OCD! සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුනාද?


මා නිතරම කියවන සුළු පිරිසක් ඉන්න එක හොඳයි කියන්නේ, නැවත නැවත කියන එක සමහරවිට එකෙන් වලක්වා ගන්න පුළුවන් නිසා. මා මුල ඉඳලම කියන දෙයක් තමා, මා ජිවත් වන්නේ අනෙක් අය මොනවාද කරන්නේ කියා සසඳා බලලා නොවේ. එහෙම වුනා නම්, අපේ ජිවිත මෙයට වඩා ගොඩක් අමාරු වෙනවා. එහෙම මෝඩ ආතල් ගැනීම, නියම මෝඩ ආතල් කියා මට සිතෙන්නේ නැත්තේ, එයින් කිසිම ආතල් එකක් ලබන්න බැරි නිසා.

නියම මෝඩ ආතල් සඳහා තමන්ගේ ක්‍රමයක් සොයා ගන්න ඕනේ. මේ බ්ලොග් ලිවීමත්, ඔය මුද්දර එකතු කිරීමත් අනුන් කරන නිසාම ඒ විදිහට කරනවා නම් මොන මෝඩ ආතල්ද? ඒවා කරන්න ඕනේ තමන් කැමති නම් විතරයි. පොඩි කාලේ ඉඳන්ම, අනෙකා සමග සසඳමින් උගන්වන නිසා මේ සිතන විදිහ නොදැනුවත්වම හැම දෙයටම යොදා ගන්නවා. අනුන් කරන නිසාම නොකරන මා අකමැති දේවල් ගොඩක් ලෝකේ තියනවා. සටහන් වලින්, පිළිවෙලින් ලියාගෙන යන්නේ එවැනි සමහරක්.

ඉංජිනේරු ශිෂ්‍යයන්, එන්ඩිටි අයට හිනා වෙනවා, එන්ඩිටි කට්ටිය පාරේ ඉන්න අයට හිනා වෙනවා, මේඩ්ඩෝ, නිකම් බයෝ කරන අයට හිනා වෙනවා, බයෝ කරන අය, වාණිජ කරන කට්ටියට හිනාවෙන්න බලා ඉන්නවා, අට පාස් අය, පහ පාස් නැති අයට ඔලොක්කුව දානවා.  ලංකාවේ උපාධි කාරයන්, පිට රටවල් වල අයට හිනා වෙනවා. මේක තමයි සාමාන්‍ය කතාව. මේ ගැන මා සටහනක් දැම්මේ, අර මොරටු සරසවි සිසුන් හා එන්.ඩී.ටී කට්ටිය ගහගත් වෙලාවේ, මේ බ්ලොග් වල ගිය දේවල් කියවීමෙන්.

ජීවිතේම එහෙම, අනුන් හා සංසන්දනය කර ගනිමින් සිනා වීමට අවශ්‍ය නැහැ. මට පවා මෙහෙම මුහුණටම සිනාසුන මිනිසුන් හමු වී තියනවා. අද මා ඔවුන් ගැන තරමක් අනුකම්පාවෙන් හිතන්නේ. එදා නම් ලේ කෝප වුනා.

මෙහෙම හිනාවෙන මිනිසුන්ගේ, ජිවන විලාසිතාව දෙපිට කාට්ටු බවේ ප්‍රති මුර්තියන් කියා කියන්න පුළුවන්. මහාචාර්ය හෝ දත් දොස්තර නම් ජාති වාදී වුවත් ටිකක් ලොකුවට සලකනවා. හැබැයි ලෝකේ ඉන්න ඉහලම මානව හිතවාදියෙක් වුවත්, කියන්නේ අනේ ඕකා දන්නේ මොනවාද? කෝ උපාධියක් වත් නැහැනේ කියල.

