Monthly Archives: November 2013

හිතුවත් වැඩක් නැහැ! I’m Saddam Hussein, I’m the president of Iraq and I’m willing to negotiate’


සදාම් හුසේන්ගේ පාලන කාලය අරන් බැලුවොත්,  ඔහු හා ගනු දෙනු කරපු ලෝක නායකයන් හා රටවල් ගැන වැටහීමක් ගන්න පුළුවන්. ගඩාපිත් මේ වගේමයි. අන්තිම දවස් වලත් බ්‍රිතාන්‍ය සමාගම් කරන්න ගිය ගනු දෙනු ගැන ඔය තිබුනේ.  සදාම් අන්තිමට බටයක හැංගිලා ඉන්න විට එලියට ඇදලා ගන්න විට කිවේ මොකක්ද? Lets negotiate! කියලා. අර පරණ පුරුද්දට. නමුත් ඒ වෙන කොට එයාගෙන් වැඩක් නැහැ කියල ඔහුටම තේරුමක් නැහැ. එතකොට දත් ටික පෙන්වන්න විතරයි ඉතුරු වෙලා තිබුනේ. 

ඉරානයට වුනත් කියන්න පුළුවන්, උඹලට න්‍යෂ්ටික අවි තියනවා නම්, අපට හදා ගත්තහම මොකද කියල. බොරුවට හෝ ඇත්තට හෝ ඔවුනුත් කතාවට එන්නේ, එහෙම කරන්න ඕනේ කම තිබුනත් බැරි නිසා. ඉරාකය හා ලිබියාව වැනි රටවල් අද තියන තත්වයට පත් කරන්න ඒ රටවල් පාලනය කරපු ඒකාධිපතියන් තමා වැඩිම දායකත්වය දුන්නේ.

හැබැයි එකක් පැහැදිලියි, මේ ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක නම් ලෝකේ ඉන්න ගොඩක් දෙනාට වැටහීමක් නැහැ. බටහිර රටවල් වල ඉඳන් ලංකාව හදන්නත් බැහැ, ඒ වගේම ලංකාවේ ඉඳන් බටහිර රටවල් හදන්නත් බැහැ. ඒ විතරක් නොවේ බටහිර රටක හිටියත්, ලංකාවේ හිටියත් ඒ ජිවත් වන රට හදන්නත් ඒකීය පුද්ගලයාට තියන හැකියාව හරි සීමිතයි.

අර ඩි ගෝල් කියපු ප්‍රසිද්ද කියමනක් තමා ප්‍රංශයට මිතුරන් නැහැ, තියෙන්නේ උවමනාකම් විතරයි කියන එක (France has no friends, only interests). අපේ ඇබට් අයියා වගේම කැමරන් ගොයියා හා අල්ලපු රටේ සිං මාමද සනාත කළේ එම ප්‍රසිද්ධ කියමනයි.

“අනේ ප…., මේක අපේ රට. කොහොම වුනත් ඒ අපේ ජනාධිපති. අපි අපේ රටට ආදරෙයි.මොනවත් කියන්න එපා. චෝගම් එක හොඳයි. මම දැනුත් මේ ඒක බලබල ඉන්නේ. චෝගම් එක නිසා අපේ ලංකාව ලෝකේ ප්‍රසිද්ධ වෙනවා. ලංකාව ගැන මුළු ලෝකෙම දැන ගන්නවා. ඉන්දියාව තරම් අපි ජනප්‍රිය වෙනවා ප…” මේ තියෙන්නේ අර කළා මැදිරියා ගේ සටහනකට ආපු ප්‍රතිචාරයක්. එය සෝපහාසයෙන් දමපු එකක් වෙන්න පුළුවන්. නමුත් පටන් ගත්තු හා ඉවර කරපු හැටියට දේශප්‍රේමිය අව්‍යාජ හෙලයෙකුගේ අවිහිංසක සිතුවිල්ලක් වෙන්න ඉඩ තියනවා. ඔහු කියන දේ ඇත්ත මෙවැනි සමුළු, ක්‍රීඩා උත්සව වලින් බලාපොරොත්තු වන එක දෙයක් තමා, ලෝකෙට ප්‍රදර්ශයනය වීමට අවස්තාවක් උදා කර ගැනීම. කෙටි කාලිනව විතරක් නොවේ, දිගු කාලින ප්‍රයෝජන එමගින් මතු කර ගන්න පුළුවන්. 

