දින සටහන්! The reason is clear!


අද, මං කාලෙකට පස්සේ තණකොළ කැපුවා. තාම උෂ්ණත්වය යන්තම් ඉහල යන්න ගත්තා විතරයි. ඔබ දන්නවා ඇතිනේ තණකොළ කැපෙන විට දැනෙන සුවඳ. මේ ලියන්නේ රෑ වෙලා. හෙට අපට වෙලාවට නිවාඩු. මා ලියන්නේ මොකද කියන එක හැම වෙලාවෙම මගේ සිතට එන දෙයක්. මේවා කියවන්න මහා පිරිසක් නැහැ. ඒ වගේම මට ලෝකය වෙනස් කරන  බලාපොරොත්තුවකුත් නැහැ. ඒත් ලියනවා. දැන් මෙය ඇබ්බැහි වීමක් වගේ. මා ඇබ්බැහි වීම් වලට අකමැතියි.

මේ ලියන දේවල් වලින් මටම නැවත හිතන්න අවස්තාව සලසනවා. අප කවුරුත් පරිපූර්ණ මනුෂ්‍යයන් නොවේ. අප ඉගෙන ගන්නේ අත්දැකීම් තුලින්. සමහරුන් එහෙමත් ඉගෙන ගන්නේ  නැහැ. මගේ සහකාරිය කියන්නේ, මා ඇයට හමුවූ වාට වඩා, අද වෙනස් මනුෂ්‍යයෙකු කියා. ඇය මට ජිවිතයේ හමු වුන, හොඳම මනුෂ්‍යයෙක්. මෙය ලියන එක කෙසේ වුවත්, පළ කරන එක ගැන හැමදාම මට සාංකා තියනවා. එකක් තමා මෙය ඉතා කුඩා පිරිසක් කියවන, එකක් වීම. අනික තමා මගේ අරමුණු, අනුව මෙය පළ කරන එක අත්‍යවශ්‍ය නොවීම. අර දවසක් රවීගේ ප්‍රතිචාරය මේ ගැන මට යලිත් හිතන්න අවස්තාව දුන්න.

බ්ලොගයක් කියන්නේ, කෙනෙකුගේ දින සටහන් කියා මා හිතනවා. අප එකඟ නොවන කෙනෙකුගේ වුවත්, අදහස් ලිවීමෙන් ඔවුන් මේ ලෝකයේ ජිවත් වන බව අපට දැන ගන්න ලැබීම මෙහි තියන එක වැදගත් කරුණක්. මේවා ලියුවත් නැතත් අප ජිවත් වෙනවා. ඒ වගේම ලියුවත් කියවීම අප අතේමයි තියෙන්නේ. අද කාලෙකට පස්සේ නිලූක සටහනක් දමලා තිබුනා. එහි කියවෙන කවියේ තිබෙන අදහස වාගේ, දේශනා අපට අවශ්‍ය නැහැ. මේ සමාජයේ දේශනා ඕනෙවට වඩා තියනවා. අපේ තාත්ත, රේඩියෝවේ යන බණ, මහ හයියෙන් දමන කොට, මට ඒ කාලේ තරහයි. මට අවශ්‍ය දේවල් හා මා කළ යුත්තේ මොනවාද කියලා මා තේරුම් ගත්තේ ජිවත් වීම තුලින්. ඒ නිසාම අනෙක් අයත්, එසේ ඇති කියා මා උපකල්පනය කරනවා. 

මගේ කලින් සටහනට කකා හා නලින් දාපු ප්‍රතිචාර මාව පුදුමයට පත් කළා. මට එවැනි මතකයක් නැහැ. හැබැයි නැත්තෙත් නැහැ. තුන් වන වසරේ ඉගෙන ගන්න විට, බස් එකට ස්ටෑන්ඩ් එකේ රස්තියාදු වෙන අතරේ, වාමාංශික පත්තරයක් විකුනන්න, ඒ පත්තර කාරය කියපු කවියක් මට තාම මතකයි. අපට ඉතා වැදගත් සිද්දි අමතක වෙද්දී, එවැනි වැදගැම්මකට නැති සිද්දි මතක තියෙන්නේ ඇයිද කියන ප්‍රශ්නය මට සමහරවිට සිතට එන දෙයක්. ඔබට එවැනි මතකයන් තියනවාද?

