දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන්! Where is the limit?


මේ ලියන්නෙත් පසුගිය දවසක දැක්ක දෙයක් ආශ්‍රයෙන්. ඔවුන් දෙදෙනාට ඉන්නේ එකම දරුවයි. ඒ හින්දම ද කොහෙද එයාව හරියට පරිස්සම් කරනවා. ඒ කියන්නේ හැම ඉරියව්වම පාලනය කරනවා. වැඩිහිටි උගත් මනුස්සයන් දෙදෙනෙකුට තමන්ගේ දරුවා හැදිය යුත්තේ මෙහෙමයි කියන්න මට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ දරුවා සමග සෙල්ලම් කරන විට අපේ දරුවට තේරුනා, දෙමාපියන්ගේ බලපෑම ටිකක් පමණට වඩා වැඩියි කියලා. එයා ඇවිත් අපට කියුවා. අප එයට අත පොවන්න ගියේ නැහැ. හැබැයි අර දරුවා ඉන්නේ සතුටින් නොවේ. මා ලාවට ඒ ගැන කියල දැම්මා.

දරුවෙක් මෙලොවට ගේන්න අම්මා කෙනෙක් විඳින දුක, පිරිමි වශයෙන් අපට තේරුම් ගන්න තව කල් යාවි. ඒ කොහොම වුනත් දරුවන් ආදරයෙන් රැක බලා ගැනීම ගැන කාටවත් දොසක් කියන්න නම් බැහැ. මේවායේ සීමා හා මායිම් තමන්ටම තේරුම් ගන්න හැකි වෙන්න ඕනේ.

ඒත් එක දෙයක් තියනවා. ඒ තමයි අපේ සහජ ඥානය දැන් නැහැ. කුඩා බලු පැටියෙක් දුවගෙන යද්දී ලිඳක ගැට්ට ලඟදි ඉබේම නවතිනවා. මොකද ඌට සහජ ඉව තියනවා ඉදිරියේ ඇති දෙය ගැන. කුඩා දරුවෙක් එහෙම නැහැ. එයා කෙලින්ම දන ගාගෙන හෝ ඇවිදගෙන ගිහින් ලිඳට වැටෙන්න පුළුවන්.අද අප තමන්ගේ වර්ගයා බෝ කිරීම නැත්නම්, ලිංගික ක්‍රියාවන් පවා වෙනම ඉගෙන ගන්න අවශ්‍ය ඒ සහජ ඥානය තුරන් වී තියන නිසා.

අප දරුවන් පොඩි කාලේ ගෙදර බෙහෙත් තියන කබඩ් එක අගුලු දාල තිබුනේ. අද වුනත් ඔවුන්ට අපෙන් අහන්නේ නැතිව කිසිම බේතක් ගන්න එපා කියලයි තියෙන්නේ. මේවා ඕනෙම බෙහෙතක පිට කවරයේ තියන උපදෙස්. ඒ වගේම මා පාවිච්චි කරන කෘමිනාශක, වල්නාශක හා පොහොර ඔවුන්ට අත  පොවන්න බැරි තැන් වලයි තියෙන්නේ. මා පාවිච්චි කරන පොඩි පොඩි ආයුධ ඔවුන්ට ගන්නට දෙන්නේ නැහැ. මේවා කොමන් සෙන්ස්.

හැබැයි අපේ මේ සමහර ආකල්ප දියුණු වුනේ පරිසරයේ ඇති බලපෑමෙන්. ලංකාවේ ඉන්න එක කාලෙක අප හිටිය ගෙදර ඇතුලේ කෝට් යාර්ඩයේ විශාල පොකුණක් තිබුනා. දවසක් එබුන කුඩා දරුවා වතුරට වැටුනා. එහි භයන්කාරිත්වය අප අවබෝධ වෙන්න එපමණ කලක් ඉන්න වුනා. මාළු ටික හොද්දක් හදලා (බොරු) වතුර හිස් කර දැම්මේ එදා. මේ ගෙවල් වල එහෙම පොකුණක් හදන්න නීතියෙන් පවා අවසරයක් නැතුව ඇති කියා මා හිතනවා.

