ඔලිඳ කැලේ දඟලපු මස්සිනා ඩ්‍රොප් වෙලා! I choose you!


th

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවා වගේම, අපත් අලුතෙන් නොසිතුවොත් ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ලගී ගයා මර ගී තමයි. අපේ ජිවිතයේ ප්‍රමුඛතා සැමදා වෙනස් වෙනවා. අර කකා ලියල තිබුන වගේ, පොඩි කාලේ කිරි පිටි සමග සීනි කන්න මවපු සිහින, ඇත්තටම කරන්න පුළුවන්කම තියන කොට කරන්නේ නැත්තේ, ඒ වෙනකොට තියෙන්නේ වෙනත් ආසාවන් නිසා. අනික මගේ ප්‍රමුඛතාවයන්, ඔබටත් එසේම වෙන්නේ නැහැ.

ඒ වගේම අප සමහර දේවල් කරන්නේ කිසි අරමුණක් නැතුව. පාසල් යන විට එහි ඇත්තටම අරමුණ ගැන අප හිතන්නේ නැහැ. ඒ වගේම පාසලෙන් පසුවත් සමහර දේවල් ඉගෙන ගන්නේ කිසි අරමුණකින් නොවේ. ගොඩක් වෙලාවට විෂය මාලාවන් තෝරා ගන්නෙත් යන්නන් වාලේ. අප සමහර දේවල් වල ගැලී-ඇලී ඉන්නේ, ඒ අපගේ තේරීම් නිසා. මොකද ගැලවී යන්න පුළුවන් කම තිබුනත් එය නොකරන්නේ විශේෂ හේතු නිසයි. එහෙම දේවල් ගැන අනුන්ට දොස් පවරන එකේ කිසි තේරුමක් නැහැ.

මට එක කාලෙක බිස්නස් මැනේජර් වරයෙක් හිටියා දොස්තර කෙනෙක්. දොස්තර කියන්නේ පීඑච්ඩී නොවේ, දොස්තර, දොස්තර කෙනෙක්. දැන් එයා අවුරුදු ගානක් ඉගෙන ගෙන ඒ දෙය කරන්නේ නැතුව, පරිපාලන වැඩක් කරනවා. ඒ එයාගේ කැමැත්ත හා තේරීම. අයර්ලන්තයෙන් ආපු තරුණියක් ගිය සතියේ අපේ ආයතනයෙන් ගියේ, නව රජය යටතේ අලුත් බඳවා ගැනීම් නවතා ඇති නිසා. ඇයගේ සේවා කාලය අවසන්. ඒ වසර තුන ඇතුලත, අය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි විසා ලබා ගත්තා. ඇය පෙම්වතා ඉන්න සිඩ්නි නගරයට ගියේ, වෙන අංශයක වත් රැකියාවක් සොයන අදහසින්. ඇය ඉංග්‍රීසිත් දන්නවා. අරන් තියන උපාධි ලියන්න අවශ්‍යත් නැහැ. ඔන්න පුතේ වැඩේ හැටි (ඇයගේ පාසල් කාලය ගැන මට කියපු දෙයක්, අපටත් දේ ජා වූ නිසා වෙනම ලියන්න ඕනේ).

ගිය සතියේ මා වාර්ෂික රුධිර පරික්ෂාවේ ප්‍රතිඵල වල පිටපතක් මුද්‍රණය කරලා දෙන්න දොස්තරගෙන් ඉල්ලුවහම මිනිහා, ඇයි උඹට තව ගස් කප්පවන්න ඕනෙද කියල සිනා වෙමින් ඇසුවා. මගේ ජිවිතය රැක ගන්න ඔය ගහක් දෙකක් කැපුවට ගානක් නැහැ, ඔන්න ඕක ප්‍රින්ට් කරලා දීපන් කියා මා ඔහුට කියුවා. ගස් බේරා ගන්නත් ජිවත් වෙන්න එපාය.

