර තිබුනා. මෙවැනි දෙයක් කරන්න හැමටම බැහැ.  ඒ දේ කරපු කෙනා මා දකින්නේ මනුෂ්‍යත්වයේ පරමාදර්ශයක් ලෙස. පසුව කල සම්මුඛ සාකච්ඡා  වලදී ඔහු කියා සිටියේ, එවැනි අවස්ථාවකදී කවුරුත් කරන ප්‍රතිචාරයක් පමණයි ඔහු කළේ කියලයි.

පසුගිය දවස ලූප් හෝල් ලියා තිබුනේ, මාද්‍ය වේදියෙකුගේ වැඩේ වාර්තා කිරීම මිසක්, ගිනි නිවන එක නොවේ කියලා. වචන වෙනස් වෙන්න පුළුවන්. එතැනදී මාධ්‍ය වේදියෙකු වෙන්න පෙර මනුෂ්‍යයෙකු වෙන්න ඕනේ කියන සරල සංකල්පයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය ඇති වෙනවා.

මා මස් කන්නේ මහත් අභිරුචියෙන්. ඒත් සමහර  දාට උදේට මුහුණ සෝදන්න යන විට මුහුණ සෝදන බඳුනේ (sink) මකුළුවෙක් හෝ කුඩා සතෙකු දකින විට, ඌ වතුර සමග සෝදා යවන්නේ නැහැ. අරන් ගොඩින් තියනවා. එයින් මා කිසිවක් බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද කියනවා නම් එවැනි කෘමියෙකු නොවේ කෘමින් දහස් ගණනක් බේත් ගැසීමෙන් එකවර මරා දමන්නත් මා පැකිලෙන්නේ නැහැ. ඇත්තටම අප වර්ෂයක් පාසා වෙන කෙනෙකුගේ උදව්වෙන් කරන්නේ එයයි. මස් කෘතිමව රසායනාගාරයේදී හදා ගන්න පුළුවන් දවසක් එනවා නම් මා හුඟක් කැමතියි.

හැබැයි මිනිසෙකු මැරෙන්න හෝ සියදිවි නසා ගන්න යනවා නම් මා මගේ ප්‍රතිචාරය ගැන දෙවරක් සිතන්නේ නැහැ. මගේ දිවියට කෙලින්ම හානියක් වන්න පුළුවන් නම් මගේ තීරණය වෙනස් වෙන්න ඉඩ තියනවා. තමන්ගේ වෘත්තීය දිවිය තව මනුස්සයෙකුගේ මරණය මතින් හෝ ඉහල දා ගන්න උත්සහ කිරීම මගින් පෙන්නුම් කරන්නේ වෘත්තීය කුසලතා වල අඩුපාඩුවක්ද නැත්නම් සමාජයේ ඉල්ලුමේ පවතින තත්ත්වයද? හදිසියේ මහමග දකින නැත්නම් අර දුම්රිය පොලේ සිදුවුනා වගේ සිදුවීමකදී කෙනෙකුට හිතන්න වෙලාවක් නැහැ. නමුත් කෙනෙකුගේ මරණයක් කලින් දැන ගැනීම වෙනස්. එහිදී අන්තිමට තමන්ට කිසිවක් කළ හැකි නොවෙන්නත් පුළුවන්. ඒත් හිමින් සීරුවෙ එයින් ගානක් කපා ගැනීමට සැලසුම් කිරීම මගින් පෙන්නේ  කුමක්ද? මට පරලොව ගැන හැඟීමක් නැහැ. හැබැයි මෙලොව මා ජිවත් වන ඉතිරි කාලය ගැන හැඟීමක් තියනවා.

