ජීව දත්ත! – කෙටිම කෙටි කතාවක්


වීර විභූෂණ  සරසවි අධ්‍යාපනය නිම කරලා යන්තම් වසරක් ගත වුනා. මේ කාලය තුල කළේ විවිධ රැකියා වලට ඉල්ලුම් පත් යවන එක විතරයි. තාම මොකවත් හරි ගියේ නැහැ. වීර විභූෂණ  අපොස උසස් පෙළ කරපු කාලේ රටේ තිබුන කලබල නිසා සරසවි ගමන අවුරුදු දෙක තුනකින් කල් ගියා. ඒ කාලය තුල කරපු දෙයක් නැති තරම්. දවල් එකොළහ වෙනතුරු නිදා ගැනීම තමයි වැඩිපුර කළේ.

සරසවිදීත් නොයෙක් හේතුන් නිසා උපාධිය හරියටම නිම කරන්න පමණට වඩා කලක් ගියා. ඔහොම කාලය නාස්ති වුනත් සරසවියේදී වීර විභූෂණ දක්ෂ සිසුවෙක් වුනා. එතරම් මහන්සියක් නොමැතිව දෙවන පෙලේ සාමාර්ථයක් ගැනීම ගැන, වීර විභූෂණට සතුටක් දැනුනාද  කියන එක නම් හරියටම කියන්න බැහැ. සමහර වෙලාවට ඔහුට හිතුනේ මහන්සි ගත්තා මදි කියලා.

වීර විභූෂණ මැදලවත්තේ කෙනෙක්. පොඩි කාලේ ගියේ මැදලවත්තේ කනිෂ්ටෙට. පහේ ශිෂ්‍යත්වය පාස් වුන නිසා කොළඹ ඥාණසාර විද්‍යාලයට යන්න වරම් ලැබුන. ඥාණසාර විද්‍යාලයේ ගතකරපු කාලය නම් හරි අපූරුයි, වීර විභූෂණ  කල්පනා ලෝකයට පිවිසුනා. ඒ කාලයේ පන්තියේ හිටිය බොහෝ දෙනෙක් වීර විභූෂණ වගේම තමා. එක්කෝ ගුරුවරුන්ගේ දරුවන්, නැත්නම් වෙනත් රජයේ සේවකයන්, එහෙමත් නැත්නම් ගමක ඉන්න පොඩි මුදලාලිලා ගේ දරුවන්. එකම පොදු දේ තමයි හැමෝම ශිෂ්‍යත්වය පාස් වීම.

වීර විභූෂණගේ  රැකියා දඩයම හිතන තරම් පහසු නැති බව පෙනුනා. රැකියා දෙක තුනක් ලැබිලා නොලැබිලා වාගේ ගහල ගියා. දැන්නම් පුතෝ එන පොට හොඳ නැහැ. හෙටවත් ආරිය අයියව හම්බුවෙන්න යන්න ඕනේ.

ආරිය සූරියදාස  කියන්නේ වීර විභූෂණ  වඩා බැච් දෙකක්  ඉහලින් හිටපු සරසවි මිතුරෙක්. ආරියත්, වීර විභූෂණ  වගේම ශිෂ්‍යත්වය පාස් වෙලා ගමෙන් කොළඹ ඉස්කෝලෙට ආපු කෙනෙක්.  වීර විභූෂණ , අයියා කියල තමයි, ආරිය සූරියදාසව ඇමතුවේ. ආරියගේ තාත්තා විශ්‍රාම ගියේ  අමාත්‍යංශ ලේකම් කෙනකු ලෙස. තාත්ත වගේම, ආරියත් දක්ෂයෙක් කියලා සරසවි කාලේදී ඔප්පු කළා. ඉගෙනීම් විතරක් නොවේ ඔය කළා හා සංස්කෘතික උළෙලවල්වල හැමදාම කැපී පෙනුන චරිතයක්.  ඇත්තම කියනවා නම් වීර විභූෂණ,  ආරියට සෙට් වුනේ මේ කළා කටයුතු නිසා.

ආරිය, සීවී එකකුත් අරන් වරෙන් කියල වීර විභූෂණට කීප වතාවක්ම කියුවත්, එය අන්තිම තුරුම්පුව ලෙස තියා ගන්න ඔහු හිතුවා.

