කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන, දින දින ඇයි හමු වන්නේ?


මේ සිංහල බ්ලොග් වල හරියට කරක් ගැහුවොත් හරි අපූරු දේවල් තමා කියවන්න ලැබෙන්නේ. අර සහන් දාපු කොමෙන්ටුව නිසාත්, තව සහුර්දයෙකුගේ දුරකතන ඇමතුමක් නිසාත්, ලිවිම නවත්වා මා වෙනදා නොකියවන සමහර සටහන් කියෙව්වා. ඒවා කියවන්න කියවන්න, මට තේරුණ දෙයක් තමා දෙයක් තමා මගේ බ්ලොගය සාර්ථක ගොඩට දමා ගැනීමට නම්, මා දැනට අනුගමනය කරන පිළිවෙත වෙනස් කළ යුතුයි කියන එක.

අප සාර්ථක කියලා හඳුන්වන උදවිය මේ සිංහල බ්ලොග් තියා මොනම දෙයක් වත් ලියන්නේ නැහැ. මොකද ඔවුනට ඒවාට වෙලාවක් නැහැ. මා මේ කියන්නේ සාර්ථක ලේඛකයන් නොවේ. වෙනත් රැකියා කරන “සාර්ථක” මිනිසුන්. මා සමහර වෙලාවට මේ බ්ලොග් බලන්නේ අනුන්ගේ අදහස් දැන ගැනීමට. වෙලාවකට ඒවා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ජිවිතයේ අපට තේරීම් කරන්න වෙන විට, අනුන්ගේ අත්දැකීම් කියවීම ප්‍රයෝජනවත්.

තුන් වන, දෙවන (දැන් නොමැති) හෝ පළමු වන ලෝකයේ කොයි රටක ජිවත් වුනත් අප මුහුණ දෙන ප්‍රශ්න වල සමාන කමක් තියනවා. හැබැයි ඒවාට මුහුණ දෙන්න අවශ්‍ය විදිහ එකිනෙකට වෙනස්. මා ගොඩක් වෙලාවට ලියන්න බලාපොරොත්තු වුනේ සිංහල කියවන ලෝකේ ඉන්න සියලුම දෙනා සඳහා.

එය සාර්ථක කර ගන්න අමාරුයි. මොකද අර කියපු වෙනස් කම් නිසා. මා ධනපති ව්‍යාපාරිකයෙකු නොවේ. නමුත් මා සුර්යාලෝකයෙන් විදුලි බලය ලබාගැනීම ගැන ලියුවොත්, එය කෙනෙකුට සුඛෝපභෝගී කටයුත්තක් ලෙස පෙනෙන්න පුළුවන්. මොකද ලෝකයේ සියලුම ප්‍රදේශ වල එම තාක්ෂණයේ මිල හා වියදම් කිරීමේ හැකියාව අතර පරතරය එක සමාන නොවන නිසා.

උදාහරණයකට, කෑම බිම ගැන ලියුවත් මේ ප්‍රශ්නය එනවා. හැබැයි මේ හැම අවස්තාවකදීම සියලු දෙනාට පොදු දෙයක් තියනවා. එනම් භාවිතාව නැත්නම් තමන්ගේ වටා පිටාව අනුව යොදා ගන්න ආකාරය.

විනාඩි තිහකදී ව්‍යංජන තුනක් හදා ගන්න පුළුවන්කම හදා ගන්න මස් ම උයන්න අවශ්‍ය නැහැ. මගේ බ්ලොගය වගේ එක ව්‍යංජනයකට පතොලත්, අනික් දෙකට මුකුණු වැන්නත්, වේලිච්ච හාල්මැස්සොත් ගන්න පුළුවන්. වැදගත් වන්නේ මේ තුන මහා කාලයක් නොගෙන සරි කර ගන්නේ කොහොමද කියන එක. නැතුව ඔය බැටළු මස් හොයන එක හෝ එම බැටළු මස් කන්න විස්කි හොයන එක නොවේ. හාල් මැස්සන් හා කසිප්පු වඩියකින් ජාමේ බේරා ගන්න පුළුවන්.

