උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු! මචං, don’t give up the day job!


මේ සතියේ දවස් දෙකක් වැඩට ගියේ නැහැ. පුතාලගේ වැඩ වෙනුවෙන්. අද පොඩි එකාට සනීප නැහැ. අදත් නිවාඩු දැම්මා. කොහොමත් දැන් අවුරුද්ද ඉවර වෙමින් යන නිසා මහා ලොකුවට කරන්න දෙයකුත් නැහැ. බාර ගත්ත වෙන වැඩකුත් තියන නිසා බාගෙට වැඩට යන අදහසත් ඒ නිසා අත හැර දැම්මා.

මා ලංකාවේ අන්තිමට වැඩ කරපු කුඩා ආයතනයට දවසක් උදේ වැඩට යන විට, ඒ වන විටත් වැඩට ඇවිත් තිබුන ලොක්කගේ මුණ එතරම් හොඳ කමක් දුටුවේ නැහැ. මා පරක්කු වෙලා යන නිසා නොවේ කියල නම්, මා දන්නවා. පසුව තමා මා දැක්කේ මගේ නමට ඇවිත් තිබුන දීර්ඝ ෆැක්ස් පණිවුඩය. එයින් මාස කිහිපයකට පසු තමා, මා ලංකාවෙන් සම්පුර්ණයෙන්ම සංක්‍රමණය වුනේ.

මා ඒ කුඩා ආයතනයේදී, කරපු සමහර දේවල් නම් එතරම් කුඩා කියන්න බැහැ. හැබැයි තව කුඩා දෙයකුත් තිබුනා. එනම් මගේ වැටුප. එවැනි කුඩා ආයතනයකට එයිට වඩා වැටුපක් ගෙවන්න පුළුවන් කමකුත් නැහැ. අනික එහෙම හෝ රැකියාවක් තිබීම ගැන තමයි මා හිතුවේ. රැකියාවක් කරන විට අප සොයන ගොඩාක් දේවල් තියනවා. වැටුප ඉන් එකක් පමණයි. මට අවශ්‍ය වෙලාවට වැඩට යන එකත්, හවසට ගෙදර එන එකත් එම රැකියාවේ තිබුන වඩාත්ම ආකර්ෂනාත්මක දෙය.

කොහොම වුනත් රැකියාවක් සොයන එක කොයි රටක වත් ලෙහෙසි දෙයක් නොවේ. මොන රැකියාව සෙවුවත්, මේ දුෂ්කරතා (වර්ගයෙන් එකිනෙකට වෙනස් වුවත්) තියනවා. සමහරුන් “තමන්ට හරි” රැකියාව ලැබෙන කල්, මොනම වැඩක් වත් කරන්නේ නැහැ. මෙහෙම ඉන්න අපේ ඥාති නැගණියක් ගැන, අප ඊයේ පෙරේදත් කතා වුනා. මෙයාට සාමාර්ථ සහිත උපාධියක් තියනවා. දැනට අතටම ගෙනල්ල දුන්න රැකියා සියල්ල එපා යයි කියුවේ, ඒවා තමන්ට “නොගැලපෙන” නිසා. මේ සම්බන්දතා ජාල තියන අම්මල-තාත්තල ඉන්න නිසා. මෙයා වගේ කෙනෙකුට ඔය “ගැලපෙන” එකක් හම්බු වුනත්, එය හරියට නොකරන වග මට නම් සක් සුදක් සේ පැහැදිලියි.

ඒ කොහොම වුනත්, ලංකාවේ රැකියා වෙළඳපොලේ ව්‍යාප්තිය ගැන නම් අප දන්නවනේ. රජයේ සංඛ්‍යා ලේඛන මොනවා වුවත්, රැකියා විරහිත පිරිස සෑහෙන්න ඉන්නවා. ඔය සංඛ්‍යා ලේඛන වලට අනුව නම්, ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ රැකියා වියුක්තිකයන්ගේ ගණන ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සමානයි. නමුත් මෙය ඇත්ත ජීවිතයේදී කොතරම් සැබෑවකද කියන ප්‍රශ්නය එදත් තිබුනා.