සරසවිය අධ්‍යාපන නිමවුන ගමන්ම ආරිය, කොළඹ තිබුන කොම්පැනියක වැඩට ගියා. සහකාර කළමනාකරුවෙකු ලෙස වැඩට බැඳුනු ආරිය, වැඩිකල් නොගොස් ප්‍රධාන අපනයන කළමණාකරු ලෙස උසස් වුනේ වෙන කිසිවක් නිසා නොවේ, ඔහු ළඟ  කවදත් තිබුන නිර්මාණශිලිත්වය  නිසා කියල තමයි වීර විභූෂණ හිතුවේ.

“කොහොමද මල්ලි, පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැනේ”. ඒ ආරියගේ කටහඬ. ටයි පටයක් සමග ආරියගේ පූර්ණ බටහිර ඇඳුම ඔහුගේ ස්වභාවික කඩවසම්කමට තවත් ඔපයක් එකතු කරලා කියල වීර විභූෂණට හිතුනත්, ඒ බව කියන්න ගියේ නැහැ.

ආ ගිය තොරතුරු කතාවෙන් පසු අසුනින් නැගිට්ට ආරිය මෙසේ කීවා “මල්ලි, අපි යමු අපේ සීඊඕ හම්බු වෙන්න” පොර හරි හොඳ එකා, උඹට මොකක් හරි කර ගන්න පුළුවන්”. “මල්ලි,  මිනිහා තමයි, නිකම් යන්නන් වාලේ දුව දුව හිටිය මේ කොම්පැනිය මෙච්චර නග්ගල අරන් තියෙන්නේ. මිනිහත් උඹේ ඉස්කෝලේද කොහෙද. ඒ ලෙවල් ඉවර කරපු ගමන් තමා මේකේ වැඩට ඇවිත්  තියෙන්නේ. හැබැයි අවුරුදු දෙක තුනෙන් මිනිහා ඉහලටම නැගලා. අන්න පොරවල් මල්ලි! කොයිකටත් යමුකෝ හම්බ වෙන්න”.

“සර්! බිසී නැත්ද, පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?”  වීර විභූෂණ  සමග ඉහල මාලයේ කාමරයක් වෙත තරප්පුවෙන් ගිය ආරිය, එක දොරක් ළඟ නැවතී,  පොඩි තට්ටුවක් දමා, එබිකම් කර ඇහුවා. “ආ! මේ ආරියනේ, වරෙන් වරෙන්, උඹට, මම කියල තියනවනේ, ඔය සර් කෑල්ල ඕනේ නැහැ කියලා”. කාමරේ හිටපු මනුස්සයා පිළිතුරු දුන්නා. “සර්, මේ තමයි, මං සර්ට කියපු මගේ යාලුවා, අපිට වඩා ටිකක් ජූනියර්, හරිම දක්ෂයා”. ආරිය, වීර විභූෂණව හඳුන්වා දුන්නා. “ආ! ඉඳ ගන්නකෝ දෙන්නම, කෝ ගන්නකො, ඔයාගේ සීවී එක මෙහාට”.  වීර විභූෂණ,  දෑතින්ම සීවී එක ආරියගේ ලොක්කට දික් කළා.

“ඥාණසාර විද්‍යාලයේ, ඔය අවුරුද්දේ, කොයි පන්තියේ ද ඔයා හිටියේ” ආරියගේ ලොක්ක අහන්නේ. “මම, සර් ඥාණවති මිස්ගේ ක්ලාස් එකේ”. “ආ! උඹ අපේ පන්තියේ හිටපු වීර විභූෂණයද?”  කියල ලොක්ක අහන කොට තමයි, ඔහුගේ මුහුණේ හැඩ රුව හරියටම වීර විභූෂණ ගේ හිතට වැදුනේ.

(නම්, ගම් හා සිදුවීම් සියල්ල මනස්කල්පිතයි).

29 Comments

Filed under Short story

29 responses to “ජීව දත්ත! – කෙටිම කෙටි කතාවක්

  1. කුඩා දොස්තර, මහ දිසාපති!