කලින් කතාවේ මිනිසුන් තුන් දෙනාගේ රැකියාවන් එකම වුනත්, ඔවුනගේ ජිවන විලාසිතාවන් සමාන වේවි කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපට කෙටි-කාලීන සමාජ වාදීන්, මානව හිතවාදීන් වීම එතරම් අමාරු නැහැ. අමාරු වන්නේ ඒවා දීර්ඝ කාලයක් පවත්වා ගැනීමයි. ලංකාවේ සරසවි කාලේ කෙටි-කාලින සමාජ වාදීන්, සමාජයට ආවහම කදෝ පැනියන් හිරු දුටුවහම වගේ වාෂ්ප වන්නේ ඇයි? ඒ අයම, වෘත්තියේ ඉහලට ඇවිත් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න ලැබුනහම, අර කලින් ජීවිතය කැප කරලා බේරා ගන්නවා යයි කියපු දේවල්ම නැති කරන්න උදවු දෙනවා. පිට රටකට ඇවිත්, දරුවා පෞද්ගලික පාසලකට දා ගන්න තරමට ඉහල ගියහම, අනේ අපොයි අපි නිකම් ඉන්න එවුන්ට බදු ගෙවනවා කියනවා.

අතීතයේ ඉගෙන ගත් දේවල්, සමත් වුන විභාග, ලබාගත් සහතික අද ඉන්න නියම මිනිහාගෙන් පේන්නේ  නැත්නම් වැඩක් නැහැ. මේ සති අන්තයේ පත්තරේ අතිරේකයක තිබුන විශේෂාන්ගයකට නිමිත්ත වුනේ නොර්දර්න් ටෙරිටෝරි ප්‍රාන්තයේ මහා ඇමති ඇඩම් ගිල්ස් ගැන. ඔහු තමා මෙහෙ ඇබෝරිජිනල් සම්භවයක් සහිත පළමු ප්‍රාන්ත මහා ඇමති. ඔහු තමන්ගේ අතීතයේ සිදුවුණ කරුණක් ( ඔහුගේ මිත්තනියට) ගැන කියන්න අකමැති ඇයි කියල පත්තර කාරය අහන කොට ඔහු පිළිතුරු දීල තිබුනේ මෙහෙමයි “What happened with my family and its history is no one’s business, I don’t want people thinking good, bad or indifferent about my past. It’s more about me today”

Advertisements

9 Comments

Filed under Lifestyle, Opinion

9 responses to “OCD! සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුනාද?

  1. තමුන් තුල අඩුපාඩු ගොඩක් තියන මිනිස්සුන්ට ආයෙත් තමුන් තුල තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගන්න වෙලාවක් ඉතිරිවෙල නැහැ..
    ඉතිං එයාල හදන්නෙ අනෙකාගේ විනෝදය විහිලුවක් කරගෙන..
    ආනන් අරූ අපිට වැඩිය පහත් කියන තැන ඉදන් අනෙකා පහත් කරලා තමුං ඉහලට යන්න..

    • අමිල Comparison Disorder සමහරවිට නරකම නැහැ Obsessive නොවුනොත්. මා පබිලිස් සිල්වාගේ ජිවිතය සඳහන් කිරීමත් සැසඳීමක්නේ. මේ වගේ සැසඳීම් අප ජීවිතය පුරාම කරනවා. එකම දේ තියෙන්නේ ඒ සැසඳීම, මා තව පබිලිස් සිල්වා කෙනෙක් වෙන්න හදන එක නොවේ. ඒ වෙගේම අප ගොඩක් වෙලාවට, අමාරුවක වැටුන විට හිත හදා ගන්නේ, ඊටත් වැඩිය අමාරුවේ වැටුන කෙනෙකු හා සැසඳීමෙන්.
      ඔබ කියන කතාව ඇත්ත, වෙලාවක් නැතුවා විතරක් නොවේ, එහෙම අඩු පාඩු හදා ගන්න ආදර්ශයට ගන්න කෙනෙකුත් නැහැ. මිනිසුන් පහත් කරලා හිනා වීම සමහර විට, ලෝකය ලොකු තැනක් කියල පේන්න තියෙත්දිත් සිදු කරනවා අමිල.

