Monthly Archives: August 2013

чепуха නොහොත් random සිතුවිලි (1)


පසුගිය මාසය වෙන කාල වලටත් වඩා ඵලදායක කාලයක් වුනා. ලෝකයේ අනික් මිනිසුන් විවේචනය කරමින් ඉන්න හැකි වුවත්, අන්තිමට වැදගත් වන්නේ තමන් කරන්නේ මොනවාදැයි කියන එක තමා. තමන් ඉපදුන රටේ ඉඳන් හෝ වෙන රටක ඉඳන් හෝ වලං හෝදනවද කියන එක පෞද්ගලික කාරියක්. නමුත්, අප බොහෝ වෙලාවට තමන්ගේ වලං ගැන නොවේ වැඩිපුර අවධානය යොමු කරන්නේ. මා  පසුගිය දිනක  පුහුණු වැඩ සටහනක දී, සහභාගී වුන අනෙක් අය සමග කතා කලේ අප රැකියාවේදී හා එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ ප්‍රශ්න. විවිධ රටවල් වල ඉපදුනත්, ලොකු වුනහම විතරක් නොවේ, පොඩි කාලෙත් අප මුහුණ දුන්න දේවල් එක වගේ යයි මෙවැනි කතා බහ වලදී තේරුම් යන කරුණක්.

සමාජයේ self-proclaimed උගතුන් නම් බොහොමයක් ඉන්නවා. උගතුන් නම් කළ යුත්තේ එයාල නූගත් යයි විශ්වාස කරන පිරිස් වලට තේරෙන භාෂාවකින් කරුණු පැහැදිලි කර දීමයි. හැබැයි එහෙම කරන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ. කට පාඩම් කිරීම මගින් විභාග සමත් වීම ඉදිරියට යාමේ ප්‍රධාන මාර්ගයක් වෙලා තියන පරිසරයක එයින් මිදෙන මං සෙවීම “ඒකීය පුද්ගලයන්ට” අසීරු කරුණක්. හැබැයි ඒ ක්‍රමයත් සමග යන ගමන්ම විකල්ප සොයා ගැනීමටත් පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවලදී පාඩම් කරන ගමන්ම, පාඩම් නොකර තේරුම් ගත යුතු දේවල් තේරුම් ගැනීම. ගුරුවරුන් හා දෙමාපියන්ට  කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියනවා.

මේ සටහනත් ප්‍රතිචක්‍රීකරණය කරපු එකක්. පසුගිය දවසක කතන්දර කාරය රුධිර පරික්ෂාවක් කර ගන්න ගිය හැටි කියල තිබුනා. උඹට ලියන්න දෙයක් නැත්ද කියා අහල තිබුන ප්‍රතිචාර මට මතකයි. සමහර වෙලාවට/සමහර රටවල  මේ වගේ රුධිර පරීක්ෂාවක්, කර ගන්න අමතරව වියදමක් දරන්න ඕනේ නැහැ. දැනටම ගෙවා තියන බදු වලින් එම පහසුකම ලබා ගන්න පුළුවන්. එහෙත් සමාජයේ කීයෙන්, කී දෙනෙක් එවැනි දෙයක් සඳහා පෙළඹෙනවාද? අන්තිමට, මොකක් හෝ බරපතල දෙයක් වුනහම තමන්ට විතරක් නොවේ, මුළු සෞඛ්‍ය සේවාවටත්  බරක් වෙනවා.

ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු හා මානවවාදියෙකු වුන ජෝන් ඉල්හන් 2007 වසරේ මිය ගියේ උදේ ව්‍යායාමයට ඇවිදින කොට. ඒ වෙන කොට එයාගේ වයස අවුරුදු හතලිස් දෙකයි. ජෝන් 2003 වසර වන විට ඕස්ට්‍රේලියාවේ හිටිය වයස අවුරුදු හතලිහට අඩු ධනවත්ම ව්‍යාපාරිකයා. වයස අවුරුදු 5 දී ටර්කි රටෙන් දෙමාපියන් සමග ඇවිත්, වරප්‍රසාද නැති පලාතක පාසල් වලින් අධ්‍යාපනය ලබල, ඕස්ට්‍රේලියාවේ ලාබාලම ධනවතා වෙන්න තිබුන දක්ෂකම විශේෂයි. ඒ වගේම ලෝකේ කොයි ධනපතියද මානව වාදියෙක් වුනේ කියල අහන අයියලට ජෝන්වත් මතකයට නංවා ගන්න පුළුවන්. ජිවිතයටම ඵලදායක රැකියාවක් කරන්නේ නැතුව, එහෙම අහන මිනිසුන්ගේ ජිවිත කතා කියවනවට වඩා මා, ජෝන් ලා, බිල් ගේට්ස් ලා නැත්නම් ඩික් ස්මිත්ලා ගේ කතන්දර කියවන්න කැමතියි.

ජෝන් මිය ගියේ හර්දයා බාදයකින් කියා සැක  කෙරෙනවා. හැබැයි ඔහු තමන්ගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල බලාගන්න ඉඳල තියෙන්නේ එදා හවස හෝ එම සතියේ. ඒ ප්‍රතිඵල ඔහුට බලාගන්න අවස්තාව ලැබුනා නම් සමහර විට ඔහු අදත් ජිවතුන් අතර වෙන්න පුළුවන් කියා ඒ දින වල සැක පහල කළා.

තමන්ගේ ලේ බලාගන්න පැය භාගයක් වැය කරන්න අකමැති කෙනෙක්, අනුන් වෙනුවෙන් ලේ ටිකක් දෙන්න පැය දෙකක් පමණ ගත කරන්න වෙහෙසෙයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. කකා කියල තිබුනා වගේම, හැම දෙනාටම ලේ දෙන්න බැහැ. දෙන්න පුළුවන් අප වගේ අයත්, දෙන්නේ නැහැ. මටත් ගොඩක් වෙලාවට එස් එම් එස් එනවා, ඔබේ රුධිර වර්ගය මේ දිනවල අවශ්‍යයි කියා. ඒ හැම වෙලාවෙම ප්‍රතිචාර දක්වන්න බැරි වීමට හේතු නම් මට ගොඩක් ඉදිරි පත්  කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ සමාවට කරුණු එතරම් වලංගු නැහැ කියල මටම හිතෙනවා.

4 Comments

Filed under Opinion