හිරුට පිළිතුරක් හෙවත් random සිතුවිලි!


හිරු, මා මේ සටහන ලියුවේ ගිය සතියේ. ඉන්පසු මේ කතාව තව ඉදිරියට ගොස් තියනවා.මා ලංකාවේ අද ජිවත් වුනත් මිලදී ගන්නේ හයිලන්ඩ් පිටි කළ කිරි. මොකද අප ඒවා මිලදී ගත්තේ නැත්නම්, පිට රටින් ඇවිත් මිනිසුන් මිලදී ගන්නේ නැහැ. අනෙක් දේශීය එළවලු හා පලතුරු කනවා නම්, මාළු හා මස් කනවා නම්, පොළවෙන් ගන්න වතුර බොනවා නම්, බත් කනවා නම් මේ කිරි විතරක් විශේෂයෙන් නරකක් කරන එකක් නැහැ. හැබැයි දරුවෙකුට නම්, ඔබ කියන පරිදිම වඩාත් සුරක්ෂිත ආහාර අතේ මුදල් තියන හැටියට දීම මාත් එකඟ වෙන කරුණක්. මා සටහනෙන් විස්තර කළේ මගේ මතයේ හැටියට සුරක්ෂිත බවේ සංසන්දනයක්.

හැබැයි ලංකාවේ පිටි කිරි DCD වලින් තොරයි කියල ආඩම්බරෙන් කියන දේශීය නිෂ්පාදකයන් කරන්නේ රැවටීමක්. මේ හරියට අර එළවලු තෙල් වල කොලෙස්ටරෝල් නැහැ කියල විකිණීම වගේ වැඩක්. පොලවට දාන්නෙ නැති කොට කොහොමද DCD කිරි වලට එන්නේ? හරි නම් බලන්න ඕනේ, ලංකාවේ බහුලව භාවිතා කරන කෘමි නාශක, වල් නාශක හා පොහොර වර්ග වල ශේෂ මේ දේශීය කිරි වල තියනවද කියල. ඔබම කියනවා වගේ එහෙම හදිසියේ එහෙම පොසිටිව් ටෙස්ට් රිසල්ට් ආවත්, ගානක් අත මිට මොලවල වහල දාවි.

ලංකාවේ සමහර පළාත් වල තියන වකුගඩු රෝගය ගැන පර්යේෂණ කෙරිලා තියනවා. අඩුම ගානේ පර්යේෂණ සඳහා මුදල් ලබාගෙන තියනවා. ඒ හැර, ජාතික චින්තනයට අනුව නාථ දෙවියන් විසින් පර්යේෂණයක් කරලා තියනවා. ඒ එකකින් වත් අසරණ මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙලා තියනවද?

මේ වකුගඩු රෝගයට හේතුව පොහොර වල තියන බැර ලෝහ භූගත ජලයට එකතුවීම කියා 100% තහවුරු නොකළ මතයක් තියනවා. එතකොට එතරම් බැර ලෝහ ජලයට එකතු වෙන්න කොතරම් අනවශ්‍ය ලෙස පොහොර ගහන්න ඕනෙද? මේ ලෝකයේ හැමතැන ම භාවිතා කරන්නේ එකම පොහොර වර්ග තමා. එතකොට ලෝකයේ අනෙක් රටක නැති විදිහට ප්‍රශ්නයක් තියනවා නම්, එතැනදී භාවිතාවේ වරදක් තියනවා.

