සරමට බැහැලා සුද්දා බීවත් කසියා! ඩෙනිම් ජීන්ස් ගහලා පැද්දෙනවා ලුසියා!!


මා කලින් සටහන ලියුවේ ප්‍රධාන වශයෙන් එක කරුණක් කියන්න. අරූ හා හිරූ ප්‍රතිචාර දාල තිබුනේ එම කරුණට. කාගේත් හිත ගිය අනික් කරුණ අතුරු කතාවක්. ඒ කතාව මට ඔබන්න හිතුනේ මෑතකදී රංගි ලියපු පාරිභෝගිකයාගේ ආකල්ප ගැන ලියුව සටහනෙන්. මේ ගැන මා ගිය වසරේ ලියාගෙන යන්න හිතුවත්, පළමු  සටහනෙන්ම එය ලොප් වුනා. තව කතාවක් එතන තියනවා.

යලිත් කියුවොත්, අප ජිවිතයට අවශ්‍යම කරන කුසලතා ගැන හිතන්නේ නැතිව, වෙන මිනිසුන් ඒවා අප වෙනුවෙන් කරලා දෙන්නේ නැති එක ගැන මැවිසිලි කියනවා. හැබැයි, ඒ වෙන මිනිසුන් ජිවත් වෙන්නේ කොහොමද කියන එක නම් හිතන්නේ නැහැ. ජීවිතය කියන්නේ, යන්තම් එදා වේල හොයා ගෙන ජිවත් වීම විතරක් නොවේ. මේ ලියන මාත් ඇතුළුව අප වැඩි දෙනා කරන්නේ එය. මොකද අපට එයට වඩා කරන්න හැකියාවක් නැහැ. හැබැයි ජීවිතය පුරාම මෙයින්  ටිකක් ඉදිරියට යන්න අප උත්සහ කරනවා.

ඉතා සරල ජිවිතයක් කැලේට වෙලා ගත කරන්න පුළුවන්.  මේ සරල දිවිය ගැන කියන කට්ටිය එහි සීමා මායිම් ගැන කියන්නේ නැහැ. ඔය සරල දිවියට අඩංගු මොනවාද, නැත්තේ මොනවාද? එහෙම නොවේ, මිනිසා කැලෙන් එලියට ආවේ ඔයිට වෙනස්ව හිතලා. ගෙදරකට මේසයක් ගැනීම සංකීර්ණ ජිවිතයකට යාමක් නොවේ. මේසේ උඩ  නොයෙක් දේ කරන්න පුළුවන් වුවත්, මුලිකවම අපේ ජීවිකාව ගෙන යාමට එය එක අතකින් උදව් දෙනවා. ඉස්සර ගල් ගුහා වල ගල් ලෑලි මත ලියුව මිනිසුන්, අනෙක් එන්ටර්ටෙන්මන්ට් (ඔය වීඩියෝ සෙල්ලම්) කලේත්  ගල් පතුරු උඩමයි. එයිට වඩා පහසුවට ජීවිතය ගෙනි යන්නේ කොහොමද කියන එක දිගින් දිගටම සිතීම නිසා, අද අප වීඩියෝ සෙල්ලම් මේසෙයක්  උඩ තියා ගත්තු පරිඝනකයක් මත කරනවා.

කොහොමහරි උපන් දා සිට පුරුදු වෙලා හෝ අනුන් කියල දීපු හැටියට ජිවත් වෙන්න පුරුදු වෙන අප එයින් පිට යමක් කරන්න හිතන්නේ නැහැ. අර ලංකාවේ ලි බඩු කඩේදී බලෙන් මා පිට පටවන්න ගිය කොන්දේසිය වැරදියි. ඔවුනගේ මේසයේ මිල මා ගෙවුවහම, එයිට අමතරව තවත් මුදල් දෙන්න කියල කියන එකම වැරදියි. එය ගෙදර ගෙන යන්නේ කොහොමද කියන එකත්, සවි කර ගන්නේ කොහොමද කියන එකත් කියන කරුණු දෙකම මට අයිති කාරනාවන්. මේ බඩු  විකුණන තැන්  අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙතත් එයයි.