අර කවිය

……මුණසිංහ අම්මප පුදුම සතා

රිංගුව ආණ්ඩුව ඇතුලට නොකර කතා

ඉතින් තව තවත් මේ ගැන නොකර කතා

හෑගල්ඔයෙන් එයි මේ වර සරත් පුතා!

 

11 Comments

Filed under Lifestyle

11 responses to “දින සටහන්! The reason is clear!

  1. Kenji @ Japan

    >>මගේ සහකාරිය කියන්නේ, මා ඇයට හමුවූ වාට වඩා, අද වෙනස් මනුෂ්‍යයෙකු කියා.<<
    ඔය ටික මට නිතරම ඇසුන දුව ඉපදෙන්න ඉන්න කල් රයිගම.

  2. ඇයි ඉන් පස්සේ මොකද වුනේ කෙන්ජි?

  3. මතකයන් කියද්දී මතක් උනේ රයිගම්… එක එක පඩත්තර කතා වල සිට හිත නොසන්සුන් කරන කතාත් තියෙනවා මතකයේ…මන් හිතන්නේ අපි හැමෝම ලියන්නේ ඒවා තමයි බ්ලොග් වල..

    මම ” ඔබේත් මගේත් අද්දැකීම් ” කියලා මේ බ්ලොග් එක හැදුවෙත් මගේ අද්දැකීම් ටිකක් ලියන්න තමයි.. ඒත් මම තීරෙනය කරා ඒවා ලියන්නේ නැහැ කියලා …

    වෙනත් විදිහකට කිව්වොත් : මඤඤෝක්කා ගලවන්න ආවට මඤඤෝක්කා ගැලෙව්වේ නැහැ.. ආව එකේ ඉතින් වත්තේ හතර මායිම් වත් හොයනවා…ඉඳලා හිටලා බඩගින්නට අලයක් ගලවන අවස්ථාත් නැතුව නෙවේ..

    ( මයියොක්ක කියල ලියන්න බැහැ යුනිකෝඩ් වලින් )

  4. The reason is clear ආවේ කාපෙන්ටර්ස්ලගේ සින්දුවෙන් නේද? මම ඒත් බැලුවා. මමත් ඉතාම ප්‍රිය කරන සංගීත කණ්ඩායමක ඉතාම ප්‍රිය කරන ගීතයක්. අර උඹ ඇයි සමහර දේවල් මතක තියෙන්නේ කියලා පුදුම වුනා වගේ, කවදාවත් අමතක නොවෙන්න හිතට කාවැදිච්ච විතරක් නෙවෙයි, නිතර මතුවන අත පොව්වන මානයේ තියෙන ඔය වගේ ගීත තියෙනවා.

    අපි දෙයක් ලියනකොට ඒ මාතෘකාව ගැන ගැඹුරින් හිතන්න පටන් ගන්නවා. කලින් නොදැකපු පැති දකිනවා. තර්ක ගොඩ නගනවා. ඒ තර්ක වලට ප්‍රති තර්ක අපිම හොයාගන්නවා. කොටින්ම විශ්ලේෂණයක් වෙනවා. ඉතිං කවුරුව්qඅත් නොකිව්වත් ඒකම මදිද?

    තණකොල සුවඳට මමත් හරි ආසයි බං. නමුත් මම වෘෂභ ලග්නෙත් නෙවෙයි. සිංහ ලග්නේ. ඇයි කොළ අතුගාන එක? උඹලට තවම හැකියාව තියෙනවද මචං කොළ අතුගාලා ගිණි තියන්න? මරු සුවඳ නේද? එහෙම කලොත් අසල්වැසියෝ 911 හරි 119 හරි අමතනවද?