නවසීලන්තයේ DCD භාවිතාව මගින් අවම කර ගන්න හැදුවේ මෙවැනි ප්‍රශ්නයක්. එනම්, නයිට්‍රිජන් පොහොර හා ගව මුත්‍රා මගින් පසට එකතු වන නයිට්‍රිජන් (ammonium) නයිට්‍රිකරන බැක්ටීරියා මගින් නයිට්රේට බවට පත් වීම වැළැක්වීමයි. පසට යොදන ප්‍රධාන නයිට්‍රිජන් පොහාර වර්ගය වන යුරියා හා ගව මුත්‍රා වල ඇති ඇමෝනියා ක්‍රියාවලියකින් පසු නයිට්රේට බවට පත් වෙනවා. ඇමෝනියම් වගේ නොවේ නයිට්රේට් පසේ රැඳෙන්නේ නැහැ. ජලය සමග පහලට ගලා ගෙන යනවා. පසට යොදන නයිට්‍රිජන් පොහොර ශාක වලට උරා  ගන්න බැරි තරමට පහලට යාමට අමතරව,  ඒ නයිට්රේට ජලයට එකතු වීමෙන් පරිසරයට හා ඒවා සතුන් හා මිනිසුන් බීමෙන් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේක අඩු කර ගන්න තමා DCD යෙදුවේ. එයින් වෙන දෙයක් සිදු වුනා. මෙහෙම තමා බොහෝ දේ. එක පිලියමක් තව ප්‍රශ්නයකට පාර කපනවා. අපට විද්‍යාවේ දියුණුව අවශ්‍ය මෙයට වඩා හොඳ විසඳුම් හොයා ගන්න. සරල දිවියකින් එය කරන්න බැහැ.

දැන් බලන්න මේ DCD කතන්දරේ ආව වෙලාව. ඔබට වෙනසක් දැනෙන්නේ නැත්ද? තමන්ට බොන්න ජලය ඉල්ලුව අන්ත අසරණ මනුෂ්‍යයන්ට කළු කුඩු බස්නෙන් විතරක් නොවේ, පොලු මුගුරු වලින් පහර දීල, දෙතුන් දෙනෙකු එලොව යවලා, ඒ අවමගුල් පැවැත්වෙන වෙලාවේ DCD කරලියට එනවා. මේක දෙමුහුන් කරලා එන්නේ. ඒ කියන්නේ ලෝකේ වෙනත් රටවල් වල තිබුන බෝටුලිස්ම් භීතිකාව හා ඒ නිසා නිෂ්පාදන ඉවත් කිරීම සමග DCD එකතු කර ගැනීම. ලංකාවේ මා හිතන්නේ මතය මේ දෙකම එකක් කියා. එක නොවේ ඇත්ත කතාව. බෝටුලිස්ම් කතාව වඩාත් භයන්කාරයි. දැන් මේක ටිකක් දුර යනවා. අද වෙන කොට මේ ගැන පරීක්ෂණ හතරක් කෙරෙනවා. දෙකක් ෆොන්ටෙරා මගින්. එකක් නවසීලන්ත රජය. තව එකක් තත්ත්ව පාලන අධිකාරිය. කිරි නිෂ්පාදන අංශයේ ලොක්ක දැනටම අස් වෙලා. නවසීලන්ත රජය මේ වැඩෙන් වුන හානිය අඩු කර ගන්න තවම උත්සහ කරනවා.ලංකාවේ වකුගඩු රෝග හා රතුපස්වල ප්‍රශ්නයට විසඳුම් නොදෙන රජයක් මෙතරම් විචක්ෂණ භාවයක් එක පාරට ආරූඩ කර ගත්තේ ඇයි?

