මේ සතියේ ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි, ඊජිප්තු පරිවාස ජනාධිපති Adly Mansour ට දුරකථන ඇමතුමක් දුන් බව මාධ්‍ය වාර්තා කළා. ජනාධිපති මන්දිර වලට එන දුරකථන ඇමතුම් ගැන ලෝකේ හැමතැනින්ම අපට අහන්න ලැබෙනවා. හොර සල්ලි සමග අහුවුනා යයි චෝදනා තියන හිටපු ජනාධිපතිලගේ දුවනියන් පමණක් නොවේ, ඔය අපරාධ චෝදනා තියන ජුලම්පිටියේ අමරේ වගේ පිරිස් පවා මන්දිර වලට දුරකථන ඇමතුම් ගත් වග පෙරදී වාර්තා වුනා.
ටෝනි කෝල් කරලා තිබුනේ අල්ජසීරා සේවයට වැඩ කරපු කයිරෝ හෝටලයකදී ඊජිප්තු පොලෝසිය විසින් අත්අඩංගුවට ගත්තු ඕස්ට්‍රේලියානු ජාතික සම්මානලාභී මාධ්‍යවේදී Peter Greste නිදහස් කරන මෙන් ඉල්ලන්නට. පීටර් ව හා ඔහුගේ මාධ්‍ය සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ පසුගිය දෙසැම්බර 29 දා. ඔවුන්ට තියන චෝදනාව තමා ජනතාව “නොමග යවන ප්‍රවුර්ති” වාර්තා කිරීම. ඒ කියන්නේ ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ හා වත්මන් හමුදා පාලකයන්ගේ ක්‍රියා කලාප එකසේ වාර්තා කිරීම.
පසුගිය සතියේ තමා ඊජිප්තු අධිකරණය දින දෙකක ඉතා හදිසි නඩු විභාගයකින් මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් පන්සීය ගානක් එල්ලන්න නියම කළේ . ටෝනි ගොඩක් වෙලාවට කෝල් එකක් දෙන්න ඇත්තේ එයත් සලකල වෙන්න ඇති. පිටර්ලගේ ඉරණමත් නරක වෙන්න ඉඩ තියනවා. බලමු කෝල් එක වත් වැඩ කරාවිද කියා.
අරාබි වසන්තයේදී පාලන වෙනස් වුන/කරපු රටවල් වලින් වඩාත් මටසිලුටුව පාලනය මාරු වුන/කළ රට තමා ඊජිප්තුව. එම මාරුවේ ඉදිරියෙන් සිටියේ ඊජිප්තු ජනතාව වුවත්, එතරම් මටසිලුටුව පාලනය මාරු වීම පිටුපස ඇමෙරිකාව හා ඔවුන් පඩි ගෙවා නඩත්තු කරන ඊජිප්තු මිලිටරිය සිටියා.
ඉන්පසු වසර හතළිහකට පමණ පසු ලැබුන ප්‍රජාතන්ත්‍රවාදී ජනපති වරණයෙන් ජයගත්තේ, ඇමෙරිකාවේ ඉංජිනේරු ආචාර්ය උපාධිධාරී මොහමඩ් මෝසි. මොහමඩ් අයියව බලයෙන් පහ කරන්න කලින් මා සටහනක් ලියුවා, ගොයියෝ මේ යන විදිහ නම් හොඳ මදි කියා. එය ලියා ටික කලකට පසුව ඊජිප්තු මිලිටරිය යලි බලය ඇල්ලුවා.
පරම්පරා ගානකට පසුව ලැබුන ප්‍රජාතන්ත්‍ර වාදී මැතිවරණය සාර්ථක නිමාවක් නැත්නම් මිනින්ෆුල් අවසානයක් කරා දක්කාගෙන යාමට ඊජිප්තු ජනතාවට නොහැකි වුනේ ඇයි කියන එක පුළුල්ව කතා කරන්න ඕනේ දෙයක්. මේ රටවල් වල සියල්ල තීන්දු කරන්නේ ඇමෙරිකාව කියන එක මා බැහැර කරනවා. එම මැතිවරණයේදී ඊජිප්තු මුස්ලිම් සහෝදරත්වය හැර අනෙක් විපක්ෂ වලට කිසිම එකඟතාවයකට එන්න බැරි වුනා. සහෝදරයන් බලයට ඇවිත් කරන්න ගියේ ඔවුනගේ ෂරියා ව්‍යවස්ථාවක් ඇතිකරන මෝඩ හා පටු ප්‍රයන්නයක් මිසක් ලක්ෂ ගණන් ජනතාව ඉල්ලූ මිනිස් අයිතිවාසිකම් සුරකින ව්‍යවස්ථාවක් හා ආර්ථිකයට යහපාලනය හඳුන්වා දීම නොවේ.
