“ඒකීය පාරිභෝගිකයාගේ” තේරීම! Left wing, right wing or BBQ chicken wing?


බ්‍රහස්පතින්දා ගෙදර එනවිට රේඩියෝවේ ෆොන්ටෙරා ගැන තව කතාවක් ගියා. චීනය පිටි කිරි ටොන් 42 ක් ප්‍රතික්ෂේප කරපු අලුත්ම පුවත. මේ වර හේතුව චීන ප්‍රමිතියට වඩා වැඩිපුර නයිට්‍රේට් තිබීම. දැන් ෆොන්ටෙරා පිටි කිරි වල නැත්තේ කිරි විතරද?

මේ වගේ ප්‍රවුර්ති අහන විට සාමාන්‍ය පාරිභෝගිකයන් ඔල්මොරොන්දම් වෙන එක අහන්න දෙයකුත් නොවේ. මේ කියන දේවල් වල ඇති රසායනික ක්‍රියා හෝ පාරිභාෂික වචන වල අප සේරම දෙනාට තේරුම් යන්නෙත් නැහැ, එහෙම තේරුම් ගන්න ඕනේ කියල නියමයකුත් නැහැ. යමක් අඩුවෙන් හෝ යන්තමින් තේරුම් ගැනීම, කොහෙත්ම තේරුම් නොගැනීමට වඩා භයානකයි.  පුවත් පත් වල පිටි කළ කිරි ගැන ලියවුන  සමහර සිංහල ප්‍රවුර්ති හා විශේෂාංග ලිපි කියවන විට මගේ සිතට නැගුනේ, එයාල කියන්න හදන දේ එයාලටත් තේරෙන්නේ නැති බවයි. අනික තමා මේ වගේ දේවල් ලියන්න කලින් පළමුව කළ යුත්තේ, උක්තය හා ආඛ්‍යාතය ගැලපෙන විදිහට සිංහල ලියන්න ඉගෙන ගැනීමයි.

මගේ කලින් සටහනට කලින් සටහනට ප්‍රතිචාරයක අරූ අහල තිබුනේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු ලෙස මොනවාද තෝරා  ගන්නේ කියල තීරණය කරන්නේ කොහොමද කියා. එය හරි ඇත්ත කතාව. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කිරි වල  සෝඩියම් ක්ලෝරයිඩ් තියනවා කියුවත් විෂ ගතියක් දැනෙන්න පුළුවන්. එයත් එක අතෙකින් ඇත්ත. මොකද  ලුණු හින්ද සමාජයේ හුඟක් දෙනා ඉක්මනින් පරලොව යන්න පාර කපා ගන්නවා . ඒකට  බහු ජාතික සමාගම් අවශ්‍යම නැහැ.

මේ වගේ කරුණු තේරුම් නොගැනීම හා ඒවා තේරුම් කර දෙන වෘත්තිකයන්ගේ තියන දේශපාලන හා වෙනත් යටි අරමුණු නිසා සාමාන්‍ය පාරිභෝගිකයන් වෙළඳ ප්‍රචාර වලට තවත් නැඹුරු වෙනවා. මේ වාණිජ හා ගිණුම් ලෝකයේ  වෙළඳ ප්‍රචාරය ගොඩක් ප්‍රභලයි.

සාමාන්‍ය පාරිභෝගිකයා ගොඩක් වෙලාවට වෙළඳ ප්‍රචාරණය හා දවටන වලට  විශ්වාසයක් තියනවා. ඒ දවටනයේ තියෙන්නේ මොනවාද, වෙළඳ දැන්වීමෙන් කියවෙන දේ ඇත්තද නැත්තද යන්නත් ගොඩක් වෙලාවට සලකා  බැලෙන්නේ නැහැ. මේ වගේ දේවල් වලට දේශ සිමා නැහැ. අනික මේවා කියවුවත් සාමාන්‍ය කෙනෙකුට අවශ්‍ය තොරතුරු ටික සරලව නැහැ. 

ඉස්සර අර “ඇසොර්ටඩ් බිස්කට්” පැකට්ටුවේ තියන තේ සහිත පිරිසි කෝප්ප දැකපු ගැමියෙක්, “මුදලාලි ඕවත් ඇතුලේ තියනවද?” කියල ඇහුව. ඉන් බොහෝ කාලයකට පසුව අපේ යාලුවෙක් අර මැගී නුඩ්ල්ස් පැකට්ටුවක් ගෙනත්, එහි මුද්‍රණය කරලා තිබුන පරිදි සම්පුර්ණ ඉස්සන් හෙවුවා. මෙවැනි පාරිභෝගිකයන් නොමග යවන පරිදි වෙළඳ ප්‍රචාරණයට සමහර රටවල ඉඩක් නැහැ. මෙහෙම දේවල් තිබුනොත්, යටින් කුඩාවට හෝ මෙහෙම සඳහන් වෙනවා; තේ හා කෝප්ප පිරිසි වෙනම මිලදී ගත යුතුය; නැත්නම් ඉස්සන් ඇතුලත් නොවේ හෝ සම්පුර්ණ ඉස්සන් ඇතුලත් නොවේ, කෘතීම ඉස්සන් රසය පමණක් ඇතුලත්ය.