  2. ගොඩක් රස වින්දා රයිගම් මේ කතාව..( තව දෙයක් තියෙනවා මේ කතාවේ..උදාහරනෙකට :- මහින්ද මහත්තයගේ ක්ලාස් මෙට්ලා කොහොම හිතනවා ඇත්ද ..? ” අනේ ඕකා ඒ කාලේ හිටපු හැටි අපිනේ දන්නේ ” කියලා හිතනවා ඇති.. ඇයි එහෙම හිතන්නේ/හිතෙන්නේ …? .මන් මේ ඔබට දොසක් කිව්ව එහෙම නෙවේ ඔබට )

  3. මේ කතාවට වර්තමාන ලංකා දේශපාලනය අදාළ නැහැ සහන්.එහි තියන දේශපාලනය වෙනස් එකක්. මෙයින් කියවෙන්නේ සහමුලින්ම වෙනස් දෙයක්. එය මගේ පාඨකයෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමක්. “one size does not fit all”!

  4. Kenji @ Japan

    රසය ඉතා ඉහලයි.
    ඇයි මේ වගෙ ඒවා නොලියන්නෙ?
    මම බැලුවෙ මේ චරිත කාගෙ එකවුන්ට් වලට ද දාන්නෙ කියල.

  5. \\\එහි තියන දේශපාලනය වෙනස් එකක්. මෙයින් කියවෙන්නේ සහමුලින්ම වෙනස් දෙයක්. \\\
    මහින්ද මහත්තයවම ගත්තේ ඉතින් එතුමා ඕනෙම දේකට බය නැතුව ගන්න පුළුවන් කෙනෙක් නිසා..

    \\\ආ! උඹ අපේ පන්තියේ හිටපු වීර විභූෂණයද?” කියල ලොක්ක අහන කොට තමයි, ඔහුගේ මුහුණේ හැඩ රුව හරියටම වීර විභූෂණ ගේ හිතට වැදුනේ.\\\

    මම මතුකලේ මෙන්න මෙතන ගැන රයිගම්..අප හොඳින් දැනසිටි අයෙක් ඉහළ තනතුරක් යැයි සම්මත තනතුරකට ආවොත් එහෙම අපිට ඒක නිකන් අදහන්න බැහැ වගේ වෙනවා නේද ..?අන්න ඒක ගැන මම කිව්වේ..

    වීර විභූෂනගේ හිතුවිලි ගැන ඔබ සඳහන් කර නැති නිසා මට හරියටම කියන්න බැහැ..නමුත් අනිවාර්යෙන් ( බොහෝ විට ) ඔහුගේ සිතුවිලිත් එසේ විය හැකියි (+ or -) ..

    \\\“one size does not fit all”!\\\

    මෙය අදාල වන්නේ මා වරහන් තුළ සඳහන් කල කරුණකට බව සළකන්න .. 😀

  6. කතාගේ කොමෙන්ට් එක නිසා මීටර් උන දේත් නැතිවෙලා ගියා…

  7. මේ අප අතරින් බිහිවුන හා අප අතරේ ඉන්න මිනිසුන්. බාග දෙකක් තියනවා නම් හැමදාම ලියන්න පුළුවන්. පැය හා වයින් බෝතල් බාගයක්. 😀

  8. ඔබ හරි, මෙහෙමයි තේරුම් ගත යුත්තේ කියා නියෝග කරන්න මට බැහැ. එහෙම උත්සහයක් ගත්ත එක ගැන කනගාටුයි! මා මැච් එක බලනවා සහන්.

  9. කුඩා දොස්තර, මහ දිසාපති! කියන්නේ මහැදුරු මිණිවන් පී තිලකරත්න ලියපු කෙටිකතාවක් (ඒඛ තියෙන පොතේ නමත් ඒකමයි).

    ඒ කෙටිකතාවට පසුබිම වෙන සිද්ධිය තමයි, පන්තියේ හොඳම සිසුවා වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලබා වසර ගණනාවක් රජයේ සේවය කර අන්තිමේ උප නගරයක ඩිස්පැන්සරියක් දාගෙන වේලි වේලි ඉන් කාලේ එදා පන්තියේ සිටි මැට්ටා පසුව ප්‍රදේශයේ දිසාපති වී පැමිණීම.

    මේ කතන්දරයේ ප/ප/ලි ය බලන්න.

    http://kathandara.blogspot.com.au/2011/06/kathandarakaraya-goes-to-courts.html

  10. මං සාමාන්‍යයෙන් කරන්නේ මුලින්ම හිතට එන දේ කමෙන්ටුව ලෙස ලිවීමයි.

