මා නිසා ඔබ නොපිරූ පෙරුම්! We all are “a little rough around the edges”!


බ්ලොගයක් ලියන හේතු කොතරම් තියනවාද? මිලියනයක් තියෙන්න පුළුවනි. නයි ඇරීම, මෝඩ ආතල් ගැනීම, පොරත්වය පෙන්වීම, මඩ ගැහීම, පැණි පෙරීම, වෙළඳාම් කිරීම, යටිමඩි ගැහීම,  නිර්ධන පන්ති විප්ලවය දියත් කිරීම, ඒකාධිපතියන් පලවා හැරීම,  රිපබ්ලිකන් වාදය පැතිර වීමට උත්සහ කිරීම,  සරල දිවියකට යන්න අඬ ගැහීම, ලෝක සාමය උදා කිරීම, අප්‍රිකාවේ දුප්පත්කම නැති කිරීම හා  පරිසර සංරක්ෂණය ඉන් කිහිපයක් වෙන්න පුළුවන්.

ඇත්තම කියනවා නම්, මට නයි අරින ලක්ෂණය උපතින් පිහිටලා තිබුනේ නැති වීම, ජිවිතයට ගොඩක් අපහසුතා එක් කරන්නක් උණා. ඉස්සර සමහරුන් නයි අරින විට, මා ගොනෙක් වගේ කට පියා ගෙන ඉන්න අවස්ථා ගැන මටම අනුකම්පා දනවන කරුණක් වුනා. අනික තමා ලාවට වගේ නයි අරින්න පුළුවන් කම වෘත්තීය දිවියට පවා වැදගත් වන කුසලතාවයක්. පොරත්වය පෙන්වන්න තරම් දෙයක් මට නැති වීමත් කනගාටු දායක දෙයක්. මඩ නම් ඉඳලා හිටලා ගහනවා, ඒත් හැමදාම කරන්න බැහැ. පැණි පෙරන කාලය පහු උනා. වෙළඳාම කියන “ස්කිල් එක” නැහැ.  යටිමඩි ගහන්න නිකම් බැහැනේ. එයටත් හොඳ කුසලතාවයක් තියෙන්න ඕනේ. ඔය ගමක හේනක් කොටාගෙන ඉන්න සරල දිවියට මගේ කැමැත්තක් නැහැ. කොහොමත් හේනේ අට්ටාලේ ඉඳන් බ්ලොග් ලියන එක ලෙහෙසි නැහැ.

අප්‍රිකාවේ දුප්පත්කම නැති කරලා, පරිසරයත් සංරක්ෂණය කරන ගමන් ලෝක සාමය උදා කරන්න තිබුනා ලෝක රූප සුන්දරී තරඟයට ඉදිරිපත් වෙන්න අවකාශය තිබුනා නම්. පන්චිකාවත්තට ගිහින් උප්පැන්නේ වෙනස් කර ගත්තත් අනික්වා වෙනස් කර ගන්න පරක්කු වැඩි වීම ප්‍රශ්නයක්. නිර්ධන පන්ති ආඥ්යාදායකත්වයකට තියා මොන ආඥ්යාදායකත්වයකට වුවත්  මා අකමැතියි. රිපබ්ලිකන්වාදය පතුරවන අය ගැන පුදුම කේන්තියි. ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මෝඩ ආතල් ක්ෂේත්‍රය. මේ මෝඩ ආතල් කියන්නේ මිතුරු මිතුරියන් ඇසුර, මුද්දර එකතු කිරීම හා මල් වැවීම වගේ තවත් එක විනෝදාංශයක්. ඇත්තටම අනෙක් සියලුම උප විෂය පථයන් වැටෙන මහා ක්ෂේත්‍රය තමා මේක.

දැන් එමු ටිකක් විතර සිරා කතාවකට. අපට සමාජයේ පරමාදර්ශ හොයා ගන්න බැහැ. ඒ වගේම අපට වෙන්න බැරි කෙනෙක්, අනුන්ගෙන් බලා පොරොත්තු වන එකත් වැරදියි. මේ ලියන දේවල් නිසා අනුන් වෙනස් වෙන්න හැකියාවක් නැති බව මා විශ්වාස කරනවා මෙන්ම, බ්ලොග් ලිවීමෙන් එහෙම උත්සාහයන් ගැනීමද තේරුමක්  නැති දෙයක්. ඒක එහෙම වුනත් මා විශ්වාස කරනවා, බ්ලොගයක් කියන්නේ “interactive” මාධ්‍යයක්. මේ සමාජ ජාල වල තියන අනෙක් ජනමාධ්‍ය වල නොමැති එක අද්විතීය ගුණාංගයක් තමා එය. අද අනෙක් ජනමාධ්‍ය සම්ප්‍රදායෙන් බැහැරව හේත්තු වෙමින් ඉන්නේ මේ ගුණාංගය ප්‍රයෝජනයට ගැනීමටයි. පරිසරයෙන් ඉගෙනීම කියන්නේ මේ වගේ දේවල් වලට.