මේවගේ දේවල් සමාජයේ ප්‍රචලිත කරන්න, දෙමාපියන් දැනුවත් කරන්න මාධ්‍ය වලටත් ලොකු  දෙයක් කරන්න පුළුවන්. මේ කියන ආණ්ඩු හෝ අපේ අධ්‍යාපන ක්‍රමයන් එහෙම දේවල් කරාවි යයි බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම පැටවූ පුළුවන් තරම් ගහපල්ලා කියන ඥානයෙන් තොර කට්ටියට මේවා තේරුම් යන්නේ නැහැ.

මේ සේරම ලියුවේ වෙන දෙයක් නිසා නොවේ. ලංකාවේ පසුගිය දිනෙක කුඩා දරුවන් දෙදෙනෙක් මී පාසානම් යෙදු චොකලට් කාලා මිය ගිය ශෝක ජනක පුවත නිසා. මෙතැනදී ඒ දෙමාපියන්ට හරක් කියලා බනින්න පුළුවන්. නමුත් එහෙම ගත්තහම අපත් එදා හරක් තමා, අර පොකුණත් එක්ක ජිවත් වෙන්න.

මෙවැනි දේවල් යලි යලිත් මතක් කරන්න ඕනේ. එයටයි මාධ්‍ය තියෙන්නේ (මුන්ට කඩේ යනවට වඩා වෙන වැඩක් නැහැනේ) චොකලට් දැමු මි පාසානම් තියා, නිකම් බෙහෙත් වුවත් ළමුනට අහු වෙන තැනක තිබීම කිසිදා නොකළ යුතු දෙයක්. ලෝකේ කොයි කෙරවලේ ජිවත් වුවත්, මේ වගේ දේවල් වලදී කිසිම දාක චාන්ස් එකක් ගන්න එපා.

පින්තූරයේ ප්‍රභවය  http://whereisthelimit.com/tienda/365-1337-thickbox/camiseta-witl-tattoo.jpg

Advertisements

18 Comments

Filed under Media, Opinion

18 responses to “දැලිපත සිඳලයි කොපුල පාන්නේ මුව සිප ගන්නට ආදරයෙන්! Where is the limit?

  1. මේක ඇත්තෙන්ම දෙමාපියන් දුර දිග නොසිතා කරන දේ වල ප්‍රතිඵල…
    සමහර දෙමාපියෝ දරුවන් එක්ක පාරෙ යනකොට දරුවා ගෙන යන්නෙ පාර පැත්තට වෙන්න.. තවත් සමහරු ආයුධ එක්ක වැඩකරනකොට දරුවන්ට අහුවෙන්න ඒ දේවල් තියනවා. අතපය කපා ගන්නවා.. වාහන ක්‍රියාකරවනකොට තමන්ගෙ දරුවා ඉන්නෙ කොතැනද කියා බලන්නෙ නැහැ..
    මෝටර් සයිකලයක පස් දෙනා දාලා යනවා. පොඩිම එකා උකුලෙ… හෙල්මට් තියෙන්නෙ අම්මටයි තාත්තටයි… මේවා අපි නොසිතන, නමුත් අනතුරු වලට අත වනන සිදුවීම්
    අනාරක්‍ෂිත ලිං, පොකුණු, තියෙනකොට දෙමාපියො සැලකිළිමත් විය යුතුයි…
    රඹුටන් වැනි කෑම දෙනවිට දෙකට කපා හෝ මදය පමනක් ලබා දිය යුතුයි. හිරවෙලා මලාට පස්සෙ දුක් වෙනවා. විදුලිය සම්බන්ධවත් එහෙමයි..
    කොහොම නමුත් මම නම් කියන්නෙ මේ බොහොමයක් වලක්වාගත හැකි දුර දිගබලා සිතුවොත් අවම කර ගත හැකි අනතුරු…