    මෙතන වුනේත් ඒකයි. එවෙලේ වැඩි විස්තර ලියන්න වෙලාවක් තිබුණේ නෑ.

    හොඳ වෙලාවට මං මාතලන් ගේ බ්ලොග් එක බලන්නේ ඊ-මේල් මගින් ෆෝන් එකෙන් නිසා වැඩිපුර කමෙන්ට් නොකරන එක!

  11. කුඩා දොස්තර, මහ දිසාපති! කියන්නේ මහැදුරු මිණිවන් පී තිලකරත්න ලියපු කෙටිකතාවක් (ඒඛ තියෙන පොතේ නමත් ඒකමයි).

    ඒ කෙටිකතාවට පසුබිම වෙන සිද්ධිය තමයි, පන්තියේ හොඳම සිසුවා වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලබා වසර ගණනාවක් රජයේ සේවය කර අන්තිමේ උප නගරයක ඩිස්පැන්සරියක් දාගෙන වේලි වේලි ඉන් කාලේ එදා පන්තියේ සිටි මැට්ටා පසුව ප්‍රදේශයේ දිසාපති වී පැමිණීම.

    මේ කතන්දරෙය් ප/ප/ලිය කියවන්න.
    http://kathandara.blogspot.com.au/2011/06/kathandarakaraya-goes-to-courts.html

  12. සහන් ඔබ ට හරියන්නේ මෙන්න මේ කතන්දරයයි.
    http://kathandara.blogspot.com.au/2013/07/once-upon-time-in-england.html

    !!!

  13. @ කකා

    \\\පොර ගේ පන්තියේ හිටපු එක හොඳම සගයෙක් තමයි අද එක්තරා රටක රජකම් කරන්නේත්.

    අංකල්කාරයා කියපු විදියට පොරවල් අල්ලපු ඉස්කෝලේ තියෙන පිහිනුම් තටාකයේ යටට කිමිදිලා චූ කරලා එනවාලු.\\\

    හරියට හරි මේ තියෙන්නේ මම කියපු සිද්දිය..තෑන්ක්ස් කකා…

  14. ඔන්න ඔහොම කියන්න එපෑයැ! අප මැට්ටන් හා බ්‍රයිටන් ලෙස වර්ග කරන වැරදි නිර්ණායක ගැන තමා මා හිතුව එක කරුණක්. මනුෂ්‍යන්ගේ දක්ෂතා/ කුසලතා කියන දේවල් එක කෝවකට දාල මනින්න යන එක හරි වැරදියි. පන්ති වල වෙනියන් හොයමින් one size fits all කියන වැරදි නිර්ණායකය, වෙන පරිසර වලදීත් බදා වැළඳ ගන්න උත්සහ කරන දෙමාපියන් ගැන මට නම් කනගාටුවක් දැනෙනවා කකා.

  15. අපේම කාලයේ එක්තරා වකවානුවක රටේ පැවතියා වූ දේශපාලනය හා එහිම ගොදුරු බවට පත් වූ අධ්‍යාපනය ගැන හොඳ අදහසක් ගන්න හැකියි. සාර්ථක කෙටි කතාවක්. මෙහි චරිතවල නම් ටික හේතුවෙන් පාඨකයා වෙනත් දිශානතිවලට යොමුවන ගතියකුත් තියනවා. එමෙන්ම මේ දේ දැන් වක්‍රාකාරවත් සිදුවෙනවා. ඉගන ගන්න හැකි කෙනා ඉගනගන්නවා. සමහරු රජය ගානේ සමහරු පෞද්ගලිකව.ඒත් …………

    මේ හැම දේටම වැඩිය හොඳ සාධකයක් වෙනවා ඇතැම් විට සහජ දක්ෂතාව.
    යමක් හිතමින් රසවිඳින්න හැකි මේ කතාව ට කැමතියි.