මේ බැක්ටීරියා ප්‍රශ්නය මුලින්ම ෆොන්ටෙරා දැනගෙන තියෙන්නේ ජුලි 31. පැය 48 ක් යන කම් රජය දැනුවත් කරලා නැහැ. ෆොන්ටෙරා වල ඩොලර් මිලියනයට වඩා පඩි ගන්න විධායකයන් 26 දෙනෙකු ඉන්නවා කියා සති අන්ත පත්තරේ මා කියෙවුව. එයින් කියවෙන්නේ නැහැ, මේ වගේ දෙයක් හිතා මතා කළා යයි කියල. ඔවුන් බැක්ටීරියාව එකතු වුන පයිප්පය අඳුනා ගෙන තියනවා. ඒ වෙලාවේ හදපු ආහාර කාණ්ඩය අඳුන ගෙනත් තියනවා. බැක්ටීරියාව තිබිල තියෙන්නෙත් අංශු මාත්‍ර වශයෙන්. මේ කිරි වලට මේ බැක්ටීරියාව අංශු මාත්‍ර එකතු වීම මගින් ලෝකේ කිසිම තැනක, රෝගී තත්වයක් වාර්තා වෙලා නැහැ. එත් low risk or no risk වුනත් ළදරු ආහාර වල විය යුතු නැති දෙයක්. අංශු මාත්‍ර හෝ තිබුන නම්, මේ ආහාර කාණ්ඩය වෙළඳපොළට යැවුවේ ඇයි කියන එක තමා අද ප්‍රශ්නය.

නවසීලන්ත කිරි ආහාර වලට චීන ජනතාවගේ ඉල්ලුමේ වැඩිවීමක් වෙලා තියෙන්නේ, අර මෙලමයින් සිද්දියත් එක්ක. එහිදී නවසීලන්ත කෘෂි නිෂ්පාදන වලට තියන පිරිසිදු බවේ කිර්තිය විශාලම හේතුවයි. ලාභ වැඩි කර ගන්න, අමතරව මේ බැක්ටීරියාව/DCD එකතු කිරීම හෝ දියුණු වෙමින් පවතින රටවලට හිතා මතා බාල නිෂ්පාදනයක් කිරීම කියන තර්ක දෙකම, මා විශ්වාස කරන්නේ නැහැ. කියවපු දේවල් වල හැටියට, ජරා පයිප්පයක් නිසා බැක්ටීරියාව එකතු වුන බව දැන ගෙනත්, විශාල ටොන් ගණනක් නිසා හා බැක්ටීරියාව හානි දායක මට්ටමක නැතිය කියා උපකල්පනය කර මේවා වෙළඳපොළට දැමුවා වන්න පුළුවන්. තවම කියන්න කලින් වැඩියි. ඔවුන් දේශීය වෙළඳපොළට පවා මේවා නිකුත් කරන්න ඉඩ තිබුනා. දේශීය වෙළඳ පොලේ ඉල්ලුම තියෙන්නේ අලුත් කිරි වලට. එහෙම නොවීමට හේතුව එයයි. ඇත්තටම හානියක් වාර්තා වී නැහැ. හැබැයි කරලා තියෙන්නේ පවතින තත්ත්ව පාලනයන්ට අනුව වැරදි දෙයක් මෙන්ම, නීති විරෝධී වෙන්න පුළුවන් දෙයක්. මේ වගේ දෙයකින් මරණයක් සිදු වුනොත්, ගෙවීමට වන වන්දිය හා එහි ප්‍රතිවිපාක මේ සමාගම් මෙන්ම නවසීලන්ත රජයද දන්නවා.

මෙලමයින් කතාව ඔබට මතකද? මා ඒ කතාවත් මේ වගේම කියවපු නැත්නම් ෆලෝ කරපු එකක්. දරුවන් 5/6 ක් මැරුණා, ලක්ෂ ගානක් ලෙඩ වුණා. ක්‍රියාමාර්ග ගත්තේ ඉන් පස්සේ. රතුපස්වල ප්‍රශ්නයක් තියන බව ඉතා පැහැදිලියි. අනුරාධපුරේ වකුගඩු ප්‍රශ්නය ගැන ඕනෙවට වඩා උදාහරණ තියනවා. ෆොන්ටෙරා ක්‍රියාකලාපය කොහෙත්ම හොඳ නැහැ. හැබැයි ඒ බටහිර ප්‍රමිතීන්ට. කොහොම වුනත් මේ සිද්ධි වලදී රටවල් තුනක් ගත්ත ක්‍රියා මාර්ග හා ආකල්ප වල වෙනස ඔබට පේනවනේ.

