මැකී ගිය දඩ මං හා නැගී ආ ගොං කං! Our savage sanctuary!


වාසනාවකට හෝ අවාසනාවකට මට දැන් මෙහි ලියන්න ඉස්සර වගේ වෙලාවක් නැහැ. එකක් තමා මා නිදා ගන්න කාලය වැඩි කෙරුවා. ඒ කියන්නේ, වෙනදා වගේ රෑ දෙගොඩහරි යාමය වෙනක් ඇහිරිලා ඉන්නේ නැහැ. අනික තමා මගේ විනෝදාංශ වඩාත් “ඩයිවසිපයි” කෙරුවා. ලෝකය තුල ජිවත් වන බිලියන ගණනකින් ඉතා සුළු පිරිසක් කියවන දෙයක් නැති වුනා කියා කාටවත් පාඩුවක් නැහැ. අද නම් හෙට නිවාඩු නිසා, කාලය වෙනදට වඩා තියනවා.

මා පසුගිය දවසක ගොඩගේ පොත් මැදුරට ගියේ පොත් කිහිපයක් ගන්නා අදහසින්. මා පහත පොත් දෙක දැක්කේ අහම්බෙන්. සාමාන්‍යයෙන් නොකියවන ගණයේ වුවත් මා මිලදී ගත්තේ මෙන්න මේ හේතුව නිසා. එක පොතක් තමා වාලිඹේ ආච්චිගේ මතක සටහන් (පියදාස උඩවත්ත, 2007). අනික තිසාහාමි ගැන නැසූ කතා (ඉහත කර්තෘ, 2008).

රිචර්ඩ් ලයනල් ස්පිට්ල්ගේ පොත් වැදගත් වන්නේ ඒවා කතන්දර වශයෙන් කියුවත්, ගවේෂණ චාරිකා වශයෙන් ලියුවත්, ලංකාවේ එක්තරා ජන කොට්ටාශයක ජිවන විලාසිතාව එනම්  ඇදහිලි හා විශ්වාස, සිරිත් විරිත්, කන බොන හැටි, මුහුණ දුන් සමාජ, සංස්කෘතික හා සෞක්‍ය ප්‍රශ්න ගැන සියුම්ව විශ්ලේෂණය කරන නිසා. ඔහුට එවැනි හැකියාවක් ලැබුනේ දොස්තර කෙනෙකු වීම නිසා පමණක් නොවේ, මානව පරිනාමය හා මානව විද්‍යාව ගැන එංගලන්තයේ කරපු අතිරේක හැදැරීම් නිසා වෙන්න පුළුවන්. මේ ගැන ඔහුගේ ජිවිත කතාව ලියපු, ඔහුගේම දුව වන ක්‍රිස්ටීන් විල්සන් ගේ Surgeon of the Wilderness (Christine Spittle Wilson, 2001) පොතේ සඳහන් වෙලා තියනවා.

මෙම කතා අනුකරණය කරන්න ගිය බොහෝ දෙනෙකුට මෙවැනි දැනුමක් නොතිබීම නිසා, ඒවා නිකං අර කතන්දර විතරක් වෙනවා. පියදාස උඩවත්තගේ ඉහත කෘති දෙකක් යන්තමින් හෝ කියවන්න පුළුවන් වුනේ, අර තිසාහාමිගේ කතාව දන්නා හින්ද පමණයි. මේ පොත් දෙකෙන්ම අමතර කරුණක් අපට දැන ගන්න ලැබෙන්නේ නැහැ. එකම දේ, වන සරණ කෘතියේ සඳහන් වෙන සිද්දි  පුනරුච්චාරණය වීමයි. අනික් අතට කෙනෙකුගෙන් ඇහුව දෙයක්, වෙන කෙනෙකුට රසවත් පරිදි කියන්න හොඳ ප්‍රතිභාවක් තියෙන්න ඕනේ.

කොහොම වුනත් මේ පොත් දෙකේම සඳහන් වෙන කරුණක් තමා අවුරුදු හැත්තෑවක් පමණ වයසට ගියහම, කැලේ හැන්ගෙමින්  ජිවත් වෙන එක තව දුරටත් කරන්න බැරි වග තේරුම් ගත්ත තිසාහාමි, පොලොසියට බාර වෙලා, පසුව අහපු නඩුවෙන් වැරදි කාරයා වී සිර දඬුවම් විඳිමින්, මඩකලපු බන්දනාගාරයේ අසනීපයකින් මිය ගිය වග. ක්රිස්ටින්ගේ පොතෙත් තිසාහාමි හා රිචර්ඩ් කොළඹ වැලිකඩ බන්දනාගාරයේ (හරියටම කියුවොත් ඉදිරිපස දී) ගත්තු චායාරූපයක් තියනවා. ඒ නඩුව අහන්න කලින් වෙන්න ඕනේ. එහිම තිසාහාමි ඇප පිට නිදහස් වෙලා ඉන්න කොට සිදුවුන හමුවීමක් ගැනත් සඳහන් වෙනවා.