  16. රයිගම්, මේ කතාවෙ අන්තිමට තව එක වාක්‍යයක්වත් එකතු වෙන්න ඕනෙ නැද්ද, හැඩ රුවට හරියන මුහුණ අයිතිකාරයා ගැන? මෙතනදි මේ මූණ අයිති වෙලා තියෙන්න ඇත්තේ මොන වගේ පුද්ගලයෙකුටද කියලා මම හිතා ගත්තේ මේක ලියන ලේඛකයා ලියන ශෛලිය සහ අන්තර්ගතය ගැන මම දන්න නිසායි. එහෙම නොවුනානම් මට හිතේවි මේ කතාව අසම්පූර්ණයි කියලා. ලේඛකයා ගැන අදහසක් නැති කෙනෙක් මේක කියෙව්වොත් එහෙම වෙන්න තියෙන අවස්ථාව වැඩියි. සමහර විට උඹ එහෙම කලේ හිතාමතාම වෙන්නත් පුලුවන් කියලා මට හිතෙනවා මේක සම්ප්‍රදායික කතාවක් වෙන එක වලක්වන්න.

  17. ඔහේ එහෙම බලනවා කියපු නිසා මම මේල් කරන එකත් නැවත්තුවා..

  18. මේ වගේ කතාවක් ලෝකේ ඕනෙම රටක ඕනම කාලෙක වෙන්න පුලුවන්, කකා කිව්ව කෙටිකතාව පලවෙලා අවුරුදු තිහක් විතර වීම හොඳම උදාහරනය. නමුත් මේක ලංකාවේ අධ්යාපනය හරි සරසවි අධ්යාපනය ගැන හරි ‘generalize’ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕකට ටිකක් ලඟින් යන අත්දැකීමක් මටත් තියෙනව. ලංකාවෙ A/L වලින් පලවෙනිය වෙලා ඒකාලෙ තිබ්බ schol එකකින් ඕස්ට්රේලියාවෙ උපාධිය කරල ඇවිල්ල සාමාන්ය කලමනාකරුවෙක් විදිහට වැඩ කරන ගමන් Management Accounting වෘතීය පාඨමාලාවක් හදාරන මාත් හිටපු class එකක ඉගනගත්තා පොරක්. ඒකෙ අපිට business law ඉගැන්නුවෙ මිනිහගෙම පංතියෙ එකට ‘A/Lකරල ලකුනු ටිකක් අඩුවෙලා ජ’පුර කැම්පස් එකෙන් digree එක කරල Law college එකෙනුත් උපාදිය අරන්, ලංකාවේ හොඳ සමාගම් වල ඉහල තනතුරු තිබ්බ කෙනෙක්….ඉස්සෙල්ල කියපු මෑන් දැන් නම් ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න ජාතිවාදී පක්ශයක පලාත් සභා ඇමති කෙනෙක් හැබැයි. ඉතිං ඉස්සෙල්ල කිව්ව වගේ මේ කතා දර්ශීය හෝ පොදු දේවල් නොවෙයි.හැබැයි ලංකාවේ විශ්ව විද්යලයකට යාගන්න තරම් හොඳට A/L පාස් වෙන්ඩ බැරි උන අයට මේව කියවන කොට ලියන කොට ටිකක් වැඩියෙන් ආතල් එකක් තියෙන බව ඇත්ත….මේ කමෙන්ට් එක දැම්මෙ කාගෙවත් ආතල් කඩන්න නම් නෙමෙයි.

  19. මම කපිතන් නිලයේ ඉන්න කාලයේ දවස යුද හමුදා කෝප්‍රල් වරයෙක් පැමිණ, ‘ගුඩ් මෝනිං සර්’ කියා මට අචාර කළා. මමත් ‘ගුඩ් මෝනිං කෝප්‍රල්’ කියා ප්‍රති ආචාර කළා. මෙන්න මේකා එක වරම ඇහුවා, ‘මාමේ මාව අඳුනන්න බැරිද’ කියලා. ‘ඈ….. තෝ කවුද බොල මට මාමා කියන්න’ කියන සිතුවිල්ල, වචන වලට නොහරවා, හිතේ තියාගෙන බලනකොට ඇත්තටම මේකා මගේ ළඟම ඥාති සහෝදරියකගේ පුතා. මොනවා කරන්නද නිළ පරතරය නිසා මේකා එක්ක තේ එකක් බොන්නවත් විදිහක් නෑනේ. ‘ගෙදර යනකොට අම්මටයි තාත්තටයි මොනවහරි අරන් පලයන්’ කියලා ටිකක් ලොකු මුදලක් අතට දුන්නා.