ඔබ ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ නම්, බදුත් ගෙවනවා නම්, මෙවැනි පරික්ෂාවකට අවශ්‍ය මුදල දැනටමත් ගෙවලා තියෙන්නේ. අර මෙල්බර්න් වල ක්‍රේසි ජැක් අයිතිකාරයා (හිටපු) වගේ උදේට දුවන්න කලින් චෙක් කර ගත්තා නම් හොඳ නේද? දුවන්නේ නැතුව පුටු රත් කරමින් ඉන්නවා නම් කොහොමත් බලා ගන්න ඕනේ. මොකද ටීවී එක බලමින් ඉන්න විටම දෙව් ලොවින් (කලින් කරපු පව් පින් වල හැටියට තමයි)  කෝල් එකක් එන්න ඉඩ තියනවා.

අද මගේ රුධිර ප්‍රතිඵල ගත්තොත් දැනට වසර තුනකට පෙර හා සංසන්දනය කරන කොට වඩා හොඳයි. එදත් නරක නැහැ. මේ වසර තුන ඇතුලත ජිවන විලාසිතාවේ සමහර තේරීම් මා වෙනස් කළා.

අපට වෙනස් කරන්න බැරි දේවල් ගැන කොපමණ සිතුවත්, ලියුවත් ඇති සුගතියක් නම් නැහැ. ඒ වෙනුවට වෙනස් කරන්න පුළුවන් දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. රාජ්‍ය තාන්ත්‍රික ඔලොමොට්ටල කම්, විදේශ ප්‍රතිපත්තියේ ගොන් කම් විතරක් නොවේ, රටේ ආර්ථික ප්‍රතිපත්තියේ කල යුතු වෙනස්කම් ගැන මේ “ඒකීය පුද්ගලයන්ට” කළ හැකි බලපෑම සීමිතයි. ඒකීය පුද්ගලයන් විශාල ගානකට පොදු සිතිවිලි තියනවා නම්, එතැනදී බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නොවේනේ වෙන්නේ. ලාහට ගෙම්බෝ එකතු කිරීම එයට වඩා හොඳ විනෝදාංශයක්.

බලපෑමක් කල නොහැකි දේවල් වලින් මුලින් පටන් ගන්නේ නැතිව, බලපෑමක් කළ හැකි සුළු දේවල් වලින් ආරම්භය ගන්න පුළුවන්. මෙය ජිවිතයේ සියලු තේරීම් වලට අදාලයි.

(මෙය කලින් ලියා තිබුන ලද්දක් වුවත්,  මා අන්තිමට ලියුව සටහනට සම්බන්ද නිසා පළ කරන්න සිතුනා. මේ සටහන් වල නැවත නැවත කියවෙන දේවල් ඇති).

ප. ලි.

ස්ටෑන් වොර්කර් ගේ මේ ගීතය ඔබ අසා තියනවාද?

පළමු වීඩියෝව ගීතයේ නිල එකයි. දෙවන වීඩියෝව සමග ගීතයේ වචන තියනවා.

මා කලින් ප්‍රතිචාර වලට ලියුව අර පීඩක සැමියන් සමග කිසි කතාවක් නැතිව දිවි ගෙවන කාන්තාවන්,  ඔළුවට පරාල ඇන ගැහුවා යයි චෝදනා තියන මිනිසුනුත් ඇතුළුව පීඩක පාලකයන්ට ජනතාවගේ ඇති කැමැත්ත ප්‍රකාශ කරන්නේ අර ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ද? නැත්නම් අපගේ වෙනත් ගෝත්‍රික ලක්ෂණයක්ද? නැත්නම් හුදෙක් අන්‍යෝන්‍ය ප්‍රේමයක්ද?

Advertisements

12 Comments

Filed under Lifestyle, Opinion, Social

12 responses to “ඔලිඳ කැලේ දඟලපු මස්සිනා ඩ්‍රොප් වෙලා! I choose you!

  1. අපේ නම් ලේ චෙක් කරන්න යන්නේ නෑ. මොකෝ හොඳටම නරක් වෙලා ඇත්තේ. ඇයි ඉතින් ලේ රත් වෙලා නේ ඉන්නේ හැමදාම.

