Monthly Archives: December 2013

Change is the only constant in life!


මගේ කලින් සටහනක , අර අවසාන කොමෙන්ටුවේ එක දෙයකට මා වැඩියෙන් කැමතියි. ඒ කියන්නේ අප මේ කියන ඒකීය පුද්ගලයා හැදිලා තියෙන්නේ, ජීවිතය පුරා ලබන විධිමත් හා විධිමත් නොවන ඉගෙන ගැනීම් තුලින්. මෙතැනදී කියන විධිමත් නොවන ඉගෙන ගැනීම් පිළිබඳව තමා මා වැඩිපුර ලියන්නේ.

අප ජිවිතයේ කරන විශාලම ආයෝජනය අර කලින් කියපු විධිමත් අධ්‍යාපනය. ඔන්න බලන්න සරසවි නොගියත්, පාසල් කාලයටම අප ජිවිතයෙන් කොතරම් කොටසක් ගත කරලා තියනවාද? ඉන් පස්සේ සහතික, ගුරු පුහුණු, උපාධි,මොටර්කාර්මික, කෘෂිකාර්මික  හා වඩු කාර්මික, ඉවීම් හා හෝටල් කළමනාකරණ, සහතික නැති තවත් පුහුණු වීම් ආදී වශයෙන් අප විධිමත් අධ්‍යාපනයට ගත කරපු කාලය ගත්තොත්, එය ජිවිතයෙන් විශාල කොටසක්.

එය ටිකක් කල්පනා කලොත් මිසක් අපට දැනෙන්නේ නැහැ. ඔය කියන විධිමත් එනම් යම් රාමුවක ලබන අධ්‍යාපනයට අමතරව, විධිමත් නොවන ආකාරට කරන ඉගෙන ගැනීම් සඳහා තවත් කාලයක් ගත කරනවා. එතකොට අර  ලංකාවේ කහට කෝප්පෙට සීනී දැම්මම, කහට දාන්න වෙන්නේ වෙනත් කොප්පෙකට වගේ, ජිවිතයේ අනෙකුත් දේවල් කරන්න වෙන්නේ ලබන ආත්මෙද කියා හිතෙන්න පුළුවන්. හැබැයි මේ ඉගෙනීම අතරේ අප ජිවත් වෙනවා. ඒ කියන්නේ අනෙකුත් වැඩ කරන්නේ ඉගෙන ගන්නා හා ඒ ඉගෙනීම් ප්‍රයෝජනයට ගන්නා අතරේ.

බටහිර අධ්‍යාපනයට ගැරෙහුවත්, එයට විකල්පය කියා දෙයක් ඉදිරිපත් නොකරන ගමන් අනුන්ගේ දරුවනට හේන් කැපිල්ලට දක්කන අතරේ, තමන්ගේ දරුවන්ට, ඒ ගරහන අධ්‍යාපනයම දෙන, තමනුත් ඒ අධ්‍යාපනයෙන්ම ජීවිකාව ගෙවන, ජාතිවාදී, ආගම්වාදී  උපතින්ම ඇති ආබාධයක්  හෝ පසුකලෙක ඇතිවුන ආබාධ නිසා හෝ කිසි දෙයක් ඉගෙන නොගත් නිසා, හරක් ක්‍රියා කරන පිරිස් අද වැඩි වෙලා නොවේ. හැබැයි මේ අය අද කැපිලා පේනවා. ඒ කැපිල පේන්නෙත් ඒ අයම ගරහන අප ලබා ගත්ත දියුණුවේ මෙවලම් තුලින්. මොවුනට ආකර්ෂණය වැඩියි.

කුඩා සමාජ වලදී, පෙනී ඉන්න මනුස්සයන්ම තමා විශාල සමාජ ජාල වලත් ඉන්නේ. කුඩා හෝ වැඩිහිටි හෝ  දරුවන්, දෙමාපියන්ගේ වරදවල් වලට දඬුවම් විඳිය යුතු නැහැ කියන එක කියන්න වත් අවශ්‍ය කරුණක් නොවේ. ඒ විතරක් නොවේ, මොනයම් වැඩිහිටියෙක් වුවත්, තමන්ගේ ඥාතියෙක් හෝ යාලුවෙක් කරපු වරදකට දඬුවම් ලැබිය යුතු නැහැ. මේ විධිමත් අධ්‍යාපනයේ ඉතා උසස් සහතික තියන අයත්, ලිබරල් මත තියනවා යයි කියන අයත් හා ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන අයත් , ඇත්ත ජීවිතයේදී වෙනස් පිරිස් බවට පත්වෙන හැටි අපට මේ වසරේදීත් දකින්නට ලැබුනා. 