මා දැනට කලකට පෙර කියවපු සමීක්ෂණයකට අනුව උසස් හා පහත් අධ්‍යාපනය ලබන විශාල පිරිසක් (ඇත්තම ප්‍රතිශත ලියන්න වාර්තාව මා ළඟ නැහැ. එය සේව් කරපු තැටිය වැඩ කරන තැන මයේ හිතේ) බලාපොරොත්තු වන්නේ රජයේ රස්සායි. වර්තමාන ලංකා රජය යටතේ ආණ්ඩුවේ රැකියා කරන පිරිස් විශාල ලෙස ඉහල ගිහින් කියා ඊයේ පෙරේදා තිබුන අය-වැය විවාදයේ එක ශීර්ෂයක් යටතේ  කියවුනා.

රජයෙන් සැපයෙන සේවා සඳහා යම්කිසි පිරිසක් බඳවා ගත යුතු බවට විවාදයක් නැහැ. අවුරුදු පතා රජයේ ඇත්ත ආදායම පහල යන අතරේ, වැඩිපුර සේවකයන් බඳවා ගන්න පුළුවන් වන්නේ ණය ගැනීමෙනුයි. අනික “වැඩක් නැති රැකියා” “රැකියා ජනනය” සඳහා ලබා දීමෙන් හෝ ලබා ගැනීමෙන් රටකට හෝ ඒ රටේ ජිවත් වන ජනයාට හෝ එවැනි රැකියා ලබා ගන්නා පිරිසට වැඩක් තියන දෙයක් වන්නේත් නැහැ. මොකද මේවායින් කිසිම දෙයක් “ජනනය” වන්නේ නැති නිසා අර ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. ඒ ගන්න ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. මෙය අර මගේ පූසා ගැන රචනාව වගේ තමයි.

ඒ අතර පෞද්ගලික සමාගමක් ලාභ දායකව පවත්වාගෙන යමින් තිබුන, ජාතික ගුවන් සේවය මචංලා විසින් තත්පරයකට රුපියල් දාහකට වැඩි පාඩුවක් දක්වා සංවර්ධනය කර තිබෙනවා. මේ මචංලාට වසරකට රුපියල් බිලියනක වැටුපක් දීලා, අනේ උඹ ගෙදර ඉඳපන් කියා, ගුවන් සේවය නැවත අර සමාගමටම කළමනාකරණය සඳහා දුන්නත්, මෙයිට ලාභයි.

මේ කතාවම ගොඩක් දේවල් කියනවා. සැබෑ රැකියා ජනනයට අවශ්‍ය පරිසරය බිහි කර ගැනීම සඳහා ඒකීය පුද්ගලයාගේ පොදු සිතිවිලි වලත් බලපෑම විශාලයි. එක අතෙකින් දූෂිත පාලනයකට කොන්දේසි විරහිතව සහය දෙන ගමන්ම, අනෙක් අතින් රජයේ රැකියා ඉල්ලීමත් කියන්නේ විශාල විකුර්තියක්.

සටහනට අදාළ පුවත්

http://www.lankadeepa.lk/index.php/articles/193354

http://www.colombopage.com/archive_13B/Dec10_1386658041CH.php

Advertisements

14 Comments

Filed under Careers/Employments

14 responses to “උසස් පෙළ සමතුන්ට රැකියා දෙනු! මචං, don’t give up the day job!

  1. උසස් හා පහත් අධ්‍යාපනය??? ඒ ගැන හිතන්න වෙනවා…

    • මොකද දේශකයෝ පසුව එමිද? නැත්නම් නොඑමිද?

      • මම කියන්න හැදුවේ සමික්ෂන වාර්තා නැතිව උනත් කොහොමෙයි අම්මප අධ්‍යාපනය කියන දේ උසස් හා පහත් ලෙස වර්ග කරේ..

        • එය විහිළුවට යෙදුවක්. මේක (පාසලින් පසුව ලබන) හරිනම් වැඩිදුර අධ්‍යාපනය වෙන්න ඕනේ.

  2. හිරු

    ඊයෙ අපේ පොඩි නෑනා මාත් එක්ක කියනව “ මෙයාලා කියන්නෙ අපිට 8-5 ජොබි නැත්තං ගෙදර ඉන්න කියල.. එහෙම ජොබි එකක් ඉතිං මෙයලා කම්පැණියක් පටං ගත්තොත් තමයි හම්බුවෙන්නෙ අපිට ..“ කියල… හි හි… මටත් 100% එකඟ වෙන්න වෙන කතාවක් ඒක… ගෙදර එන්න ටිකක් පරක්කු උනත් ටක් ගාලා කියන්නෙ ‌ගෙදර නවතින්න කියල.. අපි මෙච්චර ඉගෙන ගත්තෙ ගෙදට්ට වෙලා බකං නිලං ඉන්නයැ.. කෙල්ලන්ගෙ අධ්‍යාපනය නිකං ඉන්නවට කරපු දෙයක් ගානට තමයි තාම සලකන්නෙ පිරිමි වැඩිහරියක්…

