දුවලා හදා ගත් “ලස්සන” දුවලා? They say an end can be a start!


tony

රටක තියන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ කොහොමද, පෞද්ගලික ජිවිතයේ කරවටක් ගිලිලා නම්. දවස පුරාම බීගෙන අති උත්තම සමාජවාදයක් ගැන සිහින මවමින් ලියන්න පුළුවන් වුවත්, එවැනි බේබද්දෙකුගෙන් මොන “වාදී” සමාජයකටවත් වැඩක් නැහැ කියා මා හිතනවා. අපේ අනික් සියලු ප්‍රශ්න වලටත් උත්තර සොයා ගත යුත්තේ අපමයි. එයින් එහාට කරන කතා වලින් වැඩක් නැහැ. ඒ වගේම අද තියන “හරි උත්තර” හෙට වෙනකොට වැඩකට නැහැ. මොකද ප්‍රශ්නත් වෙනස් වෙලා නිසා.

බ්ලොග් වලින් ලෝකය හදන්න නොහැකි යයි මා විශ්වාස කරන බව නිතරම ලියනවා. නමුත් ඒකීය පුද්ගලයන් වශයෙන් නම් අපට වෙනස් වීමට අවස්තාව හැමදාම, හැම රටකම තියනවා. තමන්ගේ දරුවන් ගැනත්, ගෙදර තියන ප්‍රශ්න ගැනත් අපට බලන්න වෙලාවක් හෝ ඕනෙ කමක් නැත්නම්, ලෝකේ තියන ප්‍රශ්න විසදීමට හැකියාවක් ඇති වේය කියා සිතන්න කොහොමටත් බැහැ.

දරුවන්ගේ ඉගෙනීම පාසලට හා ටියුෂන් මාස්ටර්ලට බලාගන්න කියා අතපිහ දා ගන්න බොහෝ දෙමාපියන් මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම දරුවෙකුට කොම්පුටර හා අන්තර්ජාල පහසුකම් අරන් දෙන්න මොලය තියන අපේ අයියල අක්කලා, මේ දරුවන් ඒවායේ කරන්නේ මොනවාදැයි සොයන්න තරම් සිහියක් නැහැ. මුහුණ නොපෙන්වා ඕනෙම පඩත්තර කතාවක් කියන්න පුළුවන් මේ වර්චුවල් ලෝකයේ, කෙරෙන නිමක් නොමැති අඩත්තේට්ටම් වැඩිහිටි අපට පවා දරාගන්න බැරිවෙන අවස්ථා තියනවා. එවිට කුඩා දරුවන් ගැන මොන කතාද?

හැබැයි පුතෝ, ජීවිතය කියන්නේ හැමදාම දුක්වෙමින්, පසුතැවීමෙන් හා අනගාරිකව ගතකළ යුතු එකක් නොවේ. ජිවිතයේ වගකීම් දරා ගන්න බැරි හා ඇත්තටම ලෝකෝත්තර සුවය සොයන පිරිස් එහෙම කළාට කාරියක් නැහැ.

ඔය බණ කියන දේ ඉස්සරත් මට අරහං. මේ කියන්නේ ඔය මහණ පිරිස් කියන බණ ම නොවේ. දයිවයේ සරදමකට වගේ දැන් මගේ බ්ලොගයත් ඒ ගානට වැටීගෙන යනවා වගේ නේද?  කට්ටඩියන්, මහණ පිරිස් මෙන්ම දොස්තරලා වගේ වෘත්තිකයන්ද අද මේ බණ කීමේ තරඟයට එකතු වෙලා. විශේෂයෙන් දොස්තරලා බණ කීමට අමතරව, සමහර සමාගම් සමග ගාණ කපන්න ව්‍යාජ “ආශ්චර්යමත්” නිෂ්පාදන විකුණන වෙළෙන්දන් පිරිසක් බවට පත් වෙලා.

මේ බණ දේශනා කරන පිරිස් දිහා හොඳින් බැලුවොත්, මේ කියන කතා වල තියන ව්‍යාජත්වය ගැන සුළුවෙන් හෝ වැටහීමක් ගන්න පුළුවන්. තිරයෙන් පිටු පස කෙරෙන දේවල් මේවාට වඩා ඉහල වෙන්න තියන ඉඩකඩ අපට බැහැර කරන්න බැහැ. මුහුණට පියරු දාල, ඇහිබැම ගාණට හදාගෙන, දිලිසෙන සිවුරක් දාගෙන “පිංවතුනි, මේ කුණු කයට සැප දීමෙන් පලක් නැහැ, කවදා හරි මේක දාල යන්න වෙනවා” කීම ඇත්තටම විහිලුවක්ද නැත්නම් යමක් ව්‍යංගයෙන් පැවසිමක්ද? කිසි කෙනෙක් මේක නිරීක්ෂණය කරන්නෙත් නැහැ. මොකද ඒ තරමටම අපේ ජිවිත දෙපිටකාට්ටු කම විසින් වෙලාගෙන ඉවරයි.

