අන්ඩර දෙමළ! eрунда!


images

ප්‍රේමයයි, වෛරයයි අතර කෙස් ගහක්ද මොකක්ද වෙනසක් විතරයි කියල සිංහල සින්දුවක් තියනවනේ. මේ වගේ සින්දු හොඳයි බොළඳ ප්‍රේමවන්තයන්ට හා වන්තියන්ට පොඩි කතා ලියන්ට. හැබැයි ඒ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ. ඇත්තක් නැත්තේම නැහැ, කියන එකම ගොන් කතාවක්. මොකද මෙය සරලව ලියන්න පුළුවන්. ඒ කතාව බොරුවක් නොවේ කියල. ලිවිම නැත්නම්, තමන්ගේ අදහස් ලියා තැබීම විවිධ හේතු නිසා අප කරනවා. හැබැයි එහෙම දේවල් අනුන්ට තේරෙන විදිහකට ලියන්න අසමත් නම්, ඒවා පළ කරන එකේ තේරුමක් නැහැ.

ලෝකේ අපට තෝරා ගන්න පුළුවන් දේවල් තියනවා. ජීවන විලාසිතාවේ එවැනි තේරීම් ගැනයි මා ලියන්නේ. වෙන අය මේවායින් ප්‍රයෝජනයක් ගනී කියන අදහසින්ම නොවේ. ලිවීමෙන් අතීතය දෙස නැවත බැලීමට මටම අවස්තාවක් උදා කරනවා. මා ලියන දේවල් වලින්, පළ කරන්නේ නැත්නම් ප්‍රකාශයට පත් කරන්නේ තෝරා ගන්නා කොටස්. අනික්වා අනාගතයට ඉතුරු කරනවා.

මා ලියන දේවල් නොදිරවන කට්ටිය මේවා කියවන්නේ නැහැ. ඒ වගේම තමා, මට නොදිරවන දේවල් මා කියවන්නේ නැහැ. අපේ ජිවන විලාසිතාවේ එක තේරීමක් එය.

අනුන්ගේ අත්දැකීම් වලින්, තමන් ලෝකය දිහා බලන්න උත්සහ කිරීම මට නම් ප්‍රිය ජනක දෙයක් නොවේ. ලෝකේ කවුරුහරි කියනවා නම්, රිපබ්ලිකන් දෘෂ්ටියක් පමණයි මේ ලෝකේ තියෙන්නේ, නැත්නම් රිපබ්ලිකන්කාරයන්ගේ කතාව අනුව පමණයි, මේ ලෝකේ සියල්ල වෙන්නේ කියල, මා තව දුරටත් ඒ කතා කියවන්න වෙහෙසෙන්නේ නැහැ.

රිපබ්ලිකන්වාදීන්ගේ “එරුන්දා” මා කියවන්න වෙහෙසෙන්නේ නැත්තේ, එය මගේ ජිවිත කතාවට පටහැනි නිසා. ජිවිත අත්දැකීමෙන්ම මා දන්නවා නම්, රජයේ ක්‍රියාකාරිත්වය මා අද ඉන්න තත්වයට මහත් බලපෑමක් කරලා තියනවා කියා, වෙන ගොයියෙක් එහෙම වෙන්නේ කොහොමද කියා අහන එක ගැන පස්සේ එලවන්න මා වෙහෙසෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් රුසියාවේ ස්ටාලින්ට දෙවියෙකුට වගේ සලකන පිරිස් නැහැ කියල, මා හිනා වෙලා නිකම් ඉන්නවා. මොකද ඇත්ත මා දන්නා නිසා. මෙය උදාහරණයක් පමණයි. ලෝකේ සියල්ල පොත් කියවීමෙන් පමණක් තේරුම් ගන්න බැහැ. 

හැබැයි, මා ලියන “එරුන්දා” වගේම, එයාලටත් එයාලගේ එරුන්දා ලිවීමට තියන අයිතිය ගැන නම් මා ප්‍රශ්න කරන්නේ නැහැ. විශේෂයෙන් බ්ලොගයක් නම්. දුම් පානය හෝ නොපානය, අරක්කු බිම හෝ නොබීම, මස් කෑම හෝ නොකෑම, කිරි බිම හෝ නොබීම, බ්ලොග් ලිවිම හෝ ලියන්නේ නැතිවීම, නමකින් කොමෙන්ටු දැමීම හෝ නොනමකින් දැමීම හෝ කොහෙත්ම නොදැමීම, යුඑන්පියට කතිරය ගැහීම හෝ ශ්‍රීලංකා එකට ගැහීම හෝ වෙන කෙනෙකුට ගැහීම හෝ ගෙදර ඉඳීම හෝ චන්දය ලිපට දැමීම වශයෙන් අප තේරීම් කරනවා වගේම, කියවීම හෝ නොකියවීම අපේ තේරීමක්. ඒ වගේම ලිවිම හෝ නොලියවිමත් අපේ තේරීමක්. මා හැමවිටම ප්‍රශ්න කරන්නේ අපේ කියවීම ගැන.

මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, මා දකින ඉතා යහපත් ගුණාංගයක්. මානවයා කියන්නේ හෝමෝ සාපියන් සාපියන්ස්ලා සියලුම දෙනා. මේ අතරත් ඉන්නවා විශේෂයෙන් අසාධාරණයට ලක්වුණ පිරිස්. ඔවුන් ගැන අප විශේෂයෙන් කතා කරනවා. මෙයින් එක කොට්ටාශයක් තමා කාන්තාවන්. ඒ ගැන මා කලින් ලියා තියනවා. කලින් දෙවියන් මෙන් අදහපු  කෙනෙක්, තමන් පිලි නොගන්නා “එක කරුණක්” ගැන අදහස් පළ කරපු පමණින්, ජරා කතා කීම (බැල්ලි, වේසි, හෙළුවැල්ල පෙන්නීම වැනි)  මගින් පෙන්නුම් කරන්නේ මේ සමාජයේ පිරී පවතින නියන්දතාල් මානසිකත්වයයි. මොවුන් උත්සහ කරන්නේ අනුන්ගේ ඇස් තුලින් ලෝකය දකින්නයි. එහි නිරර්ථකත්වය ඔවුන්ටම තේරුම් යන්නේ නැහැ. ඔවුන් පිලි නොගන්න “මේ එක කරුණ” කියන දේ පෙන්නුම් කරන්නේ එයයි.

මේ ටික පසුව එකතු කළ කොටසක්. මගේ සටහන කෙන්ජි කියල තියනවා වගේ ඒකීය පුද්ගලයෙකු විවේචනය කිරීම සඳහා ලියන ලක්දක් නොවේ. මෙහි කියවෙන කරුණ ඊයේ පෙරේදා ලියවුන දේවල් මතම රඳා පවතින්නේත් නැහැ.

පුද්ගලයෙකුගේ අදහස් හා එකඟ වීම නොවීම අප හැමගේම අයිතියක් වගේම, මිනිස් ස්වභාවයක්. අදහස්‌  කියන දේවල් මානව විරෝධී හා නීති විරෝධී නොවන තාක් කල්, ඒවා ප්‍රචාරයට තහංචි නැහැ. හැබැයි සමහර මානව විරෝධී යයි මා සලකන දේවල්, නීති විරෝධී නැහැ. ඒවා ප්‍රචාරයට තහනම් නැහැ. හැබැයි කියවන එක හෝ නිකම් ඉන්න එක මගේ තේරීමක්.

රිපබ්ලිකන්වාදී යයි මා අදහස් කරන මතවාදය, සළුපිලි අන්දවා ඉදිරිපත් කළත්, ස්වභාවයෙන්ම මානව විරෝධියි. මේවායේ සැබෑ මවු-පියන් ඉන්නවා. ඒ දේවල් වලට, තමන්ම ආගන්තුක වෙනත් පාර්ශවයකින් ඉගෙන ගන්න මට කොහොමටත් වුවමනාවක් නැහැ. අඩුම ගානේ යටත් විජිත සමයක ඉපදිලාවත් නැති, එහෙත් වහල් සේවය ඔය කියන තරම් නරක දෙයක් නොවේය කියන එරුන්දා මා කියවන්න වෙහෙසෙන්නේ නැහැ . මේ කතාව මට වෙනත් අයෙකු කියුවක් මිස, මා කියවුවේ වත් නැහැ. මොකද ඔය ලියන දේවල් මට අනුමාන කරන්න පුළුවන්.

එහෙව් එකේ, යමෙකු එක පාරටම කියනවා නම්, මෙන්න බලු කතා කියනවා කියල, මා අහන්නේ මෙපමණ කල් කොහෙද හිටියේ? එය එක කතාවක්.