Writing is the only profession where no one considers you ridiculous if you earn no money.-Jules Renard

පසු වදන

මා පවා කුඩා පිරිසකට මේ ගැන ලිවීමෙන් කරන්නේ අර මාධ්‍යවේදියාගේ රසිකයෙක් අසන්නෙක් නැත්නම් නරඹන්නෙක්  වීම පමණයි. මේ වගේ ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙන්නේ අපටමයි. මා විවේචනය කරන දේවල් මා කියවන දේවල්. ලංකා ඊ නිවුස් පවා. එයින් මා බලාපොරොත්තු වන්නේ ඒවායේ පවතින තත්වයේ වෙනසක්. එහෙම නොවන ඒවා මා බලන්නේ හෝ කියවන්න වෙහෙසෙන්නෙත් නැහැ. පත්තර, රූපවාහිනි, රේඩියෝ විතරක් නොවේ බ්ලොග් වල පවා පැවැත්ම තියෙන්නේ ඒවා කියවන, අසන හා බලන අය ඉන්න තාක් පමණයි.
Advertisements

12 Comments

Filed under Opinion

12 responses to “සමන් මලින් පවන් සැලේ!

  1. \\\\ඒත් මිනිසෙකු පෙට්‍රල් තමන්ගේ ඇඟට වත් කර ගන්න කම් වත් මා නම් බලා ඉන්නේ නැහැ. \\\\\

    මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ රයිගම්… තමන්ට ඉපදුන දරුවා ටොයිලට් එකට විසි කරලා යන ගෑනියෙකුයි , මිනිසෙකු පෙට්‍රල් තමන්ගේ ඇඟට වත් කර ගන්න කම් බලා ඉන්න කෙනෙකුයි අතරත් වෙනසක් නැහැ…

    මේ ගැන මීට වඩා කියන්න තියේ…ඒත් මේ දවස් වල මේ ගැනම කතා කරලා හරි වෙහෙසයි…

    • වෙහෙස ගන්න එපා. ඒ වගේම නපුරත් ලෝකේ කොහේ සිදු වුනත් “ආ, අරුත් කලේ ඕකයි කියලා නිකම් ඉන්නත් එපා”. මටත් කෙනෙකුව බේරා ගන්න ඉදිරියට එන දුම්රියට පනින්න බැහැ ශේර්මි. හැබැයි එය කරපු කෙනා මා දකින්නේ පරමාදර්ශයක් හැටියට.

  2. අනිවාර්යයෙන් මා එතන උන්නා නම්. පෙට්‍රල් හලාගන්නවත් දෙන්නේ නෑ. සමහර විට මාව මරයි. ඒත් මම ඒ දේ කරන්න දෙන්නේ නෑ. අපි කොච්චර ගුටි කාලා ඇතිද වලි බේරන්න ගිහිල්ලම. දෙදෙනෙක් ගහගන්නවා බලාගෙන ඉන්න පුලුවන්ද? මොකක්ද එතන තියෙන මනුස්සකම.

    • මාතලන්, මාත් දැනට සති කීපයකට කලින් ඔය වගේ “මෝඩ වැඩක්” කළා. එක අතෙකින් මෙහෙම පරිසරයක එය තවත් භයානකයි. ඒ කියන්නේ සමාජයේ සුළුතරයට අයත් වෙන කොට. අපට ප්‍රථමාධාර පාඨමාලාවේදී පළමුවෙන්ම උගන්වන්නේ, රෝගියාට සිහිය තියනවා නම්, මුලින්ම කැමැත්ත ලබා ගත යුතුයි. නැත්නම් කොයි අතට ගියත් ඔබයි අමාරුවේ. ඒකයි මා කියුවේ මෝඩ වැඩක් කළා කියලා. හැබැයි මනුෂ්‍යයකු හැටියට එහෙම මෝඩ වැඩ නොකරත් බැහැ.

  3. ලූප් හෝල් කියාපුදේ මට නම් තේරුණේ උත්ප්‍රාසාත්මකව යෙදූවක්ය කියලයි.