ඉස්සර හයිලන්ඩ් පිටි කිරි වලට මිනිසුන් ආකර්ෂණය වුනේ නැති එකට එක හේතුවක් එය දේශීය නිෂ්පාදනයක් වීම කියල මා හිතනවා. අනෙක තමා දවටනය සෝබන කාරී නොවීම. අර ඝාම්භිර පෙට්ටි වල නැතුව, ලැමිනේටින් පැකට්ටුවේ වෙළඳ නාමය හා විස්තර මුද්‍රණය කරලා තිබුනේ.  අර සිගරට් වලට පැකට්ටු වල සෝබනකාරි බව අයින් කරන විට, ඕකෙන් මොකුත් වෙන්නේ නැහැ කියන කොට, මේ වගේ දේවල් අමතක කරනවා.

කුණු බඩුවක්, හොඳ දවටනයක තියෙන්න පුළුවන් වගේම, හොඳ බඩු  කුණු දවටන වල තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දවටනය වත් හරියට නිර්මාණය කර ගන්න බැරි නම්, ඇතුල  ගැන සැක සංකා ඇති වෙනවා. අනික දවටනය කියන්නේ සුරක්ෂිත බවේ එක වැදගත් අංගයක්. හැබැයි දවටනයට පමණක් අවධානය යොමුකරලා අමාරුවේ වැටෙන්නේ, කඩෙන් බඩු ගන්න කොට පමණක් නොවේ. එය විස්තර කරන්න අද කාලයක් නැහැ.

දේශීය දෙයක් වුනහම ගන්නේ නැති එකත් ප්‍රශ්නයක්. භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා, මෙහිදී අවතක්සේරුව බලපානවා. කර්මාන්ත සංවර්ධනයට උදව් දෙන ආයතනයක මහත්තයෙක් මට කියපු කතාවක් තමා, එක්තරා කුඩ නිෂ්පාදකයෙකු ඔහු සමග කියුව මේ කතාව. ඔහු තමන්ගේ කුඩා ව්‍යාපාරය ටිකක් දියුණු කරගෙන එන විට, වෙළඳාම අඩු වෙමින් යනවා දැනිල තියනවා. වෙළඳපොල සමීක්ෂණයක් කරන විට, චීනයෙන් ආනයනය කරන ලද, වඩාත් අඩු “කොලිටියේ” කුඩයකට ඇති වැඩි ඉල්ලුම, තමන්ගේ බඩුව අඩුවෙන් විකිනෙන එකට හේතුව ලෙස සොයාගෙන තියනවා. මේකට පිලියමක් ලෙස ඔහු ජපන් භාෂාව දන්නා කෙනෙකුට කියල “ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලදී” කියන එක ජපන් බසින් විතරක් කුඩයෙහි ඇතුලත් කරලා.

දේශීයව සියල්ල නිෂ්පාදනය කරන්න හදන එක හිතලුවක් විතරයි. ලෝකේ කොහෙවත් එහෙම රටවල් නැහැ. හැබැයි නිෂ්පාදනයත් රටක මුලික අංගයක් විය යුතුයි. දේශීය “ඒකීය පාරිභෝගිකයන්ගේ” ආකල්පත් එහෙම කර්මාන්ත වල තිරසාරත්වයට බලපාන ප්‍රධාන කරුණක්.

Advertisements

22 Comments

Filed under Lifestyle, Opinion

22 responses to ““ඒකීය පාරිභෝගිකයාගේ” තේරීම! Left wing, right wing or BBQ chicken wing?

  1. Kenji @ Japan

    ඇත්තටම රයිගම ප්‍රචාරන සහ ඇසුරුම් වලට අනවශ්‍ය වියදම් අඩු කලොත් කොච්චර මිල අඩුවට දෙන්න හැකිද ඇසුරුම් කල ද්‍රව්‍ය.

    • මේ කතාව ඇසුරුම් ගැනම නොවේ කෙන්ජි. පාරිභෝගිකයන් ලෙස අප හිතන හැටි. ඇසුරුම් වල වැදගත් කමක් නැත්තේම නැහැ. වෙළඳ ප්‍රචාර කියන්නේ වෙන දෙයක් නේ. ඕස්ට්‍රේලියාවේ පවා කෘෂිකර්මාන්තයේ යම් පිරිහීයාමක් දකින්න පුළුවන්. පාරිභෝගිකයන්ගේ ආකල්ප වැදගත් කියා මා කියුවේ ඒ නිසයි. එයට දේශ සිමා නැහැ.

      දේශීය නිෂ්පාදන වැඩි කරන එක කාලයක් තිස්සේ කල යුතු දෙයක්. දේශීය නිෂ්පාදන වැඩි කරන්න කලින්, ආනයන සිමා කරපු කාලය ගැන, එදා ඉපදිලා හිටියේ නැති අයත් ඔය කතාකරන්නේ. එයාලටත්, අත්දැකීම් ගන්න පුළුවන් වේවි මා පහත කියන දෙය වුනොත් .