  2. ඔව් මචං. ඔය අඩුපාඩුව නම් මමත් දකිනවා. හැබැයි ඕක තමන්ට වඩා පියවරක් පහතින් ඉන්න එකාට හිනාවීමක් නෙවෙයි සමහරවිට. ඇයි මචං බ්ලොන්ඩ් ජෝක්ස්, අයිරිෂ් ජෝක්ස්? එතකොට දකුණු ඉන්දියානුවා උතුරු ඉන්දියානුවාටත්, උතුරු ඉන්දියානුවා දකුණු ඉන්දියානුවාටත් හිනාවීම සහ පහත් කොට සැලකීම? මම හිතන්නේ ඕක කොතනත් තියෙන දෙයක්.

    උඹ මුලින්ම ගත්ත උදාහරණය ගත්තොත්, මම නම් බ්ලොග් ලියන්නේ සංසන්දනාත්මකව නෙවෙයි මචං. මට වෙන කවුරුවත් වගේ බ්ලොග් ලියන්න ඕනෙ කමක් නෑ. මම ලියන්නේ උඹ වගෙවත්, කතන්දර වගේවත්, රයිගම් වගේවත් නවෙයි. මම ලියන්නේ මම වගේ.

    • උඹ කකා වගේ ලියනවා නම් හෝ, මා වගේ ලියනවා නම් අමුතුවෙන් කියවන එක තේරුමකුත් නැහැ. එත් මේ ලියන කොට, එයට පසු පසින් තියන (එනම් කියන්න යන දේත්) වැදගත්. මගේ කෙටි කතාව, සටහනක් කියවන සාමාන්‍ය පිරිසට වඩා, වැඩි පිරිසක් කියෙවුව වුනත්, එයින් එතරම් පලක් නැහැ. එතන තියන සැබෑ අරුත ගන්නේ, හැමදාම කියවන උඹල පමණයි.

      උඹ මුලින් කියන කරණාව ඇත්ත. මේවා කොයි සමාජ වලත් තියනවා. හැබැයි මචං, මේ වගේ රටකදී උඹ අමාරු තැනක ඉඳලා, ඉහල නැග්ගා කියල ප්‍රසිද්දියේ කියුවට, එයට සිනාසෙන මිනිසුන් අඩුයි. ලංකාවේ ප්‍රේමදාස ජනාධිපති ලැවරියා විකුණුවා කියල කියුවොත්, එයාගේ පුතාට පාසල් යන්න පවා බැරි වෙනවා. ඊයේ පෙරේද මෙහෙ උප අගමැති ලෙස පත්වුණ, ඇන්තනි ඇල්බනීසි, එයාගේ ළමා විය මතක් කළේ, රජයේ සහන නිවාසයක, දෙමාපියන්ගෙන් එක අයෙකු පමණක් ඇසුරේ අමාරුවෙන් ඇති දැඩි වුන හැටි. එයින් ඔහුව සිනාවට ලක් වෙන්නේ නැහැ. අපේ කට්ටියත් සේරම කොළඹ පාසල් ගියාය කියන, ගොවියෙක්ගේ අමුඩය දැක්කේ නැති කියන, කවදාවත් බස් එහෙක ගියේ නැති කියන සියලුම කතා පසු පස තියෙන්නේ, අනුන්ගේ හිනාවට ලක් වෙයි කියන බය. ඒකයි අර කාශ්‍යපත් හිතුවේ මාත් මේ ලියන්නේ අනුන්ට හිනා වෙලා ආතල් ගණනය කියලා. එය කාශ්‍යපගේ වරදක් නොවේ. එහෙම බහුතරයක් හිතන සමාජයක අප ඇති දැඩි වුනේ. අප විතරක් නොවේ ඉන්දියාව වැනි රටක පවා තත්වය මෙයයි.