ලි බඩුවක් විතරක් නොවේ, ඕනෙම බඩුවක් ගෙදර ගෙනත් වැරදියට සවි කර ගත්තොත් විනාශ වෙන්න ඉඩ තියනවා. මේවා අර පොඩි අකුරු වලින් ලියා තියනවා. එහෙම අවශ්‍යත් නැහැ. මේවා සාමාන්‍ය කාරණාවන්.

කලින් සටහනේ ප්‍රතිචාර වලින් පස්සේ මා නැවත බැලුවා මගේ දැන් මේසයේ උපදෙස් පොත. එහි මුල් පිටුවේ තියෙන්නේ මෙන්න මේ ටික. Please follow these assembly instructions. This will save you time, make assembly easier and prevent possible damage to your desk. Assistance may be required for some assembly procedures (මේ කියන්නේ දෙන්නෙක් අවශ්‍ය තැන් ගැන). Correct assembly is your responsibility.

මේ වගේ දෙයක් එකලස් කර ගැනීම සරල වුනත්, එම හැකියාව නැති කෙනෙකුට උදව් ගන්න පුළුවන්. ඒ සඳහා සේවා සැපයීම හෝ සේවා සපයන පිරිස් ගැන විස්තර සැපයීම වෙළෙන්දා කරන අමතර වැඩක්. එයට කොන්දේසි දාන්න ඔවුන්ට තනි අයිතියක් නැහැ. මොකද මට තනිවම හදා ගන්න පුළුවන් දෙයක්, මුදල් දීල අනුන්ගෙන් කර ගන්නේ? 

එහෙම අහිතකර කොන්දේසි දාන්න එන අයගෙන් ඈත් වෙන්න, ඒකීය පාරිභෝගිකයන් වශයෙන් අපට පුළුවන්. මෙය ලී බඩු වලට විතරක් සීමා වෙන්නේ නැහැ. රංගි ලියල තිබුනා වගේ, ඒකීය පාරිභෝගිකයන් වශයෙන් තනි තනිවත්, කණ්ඩායමක් වශයෙනුත් මෙවැනි අසාධාරණ කොන්දේසි දාන, බලවත් සමාගම් වලට/පුද්ගලයන්ට අප එරෙහි වෙන්න ඕනේ. සමහර තැන් වලදී ඒකීය පාරිභෝගිකයන් වශයෙන් අපට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. හැබැයි, මේවට එරෙහි වන්න බොහෝ විට පුළුවන්. කර බාගෙන අප පිට පටවන හැම දෙයක්ම ඉවසන එක හරිම නරක දෙයක්. 

සමහර වෙලාවට අප අතර තියන යහපත් ක්‍රමවේදයන් නැති කර ගන්නේ අපමයි. ගොඩක් වෙලාවට අප හිස නමාගෙන ඔය වගේ කොන්දේසි පිලි ගන්නවා. එවිට අනිකුත් වෙළෙන්දන් හා සමාගම් ද ඒ කොන්දේසි දමනවා. බඩු මිලදී ගන්න විට විතරක් නොවේ වැඩ කරන තැන දීත්, බස් එකේදිත්, ගෙදරත්, වෙනත් කටයුතු වලදීත් මේ දෙයම සිදු වෙනවා.

අනික තමා අලුත් පරිසරයකදී අප පරිසරයේ තියන හොඳ/යහපත් ලක්ෂණ වලට හුරු වෙනවා මිසක, අපේ පරණ ජරා පුරුදු අලුත් පරිසරයටත් හුරු කර ගන්න හදන එකම ජරා පුරුද්දක්. මෙයම තමා අප කවුරුත් කරන්නේ. මා හැම විටම කියන පරිදි කට පාඩම් ක්‍රමය, පිස්සුවෙන් වගේ ටියුෂයන් පන්ති බඩ ගෑවීම, අනුන් සමග සංසන්දනය කර ගැනීම, වෙනියන් තෝරාගැනීම යනාදී වශයෙන් මා කලින් ලියපු ලයිස්තුවක් තියනවා. මා නම් මේවායින් පලා ආවේ.

