чепуха නොහොත් random සිතුවිලි (2)


පසුගිය දවස් වල හා තවමත් ලංකාවේ හා අන් රටවල තියන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමට අදාළ නිෂ්පාදන පිලිබඳ ප්‍රවුර්ති කිහිපයක් මා කියවූවා. කිරි නිෂ්පාදනය ගැන පොඩි සටහනක් දොවාපු කිරි කළයට පයින් ගැසීම නමින් මා කලින් ලියා තියනවා. එහිත් කියා ඇති පරිදි කිරි කියන්නේ මගේ හා  පවුලේ ආහාරයේ කොටසක්. කිරි සංඝටකයක් ලෙස යොදා ගන්න අප කැමති ආහාර වර්ග කොපමණ තියනවාද? අයිස් ක්‍රීම්, වටලප්පන් වල ඉඳලා බටර් යෝගර්ට් හා කේක් වැනි ආහාර දක්වා නිෂ්පාදනයේදී  එක ප්‍රධාන සංඝටකයක් වන්නේ කිරි. කිරි, බිත්තර මස් හා මාළු කෑම ගැන වෙනත් මත තියන අයට ඒ කෑම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පිලි ගන්න අතරේම, මේ ආහාර නිසා ලෝකයේ බොහෝ පිරිසකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ලැබෙන බවද අප පිලි ගන්න ඕනේ.

සත්ත්ව සම්භවයක් සහිත  ආහාර අතරින් කිරි කියන්නේ පෝෂ්‍ය පදාර්ථ දහයක් පමණ තියන එකක් විතරක් නොවේ, දියරයක් වශයෙන්ද ගන්න පුළුවන් දෙයක්. සමහර විට අපට කන්න බැරි වෙලාවට කිරි වීදුරුවක් බොන්න එතරම් අමාරු නැහැ. කිරි නොබිව්වට අඩුවක් නැහැ කියනවා තමා. කිරි විතරක් නොවේ මස් මාළු නොකෑවත් අඩුවක් නැහැ. අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වෙනත් ආහාර වලින් ගන්න පුළුවන් නම්. හැබැයි එහෙම ගන්න බැරි, විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මාංශ ආහාර වඩාත් අවශ්‍යයි. එහෙම කෙනෙකුට හාල්මැස්සෙක් කන එක හෝ කහට එකට පිටි කිරි හැන්දක් ඉඳල හිටලා හෝ වැටෙන එක, ඔය ඉහල මධ්‍යම පංතිකයන් නිර්මාංශ ආහාර කනවට වඩා ගොඩක් වැදගත්. දරුවන්ගේ ආහාරය ගැන කතා කරන්නත් අවශ්‍ය නැහැ.

මා හා බිරිඳ ලංකාවේ වැඩිහිටියන්  ලෙස ඉන්න විට  මිලදී ගත්තේ අඹේවෙල හයිලන්ඩ් පිටි කල කිරි. ඒ ගුණාත්මක බව ගැන හිතලා නොවේ. ලාංකික නිෂ්පාදනයක් නිසා. අර ලංගම බස් වල යනවා වගේ. හැබැයි නවසීලන්තයේ හා ලංකාවේ හදන පිටි කිරි දෙකකින් වඩාත් සෞක්‍යාරක්ෂිත ලෙස හදනවා ඇත්තේ කොයි පිටි කිරිද කියල මගෙන් ඇහුවොත්, මා හිතන්නේ නවසීලන්තයේ හදන ඒවා කියල. එයට එක හේතුවක්, මේ රටවල් වල කෘෂිකර්මය ක්‍රියාත්මක වන හැටි මා දන්නවා, දැකල තියනවා.

බටහිර රටවල් වල කෘෂි කර්මාන්තය විතරක් නොවේ, ආහාර නිෂ්පාදන ක්‍රියාවලින් වල තත්ත්ව පාලනය හා සෞක්‍යාරක්ෂිත බව අද තියන තත්වයට පැමිණ ඇත්තේ අතීතයේ කරපු වැරදි හදා ගනිමින්. එය රටේ පොදු යහපාලනය හා සිවිල් සමාජයේ අවදිමත් භාවයත් බලපානවා. මා අද චීනයේ නිෂ්පාදිත කිසිම ආහාර වර්ගයක් මිලදී ගන්නේ නැහැ.

ඒ මොනවා වුනත්, ළදරු ආහාර නිෂ්පාදනය කිරීමේදී ලෝකේ කොහේ වුනත් විශේෂ අවධානයක් යොමු කරනවා. එයට හේතුව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මෙහෙම තියෙත්දී 2008 වසරේදී චීනයේ සන්ලු හා වෙනත් සමාගම් ගණනාවක් ළදරු කිරි නිෂ්පාදන වලට මෙලමයින් නමැති රසායනියකය එකතු කිරීම නිසා ළදරුවන් ගණනාවක් මිය යාමත්, එයිට වඩා පිරිසක් රෝගී වීමත් මෑත කාලයේ ආහාර නිෂ්පාදනයේ සිදු වුන මහා අකටයුත්තක්.

