Monthly Archives: September 2013

දින සටහන්! The reason is clear!


අද, මං කාලෙකට පස්සේ තණකොළ කැපුවා. තාම උෂ්ණත්වය යන්තම් ඉහල යන්න ගත්තා විතරයි. ඔබ දන්නවා ඇතිනේ තණකොළ කැපෙන විට දැනෙන සුවඳ. මේ ලියන්නේ රෑ වෙලා. හෙට අපට වෙලාවට නිවාඩු. මා ලියන්නේ මොකද කියන එක හැම වෙලාවෙම මගේ සිතට එන දෙයක්. මේවා කියවන්න මහා පිරිසක් නැහැ. ඒ වගේම මට ලෝකය වෙනස් කරන  බලාපොරොත්තුවකුත් නැහැ. ඒත් ලියනවා. දැන් මෙය ඇබ්බැහි වීමක් වගේ. මා ඇබ්බැහි වීම් වලට අකමැතියි.

මේ ලියන දේවල් වලින් මටම නැවත හිතන්න අවස්තාව සලසනවා. අප කවුරුත් පරිපූර්ණ මනුෂ්‍යයන් නොවේ. අප ඉගෙන ගන්නේ අත්දැකීම් තුලින්. සමහරුන් එහෙමත් ඉගෙන ගන්නේ  නැහැ. මගේ සහකාරිය කියන්නේ, මා ඇයට හමුවූ වාට වඩා, අද වෙනස් මනුෂ්‍යයෙකු කියා. ඇය මට ජිවිතයේ හමු වුන, හොඳම මනුෂ්‍යයෙක්. මෙය ලියන එක කෙසේ වුවත්, පළ කරන එක ගැන හැමදාම මට සාංකා තියනවා. එකක් තමා මෙය ඉතා කුඩා පිරිසක් කියවන, එකක් වීම. අනික තමා මගේ අරමුණු, අනුව මෙය පළ කරන එක අත්‍යවශ්‍ය නොවීම. අර දවසක් රවීගේ ප්‍රතිචාරය මේ ගැන මට යලිත් හිතන්න අවස්තාව දුන්න.

බ්ලොගයක් කියන්නේ, කෙනෙකුගේ දින සටහන් කියා මා හිතනවා. අප එකඟ නොවන කෙනෙකුගේ වුවත්, අදහස් ලිවීමෙන් ඔවුන් මේ ලෝකයේ ජිවත් වන බව අපට දැන ගන්න ලැබීම මෙහි තියන එක වැදගත් කරුණක්. මේවා ලියුවත් නැතත් අප ජිවත් වෙනවා. ඒ වගේම ලියුවත් කියවීම අප අතේමයි තියෙන්නේ. අද කාලෙකට පස්සේ නිලූක සටහනක් දමලා තිබුනා. එහි කියවෙන කවියේ තිබෙන අදහස වාගේ, දේශනා අපට අවශ්‍ය නැහැ. මේ සමාජයේ දේශනා ඕනෙවට වඩා තියනවා. අපේ තාත්ත, රේඩියෝවේ යන බණ, මහ හයියෙන් දමන කොට, මට ඒ කාලේ තරහයි. මට අවශ්‍ය දේවල් හා මා කළ යුත්තේ මොනවාද කියලා මා තේරුම් ගත්තේ ජිවත් වීම තුලින්. ඒ නිසාම අනෙක් අයත්, එසේ ඇති කියා මා උපකල්පනය කරනවා. 

මගේ කලින් සටහනට කකා හා නලින් දාපු ප්‍රතිචාර මාව පුදුමයට පත් කළා. මට එවැනි මතකයක් නැහැ. හැබැයි නැත්තෙත් නැහැ. තුන් වන වසරේ ඉගෙන ගන්න විට, බස් එකට ස්ටෑන්ඩ් එකේ රස්තියාදු වෙන අතරේ, වාමාංශික පත්තරයක් විකුනන්න, ඒ පත්තර කාරය කියපු කවියක් මට තාම මතකයි. අපට ඉතා වැදගත් සිද්දි අමතක වෙද්දී, එවැනි වැදගැම්මකට නැති සිද්දි මතක තියෙන්නේ ඇයිද කියන ප්‍රශ්නය මට සමහරවිට සිතට එන දෙයක්. ඔබට එවැනි මතකයන් තියනවාද?

අර කවිය

……මුණසිංහ අම්මප පුදුම සතා

රිංගුව ආණ්ඩුව ඇතුලට නොකර කතා

ඉතින් තව තවත් මේ ගැන නොකර කතා

හෑගල්ඔයෙන් එයි මේ වර සරත් පුතා!

 

11 Comments

Filed under Lifestyle