කොහොම වුනත්, තිසාහාමි කියන්නේ එම සමාජ වටපිටාව තුල පහලවුන, සුවිශේෂී චරිතයක්. මේ චරිතය හරහාම රිචර්ඩ් අපට ඒ කාලයේ එම පරිසරයේ තිබුන ම්ලේචත්වය, පවුල් සබඳතා, ජිවන අරගලය ගැනත් කියනවා. පියදාස ලියපු , තිසාහාමිගේ දුව කියන කතාවේ එක තැනක මෙසේ තියනවා “කැලෑ ගම්වල දන්නේ නැත්ද වරදට පෙළඹෙනවා වැඩියිනේ. වරදට පොළඹවා ගන්නත් ලේසිනේ”.  මේ තිසාහාමිගේ දුවගේ වචන ( ඒ වෙනකොට ඇය ආච්චි කෙනෙක්). පියදාසගේ පොතකම තමා සඳහන් වන්නේ, ටිකිරි කියන තිසාහාමිගේ එක පුතෙකුගේ ගෙදරට නතර වෙන්න ආපු ඔහුගේ බාල සහෝදරයා, ටිකිරිගේ බිරින්දෑ සමග පැටලීම නිසා, ටිකිරි විසින් ඔහුව (බාලවන්නියාව)  මරා දමන්නට ඇති කියන කාරණය.

අද සුද්දා කියල දුන්න දෙයක් ලෙස කියන සතුන් මැරීමත්, මස් කෑමත් වැද්දන් විතරක් නොවේ, ගම්වල සිටිය සිංහල මිනිසුනුත් කරපු දෙයක්. එකම දේ තමා, එදත් සිංහල මිනිහා මස් වැඩිපුර කාල තියෙන්නේ අනුන්ට කියල මරා ගැනීමෙන්.  අද තමා අපේ දික්කසාද වැඩි, එදා නම් මේ මොකවත් තිබුනේ නැති කියන පරිසරයේ පවුල් සබඳතා  වල ලිහිලත්වයත් මේ කතා වලින් ඉඟියක් ලැබෙනවා.

එදා ගම් පළාත් වල තිබුන යක්කු ගැහීම, හදි හූනියම් නිසා නිසා ලෙඩ වීම් ආදිය දොස්තර රිචර්ඩ් ස්පිට්ල් විස්තර කරන්නේ මැදහත්ව. වැදී  ජනතාව අතර තිබුන ඉර, හඳ හා තාරකා ගැන අදහස්ද ඔහු, ඔවුනගේම වචන වලින් විස්තර කරන්නේ විනිශ්චය කාරයෙකු නොවී. හැබැයි අද අපේ අයියල වගේ, මෙවැනි දේවල් ගැන පරම විශ්වාසය තබමින් පොත් ලියන්නෙකු ලෙස නම් නොවේ. අද වෙනකොට මේ යක්කු ගැසීම්, හදි හූනියම්, කොඩි වින හා වශී බෝල අත් දෙකට විතරක් නොවේ, අනෙක් මිනිසුන් විසින් මේවා පිටු දැකීම නිසා නිපදවා ගත්තු කොම්පියුටර, රූපවාහිනී, ගුවන් විදුලි හා පොත් පත්තර වලටත් ගෙනල්ල වන්දනා මාන කිරීම කොතරම් දයිවයේ සරදමක්ද?

අද වෙන කොට මේවාට එරෙහිව වචනයක් කියන්න පවා අන් අය බයයි. කොලේ වහලයි කියන්නේ. මේවායෙත් යම් සත්‍ය තාවයක් තියෙන්නේ පුළුවන්. නැත්නම් මේවාත් විද්‍යාවන්. අපට නොපෙනෙන දෙයක් මේවායේ තියනවා යනාදී වශයෙන්. මොකද ඔවුනුත් බයයි මේ මිත්‍යා දෘෂ්ටික අයියලාගේ විවේචන වලට. අද මේ පිරිස් එතරම්ම ප්‍රධාන ධාරාව අල්ලාගෙන. මොලේ කචල් වුන මහා බුද්ධිමතුන්ද මෙයට විශාල ලෙස දායක වී තියනවා. මෙය සමාජ ඛේදවාචකයක්. අද නොවේ එය වැඩිපුර දැනෙනු ඇත්තේ හෙට.