ඉගෙනීම කියන්නේ ඔය පාසල්, පන්සල් හෝ සරසවි ගිහිල්ලා කට පාඩම් කර විබාග සමත් වීමම නොවේ. එහෙම දේවලුත් වැදගත් තමා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ තමන්ගේ කුඩා කාලයේ කොග්ගල අවට දැකපු ජෛව විවිධත්වය හා පරිසරයේ ඇති චමත්කාරයට හේතු වුන කරුණු පසු කාලෙක තමන්ම පොත් කියවා සොයා ගත්තා. ඒ ලංකාවේ විද්‍යා අධ්‍යාපනයක් කියා දෙයක් නොතිබුන අවධියක. ඒ විතරක් නොවේ, ඔහු එම කරුණු සිංහලයෙන් ලියන්න උත්සහ කලත්, ඒ කරුණු තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ජනතාවක් එදා හිටියේ නැහැ. පරිසරයේ පමණක් නොවේ, මිනිස් සමාජයේ අනවරත වෙනස් වීමත්, එහිදී නොනැසී ඉතිරි වීමට හේතු වන කරුනුත් තමා ඔහු නවකතා මාර්ගයෙන් කියන්න උත්සහ කළේ. අද ඉන්නේ ඒ කාලේ ඉගෙන ගෙන, රස්සා කරලා විශ්‍රාම කාලේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන පිරිස්.

මහා සොයාගැනීම් කළ සමහර විද්යාඥයනුත් එම සොයා ගැනීම් වලට යොමු වුනේ, පරිසරයේ නිරීක්ෂණ වලට හේතුව සොයා යාමෙනුයි. මේක තමයි අමාරුම දේ. ඒ කියන්නේ පරිසරය ඉගෙනීමත්, ඉගෙන ගත්ත දේ පරිසරයට නැත්නම් ඇත්ත දිවියට ගලපාගැනීම. දෙපිට කාට්ටු චරිත වලින් සමාජය පිරි තියෙන්නේ මේ ගලපා ගැනීම දකින්න නැති නිසයි. මාත් හැමදා උත්සහ කරන්නේ තියන දෙපිට කාට්ටු බවෙන් මිදීමටයි. එය ලෙහෙසි නැහැ.

සමහරුන් බලා ඉන්නවා සමාජවාදය එනතුරු “හරියට” ඉගෙන ගන්න. එහෙම බලා සිටියා නම් මේ ලෝකේ  මාක්ස්ලා, ලෙනින්ලා, ට්‍රොස්කිලා, මාඕ සේතුන්ලා පමණක් නොවේ ඔය අනෙක් පොඩි කට්ටියත් සිටින්න විදිහක් නැහැ. ඉගෙනීම සමාජවාදී හෝ ධනවාදී යයි වෙන් කරන්න බැහැ. එහෙම වෙන් කෙරුවා නම්, ඔක්තෝබර  විප්ලවයක් මේ ලෝකේ නැහැ. සමහර විෂය පථයන් ධනවාදී ඒවායි සලකපු කාලයක් සෝවියට් පාලනයේ තිබුනා. පසුකාලයේ එය වැරදි යයි එයාලම තීරණය කළා. එහෙව් කොට, මේ මල්ලිලා බලා ඉන්නවා “හරියට ඉගෙන ගන්න” කාලය එනතුරු. එවැනි දවසක් ඒ අයට කිසිදා එන්නේ නැහැ. ඒ නිසාම, ඒ අය බලාපොරොත්තු වන සමාජවාදය කවදාවත් එන්නෙත් නැහැ. මොකද හරිනම් අද අවශ්‍ය වන්නේ ලෙනින්ලාට වැරදුනේ කොතනදැයි හොයා ගන්න පුළුවන් අය.

නිදහස් අධ්‍යාපනය, සිංහලයෙන් ඉගැන්වීම වගේ දේවල් නිසා යමක් කමක් කර ගන්න පුළුවන් තත්වයකට පත්වුණ බොහෝ දෙනා, එම කරුණුම ගර්හාවට ලක් කරනවා. යටත් විජිත සමයේ, බල්ලාට දමා තිබුන දේශිය වෙදකම, තමන් අදහන ආගම, දේශිය නම් වැනි දේවල් වලට නැවත ගෞරවාන්විත බවක් ලබා දෙන්න වැඩ කරපු පිරිස් වලට ගරහන්නේ, මා වැනි එවැනි දේවල් ජිවිතයේ අත්‍යවශ්‍ය සංගටක කර ගත්ත පිරිස් නොවේ, ඒවා මගින් ජීවිකාව කර ගන්නා, ආගම් කරට අරන් අදහන පිරිස්ම වීම නම් සරදමක්.

මේ අයම රටකට මහා විනාශයක් ගෙනදුන් වෙනත් මිනිසුන් මල් තබා පුදනවා. මා වෙනස් නොවන අය යයි අදහස් කළ එක කොට්ටාශයක් ඔවුන්. ඒ වගේ පිරිස් අපට වෙනස් කරන්න පුලුවන්ද? ඔබට හිතෙනවා නම් උත්සහ කර බලන්න පුළුවන්. ඒත් මා විශ්වාස කරන්නේ නැහැ.

අද ප්‍රවුර්ති දෙකක් තමා රුසියාවේ ජනාධිපති සමලිංගික “ප්‍රචාර” තහනම් කෙරෙන නීතියකට අත්සන් කිරීම හා පකිස්තානයේ ගමක සහෝදරියන් දෙදෙනෙකු හා මව ඝාතනය කිරීම. එම ඝාතන වලට හේතුව එම දැරිවියන් (අවුරුදු 15 හා 17-මා හිතන්නේ) වැස්සේ නටන දර්ශනයක් වීඩියෝ කර තිබීම. එම සිද්දි දෙකටම පොදු එක දෙයක් තියනවා. එනම් ශිෂ්ටාචාරයේ ආපසු ගමන් කිරීම.