මෙම සිද්දිය හෙළි වීමේ ආරම්භයේදී  චීන රජයේ ක්‍රියාකාරිත්වය පිළිකුල් සහගතයි. සන්ලු සමාගමේ කොටස් වලින් බහුතරය අයිති වුනේ චීන රජයට. හැබැයි ළදරුවන් මිය යද්දිත්, ඔලිම්පික් මගුලට සුදානම් වෙමින්  හිටිය රජය හැදුවේ මේක යට ගහන්න.  සියලුම ජනමාධ්‍ය රජයේ ග්‍රහණයේ තියන චීනයේ, මේක මුලදි වාර්තා කලෙත් නැහැ. මේ මිනිසුන් ගෙන් අහපුවා. අන්තිමට මේකට ප්‍රතිචාර දක්වන්න වුනේ අධිරාජ්‍ය වාදී බටහිර ජනමතයෙන් එල්ලවුණ බලපෑමත් හමුවේ.

ආහාර වලට පොදුවේත්,  ළදරු ආහාර වලට විශේෂයෙනුත් වස හෝ කෘෂි රසායන හෝ රෝග කාරකයන් හෝ එකතු වෙලා තියනවා නම් විශාල වරදක් කොහේ හරි තියෙන්න ඕනේ. එහෙම දේවල් ඕනේ කමින්ම එකතු කරලා තියනවා නම් එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඝනයට අයිති විය යුතුයි. බහු ජාතික සමාගම් මවු රටවල් වලදී එක පිලිවෙතකුත්, දියුණු වෙමින් පවතින රටවල තව පිලිවෙතකුත් ගෙන යනවා කියන එක රහසක් නොවේ. හැබැයි මෙලමයින්  සිද්දියේ ප්‍රධාන විත්තිකාර සමාගම වන සන්ලු වල බහුතර කොටස් තිබුනේ චීන රජයට. සන්ලු විතරක් නොවේ, චීනයේ රජයට සම්බන්ද අනෙක් කිරි සමාගම් සියල්ලම මේ ජරා අපරාධය කර තිබුනා. චීනයේ එහෙම වීම මට පුදුමයට කරුණක් නොවේ.

චීනයේ හා ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදන ක්‍රියාවලින් වලදී ඇති වන අක්‍රමිකතා ගැන නීති මගින් කටයුතු වන්නේ නැහැ. බහුජාතික සමාගම් වල ක්‍රියාකාරිත්වය ගැන විවිධ කතන්දර තිබුනත්, ඔවුන් ක්‍රියා කරන්නේ තියන වටාපිටාව අනුව. මේ බොහොමයක් රටවල සමාගම් ක්‍රියාකාරිත්වය, රටේ දුෂිත පාලකයන් හා එයාලට දෙන කොමිස් මත රඳා පවතිනවා.

ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් බටහිර රටක කෘෂි නිෂ්පාදනයකට, ඕනේ කමින්ම කෘෂි රසායනයක් එකතු කරාවි කියා මා හිතන්නේ නැහැ. මෙහෙ එවැනි දෙයක් ක්‍රිමිනල්  වගේම, තියන තත්ත්ව පාලන ක්‍රම යටතේ කරන්න තියන ඉඩකඩ සාපෙක්ෂව ඉතා අඩුයි. ආහාර වලට සුළු වශයෙන් කෘෂි රසායන එකතු වීමේ ඉඩ හැම රටකම වෙනවා.  බෝග වගාවේ හා සත්ත්ව පාලනයේ විවිධ අවස්ථා වලදී ගන්න ක්‍රියා මාර්ග අනුව මේ එකතු වීම අඩුකරගෙන තියනවා. චීනය හා අනෙක් සමහර රටවල් වල මේ ක්‍රියාවලිය තවමත් තියෙන්නේ ප්‍රාථමික මට්ටමේ. විශේෂයෙන් චීනයේ කෘෂි රසායන භාවිතය අංජබජල් කියලා කියන්නේ, එහි කෘෂි කර්මයට සෘජුව දායක වුන පිරිස්.

ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන වල එක්තරා කාණ්ඩයක බැක්ටීරියාවක් හමු වුනේ මේ වසරේ. චීනය හා රුසියාව වැනි රටවල් සමහර නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත් කලේ ඒ නිසා. තෘණ බිම් වලට යොදන නයිට්‍රිහාරකයක් වන DCD අංශු මාත්‍ර කිරි වල අහු වුනේ පසුගිය වසරේ. මේ කතා දෙකක්. මේ කතා දෙකම නවසීලන්ත කිරි කර්මාන්තයට විතරක් නොවේ, එයට තියන හරිත හා පිරිසිදු කම පිලිබඳ කීර්තියටත් විශාල බලපෑමක්. මෙයින් DCD ප්‍රශ්නය ගැන විශාල කලකෝලාහලයක් මෑතක තිබුනේ නැහැ.