    • Raigam

      ඇල්කෙමියෝ, දුප්පත්කම මේ සේරටම හේතුව කියල කියන අය ඉන්නවා. එයත් එක හේතුවක් තමයි. හැබැයි ප්‍රධාන හේතුව නොවේ. ඔබත් දන්නවා ඇතිනේ මේ රටවල් වලත්, මේ තියන තත්වයට ගේන්න ලොකු කාලයක් අරන් තියන බව. මෙහෙත් මෙවැනි වලක්වාගත හැකි අනතුරු කර ගන්නේ නොසැලකිල්ල නැත්නම්, කැෂුවල් ලෙස ගැනීම. වාහන පසුපසට ගැනීමේදී ගෙදර කුඩා දරුවා යට කරන සිද්දි මෙහෙත් නිතරම නොවුනත් අහන්න ලැබෙනවා. ඒ වගේම රූපවාහිණිය කුඩා දරුවන්ගේ ඇඟට වැටුන සිද්දි එක දෙකක් අහන්න ලැබුනා. හැබැයි මේ කාරනා වලදී පසු විපරම මගින් එහෙම වුනේ ඇයි කියලා හොයා බැලෙනවා. එයයි මා ලියුවේ. එය රජයේම කාර්යයක් නොවේ. ජනමාධ්‍ය පවා ඒ ගැන කතා කරන්නේ ඕප දූපයක් ලෙසම නොවේ. මධ්‍යම පාන්තිකයන් පවා ගෙදර වැඩක් කරන කොට විය හැකි අනතුරු ගැන ප්‍රමානවත් ලෙස සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අප වුනත් ඒ කාලේ එහෙමයි. අද වැඩ කරන තැන වුනත් තියන ක්‍රමවේදයන් හින්දා තමයි මේ ගානට වත් හැදිලා ඉන්නේ.
      හැබැයි දරුවෙකු ඉන්න ගෙදරක මියන් මරන්න චොකලට් වලට වස දාපු එක පමණක් නොවේ, එම චොකලට් දරුවන්ට ගන්න පුළුවන් තැනක තිබ්බ එකත් මාරක දෙයක් කියලා සමහර විට හිතන්නවත් නැතුව ඇති. මාතලන් කියන්න වගේ පට්ට හරක් කියන්න පුළුවන් වුවත්, සමහර විට මේවා වැඩිදුර හිතන්න තරම් කල්පනාව දියුණු කරපු මිනිසුන් නොවෙන්න ඉඩ තියනවා.

  2. හිරු

    ඇල්ගේ මෝටර් සයිකලේ පස්‌දෙනා කතාව දැක්කම පරණ සිද්ධියක් මතක් උනා.. කොට්ටාවේ අපේ අම්මගේ මහගෙදර තියෙන්නේ මහපාර අයිනේ.. මං 3 වසරේ විතර ඉන්න කාලේ අපේ ගේ ඉස්සරහම බයික් එකක් පෙරළුනා… අම්මයි තාත්තයි හෙල්මට් දාගෙන හිටියත් ළමයි දෙන්නට හෙල්මට් තිබ්බේ නෑ… කොහොම උනත් කට්ටියගෙම දණිස් පොල්කටු, වැලමිටි හීරුන එක ඇරෙන්න ලොකු තුවාලයක් උනේ නෑ… ඒත් තාමත් මගේ හිතේ එදා දැකපු දේ බලපෑම තියෙනවා.. අදටත් අපේ මහත්තයට මං කියන්නේ මම කවදාවත් ළමයෙක් අරන් බයික් එකක නං යන්නේ නෑ කියලා.. වාහනයක් නැත්තම් බස් එකෙ යනවා… ( බයික් වල යන්න මගේ තියෙන බය වෙනම කතාවක්.. හි හි)

    අපේ දෙමවුපියොන්ගේ මං දකින දේ තමයි දරුවා ආරක්ෂා කරගන්න ඕනේ දේ ගැන නෙවෙයි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ… අනේ එකව පාක් එකට ගියත් අතින් නිදහස් කරන්නේ නෑ… අරකයි මේකයි හැම එකම… ( අලුත්ම ප්‍රවණතාවය තමයි ඉපදුන දවසේ ඉඳලා ඉංග්‍රීසි කතාකරවීම…. අපේ එකෙක් ඉන්නවා දැන් අවුරුදු 2කට කිට්ටුයි.. සිංහල වචනෙකින් පටන් ගත්තොත් ඉංග්‍රිසි වචනෙකින් තමයි ඉවර කරන්නේ..)