පමණට වඩා තරබාරු කට්ටිය, එක වෘත්තිකයන් පිරිසක හෝ ගහණයක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ඉහල ගණනක් ඉන්න පිරිසක් වශයෙන් ලංකාවේ දේශපාලකයන් (තොරතුරු විශ්ලේෂණයකින් තොරව බැලූ බැල්මටම) ගන්න පුළුවන්. ප්‍රාදේශීය සභා වල ඉඳන් පාර්ලිමේන්තුව දක්වා ඉන්න සියලු දෙනාටම මේ තත්වය පොදුයි. මෙයාලගේ දූ පුතුන්ද විධිමත් හෝ අවිධිමත් හෝ අධ්‍යාපනයක් ලබන පිරිසක්ද නොවේ. තාත්තලා (හා අම්මලා) ගසාකාපු මුදල් වලින් ජෝගි නටන දේශපාලකයන්ගේ දූ-දරුවන් ගැන පත්තර පුරා, වෙබ් අඩවි පුරා දකින්න ලැබෙනවා. මොවුන්ගේ ජිවන විලාසිතාවේ අනෙක් තෙරිම්ද මේ වගේ කියා පෙනෙන්නට තියනවා. ඒ අතිනුත් මොවුන් කිසි ප්‍රතිභාවක් ඇති පිරිසක් නොවේ.

තමන්ගේ සෞඛ්‍යය නොසිතන පිරිසක් මහජනතාවගේ සුබසිද්දිය සලසාවි කියා මට හිතෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ දරුවන්ට හොඳ මග පෙන්වීමක් නොකරන, තමන්ගේ “පවුලත් කන” මේ මිනිසුන් ගෙන් යහපාලනයකට නම්  අඩිතාලම වැටෙන්නේ නැහැ. මේ අයියලාට හා අක්කලාට කතිර ගහන පිරිස් මුලින්ම කල්පනා කළ යුතු දෙයක් ඒක.

Advertisements

8 Comments

Filed under Lifestyle, Politics

8 responses to “දුවලා හදා ගත් “ලස්සන” දුවලා? They say an end can be a start!

  1. තිසර

    බ්ලොග් ලිවීම තුල මම දකින්න කැමතිම දේ කියවන්නා ස්වයං විවේචනයකට පොළඹවන සුළු ලිපි. අපිට වෙනස් වන්නට හැකි ඒකීය පුද්ගලයන් වශයෙන් කියන එකට මමත් එකඟයි. ඒ නිසාම තමයි දෙපිලක් හදාගෙන විරෝධ පාඨ කීම්, ගොනා බූරුවා ආමන්ත්‍රණ, සර්වඥාණ බණ කීම් වලට වඩා හිතන්න පොලොඹවන සුළු ලිවීමට මම කැමති. ලිපිය කියවා අවසානයේදි අපේ සිත නවතින්නේ, රචකයා හෝ එහි සඳහන් සිදුවීමක් මත නොවී තමන් (කියවන්න්නා) මතම නම් එය ඉතා සර්ථක ලිපියක් බවයි මගේ හැඟීම.

    මෙය ලියන මට උණත් සමහර වෙලාවකට මේ දෙය අමතක වෙනවා. නැත්නම් හැඟුම්බර වීමෙන් මෙය යටපත් වෙනවා. නමුත් හැකි සෑම වෙලාවකට ඒ මත පිහිටලා කටයුතු කරන්න මම උත්සාහ දරනවා. මට මෙය ලියන්න හිතුනේ රයිගම්ව අගය කිරීමක් විදිහට. ඔබගේ ලිපි කියවා අවසානයේ බොහෝ විට මගේ සිත නතර වන්නේ මා සමගමයි. අපේ කතන්දරකාරයාගෙත් සමහර පෝස්ට් වල මේ ලක්ෂණය තියනවා. මෑතම උදාහරණය ෆේස්බුක් සහ බ්ලොග් වලින් ඈත් වී සතියක් සිටීමේ උත්සාහයන්. නමුත් කාලයක් තිස්සේ බ්ලොග් ලෝකයේ ඇති වී තියන බෙදීම් සහ රාමු නිසා, ඒ බව දකින පිරිස අඩුයි.