    ඇත්තටම රැකියාවක් කිරීමේ තෘප්තිය වැටුපෙන්ම මනින්න බෑ කියල මට හිතෙන්නෙ.. මම මුලින්ම වැඩ කරපු තැන අවම වැටුපකට මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. ඒ දේවල් ඉගෙන ගන්නෙ නැතුව 8 -5 හෝ පවුලෙ තත්වෙට ගැලපෙන රැකියාවක් හෝ, ඉගෙන ගන්න වියදම් කරපු ගානට හරියන්න හිතේ තියෙන වැටුප ලැබෙන රැකියාවක් හෝ හම්බුවෙනකං හිටියනං අද අම්මගේ ෂොප් එකත් නෑ, මම මේ අද කරන දේවත් කරන්න වෙන්නේ නෑ…

    • ඔන්න වැඩේ හැටි හිරු! පිරිමි ගැන නම් ඔබ දැන ගන්න ඇතිනේ ඔබගේ අන්තිම සටහනෙන්. කොහොම වුනත් පොල් පිත්තක් හොයා ගත්ත නම් හොඳයි වගේ.
      ලබා ගත් කුසලතා වලින් ඵලක් ගැනීම ගැන සතුටුයි. ගෙදර ගෝරි දා ගන්නේ නැතුව විසඳුම් සොයා ගන්න. 😀

      ඒ කතා පැත්තක දැමුවොත්, ඔබගේ අන්තිම සටහනට දමලා තිබුන sexist වගේම misogynistic යයි කියන්න පුළුවන් කොමෙන්ටු මේ ලෝකයේ සැබෑ තත්ත්වය පිළිඹිඹු කරනවා. එවැනි කොමෙන්ටු නින්දිත වගේම මා නිතර කියන දෙපිට කාට්ටු ලෝකයට උදාහරණ.

      කොහොම වුවත් අපේ සිතිවිලි වලට වැටකඩොලු දාන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ඔබගේ අදහස් අඩුම ගානේ ඔබගේ බ්ලොගයේ වත් ලියන්න භය වෙන්න එපා. ඒ වගේම පළ කරන අදහස් වෙනුවෙන් පෙනී ඉන්නත් භය වෙන්න එපා. තව දෙයක් මෙවැනි sexist කොමෙන්ටු ලියන්නන් පසුපස යන්න එපා. කාන්තාවන් වන ඔබලාමයි, මෙවැනි අදහස් සමාජයෙන් පිටු දකින්න පෙරමුණ ගන්න ඕනේ. හි! හි!!

      ඔබ ඒ සටහනෙන් මතු කරපු සැබෑ කරුණ ගැන කිසිවෙකු අදහස් දක්වා තිබුනේ නැහැ. එයත් කතාවට ලක්විය යුත්තක්. එනම්, පිරිමින් තමන්ගේ විවාහයට පෙර හා විවාහය අතරතුරේ කෙරෙන අනෙක් ලිංගික සබඳතා ගැන ප්‍රසිද්දියේ කියන ආකාරයට, තමන්ගේ සහකාරියත් එවැනි සම්බදතා ගැන කියනවා නම් එකසේ සලකනවාද? එසේත් නැත්නම්, විවාහ වන්නට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පිරිමියෙක්, එසේ ලිංගික සබඳතා පැවැත්වූ වා යයි කියන ගැහැනියක හා විවාහයට කැමතිද? අනික මෙවැනි කරුණු ගැන කියන විවාහක පිරිමින්ගේ, බිරින්දෑ වරුන්ට සිතෙන දේවල් ගැන මේ පිරිමින් සිතුවාද? ඔබ ගැහැනියක් හැටියට ලියන්න අදහස් කළේ ඔය ටිකනේ. තමන්ගේ ලිංගික දිවිය ගැන ප්‍රසිද්දියේ කතා කරන එක රැඩිකල් වගේම, නිර්භය කරුණක්. හැබැයි ඔබ මතු කරපු ඉහත කරුණු ගැන නිහඬ නම්, එම රැඩිකල් යයි කියන වෘක හම පොරවා ගත් ගං කබරයින් දකින්න පුළුවන්.