    ළමයින්ට වැඩ කරන්න දෙන්නෙ නැති එක තවත් එකක්… ඇඳුම් ටික හෝදලා, මැදලා, අන්දලා, පවුඩර් දාලා, සපත්තු දාලා, කොණ්ඩේ පීරලා ඉස්කෝලෙ යවලා … ( මේ මාත් ඔහොම තමයි.. හි හි) ඇත්තටම එහෙම හැදිච්ච එකේ ලොකු අඩුපාඩුවක් මට දැනුනා එක දවසක් ඉස්කෝලෙදි… ලෙඩ වෙච්ච ළමයෙක්ට කෝපි එකක් හදන්න ගිහින්… ඇත්තටම මං කෝපි හදන්න දැනගෙන හිටියේ නෑ.. අපේ ගෙදර කෝපි බීපු කෙනෙක් හිටියෙත් නෑ… ඒත් දැන් කල්පනා කරනකොට තේරෙන්නේ ගෙදර වැඩවලට චුට්ටක් හරි සම්බන්ධ නොවීම තමයි හේතුව කියලා… අඩුගානේ උයනකොට ළමයි ළඟපාත වත් ඉන්නවා නම්… ( මං අද ඇත්තටම පසුතැවෙනවා ගෙදර ඉන්න කාලේ අම්මා උයනකොට කුස්සිය පළාතේ යන්නේ නැතුව කාමරේට වෙලා පොතක් බදාගෙන හිටපු එක ගැන… මං ආසාවට හරි කළේ පොල් ටික ගාලා දුන්න එක විතරයි… අම්මා හැමදාම මට කතා කරලා පොල් ටික ගාව ගන්නවා… මට දැන් හිතෙන්නේ අම්මා එහෙම කළේ ටිකක් හරි මාව ළඟින් තියාගන්න ආස නිසයි කියලා…)

    කතන්දරේට අදාළ නැද්ද මන්දා….

    • Raigam

      ඔයිට වඩා අදාලව යමක් ලියන්න අමාරුයි හිරු. තමන්ගේ අත්දැකීම් වලින් යමක් ඉගෙන ගන්න එක පමණක් නොවේ, එය ප්‍රයෝජනයට ගන්න එකත් අගය කරන්න ඕනේ. ගැහැණු දරුවන් පමණක් නොවේ පිරිමි දරුවන්ද උයන්න දැනගෙන සිටීම අවශ්‍යම ජිවන කුසලතාවයක්. පොල් ගාන්න පුළුවන් නම් ඉතින් ගොඩ!

  3. මේකට නම් මට එකඟ වෙන්නේ බෑ. දෙමව්පියෝ දෙන්නම්. පට්ට හරක්.. අනික දරුවෝ දෙන්නා ගෙදර දාලා, උන් කොහේද ගිහිල්ලා..

    • මාතලන්, මේ වගේ දෙමාපියන් නේද වැඩිපුර ඉන්නේ? ඔවුනටම බැනලා වැඩක් නැතිවා වගේම, මේ වැනි දේවල් නැවත සිදුවීම එකෙන් නැවතෙන්නෙත් නැහැ. මේ වගේ දේවල් සිතන්න තරම් කල්පනා ශක්තියක් නොතිබෙන අය වෙන්නත් පුළුවන්. කැලෙන් එලියට ඇවිත් ගෙවල් හදාගෙන ජිවත් වුනත්, පරිසරයේ සිදුවුණ අනෙක් වෙනස් කම් ගැන නොහිතීම මෙයට හේතුව යයි මා විශ්වාස කරනවා. දැන් ඔය වෙන රටවල ගිහින් ඇවිත් ඉන්න අයියලත් සරල දිවියට යමු කියන්නේ. එහෙම තියෙත්දී ගමක මිනිහෙකුට එවැනි දෙයක් සිතන්න බැරි වීම අප ඛේදවාචකයක් ලෙසයි සලකන්න ඕනේ. මේ වගේ දේවල් නැවත ඇතිවීම වලක්වන්න කළ හැකි දහසකුත් දේ තියෙත්ද, ඥානයෙන් අසාර හරක් තප්පුලන්නේ තවත් පැටවූ ගහපල්ලා කියලා. ඔවුන් මේ අසරණ මිනිසුන්ට වඩා පට්ට හරක් නේද?