අර ලී බඩු වෙළෙන්දාගේ කොන්දේසිය මා දකින්නේ, ස්ථාපනය වෙලා තියන යහපත් ක්‍රමයක් ආපස්සට ගෙන යාමක් ලෙස. ඔවුනට පැවැත්මක් ලබා දෙනවාද, නැත්නම් අප දැනටමත් අත් විඳින යහපත් ක්‍රමය පවත්වාගෙන යනවාද කියන දේ අපගේ අතේ මයි තියෙන්නේ. මෙය ලී බඩු මිල දී ගැනීමක් ඇසුරෙන් කියන්න අදහස් කලත් එයට සිමා මායිම් නැහැ. ජිවන විලාසිතාවේ සියලුම තේරීම් වලට එය අදාලයි.

Advertisements

16 Comments

Filed under Lifestyle

16 responses to “සරමට බැහැලා සුද්දා බීවත් කසියා! ඩෙනිම් ජීන්ස් ගහලා පැද්දෙනවා ලුසියා!!

  1. අපි ලංකාවෙත්, මෝල්ලන්තෙත් ඉස්කෝල ගණනාවක වැඩ කරලා තියෙනවනේ. ඉතින් උඹ දන්නවා ඇති එක එක ස්ථානයට අදාල හොඳ සහ නරක ලක්ෂන අඩංගු සංස්කෘතියක් තියෙන බව. අපි අලුත් තැනකට ගියාම ‍රැස්වීම් වලදි අපෙන් අහනවා පරණ තැන්වල ක්‍රමවේද ගැන ගැන. අපි දෙන්නා කියන්නේ හොඳ දේවල් විතරයි. මොකද අපි අර උඹ කිව්ව >>අනික තමා අලුත් පරිසරයකදී අප පරිසරයේ තියන හොඳ/යහපත් ලක්ෂණ වලට හුරු වෙනවා මිසක, අපේ පරණ ජරා පුරුදු අලුත් පරිසරයටත් හුරු කර ගන්න හදන එකම ජරා පුරුද්දක්.. ස්ථාපනය වෙලා තියන යහපත් ක්‍රමයක් ආපස්සට ගෙන යාමක් ලෙස…<>ඔවුනට පැවැත්මක් ලබා දෙනවාද, නැත්නම් අප දැනටමත් අත් විඳින යහපත් ක්‍රමය පවත්වාගෙන යනවාද කියන දේ අපගේ අතේ මයි තියෙන්නේ. <<
    මම උඹේ පෝස්ට් එකේ ලින්ක් එක දම්රෝ වෙබ් සයිට් එකේ කස්ටමර් කෙයා ඊ මේල් ලිපිනයට යැව්වා දමිත් රාමනායකටත් මේක ෆෝවර්ඩ් කරන්න කියලා. නමුත් කිසි ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඒ මේ කිව්ව කරුණ නිසා. මම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වෙනවට ලාංකිකයෙක් හැටියට කැමති නිසයි එහෙම කලේ.

    • මචං මාත් ඒ කඩයේ නම දැක්ක ගමන් මුලින්ම ගොඩ වැදුනේ ඒ නිසාමයි. නමුත් මා අදහන දේ මොනම කරුණක් නිසා වත් යට කරලා තීන්දු ගන්නේ නැහැ (හැකි හැම වෙලාවෙම). මා ඒ කඩෙන් එලියට ආවේ යලිත් ඇතුලට නොඑන්නට සිතාගෙන. ඒ වගේම තමා ඕස්ට්‍රේලියන් හෝ චීන කඩයක් වුනත්.

      මෙවැනි ජරා ක්‍රමවේදයන් පවත්වා ගෙන යන්නත්, වැඩි දියුණු කරන්නත් ඒකීය පාරිභෝගිකයන් වන අපම කටයුතු කරනවා. මුදල් ගෙවල බඩුවක් ගන්න විට විතරක් නොවේ, අපගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නංවන විටත්, එයට සරිලන වටිනාකමක් ලබා නොගන්නේ අපමයි. මේ ගැනම තමා මා ලියන්නේ. නමුත් මචං වෙනස් වෙන්න අවශ්‍ය නොවන උඹලා විතරයි මේවා කියවන්නෙත්.

