කලින් සටහනේ හෙන්රි පළ කළ එක අදහසකට තුන් දෙනෙකු තුන් ආකාරයකට වෙනස් මතයක් කියුවා. එහෙම තමා වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපට බැලූ බැල්මට පෙනෙන දෙයයි, ඇත්තටම වෙන දේයි අතරේ විශාල වෙනස් කම් තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට අපට කරුණු දැන ගන්න, ඔය ගණන් හිලවු අවශ්‍ය වෙනවා. අරූ දමල තිබුනේ අන්න ඒ වගේ ගණන් හිලවු ටිකක්. මේකම කකා, තමන් නිරීක්ෂණය කරන දෙය ඇසුරින් කියුවා.
ඔය අරාබි කාරයන් මෙහෙ වැහි වැහැල. නැත්නම් චීන්නුන් වැහි වැහැල කියල අප සමහර වෙලාවට කියනවා. නමුත් ජනගහනයේ මොවුන් ඉන්න ප්‍රතිශතය අරන් බැලුවොත් ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම චීන්නුන් හා ඉන්දියානුවන් කියන්නේ ලෝක ජනගහනයෙන් 40% කට ආසන්න ගණනක්. ඉතිං මොවුන් හැම තැනම ඉන්න එකේ එතරම් පුදුමයක් නැහැ. අපත් (ලංකාවේ කට්ටියත්) ඔය හැම තැනම ඉන්නේ.
අපට යමක් විශ්ලේෂණය කරන්න හැකි කම තමා ඉගෙන ගැනීමේ එක අංගයක් වන්නේ. මා නිතරම ලියන අනික් විදිහ සිංහලෙන් කියනවා නම් rote learning යන්නයි. මේ විදිහට කට පාඩම් කරලා, නැවත නැවත කියවලා මතක තබාගෙන ඉගෙන ගන්න අවශ්‍ය දේවල් නැතුවා නොවේ. හැබැයි අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන්ම rote learning සංකල්ප මත රඳා තියනවා නම්, අර කලින් කියුව විදිහට විශ්ලේෂණය කරන්න, වටහා ගන්න හෝ හේතුව සොයන්න පුළුවන් විදිහට මනස හැඩ ගැසෙන්නේ නැහැ. ඡේද බලාගෙන උත්තර ලියන්න පුළුවන් වුනත්, නිරවුල්ව ඡේදයක් ලියා ගන්න හැකියාවක් ලබා ගන්න එවිට බැරි වෙනවා.
ඊයේ පෙරේද දකුණු ආසියාවේ විතරක් නොවේ, ලෝකේ දෙවෙනියට විශාල ජනගහනයක් ඉන්න ඉන්දියාවේ තෘතීය අධ්‍යාපන ලාභීන් ගැන කෙරුණ ප්‍රථම විගණනයේ සොයා ගැනීම් හෙළි කෙරුනා. එක දෙයක් තමා අවුරුදු පතා පිට කෙරෙන පනස් ලක්ෂයක් පමණ වන මේ උපාධි ධාරින්ගෙන් අඩක් (50%) කිසිම රැකියාවකට සුදුසු නැහැයි කියන එක.
එයට හේතු දෙකක් එම වාර්තාව කියනවා. එකක් තමා ඉංගිරිසි නොදැනීම (මගේ ඇඟට ගොඩ වන්න එපා). අනෙක තමා cognitive කුසලතා නොමැති වීම. ඉන්දියාව කියන්නේ දියුණු වෙමින් පවතිනවා යයි කියන ලෝකයේ, සීග්‍රයෙන් දියුණු වනවායි ගැනෙන රටක්. අද ඉන්දීය වෙළඳ ඇමති වරයා කියුවෙත් අපේ තෘතිය අධ්‍යාපන ලාභින්ගේ හැකියාවන් ගැන ප්‍රශ්න තියනවා කියලයි.
මෙතැනදී මා පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ලක්ෂ පනහක පිරිසක් අවුරුදු පතා උසස් අධ්‍යාපනය ලබනවා කියන එක. ඒ කියන්නේ අවුරුදු හතරක් තුල බිහිවන මේ පිරිස ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ මුළු ජනගහනයට සමානයි. මේ ලක්ෂ පනහෙන් 1% ක් විදේශ රටවලට ගියොත් එය වසරකට 50,000 ක පිරිසක්. ලංකාව වැනි රටක වසරකට කොතරම් පිරිසක් තෘතිය අධ්‍යාපනය ලබල පිට වෙනවාද?
තම දරුවා ලංකාවේ හෝ ඉන්දියාවේ පාසලක ටික කලක් ඉගෙන ගෙන, මෙහෙ පාසලකට දාල ටික දවසක් යන කොට දෙමාපියන්ගේ දුක් ගැනවිල්ලක් තමා, උගන්වනවා අඩුය කියන එක. එය පුරවන්න මොකද කරන්නේ පන්ති යවනවා. මේ අමතර පන්ති වැඩිපුර වලදී භාවිතා වන්නේ rote learning concepts. එවිට දෙමාපියනට හරි සන්තෝෂයි.
මා පසුගිය දා කියවපු ඉන්දියානු ප්‍රවුර්ති අඩවියක තිබුන කොමෙන්ටුවක් තමා මේ තියෙන්නේ “This is true, even in my case, as long as I was in school till the 12th Grade,I was blinded by the notion that only memorization of the subjects will make me pass the exams, and our teachers never bothered to clarify that even factual knowledge is good enough for passing exams. And that thing is still going on which is very sad and disastrous.” මේ ඇත්ත කියල කියන්නේ අර cognitive skills නැතිය කියන එක ගැනයි.
මේ කටපාඩම් අධ්‍යාපනයට විරුද්ධ ක්‍රමයක් වන්නේ constructive learning කියල සිංහලෙන් හැඳින්වෙන දෙයයි. එහිදී දැනටම දන්නා යමක් පදනම් කරගෙන ඊළඟ දැනුම ලබා ගන්න උගන්වනවා. ඕස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ ඉගැන්වීම් සඳහා මේ ක්‍රමය යොදා ගැනෙනවා. (මතු සම්බන්දයි).