සැණකෙළියේ කිසිම දෙයක දැනුනේ නැහැ මට වෙනසක්! One size does not fit all!


ඉන්ද්‍රානි පෙරේරා සැණකෙළියේ වෙන කිසිවක්ම දැක්කේ නැත්තේ, එක දෙයකට පමණක් හිත යොමුව තිබුණු නිසා. මේක සාමාන්‍ය ජිවිතයේ සැණකෙළි නැති වෙලාවලටත් වෙනවා. මොකද පුරුදු වෙලා ඉන්නේ එක අච්චුවක. එයට පිටින් හිතන්න පුරුදු වෙලා නැහැ. කොහොම වුනත් සමහර දේවල් මේකයි කියල කෙලින් ලියුවත් තේරුම් ගන්නේ වෙනස්ව නිසා පැහැදිලි කිරීම් කරනවා. හැබැයි ඒකෙන්  අදහස් වෙන්නේ නැහැ, ඒ වෙනස් විදිහට තේරුම් ගන්න තහනමක් තියනවා කියා. මා හිතන හැටි විතරයි පැහැදිලි කරන්නේ.

කලින් කතාවට මේ දාන පැහැදිලි කිරීම, ඔබගේ සිතුවිලි හා සංසන්දනය කිරීමකට පමණයි. මේවා කියවල ආතල් කඩා ගන්න එපා. මා ලියන්නේ මගේ ආතල් එකට කියා ලියුවේ මිට සති දෙකකට පමණ පෙර.

මා කතාවකින් කියන්න හැදුවේ, එකම සමාජ මට්ටම් වලට අයිති තිදෙනෙකු, තමන්ගේ වෘත්තීය දිවියට අවතීරණ වුන ආකාර තුනක් ගැන. මේ තිදෙනාම කුඩා කාලයේ සිට, තියන ක්‍රමය තුල කැපී පෙනුන අය. මෙවැනි කතාවකින් මා කියන්න අදහස් කළේ මිනිසුන් මුහුණ දෙන කුඩා ප්‍රශ්න කිහිපයක්. මේවා දැවෙන ඒවා නොවෙන්න පුළුවන්. 

මෙවැනි කතාවක චරිත වර්තමාන සමාජයේ ඉන්න මිනිසුන්ට හෝ තමන්ට ආරෝපණය කර ගෙන නිකම් හිත නරක්  කර ගන්න අවශ්‍ය නැහැ. සරලව හිතන්න ඕනේ. මෙහි චරිත වලින් ලංකාවේ සරසවි අධ්‍යාපනය නිරූපනය වීමක් තියා, ඔවුන් කොයි රටක සරසවි ගියාද කියලවත් සඳහන් කර නැහැ.

මේ කතාව මා කුඩා දරුවන් දෙදෙනෙකුට කියල ඔවුනගේ අදහස් ඇහුවා. එක කෙනෙක් ගත් කටටම කිවේ ලෝකය කොච්චර කුඩා තැනක්ද කියන එකයි ඔහුගේ සිතට ආවේ කියලා. අනෙක් කෙනා කියුවේ, අවශ්‍ය වෙලාවට උදව්වක් කරන මිත්‍රයෙක් හිටිය එක කොතරම් හොඳයිද කියන එක. මේවා දේශපාලන මනස්ගාත වලින් ඔලුව අවුල් නොවුන දෙදෙනෙකුගේ ක්ෂණික සිතිවිලි.

ලෝකේ මිනිසුන් දෙදෙනෙකු එක වගේ වෙන්නේ කලාතුරකින්. එහෙම එකේ පන්තියක සිසුන් සියලු දෙනාම එකම මිනුමකින් නැත්නම් ලකුණු වල සාමාන්‍යය අරන්, මනින එක වැරදියි. මෙයින් දක්ෂයා හෝ අදක්ෂයා තේරෙන්නේ නැති බව අපේ ඇස් පනාපිට තිබෙත්දිත්, ඒ බව පිළිගන්න කැමති පිරිස් අඩුයි. වෙන රටවල් වලට ඇවිල්ලත්, ඒ පුරුදු පාරට යන්න පුදුම දැඟලිමක් කරනවා.