ලෝකේ පුරාම වැට කඩොලු තියනවා මදිවාට, අපත් ජිවිතයට ගොඩක් බාදා එක්කර ගන්නවා. පුළුවන් හැම වෙලාවෙම (සමාජයට කරදරයක් නොවන විට) අප මේ වැට කඩොලු බිඳ දමා ගන්න ඕනේ. ඔය ආගම්, කුල, ජාති, ඉපදුන ගම, රට, ජිවත් වන ප්‍රදේශය, කතා කරන භාෂාව, හඳහන්, පොරොන්දම්, ඉගෙන ගත්ත ආයතන වගේ දේවල් අනවශ්‍ය විදිහට කර තබාගෙන ජිවත් වීමම ලොකු බරක්. මෙවැනි අච්චු වල හිරවිම ලෝකේ හැම තැනම මහා ප්‍රශ්නයක්. සිංහල බ්ලොග් ලෝකය වෙනස් නැහැ. මෙතනත් අච්චු තියනවා. එක අච්චුවක් දුටුවිට තමනුත් ඒ අච්චුවට වැටෙන්න උත්සහ කරන එකේ වැඩි අරුමයක් නැහැ. මේ වගේම ගොඩක් දෙනා  ජීවිතයත් ඔහේ පුරුදු අච්චුවේ ගලා යන්න ඉඩ හරිනවා.

පාසල් කාලයෙන් අවුරුදු ගානකට පසුව හමුවන සමහරුන්, තවමත් ජිවත් වන්නේ පාසල් කාලයේ කියා සමහරවිට ඔබටත් හිතෙන්න ඇති. එහෙම වන්නේ, ඒ අයට පාසලෙන් එලියට (මනසින්) අඩිය තියන්න නොහැකි නිසා හෝ අඩිය නොතිබ්බ හින්දා. අපගේ ජීවිතය (හා ඒ හා බැඳුනු ආකල්ප) හැමදා වෙනස් වන දෙයක්. එය ඉතා හෙමින් සිදුවන නිසා, එතරම් දැනෙන්නේ නැහැ. ජීවිතය දෙස ආපසු හැරිලා බලන විට අපට තේරෙනවා නම්, අප කොතරම් වෙනස් වෙලාද කියා එයම හොඳ ආරම්භයක්. සමහරුන් මුළු ජිවිත කාලෙම මගේ අදහස් වෙනස් වුනේ නැහැ, මා නම් අදත් එදා වගේමයි කියා කියනවා. එහෙම වෙනස් නොවනවා යයි කියන්නේ, ඔවුන් ජිවිතයෙන් කිසිම දෙයක් උගත් අය නොවේය කියන එකයි.

ඔය මොනවා වුනත් මා ලියන්නේ, මෙය නිතර කියවන සුළු කොට්ටාශය සිතේ තියාගෙන.  මා මේ ලියන්නේ  වැඩිපුරම “ඔපිනියන්” කියන ඒවා. තමන්ගේ අදහස් කියන ඒවා ආවේනික වන්න පුළුවන්, නැත්නම් අනික් අයටද තියන පොදු ඒවා වන්නත් පුළුවන්. මේ බ්ලොගය ලියන්න ගත්තු මුල දවස් වලට වඩා මා ලියන දේවල් පමණක් නොවේ, ලියන විදිහත් වෙනස් වෙලා. කියවන පිරිස මොන වගේද කියන එක විතරක් නොවේ, අවට ලියන අනෙක් පිරිස් ද කොයි වගේද කියලත් මේ කාලය තුල අඳුනා ගැනීම එයට හේතුවයි. 

Thanks for reading over the past two years!

පසු වදන

ආදරය කරන කෙනෙකුගේ සිතේ එම ආදරය සදාකාලිකව එක විදිහටම තිබිය යුතුයි කියන්න, වෙන කෙනෙකුට බැහැ. මොකද අනෙක් කෙනාට එහෙම දැනෙන්නේ නැත්නම් බලෙන් ආදරය කරන්නද? කාලයකට පෙර තමන්ට ආදරය කළ මනුෂ්‍යයෙක්, තමන්ගෙන් ඈත් වූ පමණින් “සනහස සඟවා දෙනෙත නුරාවෙන්” පමණක් ආදරේ කියුවා යයි ඔබ දැන් යෝජනා කරන්නේ කෙසේද?

මේ මා ප්‍රිය කරන ගීතයක්!

Advertisements

27 Comments

Filed under Anniversary

27 responses to “මා නිසා ඔබ නොපිරූ පෙරුම්! We all are “a little rough around the edges”!

  1. මා නිතර කමෙන්ට් නොදැමුවත් මේ රයිගම් හන්දිය මට කියවන්න ලැබෙන බ්ලොග් අතර ඉතාම හොඳ මට්ටමේ ලිපි ලියැවෙන තැනක්. ඒ ගැන ඔබට තුති.
    ඒ වගේම රයිගම් බ්ලොග් ලියන්න එන අය ඒකාත්මික දැනුමැත්තෝ නොවන නිසාවෙන් ඒ ඒ බ්ලොග්වල ලියැවෙන්නේ තම තම නැණ පමණින් වන්න හැකියි.
    එහෙයින් අපට ඒ ලියැවිලි ගැන බලපෑමක් කරන්න නොහැකිය. එනමුදු කැමති කෙනකුට වෙනස්වන්නට උත්සාහයක් හෝ ගත හැකියි. එයද තම අභිමතය පරිදිය.