අපේ මුළු ජිවිතයම කියන්නේ මෙහෙම ඉගෙන ගත්තු දේ හා අප කලින් ලබා ගත්තු  අත්දැකීම් අලුත් පරිසර වලට ගලපා ගැනීම. මගේ ලිවීමේ අත්දැකීම් (මේ වසර දෙකහමාර තුල) මේ බ්ලොග් ලෝකයට ගලපා ගන්න බැරිවීම, මගේ අසාර්ථක බව කියා පානවා.  එය හොඳ දෙයක් නම් නොවේ. පරිසරයට අනුවර්තනය  වන්න නොහැකි සතුන්ගේ නියත ඉරණම වඳවී යාමයි.

Advertisements

20 Comments

Filed under Lifestyle, Opinion

20 responses to “කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන, දින දින ඇයි හමු වන්නේ?

  1. //මා දැනට අනුගමනය කරන පිළිවෙත වෙනස් කළ යුතුයි කියන එක.///

    රයිගම් ලියන මාතෘකා වෙනස් කරන්න ඕන කියන එකද මේ කියන්න උත්සාහ කරන්නේ?

    • මට උඹ කියන්න හදන දේ ගැන ලා අදහසක් (a vague idea) තියෙනවා. නමුත් හරියටම ඒකමද කියන්න බැරි නිසා මේ කමෙන්ට් වලට උඹ කරන පැහැදිළි කිරීම මුලින්ම කියවලා බලන එක හොඳයි කියලා හිතුනා.

      උඹ අර කියෙව්වයි කිව්ව පෝස්ට් එකක් දෙකක්වත් අපිට කියාපංකෝ අදහසක් ගන්නවත්.

    • මෙතන ලොකු දෙයක් නැහැ මචංලා. අනුන්ගේ සටහන් මා කියවන්නේ අඩුවෙන් කියා දැනුනේ එක සිද්දියක් වෙනෙකෙකු විසින් මට කියුව නිසා. එතැනදී එක සටහනක් හෝ දෙකක් කියා වර්ගිකාරණය කරන්න බැහැ. මා කියන්නේ පොදුවේ සිංහල බ්ලොග් ගැනයි. මා නිතර කියවන කුඩා නියැදිය නොවේ.

      දේශපාලනයේදී උවත්, දිගින් දිගටම අසාර්ථක වීම, ජනතාව පිටම පටවලා, මේ හරක්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියල අත පිසදා ගැනීම තමා පහසු මාර්ගය. නමුත් අවුරුදු හතළිහක් පනහක් ඒ දේ වෙනවා නම්, අලුතින් කල්පනා කරන්න අවශ්‍යයි.

      පාසලේ විෂයකින් දිගින් දිගටම අසාර්ථක නම්, ඒ දරුවාට උගන්වන ආකාරයේ වෙනසක් අවශ්‍යයි.

      අපේ එදිනෙදා ජීවිතයත් මේ වගේ. යම් දෙයක් අසාර්ථක නම්, ක්‍රියා කරන ආකාරයේ වෙනසක් අවශ්‍යයි. නොකියවන සටහන් ප්‍රකාශයට පත් කිරීමෙන් ඇති සුගතියක් නැහැ කියන එකයි මා අදහස් කළේ. බ්ලොග් ලිවිය යුත්තේ, ඒවා කියවන පිරිසට මිස, නොකියවන අනෙක් මිනිසුන් ගැන සිතේ තබාගෙන නොවේ. එසේ කරන්න නම්, මෙයට වඩා මාත් කියවන්න ඕනේ. එය ඒ ආකාරයෙන් කරන්න පුළුවන් කියා මා සිතන්නේ නැහැ.