      වෙළඳ ප්‍රචාර ඔය දැන්වීම වලින් පමණක් නොවේ එන්නේ. දැන් මේ ෆොන්ටෙරා කිරි පිටිවල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ ගැන එයාල හොයනවා. ඒ වගේම ලංකාවට එවුව පිටි කිරි වල ප්‍රශ්නයක් නැතිය කියල එයාල සහතික වෙනවා. දැන් මේ පිටි කිරි වෙනුවට කවදා හෝ චීන පිටි කිරි ආනයනය කලොත්, මා කලින් අරූට කියපු හැටියටම, මිලදී ගන්නන් ප්‍රවේශම් වෙන්න ඕනේ. එතකොට ප්‍රමාදයි, වෙන විකල්පයකුත් නැහැ. ඒ වගේම කොමිස් ටිකත් අරන් ඉවරයි. DCD විතරක් නොවේ DDT තිබුනත් කිසි කෙනෙක් දැන ගන්න එකක් නැහැ. මොකද චීනය කියන්නේ පිටි කිරි වලින් ස්වයං පෝෂිත රටකුත් නොවේ, ඔවුන්ගේ අවශ්‍යතා වලට පිටින් ආනයනය කරන ගමන්, පිටට විකුනන්න උත්සහ ගන්නේ තමන්ගේ රටේ නොවිකිනෙන කුණු ගොඩක් තමා.

      ඒ වගේම දේශීය කර්මාන්ත වලින් අවශ්‍යතා සපුරා ගන්න බැරි කොට,ෆොන්ටෙරා වගේ සමාගමක් පන්නල, කිරි පිටි වල ගණන් ඉහල ගියහම බොන්න වෙන්නේ, දේශප්‍රේමය හෝ ජාතික චින්තනය දොවා ගෙන. ඇත්තටම මේ සියල්ලටම යටින් තියෙන්නේ, කණ්ඩායමකගේ හෝ එක පුද්ගලයෙකුගේ වෙළඳ අරමුණු හා ප්‍රචාර වෙන්න පුළුවන් කියන එක අපට අමතක කරන්න බැහැ.

  2. Kenji @ Japan

    ජනතාවව දැනුවත් කරන්න ඉන්න එව්වො චාරයක් නැතිව කුට්ටි ගණන් සාක්කු පුරෝගන පිටු ගනන් ලියන කෙබර.
    කිසිම දෙයක ප්‍රතිපත්තියක් නැති කම.
    ඒ උනාට ලංකාවෙ ෙසෟඛ්‍ය ඇමතියට ලෝක ෙසෟඛ්‍ය සංවිධානයෙන් “ජගත් විශිෂ්ටත්ව සම්මාන”යෙන් පුදල.එන 3 වැනිදා ලොක්ක එක්ක එකතු වෙලා,ලක්ෂ ගනන් වියදම් කරල උත්සවයක් තියන්න යනව.
    විෂ වතුර බීල/ඩෙංගු වලින් මිනිස්සු මැරෙනව එයාල ජෝගි දානව.

  3. හිරු

    ඔය ඇඩ් කතාව සහතික ඇත්ත රයිගම්.. දන්නවනෙ අපේ අම්මා කේක් ව්‍යාපාරයක් කරනවා කියල.. අපි මුලදි කඩේ බොහොම පොඩියට පටන් ගනිද්දි අපිට අඩුගානේ අවන් එකක්වත් ගන්න සල්ලි තිබ්බෙ නෑ.. ඉතිං අපට කේක් බොක්සස් සහ කේක් බෝඩ් වලට එහෙම ලොකු ගානක් වියදම් කරන්න බැරි උනා.. අපි අතින් කාඩ්බෝඩ් කපලා තමයි බොක්සස් හැදුවෙ.. එහෙම කරලා අඩුම පැකේජින් වියදමකින්, වැඩිම ගුණාත්මක දේවල් කේක් එකට දාලා කේක් එක දුන්නෙ.. ගොඩක් ජනප්‍රිය වෙළඳ නාම වලින් තියෙන කේක් වලට වඩා අපේ කේක් එකට දාන දේවල් හොඳයි.. හැබැයි අපිට තේරුනා අපේ කේක් ගොඩක් අය ගෙනියන්නේ තමන්ගේ ගෙදර කන්න විතරයි… කොහෙ හරි ගමනක් යද්දි අර ජනප්‍රිය නමක් තියෙන, ප්‍රින්ට් කරපු බොක්ස් එකක් තියෙන, අයිසින් පුරොපු කේක් එකක් අරන් යනවා.. අපි ගොඩක් පැකේජින් ට්‍රයි කළා.. ඒත් ඒවට යන වියදම වැඩියි… පස්සෙ අම්මලා ලෑස්ති උනා ඔක්කොම පැත්තක තියල බොක්සස් ප්‍රින්ට් කරන්න.. මම ඒ වෙනුවට කළේ බොක්සස් ප්‍රින්ට් නොකර ප්‍රින්ට් කරපු පොඩි කාඩ් එකක් අලවපු එක.. දැන් අපේ සුදු පාට කේක් බොක්ස් එක ඒ පැත්තෙ හැමෝම දන්නවා… ඒකෙන් අපිට බොක්සස් ප්‍රින්ට් කරන්න යන වියදම කේක් එකට එකතු කරන්න සිද්ධ උනේ නෑ… දැන්නම් අපේ කේක් නිකම් ඔතලා දුන්නත් ඕනෙම තැනකට ගෙනියන්න පුළුවන් කියලා කට්ටිය හිතන තත්වයක් නිර්මාණය වෙල තියෙනව.. හි හි…