  2. Kenji @ Japan

    ඔබේ පෙර ලිපිය කියවල කල්පනා කරද්දි ඔය කිව්වා ආයතනය ගැන පුදුම හිතුන.
    ඔය කතාව ලංකාව ඇතුලත වුනා නම් පුදුමයක් නොවේ.
    දියුණු රටවල කොහොමත් කිලෝ මීටර් 20ක් වගේ ප්‍රවාහනය නොමිලේ ලබා දෙනව භාණ්ඩය කීපයක් මිලදී ගත්තම.
    ප්‍රසිද්ධ ආයතනවල ශාඛා හැම නගරයකම තිබෙන නිසා.
    දැන්නම් ගෙදරට ඔය වගේ දෙයක් ගෙනාවම දුවයි,පුතයි ආච්චිවත් එකතු කර ගෙන කරනව.ආච්චිට හිතෙන දේවල් මොනවද කියල හිතමින් මමත් හොර ඇහින් බලමින් සතුටු වෙනව.
    අපේ කාලේ ගෙදරකට ගෙනාවෙ ගෙඩිය පිටින් මේස පුටු,කැබිනෙට්ටු නොවැ.
    අල්මාරි විතරයි කෑලි ගලවල ගෙනත් බාස්/ගෝලයො ෆිට් කරලා දීල ගියේ.
    ඉතිං මට ගෙදර එකලස් කරන්න දෙයක් නොතිබුන තරම්.
    නමුත් ඔබ කියා තිබු,
    >> මා එකලස් කරලා තියන බඩු වල හැටියට, මේසේත් කජ්ජක්ද කියල කෙන්ජි ඇහුවොත්, මටත් කියන්න දෙයක් නැතුව යනවා.<<
    හරියටම හරි 🙂 🙂 🙂 .

    • මෙය ලංකාවේ කඩයක් නිසාම මෙහෙම වුනා කියන්න මට අවශ්‍යව තිබුනේ නැති නිසා තමයි කෙන්ජි, මුලින් නම වත් සඳහන් නොකළේ.
      අනික මේ සටහන ලියුවේ කඩෙන් එලියට එන්න ඕනේ නිසා. මේවා කරබාගෙන ඉවසන්නේ කඩේ බඩු ගන්න කොට විතරක් නොවේ. හැමෝම කර බාගෙන ඉවසන කොට, එකෙක් දෙන්නෙක් කරන ප්‍රතික්ෂේප කිරීම්, කිසිම බලපෑමක් ඇති නොකර සැඟවී යනවා. කාලාන්තරයකට පසු ක්‍රමවේදය වන්නේ, ඒ අප ප්‍රතික්ෂේප කළ යුතු දෙයමයි. එවිට අනෙක් විකල්ප ලෙස තිබු දේවල්ද නැති වෙලා ගිහින්!

  3. නිකං

    // පරණ ජරා පුරුදු අලුත් පරිසරයටත් හුරු කර ගන්න හදන එකම ජරා පුරුද්දක්.
    මේ මොනවා කියනවද රයිගම්,ජරා පුරුදු අලුත් තැනකට ගේන කොට එතන ඉන්නේ අපේ එකෙක් ඒකට අකමැතිනම් ඒකාගේ බෙල්ල කැපීමට මාන බැලීමත්, සුද්දෙක් නම් රේසිස් කොලේ ගහන්නත් අපේ එවුන් කප් ගහලා තියෙන්නේ තමන් නොහැදී .ස්වයං අධ්‍යනය කර දියුණුව මෙච්චර අමාරුද නැත්තන් ඕනෑකමක් නැතිකමද මන්දා.

    • නිකං, ඕනේ කමක් නැති කමකට වඩා පුරුදු ක්‍රමයෙන් මිදීමට ඇති අකමැත්ත කියා මට සිතෙනවා.