ඒ අතරේදී ලංකාවේ දැනට තියන DCD ප්‍රශ්නය මූලිකවම ඇදිල ආවේ, අනෙක් ආන්දෝලන වගේම රජය අමාරුවක වැටිලා ඉන්න විට. මෙයට අදාළ කර ගන්න චීන හා රුසියානු කතා අර කලින් කියපු බැක්ටීරියාව ගැන. ෆොන්ටෙරා  හා නවසීලන්ත අගමැති කියන පරදි ලෝකයේ කොයි රටක් වත් නැති විදිහේ ඉහල DCD අගයක් ලංකාවේ විතරක් තියෙන්නේ කොහොමද? වෙන රටවල් වලින් ප්‍රතික්ෂේප කරන පිටි කිරි ලංකාවට එවුවත්, ලංකාව කියන්නේ 5 ස් වෙනියට ලොකු ගැනුම් කරුවා නම්, පහෙන් එකකට විතරක් බටහිර රටක ක්‍රියාත්මක සමාගමක් වස එකතු කරයිද? ඒවා වෙන රටවල් වලින් හරවා එවපුවා නම්, එතරම් ඉහල අගයන් ඒ රටවල වාර්තා නොවුනේ ඇයි? ඇඳෙන් නැගිට ගන්න බැරිය කියන ලෙඩුන්, උසාවියේ ඇප දුන්න ගමන්, නැගිටලා යන්න පුළුවන් කියල සහතිකය දෙන වෛද්‍ය විශේසඥයවරුන් ඉන්න රටක, ආහාර වර්ගයක් ගැන රජයේම ආයතනයක් දෙන තත්ත්ව සහතිකය පිළිගන්න එක මට නම් අමාරුයි.

ෆොන්ටෙරා කිරි පිටි වල DCD මාත්‍රා තියෙන්න පුළුවන්. ඒත් ලෝකයේ ඕනෙම රටකදී,  මගේ දරුවෙකුට ලංකාවේ, චීනයේ හෝ නවසීලන්තයේ හදපු පිටිකිරි ජාති තුනක් දීල, එකක් තෝරා ගන්න කියුවොත්, මා තෝරා ගන්නේ නවසීලන්ත පිටි කිරි.

(15.08.2013)

Advertisements

8 Comments

Filed under Food, Opinion

8 responses to “чепуха නොහොත් random සිතුවිලි (2)

  1. //ඒත් ලෝකයේ ඕනෙම රටකදී, මගේ දරුවෙකුට ලංකාවේ, චීනයේ හෝ නවසීලන්තයේ හදපු පිටිකිරි ජාති තුනක් දීල, එකක් තෝරා ගන්න කියුවොත්, මා තෝරා ගන්නේ නවසීලන්ත පිටි කිරි.//

    සම්පූර්ණයෙන් එකඟයි. 🙂

    • ප්‍රවීනා, ඔබගේ කොමෙන්ටුවට ඉතා කුඩා සංස්කරණයක් කළා. 🙂

  2. හිරු

    //ෆොන්ටෙරා කිරි පිටි වල DCD මාත්‍රා තියෙන්න පුළුවන්. ඒත් ලෝකයේ ඕනෙම රටකදී, මගේ දරුවෙකුට ලංකාවේ, චීනයේ හෝ නවසීලන්තයේ හදපු පිටිකිරි ජාති තුනක් දීල, එකක් තෝරා ගන්න කියුවොත්, මා තෝරා ගන්නේ නවසීලන්ත පිටි කිරි.//

    මමත් මෙතනම තමයි ඉන්නෙ.. වෙනත් ආහාර වර්ග කෙසේ වෙතත් විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා එන කිරි පිටි වගේ දේකදි මම ලංකාවට වඩා නවසීලන්තය ගැන විශ්වාසය තියනවා…. දැන් ඔය කියන බැක්ටීරියාව උනත් අහු උනේ නවසීලන්තයේ ඒ සමාගමේ තියෙන පරීක්ෂණ නිසා.. ඒත් අපේ ලංකාවේ එහෙම පරීක්ෂණාගාර තියෙනවද කියලවත්, තිබුනත් ඒ පරීක්ෂණාගාරවල තත්වය උසස්ය කියලවත්, ඒ හැමදෙයක්ම නැතත් මේ වගේ ප්‍රශ්නයක් තිබ්බොත් ඒක ව්‍යාපාරික මට්ටමෙන් බලලා යටගහන්න උත්සාහ නොකරයි කියලවත් මට විශ්වාස නෑ… කොච්චර අපේ රටේ දේවල් ගැන කැක්කුමක් තිබ්බත් දරුවෙක් සම්බන්ධයෙන් නම් මම එළදෙනකගෙන් දොවාගත්ත එළකිරි ගැන ඇරෙන්න අපේ රටේ නිෂ්පාදිත පිටි කිරි ගැන නං විශ්වාසය තියන්නේ නෑ…

    රයිගම් මේ ලියල තියෙන්නෙ මේ ගැන ගොඩක් ලංකාවේ අයගේ හිත්වල තියෙන දේම තමයි…

    • හිරු, මා මේ සටහන ලියුවේ ගිය සතියේ. ඉන්පසු මේ කතාව තව ඉදිරියට ගොස් තියනවා.මා ලංකාවේ අද ජිවත් වුනත් මිලදී ගන්නේ හයිලන්ඩ් පිටි කළ කිරි. මොකද අප ඒවා මිලදී ගත්තේ නැත්නම්, පිට රටින් ඇවිත් මිනිසුන් මිලදී ගන්නේ නැහැ. අනෙක් දේශීය එළවලු හා පලතුරු කනවා නම්, මාළු හා මස් කනවා නම්, පොළවෙන් ගන්න වතුර බොනවා නම්, බත් කනවා නම් මේ කිරි විතරක් විශේෂයෙන් නරකක් කරන එකක් නැහැ. හැබැයි දරුවෙකුට නම්, ඔබ කියන පරිදිම වඩාත් සුරක්ෂිත ආහාර අතේ මුදල් තියන හැටියට දීම මාත් එකඟ වෙන කරුණක්. මා සටහනෙන් විස්තර කළේ මගේ මතයේ හැටියට සුරක්ෂිත බවේ සංසන්දනයක්.