    • මේක නලින් මා කලින් අවුරුද්දේ කියුවා වගේම දින පොතක්. අනෙක් වැඩ කරලා වෙලාව ඇති විට (දෙකක් දා ගත්තොත්-බොරු ) ලියනවා. නැත්නම් ලියන්නේ නැහැ. සමාජ ජාල මගින් විශාල බලපෑමක් තියනවා. ඒ විතරක් නොවේ අන්තර්ජාලය නිසා අපේ අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙලා තියනවා. මීට අවුරුදු 15 වකට පෙරත්, අදත් ඇතිවෙලා තියන වෙනස කොතරම් ලොකුද? අපේ පෞද්ගලික ජිවිතයේ තීරණ ගැනීමටම මේ ජාලය කොතරම් ප්‍රයෝජනවත්ද? ඒ අතර සමහරුන් සුළඟ නවතන්න දැල් අදිනවා. භෞතික ලෙස මුද්‍රණය කරපු ටයිම් සඟරාව ඉරා දැමීම මේ වගේ දෙයක්. ටයිම් සඟරාවට දායක වුන කෙනෙකුට, මුද්‍රණ පිටපතට අමතරව, අන්තර්ජාල පිටපතත් ලැබෙන බව වත් හිතන්න බැරි මිනිසුන්.
      ඒවා ගියාවේ, ඔබටත් ස්තුතියි. කියවන්න කෙනෙක් නැත්නම් ලියලා මොකටද? 🙂

  2. kathandarakaraya

    /* නයි ඇරීම, මෝඩ ආතල් ගැනීම, පොරත්වය පෙන්වීම, මඩ ගැහීම, පැණි පෙරීම, වෙළඳාම් කිරීම, යටිමඩි ගැහීම, ලෝක සාමය උදා කිරීම, නිර්ධන පන්ති විප්ලවය දියත් කිරීම, ඒකාධිපතියන් පලවා හැරීම, රිපබ්ලිකන් වාදය පැතිර වීමට උත්සහ කිරීම, සරල දිවියකට යන්න අඬ ගැහීම, ලෝක සාමය උදා කිරීම, අප්‍රිකාවේ දුප්පත්කම නැති කිරීම හා පරිසර සංරක්ෂණය */

    හොඳයිනේ!
    එකපාරක් නයි අරින කොට දෙපාරක් ලෝක සාමය උදාවෙනවා බ්ලොග් නිසා.

  3. kathandarakaraya

    රයිගම,
    ඔබ සමහර විට දන්නා පරදදි මා නම් බ්ලොග් ලියන්නේ මට කියන්න තියෙන දේවල් කියාගන්ණ අවශ්‍ය නිසයි.

    මුද්‍රිත මාධ්‍යවලට වඩා මේ මාධ්‍යයෙන් අපට ලැබෙන නිදහසින් උපරිම ප්‍රයෝජනය ගෙන මගේ කතන්දර මට ඕනෑ විදියට කීම මගේ එකම අරමුණයි.

    මෙමගින් ලෝකය වෙනස් කරන්න හෝ ඇට්ටකුණා වුණු අය ගේ අදහස් වෙනස් කරන්න බැරි බව සත්‍යයක්. නමුත් එය කෙටිකාලීන තත්වය පමණයි. දීර්ඝකාලීනව යම් බපෑමක් වෙන්න ඉඩ තිේ‍රනවා.

    මොකද අපි හැදුනේත් අපි කියවූ දේවල්වල බලපෑමත් එක්ක නේද?

    සංවත්සරයට සුබපැතුම්!

    • කකා, මාත් මට ලියන්න අවශ්‍ය දේවල් මෙහෙ අපේ සිංහල පත්තරයකට ලියුවත් පළ කර ගන්න පුළුවන් වෙයි කියා ඉහල බලාපොරොත්තුවක් නැහැ. එහෙම උත්සහ කරලත් නැහැ. ඒ ජනමාධ්‍ය වලට වැඩිය, මේ බ්ලොග් වල තියන ඔබ කියන ගතිය තමා මගෙත් සිත් ගන්නේ. මෙතන වෙන සංස්කාරක කෙනෙක් හෝ ජනමාධ්‍ය අයිතිකරුවෙක් නැහැ, ඔබට ලිවිය යුතු දේ ගැන කියන්න. නැත්නම් ලියල දෙන දේ කපලා දාන්න.නැත්නම් ලිවිය යුතු දින වකවානු ගැන නියෝග දෙන්න.

      ඔබ හරි. මා කියවපු දේවල් විශාල බලපෑමක් වුනා, සිතන විදිහ හැඩ ගැසෙන්න. ඒ එක්කම එන්න, එන්න කියවන දේවල් හා ප්‍රතික්ෂේප කරන දේවල් අතරත් පැහැදිලි බෙදීමක් ඇතිවුනා. මා දන්නවා ඔබත්, අනෙක් ගොඩක් දෙනෙකුත් එහෙම වෙන්න ඇති. මේක ඔබ කියන ඇට්ටකුණා තත්වයට පත් වීමක්. ඇට්ටකුණා නොවුන මිනිසුන්ව තමා වෙනස් කළ යුත්තේත්, එවැනි අය තමා වෙනස් කළ හැක්කේත්.අප කුඩා කල අපේ ගෙවල් වල තිබුණු පොත්, දෙමාපියන් ගත්ත පත්තර හා අප කියවපු චිත්‍රකතා පත්තර පවා අපට විශාල බලපෑමක් කළා. අද අවට තියන දේවල් ඒ අයුරින්ම බලපෑම් කරනවා ඇති අද හැදෙන පරපුරට. එකම දේ තියෙන්නේ අද තියන පත්තරයකින් ඇතිවන බලපෑම නැති තරමට හොඳයි (තරහා වෙන්න එපා නලින්).
      ඔබටත් ස්තුතියි!

      • කිසිම තරහක් නැත. ඔබ කියන්නේ ඇත්ත. අධිපති මාධ්‍ය කලාවට අද සයිබරය දැවැන්ත තර්ජනයක් වෙලා. මම ද දැන් දැන් මුද්‍රිත මාධ්‍යෙයන් ක්‍රමයෙන් ඉවත් වෙමින් යනවා.