    අපේ රටවල් වලට ඇඩ් වලට ප්‍රමිති නෑනේ රයිගම්.. ඉතිං ඕනෙ බොරුවක් ටීවී එකේ, පත්තරේ දාන්න පුළුවන්… ඕක තේරුම් ගන්නෙත් බොහොම කීප දෙනයි… අපේ රටවල් වල ලාබෙට කරන්න පුළුවන් නිෂ්පාදන වලදිත් වැඩිම වියදම යන්නේ ප්‍රචාරණයට සහ ඇසුරුම්වලට… මොකද ලාබ චීන බඩු මහා පරිමාණයෙන් වෙළඳපොලේ තියෙන නිසා ඒවත් එක්ක තරඟ කරන්න වෙන නිසා.. හැබැයි එකක් තියෙනව… මං හිතන්නේ නෑ වෙන මොනම දෙයක් ගැන චීන බඩු වලට තියෙන ඉල්ලුම චීන ආහාර වලට ලැබෙයි කියල.. මොකද බහුතර මතය චීන බඩු ලාබයි, බාලයි කියන එක… චීන ෆොන් එකක් ගත්තට චීන කම්පියුටරයක් ගන්න අය අඩුයි නේ…. හි හි

    • හිරු, දවටන වලට තියන අපේ ආකර්ෂණය ජීවයේ පරිණාමයත් එක්ක බැඳී පවතිනවා කියල මට නිකමට හිතෙනවා. ගහකොළ පවා වර්ගයා බෝ කිරීමට දවටන වල ආකර්ෂණය යොදා ගන්නවා. ඒ කියන්නේ මල් පරාගනය පිනිස කෘමින් හා වෙනත් සතුන් ආකර්ෂණය කර ගන්නේ දවටනයෙන්. උසස් සතුන් පවා එකිනෙකාට ආකර්ෂණය වන්නේ දවටනය නිසා මූලිකවම. මිනිසා පවා කුටුම්භ ජිවිතයක් ගත කරන්න කලින්, ඉබේ බෙදිලා වර්ගයා බෝ කලත්, දැන් තමන්ගේ අනෙක් පාර්ශවයට මුලින්ම ආකර්ශනය වන්නේ පිට පොත්ත නැත්නම් දවටනය නිසා.

      ඔබට ව්‍යවසායක ඉවක් තියනවා වාගේ. 🙂 ඔබ වගේ කෙනෙක් ගෙදරට වෙලා නිකම් ඉන්න එක ඔබට පමණක් නොවේ, තමන්ගේ රටටත් කරන අකටයුත්තක්. ඒ වගේම ඔබගේ අම්ම වගේ කුඩා ව්‍යාපාරිකයන් කියන්නේ රටක වැදගත් මෙහෙයක් කරන මිනිසුන් කොට්ටාශයක්. දැන් කියනවනේ උපාධිධාරින්ට වෙන රැකියා නැත්නම්, තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්නේ කියල. ව්‍යවසායකත්වය කියන දේ ප්‍රාග්ධනය තිබිල හෝ පොතෙන් පතෙන් දැනුම ලබල හෝ පමණක් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා සහජ ඉවකුත් තිබිය යුතුයි කියා මා හිතනවා.වෙන වචන වලින් කියනවා නම් ඇඟේ තියෙන්න ඕනේ. අසීමිත කැපවීම තව එකක්. මේ වගේ දේවල් හැමෝටම කරන්න බැහැ.

      දැන් බලන්න චීන නිෂ්පාදන දෙස. Sony වගේ භාණ්ඩයක් චිනයේද, නැත්නම් කොරියාවේද නැත්නම් මලයාසියාවේද නිෂ්පාදනය කරන්නේ කියන එක තව දුරටත් වැදගත් නැහැ. මොකද භාණ්ඩයේ ප්‍රමිතිය දැන් තහවුරු වෙලා අවසන්. එයාල නිෂ්පාදනය කරන රට අනුව, භාණ්ඩයේ ප්‍රමිතිය වෙනස් කරන්නේ නැහැ. අප පාවිච්චි කරන එලෙක්ට්‍රොනික නිෂ්පාදන සියල්ල එක්කෝ චීනයේ, නැත්නම් කොරියාවේ නැත්නම් මැලේසියාවේ හදපුවා. ඔබ ඔය කියන්නේ “චීන වල් නිෂ්පාදන” ගැන. ඒවා නම් කොහේ හැදුවත් වල්ම තමා. මේවා දීර්ඝ පරිණාමික ක්‍රියාවලියකින් බිහි කළ උසස් තත්වයේ නිෂ්පාදන නොවේ. බොහෝ විට එහෙන් මෙහෙන් අහුලා ගත් අනුකාරක. මේක සටහනටත් වඩා දිග වුන නිසා කපල දැම්ම.

