සැන්දෑ කළුවර ගලා හැලෙන විට…….!


පසුගිය දිනක, ප්‍රසිද්ධ සභාවක සිටිය අප කීප දෙනෙක් ගෙන් ඇහුව එක ප්‍රශ්නයක් තමා අප මොනවටද වඩාත් කැමති කියල. ඇමෙරිකාවේ ජිවත් වීම, ලොව පුරා සංචාරය කිරීම, තව දුරට ඉගෙන ගැනීම යනාදී වශයෙන් කට්ටිය තමන්ගේ අදහස් කීවා.  අවස්තාව ලැබුන විට මා කිවේ, මගේ කැමතිම දේ දවසේ වැඩ අවසන් කරලා ගෙදර යන එකයි කියල. කට්ටිය හිතුවේ මා විහිළු කරනවා කියල. ඔවුන් සිහින් හඬින් සිනා සුනා. හැබැයි මා පැහැදිලි කරන විට, සියලු දෙනාම මාව අනුමත කරමින් හිස් සැලුවා.

අපගේ ජිවිතයේ වඩාත් අමාරු දේ තමයි, අනික් මිනිසුන් හා සහයෝගයෙන් වැඩ කිරීම. මා කලින් ලියල තියන පරිදි රැකියාවේදී අමාරුම දේ තමයි, අනික් මිනිසුන් හා ගැහැණුන් සමග වැඩ කිරීම. අප බොහෝ දෙනෙකුට වෘත්තීය සුදුසුකම්, ඕනෙවටත් වඩා තියනවා. නමුත් නැත්තේ කණ්ඩායම් හැඟීම් හා  “compromise”  කරන්නේ කොහොමද කියන එක හා සහයෝගිතාවය කුමක්ද කියන එක.

ඉහත කියන ගුණාංග වඩාත් බලපාන්නේ කොතනටද? වට පිට බලන්න එපා. මොකද මා බලාපොරොත්තු වන්නේ සරල උත්තරයක්. එය වඩාත් බලපාන්නේ තමන්ගේ පවුල් දිවියට. ඔබ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්; එක්කෝ තමන් ඇත්තටම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන තිබීම නිසා, නැත්නම් වෙන විෂයකින් ආචාර්ය උපාධිය නිම කරලා තියෙන නිසා. හැබැයි, ජිවිතයේ, අනෙක් කෙනෙකු සමග ජිවත් වීමේදී ඔය ඉගෙනීම් කිසිවක් වැදගත් වන්නේ නැහැ, මනුෂ්‍යකම නැත්නම් අප අතර තියන වෙනස් කම් හා සමාන කම් මොනවාද කියා තේරුම් ගන්න අසමත් නම්.

මනුෂ්‍යයන් වශයෙන් අප අතර තියන මුලික සමාන කමක් ලෙස මා නම් දකින්නේ, අපගේ ලිංගය කුමක් වුවත්, ඒ කියන්නේ කකුල් දෙක පටන් ගැන්මේ තියන අවයවය කුමක් වුවත්, එය නොවේ අපගේ කල්පනාව මෙහෙය වන්නේ කියන එක. අපගේ හැකියාවන් හා දක්ෂ දේ වෙනස් වන්නේ ලිංගික වෙනස් කම් අනුවම නොවේ. ගැහැනියකට කරන්න හැකි දේවල් පිරිමියෙකුටත්, පිරිමියෙකුට කරන්න හැකි දේවල් ගෙන් සමහරක් ගැහැණියකටත් කරන්න බැහැ. ලොකු ප්‍රශ්නයක්ද? නැහැ, අප දෙගොල්ලන්ටම කරන්න පුළුවන් පොදු දේවල් එයට වඩා වැඩියි. ලිංගික ක්‍රියා වලදී වුවත් අප දෙගොල්ලන් කරන්නේ වෙනස් දේවල් වුවත්, අප ලබන ආශ්වාදය සමානයි. සාමාන්‍ය ජිවිතයේ කටයුතු වලිනුත් මේ වගේ. අප දෙගොල්ලන්ටම අරමුණකට එන්න පුළුවන්. ඒ සඳහා වැඩ කරන්න පුළුවන්.

එවැනි දෙයකට මුලික අවශ්‍යතාවය නම්, මනුෂ්‍යකම ආරම්භක සලකුණ ලෙස සැලකීමයි. එවැනි හැඟීමක්වත් බොහෝ දෙනාට නැහැ. හැබැයි අධ්‍යාපන සහතික නම් පෙට්ටගම් පුරවන්න තියනවා. මෙවැනි ඉගෙනිමකින් වැඩක් තියනවාද?

Advertisements

9 Comments

Filed under Lifestyle

9 responses to “සැන්දෑ කළුවර ගලා හැලෙන විට…….!

  1. Kenji @ Japan

    >>මගේ කැමතිම දේ දවසේ වැඩ අවසන් කරලා ගෙදර යන එකයි කියල.<<
    මෙයට තමයි මමත් කැමති.
    ඔබ අවසානයේ කියල තිබෙන දෙය නම් සහතික ඇත්ත.