ප්‍රතිරූප වර්ධනය කෙරුව එක කෙසේ වුනත්, උතුරු කොරියාව වැනි වාරණ නැති රටක් වුනත්, මේ මගුලට සුදානම් වෙන දවස් වල කරපු දේවල් හා ඒ අතරතුරේ කරපු දේවල් මගින් එවැනි හැඟීමක් මේ රටවල් වල ඔය පොත් පත්තර කියවන සාමාන්‍ය ජනයාට ඇතිවුන බව මට තේරුම් ගියේ, දෙතුන් දෙනෙක් මගෙන් අහපු දේවල් වල හැටියට. ලෝකය ගැන දන්නා මිනිසුන්ට කොලේ වහන්න බැහැ. ඔවුන් දන්නවා මොනවාද වෙන්නේ කියා.  ඒ අයගෙන් කෙනෙක් කවදා හරි ලංකාවට යන්න හිතා ගෙන හිටියා නම්, දැන් දෙවරක් හිතනවා. එහෙම නොදන්නා කට්ටියට ඔය මොකුත් අවශ්‍ය නැහැ. කැසිනෝ විතරක් නොවේ, රටක සංචාරක කර්මාන්තය වුනත් රඳා පවතින්නේ සාමාන්‍ය ජනයාගේ සහභාගිත්වය මත. ලෝකේ විශාල සල්ලි කාරයන් කියා ගොඩක් නැහැ. ඒ වෙනුවට ඉන්නේ සාමාන්‍ය ආදායමක් තියන විශාල මිනිසුන් ප්‍රමාණයක්.

හැබැයි ලංකා රජයේ සැබෑ ඕනාකමත් එයමද දන්නේ නැහැ. උතුරු කොරියාව විතරක් නොවේ, ඒකාධිපති පාලන ක්‍රමයන් පවතින හා පවත්වාගෙන ගිය බොහෝ රටවල් වල පාලකයන් ජනතාවට පෙන්නුවේ, බාහිර බිල්ලන් නිසා එවැනි පාලන ක්‍රමයන් අවශ්‍ය බවයි.  අපේ “ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති” ක්‍රමයේදීත් ජනතාව දිනා ගන්නේ  බාහිර බිල්ලන් මාර්ගයෙන්. මේ ඕස්ට්‍රේලියාවේ ගොඩ වෙලාවට පෙන්වන බිල්ලෙක්  තමා බෝට්ටු සරණාගතයන්. එය බිල්ලෙක්ම නොවේ. බිල්ලෙක් වන්නේ ලෝකයේ අනෙක් රටවල් මුහුණ දෙන සරණාගතයන් ගණන හා සසඳන විට පමණයි. 

දේශ සීමා දොර පලු වගේ ඇරලා දාල, රටට ඇතුල් වන සියලුම දෙනා තියා ගන්න කිසිම රටකට බැහැ. හැබැයි සාපේක්ෂව කුඩා ප්‍රශ්නයක් විශාල කරනවා විතරක් නොවේ, එහි බර පටවන්න හදන්නේ අවට තියෙන, මෙයටත් වඩා ගොඩක් අමාරුවෙන් ජිවත් වන ජනතාවට.

අගමැති ටෝනි ඇබට්ගේ ලංකාගමනය ගැන මෙහෙ පුවත් පත් වල නම් හොඳ කතන්දර ගියා. ඩේවිඩ් කැමරන් දුෂ්ට හා උදච්ච්ඡ පාලකයෙක් කියා සිතන, ලාංකිකයෙකු ටෝනි ගැන නම් එහෙම සිතන එකක් නැහැ. හැබැයි මේ දෙදෙනාම ලංකාව වැනි රටක් දෙස බලන විදිහ පමණක් නොවේ සිතන අයුරෙත් කිසි වෙනසක් තියනවා යයි මා සිතන්නේ නැහැ.

එතකොට එක අයෙක් එතරම් මිත්‍රශීලි වන්නත් අනෙකා දුෂ්ට වන්නත් හේතුව ඔබ හිතුවාද ?ටෝනි ගැන සමහර වෙලාවට ලියන්නේ සංක්‍රමණික විරෝධී කියලා. ඕස්ට්‍රේලියාවේ කුසලතා සංක්‍රමණික ප්‍රතිපත්ති “එදා වේල් ප්‍රතිපත්ති” නොවේ. මෙහෙ දිගුකාලින ශ්‍රමික අවශ්‍යතා ඒ සඳහා සැලකිල්ලට ගන්නා බවට සැක කරන්න කාරනා නැහැ. අවුරුදු පතා ඉලක්ක කරන සංවර්ධන වේගයන් පවත්වාගෙන යන්න දේශීය ශ්‍රමිකයන් හා ජනගහන වර්ධන වේගයන් ප්‍රමාණවත් නැහැ.

ටෝනිල තදින් ඉන්නේ නොකකපු ගල් ගන්න. තමන්ගේ මුදලින් හෝ රජයේ මුදලින් හෝ ඉගෙන ගත්තු, කුසලතා තියන කට්ටිය මෙයාල එපා කියන්නේ නැහැ. එයිට පිටින් ඔය බෝට්ටු වල නොවේ, ගුවනින් ආවත් ඔයාලගෙන් අපට වැඩක් නැතිය කියන එකයි මේ කියන්නේ. අපේ රටවල් වල මානුෂික අයිතිවාසිකම් රැකෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනවාද? කියන ඒවා ටෝනිලාට මහා ප්‍රශ්න නොවේ. ඒ අතරේ රටේ ඉන්න මහා ධන කුවේරයට අවුරුදු දහයක බදු සහන ලැබිල බිස්නස් එකකුත් කර ගන්න උදවු වෙන්න පුළුවන් නම් මොකටද නිකම් ඉන්නේ?

