හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once (3a)!


සමහර දේවල් කෙලින්ම කියන්නේ නැතුව, අපට  සංජානනය වන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ කුඩා කාලේ ඉඳන් පුරුදු කරලා තියන විදිහ අනුව වෙන්න පුළුවන්. මොකද අපට ඡේදයක් දීලා, ප්‍රශ්න අහනවා ඒ ඇසුරෙන් උත්තර ලියන්න. මෙතන වැඩිපුර හිතන්න දෙයක් නැහැ. අර ප්‍රශ්න වලට උත්තර අර ඡේදයෙන් නිකම්ම හොයා ගන්න පුළුවන්. මා සමහර පන්තිවලදී ඉංගිරිසි ඡේදය මොකුත්ම කියවලා තේරුම් ගන්නේ නැතුව, ප්‍රශ්න වලට ඡේදයෙන් උත්තර දීලා තියනවා.

අපට එදිනෙදා ජිවත් වන්න මොනවාද ඕනේ වන්නේ? ඔය සංඛ්‍යා ලේඛන මතක තියා ගන්න අවශ්‍යද? රටක පාවිච්චිවන මෝටර් රථ සංඛ්‍යාව කොපමණද කියලා දැන  සිටීම අවශ්‍යද? මේවා එතරම් අවශ්‍ය දේවල් නොවේ. හැබැයි කෙනෙක් හිතනවා නම් මීට අවුරුදු ලක්ෂයකට පෙරත්, ගොවිතැන් බත් කරගෙන මිනිසුන් හිටියා කියලා, එය නම් එතරම් හොඳ දෙයක් නොවේ. ඒ කාල වකවානු ගැන සරල වැටහීමක් තිබීම වැදගත්.

මේ ලෝකේ වෙන්නේ මොනවාද, මිනිසුන් කරන්නේ මොනවාද, අප ඉගෙන ගන්න අවශ්‍ය මොන වගේ ක්ෂේත්‍ර ද කියන ඒවා ගැන ටිකක් අවදියෙන් ඉන්න ඕනේ. වෙන මොකටවත් නොවේ, එය ජීවිතය පහසු කරනවා . මගේ කලින් සටහනේ ප්‍රධාන අරමුණ වුනේ මේ අදහස කියන එක.  එහෙම දෙයක් කියන්න මට වෙබ් අඩවි පීරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම පාරේ දුවන වාහන ගැන මොකුත් නොකියවා ලියන්න පුළුවන්. ෆෝර්ඩ් සමාගම ඕස්ට්‍රේලියාවෙන් යන වග වෙබ් අඩවි පීරලා බලන්න අවශ්‍ය නැහැ. මොකද එය පසුගිය දවස් වල ප්‍රධාන පුවතක්. ඒ වගේම මිට්සුබිසි සමාගම වැහුවා කියන එකත්, ඒ දිනවල ප්‍රධාන පුවතක්. හෝල්ඩන් හා  ටොයෝටා සමාගම් සේවකයක් ගණන අඩුකරගෙන යනවා කියන එක ගැනත් අපට නිතර අසන්නට ලැබෙන පුවත්. ඇඩිලේඩ් හි හෝල්ඩන් කම්හලේ සේවක පිරිස අඩුකරන එක ගැන ඊයෙත් කියවුනා. 

මෙතැනදී  අප තේරුම් ගන්න ඕනේ, සරල සත්‍යය, ඒ කියන්නේ ඇස් පනාපිට පෙන්න තියන දේ මොකක්ද, අමු බොරු කියන්නේ මොනවාද කියලා. මහාචාර්ය කෙනෙකුගේ වැටුප ඩොලර් තිස් දාහයි කියන කොට අමු බොරුවක් කියල වෙබ් අඩවි පීරන්නේ නැතුව කියන්න පුළුවන්. අද ඉස්සරට වඩා කුඩා කාර් මිනිසුන් මිලදී ගන්නවා කියන එකත් ඇත්තක්  බව වෙබ් අඩවි පිරන්නේ නැතුවම කියන්න පුළුවන්. ඒ වගේම පාරේ දුවන මිට්සුබිසි මැග්නා කියන රථ වර්ගයේ වියැකී යාම ඇස් දෙකෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්. ෆෝර්ඩ් ෆැල්කන් කාර  පාරවල් වල පෙරට වඩා ප්‍රතිශතයක් ලෙස  අඩුවෙන් දකින්න හැකි බව ඕනෙම කෙනෙක් පාරට බැස්සහම පේන දෙයක්.

