Monthly Archives: July 2013

ඇල්මෙන් අකුරට යනවිට, පුතුනේ නුඹ මුල් පොත වෙනවා! Winner takes it all?


Mark

මා මිට පෙර මගේ සටහනක ලියුවා ඕස්ට්‍රේලියාවේ එක්තරා ලාංකිකයෙකු තමන්ගේ දරුවා පෞද්ගලික පාසලකට යවන නිසා, ඔහුට රජයෙන් දීමනාවක් දිය යුතුයි කියුව කතාවක්. අපේ කකා කියුවේ, එයාව ඔහෙම තියා ගන්න කියලා. එවැනි අය මට තියා ගන්න කොහොමටත් අවශ්‍ය නැහැ. මොනවා වුනත්, සමාජයේ තිබිය යුතු “සෝෂල් ජස්ටිස්” නැත්නම් සමාජ ආරක්ෂණ පද්ධති මා ඉහලින්ම අගය කරන කෙනෙක්. එය මා ජිවත් වන රට අනුව හෝ මගේ අතේ හැකියාව අනුව වෙනස් වන දෙයක් නොවේ. 

අරක වුනා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ, මේක අරම වුනා නම්, අරක මෙහෙම වෙන්නේ නැහැ ආදී වශයෙන් ජීවිතය ගැන නොයෙක් සිහින මවන්න පුළුවන්. එය එතරම් ඵලදායක දෙයක් නොවේ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. එනම්, නිදහස් අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් ලංකාවේ නොමැති වුනා නම්, මගේ ජීවිතය අදට වඩා වෙනස් වෙන්න තිබුන ඉඩ කඩ ඉතා වැඩියි. ඒ වගේම මා නිදහස් අධ්‍යාපනය ලබපු රටවල් තුනෙන් එකකයි, මා අන්තිමට නැවතිලා ඉන්නේ.

අපට තෝරා ගැනීම කරන්න පුළුවන් දේවල් ජිවිතයේ තියනවා. බැරි දේවලුත් තියනවා. උදාහරණයකට අප ඉපදෙන්නේ මුදල් ඇති හෝ නැති දෙමාපියන්ටද කියන එක තෝරා ගන්න අපට බැහැ. ඒ වගේම කළු හමක් සහිතවද, නැත්නම් සුදු හමකින් ද ඉපදෙන්නේ කියන එකත් අපට තීරණය කරන්න බැහැ. මෙවැනි ගොඩක් දේවල් තියනවා.

සමාජයේ ඉන්න සියලුම දෙනාට (වරප්‍රසාද සහිතව හා රහිතව ඉපදෙන) මූලික අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා නීතියෙන්ම සහතික කිරීම නමැති සමාජ රක්ෂණය මා දකින මිනිස් ශිෂ්ටාචාරයේ ඉතා යහපත් අංගයක්. එවැනි රක්ෂණයක් තිබෙන සමාජයක්, නැති එකකට වඩා හැම අතින්ම යහපත්  කියා මා පෞද්ගලිකව හිතනවා.

සමහරුන් කඳු මාරු කිරීමෙන් පසු, පුල්ලිත් මාරු කර ඒකීය පුද්ගලයාගේ පැවැත්මක් ගැන ප්‍රලාප කියනවා. තමන්ගේම ඉතිහාසය අමතක කර, වෙනත් පෞද්ගලික කතාන්දර සහිත මිනිසුන්ගේ සිතිවිලි, තමන්ට ආරෝපණය කර ගන්නට උත්සහ කරන මේ වගේ ව්‍යායාමයන් මා දකින්නේ ඛේදවාචකයන් ලෙස. ජිවත් වන සමාජයට වඩාත් ගැලපෙන්න උත්සහ කිරීමක් ලෙස හිතන්න පුළුවන් වුවත්, මේ සමාජයෙන් පැන නැගුන මිනිසුන් බහුතරයක් මෙයාලට වෙනස් කියලයි මා නම් දකින්නේ. මෙයත් අර අමුඩේ ගහගෙන කුඹුරු කෙටුව තාත්තලාගේ, පුත්තුන් “ආ, අමුඩේ, ඒ මොකක්ද? කියල” අහනවාට වැඩිය වෙනසක් නැහැ.

අපරාධකරුවන්, අපතයන් හා නියන්ඩතාල්වරු වැඩිපුර ඉන්න සමාජයක, ඒකීය පුද්ගල නිදහසක් කතා කරන්නවත් පුළුවන් කමක් තිබේවි යයි මා හිතන්නේ නැහැ. සාමුහික උත්සාහයන් මගින් එවැනි යුගයන් පහු කර ඇවිත් ඉන්න සමාජ වල ඉඳන්ම, මේවා ගැන කතා කරන එක එක අතකින් සරදමක්. පොත් වලින් අර ගත්තු ඒවා ලියන විට දාර්ශනකයන් වගේ පෙනෙන මෙවැනි “ඒකීය පුද්ගලයන්” ඔවුනගේම අදහසක් කියන විට පෙන්වන නොමේරූ කම, අපට ඔවුනගේ සැබෑ ස්වරූපය පෙන්වනවා. අර හිමාලයේ ඉරිසිවරුත් කියල තියෙන්නේ කොකුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට කියල. අන්න ඒ වගේ.

(කලකට පෙර ලියන ලද්දකි).

https://www.youtube.com/watch?v=s-VlRXGATh8

18 Comments

Filed under Education, Lifestyle, Opinion, Social