ගොවියාගේ හිත මිතුරා! (1)


Vernonia_cinerea_(Ash_Fleabane)_in_Talakona_forest,_AP_W_IMG_8552

තණ කොළ නැත්නම් ඉඳලත් හමාරයි. බත්, පාන් හා පිට්ටු විතරක් නොවේ, “මස් හොද්දේ” කන්න වෙන්නේ කරවිල ටික විතරයි. අප මරාගෙන කන හරක් ගේ ප්‍රධාන ආහාරය විතරක් නොවේ, අපගේ අනෙක් ආහාර වලින් බහුතර කොටස හදන්නේ තණ වලින්.

ඒ අනුව, තණ  කොළ කියන්නේ හැම අතින්ම ඇතුවත් බැරි, නැතුවත් බැරි දෙයක්. මිදුල් වල වවා ගන්නත්, පැදුරු හදා ගෙන යෝගා කරන්නත්, ගෙවල් හදා ගන්න හා සෙවිලි කරන්නත්,  හරකුන්ට හා මී හරකුන්ට කන්න දෙන්නත්, හිටවල ඇට අරන් විවිධ ආහාර හදන්නත් මේ ශාක අපට උපකාර කරනවා. ඒ වගේම ලෝකයේ තියන විවිධ පරිසර තත්ත්ව වලට වඩාත්ම අනුවර්තනය වුන  ශාක කොට්ටාශයක් තමා තණ නැත්නම්, තෘණ කියන්නේ.

මේ අනුවර්තනය නිසා, මේවා විනාශ කරන්නත් අපහසුයි. වෙන ශාක වලට වැඩෙන්නට නොහැකි පෝෂක තත්ත්ව ඉතා අඩු තැන් වලත් වැවෙනවා.  කොන්ක්‍රීට් අස්සේ පවා නොනැසී ජිවත් වෙනවා.මෙහෙම වැවෙන තණකොළ වර්ග අනවශ්‍ය තැන් වලින් ඉවත් කිරීම යාන්ත්‍රිකව කරන්න පුළුවන්. හැබයි එයට වෙලා යනවා. එයට වඩා ගොඩක් පහසුයි වල් නාශකයක් ඉහින එක. මා තියාගෙන ඉන්න Zero කියන වෙළඳ නාමය යටතේ එන වල් නාශකයේ ප්‍රධාන සංඝටකය තමා Glyphosate. එදා මෙදා තුර ලෝකයේ නිපදවා තියන වඩාත් ඵලදායක කෘෂි රසායනයක් තමා මේ.

මේක ලියන්න මග හැරුනානේ. ලැබුන ප්‍රතිචාර දෙක නිසයි මට අඩුව දැනුනේ. ග්ල්යිපොසෙට් තෝරා නසන වල් නාශකයක් නොවේ. සියල්ල නසනවා. පත්‍ර තුලින් උරාගෙන මුල් වලට ගමන් කරලා මුළු ශාකයම මරා දමනවා. ඒකයි මා කියුවේ මෙය ඉතාම ඵලදායක කෘෂි රසායනයක් කියා.

සමහර වෙලාවට අපට තෝරා නසන්න අවශ්‍යයි. ලංකාවේ ඔය තණකොළ ගොල්ල වල් වල තියන උඳුපියලිය හෝ  ඇත් අඩි හෝ  මොණර කුඩුම්බිය හෝ වගේ පළල් පත්‍ර තියන ශාක (ලංකාවේ කුඹුරු වල නම් ජපන් ජබර, ගිරා පලා වගේ) නසන්න නම් එවැනි තෝරා නසන වල්නාශකයක් භාවිතා කරන්න ඕනේ. උඳු පියලිය (Clover), Bindi, Thisle හා Dandelion  වැනි පළල් පත්‍ර ශාක (ඕස්ට්‍රේලියාවේ) ලස්සනට වවන තණකොළ ගොල්ල වල් වල කරදරකාරී ලෙස  වැවෙන ශාක  වර්ග කිහිපයක්.  මාත් ඉබේ වැවිලා තියන තණකොළ ගොල්ලේ තියන මෙවැනි අනවශ්‍ය යයි සිතන පලල්පත්‍ර ශාක ඉවත් කරන්න භාවිතා කරන  Bindi & Clover Weeder යන වෙළඳ නාමය යටතේ එන වල් නාශකය තෝරා නසන එකක්. මෙහි සංඝටක දෙකක් තියනවා. ඒ දෙකම තියෙන්නේ Dimethylamine ලවණය හැටියට.