  4. //යලිත් කියුවොත්, අප ජිවිතයට අවශ්‍යම කරන කුසලතා ගැන හිතන්නේ නැතිව, වෙන මිනිසුන් ඒවා අප වෙනුවෙන් කරලා දෙන්නේ නැති එක ගැන මැවිසිලි කියනවා. //

    මේ කුසලතා ගැන මට ගැටළුවක් තියෙනවා… ඒ කියන්නේ ජීවන කුසලතා දැනගැනීමේ සීමාව මොකද්ද එහෙම නැතිනම් වැඩිය දන්න තරමට වැඩිය හොඳයිද..?

    ගොඩක් අතීතයේ නම් මම දඩයමට අමතරව, ආයුධ හදාගන්න හැටිත්, කැඩුන සෙරෙප්පුව හදාගන්න හැටිත්, ඇඳුම් මහගන්න හැටිත් සියල්ල දැනගෙන සිටිය යුතුව තිබුණා… ඒත් අද මම බංගලිදේශේ මහපු කලිසමකුත්, ලංකාවේ මහපු කමිසෙකුත්, වියට්නාමේ හදපු සපත්තුත් අපූරුවට දාගෙන ඉන්නවා ඒවා හදන හැටි ගැන හාංකවිසියක්වත් නොදැනම… ඒ ගැන මම ලැජ්ජා විය යුතුද…?

    ඊළඟට මේ ජීවන කුසලතා මේසය එකලස් කරන තැනින් නවතිනවද? සපත්තුව හදාගන්න තැනටම යනවද..? ඕනෑම දේක වෘත්තීය මට්ටමේ නිපුණ අය ලවා ඒ දේ කරගැනීම වඩා හොඳ නැද්ද..?

    • ඔබ මේ මොනවාද ලියන්නේ? ඔබට ජීවිතය ගෙන යාමට අවශ්‍ය කුසලතා මොනවාද කියල ඔබම නේද දන්නේ? ඇයි මේ වගේ විකාර දේවල් ලියන්නේ?

      • මේ ලියපු එක අකුරක්වත් මට නං විකාර නෙමෙයි… ඉස්සෙල්ලාම හයිලයිට් කරපු වාක්‍යය කියවද්දී මට ආව ප්‍රශ්න… 🙂
        ඒවාට උත්තර දෙන එක කාලය නාස්තියක් කියලා රයිගම්ට හිතෙනවානං එහෙම වුනාවේ…

        • සොරි බීටල්. සමහරු හදනවනේ නිකම් මඩවන්න. එවැනි අය සමග පැටලෙන්න මා කැමති නැහැ. ඇත්තටම මගේ බ්ලොගයේ පරණ සටහන් කියෙවුවොත්, ප්‍රතිචාර අඩු වුනත්, මා වැඩියෙම කාලය වැය කරලා තියෙන්නේ උත්තර දෙන්න. හැබැයි එය අරුතක් ඇතිව කරන්න මා කැමතියි. 🙂

          මෙහෙමනේ බීටල් ඔය මේස හා සපත්තු හදන එක ගැන ගත්තොත්, අපට වෙදකම් කර ගන්න එකත්, ගෙවල් හදා ගන්න එකත්, ගුවන් යානයක් පදවන එකත් කුසලතා ලෙස ගන්න පුළුවන්. ඔබත් මාත් දන්නවා මේවා කරන්නේ ශිල්පිය ඥානයක් ඇති පිරිස්. මා ලියල තියෙන්නේ “අප ජිවිතයට අවශ්‍යම කරන කුසලතා” කියල.මේවත් ඔය ගුවන් යානා පදවන එක වගේ ඉගෙන ගන්න ඕනේ. හැබැයි අපට දැන ගෙන තියෙන්න අවශ්‍යම දේවලුත් ඔබටත්, මටත් එකම වෙන්නේ නැහැ.