අනික තමා යමෙකු විවේචනය කරන්න එයාගේ ලිංගිකත්වය අදාළ කර ගැනීම හා ගැරහීම.  අම්ම-තාත්ත විතරක් නොවේ, සියල ආච්චිලා, දරුවන්, බිරිඳ, සැමියා ආදී වශයෙන් සියල්ලම ගාවල එයාලගේ ජාතකය ගැන  කියනවා. හෙන්රි කියල තියෙන්නා වාගේ, මේ කිසි අදාලත්වයක් නැති දේවල්. මා ලියන මගේ අදහස් වලට, මා විවාහ වෙලා ඉන්නේ, රුස්සියෙක්ද, ඕස්ට්‍රේලියානු සුද්දීයෙක්ද නැත්නම් සිංහල ජාතියේ කෙනෙක්ද කියන එක අදාලද? මේ ගැන වෙනම  සටහනක් මා ලියුවා කලකට පෙර.

ඒ වගේම කාන්තාවන් විවේචනයේදී  යොදා ගන්නා ග්‍රාම්‍ය-ලිංගික-දෙපිට-කැපෙන කතන්දර වලින් පෙන්නුම් කරන්නේ මොකක්ද කියා මා ඉහතින් පැහැදිලි  කරලා තියනවා. විශේෂයෙන්  මානව අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටියා යයි තමන් විශ්වාස කරන කාන්තාවක්, සමරන අතරේ වෙනත් කාන්තාවකගේ ස්ත්‍රීත්වය ගැරහීම මා දකින්නේ “ඔක්ශිමෝරොනයක්” ලෙස. මගේ සටහනේ මුලිකම අදහස එයයි.

Image source: http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSd72mMs8RneX5uURJVO2x9_k-A_wnqZjn6Yhy7E4u6F973_PjbMg

Advertisements

21 Comments

Filed under Opinion

21 responses to “අන්ඩර දෙමළ! eрунда!

  1. එකඟයි, කියනවා හැර වෙන කුමක් කියන්නද..

  2. Kenji @ Japan

    මටම ලියපු දෙයක් දැයි නො දනිමි.
    මම නම් කොහොමත් බලු කතා කියන අයවලුන්ට,
    බල්ලා,බැල්ලී කීමට පසු බට නොවෙමි.

    • කෙන්ජි……..හැම විටකම පෞද්ගලිකව, තමාව එල්ලකර, සිදුවුනා යැයි හිතන්න එපා. අදහසක් විතරක් හැටියට හිතපන්..

      • Kenji @ Japan

        එහෙමද මචං..?
        පැහැදිලි කිරීම ගැන බොක්කෙන් ම අරිගතෝ…!

      • කෙන්ජි, මෙය ඔබට විතරක් හෝ වෙනත් “ඒකීය පුද්ගලයෙක්” පමණක් සිතේ තියා ගෙන ලියුවක් නොවේ. එයට මූලික පසුබිම සැපයුවේ පසුගිය දිනවල කියවූ දේවල් වුනත්, කාලාන්තරයක් තිස්සේ මගේ නිරීක්ෂණයන් මෙයට පාදක වුනා. මේ නියන්දතාල් සිතුවිලි වලට භාෂා, ජනවර්ග හා දේශ සීමා නැහැ.

        අපගේ කලින් අගමැතිනියට බැල්ලි කියුවේ, දියුණු යයි සැලකෙන පරිසරයක් තුල. ගැහැනියක් විවේචනය කිරීමේදී, ලිංගික අඩත්තේට්ටම් (ශාරීරික නොවේ) ඇතුලත් කිරීම, ස්ත්‍රිත්වයට ගැරහීම ඉතා බහුලව සිදුවන දෙයක්. මෙය දේශපාලකයන් විතරක් නොවේ “අවිහිංසක කොමෙන්ටු” දමන සාමාන්‍ය මිනිසුන් පවා කරනවා.එයම එය සාරුවා ල වගේ අර්ධ තිරිසනුන් තව තලයකට අරන් යන්නේ. එයටත් සාමාන්‍ය මිනිසුන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. මංගල සමරවීර, එස් බී වගේ අයත් මෙය වාචිකව කරපු කට්ටිය.