වල් නාශක ඇත්තටම අවශ්‍ය මොකද? මේ වගේ ගෙවතු වල භාවිතාවට අමතරව මහා පරිමාන කෘෂිකර්මයේ වල් පාලනය ඉතා වැදගත් අංගයක්. ගෙදර මිදුලේ තණකොළ ටිකත් අතින් ගලවා දමන්න නොහැකි කොට, විශාල යායක වල් නාශනය අතින් හෝ වෙනත් යාන්තික ක්‍රම උපයෝගී කරගෙන ඉවත් කිරීම බොහෝ වෙලාවට ප්‍රායෝගික නැහැ. අනිත් අතින් ආර්ථික වශයෙන් තිරසාර නැහැ. මෙවැනි ක්‍රම උපයෝගී කර ගන්නවා තමයි. හැම වෙලාවෙම නොවේ.

මහාචාර්ය ගුණසේන ගේ පොතට අනුව ලංකාවේ මඩ කුඹුරු වල  50% කුත් ගොඩ කුඹුරු වල  75% කුත් අස්වැන්න වල් පැල හින්දා අඩු වෙනවා. වල් පැලයක්  කියන්නේ භෝගයක අතර මැද්දේ තියන, එතනට අදාළ නැති ඕනෙම ශාකයක්. භෝගයකට යොදන පොහොර වලින් වැඩි කොටසක් උරා ගන්නවා විතරක් නොවේ, හිරු එළිය සඳහාත් මේ වල් පැලෑටි තරඟ  කරනවා. ඒ මදිවට  පළිබෝධකයන් ප්‍රචාරය කරන්නත් පුළුවන්. අස්වැන්න අඩු වන්නේ ඒ නිසා. ඔන්න පුතේ, ගොවි මහත්තයා යොදන පිරිවයෙන් 50%-75%  ක් නිකම්ම නාස්ති වෙලා යනවා.

මේ වසරේ අප්‍රේල් වල ඇමෙරිකානු Oregon ප්‍රාන්තයේ එක් භෝග ප්‍රවර්ධකයෙක් හට ඇතිවුනා  උභතෝකෝටික ගැටලුවක්, ඔහු එම ගැටලුව එහි රාජ්‍ය විශ්ව විද්‍යාල පර්යේෂකයන් වෙත යොමු කරනු ලැබුවා. ඔහුගේ conundrum (මෙය කතන්දරගේ කතාන්ද්‍රම් සංකල්පය හා පටලවා ගන්න එපා) එක වුනේ මෙන්න මේකයි.

මේ  හාදය අක්කර 125 ක පුරන් බිමකට ගැහුවා Roundup කියන වල් නාශකය. එහි සංඝටකයත් ග්ල්යිපොසෙට්,  නිෂ්පාදකයාත් එම සංඝටකය මුලින්ම  හොයා ගත්තු මොන්සැන්ටෝ. පුරන් කුඹුරකට මේ වගේ වල්නාශකයක් ගහන්නේ සේරම වල් පැලෑටි නසන්නනේ. හැබැයි සිදු වුනේ වෙනකක්. මේ බිමේ තිබුන සමහර පැලෑටි වලට මොකුත් වුනේ නැහැ.