      හැබැයි ලංකාවේ පිටි කිරි DCD වලින් තොරයි කියල ආඩම්බරෙන් කියන දේශීය නිෂ්පාදකයන් කරන්නේ රැවටීමක්. මේ හරියට අර එළවලු තෙල් වල කොලෙස්ටරෝල් නැහැ කියල විකිණීම වගේ වැඩක්. පොලවට දාන්නෙ නැති කොට කොහොමද DCD කිරි වලට එන්නේ? හරි නම් බලන්න ඕනේ, ලංකාවේ බහුලව භාවිතා කරන කෘමි නාශක, වල් නාශක හා පොහොර වර්ග වල ශේෂ මේ දේශීය කිරි වල තියනවද කියල. ඔබම කියනවා වගේ එහෙම හදිසියේ එහෙම පොසිටිව් ටෙස්ට් රිසල්ට් ආවත්, ගානක් අත මිට මොලවල වහල දාවි.

      ලංකාවේ සමහර පළාත් වල තියන වකුගඩු රෝගය ගැන පර්යේෂණ කෙරිලා තියනවා. අඩුම ගානේ පර්යේෂණ සඳහා මුදල් ලබාගෙන තියනවා. ඒ හැර, ජාතික චින්තනයට අනුව නාථ දෙවියන් විසින් පර්යේෂණයක් කරලා තියනවා. ඒ එකකින් වත් අසරණ මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙලා තියනවද?

      මේ වකුගඩු රෝගයට හේතුව පොහොර වල තියන බැර ලෝහ භූගත ජලයට එකතුවීම කියා 100% තහවුරු නොකළ මතයක් තියනවා. එතකොට එතරම් බැර ලෝහ ජලයට එකතු වෙන්න කොතරම් අනවශ්‍ය ලෙස පොහොර ගහන්න ඕනෙද? මේ ලෝකයේ හැමතැන ම භාවිතා කරන්නේ එකම පොහොර වර්ග තමා. එතකොට ලෝකයේ අනෙක් රටක නැති විදිහට ප්‍රශ්නයක් තියනවා නම්, එතැනදී භාවිතාවේ වරදක් තියනවා.

      නවසීලන්තයේ DCD භාවිතාව මගින් අවම කර ගන්න හැදුවේ මෙවැනි ප්‍රශ්නයක්. එනම්, නයිට්‍රිජන් පොහොර හා ගව මුත්‍රා මගින් පසට එකතු වන නයිට්‍රිජන් (ammonium) නයිට්‍රිකරන බැක්ටීරියා මගින් නයිට්රේට බවට පත් වීම වැළැක්වීමයි. පසට යොදන ප්‍රධාන නයිට්‍රිජන් පොහාර වර්ගය වන යුරියා හා ගව මුත්‍රා වල ඇති ඇමෝනියා ක්‍රියාවලියකින් පසු නයිට්රේට බවට පත් වෙනවා. ඇමෝනියම් වගේ නොවේ නයිට්රේට් පසේ රැඳෙන්නේ නැහැ. ජලය සමග පහලට ගලා ගෙන යනවා. ඒ නයිට්රේට ජලයට එකතු වීමෙන් පරිසරයට හා ඒවා සතුන් හා මිනිසුන් බීමෙන් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේක අඩු කර ගන්න තමා DCD යෙදුවේ. එයින් වෙන දෙයක් සිදු වුනා. මෙහෙම තමා බොහෝ දේ. එක පිලියමක් තව ප්‍රශ්නයකට පාර කපනවා. අපට විද්‍යාවේ දියුණුව අවශ්‍ය මෙයට වඩා හොඳ විසඳුම් හොයා ගන්න. සරල දිවියකින් එය කරන්න බැහැ.