      • අවසාන හරියේ තියෙන කතාවටනම් 100% එකඟයි.. මේ ළඟදි පෙන්නුවා වතුර නැති පලාතක පවුලක්. බොන්න වතුර නැති උනාට , වතුර හුවමාරුවනම් එකසිය ගානට වෙලා තියෙන වග පේනවා. ළොකුම කෙල්ල එක දරුවෙක් වඩාගෙන ළමයි පහයි. ගෑණිගේ තව එකෙක් බඩේ..

  4. මචං, ඒ වුනාට අර ඩෙනිස් ද මෙනස් කියන එකයි, අර හෝම් අලෝන් සීරීස් එකේ ඉන්න එකයි නම්, මොන මුරකාවල් යටතේවත් හදන්න පුලුවන් එවුන් නෙවෙයි නේද? 😀

    රයිගම්, ඔය කෝෂන් ප්‍රිකෝෂන් තියෙනවා නේද? ඕකටත් සංස්කෘතිය බලපානවා බං. ඕන්න අපේ ළමයි අපි වැස්සෙ තෙමෙන්න තියා, පින්නක්වත් වදින්නේ නැතිවෙන්නනේ හදන්නේ. වතුර උණු කරලා, නිවලා, ‍ෆිල්ටර් කරලනේ දෙන්නේ.

    මේ රටේ ළමයි වහිනකොට ගෙදරින් එලියට බහිනවා. මාසයක් වයස නැති අත දරුවෝ අතේ තියාගෙන, අම්මලා මේ පොද වැස්සේ තෙමි තෙමී අල්ලපු ගෙදර අම්මන්ඩිත් එක්ක කයිය ගගහා ඉන්නවා. වතුර උණුකෙරිලි පෙරිලි නෑ, ඔහේ කෙලලා අරිනවා. උනුත් අගේට ඉන්නවා. ඇත්තෙන්ම අපේ උන්ට වඩා ප්‍රතිශක්තියත් හොඳයි. 😀

    • සුද්දන්ගෙන් ඒ ගැන අපටත් ඉගෙන ගන්න පුලුවන්. මචං ඔවුන් වැස්ස, පින්න, හීතල, රස්නය හා සෙම් සොටු ගණන් ගන්න ජාතියක් නොවේ. මේ හවසත් මා දැක්කා වැස්සේ තාත්තා කෙනෙක් ළමයි හතර දෙනාත් එක්ක වැස්සේ හා හීතලේ සයිකල පදිනවා. හැබැයි ජාන වලිනුත් කන දේවල් වලිනුත් ඔවුන් අපට වඩා මේවට ඔරොත්තු දෙනවා. අපත් ඔය කොච්චර පල් වතුර බිලා තියනවද? ඕවා සේරම ගැන හිතුවොත් නම් උඹ කියන්න වගේ ජිවත් වෙන්න බැහැ තමා. නමුත් මාරක අනතුරු මගහරින්න ගත හැකි ක්‍රියා මාර්ග හැම වෙලාවෙම කොතරම් දුෂ්කර හා කල් ගත වෙන දේවල් වුනත් ගත යුතුයි. 50%/50% චාන්ස් එක නොවේ 1% චාන්ස් එකක් වත් එවැනි අවස්තාවක ගත යුතු නැහැ. විශේෂයෙන් කුඩා දරුවන් සම්බද දේවල් වලදී.