භෝග ප්‍රවර්ධකයා හිතුවේ මෙන්න ග්ල්යිපොසෙට් වලට ප්‍රතිරෝධී වල් පැලෑටියක්  බිහි වෙලා කියා. එහෙම වුනොත්  එක අතකින් විශාල ප්‍රශ්නයක්. අනික් අතින් ලොකු සොයාගැනීමක්.  ඔහු එම පැලෑටි වලින් සාම්පල කිහිපයක් තමා අර සරසවියට යැවුවේ.

මේ සාම්පල විශ්ලේෂණය කරපු පර්යේෂකයනට ඒවායේ තිබී මොන්සැන්ටෝ සමාගම විසින්ම හදපු රවුන්ඩප් වලට ප්‍රතිරෝධී නැත්නම් ග්ලයිපොසෙට් වලට ප්‍රතිරෝධී CP4 කියන ජානය හමු වුනා. පළමුවෙන් ඔවුන් ප්‍රතිඵල විශ්වාස කළේ නැහැ. නැවත එකතු කරපු සාම්පල වෙනම රසායනාගාරයකදී විශ්ලේෂණය කලත් උත්තරය උනේ එයමයි.

(ඇමුණුම් සොයා යාම අත්‍යවශ්‍ය නොවේ. විවිධ ප්‍රභව ඇසුරිනි).

මතු සම්බන්දයි.

 

Advertisements

17 Comments

Filed under Agriculture

17 responses to “ගොවියාගේ හිත මිතුරා! (1)

  1. අපරාදේ දෙකට වෙන් කලේ රයිගම්…. මම කැමති මාතෘකාවක්… මම මේ දවස් වල ෆලෝ කරන්නේ කූඹි.. ජීව විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන්න මම හදන්නේ . ඔබ මේ ලිපිය දුටු බව දනිමි… එහෙත් වෙනත් කෙනෙකුට ප්‍රයෝජනයක් පිණිස ලින්ක් එක දාන්නම්…

      • මොනාද සහන් ප්‍රතිචාරයක් දාන්න ඕනේ වුනත්, බැහැ. මෙච්චර දියුණු ලෝකේ සමාගම් දෙකක් පවත්වාගෙන යන බ්ලොග් සේවා දෙකක නොගැලපීම් කොච්චර තියනවද?

        • ඇත්තටම අපිටයි අපහසු WP වල ප්‍රතිචාර සටහන් කිරීමේදී… යන්නම ඕනේ නිසා ඔබේත් , අරූගේත් , අරුණිගේත් බ්ලොග් වලට පමණක් යමි. අනික් සියලු WP බ්ලොග් නොබලමි.

          ඇල්ගේ , ජය ශ්‍රීගේ බ්ලොග් නොබලන්නෙම ඒවා WP නිසා……. ඉතා කණගාටුදායක තත්වයක් …….

          • It is flattering! 🙂 නමුත් සහන් ඔබ දන්නවනේ නොදිරවන දේවල් කියවන පිරිස අඩුය කියා. මගේ බ්ලොග් රෝලේ ඉන්න කිහිප දෙනා තෝරා තියෙන්නේ, මා ලියන දේවල් කියවන පිරිස කියා මා දන්නා අයගෙන්. අනෙක්වා කියවුවත්, නොකියවුවත්, මේ පිරිස ලියන දේවල් කියවන්න මා අමතක කරන්නේ නැහැ. 🙂

  2. උඹ මේක මොන එකකට දෙකට කැඩුවද කියලා මටත් හිතාගන්න නෑ රයිගම්. ඊ ලඟ එක කියවනකල්, උඹ අදහස් කරන්නේ මොකක්ද (what’s on your mind) කියලාවත් මට හිතාගන්න බෑ.

    • උඹගේ හා සහන්ගේ ප්‍රතිචාර නිසා අඩුව මා දැන් පිරෙව්වා. දැන් මචං මෙය තවත් දික් කරන්න බැරි ඇයිද කියන එක තේරුම් ගන්න පුළුවන්නේ. මෙය කොටස් කීයක සටහනක්ද කියා මා තවම තීරණය කර නැහැ. 🙂

  3. Dandelion flavoured soft drinksසහherbal drinks තියෙනවා.Dandelion syrup….sweets වර්ග හදන්න ගන්න බවත් දන්නවා. හැබැයි ඒ මොණර කුඩුම්බිය කියලා දැණගත්තේ ඔබෙන්.