          මට මුල්‍යමය හැකියාව හා කැමැත්ත තියනවා නම්, උදේට නැගිට්ට පසුව දත් මැද ගැනීමේ සිට අප සාමාන්‍යයෙන් කරන සනීපාරක්ෂක ක්‍රියා ටිකත් කර ගන්න වෘත්තීය දැනුම (ඒ කියන්නේ ඒ ගැන පුහුණුවක් ඇති) කෙනෙක් ගෙදරට ගෙනත් කර ගන්න පුළුවන්. ඒ ගැනත් යමෙකු ලැජ්ජාවට පත් වෙන්න අවශ්‍ය නැහැ.

          තව උදාහරණයක් ගත්තොත්, මට වාහනයක් හදනවා තියා හදපු වාහන ගැනවත් කිසි දෙයක් දන්නේ නැහැ. ඒ ගැන මට ලැජ්ජාවකුත් නැහැ.මා වාහනය නඩත්තුව/සර්විස් කර ගන්නේ අපේ පළාතේ ඉන්න නියෝජිතයා ගෙන්, හැබැයි සේවා දෙකක් අතර තෙල් හා වතුර පරික්ෂාව මා කරනවා. එයත් වාහනය ඩිලර් ගාවට ගිහින් කර ගන්න පුළුවන්, හැබැයි ඒ සඳහා යොදවන්න කාලයක් හෝ මුදලක් මට නැතුවා විතරක් නොවේ, එවැනි සරල දෙයක් වෙන කෙනෙකුට කියල කර ගන්න මට ඕනේ කමක් නැහැ. ඒ වගේම මේ වගේ දෙයක් මාම කර ගන්න එක මට ජීවිතය පහසු කරනවා. ගමනක් යන විට වාහනයේ ටයරයක් ගියොත් එය මාරු කර ගන්න එකත් වෘත්තීය නිපුනත්වයක් ඇති කෙනෙක් ගෙන්න ගෙන කරන්න පුළුවන්. හැබැයි මා එහෙම කරන්නේ නැහැ. ටයරය මාම මාරු කරනවා.මොකද එය සරල විතරක් නොවේ, මගේ ජීවිතය පහසු කරනවා. දැන් හිතන්න මොබයිල් දුරකතනයක් වත් නැතිව, පාලු පාරක වාහනයේ ටයරය ගියාය කියා. හැබැයි ටයරයේ පලුද්ද හදා ගන්න මා යන්නේ ටයර කඩේට.

          තව කියුවොත් අපට උයන්න කෙනෙක් ගෙදරට ගේන්න පුළුවන්. මගේ ආදායම එයට ඉඩ දෙන්නේ නැතුවා විතරක් නොවේ, වෙන අය උයන කෑමට වඩා මට මා උයන දේ රසයි. ඒ වගේම මට තේකක් හදා ගන්න උවමනා වුනොත්, බිරිඳ ගෙදර එන කම් බලා ඉන්නේ නැහැ. පුතාලට බඩගිනියි කියුවොත් යමක් හදන්න මට පුළුවන්. ඒ වගේම බිරිඳ ගෙදර එන කම් ඉන්නත් පුළුවන්. ඔන්න ඕවගේ අපට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් හා අවශ්‍ය නොවන දේවල් තෝරා ගන්න අපට පුළුවන්.

          මා කියුවේ බිටල්, කෙනෙක් කියනවා නම්, පර හැත්ත ඩුබායි ගිහිං, අපේ කක්කුස්සි හෝද ගන්නවත්, උයා ගන්නවත් කෙනෙක් නැහැ කියල, කාගේද වැරැද්ද? මේ අය ගෙවන්න බලාපොරොත්තු වන මුදල ඉහල නම්, ඒ සඳහා පිරිස් සොයා ගන්න අපහසු නැහැ. හැබැයි එහෙම කරන්නත් එයාලට හැකියාවක් නැහැ. මේක බීටල් කොටස් වශයෙන් යන කතාවක්. මගේ සටහන් එකකට එකක් සම්බන්දයි. 🙂

          • ස්තූතියි රයිගම් පැහැදිලිකිරීමට… මම අදහස් කරගෙන හිටියේ…යුනිවර්සල් ජීවන කුසලතා පැකේජ් එකක් ගැන… සර්වයිවල් කිට් එකක් වගේ… ඒකේ සීමා මොනවද කියන ගැටළුව මට තිබුණේ… 🙂