  5. මේක මාතෘකාවට දාලා තියෙන සින්දුව ගැනයි

    අපි නං ඉස්සර කැමතියි තාත්තා ගේ රුවුල් කොට ඇනෙන කොට. මගේ පුතාත් ඒ වගේ!

    • මා නම් පුතාව රැවුල් කොට සමග ඉඹිනවා කකා, උදේට අපේ ඇඳට ආවොත් . එතකොට කෑ ගහනවා, සීරෙනවා කියා. මා ගණන් ගන්නේ නැහැ. 😀

    • මේ සිංදුව ලිව්වේ රයිගම හන්දියෙන් හන්දි දෙකක් විතර පහල ඉන්න සිසිර දිසානයක උන්නැහේ… කකා එහෙම අඳුනනවත් ඇතිනේ.

  6. Kenji @ Japan

    අදටත් දරුවො දෙන්නට පෙනඩෝල් පෙත්තක් ගන්න නොදන්න තැනක තමයි බොක්ස් එක තියල තියෙන්නෙ.
    ඒ වගේම සතියකට සැරයක් විතර අක්කයි,මල්ලියි එකතු වෙලා මොනව හරි කෑම බිමත් හදන්න පුරුදු වෙලා.
    ලංකාවෙ මාධ්‍ය වලින් කරන්නෙ දැනුවත් කිරීම් නෙමේනෙ.
    ජපානයෙ පෙර පාසල් වල ඉදලම පාරක යන/මාරු වන විදි,උඩක තිබෙන දේවල් නොගන්න විදි,බෙහෙත් වැනි දේවලට අත නොතබන ලෙසට ලස්සනට චිත්‍ර ඇදල බිත්ති පුරා දකින්න සලස්වල තිබෙනව.මාධ්‍ය වලින් පවා දැනුවත් කරනව.

    • Raigama

      මේක තමයි කෙන්ජි ප්‍රශ්නය. අප ගොඩක් වෙලාවට හිතන්නේ වන්දෝ විතරක් නොවේ, අවුරුදු දහ අටේ දරුවන් එක පාරටම ඕපපාතිකව මෙලොවේ පහල වෙනවා කියල. දත් මදින්න දන්නේ නැහැ, ඇඳුමක් හෝද ගන්න දන්නේ නැහැ, නිය පොත්තක් කපා ගන්නේ නැහැ, නාන්නේ නැහැ, උයනවා තියා තේකක් හදා ගන්න දන්නේ නැහැ (එස් බී නම් කියන්නේ උපාධි ධරයන් ද මේ ටික දන්නේ නැහැ කියලා). එතකොට වරද කාගේද? එහෙම දරුවන් ලොකු මහත් කළේ කවුරුන්ද කියන එක තමා ප්‍රශ්නය. කෑමක් හදන විට ලුණු දාන හැටි, මිරිස් තුනපහ දාන හැටි ඒගෙන ගන්න පුළුවන් අත්දැකීමෙන්. තේකක් හදා ගන්න ඉගෙන ගන්නේ රූපවාහිනී බලල නොවේ. එය කිරීමෙන්. ඔබගේ දරුවන් දෙන්නාට හොඳ දෙමාපියන් ඉන්නවා වගේ. 🙂

  7. Anonymous

    දෙමවුපියන්ගේ’ බයවල් දරුවන්ට එනකොට භීතිකා බවට පත් වෙනවා. මොකද දරුවන්ට ඒවා දෙමවුපියෝ කියා දෙන්නේ ඒ විදියට. අනිත් දේවලුත් මම හිතන්නේ දෙමවුපියන්ගේ වගකීම් විරහිත බව දරුවන්ට එන්නේ මාරාන්තික දේවල් විදියට. මමත් දැක්ක පහුගිය දවස් ටිකේ තමන්ගේම වාහනේට තමන්ගේම අතින් තමන්ගේම දරුවා යට කරපු තාත්තලා….
    ඔයා කියන කතාව ඇත්ත. දරුවන්ට බය කියන දේ තේරෙන්නේ නැහැ. බය තේරෙනවා නම් අපි කවුරුත් අඩි බිම ගහල ඇවිදින්නේ නැහැ අදටත්!
    මගේ තද අදහසක් තියෙනවා දැන් කාලේ ළමා මනෝවිද්‍යාව උනත් අපේ දෙමවුපියන්ගේ ඔළු මොට්ට කරලා කියල. අපි කොහෙන් හරි නාට්ටකින් තමයි අල්ලාගෙන දගලන්නෙ. අපිට මුලබිජය අහු වෙලා නැහැ කියලයි මගේ අදහස