    ඊලඟට මගේ පෞද්ගලික මතය නම් එහෙම ස්ව කැමැත්තෙන් දිවි නසාගන්නා අයට එහෙම කරන්ට ඉඩ දෙන්න ඕනය කියන එකයි.අනික ඒ හාමුදුරුවො කියලම තියනවනෙ මේ කරන්නෙ ආත්ම පරිත්‍යාගයක්ය කියල. එහෙම එකක් වළක්වන්ට අපිට තියෙන අයිතිය මොකක්ද?

    දැක්කනෙ ඒ හාමුදුරුවො බේරගන්ට ආපු එක මනුස්සයෙකුත් ගිණි ජාලාවකින් වෙලුන හැටි. එහෙම අනතුරකට ඇයි අපි හිතා මතා ලක්වෙන්නෙ?

    රයිගම් ලියල තියන අර දුම්රිය මාර්ගයට වැටුණු පුද්ගලයගෙ සිද්ධියයි මේකයි කොහොමවත් සමාන නම් නෑ. ඒ මනුස්සය දිවිනසාගන්ට හිතල දුම්රිය මාර්ගයට පැන්න නෙවෙයිනෙ.

    • මෙතන, රවී පෙට්‍රල් වත්කර ගන්න කලින් කරන්න දේවල් තිබුනා. මා හිතන්නේ මේ හාමුදුරුවන් සිය දිවි හානි කර ගැනීමේ මානසික ගතියක් කාලයක සිටි තිබු කෙනෙකු වන්නත් පුළුවන්. එයට හරකා ගාවා ගැනීම සමහරවිට එස්කියුස් එකක් වෙන්නත් ඇති. මෙතන ජරාම වැඩේ මේවගේ මිනිසුන්ගේ මල කඳන් වලින් හරි ගානක කපා ගැනීමට බලා ඉඳීම. මා මේ කියන්නේ දේශපාලකයන් හෝ ඥාන අසාර කාණ්ඩ නොවේ. මේ පුවත්පත් කලාවේදියා වගේ සාමාන්‍ය මිනිසුන්. දුම්රිය කතාවයි මේකයි කොහෙත්ම සමාන නැහැ. එකක් තමා දුම්රිය පීල්ලට වැටුන එක හිතල කරපු එකකුත් නොවේ. ඒ වගේම බේරා ගත්ත මනුස්සයටත් හිතන්න වෙලාවක් නැහැ. මෙතන දෙදෙනාම කල් තියා ප්ලෑන් කරපු දෙයක්නේ.

      • මෙන්න මචං බේරාගන්න ගිය මනුස්සයාට වෙච්ච දේ.
        http://www.gossiplanka.lk/2013/06/how-mrdias-tries-to-prevent-monk-self.html#more

        • මගේ සටහන අඩුපාඩු සහිතයි මචං. පෙට්‍රල් වත්කර ගන්න කම් බලා ඉන්නේ නැහැ කියන්නේ, මේ වගේ තමන්ව අනතුරට පත්කර ගන්න එක නොවේ. වැඩකරන තැන නීති වලට අනුව මටත් ප්‍රථමාධාර සහතිකය ගන්න ඕනේ වගේම, අවුරුදු දෙකකට වරක් වත් අලුත් කර ගන්නත් ඕනේ. එය තිබුනේ දැනට මාස දෙකකට පමණ පෙර. එහිදී කියන පළමු දෙයක් තමා If at any time the patient’s behavior or the situation poses a treat to you, withdraw from the scene කියන එක. මෙතැනදී වෙන බලා ඉන්න අයෙකුට කරන්න තියන දේ සීමිතයි. මොකද මේ වගේ දෙයක් වෙන්නේ ඉතා සුළු කාලයක් ඇතුලත. ඔබට වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න කලින් එය තව අඩියක් ඉදිරියට ගිහින්. හැබැයි මචං, වෙන සිද්දිය කලින් දන්නා එකා ගැන එහෙම කියන්න බැහැ. ඒ යකා දන්නවා, වෙන්නේ මොකක්ද කියන එකත් ඊළඟ අදියරත්. ඒ සේරම දැනගෙන ගානක් කපා ගන්න බලා ඉඳීම සම්පුර්ණයෙන් වෙනස් කතාවක්.