දැනට ටික දිනකට පෙර හෙන්රි ලියා තිබුනා පන්තියේ සිසුවෙකු ගැන. ඉවත දාන සිගරට් ලයිටර වලින් සෙල්ලම් බඩු හදන. ඔහු ඒ නිර්මානාත්මක බව ගැරහීමකට ලක් කරන්නේ නැතිව, දිරිමත් කර තිබුන විදිහ තමයි කතාවට පදනම් වුනේ. ඒත් අපේ වැනිම අධ්‍යාපන පරිසරයක. අධ්‍යාපනයේදී කියවෙන දෙයක් තමා, එකම මිනුම, හැමටම හරියන්නේ නැහැ කියන එක. මෙය උගැන්වීම් කිරීමේදී යොදා ගන්න විදිහ අනුව තමයි, අධ්‍යාපනය, විශේෂයෙන් පාසල් අධ්‍යාපනය සාර්ථක හෝ අසාර්ථක වෙන්නේ. හැබැයි නොයෙකුත් හේතු නිසා ගොඩක් රටවල එහෙම යොදා ගන්නේ නැහැ.

දරුවෙකුගේ දක්ෂතා ඔප මට්ටම් කිරීම තමයි අධ්‍යාපනය කියල සරලව කියන්නේ. දක්ෂතාවයන් විවිධ නිසා, එකම මිනුමෙන් මනින විට එතන පොඩි නොවේ, ලොකු අවුලක් වෙනවා. එහෙම පරිසරයකදී වුවත්, විශේෂ දක්ෂතා තියන පිරිස් අනෙක් අය අභිබවා පෙරට ආවත්, ගොඩක් උදව් ඕනේ කට්ටිය ඇට්ටකුණා වෙලා යන්න තියන ඉඩ ඉහලයි.

මා අපේ දරුවන්ට සමහර වෙලාවට ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ ජීවිතය ගැන කියනවා. උදුනට දර දාන්න ආපු තරුණයා නැවතුන තැන පිළිබඳව. මේ කතාවෙන් කියන්න හදන මුලිකම කාරණය එයයි. අනික් සියල්ල අතුරු කතා.

කඩයිම් විබාග අපේ ජිවිතයේ අංගයක් වුවත්, මේවා ජීවිතයත් මරණයත් අතර සටන් නොවේ. ජිවිතයේ මේවාට වඩා සටන් තියනවා. වෘත්තීය කියන්නේ ජිවිත විලාසිතාවේ එක තේරීමක් පමණයි. ඉහත තුන් දෙනාගේ ජිවන විලාසිතාවන්, දේශපාලන මතවාද හා පවුල් දිවිය සහ මුලින්ම වෙනස් තුනක් වන්න ඉඩ තියනවා (ඒ ගැන මගේ සිතිවිලි මෙහි දෙවන කොටසින්).

පසු වදන

මෙම සටහන කෙටි කරපු නිසා සමහර ප්‍රතිචාර අන්දකයිප්පු කෑවා වගේ පේන්න ඉඩ ඇති බව සලකන්න.

12 Comments

Filed under General

12 responses to “සැණකෙළියේ කිසිම දෙයක දැනුනේ නැහැ මට වෙනසක්! One size does not fit all!

  1. ඔබේ නිර්වචනය ඉතා පැහැදිලියි දැන්.

  2. එක් එක් අය තමන්ගේ උපරිමයෙන් දක්‍ෂකම් පෙන්වන්නේ විවිධ වයස් වලදියි.

    සාමාන්‍ය පෙල ඩී අට ගත්තු අය උසස් පෙල ෆේල්වෙනවා.

    උපාධියේ උසස් පෙල ඉහලින් ම සමත් වෙන්නේ උසස් පෙල ඉහල ලකුණු ගත්තු අයම නොවෙයි.

    මං පහේ පන්තියේ රජයේ විභාගයේ දී ගණිතය, සිංහල සහ බු.ප සඳහා ලකුණු 261 ක් ලබා ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යය 87 ක්. ඒ මා පාසල් දිවියේ දි ලබාගත් හොඳම ප්‍රතිපලයයි.