  4. නිකං

    මේක දැක්කම මතක්වුනේ ඇසිඩ් වර්ෂා වලට මුලික හේතුවක් බව කියලා මිනිස්සුන්ව දැනුවත් කල ඩයි හයිඩ්‍රජන් මොනො ඔක්සයිඩ් පර්යේෂණය ගැන.
    //කණ්ඩායමකගේ හෝ එක පුද්ගලයෙකුගේ වෙළඳ අරමුණු
    එහෙම වෙන්නත් පුළුවන් තමා.යකඩේ රත් වෙච්චි වෙලාවේ තැටිය රත් කර ගන්න
    ප්ලෑන් කරන.කීවත් වගේ අපේ ඔය පුටු වල ඉන්න ඇත්තෝ දේශීය දේවල් වල වසක් තියනවද කියලා check කොරයිද? අහුවුනොත් කියයි මේවා දේශීය ආර්ථිකය කඩාවට්ටන්න කොරන කුමන්ත්‍රණ කියලා .
    //චීන බඩු වලට තියෙන ඉල්ලුම චීන ආහාර වලට ලැබෙයි
    ඇත්ත මන්දා ඔය වතාවක් හාහෝවක් ගියා චීන්නු කෘතීම බිත්තර හදලා කියලා නිෂ්පාදන වියදම අඩු කරන්න.

  5. නිකං

    හිරුවගේ බ්ලොග් රෝලේන් තමා මේ අඩවිය දැන ගත්තේ. කියවීමට සිතීමට දෑ බොහොමයි.බොහෝ ස්තුතියි ලාංකිකයන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට
    ( හ්ම්,දැන් ඉතිං 2011 ජුලි වල ඉදං ලියපුවා කියවපල්ලකෝ 🙂 )

    • ඔබගේ ප්‍රතිචාර දෙකටම එක උත්තරයක්. මුලින්ම සාදරයෙන් පිලි ගන්නවා. ඔබත් දිගටම රැඳේවී කියන විශ්වාසය නම් මට තවම නැහැ. ඔය හිරු වගේ අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන් අතලොස්සක් තමා මහේ පාඨකයන්. කෘතීම බිත්තර තියා, කෘතීම DNA වත් තවම හදල නැහැ. හැබැයි විද්‍යා ගාරයේ හැදුව මස් වල පළමු රස හඳුනා ගැනීමේ කටයුත්තක් පසුගිය දවස් වල තිබුනා. මෙයට උපයෝගී කර ගත්තේ සතුන්ගේ පටක. එතනත් කෘතිමයි කියුවට පවතින දෙයකින් තමා ආරම්භ කරලා තියෙන්නේ. මස් කිලෝ එක අද දවසේ හැටියට $ 3500 ක්ද කොහෙද. වෙනම ලියන්නම්. තව අවුරුදු විස්සකින් පමණ අපට මස් කෑමට සතුන් මරන්න අවශ්‍ය නොවේ යයි, මේ පර්යේෂණය කියනවා.

      ආහාර වල වස හා විස ගැන කියනවා නම් නිකං, දැන් ඔය සිගරට් ගහන, දිනපතා අඩි ගහන හා ව්‍යායාම් නොකරන කෙනෙක්, චීන පිටි කිරි හෝ ෆොන්ටෙරා ගැන හෝ නයිට්‍රේට්, DCD හා බෝටුලිස්ම් ගැන කතා කරනවා නම්, forget about it. ඉහත කියන දේවල් නිසා අකාලේ මිය යන්න තියන හැකියාව උදේට DCD තියන ෆොන්ටෙරා කිරි වීදුරුවක් බොන එකෙන් වෙන හානියට වඩා දහස් ගුණයක් විශාලයි. ඒ වගේම දැනට ඒ වගේ ජිවන විලාසිතා තේරීම් වලින් වන හානිය ඕනෙවටත් වඩා ඔප්පු කරලා තියනවා. ලාංකිකයන්ටම නොවේ, මා ලියන්නේ සිංහල කියවන ඕනෙම කෙනෙකුට අදාළ කර ගන්න පුළුවන් විදිහට. එය දැනුවත් කිරීමක්ම නොවේ, මගේ ඔපිනියන් නැත්නම් සිතිවිලි. බලන්න ඔබට කියවන්න පුලුවන්ද කියා. 🙂

  6. ” අනෙක තමා දවටනය සෝබන කාරී නොවීම.”

    අලිය බීමට උනෙත් ඕකනෙ. කොකා, පෙප්සි හැඩ බෝතලේ එනකොට අලියට තරඟෙ දෙන්න අමාරු උනා.

    • පිටත තියන ලස්සනට වහ වැටිලා, අමාරුවේ වැටුන අවස්ථා තව කොතරම් තියනවද ඉන්දික?

  7. බහුජාතික බූවල්ලෝ කරන්නේ ඕක තමා මොන මලදානයක් හරි ප්‍රමෝට් කරනවා අපිව ගොනාට අන්දලා..

    • ඔය බහුජාතික සමාගම් මතම වරද පැටෙවුවට දේශකයෝ, පාරිභෝගිකයා දැනුවත් නම් ඇයි එහෙම වෙන්නේ? ඔය කතාව කියන කට්ටියත් සාමාන්‍ය ජිවිතයේ බඩු ගන්න කොට ක්‍රියා කරන්නේ, මල පොතේ අකුරක් බැරි මිනිසුන් ක්‍රියා කරන විදිහටමයි.