මෙතනම ඔහුගේ මැති වරණ පොරොන්දු දෙකක් තියනවා. එකක් තමයි බෝට්ටු වලින් එන සරණාගතයන් බින්දුවටම නැවැත්වීම. අනෙක තමා හැකි ඉක්මනින් අයවැය හිඟය පියවා, එය අතිරික්තයක් බවට පත් කිරීම. පත්තර කාරයන් මොනවා ලියුවත්, රටේ චන්ද දායකයන් ඔහුව ඊළඟ මැතිවරණයේදී, කිරා බලන්නේ කලින් දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියන විදිහෙන්.

මේ පොරොන්දු දෙකම අයහපත් ඒවා කියල මා හිතන්නේ නැහැ. ඒ දෙකට ඉටු කර ගන්න යන මාර්ගය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් චන්දය දෙන කෙනෙකුට, ලංකාවෙන් බෝට්ටු නොඑන්නේ, එහි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීම හා ආර්ථිකය සමුර්ධිමත් වීම හින්දද, පැකර්ගේ ආදායම් වැඩි වීම මගින්, ඕස්ට්‍රේලියානු ආදායමට තව සොච්චමක් හෝ එකතු වන්නේ, ලංකාවට බදු ගෙවලද නැත්නම් දස අවුරුදු බදු සහනයක් අරගෙනද කියන ප්‍රශ්න නැගෙනවා කියල හිතන්න අමාරුයි. මෙවැනි දේවල් ඔය සාමාන්‍ය ඒකීය පුද්ගලයා හිතන දේවල්ද නොවේ. එතකොට කන්න අඬ ගහපුවම, කාලා එන්නේ නැතිව, නිකම් ගෝෂා කරලා, ඒ රටේ මිනිසුන්ව තරහා කර ගන්නෙත් නැතිව, තමන්ගේ චන්ද පොරොන්දුත් ඉෂ්ට කර ගන්න තියනවා නම්, කොතරම් හොඳද? වින්-වින් සිටුවේෂන් කියන්නේ පුතේ මෙන්න මේවට. ඒකනේ අතර අයියල ඊ මේල් එවුවහම අප ඒ විදිහටම ක්‍රියා කරන්නේ. 

ඒ  කෙසේ වෙතත්, සම්භාධක වල තත්වය නම් ඉරානයට දැනිලා වගේ. අපේ වැනි කුඩා රටවල් විතරක් නොවේ, තෙල් වැනි සම්පත් බහුලව තියන ඉරානයට හෝ ඉරාකයට, තමන්ගේ ඕනෑ කම් මතම ක්‍රියා කරන්න බැරිවීම ඇත්තටම අර කලින් කියුව රටවල් වලට මිතුරන් නොමැති වීමේ එක ප්‍රතිඵලයක් විතරක් නොවේ, අර අනෙක් රටවල් වල ඉන්ටෙරෙස්ට් කියන ඒවා හරියට කළමනාකරණය නොකර ගැනීමේ ඵලයක් කියා සරලව කියන්න පුළුවන්.

කුඩා රටවල් වලට රට අභ්‍යන්තරයේ දේශපාලනයේදී විතරක් නොවේ වෙනත් රාජ්‍යයන් හා ගනු දෙනුවලදිත්  හොඳට චන්ඩි වෙන්න ඕනේ හැටියේ පුළුවන්. හැබැයි මේ චන්ඩිකම් වලින් රට තුල ඉන්න ජනතාවට ඇතිවන අවසාන ඵලය නම්, යහපත් කියා පෙන්නුම් කරන්නේ නැහැ.  ඒ කිසිම වෙලාවක, කලින් දිව ගාගෙන හිටිය මිතුරන් සහයට එන්නේ නැහැ. මොකද ඔවුන් සේරටම තමන්ගේ අවශ්‍යතා වල ප්‍රමුඛතා තියනවා. අධිරාජ්‍ය විරෝධය, ඒකාධිපති  සමාජ වාදය, බටහිර විරෝධය කියන මේ සියලු දේවල් වලින් සාමාන්‍ය ජනයාගේ ජිවන තත්වය තවත් පහල යනවා නම්, එවැනි දේවල් වලින් තියන වැඩේ මොකක්ද?

මේවා ඒකීය පුද්ගලයාට වැදගත් වන්නේ ඉස්සර අපට ඉගෙන ගන්න තිබුන ඉතිහාස විෂයට (සරසවියේදී) විභාගේ ලියන විට වගේ  කලාතුරකින් වෙන්න පුළුවන්. මොකද කියනවා නම්, මේ සියල්ල තීරණය වන්නේ අපට අත පොවන්න බැරි, වෙනත් බලවේග වල සංකලනයකින් නිසා. ඒකීය පුද්ගලයා එම බලවේග අතරේ ඉතා කුඩා ඒකකයක් පමණයි. එය ඇත්තටම බලවේගයක් වන්නේ එකම විදිහට හිතන ඒකීය පුද්ගලයන් විශාල ගණනකගේ එකතුවකින්. 

14 Comments

Filed under Opinion