      දැන් බලන්න මේ DCD කතන්දරේ ආව වෙලාව. ඔබට වෙනසක් දැනෙන්නේ නැත්ද?
      තමන්ට බොන්න ජලය ඉල්ලුව අන්ත අසරණ මනුෂ්‍යයන්ට කළු කුඩු බස්නෙන් විතරක් නොවේ, පොලු මුගුරු වලින් පහර දීල, දෙතුන් දෙනෙකු එලොව යවලා, ඒ අවමගුල් පැවැත්වෙන වෙලාවේ DCD කරලියට එනවා. මේක දෙමුහුන් කරලා එන්නේ. ඒ කියන්නේ ලෝකේ වෙනත් රටවල් වල තිබුන බෝටුලිස්ම් භීතිකාව හා ඒ නිසා නිෂ්පාදන ඉවත් කිරීම සමග DCD එකතු කර ගැනීම. ලංකාවේ මා හිතන්නේ මතය මේ දෙකම එකක් කියා. එක නොවේ ඇත්ත කතාව. බෝටුලිස්ම් කතාව වඩාත් භයන්කාරයි. දැන් මේක ටිකක් දුර යනවා. අද වෙන කොට මේ ගැන පරීක්ෂණ හතරක් කෙරෙනවා. දෙකක් ෆොන්ටෙරා මගින්. එකක් නවසීලන්ත රජය. තව එකක් තත්ත්ව පාලන අධිකාරිය. කිරි නිෂ්පාදන අංශයේ ලොක්ක දැනටම අස් වෙලා. නවසීලන්ත රජය මේ වැඩෙන් වුන හානිය අඩු කර ගන්න තවම උත්සහ කරනවා.ලංකාවේ වකුගඩු රෝග හා රතුපස්වල ප්‍රශ්නයට විසඳුම් නොදෙන රජයක් මෙතරම් විචක්ෂණ භාවයක් එක පාරට ආරූඩ කර ගත්තේ ඇයි?

      මේ බැක්ටීරියා ප්‍රශ්නය මුලින්ම ෆොන්ටෙරා දැනගෙන තියෙන්නේ ජුලි 31. පැය 48 ක් යන කම් රජය දැනුවත් කරලා නැහැ. ෆොන්ටෙරා වල ඩොලර් මිලියනයට වඩා පඩි ගන්න විධායකයන් 26 දෙනෙකු ඉන්නවා කියා සති අන්ත පත්තරේ මා කියෙවුව. එයින් කියවෙන්නේ නැහැ, මේ වගේ දෙයක් හිතා මතා කළා යයි කියල. ඔවුන් බැක්ටීරියාව එකතු වුන පයිප්පය අඳුනා ගෙන තියනවා. ඒ වෙලාවේ හදපු ආහාර කාණ්ඩය අඳුන ගෙනත් තියනවා. බැක්ටීරියාව තිබිල තියෙන්නෙත් අංශු මාත්‍ර වශයෙන්.
      මේ කිරි වලට මේ බැක්ටීරියාව අංශු මාත්‍ර එකතු වීම මගින් ලෝකේ කිසිම තැනක, රෝගී තත්වයක් වාර්තා වෙලා නැහැ. එත් low risk or no risk වුනත් ළදරු ආහාර වල විය යුතු නැති දෙයක්. අංශු මාත්‍ර හෝ තිබුන නම්, මේ ආහාර කාණ්ඩය වෙළඳපොළට යැවුවේ ඇයි කියන එක තමා අද ප්‍රශ්නය.

      නවසීලන්ත කිරි ආහාර වලට චීන ජනතාවගේ ඉල්ලුමේ වැඩිවීමක් වෙලා තියෙන්නේ, අර මෙලමයින් සිද්දියත් එක්ක. එහිදී නවසීලන්ත කෘෂි නිෂ්පාදන වලට තියන පිරිසිදු බවේ කිර්තිය විශාලම හේතුවයි. ලාභ වැඩි කර ගන්න, අමතරව මේ බැක්ටීරියාව/DCD එකතු කිරීම හෝ දියුණු වෙමින් පවතින රටවලට හිතා මතා බාල නිෂ්පාදනයක් කිරීම කියන තර්ක දෙකම, මා විශ්වාස කරන්නේ නැහැ. කියවපු දේවල් වල හැටියට, ජරා පයිප්පයක් නිසා බැක්ටීරියාව එකතු වුන බව දැන ගෙනත්, විශාල ටොන් ගණනක් නිසා හා බැක්ටීරියාව හානි දායක මට්ටමක නැතිය කියා උපකල්පනය කර මේවා වෙළඳපොළට දැමුවා වන්න පුළුවන්. තවම කියන්න කලින් වැඩියි. ඔවුන් දේශීය වෙළඳපොළට පවා මේවා නිකුත් කරන්න ඉඩ තිබුනා. දේශීය වෙළඳ පොලේ ඉල්ලුම තියෙන්නේ අලුත් කිරි වලට. එහෙම නොවීමට හේතුව එයයි. ඇත්තටම හානියක් වාර්තා වී නැහැ. හැබැයි කරලා තියෙන්නේ පවතින තත්ත්ව පාලනයන්ට අනුව වැරදි දෙයක් මෙන්ම, නීති විරෝධී වෙන්න පුළුවන් දෙයක්. මේ වගේ දෙයකින් මරණයක් සිදු වුනොත්, ගෙවීමට වන වන්දිය හා එහි ප්‍රතිවිපාක මේ සමාගම් මෙන්ම නවසීලන්ත රජයද දන්නවා.