  8. >>දේශීය දෙයක් වුනහම ගන්නේ නැති එකත් ප්‍රශ්නයක්. භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා, මෙහිදී අවතක්සේරුව බලපානවා.<<
    රයිගම්, මම හිතන්නේ මේක අදාල නොවන භාණ්ඩ කීපයක්ම තියෙනවා. එකක් තේ, අනික බිස්කට්. මේ වගේ තව උදාහරණ තියෙනවා. අපි ලංකාවේ හදපු ඖෂධයක් මිලදී ගන්න සිය දහස් වතාවක් කැමතියි කැමතියි ඉන්දියාවේ හරි පාකිස්ථානයේ හරි හදපු එකකට වඩා.

    ඒ වගේම භාණ්ඩයක ක්වොලිටියත් ඕකට බලපානවා. මට මතකයි හදපු අලුතම අපි කොත්මලේ චීස් ගෙනත් බැලුවා ඒක අපේ නිශ්පාදනයක් නිසාම. ඒක කා ගන්න බැරුව සෑහෙන කාලයක් ෆ්‍රිජ් එකේම තිබිලා අන්තිමට මමම තමයි යුතුකමක් හැටියට කාලා ඉවර කලේ.

    • මචං, දැන්වීම් වලට යට වන්නේනතිව තීරණ ගන්න පුළුවන් වගේම, අනෙක් පච ප්‍රචාර වලට යට වෙන්නේ නැති විදිහට මිනිසුන් දැනුවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වෘත්තීයවේදියන් යමක් කියන විට පාර්ශවයකට යට වෙන්නේ නැතුව, සත්‍යය ඉදිරිපත් කළ යුතු වුවත්, එයාලට තියන න්‍යාය පත්‍ර හරි වෙනස්.
      ලංකාවේ පටන් ගත්ත පිටි කිරි කතාවම බැලූ බැල්මට වෙනත් අරමුණකින් හදා ගත්ත කතාවක් කියා මට හිතෙනවා. මේ පහතින් තිසර කියන්න වගේ බටහිරින් කුණු ජරාව දීලා අපේ ජාතිය නසන්න හදනවා කියන එක ඔය කොයි කවුරුත් අතරේ ඉතා ජනප්‍රිය මතයක්. දැන් බලපන්, ලංකාවේ හදන කිරි පිටි ගන්න මිනිසුන්ට මතක් වෙන්නේ, මේ වගේ පච ප්‍රචාර නැගල යන විටදී.එතකම් එහෙම දේවල් තියනවාද කියල වත් දන්නේ නැහැ. ඒ අතරේ සමහරුන් කියනවා පිටි කිරි බොන්න ඕනේ නැහැ කියල. මේ සේරම අන්තිමට වෙළඳ දැන්වීම් වලට යට වෙන කට්ටිය.

  9. රයිගම්, මට වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට කමෙන්ට් කරනකොට එරර් මෙසේජ් එකක් එන ලෙඩක් තියෙනවා. මට වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තිබිලත් එහෙම්න වෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. වෙන දවසක ට්‍රයි කලාම සමහර විට හරියනවා. අර විචාරකගේ බ්ලොගටත් කමෙන්ට් කරන්න බෑ.

    • මෙහෙම ප්‍රශ්නයක් තියනවා.මා බලන්නම්, පිළිතුරක් හොයා ගන්න පුලුවන්ද කියා. (හැබැයි මචං මා නම්, ටිකක් වෙනස් පිළිතුරක් තමා මේ ප්‍රශ්නයට හොයා ගෙන තියෙන්නේ).

      • ඒක මොනවගේ විසඳුමක්ද රයිගම්? Groundbreaking one? 😀

        • Yes, machan, quite a breakthrough! 😀 Will let you know discreetly!
          (ඇත්තම පිළියම නම් වර්ඩ්ප්‍රෙස් හා ගූගල් ගිණුම් දෙකටම හැමවිටම ලොග් වෙලා ඉන්න එක. දෙකින් එකකින් කොහොමත් යනවා)!

  10. තිසර

    ෆොන්ටෙරා ප්‍රශ්නයේදි මාධ්‍යකරුවෝ, සහ බොහොමයක් බ්ලොග්කරුවෝ ලිව්වේ, බහු ජාතික සමාගම් කියන වචනයට ඇති අප්‍රසාදය සහ දේශීය නිෂ්පාදන කියන වචනයට ඇති කැමැත්තට යට වෙලා. බොහොමයක් දෙනෙක් ප්‍රශ්නය මොකද්ද කියලාවත් තේරුම්ගන්න උත්සාහ කරලා තිබ්බේ නැහැ. මට මතක් උණේ අර “කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවො මරන්නා” කියන විදේශීය තනුවකට ගායනා කරන ගීතය.

    යමක දවටනය තරමක් හැබෑවට වඩා වෙනස්වීම පිළිගන්න පුළුවන්, එය ජනතාව මුලා කරන්නෙ නැතිතාක්. පාරිභෝගිකයා දැනුවත් කිරීම නම් ලංකාවේ සිද්ධ නොවෙන ගානයි.