            • ඇත්තටම මුලින් මා හිතුවේ ඔබ විහිළුවකට අරන් කියා. එහෙම යුනිවර්සල් කුසලතා කියා කට්ටලයක් හදන්න අමාරු නේද? මොකද අප ජිවත් වන පරිසරයන් පමණක් නොවේ, අපේ ජිවන විලාසිතා එකිනෙකට වෙනස්. පරමාදර්ශී ජිවන විලාසිතාවක් සොයන්න වෙහෙසෙන එක නිරර්ථකයි කියා මා සිතන්නේ. එතකොට අපට සර්වලෝක ජිවන කුසලතා කට්ටලයක් හදන්නත් බැහැ.මා ලියන දේවල් අර කවුද කියනවා වගේ පරම සත්‍යයය ලෙස ගන්න එපා. මේ එක විදිහක බැලීමක් විතරයි. ඔබට වෙනත් මත තියනවා ඇති. ඒවත් මෙහි ලියන්න පසුබට වෙන්න එපා.

  5. //////. මා හැම විටම කියන පරිදි කට පාඩම් ක්‍රමය, පිස්සුවෙන් වගේ ටියුෂයන් පන්ති බඩ ගෑවීම, අනුන් සමග සංසන්දනය කර ගැනීම, වෙනියන් තෝරාගැනීම යනාදී වශයෙන් මා කලින් ලියපු ලයිස්තුවක් තියනවා. මා නම් මේවායින් පලා ආවේ.///////

    මෙන්න බොහොම හොඳ කතාවක්…..මගේ ලැයිස්තුවේ මේ දේවල්ම තියෙනවා එකක් නෑර. මේවා අපේ ගෙදර ප්‍රයෝගික පුරුදු වෙලා. මේ නිසා අපිට බොහොම සරළව ජීවිතේ ගෙනියන්න පුළුවන්. එකිනෙකා සංසන්දනය කිරීම තරම් නරක පුරුද්දක් මම තවත් දැක නැහැ. මේ තුලින්ම තමයි වෙනියා සෙවීම එන්නේ. අපේ දියණියත් වැඩිහිටියෙක් නිසා …මේ දේවල් භාවිතයෙන් ඉවත්වෙලා. අපි කවදාවත් වෙනියා හෙව්වේ නැහැ. මෙහෙම කරන්න එපා කිව්වාම සමහරු අහනවා අපි එතකොට කොහොමද කම්පෙයර් කරන්නේ කියලා. මොකටද? කියලා මම අයින් වෙනවා. වැඩක් නැහැ. අපේ අය තමයි මේකට හුරු වෙලා තියෙන්නේ.

    මම දන්න අපේ ගෑණු කෙනෙක් විභාගයකට වාඩි උනා. ඒක ඇයට අසීරු බව අපි දැණගෙන හිටියා. ඇය අසමත් උනා. සුද්දන්ට තමයි වැඩි ලකුණු දෙන්නේ මුන් ජාතිවාදීලු. මම ඇහුවා ඇයි එහෙනම් අපේ රටේ කරේ නැත්තේ කියලා. අපේ ස්ටෑන්ඩඩ් මදිලු. වයස 55 පැනපු කෙනෙක්. තරුණ අය මෙහෙම නැහැ. කාට කියන්නද බං. දීපු කෝපී එක බීලා ගෙදර ආවා.

    • අන්න හරි මචං කෝපි එක බීල එන එක හොඳයි. නිකම් වාද කරනවට වඩා. කිසි දා පැහැදිලි කරන්න බැහැ. අපේ ඇඟට එන්නේ. ඔය සේරම කට්ටිය හිතන්නේ අර පොඩි කාලේ පුරුදු කරපු අච්චුවට අනුව.