  3. ඔබ අපට වැඩිය බොහෝ දුරක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්.ඔබට එසේ චින්තනයක් ඇතිවන්නේඒ විදෙස රටක ජිවත් වෙන නිසාද කියන්න දන්නේ නෑ. ඒ කොහොම වුණත් රයිගම් ඔබේ චින්තනයට මා කැමතියි. එත් ප්‍රාෙයා්ගික තත්ත්වය ඉදුරා වෙනස් අපේ රටේ. උත්තම අදහසක් පොඩි මිනිහෙක් ගෙනාවට ඒක සමාජ ගත වෙන්නේ නෑ. ඒයිට වඩා අඳබාල අදහසක් වුව ඇකඩමික් පොරක් ගෙනාවොත් ප්‍රතිචාර ගොඩයි. වැළදගන්නන් වැඩියි. මේ ඉතාම කෙටියෙන් කිව්වේ.

    • ඉතාම කෙටියෙන් කියනවා නම් නලින්, මා ඉදිරියෙන් නොවේ ඉන්නේ. හැබැයි මට ඉදිරියෙන් ඉන්න මිනිසුන්ගේ ඇසුර ලැබීමට තරම් මා ටිකක් වාසනාවන්ත වුනා. ඒ නිසා පසුපසින් යන්න පුළුවන් කම ලැබුනා.

  4. නලීන්ට පොඩි එකතුවක්……චින්තනයක් ඇතිවන්නේ හෝ වෙනස්වෙන්නේ ජීවත්වන රටට අදාලව නොව ජීවත්වන රටාවට අදාලවය.රටාව නම් බලගතු සාධකයක් බව මගේ විශ්වාසයයි.මා වැරදි විය හැක.නලීන් කියන විදිහට අපේ රටේ නම් හොඳ අදහස්,සමාජගතවීම තියා සාකච්ඡාවීමවත් ආරම්භවන්නේ පොර සිවිල් හෝ ඇකඩමික් නම් පමනය.එතැන ඔබ සියයට සියයක් නිවැරදිය.එවන් මං පොර චින්තනයක් ගොඩාක් රටවල් වල නැත.අපි තවමත් සර්-මැඩම් චින්තනයේ වහලුන්ය.ඉන් පිටතට පැමිනීම කෙසේ වෙතත් අපි එහි පතුල සොයන්නෝ වෙමු.අපි කුඩු මුදලාලිලාටත් සර් කියන්නෝය.ඕනෑම දහදුරාවියකටත් මැඩම් කියන්නෝය.

    • අවිවාදිතය aru

      • අරු, මා ඔබට කලින් ලියුවේ බුදු හාමුදුරුවන් ගැන. එතුමා අහම්බයකින් රජ පවුලක ඉපදීම, පසුව චරිත කතාව ලියුව මිනිසුන් දකින්න ඇත්තේ කලින් පස්මහ බැලුම් බලල ඉපදීමක් ලෙස. ඒ මොකද කියනවා නම්, සිද්දාර්ථ එතරම්ම වරප්‍රසාද සහිතව තමයි මෙලොවට ආවෙත්, ජිවිතයේ මුල් කාලය ගෙවුවෙත්. එතුමාගේ ආගමික ජිවිතයට එයම ලොකු පිටි වහලක් වෙන්න ඇති. “සැඩොල් කුලේ” සෝපාක සත්‍යය සොයාගෙන හදිසියේ බණ කියන්න ආවොත්, ඒ වගේම ආකර්ෂණයක් හා නම්මා ගැනීමක් කර ගන්න පුළුවන් වේය කියා හිතන්න බැහැ. මේ සමාජය එදාට වඩා ගොඩක් වෙනස් වී නැහැ. ඒක තමා සමහර යතිවරුන්, හර්ද රෝග තියාගෙන, ජීවිතය පරදුවට තබලා පිනාචාර්ය උපාධි ගැනීමට පවා පෙළඹෙන්නේ. මොකද ඒ වගේ දෙයක් තියන කොට ආකර්ෂණය හා පිළිගැනීම වැඩියි. මා කවදත් ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහව දකිනවා.