  5. පුතා කැකිරි කියල ලියා ගන්න. අල නොවුනත් ප්‍රශ්නයක් නැහැ.

  6. හෙන්රි, නිදා ගන්න පෙර මෙයත් ලියන්නම්. මේ ගීතය මා එදා මෙදා තුර ප්‍රිය කරන ගීත අතලොස්සෙන් එකක්. මේ දිගට සටහන් වල දාන්නේ, මා නිතර සවන් දෙන එවැනි ගීතයන්.

    ලිවිම කියන දෙය උඹ කියනවා වගේම, අපට නැවත හිතන්න අවස්තාව උදා කරන කාර්යයක්.

    තණ කොළ ගැන මා කලිනුත් ලියල ඇති. පරම්පරාවේ ලක්ෂණ. මා නම් පුදුම කැමැතියි. ශීත සෘතුව පටන් ගන්න කොට වියළී ගිය ගස් වල කොළ බිමට වැටුනේ, පසුගිය දා හමා ගිය දැඩි සුළඟින්. අපේ ගෙදර ඉදිරිපිට පාරේ, ගස් වල තිබුන කොල සුළඟට ගසාගෙන ඇවිත් එකතු වෙලා තිබුනා. මේ කොළ අතු ගාල , මල්ලකට එකතු කරන ගමන් මා සිතුවේ, කුඩා කාලයේ කොළ අතු එකතු කරලා ගිනි තිබ්බ හැටිත්, ඒ දුමාරය දෙස බලා සිටි හැටිත්, ඒ තුලින් නැගුන සුවඳට ප්‍රිය කළ හැටිත්. දයිවයේ සරදම් කියන්නේ මේ වගේ දේවල්. උඹ අද එයම කොමෙන්ටුවකින් ලියා තියනවා. අපට කොළ ගිනි තියන්න බැහැ. 911 නොවේ 000 කෝල් කරන්න පුළුවන් අසල්වාසීන් විසින්. 🙂

  7. kathandarakaraya

    මා මතුගම බස් පොලේ දී ඇසු කවියකින් කොටසක් මතකයි.

    පාරලිමේන්තුව මහ හොර ගුහාවකී
    මන්තිරිවරුනි එය කවුරුත් හෙලා දකී

  8. ඔබට අමතක මොනවාද? 😀

  9. රයිගම්…..මම ඉස්සර ආසම වැඩක් තමයි වේලිච්ච කොස් කොලවලට ගිනි තියන එක. පට පට ගාලා පිපිරි පිපිරි ගිනිගන්නේ. පුදුම සුවඳක්. පස්සේ පස්සේ මගේ ගිනිගොඩට මල්ලිලා නංගිලා ප්ලාස්ටික් බෑග්, යෝගට් කෝප්ප වගේ දේවල් ගෙනත් දානවා. ඒවා පනුවෝ වගේ ඇඹරි ඇඹරි පිච්චෙනවා. මල්ලිලා නංගිලා උඩ පනිනවා. මම කැමති සුවඳ, මම කැමති සද්දය ගිනිගොඩින් නැතිවෙලා ගියා. ඒ ගොල්ලන්ට විනෝද වෙන්න ඉඩ හැරලා මම කාලයත් එක්ක හෙමින් හෙමින් ගිනිගොඩින් ඈත්වුනා.

  10. ඔය දෙකම (කොස් කොළ සමග ප්ලාස්ටික්) මාත් පුච්චලා තියනවා මචං. මාත් ගිනි ගොඩින් අයින් උනා. එය ගැන මට කනගාටුවක් නැහැ. ආයිත් ගිනි ගොඩ ගාවට ගියාට, පෙර ලෙස හුරු පුරුදු බවක්, වෙනුවට ආගන්තුක බවක් විතරයි දැනෙන්නේ. දැන් ඉස්සරට වඩා රස්නෙත් වැඩියි වගේ.

  11. මචං……මෙන්න අරූ ගෙන් තරු…………