    කරුණාකර මෙය සියලු විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙත කරන අපහාසයක් ලෙස සලකන්න එපා. මගේ ලඟට සමහර අවස්ථාවල පැමිණෙනවා උපාධිධාරීන්, රැකියා සඳහා ජීව දත්ත සටහන් පරිගණකයෙන් සකස්කර ගැනීමට. මා ඉතා කම්පාවට පත්වෙනවා ඔවුන් ගෙන් සමහරකු සකසාගෙන එන සටහන් වල සිංහල ඉංග්‍රීසි දෙකම ඉතා දුර්වලයි.

  20. හිරු

    මාත් දැන් කාලෙක ඉදලා ඔය ගොඩේ. කාලය නාස්ති කිරීම ඇර වෙන දෙයක් කරන්නේ නෑ… අන්තිමට අවුරුදු 3කුත් ඉවර වෙලා බලද්දි… මේක තමයි මුලින්ම හිතට ආවේ මාතෘකාව දැක්ක ගමන්…

    ඔය වගේ කේස් ඕනේ තරම් තියෙනවා අප්ප… මට නං දැන් තේරෙන විදියට හැකියාව, උවමනාව, දක්ෂකම හැම එකම තිබුනක් චුට්ටත් විතර වාසනාවත් තියෙන්න ඕනේ ඔහොම තත්වෙකට එන්න.. අඩු ගානේ මේ යකා මේ කරන්න යන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් හරි වටපිටාවේ ඉන්න ඕනෙ… ඉගෙන ගන්න දක්ෂ අයට නං කැම්පස් යෑම කියන ඉලක්කය තියෙනවා.. අනිත් අයට නිසි ඉලක්කයක් දෙන්න ක්‍රමයක් තාම නැති නිසා එයාලට වාසනාව තිබ්බොත් කවුරුහරි කෙනෙක් ට්‍රැක් එකකට ඇදලා දානවා… ඒ වාසනාව නැති එකා කැම්පස් ගියත් එකයි නැතත් එකයි… (ඔන්න ඔහොමයි මට හිතෙන්නේ)

  21. නලින්, මා කතාව අතරතුර කියපු දේවල් වෙනම සටහනක් දාන්නම්. එතකොට සන්සන්දනය කර බලන්න, ඔබ හා මා හිතු දේවල් අතර පරතරක් තියනවාද නැත්ද කියා.

  22. මචන් පහත කොමෙන්ටුව බලපන්. මේවා ඒ ඒ අයට ඒ ඒ විදිහට තේරුම් ගන්න ලියා තිබෙන්නේ. හැබැයි ඉලක්ක කරලා තියෙන්නේ උඹලා වගේ දිගටම බලන කට්ටිය වෙනුවෙන්. මුහුණ හිමි එකා විස්තර නොකළේ හිතා ගන්න. කොහොමටත් මෙය මාම ලියලා මන්ම විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා.

  23. කාශ්‍යප, මේවා අමනාප හෝ කේන්ති අරගන්න ලියන දේවල් නොවේ. මගේ සටහන් කියවන පිරිස්, මා දන්නා තරමින් මුහුකුරා ගිය පිරිස්. මේවා ඔබට අවශ්‍ය ආකාරයට තේරුම් ගන්න එක තහනම් කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. එහෙම අවශ්‍ය වෙන්නෙත් නැහැ. මොකද මුලික බලාපොරොත්තුවම එයයි. තමන්ගේ හැකියාවන් අනුව තේරුම් ගැනීමට ඉඩ හැරීම. මට හිතුනේ ඔබගේ ආතල් ටිකක් කැඩිලා වගේ, පහත කියමන දැක්කහම “හැබැයි ලංකාවේ විශ්ව විද්යලයකට යාගන්න තරම් හොඳට A/L පාස් වෙන්ඩ බැරි උන අයට මේව කියවන කොට ලියන කොට ටිකක් වැඩියෙන් ආතල් එකක් තියෙන බව ඇත්ත….මේ කමෙන්ට් එක දැම්මෙ කාගෙවත් ආතල් කඩන්න නම් නෙමෙයි”.