ඔබත් දන්නා පරිදි ලංකාවේ අප කන බොහෝ දේවල් නිවැරදිව තත්වය පාලනය කිරීමක් නැහැ. එළවලු කඩන දවසෙත් කෘමි නාශක ගහනවා. මාළු කල්තබා ගන්නේ උෂ්ණත්වය අඩු කිරීමෙන් නොවේ, පලතුරු ඉදවීමට ශරීරයට හිතකර නැති රසායන යොදා ගන්නවා, කසිප්පු පෙරන විට දමන දේවල් වල කිසිම සීමාවක් නැහැ, රටට ගෙන්වන බේත් නිෂ්පාදනය කරන්නේ බොහෝ විට ඉන්දියාවේ කුස්සි වල, කර්මාන්තශාලා වල අපජලය කෙලින්ම පොලවට හලනවා, වර්ෂාව, පසේ තියන පෝෂක ප්‍රමාණය, ලබා ගතහැකි අස්වැන්නේ ප්‍රමාණය ගැන හිතල/ගණනය කරන්නේ නැතිව විශාල වශයෙන් පොහොර දාල පරිසරය අපවිත්‍ර කරන ගමන් මිනිසාට හා සතුන්ට ලෙඩ කරනවා, රේගුවෙන් පන්න ගෙන යන බාල වර්ගයේ ඉස්ප්‍රිතු ගැන අහන්න ලැබෙනවා, බූන්දි වලට දාන්නේ ඇඟලුම් වලට දාන ඩයි, සාමාන්‍ය කුඩා ව්‍යාපාරිකයනුත් මිරිස් කුඩු කියල ගඩොල් කුඩු විකුනනවා, පාරේ තියාගෙන මාළු හා වැලි කලවම් කරනවා. අන්තිමට අප කන එළවලු හෝ පලතුරක හෝ වෙනත් නිෂ්පාදිත ආහාරයක තියන ප්‍රමිතිය ගැන, පාරිභෝගිකයාට දැන ගන්න ක්‍රමයක් තියනවාද? එහෙම දේවල් පාලනයට ඇඟිලි ගැහීම් වලින් තොර බලතල හිමි ආයතනයක් තියනවාද?

මේ රටවල් වලත් මීට දශක කිහිපයකට කලින් ඔය තත්වයම තමා. එයින් අද තත්වයට ආවේ, මා කලින් කියපු ක්‍රමවේදයක් කාලයක් තිස්සේ ගොඩ නගපු හින්ද. අද පවා වැරදි වෙනවා/වැරදි කරනවා. සමහර විට හිතලම. තවත් සමහර විට නොදැනුවත්ම. එහෙම නොවීමට තියන තත්ත්ව පාලන ක්‍රමයන් හා විශ්ලේෂණ ක්‍රමය දියුණු කරගන්නේ කොහොමද කියන එක හැමදාම සිදුවන/සදාතනික ක්‍රියාවලියක්. සමාජයේ පොදුවේ යහපාලනය කියන දෙයත්, ජනතාවගේ අවදිමත් බවත් එයට ප්‍රධානව බලපානවා.