  3. ඇත්තටම නලින් මෙය ලියන්න අවශ්‍ය දෙයක් නොවේ. ඒත් පැහැදිලි කිරීම් දැන් පුරුද්දක් වෙලා. මෙසේ කිරීම වඩාත් යෝග්‍ය යයි සිතුනේ, කලින් කතාවේ සමහර ප්‍රතිචාර කියවීමෙන්.

  4. ඇත්තටම කකා මෙය ඊටත් එහා යන කතාවක්. එක මහත්තයෙක් කියනවා අපොස උපේ සරසවි වරම් ගන්න බැරිවුන නිසා මෝඩ චූන් ගන්නවා කියලා. සරසවි ඉවර කරපු අය විභාගයක් ගැන හිතන්නේ එහෙම නම්, ඔය කුලි වැඩක් කරගෙන ඉන්න මිනිසුන් කොහොම හිතන්න ඕනෙද? දක්ෂතා එක එක කාලෙට වෙනස් වෙනවා පමණක් නොවේ, විවිධ අයට තියන දක්ෂතාත් වෙනස්. ඔබ ලඟදි කියල තිබුනා ජර්මානු කාර්මික ආයතයනය ලංකාවට පමණක් නොවේ, ලොවේ අන් රටවලටත් කළ සේවය විශාලයි කියා.එය හරි ඇත්ත කතාවක්. මා හිතන්නේ අධ්‍යාපනය විවිධ කාණ්ඩ වල දක්ෂතා ඔප නංවා ගත හැකි පරිදි විවිධාංගිකරණය විතරක් නොවේ, කස්ටමයිස් කරන්නත් ඕනේ. විද්‍යා විෂයන් සමග සාහිත්‍යය හදාරන්න පුළුවන්කම තියෙන්න ඕනේ.

  5. පුද්ගලයකුගේ දක්ෂතා විභාග වලින් මනින එක වැරදියි. බොහෝ සාර්ථක මිනිසුන් විභාග පාස් අය නෙමෙයි. ජීවන තක්සලාවේ උපාධි ගහපු අය.

  6. මෙය දරුවන්ට මනාව වටහා දියයුතු කරුනකි.මීට වසර හතලිහකට පෙර පැවත්වු 5 ශිෂ්‍යත්ව විභාගයදී මම දිවයිනෙ හොඳම සිසුවන් ගෙන් කෙනෙක්මි.එයින් පසු උ/පෙල දක්වාම මා එතරම් සාර්ථක නොවුමි.පිලිතුර වූයේ හෝටලයක රස්සාවය.එදා සිට අද දක්වා මා හට මුහුන පෑමට සිදුවු සමාජ,ආර්ථික සංසිද්ධීන්,අත්දැකීම් ඉතා බහුලය.ඒවා අති අපූර්වය,කටුකය.නමුත් මනරම්ය.පොතක් ලිවීමට වස්තුබීජ බොහෝය.
    මෙම අත්දැකීම් ඒ සැටියෙන්ම දරුවන්ට පහදා දිය යුතුය.එය දරුවන්ට අත් පොතක්වේ.අපේ එකම දරුවා උසස් අධ්‍යාපනයේ අවසන ආචාර්ය උපාධිය සඳහා සුදනම් වෙමින් සිටී.
    ඔබේ ලිපිය කියවීමෙන් පසු,මෙය ලියවීම දක්වා තල්ලු උනෙමි

  7. Kenji @ Japan

    හුගක් උගතුන් උගත් කම ආභරණයක් විදියට හිතාගෙන උද්දච්චව කටයුතු කිරීමෙන් මහා විනාශ වෙන අවස්ථාත්,මල පොතේ අකුරක් නොදන්න පොරවල් ආරූඩ උගත්කම් පෙන්වමින් මහා විනාශ වෙන බව නම් පේනව ලංකාවෙ පෙර නොවුන ලෙසට.