    • කෙන්ජි, අපට අපෝහක භෞතිකවාදය විශ්වයේ සම්භවය ගැන කියවන්න පුළුවන්. තේරුනේ නැතත්, ඔව් හරි ගැඹුරු කතිකාවක් කියල කියනවා. හැබැයි සමාජයේ කුඩාම ඒකකය හා ඒකීය පුද්ගලයට වැඩියම බලපෑමක් කරන්න හා කර ගන්න පුළුවන් දෙය වන, පවුල කියන ඒකකයට ආපුවහම මේ කියන හා වාද කරන දේවල් නිකම් “එරුන්දා” නැත්නම් වල්පල් වෙනවා. ඔබ දන්නවද, සමහර දෙනා හවසට ගෙදර යන්නේ අකමැත්තෙන් , උදේට එලියට බහින්නේ කුරුල්ලන් වගේ. එහෙම තියෙත්දී අප සිරියාවට ගහන්න හදන එක හොඳ නැහැ කියල කියන එකේ කිසිම තේරුමක් තියනවද? මුලින්ම බලන්න ඕනේ, තමන්ට හදන්න, ඒ වගේම බලපෑම් කරන්න පුළුවන් දේවල් හදන්න. එහෙම හදන්න බැරි අවස්ථාවල ඒ බව පිලි අරන් අයින් වෙන්න. අවට පරිසරයේ තියන ප්‍රචණ්ඩත්වය කතා කරන්නේ කොහොමද සහකාරිය හෝ සහකරුවා සමග ගුටි කෙල ගන්නවා නම්. අප කිසි කෙනෙක් පරමාදර්ශී නැහැ. හැබැයි අහන්න ලැබෙන සමහර දේවල් හරි අප්‍රසන්නයි.

  2. ඇත්තටම අමෙරිකාවේ ජීවත් වෙන්න කැමතියි කියලා පිළිගන්න අය ඒ සභාවේ හිටියද? පුදුමයි. 🙂

    ඕක තමයි මගේ දොස්තර මිත්‍රයෙක් කිව්වේ එයාලගේ ප්‍රොෆෙසර් කෙනෙක් වෛද්‍ය විද්‍යාලයේ දේශනයකදි කියපු කතාවක්: “දොස්තරලා වෙන්න කලින්, මනුස්සයෝ වෙලා හිටපල්ලා බං.” මම නම් මේකෙ ලොකූ අර්ථයක් දකිනවා.

    • ඇයි මචං ඇමරිකාව අවුල්ද? තව ටිකක් ගැස්සිලා ගියා නම් මාත් නවතින්නේ එහෙ. 🙂
      ඒ කතාවේ අර්ථයක් තියෙන්නේ දොස්තරලට පමණක් නොවේ මචං!

      • අවුල් නෙවෙයි බං. මම ජීවත්වෙන්න ආසම රට. ඇයි මචං වෙනසකටත් එක්ක මොකාටවත් බය නැතුව ජීවත් වෙන එකම මදිද, ලෝකෙට ලොක්කගේ පුරවැසියෙක් නිසා. 😀 පලු යන්න බනින උනුත් චාන්ස් එකක් ලැබුනොත් නිකං ඉන්න එකක් නෑ මයෙ හිතේ.

  3. ඉතා සංකීර්ණ මනෝවිශ්ලේෂණයකට නේ ඔබ අපව රැගෙන ආවේ. සරළ දේ තුළින් ගැඹුර දකින ඔබේ මේ ශෛලියට මා කැමතියි.

    • මෙහෙම මුරුංග අත්තේ තියන කොමෙන්ටුවක්, ස්පෑම් වෙන්න දෙන්න පුලුවන්ද?
      මේ දිනවල ලියුවේ එකම කරුණක් ගැන නලින්.

  4. කමෙන්ට් ස්පෑම් වෙනවෝ

  5. රයිගම්…..ඔබේ ලිපියෙන් උපුටාගත් පද පේළී කිහිපයක් මම පහතින් උපුටා දක්වන්නම්. ඒ ටිකම ඇති මිනිසුන්ට නැවත හිතන්න පටන් ගන්න.

    //ඉහත කියන ගුණාංග වඩාත් බලපාන්නේ කොතනටද? වට පිට බලන්න එපා. මොකද මා බලාපොරොත්තු වන්නේ සරල උත්තරයක්. එය වඩාත් බලපාන්නේ තමන්ගේ පවුල් දිවියට. ඔබ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්; එක්කෝ තමන් ඇත්තටම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන තිබීම නිසා, නැත්නම් වෙන විෂයකින් ආචාර්ය උපාධිය නිම කරලා තියෙන නිසා. හැබැයි, ජිවිතයේ, අනෙක් කෙනෙකු සමග ජිවත් වීමේදී ඔය ඉගෙනීම් කිසිවක් වැදගත් වන්නේ නැහැ, මනුෂ්‍යකම නැත්නම් අප අතර තියන වෙනස් කම් හා සමාන කම් මොනවාද කියා තේරුම් ගන්න අසමත් නම්//.