මා කොතරම් විවේචනය කෙරුවත් එක අතකින් වික්ටර් අයිවන් හැර මේවා ගැන සිංහලයෙන්  ලියන වෙන කෙනෙක් ඉන්නවද? වික්ටර් ලියුව කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම (2013 සැප්තැම්බර 15 ඉරිදා රාවය) නමැති ලිපිය මේ ගැන කතා කරපු කදිම එකක්. මෙය ඔබට කියවන්න හැකි නම් හොඳයි. වික්ටර් කතා කරන එහි එන කරුණු මාත් නිතර මෙහි ලියන ඒවා. හැබැයි වඩා පිරිසකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වික්ටර් අයියල අද වඩාත් අවශ්‍යයි.

මේවත් කියවන්න!

මේ නම් පරණ කතා .

නියන්ඩතාල් යුගයට යමුද?

සිනහවේ කුළ!

පසු සටහන්

මේ පීචන් ගීතය සහිත සංයුක්ත තැටිය මා සොයමින් සිටියේ කලක සිට. ගීතය ලියා ඇත්තේ ප්‍රේමකීර්ති. සංගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි. ගයන්නේ මා ප්‍රියකරන ගායක රොම්ලස් පෙරේරා (පද්මකුමාරට උත්තර ලියන්න දැන් පමා වුනා වැඩියි!).

Advertisements

20 Comments

Filed under Lifestyle, Social

20 responses to “මැකී ගිය දඩ මං හා නැගී ආ ගොං කං! Our savage sanctuary!

  1. Padhmakumara

    දොස්තර ස්පිට්ල්ගේ පොත් හැම එකක්ම වගෙ මම කියවල තියනව. අම්මා මට වයස දහයෙදි විතර වන සරන අරගෙන දුන්නා,ඊට පස්සෙ අනිත්වා සමහරක් ගත්තා එහෙම නැතිනම් වෙන අයගෙන් මාරු කරගෙන බැලුවා.තිසාහාමිව හරි ලස්සනට මැවිල පේන විදියට පොත ලියල තියනව.ඒ වගේම ඒක පරිවර්තනය කරපු ඒ.පී.ගුනරත්නගෙ දක්ශකම.පියදාසගෙ පොතත් කියෙව්වා.ඔබ කියන එක හරි. එකම දේ.අතට අහුවෙන හැම එකම කියවන පුරුද්ද නම් අම්මගෙන් ආවෙ.අම්මා අවුරුදු 90ක් ඉඳලා ගිය අවුරුද්දෙ නැතිවුනා,ඒ වෙනකම්ම අම්මත් අතට ලැබෙන හැම පොතම කියෙව්වා.

    • බොරුවක් නොවේ පද්මකුමාර, මා මෙය නොකඩවා ලියන්නේ ඉඳහිට හෝ දමන ඔබ හා පහත ඉන්න පිරිසේ කොමෙන්ටු නිසා.
      ඔය පොත් සෙට් එක එදා සිංහලයෙන් ඉගෙන ගත්තු අප හැමගේම කියවන ලැයිස්තුවේ තිබුනා නේද? බලන්න අප හැමටම කොතරම් පොදු දේවල් තියනවාද?

      මා නම් පද්ම අද සියල්ල කියවන්නේ නැහැ. මට වෙලාවකුත් නැහැ. ඕනේ කමකුත් නැහැ. ඉතිං තෝරා කියවනවා. අද වෙන කොට අප ඇට්ටර බැහිලා ඉවරයි.
      ඔබ පරිවර්තන ගැන කියන කොට කියන කතාව මා කලින් සටහනක ලියා තියනවා. ඒ කියන්නේ ඒ පී ගුණරත්නගේ පරිවර්තනයන් ගේ හොඳකම ගැන. එදා සිංහලයෙන් කියවන්න තිබුන අනෙක් පොත් කාණ්ඩය තමා රුසියන් හා සොවියට් සාහිත්‍ය, ළමා කතා දේශපාලන ලියැවිලි වල පරිවර්තන. මේවාත් ගොඩක් දෙනාට ප්‍රයෝජනවත් වුනා.

      පරිවර්තනය භාෂා දෙකක් දැනගෙන සිටීමෙන්ම කරන්න පුළුවන් දෙයක් නොවේ. මෙයට හොඳම උදාහරණය අපේ දැවී රුද්‍රිගු (අපේ කියුවේ මොකද කියල දන්නවනේ). ඔහු තරම් පොත් ගානක් සිංහලයට පරිවර්තනය කරපු වෙන කෙනෙකු ඉන්නවද දන්නෙත් නැහැ. හැබැයි එතරම් නීරස විදිහට සිංහලයට පරිවර්තනය කරපු වෙන කෙනෙකුත් නැතිව ඇති. ඔහුගේ පරිවර්තන එතරම්ම නරකයි. මා පොඩිකාලේ කියවාපු එක රුසියන් කෙටි කතාවක ඔහු මෙහෙම කියනවා …. කන්දක සිට පෙරලී එන ගල් කැට දෙකකට මැදි වුනොත්…..යනාදී වශයෙන් (මේ යට ගිය දවස මතකය). දැන් මේ ගල් කැට දෙකකට මැදි වෙන්න නම් කඩියෙක් වගේ පොඩි සතෙක් වෙන්න ඕනේ. මේ කියන්නේ මිනිහෙක් ගැන. මෙයම අපේ පද්ම හර්ෂ කුරණගේ පරිවර්තනය කරලා තිබුනේ මෙහෙමයි …… මහා කන්දක සිට පෙරලි එන ගල් පර්වත දෙකකට මැදි වුනොත්…. මේ වගේ උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන් ඔහුගේ (රුද්‍රිගු ගේ) පරිවර්තන පොත් වලින්. ළමා කතා පවා ඔහු කාල තිබුනා.