  3. රයිගම හරියටම හරි. “රැකියා” උපදිනව/උපද්දනව මිසක් දෙන්න පුළුවන් දෙයක් නෙවේ. නමුත් වැල යන පැත්තට මැස්ස ගහන ආණ්ඩුව හිතුමගේ නම් දාල රැකියා දෙනව. අන්තිමට ශ්‍රමය වැයකල හැකි පිරිසක් ගස් ගල් යට ඉන්නව. රැකියාලාභීන්ගේ වැටුප් ජනතාව ගෙවනව.

    දැනට අපේ තියන රාජ්‍ය සේවය ක්ෂුද්‍ර කලයුතුයි. ඒක කරන්න පුළුවන් දෙයක්. රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දෑ අවුරුදු පාලන සමයේ යම් උත්සාහයක් දැරුව ඒ ගැන. නමුත් ඔහු අසාර්ථකවුනා සේවක විශ්‍රාම වැටුප් ආදිය කැපීමට දැරූ උත්සාහය නිසා. මමත් ලිව්ව කාලෙකට ඉස්සෙල්ල ඔය ගැන.
    http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html

    • ඔබගේ ඔය සටහන මා කියවපු එකක්. පෞද්ගලික සමාගම් ලෙසම ක්‍රියාත්මක වන රාජ්‍ය සමාගම් ලෝකයේ තියනවා රාජ්. ලංකාවේ තියන ඔය පෞද්ගලික සුපර් මාකට් එකක කාර්යක්ෂමතාවය ගැන ඔබ සිතුවද? මෙය දිගට ලියන්න පුළුවන් දෙයක්.
      ගස් ගල් යට ඉඳගෙන පඩි ගන්න උද්ගෝෂණය කිරීමෙන්, මේ මල්ලිලා බලාපොරොත්තු වන්නේ මොකක්ද රාජ්?

  4. මේ ආන්ඩුව පින් පඩි ගන්න උන් වැඩි කරලා රට කනවා. ජනාධිපති උපදේෂකලම කී ද්ගෙනෙක් ඉන්නවද? ඊට පස්සේ අමාත්‍යශ උපසේනලා. නැකත් හදන උනුත් ඩිරෙක්ටර්ලා. අර කිව්වා වගේ මස්සිනාලට ලක්ෂ 10 ක් හරි දීලා ආතල් ගනින් කියල ආයෙත් අරවා ප්‍රයිවටයිස් කරලා කීයක් හරි හොයා ගන්න තියෙන්නේ. ඔය බයිලා ගැහුවට තව ටික දවසකින් ඒ වැඩෙත් කරන්නම වෙනවා.

    • එවැනි රජයක් වැඩ කරන හැටි ගැන තමන්ගේ අප්‍රසාදය, පෙන්වන්න පුළුවන් හැම විටකම එසේ කල යුතුයි. නැතුව මා චන්දෙ ඔය පොඩි ඒවාට දෙන්නේ නැහැ, කොහොමත් මෙයාට වඩා කෙනෙක් නැහැ කියමින් ඉන්න එක නොවේ කළ යුත්තේ. ගිනි ගොඩක ඉන්න මිනිහා පය තියන්නේ, තව ගිනි ගොඩකට වෙන්න පුළුවන්. නමුත් ගිනි ගොඩක ඉන්න මිනිහා මුකුත් නොකර නිකම් ඉන්නේ නැහැ.
      මා මේ වගේ උද්ගෝෂණයක් ගැන කලින් සටහනක ලියුවේ, උපාධි ධාරීන් රජයේ රැකියා ඉල්ලීමට වඩා, අපොස උපේ කට්ටිය ඉල්ලන එක සාධාරණයි කියා. එය අද ඇත්තටම සැබෑ වෙලා. මෙයිට වඩා සාධාරණයි සාපේ කට්ටිය ඉල්ලන එක. පළමු වන ශ්‍රේණියේ කට්ටියත් ඉල්ලාවි. අනාගතයේ රති ක්‍රීඩා වල නියැලෙන යුවලවල්, ඒ අතරතුරේ, මේ කෙළියෙන් දරුවෙක් හැදුනොත්, රජයේ රැකියාවක් දියව්! කියා උද්ගෝෂණය කරන ගමන්, එම ක්‍රීඩා වල නියලුනත් පුදුම වන්න දෙයක් නැහැ. එය හොඳටම සාධාරණයි!