    • SAMAHARA BLOG KIYAWALA API GODAK DEWAL IGENA THIYANAWA, EG:PUKA, CHOO, JEE, PADA, ETC. THAWATH MEWAGE BOHOMAYAK.

      • MAA MEVANI KOMENTU VALATA PRATHICHAARAYAK DANVANNE NATHI VUNATH OBA KAVUDA KIYANA EKA DANNA NISAA LIYANAVAA. ME VAGE KOMENTU HAA MINISUN GANA THAMAA MAA KIYALA THIYENNE. OBA KAMATHI NATHI DEYAK KISIDAA KIYAVANNA EPAA. ONE DEYAK LIYAA GANNA KIYAA NOKIYAVAA INNA. OBALAA VAAGE AYA THAMAYI EYAALATA PRACHAARAYA DENNE. MATA NAM HITHENNE, OBATA VISHAALA ICHCHAA BHANGATHVAYAK ATHI VELAA KIYALAA. MATA EPAAMA KARAPU DEYA THAMAYI INGIRISI KAPITAL AKURU VALIN YAMAK LIVIMA. MAA DANNAVAA INGIRISI MAV BHAASHAAVA VECHCHA SUDDAN VATH KAPITAL AKURU VALIN LIYAPU DEYAK KIYAVANNA KAMATHI NAHA. E AV ASSE KAPITAL AKURURIN SINHALA LIYUVAHAMA PISSU DEKAY. MALLI, NIKAM KAALAYA NAASTHI KARANNA EPAA!

        • RAIGAM MA OBE PRATHICHARAYA KIYAWOOWA APE KAPITAL ANO ANKALTA DEEPU. EYA ITHAAMA SITHGANNA SULUWA , LAGANNA SWARAYAKIN LIYA THIBEEMA GANA MAHATH WOO PRASADAYATA PATH WEEMI 😀 EMA PREETHIYA IKMAWA GIYA NISAWEN MESE SATAHANAK THABOOWEMI. WARADAK WEE ATHNAM KARUNKARA MATA KAMANNA 😀 ( KAMANNA = SAMAAWNNA )

          • OVAA OHOMA THAMAYI SHERMIE. GANAN GANNA EPAA. ANUNTA KARADARAYAK HAA ADAMTHETTAM NOKARANA MODA AATHAL GANIME VARADAK NAHA 🙂 HABAYI RAJO HITHANNA EPAA MAMA KAMANNA KIYANA VACHANAYE THERUMA VATH DANNE NAHA KIYALA. OYA SAMAHARA SINHALA JANAMAADHYA VALA INNA NANGILAATA HAA MALLILAATA VADAA MAGE SINHALA THAVAMA HONDAYI (VADIPURA BHAAVITHAYE NATHI VUNATH). 😀

  4. “සයිබරයේ නිවැරැදි සිංහල බස“ මුහුණු පොතේ සමුහ පිටුවට අද මා තෝරාගත්තේ රයිගම් හන්දිය නම් අනගි බ්ලොග් අඩවියේ සටහනයි. දිර්ඝ ලිපියක් වූ මෙහි වැරැදි වදන් මට හමුවූයේ ඉතා අල්පයකි. මේ ඒ වදන් කීපයයි.

    ආඥ්යාදායකත්වය – ආඥාදායකත්වය
    තිබුනේ – තිබුණේ
    උත්සහ කලත් – උත්සාහ කළත්
    විද්යාඥයනුත් – විද්‍යාඥයනුත්
    කොට්ටාශයක් – කොට්ටාසය
    පුලුවන්ද – පුළුවන්ද
    ආවේනික – ආවේණික

    මුහුණු පොතේ ලිංකුව.
    https://www.facebook.com/groups/niwaradisinhala/

    • නලින් ඉස්සර නම් සිංහල මට එතරම් අපහසු දෙයක් වුනේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ, මේක ලියන්න ගත්ත අලුත මට ගොඩක් අමාරුකම් තිබුනා. දැන් වෙනස් වෙලා කියල ඔබටම පේනවා ඇති. අද මා හිතලාම භාවිතා කරන්නේ කලවම් භාෂාවක්. මේ කතා කරන විදිහටයි ලියන්නේ. මා කිසිම සිරවීමක ඉන්න කැමති නැහැ. මට සමහරවිට මේ මෙවලමෙන් ඕනේ වචන ගන්න බැහැ. සාකච්ඡාව නිකම් ඇටිකිච්චා වගේ එන්නේ. එවැනි කරුණු ගැන මා එතරම් එළවන්නේ නැහැ. හැබැයි අපි ආමි, ඔවුහු ගියාය වගේ දේවල් නොලියන්න උත්සහ ගන්නවා. සිංහල භාෂාවෙහි සමහර දේවල් වල තියන අවුල් බව නැති කර ගන්න ඕනේ. කළා හෝ කලා යනුවෙන් ලියුවත් මේ “ල” යන්නේ ශබ්දයේ වෙනසක් නැති නිසා එතරම් පන්නන එක තේරුමක් නැතිය කියා මා හිතනවා. ඔබලාගේ පත්තර තරම් භාෂාව මරණ වෙන තැනක් මා දැක නැහැ. 🙂

      • මා ඔබගේ දොසක් දකිමින් විවේචනයක් කළා නොවේ රයිගම්. මගේම අතින් වූ අක්ෂර වරද කීපයක් හැලපේ විස්න් පෙන්වාදීමෙන් අනතුරුව මා එදිනෙදා හමුවන බ්ලොගක වැරැදි වදන් එකතු කොට වදන් ලයිස්තුවක් හදනවා. එය මගේම ප්‍රයෝජනය ට සහ අන් අයත් එක්ක බෙදාගන්නයි. අද මා තෝරගත්තේ ඔබේ බ්ලොගයයි.
        දෙවැන්න අද පත්තරවලින් බස නැසෙනවා. මා එය පිළිගන්නවා. එදා සිටි භාෂා විශාරදයන් දැන් පත්‍ර කලාවේ නෑ. ඒත් බස නිවැරැදිව හසුරුවන්න මා හැකි උපරිම වෙහෙසක් ගන්නවා.මා මෙසේ එකතු කරන හැම වදනක්ම ඩොක් එකක එකතු වෙනවා.. එය මතු දිනෙක එළියට දානවා.