  8. හිරු

    විද්‍යා විෂයන් සමග සාහිත්‍යය හදාරන්න පුළුවන්කම තියෙන්න ඕනේ.//

    අයියෝ ඒ ගැන නම් කියන්න දෙයක් නෑ… අපේ ඒලෙවල් සිස්ටම් එක නං මහම ජරාවක්… ඕක මේ අද ඊයේ මට හිතිච්ච දෙයක් නෙවෙයි.. මං ඒ ලෙවල් වලට චිත්‍ර තෝරගන්න හිතුවේ මං ඒකට ආස නිසා.. ඒත් සෞන්දර්‌ය විශයක් කළාම කැම්පස් ලෝ සයිඩ් එකට යන්න බෑ කියලා කිව්වා… මට කැම්පස් යන්න ඕනෙ කමක් තිබ්‌ෙබ් නැති නිසා මට එච්චර ගානක් නැති උනා.. මං චිත්‍ර කළා… ඒත් මට ඒ වෙලාවෙ තරම් යකා වැහිච්ච වෙලාවක් තිබ්‌ෙබ් නෑ… මට ලෝ කරන්න ඕනෙ උනේ ලෝයර් කෙනෙක් වෙන්න නෙවෙයි.. මං ලෝ වලට ආස නිසා… ඒත් මේ දහජරා සිස්ටම් එක පුදුම විකාරයක්…

  9. Raigama

    මාතලන්, විභාග/තරඟ කියන දේවල් අපේ ජිවිතයේ අංගයක්. එදා අංගම්පොර ගහගන්න කාලයේ හා අද වෙනස තමයි, කාටත් අසාධාරණයක් නොවන පරිදි එකම නීතියකට අනුව ඒවාට මුහුණ දීමට හැකි පරිදි අප කලින් එකඟතාවයකට ඇවිල්ල ඉඳීම. එක අයෙකුට විතරක් කලින් ප්‍රශ්න පත්තරේ දුන්නොත් හරි, තරඟයක නීතිය බලන්න ඉන්න කෙනාගේ කනට ගහන කොට එතන, හැමෝටම වෙනස් කමකින් තොරව දක්ෂතාව පෙන්වන්න වරම් නැහැ. මේක අතුරු කතාවක්.

    මෙහෙමනේ මාතලන්, දැන් අපොස උපෙන් සරසවි තෝරා ගන්න තියන හොඳම ක්‍රමය තමා විභාගය. ලක්ෂ තුනකින් තුන් හාරදාහක් තෝරා ගන්න වෙන පහසු ක්‍රමයක් නැතුවා වගේම, වෙන ක්‍රම වලදී විය හැකි අක්‍රමිකතා මේ මගින් සිදු වන්නේ නැහැ (ප්‍රශ්න පත්‍ර හිතවත් අයට කලින් නොදුන්නොත්). හැබැයි එතැනදී තමන්ට විකල්ප තියෙනවා නම් හොඳයි. කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුනාට, දක්ෂ වඩු කාර්මිකයෙක් වෙන්න ආසාව හා අතේ හුරුවක් තියනවා නම්, එය ඉගෙන ගන්න මාර්ගයකුත් තියෙන්න ඕනේ (අතේ මුදල් තියනවා නම්, මුදල් ගෙවලා හරි).

    නමුත් කුඩා වසර වලදී වෙනියන් තේරීම මගින් කිසි යහපතක් වෙන්නේ නැහැ. එමගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එකත් පැහැදිලි නැහැ. අන්තිමයන් වන සිසුන් මානසිකව වට්ටනවාට අමතරව, හිතාමතාම එයාලව කොන් කිරීමකුත් සිදු වෙනවා. සියලුම අවධානය යොමු කරන්නේ, වැඩිය උදවු අවශ්‍ය නොවන පළමු වෙනියන්ටයි.