      මෙලමයින් කතාව ඔබට මතකද? මා ඒ කතාවත් මේ වගේම කියවපු නැත්නම් ෆලෝ කරපු එකක්. දරුවන් 5/6 ක් මැරුණා, ලක්ෂ ගානක් ලෙඩ වුණා. ක්‍රියාමාර්ග ගත්තේ ඉන් පස්සේ. රතුපස්වල ප්‍රශ්නයක් තියන බව ඉතා පැහැදිලියි. අනුරාධපුරේ වකුගඩු ප්‍රශ්නය ගැන ඕනෙවට වඩා උදාහරණ තියනවා. ෆොන්ටෙරා ක්‍රියාකලාපය කොහෙත්ම හොඳ නැහැ. හැබැයි ඒ බටහිර ප්‍රමිතීන්ට. කොහොම වුනත් මේ සිද්ධි වලදී රටවල් තුනක් ගත්ත ක්‍රියා මාර්ග හා ආකල්ප වල වෙනස ඔබට පේනවනේ.

      ඔබත් දන්නා පරිදි ලංකාවේ අප කන බොහෝ දේවල් නිවැරදිව තත්වය පාලනය කිරීමක් නැහැ. එළවලු කඩන දවසෙත් කෘමි නාශක ගහනවා. මාළු කල්තබා ගන්නේ උෂ්ණත්වය අඩු කිරීමෙන් නොවේ, පලතුරු ඉදවීමට ශරීරයට හිතකර නැති රසායන යොදා ගන්නවා, කසිප්පු පෙරන විට දමන දේවල් වල කිසිම සීමාවක් නැහැ, රටට ගෙන්වන බේත් නිෂ්පාදනය කරන්නේ බොහෝ විට ඉන්දියාවේ කුස්සි වල, කර්මාන්තශාලා වල අපජලය කෙලින්ම පොලවට හලනවා, වර්ෂාව, පසේ තියන පෝෂක ප්‍රමාණය, ලබා ගතහැකි අස්වැන්නේ ප්‍රමාණය ගැන හිතල/ගණනය කර විශාල වශයෙන් පොහොර දාල පරිසරය අපවිත්‍ර කරන ගමන් මිනිසාට හා සතුන්ට ලෙඩ කරනවා, රේගුවෙන් පන්න ගෙන යන බාල වර්ගයේ ඉස්ප්‍රිතු ගැන අහන්න ලැබෙනවා, බූන්දි වලට දාන්නේ ඇඟලුම් වලට දාන ඩයි, සාමාන්‍ය කුඩා ව්‍යාපාරිකයනුත් මිරිස් කුඩු කියල ගඩොල් කුඩු විකුනනවා, පාරේ තියාගෙන මාළු හා වැලි කලවම් කරනවා. අන්තිමට අප කන එළවලු හෝ පලතුරක හෝ වෙනත් නිෂ්පාදිත ආහාරයක තියන ප්‍රමිතිය ගැන, පාරිභෝගිකයාට දැන ගන්න ක්‍රමයක් තියනවාද? එහෙම දේවල් පාලනයට ඇඟිලි ගැහීම් වලින් තොර බලතල හිමි ආයතනයක් තියනවාද?

      මේ රටවල් වලත් මීට දශක කිහිපයකට කලින් ඔය තත්වයම තමා. එයින් අද තත්වයට ආවේ, මා කලින් කියපු ක්‍රමවේදයක් කාලයක් තිස්සේ ගොඩ නගපු හින්ද. අද පවා වැරදි වෙනවා/වැරදි කරනවා. සමහර විට හිතලම. තවත් සමහර විට නොදැනුවත්ම. එහෙම නොවීමට තියන තත්ත්ව පාලන ක්‍රමයන් හා විශ්ලේෂණ ක්‍රමය දියුණු කරගන්නේ කොහොමද කියන එක හැමදාම සිදුවන/සදාතනික ක්‍රියාවලියක්. සමාජයේ පොදුවේ යහපාලනය කියන දෙයත්, ජනතාවගේ අවදිමත් බවත් එයට ප්‍රධානව බලපානවා.