        • Raigama

          නැහැ නලින් ඔබ දොස් දැකපු එක ගැන විවේචනයක් නොවේ.බස කියන එක පරිණාමය වන්නක්. එක තැන තියෙන්නේ නැහැ.භාෂාවක් සංකීර්ණ වැඩි වන්න, එය භාවිතාවේදී කෙරෙන වැරදි වැඩි වෙනවා. එයයි මා කියන්න හැදුවේ. න ණ ල ළ ලු ළු වලට වඩා අද සරල ව්‍යාකරණ බිඳ දැමීම හෝ නොදැනීම දකින්න පුළුවන්. ගොඩක්ම පත්තර හා ජනප්‍රිය පුවත් අඩවි වල. ඔබගේ ප්‍රයන්තය නිසරු එකක් නොවේ.

  5. නලින් අයියා පෙන්නපු මාර්ගය ඔස්සේ මේ බ්ලොග් එක ගැන දැන ගත්තා.මට නම් ඉතාමත් වටිනවා.

  6. ඔබේ සංවත්සරයට උණුසුම් සුබ පැතුම් රයිගම.සාමාන්යෙන් මම පුරුද්දක් විදිහට ඔබේ බ්ලොගයට ගොඩ වදින තත්වයක් දැන් උදා වෙලා..වැඩිහිටි මනසකින් ලියවෙන බ්ලොගයක් විදිහටතමයි ඔබේ බ්ලොගය මා හඳුනාගෙන සිටින්නේ ( ඉඳ හිට ඉස්කෝලේ යන ළමයි කියන කතා කිව්වත් 😀 .. විහිළුවක් හරිද :D)..

    අනිත් දේ තමයි ඔබ වැන්නෙක් බ්ලොග් කරණයේ යෙදි සිටීමත් අත්‍යවශයි ..ඇතැම් විට ඒ නිසාමයි මම ඔබව දිරිමත් කරමින් කමෙන්ටුවක් දමන්නේ කොපමණ රාජකාරි තිබුණත්..මාතලනුත් මම මේ කියන කතාව පිළිගනී ….

    ඔබටත් ඉඩ ඇති විටක අනිත් බ්ලොගයන්ට ගොඩ වැදී අදහසක් කියන්න..ඒක වටිනවා බොහෝ දෙනා වෙනුවෙන්…

    පෝස්ටුවට අදාළව නම් දෙයක් කිව්වේ නැහැ ඔන්න මේ පාර , අපිට ඕනේ තරම් වෙලාව තියෙනවා ඒ ගැන කතා කරන්න ඉදිරියේදී … ඉතින් ඔබට සුබ බ්ලොග් සංවත්සරයක් වේවා රයිගම් මිතුර … 🙂

    • ඉඳ හිට නොවේ, මා ට්‍රයි කරන්නේ හැමදාම ඉස්කෝලේ යන ළමයි කියන කතා කියන්න තමයි. මොකද එවැනි අයට කියවන්න. එය එතරම් සාර්ථක නොමැති බව පේනවා. ඔබ නිතර මෙහි යමක් ලියන එක මා ඉහලින් අගය කරනවා. ඒත් ශේර්මි බය වෙන්න එපා, කොමෙන්ටු නැතුව මේක ගෙනියන අවධියට දැන් ඇවිත්. අද වැනි දවස් වලට මට ඉතුරු වෙන වෙලාවට කරන්නත් දෙයක් අවශ්‍යයි. මා අනෙක් තැන වල වැඩිපුර කොමෙන්ටු නොදැමීම අඩුවක් කියා මා පිලි ගන්නවා. බොරුවට මුරුංගා අතු වල නග්ගන එක වගේම, දෙන්නම් බැටේ විචාරයත් නරකයි. හැබැයි මෙය කියවන සියලුම දෙනාගේ බ්ලොග් භේදයකින් තොරව මාත් කියවනවා. ඔබටත් ස්තුතියි මිත්‍රයා!

  7. බ්ලොග් කියන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් මාධ්‍යයක්. ඒකට නීතී රීතී ගේන්නත් සමහර අය උත්සාහ කරනවා. ඒ උනාට ඉන්ගිරිසි බ්ලොග් කියවන කොට, මේකේ හැමදෙයක්ම තියෙනවා කියලා පේනවා. මිනිසුන් විවිධාකාරයි. මේ ළෝකය ලස්සන ඒ නිසයි. මම නම් එක එක වෙලාවට මම කැමති කැමති විදියට ලියනවා. ඒ වගෙම මට පෙට්ටියක් ඇතුලේ ජීවත් වෙන්න ඕන නෑ. මම ආසයි හැම තැනම ජීවත් වෙන්න. මේ කෙටි ජීවීතේදි ඒ වාසනාව මට ලැබිලත් තියෙනවා. ඒ මොනවා ලැබුනත් මම ආස මම විදියට ජීවත් වෙන්න. මට අවශ්‍ය දේ කියන්න. ඒක අනිත් අයට දිරවනවද නැද්ද කියන එක මට අදාල නෑ. මොකෝ මමත් කැමති දේවල් තියෙනවා. අකමැති දේවල් තියෙනවා. නයි ඇරීමත් කළාවක්. ඒක කළාත්මකව කරන්න පුළුවන්නම් නොම්බර එකේ නිර්මාණකරුවෙක් වෙනවා ඒකාන්තයෙන්ම.