  4. රයිගම් මේ ප්‍රශ්නය අමුතුම මානයකට යොමු කරලා..

    • නැහැ නලින්, මේ ගැන කවුරුත් ලියා තියනවා. මා ලියුවේ අර කලින් මාතලන්ට ලියුවා වගේ මෑතකදී ලබපු එක අත්දැකීමක් ආශ්‍රයෙන්.

  5. මේක ගැන මේ දවස් වල එක එක අදහස් ඉදිරිපත් වෙනවා රයිගම් දකින්න ඇති. මට මතක් වෙන්නේ මගේ යාලු වෛද්‍යවරයෙක් කියපු කතාවල් . උන් සෙට් එක මෙඩිකල් කොලේජ් එකේ ඉන්නකොට එක ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වලු, “මේ, උඹලා දොස්තරලාවෙන්න කලින් මනුස්සයෝ වෙයල්ලා බං, මනුස්සයෝ වෙයල්ලා.” ඕක මගේ හිතට තදින් කාවැදිච්ච කතාවක්.

    • ඇත්තටම මචං මගේ සටහනෙහි යම් අඩුවක් තියනවා. කලබලයෙන් ලියුව නිසා වෙන්න පුළුවන්. නමුත් උඹ කියන දේ තමයි මෙයින් අදහස් වන්නේ. ඒක ටිකක් දිගට ගෙන ගියොත් මෙහෙමයි. අර easier said than done කියන්නේ. මේකත් එයින් එකක්. අප වගේ සිවිල් බලයක් ගොඩ නගා ගෙන නැති, දේශපාලකයන් හෝ වෙනත් ප්‍රභූ වරුන් නොවන, නළු නිලියන් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවන සාමාන්‍ය මිනිහෙක් එදිනෙදා ජීවිතයේදී මනුස්සකම කියන එක කොතරම් දුරට රැක ගන්න ඕනෙද හා කොතරම් දුරට රැකගත හැකිද කියන ප්‍රශ්නය තමයි මා කතා කරන්නේ.

      මේ ලෝකය “සමන් මලින් පවන් සැලේ” ජාතියේ එකක් නොවේ කියල කිසි කෙනෙකුට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ nasty ලෝකයේ අප කොතරම් හොඳ වෙන්න ඕනෙද කියන ප්‍රශ්නය නොවේ අපට තියෙන්නේ, කොතරම් දුරට nasty වෙන්න ඕනෙද කියන එකයි.

      අර නලින් කියනවා වගේ අප සියලු දෙනාම බ්ලොග් ලියන්නේ රස්සාවක් කරන නිසා. ඒ කියන්නේ ජිවත් වීම සඳහා යමක නිරත වෙනවා. මා කලින් ගොඩක් වාරයක් ලියා ඇති පරිදි රැකියාවක් නැතිවුනහම මිනිහෙක්ගේ පැවැත්ම නැතුව යනවා. එය දන්නා මිනිසුන් එය දන්නවා. නමුත් නොදන්නා එකා දන්නේ නැහැ. ජිවිතයට රැකියාවක් නොකරපු මිනිසුන් සමහරවිට කොහොමද වැඩ කරන්නේ, කොහොමද සමාජවාදී සමාජයක් තනන්නේ, ධනපතියන් ලෝකේ හොඳ වුනේ කවදද යනාදී වශයෙන් අපට උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි එයින් වැඩක් තියනවාද? මොකද එවැනි මිනිසුන් ජිවත් වන්නේ වෙනත් කවුරු හෝ වැඩකරන නිසා.