        ගැහැනියකට බැල්ලි, වේසි හා හෙළුවැලි කතන්දර කීම තුලින් ලිංගිකත්වය උලුප්පා ලීම විතරක් නොවේ, එමගින් ගැහැණු කමත් පහත්කිරිමකට ලක් කරන්නයි එසේ කියන්නේ. මා අකමැති හා සමහර විට තරහත් යන දේවල් ලියන ගැහැණු විතරක් නොවේ පිරිමිත් ඉන්නවා. ඒ මා කියවන පිරිස් අතරේ. හැබැයි එයටත් වඩා මා අකමැති පිරිස් ලියන දේවල් කියවන්නේ වත් නැහැ. හැබැයි එහෙම කෙනෙකුට වුවත්, ජරා කතන්දර කියන විට සතුටක් වෙනුවට ජුගුප්සාවක් විතරයි දැනෙන්නේ. එයට ලිංගික අඩත්තේට්ටම් එකතු වුන විට ජුගුප්සාව දෙගුණ වෙනවා. ඔබට පිළිතුරක් ලෙස ලියුවත්, මෙහි කියන්නේ ඔබ ගැන නොවේ.

  3. පසුගිය දොහේ බ්ලොග් අතර ගිය ලිපි කීපයකටම හා ඒ ඇසුරින් පැණ නැගුණු අදහස්ගොන්නට කදිම පිළිතුරක් රයිගම් දීලා තියනවා.
    ඔය කියන පෝස්ටුවකට මා දැමූ කමෙන්ටුව ගැන තාමත් මට සතුටුවිය හැකියි කියාද සිතෙනවා.
    මේ තමා ඔබේ වියත් බව හා පරිණත කම.

    • එහෙම ලොකු දෙයක් නම් නැහැ නලින්. මා පවා වෙනස් වෙන්නයි උත්සහ කරන්නේ.

  4. මේ ගැන වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනවා රයිගම්..

  5. රයිගම්……..ඔබගේ අදහස් සමග එකඟයි සහතිකෙන්ම.

    එරුන්දා යනු ඔබේ ලිපියේ ටයිටල් එක යයි සිතමි. මේ ගැන මෙලෝ දෙයක් නොදනිමි.

    • එරුන්දා කියන්නේ මචං, ප්‍රලාප නැත්නම් අන්ඩර දෙමළ (bullshit/nonsense) වලට රුසියන් වචනයක්.

  6. මම කැමති නෑ දේශපාලන කරුණු සහ වෙනත් මතවාද ගැන සංවාද කෙරෙන ආකාරයට. බොහෝ සංවාද අවසන් වෙන්නේ සිත් රිදීමෙන් හා කලකිරීමෙන්. උඹ දැකලා ඇති, මහත්මා විදියට වාදය යන්නේ ටික දුරයි. ඊට පස්සෙ කෙලින්ම අසභ්‍ය වචන, චරිත ඝාතන, මියගිය අම්මා තාත්තාට පවා කුණුහරප අහගැනීමට සිදුවීම, බිරිඳට දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඇතුළු පවුලේ අයට පවා නින්දා කිරීම තමයි වෙන්නේ. කෙලින්ම තුන්වෙනි කැලෑසියටත් පහලට බහිනවා.

    ඉතින්,මොකටද අර?

    • මේ මම ගහපු දිග කමෙන්ට් එකේ කෑල්ලයි. අමතක වීමෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එක තියෙද්දි පි‍ටුව රීලෝඩ් කලා. ඔක්කොම ගියා. මේ අන්තිමට තිබ්බ ඡේදය. නමුත් මේකෙත් තියෙනවා මට කියන්න අවශ්‍ය දේ.

      • මටත් ඔහොම දේවල් වෙනවා. එතකොට සමහර විට මොකුත්ම ලියන්නේ නැතිව අල්ලලා දානවා.
        මාත් මේ බ්ලොගය පටන් ගන්න පෙර නම්, ඔවැනි දේවල් වලට හොට දැම්ම. නමුත් දැන් නැහැ. උඹ කියන කරුණු හින්දමයි. අපත් නොදන්නා අපේ පරම්පරාවේ තොරතුරු අහගන්න නම් ඕවට පැටලුනාට කමක් නැහැ. අද වෙන කොට කුණුහරුප පමණයි. තුන්වෙනි කැළෑසියේ නොවේ, නිකම්ම කැලෑවේ කතා.