මෙහෙම දේවල් අපට එදිනෙදා ජීවිතයේදී හමුවන ඇසෙන දේවල්. ඒවා ගැන කියවනවා නම්, ඒ කියන්නේ ප්‍රවුර්ති ගැන අවදියෙන් ඉන්නවා නම්, පත්තරයක් ඉඳහිට හෝ කියවනවා නම්, ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙනවා හෝ නරඹනවා නම්, මේ සමාජ ජාල කියවනවා නම් මෙවැනි දේවල් ගැන ටිකක් වැටහීමක් ලැබෙනවා. පරිශ්‍රමයක් දරන්න අවශ්‍යත් නැහැ.  ආචාර්ය උපාධි කරන්නත් ඕනේ නැහැ.

පොත පත කියවීම එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අවශ්‍ය නොවන අයටත්, මේ වගේ අවට වෙන්නේ මොනවාද කියල දැන සිටීම සමහරවිට ජීවිතයත් මරණයත් අතර තීරණයක් හෝ තමන්ගේ ජිවිකාවට කෙලින්ම බලපාන දෙයක් වනවා. දැන් අවුරුදු දෙකක් ලංකාවේ ධීවරයන් සුළි සුලං දවසක මුහුදු ගිහින් ජිවිත නැති කර ගත්තා. මෙවැනි අවස්තාවක ඔවුනට කලින් දැනුම් දෙන ක්‍රමයක්, හදන්න කාටවත් අවශ්‍ය තාවයක් නැති වීම පුදුමයට කරුනක්ද?

ඒ වගේම විශාල පරිශ්‍රමයක් දරලා වගා කරලා අස්වැන්න විකුණා ගන්න බැරි වීමත්, හැම වසරකම වාගේ සිදුවන දෙයක්. මෙතනදීත් යලි යලිත් මේ වගේ දේවල් සිදු වීමෙන් පෙනෙන්නේ කුමක්ද?

මේ අවස්ථා  දෙකේදීම එක එක මිනිසා ගත්තොත් එයාලට තමන්ගේ ආරක්ෂාව පිණිස ක්‍රමවේදයක් හදා ගන්න බැහැ. මොකද ධීවරයන්ට වෙනත් රටවලින් දැනුම් දෙන කාලගුණ වාර්තා ලබා ගන්න හෝ තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම වගා කරන්නන්ටත් මේ කන්නයේ වැඩිපුරම වවන්නේ මොනවාද, වර්ෂාපතනය කොයි වගේ වේවිද, කොතරම් පොහොර දමන්න අවශ්‍යද කියන ඒවා ගැන තනිවම ගණනය කරන්න අමාරුයි.

මෙවැනි තොරතුරු සාමාන්‍ය ජනයාට ලබා දීම සඳහා වෙනම ආයතන පිහිටුවා තියනවා. එමගින් බලාපොරොත්තු වන්නේ අන්තිමට රටේ මිනිසුන්ගේ ජීවිකාව කරගෙන යාම වඩාත් පහසු කරලීමයි. එමගින් වාසි වන්නේ අර රැකියාවල නියැලෙන මිනිසුන් කොට්ටාශයට විතරක් නොවේ.

හැබැයි තමන්ගේ මල ඥාතින් වෙනුවෙන් හා විසි කරන්න සිදුවුණ අස්වැන්න වෙනුවන් ටික කලක් කඳුළු සැලීම හැරුණු කොට, තමන්ගේ චන්දය පාවිච්චි කරන අවස්තාවක මේ වගේ දේවල් ඒ අයගේ ඔළුවට නිකමට වත් එනවා කියලා කිසිම මැතිවරණයක අන්තිම ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ නැහැ. ඒකයි  මේ වගේ බ්ලොග් සටහන් ලිවිම, අර මල් වැවීම දෙයක් වගේම විනෝදාංශයක් විතරක්ම වන්නේ.

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once (3a)!

  1. Kenji @ Japan

    මොල හෝදන්නො වැහිවහල ඉන්න රටේ ජනතාවට සති 2 න් ඕනෑම දෙයක් ඒ අය අමතක කරවනව.
    ඇමතිලා/උප ඇමතියො/උපදේශකයො පදුරු ගානට.
    ඔය විසි කරන අස්වනු වලට හරි වැඩ පිළිවලක් යෙදෙව්වා නම් කි දෙනෙක් ගොඩ ගන්න පුලුවන්ද?