    මගේ අත්දැකීම් කලින් ලියා තියනවා. හැබැයි මා මේවායින් ගොඩ ආවේ, මාම දැනුම් තේරුම් ගැනීමෙන්.අතීතයේදී කරගන්න බැරිවුන දේවල් වලට, අනුන්ට බැනලා මෝඩ චූන් ගන්නවා යයි කියන අයට වඩා මේවා ඉහලින් සමත් වුන අය ලෝකයේ ඉන්නවා. එය නොවේ වැදගත්. එයාල අද කරන්නේ මොනවාද කියන එක. මා කිසිදා තිබුන අධ්‍යාපනයට (වැරදි තිබුනත්) බනින්නේ නැහැ. වැඩිහිටියන් වුන පසුව විතරක් නොවේ, වෙන රටවල් වලට ඇවිල්ලත් මේවා තේරුම් ගන්නේ නැතුවා විතරක් නොවේ, එයට වඩා හොඳ ක්‍රමයන් පසෙක දාල ඒ පුරුදු ක්‍රමයම බදා ගැනීම මා බලා සිටින්නේ කලකිරීමකින්.

  10. Raigama

    අරූ, තමන්ගේ දරුවන්ට දෙමාපියන් තරම් ආදර්ශයක් ගන්න වෙන කවුරුවත් ලෝකේ නැහැ. එම ආදර්ශය ජිවිතයේ අලුත් මානයන් සොයා යන්න ප්‍රබෝද මත් කරන්නක්ද නැත්නම් අපත ජිවිතයකට පාර කපන්නක්ද කියන එක රඳා පවතින්නේ අප කරන දේවල් මත, නැත්නම් අපේ ජිවන විලාසිතාව මත. රස්සාව ජිවන විලාසිතාවේ එක තේරීමක් පමණයි අරූ. ඔබව ඔබගේ දරුවාට, හොඳ ආදර්ශයක් වුන බවට සැකයක් නැහැ. බුදු හාමුදුරුවන්ගේ ජීවිතය මා හිතන්නේ ජේසුස් වහන්සේගේ ජිවිතයට වඩා ගොඩක් පහසු වෙන්න ඇති. එතුමා ඉපදුනේ වරප්‍රසාද ලත් පවුලක, ලබන්න පුළුවන් ඉහලම අධ්‍යාපනය ලැබුවා, බණ කියන කොට අනෙක් අයට කියන්න ඉඩක් තිබුනේ නැහැ, අනේ ඔයා ඔය මිදී වල තිත්ත අපට කියන්න එන්නේ, උඩ පැනලා හති වැටිලා නේද කියලා. අප බොහෝ දෙනෙකු එහෙම නොවේ. අත්දැකීම් කියන්න හැදුවත්, එය අපේ ඇඟේම ගහන්න බලනවා. මා ඒකයි නිතරම ලියන්නේ, මේ කිසිවක් කිසිවෙකුගේ බුද්ධියේ නිම් මාල, වළලු, කන කරාබු පුළුල් කරන්න ලියන ඒවා නොවේ, මගේ අදහස් සටහන් කර තැබීමක් විතරයි.

  11. Raigama

    එය සමාජයේත් කැමැත්තයි. එය ප්‍රජාතන්ත්‍රවාදය කියලත් කියනවා. සුළු පිරිසක් හැරුණු කොට, එකම ජාතිවාදය කරපින්නා ගත් දෙදෙනෙකුට ගරහන්නේ හෝ සලකන්නේ දෙවිදිහකට. ඔබ මොනෑෂ් සරසවියේ උපාධිධාරියෙක් නම් හා උසස් පෙල ඉහලින්ම සමත් නම් ජාතිවාදියා උනත් නරකම නැහැ. නම වැනි ශේණිය විතරක් සමත් නම්, ඌ අට පාස් නැති නිසා ඔහොම වුනා කියනවා. හැබැයි කතිරය ගහන කොට දෙන්නටම උඩ පැනලා ගහනවා. මේවගේ දේවල් වෙන්නේ ලංකාවේ පමණක් නොවේ .

  12. Raigama

    මා නම් හිරු එදත් ඉගෙන ගත්තේ, තාමත් ඉගෙන ගන්නේ ජිවන මාර්ගය සොයා ගැනීම පිණිස. ඒ අතරේදී ජිවන විලාසිතාවට ගැලපෙන අනෙකුත් දේවලුත් එහෙන් මෙහෙන් අහුලා ගන්නවා තමයි. හැබැයි පුතෝ කන්න නැත්නම්, සේරම කොරලා හමාරයි. 😀