  7. මාත් රයි ගේ කතාවට ඉහලින්ම එකඟයි. අපි අකමැති දෙයක් ලීවට, කතා කලාට ඒ අයට අපහාස කරන එක මා අගය කරන්නෙත් නෑ.
    සමහරවිට අපි අපේ පරාසයන් වල හිතන ක්‍රියා කරන විදිහ තව දුරටත් බ්ලොග් සමාජයට නොගැලපෙනවා කියලා මට හිතෙන්නෙත් මේ වගේ දේවල් දැක්කමයි. ඒත් අපි වගේ හිතන තවත් අයත් ඉන්නවා කියලා දැන ගන්න එකම හිතට සතුටක්.

    • රංගි, අද වෙනකොට සංවාද නොවේ කුණුහරුපවාද විතරයි. හෙන්රි කියල තියනව වගේ පටන් ගැන්මත් හොඳ නැහැ. පටන් ගන්නෙම කුණුහරුප වලින්. හැබැයි කියන්නේ යහපත් සමාජ ගැන. මේවා බ්ලොග් ලියා හදන්න බැහැ රංගි. එයට විශාල සමාජමය පරිශ්‍රමයක් අවශ්‍යයි.

  8. මගේ ජීවිතේ මට ලැබිලා තියෙන හොඳම අවවාද කීපයක් තියෙනවා.

    1. ‘දේශපාලනය ගැනයි, ආගම ගැනයි කවදාවත් වාදවලට පැටලෙන්ට එපා.’… “අප්පච්චි”.

    2.’අනුන්ට මඩ ගහනකොට ඉස්සල්ලා ගෑවෙන්නේ තමන්ගේ අතේබව මතක තියාගන්ට’…”අත්තම්මා”

    3.’කොල්ලෝ මේවා ගැන වාද කරද්දි පලාතේ ඉන්නේ නැතුව දුවන්ට.’…”අම්මා”.

    මම ගොඩක් වෙලාවට පිලිපදින්නේ ඔය තුන්වෙනි එක. 😀

    • 1. දේශපාලනය නොගෑවුන කිසි දෙයක් ලෝකේ නැහැ කියලයි මා විශ්වාස කරන්නේ. ගොඩක් වෙලාවට ආගමත්, දේශපාලනයේ ගෑවිලා තියනවා. මේ දෙක ගැන කතා නොකරනවා කියන්නේ, මොනම දෙයක් ගැනවත් වාදයක් නැහැ කියන එකයි. අප්පච්චි කියන්නේ කතාවට කොහොමවත් යන්න එපා කියල.

      2. තමන් ගා ගන්නේ නැතිව මොනම දෙයක් වත් කරන්න බැහැ. එක වරක් මට මුණ ගැහුනා, බංගලාදේශ් කාරයෙක්. පොර මගෙන් යමක් ඉගෙන ගන්න උත්සහ කළේ, කරලා නොවේ. බලාගෙන ඉඳල. මා බැනල පැන්නුවා. අත්තම්ම කියන්නේ ඒ වගේ වැඩක්.

      3. කොල්ලෝ විතරක් නොවේ, කෙල්ලනුත් වාද කරත්දී පැනල දුවන එක නම්, තමන්ගේ ඇඟට හොඳයි. කුසීත ජිවන විලාසිතා මගින් නොයෙක් ප්‍රශ්න ඇති කරනවා. අම්මගේ කතාවට මාත් එකඟයි. 😀

  9. මේ පහුගිය සතියෙ වෙච්ච කලබැගෑනියෙන් මම එක දෙයක් ඉගෙන ගත්ත. අලුතින් ඉගෙන ගත්තයි කිව්වට වඩා හොඳයි මම දැනගෙන හිටි සත්‍යයක් ආයෙම ඔප්පු උනයි කිව්වොත්. ඒ තමයි බොහොම ඇසූ පිරූ තැන් ඇති මිනිස්සුත් තමන් අදහන මතයට විරුද්ධ අදහසක් ප්‍රකාශයට පත් කල සැනින් කුපිත වෙන ආකාරය.

    තමන් කියන / අදහන දේ පමණයි පරම සත්‍යය කියල හිතාගෙන හිටපු අය තමයි ස්ටාලින්, මා ඕ සේතුං ඒ වගෙම පොල් පොට්…දන්නවනෙ අන්තිමට ඒ ගොල්ල ලෝකෙට ඉතුරු කරල ගියේ මොනවද කියල…

    තමන්ට විරුද්ධ වෙන්ට තියන හේතු සාධක පැහැදිලිව ඉදිරිපත් කරල සුහද සංවාදයකට එළඹෙනව වෙනුවට ඇයි මේ වාචික ත්‍රස්තවාදය පාවිච්චි කරන්නෙ කියන එක මටත් තේරුම් ගන්න අමාරුයි.