  2. රයිගමට කැමතිදේ ලීවා නම් හරි. ඔය ලියන විදිය හන්දනේ රයිගමව අපි අඳුන ගන්නේ. ඒක වෙනස් කලොත්, කිසිම වැඩක් නෑ… 😀

    • එහෙම ඒවා තමයි මා ලියන්නේ ප්‍රවීනා. හැබැයි ඒ සේරම ඔබලාට කියවන්න ලැබෙන්නේ නැහැ. මා සිතනවා අනාගතයේ ඔබ හා මා මේ බ්ලොග් ලෝකයේ සිටියොත් ඒවායින් සමහරක් වත් මා පළ කරාවි.

      අර කියමනක් තියනවානේ when the feelings are mutual, එතන කනගාටු වන්න දෙයක් නැහැ කියල. අනික් අයට මා ලියන දේවල් කියවන්න බැරි, ඒ අය ලියන දේවලුත් මට කියවන්න බැරි නිසා මයි. මෙය නිතර කියවන්නෙත්, මා නිතර කියවන ටික දෙනා විතරයි. මේක සමහරවිට “පෞද්ගලික” එනම් මිතුරන් අතරේ පමණයි කලොත්, මා දිනපතා ලියන සියල්ල (දිනපොත) පළ කරන්න පුළුවන් කියා සිතනවා.

      පුරුදු ක්‍රමය අසාර්ථක නම් අලුත් විධි අත්හදා බලන්න ඕනේ කියන එක තමයි මා ලියුවේ. පසුගිය මාස තුන හතරක් තිස්සේ, මා මේ පළමුවන ලෝකයේ එක ආයතනයකින් වැඩක් කර ගැනීමට දාපු සියලු උත්සාහයන් එකින් එක දික් ගැස්සුනා විතරයි. පෙරේදා මා බැරිම තැන දවල් දොළහට ඊමේල් දෙකක් තැන් දෙකකට යැවුවා. වෙනදා උත්තරය මොකක්ද කියල දැන ගන්නත් සති දෙකක් විතර යනවා. හැබැයි එදා හවස පහ වන විට මාස ගානක් අවශ්‍යයි කියපු වැඩේ කෙරිලත් ඉවරයි. ඔන්න Déjà vu නේද?

  3. පෞද්ගලික කරන එකට තරයේ විරුද්ධයි. කමෙන්ට් නොකලත් ඇවිත්, මෙය කියවන අයට මොකද වෙන්නේ?

    මම ඔයාගේ යාලුවෙක් නේද? 🙂

    • දිගින් දිගටම අසාර්ථක වෙලත්, පවත්වාගෙන යන ජිවන විලාසිතා, සම්බන්දතා, අයහපත් සෞක්‍ය පුරුදු, දේශපාලන තීරණයන් වගේ දේවල් අලුතින් හිතා වැඩ කරන්න, එනම් වෙනස් කරන්න අවස්තාව තියෙන්නේ අපේ අතේමයි. සමහරුන් ගුටි කෙල ගනිමින් මුළු ජිවිතයම ගෙවනවා. එහෙම වෙන්නේ ඇයි කියන එක තමා මා ප්‍රශ්න කරන්නේ? දිගින් දිගටම අසාර්ථක පාලන ක්‍රමයන් (ආණ්ඩු) ගැන ප්‍රශ්න කරන්න පෙර අපට මේවා ගැන සිතන්න පුළුවන්.