      ඔබම කියන පරිදි මේ වගේ දෙයක් අඳුනා ගන්න පුළුවන් වුනේ විද්‍යාවේ හා තත්ත්ව පාලන ක්‍රමයන්ගේ තියන දියුණුව නිසා. ආහාර වල විතරක් නොවේ, අනෙක් නිෂ්පාදන වල දියුණු කිරීම සිදු වන්නේ පර්යේෂණ තුලින්. මේ පර්යේෂණ වලින් බොහොමයක් අපට දැන ගන්නෙත් නැති අසාර්ථක ඒවා. මේ ක්‍රියාවලියට මේ සමාගම් විශාල මුදලක් යොදනවා. එයින් අවසාන වශයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලාභ වැඩි කර ගන්න එක. පිටි කළ කිරි පවා එම ක්‍රියාදාමයේ කොටසක්. ඉස්සර කිරි බොන්න පුළුවන් කම තිබුනේ වැස්සියෙක් ඉන්න ගෙවල් වල අයට හා ඒ අවට ඉන්න අයට පමණයි. අද වුනත්, අලුත් කිරි බොන්න හැකි ශීතකරණ තියන, මුදල් තියන අයට පමණයි. පිටි කළ කිරි මගින්, ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කිරි බොන්න අවස්තාව උදා කර තියනවා. මෙය තමා මා බලාපොරොත්තු වන දියුණුව කියන්නේ. මේ බොහොමයක් අලුත් නිපැයුම් මෙලොවට ඇවිත් තියෙන්නේ, මිනිසුන් ලාභය සොයන්න උත්සහ කරපු හින්දා. අද පවා ලෝකයේ කෙරෙන බොහොමයක් සෞක්‍ය හා කෘෂිකාර්මික පර්යේෂණ වලට මුදල් දමන සමාගම් වල අවසාන උත්සාහය ලාභ ගැනීම. මෙම ලාභය කියන දේ නැති කරන්න උත්සහ ගත්ත රටවල්වල, නව සොයා ගැනීම් කලේ මිනිසුන් ගේ අවශ්‍යතා වලට නොවේ. එම සමාජයන් එවැනි (මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය) සොයා ගැනීම් වලින් තොර වීම නිසා එක තැන පල් වෙන්න ගත්තා. උදාහරණයකට කියුබාව අද කෘෂිකර්මය නංවන්න බ්‍රසීලය වැනි “ධනපති” රටවල උදව් පතනවා. මා බිල් ගේට් ගැන හිතන්නේ සොඳුරු මනුෂ්‍යයෙකු හැටියට. ඔහුත් හොඳට ලාභ හෙවුව කෙනෙක්. හැබැයි ඔහු හා ඔහු වැනි තවත් මිනිසුන් නිසා, මා අද කිලෝමීටර දහස් ගණනක් එපිටින් ඉඳන් ලියන දේ ඔබත් කියවනවා. මිනිසුන්ගේ ඇති අත්‍යන්ත කෑදරකම සමාජයට යහපත් ආකාරයට යොදා ගන්නේ කොහොමද කියන එකත් අප දිගින් දිගටම පර්යේෂණ හා සංවර්ධනය (R&D) කළ යුතු දෙයක්.

  3. Kenji @ Japan

    මම නම් දැනුම් තේරුම් ඇති කාලේ ඉදල අපේම එළකිරි බීපු බුවෙක්.
    හරක් බාන(දියවන්නාවෙ නොව)බුදින්නෙ වත්තෙ තන කොල,හවසට බඩට මදි පාඩුවට බොන පුන්නක්කු දියර බාල්දිය,ඒ කියන්නෙ වත්තෙ පොල් වලින් තෙල් හිදල ආපු රොඩ්ඩ,වැසි දවස් වලනම් මඩු වලද,පායන දින වලදී පොල් ගස් වලද රාත්‍රී කාලය ට බැද තබා එළිවන තුරු තලු මරන්න දමන්නෙ අපේම කුඹුරු නියර වල වැවුණු තන හෝ පිදුරු.
    ලංකාවෙ කොල්ල කාලේ ඉදලම යාළුවන්ගෙ ගෙදරකට ගියාම උනත්,අර දිවයි තල්ලයි ඇලෙන කිරි තේ එක මට එපා කියල කුරුම්ම්බා වතුර ටිකක් බොනව.
    දරුවන්ට පොඩි කාලේ දුන්නෙ යුරෝපයෙ නිෂ්පාදිත පිටි කිරි වගේම මා සහ බිරිද දරුවන්ට නියම කරන බෙහෙත් මිලදී ගත්තෙත් නිෂ්පාදිත රට බලල.
    කොහොමත් එක පවුලක් රටක ප්‍රශ්න උඩු යටිකුරු කරන්න හදනවානම් කුමක්ද කල යුත්තේ?

    • කෙන්ජි at ජැපෑන් කියල දැම්මට මේ ගමේ බයියෙක්නේ එල කිරි බීපු! 😀
      මෙතනට අදාළ නැති දෙයක් කියන්නම් කෙන්ජි. අප සමහර වෙලාවට සමාජයේ තියන ප්‍රචණ්ඩත්වය ගැන චෝදනා කරනවා. එත් මේ සමාජ ජාල වල තියන ප්‍රචණ්ඩත්වය පෙන්වන්නේ එහෙම චෝදනා කරන අයමයි. ව්‍යවස්තාවෙන්ම අසීමිත බලයක් දීල තියන විට ප්‍රචණ්ඩත්වය දැක්වීම ගැන අප කන් කෙඳිරි ගාන ගමන්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් තමන් හිතන දේ කියුවහම ප්‍රචණ්ඩත්වය පෙන්වීම ගැන මට හාස්‍යයක් දැනෙනවා.
      බොහෝ අවස්ථාවලදී ඒකීය පාරිභෝගිකයෙකුට කළ හැකි දේ සීමිතයි. නමුත් ඔබ කියල තියනවා වගේ කරන්න පුළුවන් දේවලුත් තියනවා. සමහර පළාත් වල කසිප්පු පෙරන කොටත් වල් පැල නාශක දමනවා නේද?

  4. මේ ෆොන්ටේරා පිටිකිරිම චීනයේ සන්ලු හරහා සන්ලු වෙලඳ නාමයෙන් ගෙන්වාගැනීමට සමහර පාර්ශවයන් උත්සාහ කලබවත්,සන්ලු සමාගම සම්බන්ධව ඇති ප්‍රශ්ණ නිසා ෆොන්ටේරා එයට එකඟ නොවු බවත් පලවී තිබුනා.එසේ සිදුවූවා නම් පාරිභෝගිකයා මිලදී ගන්නේ කුමන රටෙන් එන කුමන වර්ගයද කියා තෝරා ගන්නේ කෙලෙසද?