අර  මා කලින් කියපු කොමෙන්ටුවේ තියන අනික් කරුණ නම්, අප සියපු දෙනාම, කිසියම් ආකාරයකින් අසමසමයි කියන එක. අප එකිනෙකා සමග  සැසඳීම් එතරම් ප්‍රතිඵලදායක නැහැ. අප ඔය සමහර වෙලාවට කියනවානේ, අරයා වගේ ලියන්න, නැත්නම් අර වගේ ලියන්න කියා. එහෙම අවශ්‍ය නැහැ. මෙහෙම යෝජනා කරන්න පුළුවන්.

හැබැයි, සැසඳීම් පවා අවශ්‍ය අවස්ථා තියනවා. මා අද බලල ඉවර කරපු, ගුණ දොස් කියන්න බාර ගත් ලිපියත්, මෙවැනි අසාර්ථක සැසඳීමක් නිසා සම්පුර්ණයෙන් කාගෙන තිබුනා. ඒ විධිමත් අධ්‍යාපනයෙන් විශ්ලේෂණය කරන්න ඉගෙන ගත් අය. එතකොට අනික් අය ගැන කවර කතාද? දකුණු  අප්‍රිකාව හා ලංකාව සසඳන්න බැහැ කියන ගමන්ම, ඒ දෙක සසඳලා අන්තිම දශම හතරට වෙනකම් උත්තරය කියනවා. යමක් සසඳලා දශමස්ථාන හතරකට වෙනකම් ගණනය කරන්න පුළුවන් නම්, එය ඉතා සියුම් ගණන් බැලීමක්. හැබැයි සසඳන්න බැරිය කියන ගමන්ම, අනික් අතට දශම ගණන් වලටම උත්තර ගැනීම කියන්නේ මොන වගේ දෙයක්ද කියා ඔබම සිතන්න. මේ කියපු දේ, මේ මතක නැහැ කියන්නේ මේ වගේ දේවල් වලට.

මා සමහරවිට විවේචනය කෙරුවේ, ඔබට පමණක් නොවේ මටත් ප්‍රයෝජනයක් වේ යයි සිතන ඒවා. එහෙම නොවනවා යයි මට හැඟෙන ඒවා කියවන්න වත් මා වෙහෙසෙන්නේ නැහැ.  මේවා ගැන නැවත සිතීම, ඔබටත් මටත් එකසේ ප්‍රයෝජනවත්. අපට වෙනස් වන්න හැමදා පුළුවන්. එම වෙනස් වීම් මගින් ශිෂ්ටාචාරයේ පසු කරපු අවධි වලට යලි යනවාද, නැත්නම් මේ තියන තැනිනුත් ඉදිරියට යනවාද කියන ප්‍රශ්නය තමා අප ඉදිරියේ තියෙන්නේ.

තව වසරක් ගෙවී යමින් තියනවා. පුතාගේ ද්විතියික පාසල් අවසාන සහතිකපත් උත්සවයේදී, විදුහල්පතිනිය කියුවේ මෙවන් දෙයක්. එනම් අනෙකා සමග තරඟයට යමක් කරන්න එපා, තමන්ගේ (හැකියාවන් වල) උපරිමයට ලඟා වන්න හැමවිටම උත්සාහ කරන්න කියා. පාසලෙන් ඉවත් වී ගොඩක් කලක් වන අප සියල්ලන්ටම මෙය එක සේ උපයෝගී කර ගන්න පුළුවන්.

ලබන වසර ඔබට පැතුම් ඉටුවන එකක් වේවා!

නිකම් ඉන්න එකේ අහමුද “පීචන්” ගීතයක්!

 

20 Comments

Filed under Opinion