      අප ලියන බ්ලොග් වුනත් එහෙමයි. මෙය පටන් ගැන්මේ සිටි කියවන පිරිස් අද නොමැති බව විතරක් මට පැහැදිලි කරුණක්. නොදන්නා කියවන්නන් ගැන මා වෙහෙසෙන්නේ නැහැ ප්‍රවීනා. කියවන්නේ නැති දේවල් ප්‍රසිද්දියේ ලියා පළ කරන්න වෙහෙසෙන එක නිරර්ථකයි. මොකද යමක් ලියා පළ කරන්න කාලයක් වැය වන නිසා. නිකම් තමන්ට ලියන දේවල් වලට එහෙම වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඕනෙම විදිහකට, දන්නා එක භාෂාවකින් හෝ කලවමේ හෝ, ව්‍යාකරණ හෝ නණ ලළ ගැන වෙහෙසෙන්නේ නැතිව ලියන්න පුළුවන්. මා සිතන දේවල් ලිවිම අන් අයට වඩා මටම ප්‍රයෝජනවත් කියන එක මට පැහැදිලි වුනේ, මේ බ්ලොගය පටන් ගැනීමෙන් පසු. මෙය දැනටමත් පෞද්ගලික වෙලා ඉවරයි. එහෙත් ” ප්‍රසිද්ද” සටහන් නතර කරන්නේ නැහැ. 🙂

  4. රයිගම් මේ බ්ලොග් එකේ සාර්ථකත්වය මනින්නේ කොහොමද..? 🙂 වෙනස් දේවල් අත්හදාබලන එකනම් හොඳයි… දැනටමත් මේකේ තියෙන හොඳ දේවල් නැතිවෙන්නේ නැතිනම්… 🙂

    //නිකම් තමන්ට ලියන දේවල් වලට එහෙම වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඕනෙම විදිහකට, දන්නා එක භාෂාවකින් හෝ කලවමේ හෝ, ව්‍යාකරණ හෝ නණ ලළ ගැන වෙහෙසෙන්නේ නැතිව ලියන්න පුළුවන්. //

    ඉතිං ඒ විදියට ලියන්න බැරි හේතුව මොකද්ද..? රයිගම් කියන්නේ අන්වර්ථ නාමයක්… “තමන්ට ලියන දේවල්” කියලා බ්ලොග් හෙඩිමේ දැම්මානං හරි… මමනං එහෙම ලිව්වත් කියවනවා… මෙහෙම ලිව්වත් කියවනවා 😀 ඇහැක් විදියට කමෙන්ටුත් කොටනවා… තමන්ට ලිව්වත් ඒවා කියවන වෙනකෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්… අනුන්ගේ අත්දැකීම් කියවීම ප්‍රයෝජනවත් කියලා රයිගම්මයි කිව්වේ…

    • මෙහෙමයි බිට්ල්, මා ලියන දේවල් වලින් කොටසක් කවදත් ප්‍රයිවෙට් ගොඩට ගියා. ඒ කොටස විශාල වෙත්දී, පබ්ලික් කොටස කුඩා වුනා. භාෂාව ප්‍රසිද්දියේ භාවිතා කරන විට අප ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. එය නොවේ ප්‍රධාන කරුණ. මා ඒ ගැන වැඩිදුර ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මෙය ලියන්නේ කොහොමත්, වෙනත් වැඩක යෙදෙන ගමන්.

      මා මිට වසර කිහිපයකට කලින්, සමලිංගික විවාහ ගැන සිතුවේ වෙනස් අයුරකින්. අද මා එම විවාහ වලට ඉඩ දිය යුතුයි කියන මතයේ පමණක් නොවේ, ඔවුනට දරුවන් හදා ගන්න ඉඩ දෙන්න ඕනේ කියන මතයේත් ඉන්නවා. අන්න ඒ වගේ අපේ මතාන්තර කාලයත් සමග වෙනස් වෙනවා. දිනපොතකින් මා බලාපොරොත්තු වන්නේ එවැනි වෙනස්කම් ගැන නැවත සිතීමයි. ලංකාවේ දෙමල ජනතාවට අසමමිතික ලෙස බලය බෙදා දිය යුතු බවත් මා සිතනවා. හැබැයි මේ මතයන් දෙකේදී මට දෙවෙනි එක සඳහා මොකුත් කරන්න බැහැ. හැබැයි පළමු කරුනේදී මෙහෙ මැතිවරණයකදී මගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අප හිතන සියලු දේවල් අනුන්ට කීමෙන්, ලොකු ප්‍රතිඵලයක් නැහැ.