    • ඇත්තටම තිසර අමතක වීම් අපට කාටත් වෙනවා. අමතක වෙනවාම නොවේ, අපගේ කල්පනාවට එන්නේ නැහැ. වැඩිදුර සිතුවොත් තමා දැනෙන්නේ. දැන් විකල්පයක් නැතිය කියන තැන් වලත්, එහෙම විකල්පයක් නොසෑදෙන්නේ අප ගන්න ඕනේ සුළු ක්‍රියාමාර්ග නොගන්න නිසා. එය අන්තිමට සමාජමය ප්‍රශ්න දක්වාම ඇදීගෙන යනවා.

      ප්‍රශ්න ගැන කතා කරලා විතරක් වැඩක් තියනවද? දැන් බලන්න මේ බ්ලොග් ලියන අය ගොඩක් දෙනා අද ලංකාවේ පාලනය ගැන විරෝධයක් දක්වනවා. ඒත් ඔවුන්ම කියනවා මා නම් ගහන්නේ මෙයාලටමයි (රජතුමාටමයි) , මොකද වෙන කෙනෙක් නැහැ කියලා. එහෙම නම් මේ බනින්නේ නිකම් ඉන්නවටද? අනික පවතින මහ රජයට කැමති වුනත්, එයට විරෝධය පාන්න, යන මගට කැමති නැති යයි කියන්න ප්‍රාදේශීය හෝ පළාත් සභා වලදී වත් විරුද්ධත්වය ප්‍රකාශ නොකරන්නේ මොකද?

      කුඩු වෙළඳාමේ වැඩි වීම ගැන හැමෝම කතා කරනවා, බඩු මිල වැඩියි කියනවා, උද්ධමනය පාලනයකින් තොරව ඉහල යනවායි කියනවා, මහජන දේපොළ මංකොල්ලය ඉතා ඉහලයි කියනවා, නීතියේ ආධිපත්‍යය බල්ලට ගිහින් කියනවා, කුඩා ළමුන් පවා දූෂණ සිද්ධි පෙර නොවූ විරු ලෙස ඉහල ගිහින් කියනවා. නමුත් අන්තිමට කතිරය එයාලටමයි.

      එවැනි පුළුල් ප්‍රශ්න වලට විසඳුම් හොයනවා තියා බලන්න, දැන් සමහරුන් කියනවා මා ඔය නැකත් හඳහන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඉතින් “මාත් ඕවා සේරම බලනවා”, මොකද බිරිඳ හා දෙමාපියන්ගේ බලපෑම නිසා. ඉතින් එවැනි සරල කරුණකදී වත් තමන් විශ්වාස කරන දෙයට පෙනී ඉන්න බැරි නම්, රටක තියන ප්‍රශ්න ගැන කෙලින් සිතලා තීරණ ගනීවිද? නැහැ.

      දැන් තිසර මේ අනෙක් රටවල් වලට ඇවිත් නටන නාඩගම් බලන්න. අර පැනලා ආපු තැන තිබුන වගේම, තමන්ගේ ළමයින් ගිරවු වගේ කටපාඩම් ක්‍රමයට දක්කවනවා. මෙලෝ සිහියක් නැතුව ටියුෂන් වලට දක්කමින්, දරුවන්ගේ පමණක් නොවේ තමන්ගේ ජීවිතයත් අපා ගත කර ගන්නවා. මේ දැක්කවීම කරන්නේ, දරුවන්ගේ දුර්වල තැන් හඳුනා ගෙන නොවේ. එහෙම හඳුනා ගන්න තරම් සිහියක් මෙයාලට නැහැ. මොකද දරුවන් සමග කතා කරනවා වෙනුවට, පාසලෙන් අරගෙන ටියුෂන් පන්ති අරන් යනවා. තමන්ගේ දරුවන්, අනුන්ගේ දරුවන් හා සසඳමින් ළමා අපචාරයේ යෙදෙනවා විතරක් නොවේ, වැඩිහිටි පිරිස් අතර තියන හිත හොඳ කම්ද විනාශ කර ගන්නවා.