    • එහෙමම කියන්න එපා මාතලන්. කකා මේ දිනවල ලියන නයින් පිලිබඳ කතාවට මෙයත් අදාලයි. මා විස්තර කරන්නම්. දැන් මේ බෝ නොවන රෝග වලින් ලෙඩ වුන අයගෙන් තමා රෝහල් පිරිලා තියෙන්නේ. ලංකාව වුනත් එක්ෂේප්ෂන් නොවේ. එතකොට කන්නත් නැතිය කියන කොට එහෙම වෙන්නේ කොහොමද. කොළඹ ටිකක් ඇවිද්දොත් බලා ගන්න පුළුවන්. බඩවල් ආරපු කට්ටිය. තෙල් මන්ද මෝරපු කට්ටිය. මගේ සටහන හැම පරිසරයකටම එක ලෙස ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.

      මා කියන්නම්, දැනට කාලයකට පෙර ලංකා දීපේ දෙයියෝ සාක්කි තිරයේ ගිය කතාවක්. ඔන්න ලංකාවේ ගමක එක කාන්තාවක් රට ගිහින් ඇවිත්, උදේට ගම වටා ව්‍යායාමයට දුවනවා. ගමේ ගැටවු මේ මොන විකාරයක්ද කියලයි හිතන්නේ. එක දවසක මේ කොල්ලෝ කතා වෙලා, අර කාන්තාවට කිතුල් ඇට පොඟවපු වතුර ගහනවා. එදායින් පසු ඒ දිවිල්ල නවතිනවා. මෙය කියවන සියලු දෙනා බඩ අල්ල ගෙන සිනහා වෙනවා. මෙය අර යක්කු හදපු කතාවක් වෙන්න පුළුවන්.

      ඇත්ත තත්වය මේ වගේ තමයි, බයිසිකල් පදින්න බැහැ. බස් කාරයන් යට කරගෙන යනවා. නැත්නම් බල්ලෝ පනිනවා. දුවන්න බැහැ. හරක් කිතුල් ඇට වතුර ඉහිනවා. නැත්නම් බල්ලන් බුරාගෙන පනිනවා. ගොඩක් දෙනා එහෙම ගෙදරින් එලියට බහින්නේත් නැහැ. අද පිටි කෙටිලි, ගොයම් පෑගිලි, කුඹුරු කෙටිලි වැනි දේවල් නැහැනේ. එතකොට දුවන කොට, කිතුල් ඇට වතුර ඉහිනවා. මේවා දෙයියෝ සාක්කි නොවේද?

      • දැන් තත්වේ ඊට වඩා ගොඩාක් වෙනස්, ගම් වලත් එක්සයිස් කරන මිනිස්සු මම අනන්තත් දැකලා තියෙනවා.

        • දෙයියෝ සාක්කි කතාව ඇත්තය කියල මා හිතන්නේ නැහැ මාතලන්. හැබැයි ජාතික පුවත් පතක් දෙන පණිවුඩය හොඳ නැහැ. මෙයට වඩා හොඳ විහිළු ලියන පිරිසක් හොයා ගන්න ඕනේ.

          ලංකාව නොවේ, මෙහෙ ඇවිදින,බයිසිකල් පදින, ජිම් යන, ඔරු පදින ආදී වශයෙන් බොහෝ පිරිස් අප නිතර දකිනවා. ඒත් සංගණන වාර්තා වලට අනුව, ජනගහනයෙන් 65% ක් වගේ පිරිසක් පමණට වඩා තරබාරුයි. හර්දයාබාධ කියන්නේ, මාරු තුරුලට යවන අංක එකේ හේතුවක්.

  2. රයිගම් මෙන්න මේ වැකියත් එක්ක ගත්තාම සමස්ථ ලිපියම සුපිරියි… අපට කළ නොහැකි වුවත් විය යුත්තේ එයයි
    //බලපෑමක් කල නොහැකි දේවල් වලින් මුලින් පටන් ගන්නේ නැතිව, බලපෑමක් කළ හැකි සුළු දේවල් වලින් ආරම්භය ගන්න පුළුවන්.// ඇත්තටම මේ වැකිය සවනත වදින්න දිය යුත්තේ කාටද?