    ඔය ගීතය මගුල් ගෙදර ගායනා කරලා මිල්ටන්ට ගුටි කන්නත් උනාලු. මොකෝ මනමාලිගේ තාත්තගේ නම “මානිස්”…

    • ඔබ හරි. බ්ලොග් විතරක් නොවේ සියලුම සමාජ ජාල නිදහස් මාධ්‍ය. මට මතකයි මේක ලියන්න ගත්තු මුල් දිනවල මට කෙනෙක් යෝජනා කළා (සමාජවාදී) ඉතිහාසය ඉගෙන ගන්න කියලා ජාලය කියවලා. හැමතැනම වගේ මේවයෙත් හොඳ හා නරක තියනවා. යමෙකුට නොදිරවන දෙයක් දිගින් දිගටම කියවනවා නම් මාතලන්, එය කාලකන්නි කමක්. මෙවැනි මිනිසුන් ඇති පදම් ඉන්නවා. මගේ දර්ශනය නම්, මා අකමැති දේවල් තව දුරටත් කියවලා, කොමෙන්ටු දමලා ප්‍රචාරණයට අත හිත නොදෙන එක. මගේ බ්ලොගයේ තියන ලැයිස්තුව මා කියවන මෙන්ම අනෙක් අය කියෙවුව්වාට අවැඩක් නොවනවා යයි මා හිතන බ්ලොග්. මා කියවමින් හිටිය බ්ලොගයක්, මේ මල්ලිලා විසින් අඩම්තේට්ටම් කිරීම නිසා නැවතීම කනගාටු දායක දෙයක්. මෙවැනි අඩම්තේට්ටම් නැත්නම් “බුලින්” හරිම ජරා වැඩ. නයි හෝ පත්තෑයන් හෝ වේවා දිරවන්නේ නැත්නම් නොකියවා ඉඳීම නේද කළ යුත්තේ?
      මිල්ටන් මගුල් ගෙවල් වල විරහ ගීත ගයන්න ගියේ මොකටද? මානිසාට තරහ යාම පුදුමයක්ද? 😀 ( මනමාලිගේ තාත්තා හර-මානිස් වුනත් ඔය වගේ සින්දු මගුල් ගෙවල් වල ගායනා කරන කොට තද වෙන එක සාධාරණයි)
      මාත් පොඩිකාලේ මහා දැනුමැති වන බඹරු ඉන්නේ කොහෙද කියන එක කල්පනා කළා (මහදනමැති වන බඹරා, ලං වී කනට ඔබේ, ආදරේ කියයි මෙසේ ම්.. ම්…ම්…..) 😀

  8. හිරු

    මේකට ඊයේ කමෙන්ට් එකක් දාලා අතරමඟදි කරන්ට් ගිහින් කමෙන්ට් එක මැකුනා… ඒක දැන් මතක නෑ… හි හි

    මම කියවලා එකපාරටම කමෙන්ට් එකක් නොදාන බ්ලොග් දෙකෙන් එකක් මේක… අනිත් එක සහන්ගේ එක.. මොකද සමහර විට මට දැනෙන විදියට මේක ලියවෙන්නේ මගේම ආරට නිසා .. කියාගන්න තියෙන දේවල්, සමහර විට ළඟපාත ඉන්න කෙනෙක්ට කිව්වොත් මේ ගෑණිට පිස්සු, හිතන්න මෙච්චර දේවල් තියෙද්දි මොනා කියෝනවද මන්දා, එහෙම නැත්තම් ඕව‌ කතා නොකර ඉන්න එක ඇඟට වගේම හිතටත් ගුණයි කියන හින්දා මං බ්ලොග් එකේ ලියනවා… මේකත් ඒ වගේ කියලා මට හිතෙන්නේ.. මොනා උනත් රයිගම් හන්දිය මං හරි ආසාවෙන් කියවනවා… සමහර මාතෘකා නම් මගේ නොදැනුවත්කම නිසා තේරෙන්නේ නෑ.. ඒ වෙලාවට පැත්තකට වෙලා බලං ඉන්නවා… ( කමෙන්ට් ෆලෝ අප් කරලා…)

    අවුරුදු දෙකක් එක දිගට ලියනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.. දැන් නම් මං ඒක හොඳට තේරුම් අරන් ඉන්නේ… හි හි

    • අර මාතලන් ලියල තියනවා වගේ, ඉංගිරිසි බ්ලොගයන් ගොඩක් මිනිසුන්ගේ ඔපිනියන් ගැන ලියවෙන ඒවා. සමහර දේවල් ගැන සොයන්න ගියහම හරි ප්‍රයෝජනවත් දේවල් හම්බ වෙනවා. මේවාට නීති දමාගෙන, අනුන්ව අනුකරණය කරමින් එකම අච්චුවට කොටුවී ඉඳීම ඵල දායක දෙයක් නොවේ. අප ජිවිතයට මුහුණ දෙන අන්දම වෙනස් වගේම, අපට ජිවිතයේ මුණගැහුන දේවල් වෙනස්. ඉතින් හිතන දේවල් වෙනස් වෙන්න ඉඩක් නැත්තේ මොකද?

      ඔබ ලියන විදිහ මට නම් හොඳයි. මොකද මා වැඩියෙන් කියවන්නේ අනෙක් අයගේ සිතිවිලි ලියවෙන තැන්. විෂය කරුණු අපට පොත් බලාගෙන වුනත් දැනගන්න පුළුවන්නේ.