      විවිධ කල්ලි හදාගෙන “පින් දහම්” කරන තරඟයක යෙදෙනවා. ඒ අතරතුර තමන්ගේ දේපොළ විතරක් නොවේ, අනුන්ගේ ඒවාත් විනාශ කර ගන්නවා. තමන්ගේ රථ වාහන පවා හූරා ගන්නවා. අන්තිමේදී මෙයාල වෙනුවෙන් තව්තිසාවේ තරුපහේ කාමර පිළියෙළ වී තිබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      ඔබ හරි තිසර, ගොනා, බූරුවා කියමින් එකිනෙකා අතර නොවේ මේ සංවාදය සිදුවිය යුත්තේ. තමන් සමගමයි. මේ කතාව මීට අවුරුදු දහයකට පෙර කෙනෙක් මා සමග කියුව නම්, මාත් සිනහා වේවි. නමුත් සමාජය සමග විවාද කර ගන්න පෙර, අප සංවාද කර ගන්න ඕනේ තමන් සමග මයි.

  2. Kenji @ Japan

    හ්ම්..තිසරගේ කමෙන්ටුවට ඔබ දී ඇති පිළිතුරත් කියෙව්වම කමෙන්ට් 100 කින් නොලැබෙන අදහස් ලැබුන.
    මෙන්න මේක මම මුහුණට මුහුණ දැකල තිබුනට ලිපියක දැක්කේ අදයි ….
    >> මුහුණට පියරු දාල, ඇහිබැම ගාණට හදාගෙන, දිලිසෙන සිවුරක් දාගෙන “පිංවතුනි, මේ කුණු කයට සැප දීමෙන් පලක් නැහැ, කවදා හරි මේක දාල යන්න වෙනවා” <<

    • කියන්නේ කෙන්ජි, බණ අහගෙන ඉන්න ” කුණු සිරුරට සැප දෙන’ උපාසක අයියලාගේ කන් වල පවා මයිල් වැවිලා. ඉතින් ඇහිබැම ගැන කවර කතාද?

  3. කාගෙත් තියෙනවනේ පබ්ලික් රිලේෂන්ස් මූණ සහ ගෙදර අඳින මූණ කියලා දෙකක්. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වේ ඒකයි.

    ඔන්න ඔය හේතුව නිසාම තමයි මම දේශපාලනය අප්‍රිය කරන්නේ. මම වෙන දේවල් වලට සහ වුනු දේවල් වලට අකමැති වුනත්, ඒ වෙනුවට දෙන්න පුලුවන් විකල්පයක් දන්නෙත් නැතිනම්, අපේ ජීවිත කාල ඇතුලත් වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැරි නම් ඈත් වෙලා ඉන්න එකම තමයි හොඳ ගඳගහන දේශපාලනෙන්.

    • දැන් උඹ හිතන්නේ ඔය කියන අදහසේ දේශපාලනයක් නැතිය කියලද? අප වෙනස් කරන්න උත්සහ කරන්න ඕනේ ඔය කියන බහුතර පිරිසක් අනුගමනය කරන දේශපාලන ක්‍රියා මාර්ගයම තමයි මචං. මා දන්නවා අප බලාපොරොත්තු වන “වෙනස” මේ ජිවිත කාලය තුලදී ලැබෙන්නේ නැති වන්න පුළුවන්. හැබැයි මචං, අප ඒ පියවර නොගෙන අනුන්ට දොස් පවරන්න බැහැ. මා නම් චන්දයකදී අර ගාන්ධිගේ be the change that you wish to see in the world අනුගමනය කරමින් කතිරය ගහනවා.

  4. ” මුහුණට පියරු දාල, ඇහිබැම ගාණට හදාගෙන, දිලිසෙන සිවුරක් දාගෙන “පිංවතුනි, මේ කුණු කයට සැප දීමෙන් පලක් නැහැ, කවදා හරි මේක දාල යන්න වෙනවා” කීම ඇත්තටම විහිලුවක්ද නැත්නම් යමක් ව්‍යංගයෙන් පැවසිමක්ද? ”
    “මේක දාල යන්න වෙනවා” සිවුරද?

    • ප්‍රා ජේ, ඇත්තටම ඔබ මේ තලෙයිබාන් කාරයන්ගේ තර්ජන නිසා කර ගත්ත විනාශයක්. දැන් මේ “කපල අලවන” කොමෙන්ටු වලින් ඇත්තටම වැඩක් තියනවද? 😀
      සිවුර දාල කොහේ යන්නද මහත්තයෝ? මේක ගැලෙවුවහම මොකවත් නැහෙනේ!

      උපාසක: “හාමුදුරුවනේ, සිවුරත් දාගෙන ඔය කරන වැඩ හරි නැහැ නේද?”
      හාමුදුරුවන්: “පිස්සුද උපාසක මහත්තයෝ, කාටද මේවා සිවුරු දාගෙන කරන්න පුළුවන්? මා නම් හැම වෙලාවෙම සිවුර ගලවල ඇඳ විට්ටමට දාල තමයි කරන්නේ!”

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s