    • එය සියලු දෙනාගේ සවනත වැදිය යුතුයි නලින්. දෙපිට කාට්ටු සමාජයක එය කරන්න අසීරුයි. දැන් ඔය ජාතික චින්තනය ගැන කියන මහප්පලාට අඩු ගානේ තමන්ගේ, දරුවන්ට, අනුරාධපුර පැත්තේ හේනක් කොටා ගෙන ඉන්න එක හොඳයි කියන එක පහදලා දෙන්න බැරි වුනා නේද? එයාලත් ඉගෙන ගන්නේ, ජිවත් වෙන්නේ මේ ජරා බටහිර. එතකොට සාමාන්‍ය කුඩප්පලා ගැන කවර කතාද?
      මේ වගේම තමා සමාජවාදී සිහින තියන සමහරුන් ජිවිතයට රැකියාවක් කර නැහැ.සමහරුන් රැකියාවක් කරනවා වුනත්, “වැඩ” කරන්නේ නැහැ. එයාල ඉන්නේ සමාජවාදී රාජ්ජය එනකම් වැඩ කරන්න. සමහරුන් ඉන්නේ බටහිර ධනවාදී රටවල් වල. ඒත් අඩු ගානේ ගෙදර වත් මොන සමාජවාදයක් වත් නැහැ. හැබැයි ජිවත් නොවන රටක සමාජවාදය ඇති කරන්න “වෙහෙසෙනවා”. හැබැයි දැන් ගෙවන බදු ගැන කන් කෙඳිරි ගානවා. සමහරුන් දිවි බේරා ගන්න යන්නේ උතුරු කොරියාවට නොවේ. හැබැයි හිතේ තියෙන්නේ උතුරු කොරියාවක් හදන්න. මේ සියල්ල මා සිතින් මවා ගත් දේවල් නොවේ නලින්. ඇහින් දැකපුවා. 😦

  3. Kenji @ Japan

    ව්‍යායාම් ගැන නම් දරුවෝ දෙන්න පුදුම උනන්දුවක් මේ වයසේ ඉදලම.
    දුව නම් ග්‍රීන් ටි හැර වෙනයමක් බොන්නේ නැහැ.එයාල කෑම ගැනත් හරි අවබෝධයක් තිබෙනවා.
    එදිනෙදා වැඩවලදී අපි ට හරි පහසුවක්.

    • කෝප්පෙන් භාගයක් සිනි හා ඉතිරි භාගේ තේ දාල, බොන එක පුරුදු වෙනවාට වඩා කොළ තේ බොන එක හොඳයි. හැබැයි කෙන්ජි, කොළ තේ, කාබනික ආහාර වගේ දේවල් වලින් තියන සෞඛ්‍යමය යහපත ප්‍රශ්නකාරියි. මේවා ගොඩක් වෙලාවට නොයෙක් වෙළඳ ප්‍රායෝග. කාබනික හා සාමාන්‍ය පොහොර යොදලා වවන භෝග වල පෝෂ්‍යමය ගුණයේ මහා වෙනසක් නැහැ. හැබැයි වැදගත්ම දේ මේවයින් හානියක් නැහැ. ඔය ඉඳල හිටලා කසාය බොනවා වගේ තමයි.

  4. තේරීම් ගැන නේද? මට දෙවන අවස්තාවක් ලැබුනොත් මම වෙනස් කරන්නේ මොනවද ඒ විදියටම කරන්නේ මොනවද කියන එක මම නිතර හිතනවා. ඒ නිසාම මෙතැනින් පසුවට කරන තේරීමුත් පසු තැවිල්ලක් ඉතිරි නොකරන ඒවා වෙන හැටියට කරන්න උත්සාහ කරනවා.

    • මාත් මචං මෙහෙම කල්පනා කරලා බ්ලොග් සටහන් පළ කරන එක අඩු කෙරුවා. පොඩි කාලේ කරන තේරීම් ගැන සිතන්න නොහැකි වුනාට, ලොකු වුනහම මේවා ගැන සිතන්න පුළුවන්.

  5. මමත් මේ දවස් වල සෞඛ්‍යමය තේරීමක් කරා යමින් සිටිනවා රයිගම්. මේ මාතෘකාව ගැන අනාගතයෙදී ඇවිත් අදහස් දක්වන්නම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s