ඔබම කියන පරිදි මේ වගේ දෙයක් අඳුනා ගන්න පුළුවන් වුනේ විද්‍යාවේ හා තත්ත්ව පාලන ක්‍රමයන්ගේ තියන දියුණුව නිසා. ආහාර වල විතරක් නොවේ, අනෙක් නිෂ්පාදන වල දියුණු කිරීම සිදු වන්නේ පර්යේෂණ තුලින්. මේ පර්යේෂණ වලින් බොහොමයක් අපට දැන ගන්නෙත් නැති අසාර්ථක ඒවා. මේ ක්‍රියාවලියට මේ සමාගම් විශාල මුදලක් යොදනවා. එයින් අවසාන වශයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලාභ වැඩි කර ගන්න එක. පිටි කළ කිරි පවා එම ක්‍රියාදාමයේ කොටසක්. ඉස්සර කිරි බොන්න පුළුවන් කම තිබුනේ වැස්සියෙක් ඉන්න ගෙවල් වල අයට හා ඒ අවට ඉන්න අයට පමණයි. අද වුනත්, අලුත් කිරි බොන්න හැකි ශීතකරණ තියන, මුදල් තියන අයට පමණයි. පිටි කළ කිරි මගින්, ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කිරි බොන්න අවස්තාව උදා කර තියනවා. මෙය තමා මා බලාපොරොත්තු වන දියුණුව කියන්නේ. මේ බොහොමයක් අලුත් නිපැයුම් මෙලොවට ඇවිත් තියෙන්නේ, මිනිසුන් ලාභය සොයන්න උත්සහ කරපු හින්දා. අද පවා ලෝකයේ කෙරෙන බොහොමයක් සෞක්‍ය හා කෘෂිකාර්මික පර්යේෂණ වලට මුදල් දමන සමාගම් වල අවසාන උත්සාහය ලාභ ගැනීම. මෙම ලාභය කියන දේ නැති කරන්න උත්සහ ගත්ත රටවල්වල, නව සොයා ගැනීම් කලේ මිනිසුන් ගේ අවශ්‍යතා වලට නොවේ. එම සමාජයන් එවැනි (මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය) සොයා ගැනීම් වලින් තොර වීම නිසා එක තැන පල් වෙන්න ගත්තා.

මා බිල් ගේට් ගැන හිතන්නේ සොඳුරු මනුෂ්‍යයෙකු හැටියට. ඔහුත් හොඳට ලාභ හෙවුව කෙනෙක්. හැබැයි ඔහු හා ඔහු වැනි තවත් මිනිසුන් නිසා, මා අද කිලෝමීටර දහස් ගණනක් එපිටින් ඉඳන් ලියන දේ ඔබත් කියවනවා. මිනිසුන්ගේ ඇති අත්‍යන්ත කෑදරකම සමාජයට යහපත් ආකාරයට යොදා ගන්නේ කොහොමද කියන එකත්, අප දිගින් දිගටම පර්යේෂණ හා සංවර්ධනය (R&D) කළ යුතු දෙයක්.

(මේ මා කලින් සටහනේ හිරුගේ ප්‍රතිචාරයකට, ප්‍රති-ප්‍රතිචාරයක් ලෙසින් ලියන ලද්දකි).

Advertisements

9 Comments

Filed under Food, Lifestyle, Opinion, Social

9 responses to “හිරුට පිළිතුරක් හෙවත් random සිතුවිලි!

  1. හිරු

    +++++++

    ඔය ටිකම තමයි මාත් හිතන්නෙ…ඒ ඇරෙන්න ඉතිං මොනම නිෂ්පාදනයක හරි ප්‍රමිතිය සහ ප්‍රමිති ක්‍රමවේද සම්බන්ධයෙන් ලංකාව වගේ ආසියාතික රටවලුයි, යුරෝපීය රටවලුයි සංසන්දනය කරන්න හැදුවොත් ඒකත් මහ විහිළුවක් වගේ පෙනෙයි ඕනෙ කෙනෙක්ට රයිගම්… අපේ අය ලාබය හොයන්න හදන්නේ ලේසි, ඉක්මණ්, වංචනික ක්‍රම වලින්.. එහෙම නැතුව නිෂ්පාදනය වැඩි ප්‍රාග්ධනයක් යොදලා, නිෂ්පාදනය ඉහල ප්‍රමිතියකින් කරලා, ඉක්මණ් ලාබ ලබන්න බැරි නිසා එහෙම දේවල් වලට යොමු වෙන්නේ නෑ.. එහෙම නිෂ්පාදනයක් තිබ්බත් අපේ පාරිභෝගිකයෝ හොයන්නෙත් එවෙලෙට ඇති ලාබය විතරයි… මට තේරෙන විදියට ලංකාවේ නිෂ්පාදන වලට වෙලා තියෙන එක කරුමයක් ඕක…