      (රයිගම් කියන්නේ අන්වර්ථ නාමයක් වුවත්, මා ගැන දන්නා කෙනෙකුට, මේ කවුද කියල හොයා ගන්න අවශ්‍ය කරුණු ඕනෙවටත් වඩා මෙහි ලියා තියනවා. එයයි වෙනස 😦 ).

      • රයිගම්,
        ඔබ නෙමෙයි මා වුනත් කලින් හිටියේ සමලිංගික සම්බන්දතා ගැන ඔය කියන අදහසේ. ඒත් අද වෙද්දි මට තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක්. මම ඒක කියන්න බය වෙන්නේ නෑ. අපි කාලයත් එක්ක අපේ මැචුරිටි එකත් එක්ක එක එක දේවල් දිහා බලන විදිහ වෙනස් වෙනවා. සිවිලයිස් වෙනවා.
        අපි සමහර දේවල් වලට අපි අකැමැති නිසාම අනෙකාගේ ඒ වෙනුවෙන් තියෙන අයිතියට ගරහනවා. ඒක කොයි තරම් නම් වැරදියිද? ඉතින් අපි එකා දෙන්න හරි ඒ වෙනුවෙන් කතා නොකලොත් අපේ අයිතිවාසිකම් වලටත් කතා කරන්න කෙනෙක් නැති වෙයි. ඒක වියයුතුයිද?

  5. බ්ලොග් හරහා අප සියලු දෙනාම කරන්නේ අපේ මනෝ භාවයන් ලොවට මුදා හරින එකනේ රයිගම්. ඒ වගේම ඒවා අහුලගන්නෙත් විවිධ මනෝභාවයන්ගෙන් පිරි අයමනේ..ඒ අනුව විවිධාකාර මති මතාන්තර අපට ලබා දුන්නත් ලැබෙන කාලවේලාව අනුව අපි අපේ ගමන යනවා. මේ ටික නේද මේ වෙන්නේ එදත් අදත්.

    • අන්න හරි නලින්, සමාජ ජාල කියන්නේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ අදහස් කියන තැන්. ඉස්සර එවැනි හැකියාවක් තිබුනේ ඔබ වැනි ජනමාධ්‍ය වෘත්තියේ නියැති හා සිවිල් බලයක් තිබුන අනෙක් වෘත්තීන් වලට අයිති කට්ටියට පමණයි. අද ඕනෙම (සීමාවන් තියනවා තමයි) කෙනෙකුට පුළුවන්. මේ බ්ලොග් වල සමහර වෙලාවට ගරහනවනේ, අනේ බොල උඹට ලියන්න බැහැ, මොනාද බං ඔය ලියන්නේ? ආදී වශයෙන්. මේවා විකාර කතා. ඒ තමයි අප අතර ජිවත් වන සාමාන්‍ය ජනතාව. ඔවුනට මාධ්‍යයක් හදල දුන්න එක තමයි මේ සමාජ ජාල කෙරුවේ. ඒවාට අපට කැමති වෙන්න හෝ අකමැති වෙන්න පුළුවන්. එය ඔය කියන “ඒකීය පුද්ගලයාගේ” කැමැත්ත.

  6. මේක ගැන රයිගම්ගේ කලින් සටහනකට මම කලිනුත් කියලා තියෙනවා යමක්.