  6. හිරු

    සමහර අයට ලේසියෙන්ම කරගන්න පුළුවන් දේවත් සමහර අයට කොහෙත්ම බෑ… නිකමට හිතන්න පීනිල්ල ගැන… අපේ ගෙදර අයගෙන් මට විතරක් පීනන්න බෑ… ඒක කුසලතාවයකට වඩා ෆිසිකල් දෙයක්… ඒත් අපේ තාත්තට බිත්තියක ෆොටෝ එකක් එල්ලන්න ඇණයක් ගහගන්න බැරි උනාට අපේ මහත්තයට අවශ්‍යතාවය අනුව පොඩියට මේසයක් පුටුවක් උනත් හදාගන්න පුලූවන් … ඒකට හේතුව හිත….. තමන්ට බෑ කියලා හිතන එක සහ කම්මැලිකම… ඊටත් අන්තිම නරක හේතුව තමයි ඒ වගේ දේවල් කරන එක තමන්ගේ “ තත්වෙට මදිකමක්” කියල හිතන එක… හැබැයි ඉතිං සමහර වෙලාවට හරි සිම්පල් දේවල් අපි අනාගන්නවා.. පහුගිය සතියෙ වයර්ලස් රවුටරේ හදාගන්න ගිහින් මං නෑවා…. පස්සේ ටෙලිකොම් එකෙන් ඇවිල්ල හදලා දීලා ගියෙ… ඒක සිම්පල් තමයි… හැබැයි කොහෙ හරි පොඩි වැරැද්දක් වෙලා අවුලක් උනා.. ඕක ඉතිං මේසයක් හයිකරනවා වගේ වැඩක් නෙවෙයිනෙ…. හි හි….

    • පීනන එක කුසලතාවයක් නොවන්නේ කොහොමද? එය ඉගෙන ගැනීමෙන් ලබා ගත යුතු කුසලතාවයක්. මේ කුසලතා කියන්නේ හිරු, පොත් කියවලා මොලයේ වෙහෙසලා ලබා ගන්න දේවල් විතරක් නොවේ. පීනන, ටයර් මාරු කරන, මේස හදන, මල් වවන මේ සේරම ශාරීරික මහන්සියෙන් කරන්න ඕනේ දේවල්.

      මා බිට්ල් ට ලියුවා වගේ මේවට නීති දාන්න කාටවත් බැහැ. මේවා ලබා ගන්න ඕනේ, මේවා ලබා ගන්න ඕනේ නැහැ කියලා. විශ්වයට අදාළ පොදු කුසලතා කට්ටලයක් හදල මේවා ඉගෙන ගනිල්ලා කියන්න කිසි කෙනෙක් නැහැ. මොකද එහෙම කට්ටල නැති නිසා. තමන්ට ඉගෙන ගන්න ඕනේ මොනවාද කියන වැටහීම, ජිවත් වෙනකොට ලැබෙනවා. සමහර දේවල් උත්සහ කලත් ඉගෙන ගැනීමේ ශක්තිය හෝ හුරුබුහුටි කම අපට නැහැ. ඇයි අවුල්ද? ඒත් නැහැ. හැබැයි අනික් මිනිසුන්, ඔය ගෙවන්න බලාපොරොත්තු වන තුට්ටු දෙකට ඇවිත්, වැසිකිලි සෝදලා දීල යයි කියා බලාපොරොත්තු වෙන්න එපා කියන එකයි මා කියන්නේ. මේ නංගිලා කියන්නේ අපට උයා දෙන්න වත් කිසි කෙනෙක් නැහැ කියලනේ. වෙන මිනිසුන් ඉපදිලා ඉන්නේ, තමන්ගේ ආව තේව තුට්ටු දෙකට කර දෙන්න නොවේ.

      තමන් ජිවත් වන විට දිගින් දිගටම අවශ්‍ය වන සරල දේවල් කර ගැනීමට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට උත්සහ කරන්න ඕනේ. එවැනි සංකල්පයක් ගන්න පුළුවන්, තමනට අවශ්‍ය කුසලතා මොනවාද කියා තීරණය කිරීමේ මානයක් ලෙස. මෙයින් සමහර දේවල් අපට ජිවිත කාලය තුල කොහොමවත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.ඒවා ගැන තැවෙන්න අවශ්‍ය නැහැ හිරු!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s