    • මෙතන කෙන්ජි ටිකක් හිතන්න දෙයක් තියනවා. සිරිමාගේ කාලේ ලංකාව නියැන්ඩතාල් යුගයට ගියා යයි කියන කට්ටියට නොතේරෙන දෙයක්. ඒ කාලේ තිබුන ආනයන සීමා කිරීම්, ඕනේවාට වඩා දුර ගියා තමයි. හැබැයි ලෝකේ කොයි රටක වත් Primary Industries: agriculture, livestock and fisheries කියන දේවල් ආණ්ඩුවේ (නැත්නම් ජනතාවගේ) ආධාර නැතුව පැවැත්මක් නැහැ.
      මේක දාම ක්‍රියාවලියක්. එතකොට මුළු ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ එක දෙයකින් විතරක් ගණනය කරන්න බැහැ. දැන් නුවර එළියේ අල වවන ගොවියාගේ, අල කිලෝව මිලෙන් ඉන්දියාවෙන් හෝ චීනයෙන් අල කිලෝවක් ගෙන්වනවාට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි නුවර එළියේ කරන්න වෙන රස්සාත් නැහැ. අර අල වලින් ජිවත් වෙන්නේ ගොවියා විතරක් නොවේ. අල ප්‍රවාහනයට කූඩ හදන, ප්‍රවාහනය කරන, පෝර හා කෘෂි රසායන විකුණන, අල ගලවන ආදී වශයෙන් තවත් කාණ්ඩ ගණනාවකට ජිවන මාර්ගය සපයනවා. මේ එකක් වත් ඉන්දියාවෙන් අල ගෙන්වූවා කියලා, නුවර එළියේ ජනනය වෙන්නේ නැහැ.
      අස්වැන්න ගත්තොත් දිවයින පුරා බෙදා හරින ක්‍රම වේදයක් නැති වීම එකක්. මේවා පාලනය වන්නේ වෙළඳ අවශ්‍යතා අනුව නොවේ මාෆියා කාරයන් විසින් වීම එක හේතුවක්. එයට විසඳුමක් ලෙස තමා සතොස හැදුවේ. අනික තමා, එකම ප්‍රදේශයේ, එකම කන්නයේ සියලුම ගොවියන් විසින් එකම වර්ගයේ බෝග වගා කිරීම නිසා, ඉල්ලුමේ අගය පහල යවා ගැනීම.
      තව එකක් තමා කුඩා ගොවියෙකුට, තම වපසරියේ ඉදිරියට ලැබෙන වර්ෂාපතනය, අනික් ගොවියන් වගා කරන දේවල්, ඉදිරි වර්ෂයට අවශ්‍ය වන්නේ මොන වර්ගයේ බෝගද කියන මේ දේවල් ගැන ගණනය කර ගන්න අමාරුයි. මේවා සපයන පෞද්ගලික හෝ රජයේ ආයතන තියෙන්න ඕනේ. ඒවායේ ක්‍රියාකාරිත්වයක් නැතිවීම ප්‍රශ්නයක් වන්න පුළුවන්.
      කතන්දරේ එයින් ඉවර වෙන්නේ නැහැ. බෝගයකට පොහොර හෝ වෙනත් කෘෂි රසායන යොදන විට එය එම බෝගයට, කන්නයට, පසට, වවන කන්නයට, ඇතිවන හා ඇතිවිය හැකි වල් පැල හෝ කෘමි උවදුරු වලට අනුව වෙනස් වන්න ඕනේ දෙයක්. ඉදිරියට ලැබෙන්න තියන වර්ෂාව අඩු නම්, යෙදිය යුතු පොහොර ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මොකද බෝගයට උරා ගන්න ඇති හැකියාව අඩු වෙන නිසා. ඒ කියන්නේ ආක්කරයට කිලෝ ග්‍රෑම් සියයයි කියා හැම බෝගයටම, හැම කන්නයටම, ඕනෙම ප්‍රදේශයකට පෝර දාන්න බැහැ. ලංකාවේ මේවා ගැන ඕනෙවටත් වඩා පර්යේෂණ කෙරිලා හා කෙරෙමින් තිබුනත් බිම් මට්ටමේදී ගොවියන් හිටු කියලා බෙහෙත් ගැහීම, පෝර දැමීම දැක ගන්න පුළුවන්. මේවා තව කියන්න පුළුවන් වුවත් දැනටම දිග වැඩි නිසා තිත තියමි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s