    ඇයි අපි මේ තරම් අපිව කියවන මිනිස්සු ගැන වද වෙන්නේ? කියවන අය කියවයි. ඉතින් ඔබව කියවන අයට අසාධාරනයක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද ඔබ නොලියාම හිටියම. මම නම් බොහෝ බ්ලොග් කියවනවා කියලා ඒ අයට දැනගන්න ලැබෙන එකක්වත් නෑ. ඉඳලා හිටලා කට කහනවට යමක් ප්‍රතිචාර විදියට සටහන් කලොත් මිසක්. (මම බ්ලොග් කියවන්නේ රීඩර් එකෙන්. )
    මමත් ඉඳලා හිටලා ලියන වල්පල් තියෙන බ්ලොග් එකේ කවුරු කියෙව්වද කවුරු නොකීව්වාද කියලා මට අවුලක් නෑ. මම ලියන්නේ මට ලියන්න ඕනේ දේ. මගෙ ආදහස්. මට හරියි කියලා හිතෙන දේ.නැත්නම් මගේ වටේ එදිනේදා ජීවිතේ. සමහර වෙලාවට ඒවා කිසි කෙනෙකුට වැඩක් නෑ. (මටවත් වැඩක් නැතිකොට වෙන කාටවත් වැඩක් වෙන්නේ නෑනේ.) අනික අපේ අදහස් කියවලා ලෝකයා ඒක පිළිගන්නම ඕනේ කියන තර්කයක් නෑ නේ. සමහරවිට ඔබගේ සටහන් එක්ක පරස්පර අදහස් අපිට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ එක්ක එකඟ වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ඔබට ප්‍රතිචාර දක්වන්න අපිට කාලයක් නෑ. නැත්නම් උවමනාවක් නෑ. ඒක හින්දාම ඔබ ලියන එක නතර කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒක අසාධාරනයි කියලායි මම හිතන්නේ.
    ඔබ දන්නවද මීට අවුරුදු දහයකට කලින් මම සිංහල වචනයක්වත් ලියන්න හීන මවපු කෙනෙක්වත් නෙමෙයි. මට හරියට කියවගන්නවත් පුළුවන්කමක් තිබුනේ නෑ. අමාරුවෙන් කියවගත්තත් තේරුම දැනගෙන හිටියේ ආවා ගියා වගේ බොහොම සාමාන්‍යය වචන වල. කතා කිරීමේත් ලොකු අවුලක් තිබුනා. ඒත් ඒ අතීතය දිහා බලද්දි දැන් මට මම ගැනම පුදුමයි. අපිට මේ අවකාශ වලින් අපි නොහිතන දේවල් ලබා ගන්න පුළුවන්. කොටින්ම මට දැන් ලංකාවේ අධ්‍යාපනය නොකලයි කියලා අඩුවක් දැනෙන්නේ නෑ. සමහරවිට ලංකාවේ රැකියාවක් කරන්න උනත් දැන් මට සුදුසුකම් ඇති. ඒ මේ කියවීම හා ලිවීම හින්දමයි. මාව පෞද්ගලිකව දන්න බොහෝ අය මම කතා කරන ලියන කියන සිංහල අහලා මේ නම් ඔයා කියලා කීයටවත් හිතන්න බෑ කියද්දි මට දැනෙන්නේ ඉමහත් සතුටක්. ඒත් ඒකට මේ ඔබ වගේ තව බොහෝ අය ලියපු සටහන් උදව් වුනා කියලත් කියන්නම ඕනේ.
    ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද ඔබේ තීරණය අසාධාරණයි කියලා.
    කොමන්ට් එක දිග වුනා. ඒත් ආපහු ඔබට මෙය කියන්න අදහසකුත් නෑ. ඔබේ ලිවීම ගැන තීරණය කරන්න ඕනෙ ඔබ වුනාට අපිටත් අයිතියක් තියෙනවා කොමන්ට් නොකර පැනලා යන්න හෝ ඔබට නොදැනෙන්න ඔබව කියවන්න.
    ආයෙත් සමාවෙන්න.

    • නැහැ රංගි මා කියුවේ දැනටම මා කරන දෙයක්. මේ බ්ලොගයට අමුතුවෙන් වෙන්න යන දෙයක් නොවේ. දිනපතා මට සටහනක් දාන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. දැනට ප්‍රකාශයට පත්කරන ගාණත් මා අඩු කරනවා. ප්‍රකාශයට පත් කරන ඒවා කියවන පිරිසක් මට අවශ්‍යයි. එම පිරිස කුඩා වෙමින් යන නිසා, මාත් හිතුවා කුඩා වෙන්න. එහෙම තමා කරන්නත් ඕනේ. මෙතන ලියනවාට අමතරව මා ලියන තව දේවල් තියනවා. ලිවිම ඔබ කියන්නා වගේම, ජිවිතයේ වැදගත් කාර්යයක්. එය මනුෂ්‍ය ශිෂ්ටාචාරය වෙනස් කරපු එක දෙයක්.