  5. අද තියෙන්නෙ ඡන්දෙ බලාගෙන කරන රැකියා උත්පාදනයක්. ඒකෙන් රටට වැඩකුත් නෑ.. රැකියාව කරන්නාට වැඩකුත් නෑ. අවුරුදු 15 කට ඉස්සර මං ලංකාවේ සමික්ෂණයක් කරා එක්තරා පලාතක රැකියා නැති උපාධිධාරීන්ගේ රැකියා අවශ්‍යතා ගැන. නවසිය ගනනක් පිළිතුරු දීලා තිබුණා ඒ අයගෙන් 10 හෝ 11ක් පමණයි හිටියේ පුද්ගලික අංශයේ රැකියාවකට කැමති. එයිනුත් 3 දෙනයි හිටියේ ස්වයං රැකියාවකට කැමති. ඒ තුන්දෙනාගෙන් දෙදෙනෙක් මුස්ලිම් එක්කෙනෙක් දෙමළ! දැනුත් ඒ තත්වය වෙනස් වෙලා නෑ..වැඩිහරියක් ඉන්නේ නිකං ඉඳලා පඩි ගන්න රස්සාවක් හම්බවෙනකං.

    • පිනට දෙන බුරියානි වලට වග කියන ගමන්, පුළුවන් තරම් දරුවන් හදපල්ලා යයි කියන ඥාන-අසාර පිරිස් සිතන්නේ මේ ලෝකයේ සියල්ල, එම බුරියානි මේසය මත පහල වෙනවා වගේ, ඉබේ පහල වෙනවා කියා කැන්ඩියන්.
      වරද අනුන් පිට පටවා, අත පිස දා ගන්නේ නැතුව, ඒකීය පුද්ගලයන් වශයෙන් තමන්ගේ රස්සාව හරියට කිරීම, පුළුවන් හැම විටකම කවුරුන් කෙසේ නියෝග දුන්නත් වැරදි නොකර සිටීම වගේ පෞරුෂත්වය හදා ගැනීම, යහ පාලනයක මූලික පියවර බවට පත්කර ගන්න පුළුවන් කියා මා සිතනවා (මෙවැනි දේවල් වලට රජයේ හෝ පෞද්ගලික යයි වෙනස් කම් නැහැ. කඩවල් වල බඩු විකුණන නංගිලා බලන්න. නිදි වගේ). එසේ වැඩ කරන පිරිස් නැතුවා නොවේ. නමුත් නොකරන පිරිස් ඉතා වැඩි නිසා, ඔවුන් පෙනෙන්නේ නැතුවා විතරක් නොවේ, ප්‍රමාණවත් බලපෑමක් කරනෙත් නැහැ.

  6. රයිගම්…….රජයේ රැකියාම ඉල්ලා සිටින ලංකාවේ වැඩිපුරම ඉන්නේ පෞද්ගලික අංශයේ සේවකයෝ. මේ රජයේ රැකියා ඉල්ලා සිටින්නන්ගෙන් බහුතරයක් උපාධිදාරීන්..මම දන්න කෙනෙක් රැකියාවක් ලැබෙනකම් පොඩි කම්පැනි එකක වැඩකරා සාමාන්‍ය පඩියකට..උපාධිදාරීන්ට 10000 පඩියට බඳවගන්න කොට, අරක අතහැරලා මේ රැකියාවට ආවා. මොනවා උනත් රජයේලු. තාම එක එක ඔෆිස්වල රස්තියාදුවෙවී ඉන්නවා..හරි තැනකට අනුයුක්ත කරලා නැහැ.

    මම වැඩ කරන තැන පාට් ටයිම් ක්ලීනින්ග් කරන්නේ, ටවුමේ බැංකුවේ ඉඳලා රිටයර් වුනු බෑන්ක් මැනේජර්..මේ තත්වය අපේ රටවල්වල කවදා බලාපොරොත්තුවෙන්නද?

    • මචං, ලංකාවේ සරසවි වලට තේරෙන් සිසුන්ට ලක්ෂ ගානක් වියදම් කරලා, හමුදා කඳවුරු වල සරඹ කරවන වෙලාවේ, තව කරන්න කොපමණ දේවල් තියනවාද? මේ ඔරියන්ටෙෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇතුලත් කරන්න කොපමණ දේවල් තියනවාද? මේ හමුදා කඳවුරු ඇතුලේ මේ වගේ දෙයක් තියන එකම ගොනේ ගොන් කමක්. මේවා මචං කාට කියන්නද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s