    • මාධ්‍යකරුවන් කෙසේ වෙතත්, සමහර බ්ලොග් ලියන්නන් ගැන මගේ තක්සේරුවත් වැරදි බව පෙනුනා තිසර. බහු ජාතික සමාගම් පච දැන්වීම් ප්‍රචාරය කරනවා කියුවට, මේ බොහොමයක් දෙනා සෙවීමකින් තොරව, අනුන්ගේ ප්‍රචාර (දැන්වීම් හා දැන්වීම් නොවන) වලට එකසේ රැවටෙන නැත්නම්, විචාරයකින් තොරව විශ්වාස කරන පිරිසක්. විශේෂයෙන් මේ අන්තර් ජාලය කියවන පිරිස පවා වෙනස් නැහැ.
      දවටන වල වුනත් තියන දේ තේරුම් ගන්න ජනතාව හුරු කළ යුතුයි. කොහොමද එහෙම කරන්නේ, ඒ සඳහා ඉගෙනීමක් හා වෘත්තීය සුදුසුකම් තියන පිරිස් වෙන සට කපට යටි අරමුණු වලින් වැඩ කරන්නේ.

  11. ඇත්තටම රයිගම් මේ දැන්වීම් ප්‍රචාරණයන් නියාමණය කරන ආයතනයක් නැතිකම ලොකු ප්‍රශ්ණයක් කියලා මම හිතනවා.පාරිභෝගිකයාටත් ලොකු වගකීමක් තියෙනවා තමයි.මම ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක් කියන්නම්.මේක ඒ නිශ්පාදනය ඉලක්ක කරගෙන කියන කථාවක් නෙමේ.පෙරේදා ලංකාවේ ඉඳන් ආපු කෙනෙක් ශාඛසාර පානයක් ගෙනාවා”ප්‍රාණජීව”කියල.ඇසුරුම ඉතාම ඉහලයි.මේකේ සඳහන් කරලා තියෙනවා බයිපාස් සැත්කමකින් තොරව හෘද්ධ රෝග සුව කල හැකි අයුර්වේද පානයකි කියලා.මේක ගෙනාවේ මගේ යාලුවෙක් වෙන දොස්තර කෙනෙක්.පුතාත් එම රැකියාවමයි.මම ඒ බව ඔවුන්ට පෙන්වා ඒ ගැන විමසුවා.ඔහුගේ බිරිඳට එය කවුරුන් හෝ ත්‍යාගයක් ලෙස දුන් බවත් කියවා බැලීමෙන් පසු එය ඉවත දැමූ බවත් පසුව දැණගත්තා.මේ ඉවක් බවක් නැති ප්‍රචාරණ කටයුතු නිසා මිනිසුන් කොපමන මුලාවෙනවා ඇද්ද?

    • ඔබ නියම තැනකට මගේ සටහන ගෙනත් තියනවා අරූ. පාරිභෝගිකයෙකුට දැන්වීමකින් අකටයුත්තක් වෙනවයි කියල හිතෙනවා නම්, නමකින් තොරව හෝ පැමිණිලි කරහම ඒ ගැන සොයන ආයතනයක් තිබීම අවශ්‍ය දෙයක්. ඒ වගේම පාරිභෝගිකයාට වගකීමක් තියනවා මේ වෙළඳ ලෝකේ තියන ප්‍රචාර තේරුම් ගන්න. උදාහරණයකට, කැල්සියම් වැඩිපුර තියන කිරි වර්ගයක් (ඇට වලට) හොඳය කියල දැන්වීමක කියුවට, දවසකට කැල්සියම් කොච්චර ගන්න ඕනෙද, ඒ ටික ගන්න දවසකට කොච්චර කිරි බොන්න ඕනෙද කියන වැටහීම, අපට තියෙන්න ඕනේ. මෙවැනි වැටහීමක් නැති පිරිසට මේ බව කියා දීම තමයි, ඔය වෛද්‍යවරුන්ගේ හා පෝෂණවේදීන්ගේ යුතුකම. මෙවැනි දේ තේරුම් ගන්න පුළුවන් මාධ්‍යවේදියන් සිටීමද අවශ්‍ය දෙයක්. එහෙම දෙයක් නොවේනේ ලංකාවේ වෙන්නේ. දොස්තරලාත් එයාලගේ වෙළඳ, දේශපාලන හා කෛරාටික වෙනත් අරමුණු නිසා කොලේ වහල කතා කරනවා. මාධ්‍යවේදියන්ට මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ. තවත් බොහෝ මිනිසුනුත් අර තිසර කියනවා, වගේ තේරුම් ගන්න උත්සහ කරන්නේ නැතුව, අනුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කඩේ යනවා.

      ඔබ කියල තියන උදාහරණය හරිම අපූරු එකක්. හේතු කීපයක් නිසා. ෆොන්ටෙරා වෙළඳ දැන්වීම් වල වැරැද්ද දකින, බොහෝ දෙනා මෙවැනි දේශීය බොරු නොසලකා හරිනවා. ෆොන්ටෙරා දැන්වීම් පවා නොමග යවන ඒවා වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දේශීය පච නිසා කෙනෙකු මරු තුරුලට යන්නත් පුළුවන්, හරි හමන් වෙදකමක් ලබා ගන්නේ නැතුව. එය කිසිවෙකුට ප්‍රශ්නයක් නොවේ. මොකද දේශීය පච නිසා. මේ වගේම තමා ඔය පිළිකාවට ආයුර්වේද ප්‍රතිකාර තියනවා කියල කරන ප්‍රචාර. මේවා කෙනෙකුගේ ජීවිතයත්, මරණයත් විසඳන බොරු ප්‍රචාර නැත්නම් දැන්වීම්.