  7. /////එම පිරිස කුඩා වෙමින් යන නිසා, මාත් හිතුවා කුඩා වෙන්න. එහෙම තමා කරන්නත් ඕනේ. ////////

    මෙහෙම කරොත් කියවන පිරිස තව කුඩා වෙනවා නේද රයිගම්? මම තර්කයක් ලෙස සිතා මේ ප්‍රශ්ණය අහන්නේ.

    • මෙහෙමයි මචං. කවදත් බලන උඹලා බලනවා. අනික පොස්ට් අඩු ගානකින් වුනත්, මට කියන්න අවශ්‍ය දේවල් ලියන්න පුළුවන්. මෙය අර කෝස්ට්-බෙනිෆිට් ඇනලයිසිස් වලට අනුව, යොදවන කාලය හා කියවන පාඨක පිරිස අතර ප්‍රශස්තයට ලඟා වීමට උත්සහ කිරීමක්.

  8. Anonymous

    If u try to change the way you write, there is no raigam anymore. It will be a somebody. People are build within framework base on where they born how they grown up and what they formally and informally learned. U can be flexible to adopt new things but u can’t ever escape or break your frame. If u do there won’t be u anymore. Or I haven’t Understand what u try to tell 🙂

    • It is very nice to see that people like you are reading this stuff. I am not going to change myself at all. I agree with you that there is no raigam anywhere else in this world {may be anywhere else in this universe (which is yet to be proven of course)}. That’s the main reason why I write (and maybe that’s why my writings are so boring 🙂 ). As I can see, my readership is declining; accordingly, my motivation too. I want to make this exercise more sustainable. That’s why I am going to reduce the frequency of publishing my posts. It is kind of optimisation of time I spend to get the same (or nearly the same) outcome. Let’s see how it goes!

  9. Kenji @ Japan

    >>මට තේරුණ දෙයක් තමා දෙයක් තමා මගේ බ්ලොගය සාර්ථක ගොඩට දමා ගැනීමට නම්, මා දැනට අනුගමනය කරන පිළිවෙත වෙනස් කළ යුතුයි කියන එක.<<
    මා ඔබේ ලිපි තමයි මුලිනම් කියවල කොමන්ට් කලෙත්.
    අනිත් ලිපි කියවන්න පටන් ගැනුනෙත් ඔබේ ලිපි මට රසවත් වුන නිසා.
    ඔබගේ සමහර පරණ ලිපිත් කියෙව්වා නිදහස් තිබෙන වෙලාවට.
    ඔබගේ ලිපියක් ලගදි නැති හින්ද මාතලන්ගේ සින්ඩියේ බලද්දී තමයි දැක්කේ දැන්.
    ඔබ මොනවා කියනවද මන්ද රයිගම.
    දිගට හරි කෙටියට හරි ලියාගෙන ආපු විදියට එන්න.
    ඉට්ටයිල් එක මාරු කොරන්න ඕනෙම නම් මගේ 'ය' යන්න දෙන්නම් 🙂 :).

    • බුදු සර්, ය යනු නම් පළාතකට ගෙන්න එපා!
      ඉස්ටයිල් මොකුත් හෝ ලියන දේවල් මොකුත් හෝ මාරු වෙන්නේ නැහැ. කන්ද මාරු වෙන්නෙත් නැහැ, සතාගේ පුල්ලි මාරු වෙන්නෙත් නැහැ. ලියන එක අඩු වෙනවා විතරයි.
      මේ බ්ලොගයේ තිරසාර පැවැත්මට ඔබගේ දායකත්වය ඉතා ඉහලයි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s