    • ඔය වංචනික ක්‍රම වලින් ලාභ ලබන්න හදන එක ලංකාවෙ විතරක් නෙවේ. බටහිර බහු ජාතික සමාගම් වල් පවා වෙන දෙයක්. ඒවායේ අරමුන සමාගමේ කොටස් කරුවන්ට වැඩි ලාභයක් ලබා දීම. ඒ වෙනුවෙන් යන ගමනෙදි ඔය තත්ව පාලන ක්‍රම මග උවමනාවෙන් මග ඇරෙන්න පුලුවන් වගේම, ටොම් පච ඇදබාන්නත් ඔය සමාගම් දක්ෂයි. හොඳම උදාහරෙනෙ එක පාරක් කොකා කෝලා සමාගම එංගලන්තෙ බෝතල් වතුර නාමයක් එලි දැක්කුව Dasani කියල. මේ වතුර බොහොම පිරිසිදු බොතල් කල වතුර වගේම නාසා අභ්යවකාශ තාක්ශනයට අනුව පිරිසිදු කරන වතුර කියල තමා ඔවුන් ප්‍රචාරය කලේ. පස්සෙ එලි උනේ මෙ වතුර නිකම්ම ටැප් වතුර වගේම එව්ව පිරිසිදු කරන්න පාවිච්චි කරන තාක්ශනය ගෙදර දොර සාමාන්ය වතුර පෙරනයක ක්‍රමයම තමා කියල. කොකා කෝලා එකේ වැඩ එහෙම නම්, අනික් සමාගම් ගැන මොන කතාද? ඕක ගැන වැඩි දුර විස්තර මෙතන තියෙනව,

      http://www.theguardian.com/business/2004/mar/20/medicineandhealth.lifeandhealth

      • බහුජාතික විතරක් නොවේ කොල්ලකාරයෝ, දේශීය හා සමාජවාදී සමාගම් වුනත්, බඩුව සමහර වෙලාවට විකුණා ගන්න උත්සහ කරන්නේ පාරිභෝගිකයාගේ යහපත ගැන පළමුව හිතල නොවේ.දැන් ඔය වගේ දෙයක් එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හොයාගෙන පියවරක් ගත්තට, ලෝකේ ඔය වගේ සෙප්පඩ විජ්ජා කරමින් ඉන්න සමාගම් අදත් ඇති. ඔය වගේ දේවල් මා සටහනේ ලියල තියන පරිදි අඩු වෙලා තියෙන්නේ, පවතින රාමු තුල කර ගන්න බැරි නිසා. ඒ වගේ පුළුවන් රටවල දිගටම කරගෙන යනවා. ඔය තියා ඕස්ට්‍රේලියාවේ සිගරට් සරල දවටන නීතියට එරෙහිව ලෝක වෙළඳ සංගමයට පැමිණිල්ලක් කළ රටක් තමා සිගාර් නිපදවන සමාජවාදී කියුබාව.
        මෙන්න මෙහෙ විකුණන සෙප්පඩ නිෂ්පාදන ගැන ටිකක්.
        http://www.choice.com.au/reviews-and-tests/awards/shonky-awards/shonkys/shonkys-2012-poll.aspx

  2. ඔය සිද්ධි එකක් ගැනවත් හරියට මතයක් ප්‍රකාශ කරන්න අමාරු, ඇත්ත මොකක්ද බොරුව මොකක්ද, ලොකු කරලා පුම්බලා පෙන්නන්නේ මොකක්ද, ලඝු කරලා පෙන්නන්නේ මොකක්ද කියලා ස්වාධීනව හිතාගන්න බැරිවෙන්න මාධ්‍ය ක්‍රියා කරන නිසයි. අපි අහන්නේ කෙනෙක් අපි ඇසිය යුතුයැයි අදහස් කරන දේ වීම ඛේදවාචකයක්. අපි පස්ස උඩදාගෙන දඟලලා තියෙන්නේ කෙනෙක්ගේ මතවාදයක් නියෝජනය කරන්න කියලා පස්සේ දැනගත්තාම පුදුම පසු තැවිල්ලක් ඇති වෙනවා. ඒ මතවාදය අපිට ප්‍රොමෝට් කරන්න කිසිසේත් අවශ්‍ය එකක් කියලා දැනගත්තාම ඊටත් වඩා හිතට අමාරුයි. ඔය කොයි සිද්ධියෙත් තවත් පැත්තක් තියෙනවා. සමහර විට අපි හරි තොරතුර දැනගන්නේ කල් ගිහින්. සමහරවිට කවදාවත් දැන ගන්නේ නෑ.