  9. සංවත්සරයට මගෙන් උණුසුම් සුභ පැතුම් රයිගම්.

    ඉගෙනගත්ත දේ ප්‍රායෝගිකව යොදවන්න (application) නොදන්නකම සුලබ දෙයක්. ජනමාධ්‍ය උපාධියක් තියෙන පුද්ගලයෝ මම දන්නවා සරළ රාජකාරි ලිපියක් ලියාගන්න බැරිව අනිත් අයගෙන් උදව් ඉල්ලන.

    කාරෙකේ ටයර් එක මාරු කරගන්න බැරිව පාරේ ලතවෙන අය සමහරු ඉංජිනේරු උපාධි තියෙන අය කිව්වොත් උඹ පිළිගනීද දන්නේ නෑ.

    බ්ලොග් ගැන කිව්වොත්, මම පත්තරේකට නොලියා බ්ලොග් ලියන්නේ මට ඕනෙ දේ ලියන්න. අපි හරි ආසයි නැති නීති රීති දාගන්න. මගේ බ්ලොග් එක කවුරුවත් නොකියවන දවසක් ආවත්, ඒත් මම ලියාවි, මේ තරම්ම උද්‍යෝගයෙන් නොවුනත්. මොකද මම ලියන්නේ මට ලියන්න ඕනෙ හන්දා, උඹලට ඒක කියවන්න ඕනෙ හන්දාට වඩා. (a vent for my feelings)

    මාතෘකාවෙන් පිට ගියාද මන්දා. 🙂

    • ඉගෙන ගත්ත දේ යොදා ගන්න බැරි කම හා ජිවිතයට අවශ්‍ය දේවල් ඉගෙන නොගැනීම මචං අප හැමතැනම දකින දෙයක්. කාරෙකේ ටයර් විතරක් නොවේ, සමහරුන් ඇඳුමක් මාරු කර ගන්න වත් දන්නේ නැහැ. උඹ වගේම මාත් මේක කිසි කෙනෙක් නොබැලුවත් ලියන අවධියට දැන් පත් වෙලා. කොහොමත් මෙය කියවන පිරිසෙන් වැඩි කට්ටිය අර කකා කියනවා වගේ එක විදිහක කොට්ටාශයක්. අපගේ අදහස් බොහෝ දුරට එක හා සමානයි. එයිට වඩා වෙනස් පිරිසක් අතරට යන්න නම් කරන්න දේවල් තියනවා . නමුත් එය මගේ ප්‍රධාන අරමුණක් නොවේ.
      මා එදිනෙදා සිද්දි ඇසුරෙන් තව ලියන්න අවශ්‍ය දේවල් තිබුනත්, ඒවා ලිවිම පසු කාලයකට තියනවා. මොන පිට යාමක්ද කිරි ගහට ඇන්න වගේ තමයි. 🙂

  10. Kenji @ Japan

    සංවත්සරයට උණුසුම් සුභ පැතුම් රයිගම.
    මම මුලින්ම ලිපියක් කියල බැලුවෙ ඔබ ලියපු ලිපියක්.ඔබ ලියන ලිපි කියවල සිංග්ලිෂ් වලින් කොමන්ට් කරද්දි සිංහලෙන් ලියන්න කියල දුන්නෙත් රයිගම තමයි.සිංහල ලියන්න ගත්තයින් පසු හුගක් ලිපි කියවල කොමන්ට් කෙරුව.
    ඔබ කල දෙයින් අද මට මගේ දැනුම/සතුට බෙදාගන්න නොදුටු මිතුරු/මිතුරියන් ගොඩක් ඉන්නව.
    රයිගම කියන කෙනා අර උඩ සහන් මල්ලි කියල තියෙනව වගේ ඉඩ ලැබෙන විදියට ලිපි වලට කොමන්ටුවක් දැම්මොත් හුගක් ප්‍රයෝජනවත් වේවි.විශේෂයෙන් තරුණ අයට.
    හැකි නම් තාරුණ්‍යට එය ලබා දෙන්න.[අර හෙටක් කියන එක නෙමේ හරිය :).]
    රයිගම කෙන්ජියව අරගෙන ගිය දුරක්.
    රයිගම සාන් අරිගතෝ ගොසයි මස්තා…!!!

  11. මට මතකයි ඔබගේ පළමු කොමෙන්ටු. දැන් ඔබගේ කොමෙන්ටු (අනෙක් බ්ලොගයන්ගේ) සමහරුන් බලාපොරොත්තු වෙනවා. ඔබ මේ සමහර සටහන් වල පාලු කපලා තිබීම ගැන නොවක් තුති. මෙහෙමයි කෙන්ජි, එහෙම නිකම් ලොකුවට හිතන්න එපා. මේවායේ ලියන බොහෝ දෙනා වගේම මාත් සාමාන්‍ය මනුෂ්‍යයකු වශයෙන් ලෝකය දකින හැටි තමයි මේ ලියන්නේ. තරුණ අයත් අප වගේම ජිවත් වෙලා, වැරදි කරලා, දුම් ඇදලා, කසිප්පු ගහලා, මේවායේ ඵල විපාක ඉගෙන ගනීවි. නැතිව ලියන දෙයක් නිකම් වචන සෙට් එකක් විතරයි. ජිවිතයට වඩාත්ම අවශ්‍ය දේශපාලන දැක්මක්. හොඳට හෝ නරකට එහෙම දෙයක් නැත්නම්, ඒ කියන්නේ මොකුත්ම නැහැ කියන එක. මෙය ආරම්භයේ සිටම දිගටම ලිවිම ගැන ඔබට කප්පරක් ස්තුතියි මිත්‍රයා!あなたのサポートへの感謝賢二

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s