    • Raigama

      මට හිතෙන්නේ ඇනෝ, මනෝ විද්‍යාව නොවේ මොට කරලා තියෙන්නේ. මේවා හරියට ඉගෙන නොගෙන සම්පප්‍රලාප කියල ගොඩ වෙදුන් නිසා. ඉහතින් කෙන්ජි හා පහතින් තිසර කියන්න වගේ සමහර දේවල් දරුවන්ට අත්දැකීම් මගින් ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕනේ. තවත් දේවල් තියනවා කියා දිය යුතු. විදුලි බලය තියන තැනකට ඇඟිල්ල දාලා එහි ප්‍රතිඵල දන ගන්න ඉඩ දිය යුතු නැහැ. ඒ වගේම බෙහෙත් වගේ දේවල් නිකම් කන්න හොඳ නැහැ කියන එක දරුවන්ට ඒවා කාල බලලා ඉගෙන ගන්න ඉඩ දිය යුතු නැහැ. ඒවා කරන්න ඉඩ දෙන ගමන්, වැස්සේ නටන්න දෙන්නේ නැහැ. තමන්ට තේකක් හදා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඇඳුමක් තෝරා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ කියනවා වගේ, මෙවැනි ජිවන කුසලතා නොමැතිව ලොකු මහත් වීමත් මාරක දෙයක් තමා.

  8. සාමාන්‍යයෙන් මම ඔවා කොටස් දෙකකට බෙදනවා. සමහර දේවල් තියනවා ළමයට කරන්න ඉඩ දීල, ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය එයාටම දැනගන්න සැලැස්වීම. මේ වගේ දේවල් වලින් පොඩ්ඩක් රිදුනත්, ළමයා ඒ දේ ආයෙත් නොකරන්න ඉගෙන ගන්නවා. තේ ඒකක් හදපු ගමන් උණුයි කියන එක දැන් අපේ කොලුවට තේරෙනවා.

    ඒ වගේ තව දේවල් තියනවා පොඩි හරි චාන්ස් එකක් නොගත යුතු. අපේ කොලුවා ඔලුව හැරුණ අතේ දුවන ජාතිය එකෙක් නොවුනත්, කිසිම වෙලාවක උගේ අත අල්ලගන්නේ නැතුව පාරේ එක්ක යන්නෙ නෑ.

    • Raigama

      ඔබ වැනි පිරිස් සමාජයේ ඉන්නවා කියන එකත් මා දන්නවා. හැබැයි මේ වගේ දේවල් ගැන සිතන්න බැරි හා නොහැකි පිරිසකුත් සමාජයේ ඉන්නවා තිසර. නොයෙක් හේතු නිසා. එවැනි පිරිස් වලට ගරහන්නේ නැතිව ඔවුන්ට උදවු කිරීම සමාජයේ වගකීමක් වගේම, එයට ජනමාධ්‍ය වලට කරන්න පුළුවන් විශේෂ වැඩ කොටසක් තියනවා. ඒකීය පුද්ගලයාගේ විමුක්තිය ගැන ප්‍රලාප නැත්නම් චෙපුහා කියන මැටි මොල්ලුන්ට නම් මෙවැනි දේවල් වහ කදුරු වෙන්න ඉඩ තියනවා. නමුත් සමාජයේ ඉන්න වරප්‍රසාද නොමැති පිරිස් වලට විශේෂ උදවු කිරීම මුළු සමාජයේම යහ පැවැත්මට කරන උදව්වක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s