    • මා දන්නා හැටියට සන්ලු බංකොලොත් නේද? ෆොන්ටෙරත් එයින් ඉවත් වෙලා නේද? හරියටම දන්නේ නැහැ. සෙවුවෙත් නැහැ.

      ඔය ප්‍රවුර්තිය මා දුටුවා. කොන්ස්පිරසි තියෝරිස් ගොඩක් තියනවා අරූ. මගේ එක තමයි ඇයි මේ වෙලාවේ DCD ප්‍රශ්නය මුලට ගත්තේ? කොහොමද ලෝකේ කොහේ වත් නැති ඉහල අගයක් ලංකාවේ විතරක් තියෙන්නේ?

      ඔබ හා මා වගේ “ඒකීය පාරිභෝගිකයෙකුට” කරන්න හැකි දේ සීමිතයි. හැබැයි නැත්තෙත් නැහැ. එයත් අප චන්දය දෙනවා වාගේ. එක චන්දයකට කරන්න හැකි දේ අඩුයි. හැබැයි මගේ චන්දය විතරක් වැඩක් නැහැ කියල ගෙදර ඉන්න එකෙන් මොකුත්ම වෙන්නේ නැහැ. ඒ තේරීම තියෙන්නේ අපගේ අතේ.

      ෆොන්ටෙරා සමාගම නිෂ්පාදනය කළ කිරි නිෂ්පාදන කිහිපයක මේ බැක්ටීරියා හා DCD අංශු මාත්‍ර තියනවා කියල දැන් දන්නවා වුවත්, තවම ඒකීය පාරිභෝගිකයෙකු හැටියට ඔවුනගේ නිෂ්පාදන සම්බන්ධව මගේ විශ්වාසය අඩු වෙලා නැහැ. හැබැයි මා අද ලංකාවේ හිටියා නම්, තවමත් මිලදී ගනු ඇත්තේ හයිලන්ඩ් පිටි කල කිරි. එය මගේ පෞද්ගලික තේරීමක්. එතන නිෂ්පාදනයේ ගුණාත්මක බවට වඩා මා සලකන්නේ වෙනත් දෙයක්. අනික් අතට හයිලන්ඩ් කිරි, ඇන්කර් වලට වඩා අඩු කොලිටියේ බඩුවක් කියා මා හිතන්නේ නැහැ. ඒ අතරේම හයිලන්ඩ් වල DCD හා බොටුලිස්ම් සාදන බැක්ටීරියා නැති වුනත්, කුඩා දරුවන්ට අහිතකර කෘෂි රසායන ශේෂ තියෙන්න පුළුවන්. ෆොන්ටෙරා කිරි පිටි හදන නවසීලන්තයේ තියන තත්ත්ව පාලනය හෝ තාක්ෂනය හෝ යහ පාලනය ලංකාවේ හෝ ඉන්දියාවේ නැහැ. චීනයේ කොහොමත් නැහැ. මේවා සාපේක්ෂයි.

      ලංකාවේ කිරි නිෂ්පාදනය ඉල්ලුමට ප්‍රමාණවත් නැහැ. එතකොට හැමෝම හයිලන්ඩ් බොන්න ආසා කලත්, එය සපුරන තරම් නිෂ්පාදනයක් රටේ නැහැ. නිෂ්පාදනය ඉහල නංවන එක ක්‍රමිකව සිදු කල යුතු හා ක්‍රමිකව සිදු වන දෙයක්. ඒකයි ඒකීය පාරිභෝගිකයන් හැටියට පුළුවන් හැම අවස්තාවකදීම හා විකල්ප දේශීය නිෂ්පාදනයක් තියන හැම අවස්තාවකදීම හා මිලේ විශාල වෙනසක් නැති විටකදී, දේශීය නිෂ්පාදන මිලට ගත යුත්තේ. එය ඔබගේ ජිවන විලාසිතාවේ අංගයක් විය යුතුයි. මා එය ලංකාවේදී කළා, දැන් මෙහෙදිත් කරනවා. මේවා නිකම් බ්ලොග් වල ලියුවට වැඩක් නැහැ. මේවා සියලු දෙනාම හිතල කරන්න අවශ්‍ය දේවල්. අර්බුද ඇති විට නොවේ කල්පනා කළ යුත්තේ, අර්බුද පටන් ගන්න පෙර.

      දැන් ඔබ කියන දෙයට ආවොත්, තනි පාරිභෝගිකයෙකු හැටියට ඔබ ගත යුත්තේ කුමන නිෂ්පාදනයද කියල තීරණ කරන්න පුළුවන් ඔබටමයි. හැබැයි, ඔය අයියල මල්ලිලා සෙට් එක, නවසීලන්ත ෆොන්ටෙරා නවත්වල, චීන නිෂ්පාදනයක් ගෙනාවොත් ඔබ සාමාන්‍ය මිනිසෙක් ලෙස තමන්ගේ සෞක්‍යයත්, තම දරුවන්ගේ සෞක්‍යයත් ගැන ඇත්තටම වොරි වෙන්න ඕනේ, ඒවා මිලදී ගන්නට පෙර.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s