    ඔබගේ ඔය කොමෙන්ටුවෙන් තියා, මා ලියන දේවල් වලිනුත් මේ සටහන් කියවන කිසිවෙකුගේ (හෝ මගේ) ආතල් කැඩෙන හෝ නොකැඩෙන එකක් නැහැ. ඒ මොකද කියනවා නම්, මේ කියවන පිරිස් මෙන්ම මාත් අපොස උපේ කිරීමෙන් පසු ජිවිතයේ ගොඩක් දුර ඇවිත්. මට අපොස උපේ කියන්නේ 1917 ඔක්තෝබර් විප්ලයව වාගේ යටගිය සිද්දියක් විතරයි. ගොඩක් දෙනා වගේම මාත්, එයට (අපොස උපෙට) වඩා ජීවිතයේ වැදගත් බොහෝ හන්දි දැන් පසු කර ඇවිත්. ඔබට ටිකක් දිග පිළිතුරක් ලියන්න හිතුනේ එම කරුණ ඔබ තේරුම් ගෙන නැති නිසා (එවැනි දෙයක් තේරුම් ගන්න බැරි පිරිස් බිහි කරන එකත් අධ්‍යාපනයේ වරදක්, එක අතකින්). මේ කතාවේ මුක්යාර්ථය එයයි. මේ මගේ සටහන් කියවන පිරිස් පවා තම වෘත්තීය ජිවිතයේ මුල නොවේ ඉන්නේ.

    ඔබ අරන් තියන උදාහරණයත් ඔබ කියන්න යන දේටම පටහැනියි. එනම් එක්තරා කඩයිම් විභාගයකින් (A/L) ලංකාවෙන් පළමු වෙනියා වුන කෙනෙක් නැවතිලා තියන තැන පේනවනේ. එයා මෙහෙන් (ඕස්ට්‍රේලියාවෙන්) ඉගෙන ගත්තේ නැත්නම් කොහෙන්වත් ඉගෙන ගනියි කියා හිතන්න බැහැ. කඩයිම් විභාග වැදගත් තමා කාශ්‍යප, නමුත් ජීවිතය කියන්නේ කඩයිම් විභාග පමණක් නොවේ. එය සරල රේඛාවකුත් නොවේ.

  24. මගේ කතාවේ ප්‍රස්තුතය විචාරක, ලංකාවේ සරසවි අධ්‍යාපනයේ අඩුවක් කියන එක නම් නොවේ. එයට මා තෝරාගෙන තියෙන්නේ සමාජයේ ඉන්න සාමාන්‍ය කෙනෙකුට වඩා දක්ෂ චරිත තුනක්. ඒ ගැන මගේ අර්තනිරුපනය වෙනම ලියන්නම්. හැබැයි, ඔබ කියන එක ඇත්ත කියා මාත් දන්නවා. ඔබට එයාලගේ වැරදි පෙනෙන්නේ, ඔබ ඉගෙන ගත් කාලයේ හා අද වෙනස නිසා. එදා මුද්‍රණාලයක සෝදුපත් බලන්න හිටිය මිනිසුන්ට පවා හොඳ සිංහල දැනීමක් තිබුනා. අද විශ්ව විද්‍යාල නිම කළ අය පවා සිංහල දන්නේ නැහැ කියා ඔබට තේරුනාට, එයාලම දන්නේ නැහැ. මොකද එයාලගේ ගුරුවරුන් ද එසේමයි. සමහරුනට ජිව දත්තයන් හරියට ගලපා ගන්න බැහැ. මෙය එක එක පුද්ගලයාගේ වැරදිම නොවේ. මුළු ක්‍රමයේම පරිහානියයි. ඒ ගැන කියන්න අදහසක් මේ කතාවේ නැහැ. හැබැයි අර ඔබ මුලින් කියල තියන දේ, මා කියන්න හැදුව එක කරුණක් (පුතා ඔබ‍ට සර් කීම). විස්තර පසුවට. 🙂

  25. ඔබටත් පිළිතුරු උඩ තියනවා හිරු. ඒ නැතත් වෙනම සටහනක් දාන්නම්.

  26. @maathalan
    මොන පිස්සුද මේ ඊයේ අර අන්වර් සහ පාතිමා කවියත් ආවේ!

    සාමාන්‍යයෙන් මට මේල් දෙකක් හෝ තුනක් ආවා. මේ දවස්වල එන්නේ එකයි.

  27. තැන්ක්ස් කාකා,,,

    රයිගම් අයියේ ටික ටික පරණ පෝස්ට් කියවන්න ගත්තා කියවන්න ගෙනාපු පොත් ඔක්කොම ඉවරයි,, බ්ලොග් කියෝන එක තමයි දැන් වැඩේ