      දැන් මේ ෆොන්ටෙරා කිරි වල කිසිම විසක් නැති බව ඔවුන් සහතික වෙනවා. ඒ වගේම DCD තිබුනත්, ලෝකේ කොයි රටක හෝ ලංකාව කියන ඉහල අගය තියන නිෂ්පාදන හමුවී නැහැ. DCD කිරි වල හමුවූවා යයි වාර්තා වුන මුල් කාලයේම නවසීලන්තයේ කෘෂි රසායන සමාගම්, එම නිෂ්පාදන (ඒ කියන්නේ DCD) වෙළඳපොලෙන් ස්වේච්චාවෙන් ඉවත් කර ගත්තා යයි වාර්තා වුනා. එහෙම කලේ මේ කිරි විකිනෙන්නේ නතු වුනොත්, ඔවුන්ට අනෙකුත් කෘෂි රසායන විකුනන්න තියන අවස්ථාවත් නැතුව යනවා. මේක දාමයක් ලෙස බැඳී තියනවා. තුන්වන ලෝකයට වස විකුනනවා යයි කියන පොදු මතය හැම විටම හරි යයි මා හිතන්නේ නැහැ. මොකද, මේ නිෂ්පාදනයන් එකම කර්මාන්තශාලා වල මුළු ලෝකය සඳහා නිෂ්පාදනය කරන ඒවා.

      ඇත්තම කියනවා නම්, ලංකාව DCD ප්‍රශ්නයක් ගෙනාපු වෙලාවේ, ලෝකයේ අනෙක් රටවල තිබුනේ වෙන ප්‍රශ්නයක්. එයත් රුසියාව හා බෙලොරුසියාව වැනි රටවල් වෙනත් අයුරකින් යොදා ගත්තා. බැක්ටීරියා අඩංගු පිටි කිරි කාණ්ඩය එම රට වලට යැවුවේ වත් නැතිය ෆොන්ටෙරා කියන විටත්, ඔවුනුත් නිෂ්පාදන වලින් සමහරක් වෙළඳ පලින් ඉවත් කරගෙන ඉවරයි. මේ හැම දෙයකටම යටින්, පාරිභෝගිකයාගේ යහපතට වඩා රටවල් වල තියන දේශපාලනය ඉහලට එනවා. ලංකා ප්‍රශ්නයේදී ෆොන්ටෙරා විතරක් නොවේ නවසීලන්ත අගමැති පවා එය විය නොහැකි ඉහල අගයක් බව කියුවා. මෙය පැහැදිලි කලේ අගමැති පවා ලංකාවේ මිනිසුනට හා දරුවනට වස කවන්න හදනවා කියා.

      මට මේ සමාගම හෝ වෙනත් සමාගමක් සඳහා සුදු හුණු ගෑමෙන් කිසි ආර්ථික ප්‍රයෝජනයක් නැහැ. සමාගම්වල ක්‍රියා කාරිත්වය ගැන හැමවිටම මට යහපත් හැඟීමක් නැහැ. මෙතැනදී මා ලියුවේ පිටින් බලන කොට පෙනෙන ඇත්ත යයි මට හිතෙන දේ. කෘෂිකර්මය ගත්තොත් ඕස්ට්‍රේලියාවේ තියන තත්ත්ව පාලනය හා මෙහෙ ගොවියන්ගේ කල්කිරියාව මා තරමක් දුරට දන්නවා. ඔවුන්, ආර්ථික පිරිවැය හා ආපසු ලැබීම් ගණන් හදන්නේ නැතුව කිසිම කෘෂි රසායනයක් ගහන්නේ නැහැ. කෘෂි රසායන වැඩිපුර ගහනවා කියන්නේ අස්වැන්න වැඩිපුර ලැබෙනවා කියන එක නොවේ (ලංකාවේ එහෙම හිතුවට). හැමෝම පොහොර කිලෝවක් හෝ වැඩිපුර දමනවා නම්, ගණන් හදල දාන්නේ. ඒ වගේම තමන්ගේ නිෂ්පාදන නොවිකෙනවා කියන්නේ, ඔවුන්ගේ ජීවිකාව නැති වෙනවා යයි තේරුම් ගන්න මේ ගොවියන්ට පුළුවන්.

      යම් සමාගමක් රටක පවතින නිතිය කඩලා නම්, රජය විසින් පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන්, එම සමාගමට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතුයි. දැන්වීම් මිනිසුන්ව රවටනවා නම්, දැන්වීම් පල කිරීමේදී අනුගමනය කල යුතු නීතියක් හැදිය යුතුයි.

      කිරි නොබොන කට්ටිය කිරි බොන්න අවශ්‍ය නැහැ. හැබැයි බොන කට්ටියට හොඳ නිෂ්පාදනයක් ගැනීමේ අවස්ථාවට අකුල් හෙලීමත් හොඳ දෙයක් නොවේ. එම නිෂ්පාදනය දේශියද, විදේශියද කියන එකට වඩා නිෂ්පාදනයේ ප්‍රමිතිය මට නම් වැදගත්. මෙවැනි දෙයක් වත් දේශපාලන වැල්වටාරම් නොමැතිව තේරුම් ගන්න හා තේරුම් කර දීමට අප උත්සහ කල යුතුයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s