    • මම මොණර කුඩුම්බියත් නොදන්න හින්දා මේ පැලෑටි හොයාගන්න ගූගල්ගෙ පිහිට පතන්න වුනා.
      එතකොට ඔහොම බෙහෙත් ගැහුවම පස නිසරු වෙන්නේ නැද්ද? නොදන්නකමටයි අහන්නේ මොකද මම දන්නේ ඔය තණකොළ කපලා දාන එක හොඳයි කියලානේ. සමහරවිට අපේ පැති වල ප්‍රසිද්ධ ඒ ක්‍රමය වෙන්නැති.
      අරූ කීවා වගේ ඔය සිරප් හා බීම වර්ග වලට අමතරව අපි නම් . මොණර කුඩුම්බිය මල් කෑම පිඟන් ලස්සන කරන්නත් බහුලවම යොදාගන්නවා හොටෙල් ෆීල්ඩ් එකේදි වසන්ත කාලෙට.

      • Kenji @ Japan

        කහපාට පෙති ගොඩක් තිබෙන කුඩා මල ද ඔය කියන්නෙ..?

        • මෙන්න මේවට තමා පුතේ, මතකය හරිය කියල උපකල්පනය කරලා මේ වගේ දේවල් ලියන්න එපා කියල. මා මතකින් ලියන්න උත්සහ කරන්නේ, නැත්නම් මේ වගේ සටහන් නිකම් කියවන්න බැරි ටෙක්නිකල් ගණයේ ඒවා වන නිසා. නමුත් මතකය සැකයි කියල හිතුන වෙලාවට මා මුලාශ්‍රයක් දානවා. අලුතින් එකතු කරපු කෑල්ල ලියුවේ එහෙම බලලා නොවේ.
          අරූ, රංගි, කෙන්ජි හා නිකං ඔබලාගේ කොමෙන්ටු නිසා මට මෙය මතක් වුනේ. Dandelion කියන්නේ ඔබලා කියන කහපාටට මල් එන පොඩි පැලෑටි. අපේ වත්තේ ඕනේ තරම් තියනවා. හැබැයි මොණරකුඩුම්බිය කියන්නේ එය නොවේ. මේ දෙකම එකම පවුලකට (Asteraceae) අයත් වන්නේ. ඒ වගේම මල් වලින් ඇට හැදුනහම පා කරලා යවන්න පුළුවන්, මට මතක් වුනේ එම ගුණාංගය විතරයි. මලේ පාට දම් වගේ මොණර කුඩුම්බිය (ash-coloured fleabane) කියන ශාකයේ. මෙය ටිකක් මුකුණු වැන්න පන්නයේ කුඩා ශාකයක්.
          Dandelion වගේම Ash-coloured fleabane ඖෂදයක් වශයෙනුත්, ආහාර හදන්නත් ගන්නවා.
          මා සටහන වෙනස් කරන්නම්. ප්‍රතිචාර වල අගය දැනෙන්නේ මේ වගේ වෙලාවටයි. 🙂

      • මල් ජාති දෙකේම මුලාශ්‍රයක් දාන්නම් රංගි.
        වල් නාශක ගැහුවට පස නිසරු වෙන්නේ නැහැ. හැබැයි වල් නාශක ඇතුළුව සියලුම කෘෂි රසායනයන් (පොහොර ඇතුළුව) විෂ ජාති. අපට, විශේෂයෙන් ළමුනට, සතුනට, ශාක වලට හා පරිසරයට බලපාන හැටි භාවිතා කරන ආකාරය මත රඳා පවතිනවා. කලින් පාවිච්චි කරපු ගොඩක් නොටෝරියස් කෘෂි රසායනයන් දැන්, වෙනත් වඩාත් භාවිතාවට පහසු හා අහිතකර ගුණාංග අඩු අලුත් රසායනයන් මගින් විස්තාපනය කරලා තියනවා. වල් නාශක බොහොමයක් එක්කෝ කෘතීම හෝර්මෝන නැත්නම් එන්සයිම. මේවා ගොඩක් වෙලාවට ජිව-වියෝජනයට ලක් වෙනවා. ඒ කියන්නේ පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මගින් විනාශ/වියෝජනයට ලක් වෙනවා.