හැබැයි ඔවුන් විතරයි පක්ෂයක් ලෙස සංවිධානය වී සිටියේ. ජනතාවගෙන් විශාල පිරිසකුත් ඔවුන් සමග ඉන්නවා. ඔවුනගේ කෙටි ගොන් පාලන කාලය තුල ඊජිප්තු සංචාරක ව්‍යාපාරය තවත් කඩා වැටුනා. නීතියේ ආධිපත්වය මුබාරක්ගේ කාලයටත් වඩා කඩා වැටුනා. කයිරෝවේ සමහර අවන්හල් වල බිර බෝතලයක් වත් විකුණා ගන්න බැරිය කියා වාර්තා වුනා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යවන්න පවා භයයි කියා මා කියෙව්වා. සමහර පළාත් මුස්ලිම් “වෝ ලෝඩ්” ලා ගේ නින්දගම් බවට පත් වුනා කියාත් වාර්තා වුනා. ජනතාව යලිත් විදියට ආවේ මේ සංකීර්ණ සිද්දි දාමයේ ප්‍රතිඵලයක් හැටියට.
ඔන්න දැන් මිලිටරි නායක අබ්ඩෙල් පටා එල්-සිසි මිලිටෙරියෙන් “අස්වෙලා” දැන් ජනාධිපති ධුරයට තරඟ කරනවා. තනි අශ්ව තරඟයක් වෙන්නට ඉඩ තියන මේ ජනාධිපතිවරණය විහිළුවක් වෙන්න ඉඩ ඇති වග කියා මාධ්‍ය වාර්තා කර තිබුනා. රටේ ඉන්න බොහොමයක් ක්‍රියාකාරීන් (සහෝදරයන් හා වෙනත් අය) දැන් හිරේ. පිට රටකින් ඇවිත් වාර්තා කෙරුවත් හිරේ. ඔය සමහර රටවල් වල වගේ, නඩු අහන්නෙත් තීන්දුව කලින් අරන්. සිය ගණන් එකවර එල්ලන තීන්දු දෙන්න යන්නේ දවසක් දෙකක් විතරයි (මේ වගේ කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලි තවත් රටවල් වල තියනවා. රටේ තුන්වන පුරවැසි අගවිනිසුරු එලවන්න යන්නේ කැන්ගරුවන්ගේ රෑ පැය කිහිපයක නඩු ඇසීමකින්; පොඩි, පොඩි අතපසු වීම් නම් තියනවා තමයි. එහෙම නඩු අහපු කට්ටිය සම්මත කරපු නීතියක් වන දුම්කොළ පෙට්ටි වල පොඩි රූප ටික දා ගන්න එක නම්, අවුරුදු ගණන් ඇදෙන්න පුළුවන්. ආ! ඕවා පොඩි දේවල් නේ). කොහොම වුනත් ඊජිප්තුවේ හමුදා පාලනයක් “මහජනතා කැමැත්ත” මගින් නැවත ප්‍රතිෂ්ඨාපනය වෙමින් තියනවා.
බාහිර බලපෑම් ඇවිත් රටවල් හැදේවි යයි සිහින වල ඉන්න වෙබ් අඩවි කාරයන්ට ඊජිප්තුව කුඩා පාඩමක් වගේ කියල මට නිකමට සිතෙනවා.
ප. ලි.
මර්වින් කියන්නේ මගේ ප්‍රියතම සිංහල ගායකයා. මේ ඔහුගේ මා කැමති එක ගීතයක්. මේ වෙබ් අඩවි වල තියන පද මාලා වල තියෙන්නේ “මෙවන් කීවත් ලඳේ…” කියලා. ඔය ඉංගිරිසියෙන් ඉගෙන ගත්ත නම් සේරම හරිය කියන කට්ටිය, අද අපට සිංහලත් බැරි මොකද? ගණනුත් බැරි මොකද? සමාජ අධ්‍යයනයත් බැරි මොකද? කියන මූලික ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ. ලෙවන් කියන්නේ මා දන්නා තරමින් ලෝකයාට.
ලෝකේ ඉන්න අනික් අය තමා, ඔබ බාඳුරා මලක් කියන්නේ, එයාලම තමා ඔබව විසක් කැවූ පැණි බිඳකට සමාන කරන්නේ. හැබැයි මගේ සොඳුරිය, එයාලගේ කතා, එයාල තියා ගත්තාවේ. මට නම් ඔබ ජීවිතය ආලෝකය කරන සුපුන් සඳක්.
සංගීතය එතරම් හොඳ නැති වුනත්, වැඩි දෙනෙක් නරඹපු නැති මේ යූටියුබ් වීඩියෝව මා තෝරා ගත්තේ මර්වින්ගේ පොඩි කතාවක් එහි අග තියන නිසා.
https://www.youtube.com/watch?feature=player_detailpage&v=WH-q3Pf6srs