      පසුගිය කාලේ ලංකාවේ වැඩ වර්ජනයට මිනිසුන් සහභාගී නොවුනා යයි චෝදනා තිබුනා. ඒ වගේම බංග්ලාදේශයේ අර ජරා අනතුරකින් මිනිසුන් බොහෝ ගණනක් මැරුණ වෙලාවේ කවුරුත් විස්සෝප වුනා. මා බංග්ලාදේශ පොරක් එක්ක මා කතා කලහම කියුවේ දවසට ඩොලර් එකට කරන රස්සාව නැති කර ගන්න කිසි කෙනෙක් කැමති නැහැ, මොකද ඒ තැන ගන්න තව දහස් ගානක් ඉන්නවා කියල. එය ඛේදවාචකයක් තමා. නමුත් අප අමතක කරන්න නරකයි. බිමට වඩා පැදුර හොඳයි කියා. ආර්ථික අර්බුධ කාල වල රස්සා කොහොමත් නැති කර ගැනීම අනතුරුදායකයි. රස්සාවක් තියන කම් ණයට අරන් පසුව දෙන්නම් කියලා හෝ විදුලි බිල ගෙවන්න පුළුවන්. හැබැයි රස්සාව නැති වුනොත් කවුරුවත් ණයක් දෙන්නේ වත් නැහැ. එම යතාර්ථය අප අමතක කරලා වල් පල් ලියුවට වැඩක් නැහැ. සටනකින් තොරව දිනුමක් නැහැ තමා. නමුත් ලෝකේ ගොඩක් වෙලාවට අමාරුවේ වැටුනහම කිසිවෙක් නැහැ.

      දැන් එහෙම ලෝකයක අප මනුස්ස කම සම්පුර්ණයෙන් අමතක කරලා ජිවත් විය යුතුද? ඒ වගේම එහෙම අමතක කළේ නැත්නම් අපේ පැවැත්ම (මනුෂ්‍ය වර්ගයාගේ නොවේ අදාළ පුද්ගලයාගේ) අහෝසි වෙනවාද? අන්න එය තමා අර ගිනිගත් හාමුදුරුවන්ගේ ප්‍රශ්නයේදී මගේ හිතට නැගුනේ. මෙය මගේ අත්දැකීමක් හෝ දෙකක් ඇසුරෙන් ලියුවානම් මේ කතාව ඕප දූපයක් වෙනවා. මොකද එවැනි කතා ජිවත්ව ඉන්න මිනිසුන්ට හා ගැහැනුන්ට සම්බන්ධ නිසා. මිට වසර ගණනාවකට කලින් ගත් එවැනි තීන්දුවක් නිසා, මේ ළඟදිත් මනුස්සයෙක් මට මගේ අධ්‍යාපන සහතිකත් මතක් කර මී හරකෙක් කියා බැනලා තිබුන බව මට එම කතාව අහපු කෙනාම කියුව. මේක ඉතා කුඩා ලෝකයක්. මා මේ කියන්නේ ජීවිතයත් මරණයත් තීරණය කෙරෙන දෙයක් නොවේ (ඒ වගේ තමා). ඒ වගේම ක්ෂණිකව හිතලා තීරණයක් ගන්න වුන අවස්ථාවකුත් නොවේ. හොඳට හිතලා කල් යල් අරගෙන තීරණයක් ගන්න පුළුවන් සාමාන්‍ය ජිවිතයේ අපට හමුවන තවත් අවස්තාවක් ගැන.
      එවැනි සමහර අවස්ථාවල අප මැදිහත් වීමක් කරන්නේවත් නැහැ. මොකද මැදිහත් වීම තව ප්‍රශ්න වලට පාර කපන්න පුළුවන් කියා අප හිතන නිසා. සමහර විට මැදිහත් වෙනවා. එයිනුත් වරදකරු වෙනවා. හැබැයි මේ තැන් දෙකේදීම අප මුලිකත්වය දෙන්න ඕනේ මනුස්ස කමට නොවේද කියන එකයි මගේ කතාවේ අරුත. දිගට ලියුවෙඋඹට පිළිතුරක් ලෙසම නොවේ. සටහන තව ටිකක් ඉදිරියට ගෙන යන්නයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s