        තණකොළ කැපීම හා බෙහෙත් ගැසීම/උදුරා දැමීම මගින් කරන්නේ දෙකක්. තණකොළ කපන්නේ විනාශ කරන්න නොවේ. දිගින් දිගට පවත්වාගෙන යන්න. මෙතැනදී බලාපොරොත්තු වන්නේ මේවයි. එක ගානට කැපීම නිසා අලංකාරයක් ලැබෙනවා. උද්‍යාන වල තණ පලස් කැපීම නිසා අලංකාරයක් මෙන්ම, කැලේ ගතිය ඉවත් කර, ඇවිදින්නට සුදුසු සර්පයින්ගෙන් තොර යනාදී වශයෙන් පරිසරයක් හදනවා. මෙයට අමතරව, දිගින් දිගටම කැපීම නිසා ලිංගික ප්‍රචාරණ කොටස්, ඒ කියන්නේ මල් හැදීම ඉවත් කරනවා. තණ පලස සදා හරිතව පවත්වාගෙන යන්න පුළුවන් ඒ නිසා. දනක් උසට වැවුන තණ බිස්සක ඇවිදින්න වත් බැහැනේ. ඔන්න ඕවා තණ කැපීමෙන් බලාපොරොත්තු වන්නේ.

        එයට අමතරව, තණකොළ හෝ වෙනත් ශාක අවශ්‍ය නොමැත තැන් නගර වලත්, ගෙවත්තෙත්, ගොවි බිම් වලත් තියනවා. අන්න ඒවායි බෙහෙත් මගින් හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රමයකින් ඉවත් කරන්නේ. උදාහරණයකට ගෙදර දොරකොඩ එන බොරළු අඩිපාරේ තණකොළ ඉවත් කරන එක.

  4. නිකං

    Dandelion දැනගෙන හිටියට මොණර කුඩුම්බිය දැක්කේ අද 🙂
    ග්ල්යිපොසෙට්, ගස් මරා දාන්නේ පමණට වඩා ගසේ වර්ධනය ගසට දරා ගන්න බැරි තරමට ඉක්මන් කරලා නේද?
    අර මහාචාර්ය ගුණසේන ලියපු පොතේ නම මොකක්ද කියවන්න වටින පොතක් වගේ.

    • ඔව් වල්නාශක එක්කෝ එන්සයිම නැත්නම් වර්ධක හෝමෝන වල මිමික්. මේවායින් කරන්නේ අර කියන්නා වගේ වර්ධනය අසීමිතව වේගවත් කරලා හෝ ශාක වල පරිවුර්තිය ක්‍රියාවලින් “පිස්සු” වට්ටලා විනාශ කරන එක.

      මෙය විෂයට අදාළ ඒ කියන්නේ කෘෂිකාර්මික පොතක් නිකං. පහසුව නිසාත්, ලංකාවට අදාළ නිසාත් උපුටා දැක්වුයේ. කරුණු දැනට කොතරම් යාවත්කාලීනද දන්නේ නැහැ.
      මෙන්න පොත:
      ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය, මහාචාර්ය එච් පී ඇම් ගුණසේන, ඇම් ඩී ගුණසේන සහ සමාගම, කොළඹ, 1994, මිල රු 360.00 යි (එදා).

  5. Pingback: ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය වලට! බැරිවීරිය ගන්න එපා මගෙන් දිනන්ට!! | raigamahandiya

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s