    යකෝ මේක මාර වැඩක්නෙ..යන්තං හරහට වචනයක් කියාපු ගමං පරල වෙන්නෙ අර අයිලෙ පදින යකැදුරා වගේ නෙව 😀

    අනික පුද්ගලයෙක් මිය ගියාම ඔහුගේ / ඇගේ අගුණ කියන එක වැරදියි කියන කතාවත් මට කිසිම විදිහකින් එකඟ වෙන්න පුළුවන් කතාවක් නෙවෙයි. කවුරුහරි වරදක් කලානම් ඒ ගැන කතාකරන්න ඕන මලා හරි නැතුවා හරි.

    • ඕව සියල්ල එක අතකින් බොරු කතා රවී. මම විශ්වාස කරන දෙයකට එරෙහිව යමක් කියන කොට, මාත් ස්තුතියි කියා නවතින්නේ නම් නැහැ. එහෙනම් මේ බ්ලොගය කරන එකේ තේරුමක් නැහැනේ. 😀

      එය පැත්තකට දැම්මොත්, ඔබ කියන දෙය සමග නම් මා එක සීයට දෙසියයක් එකඟයි. ඔය ප්‍රජාතන්ත්‍ර වාදය බලාපොරොත්තු වන, බොහෝ දෙනා මාතලන් කියනවා වගේ, ප්‍රජාතන්ත්‍ර වාදය ක්‍රියාවට නං වන්නේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වගේ. තමන්ගේ අඩුපාඩු කියුවොත් කපනවා. අනුන්ට කුණුහරුපෙන් බනින දේවල් පවා තියෙන්න අරිනවා. මා ඒකයි කිසි තැනක කොමෙන්ටු නොදමන්නේ. ඔබල ඇවිත් මෙහි යමක් ලියන කොට, මා වරදකාරී හැඟීමකින් පෙලෙනවා.

      මියගිය කෙනෙක් ගැන තමන් හිතන දේ කියන එක වරදක් නොවේ. හැබැයි කිරි බත් කන එකෙයි, වරදක් කියන එකෙයි වෙනසක් තියනවා. අනික කෙනෙක් මැරුණ ගමන්, කොතරම් ජරා යකෙක් වුනත්, පුදපු ගමන් කාපී යකා, කියා විවේචනය ශිෂ්ටසම්පන්න ලෝකය වර්ණනාත්මකව සලකන දෙයක් නොවේ. එයට හේතු මා පැහැදිලි කරන්නේ නැහැ. හේතු ගොඩක් තියනවා. මා එයට අනුකුලත්වය දක්වනවා.

      අප සියල්ලන්ම ලෝකය දකින ආකාර තියනවා. එවැනි දැක්මක් නැති අපතයෙක් වීමට වඩා, මා එකඟ නොවන දැක්මක් තිබීම එක අතකින් හොඳ දෙයක් කියලයි මා සිතන්නේ.

      සුහද සංවාදයකට මුලික පදනම එයයි. සිංහල විතරක් නොවේ ඉංගිරිසි ලියන අපේ කට්ටිය සංවාද කරන ටෙලිග්‍රාප් වලත් එකම කතන්දරේ තියෙන්නේ. මේවා කියවන එක මා එන්න එන්නම අඩු කරනවා.

      වාචික ත්‍රස්තවාදය විතරක් නොවේ, වාචික ලිංගික අඩත්තේට්ටම් කරන්නේ, ඒවා ශාරීරික වශයෙන් කරන්න අවස්තාවක් ලදොත් කරන අයමයි. වෙනසකට තියෙන්නේ, මේ අයට එවැනි අවස්තාවක් නැති එක විතරයි. මෙහි ඇත්ත උතුරේ හා දකුණේ අප අත් වින්දා . එවැනි හරකුන්ට මිනිසුන් විසින් පවරන බලය නිසා, ඒ තත්වය ලංකාවේ මිනිසුන් අදත් අත් විඳිනවා. මේ කට්ටිය ඉන්නේ අප අතරමයි. මේ කොමෙන්ටු දාන බ්ලොග් ලියන අය. එය සරල සත්‍යයක් වුවත්, විසඳුම එතරම් සරල නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s