    • අද මාධ්‍ය වලින් නම් මචං හරි තොරතුරක් ගන්න දඟලන එක (විශේෂයෙන් රජය විසින් සෘජුව හා වක්‍රව ඒවා හසුරවන විට) බොරු වැඩක්. ඒ වෙනුවට නිෂ්පාදන හා සමාගම් ගැන “ඒකීය පුද්ගලයන්” පවසන දේවල් නැත්නම් විවේචන ගොඩක් ප්‍රයෝජනවත්. අන්තර්ජාලයේ මේ වගේ විස්තර එන්න එන්නම පාරිභෝගිකයන් විසින් තොරතුරු හොයනවිට මුලාශ්‍ර විදිහට ගන්න එක වැඩි වෙමින් තියනවා. මාත් කරන දෙයක්.

  3. ඉතාමත් අනර්ඝ විවරණයක් රයිගම්. තුන්වනලෝකයේ රටක් වුණු අප තාමත් මුදලට යටවෙනවා. ඒකත් තරමක් දුරට බලපානවා මේ වාර්තා ආදිය යට යන්න. ඉතාමත් පැහැදිමක් ඇතිවන ද්වේශ සහගත නොවන තාර්කික ලිපියක්.

    • එයට හේතු වෙලා තියෙන්නේ යටිමඩි ගහන පාලක පන්ති මේ හැම රටකම තිබීමයි. ඉහලට ඉගෙන ගත්ත වෘත්තිකයන් පවා ප්‍රශ්නයක් දෙස බලන පටුවිදිහ මේ වගේ තැන් වලදී එලියට එනවා නලින්.

  4. Kenji @ Japan

    ඉතාමත් හොද විස්තර කිරීමක්.
    අර අටම් මලය කියල තිබුන සිමෙන්ති කොට්ට වගේ පිටි කොට්ට පිටකොටුවෙ තොග කඩවල විකුනනව කියල.ඒව කොහෙන් ගෙන්වන ඒවාද,නියම ප්‍රමිතියකට තිබෙනවද කියල බලන්නෙ නැහැ.මම හිතන්නෙ ඒව යෝගට්/අයිස් ක්‍රීම් හදන සුළු ව්‍යාපාරිකයො මිලදී ගන්නව ඇති.
    ඔබ කියල තිබෙන විදියට වස විස දාන්නෙ කසිප්පු වලට පමණක් නොවේ.
    නිත්‍යානුකුලව නිපදවන අරක්කු පවා විස.ස්ප්‍රිත්තු ගෙන්වන්නෙ තීන්ත/ටිනර් වගෙ තව ඔය වගෙ දේවල් වලට.කන්ටේනර් පිටින් ඒව යන්නෙ ඇමති/මන්ත්‍රී ලගෙ ස්කාගාර වලට.
    ඒවායින් හදන විස අරක්කු නොමිලෙ බිල ගොන් හැත්ත පෝලිමේ ගිහින් උන්ටම කතිර ගහනව.

    • ඔය ලැයිස්තුව හරි දිගයි කෙන්ජි. ජනතාව ගැන හිතල නම් ඕවා නවත්තන්නේ නැහැ. කොමිස් අඩු වුනොත් නම් නවත්වාවී.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s