      එදා පොඩි කාලේ මෝඩකමට මා මේ නීරස පරිවර්තන ගැන ප්‍රගති ප්‍රකාශක මන්දිරයට ලියුවා. එයට ස්තුති කරලා ආපු පිළිතුර අපේ ගෙදර තාම ඇති. ඔවුන් මගේ අදහස් “අනාගතයේ පරිවර්තන කිරීම් වලදී සලකා බලන්නෙමු” කියා එහි ලියා තිබුනා මතකයි.

      ලගඳී අපේ සහෝදරයෙක් කියුවේ ඔහුගේ දරුවන් අර “කතන්දර හා පින්තූර” පොත රසවිඳින ආකාරය. මෙයත් අපේ කුඩා කාලේ ආපු පරිවර්තනයක් නේ. ඔහු මතක් කළේ බක බක අප්පුහාමි, ඉඳිකටු මුදියන්සේ වගේ නම් වල ඇති අපූර්වත්වය. මේවා රුසියානු නම් වල ගෙඩි පිටින් පරිවර්තන නොවේ. මේ පද්ම හර්ෂගේ වැඩ. ඔන්න හැටි.

  2. ස්පිට්ල් තරම් ගැඹුරින් අධ්‍යයනය නොකර තමයි ඊට පස්සේ අය ලිව්වේ කියන එක මමත් පිලිගන්නවා.

    ඒබ්‍රහම් ටී කොවුර් ගේ පොත් ගැන මොකද ඔබේ අදහස?

    • විචාරක මා ඔහුගේ පොත් නම් කියවල නැහැ, ලිපි සමහරක් වෙන වෙනම කියවල තියනවා. ඒ කාලේ හැටියට ඔහුගේ ප්‍රවේශය වැරදියි කියන්න මට හිතෙන්නේ නැහැ. හැබැයි එවැනි “වෘත්තීය” විවේචකයන් දීර්ග කාලීනව යහපතකට වඩා, අයහපතක් කරන්නේ කියල අපට පෙනී යනවා. දැන් බලන්න ඔය වෘත්තීය සමාජවාදීන්, වෘත්තීය ආගම් නොඅදහන්නන්, වෘත්තීය මිනිස් අයිතිවාසිකම් සුරකින්නන් ආදීන් ඇත්තටම මේ දේවල් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා කරන්නේ, තමාලගේ ජීවන් වෘත්තීය සරි කර ගැනීමයි. කොවූර් නම් මේ ඝනයට අයිති නැහැ. ඔහුට වෙනත් ජිවන වෘත්තියක් තිබුනා. ඒත් ඔහුට විශේෂිත සීමාකම් නිසා පොදු ජනයාට අමතන්න බැහැ. හරියට ඔය නාලක ගුණවර්ධනලා වගේ.

  3. මටත් පුදුම මේ සමහර මාධ්‍ය පවා අසත්‍ය අසත්‍යයැයි නොකියා අතර මැදි ඩීල් දාන එක. සාමාන්‍ය මිනිස්සු අතරමං කරනවා. ඒ තුල බිහිවෙන පරම්පරාව හරියට KFC Chicken වල Bread crumbs ගලවලා කන අය වගේ. ඇයි කියලා ඇහුවාම කියනවා කොලොස්ටරෝල් ලූ. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ අය කියන්නේ කියල.

    ඉතින් රොම්ලස් පෙරේරාගේ සින්දු සෙට් එකේ හොඳ සිංදුවක්. ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදකයෙක් හැටියටත් වැඩකරා. ගොඩාක් ආධුණිකයින්ට උදව්කලා…ආධුණික ගායනා තරඟ නිෂ්පාදනය කරලා. මේවා බොහොමයක් අය දන්නේ නැහැ. ප්‍රේමදාස යුගයේ එම් එස්, රොම්ලස් එහෙම එයාගේ ලඟින් හිටිය පොරවල්.

    • මේක මචං rote learning ක්‍රමයේ එක අංගයක්. එනම් විචාරශීලි බවක් නැතිකම. දැන් බලපන් ඔය විභාග ජයගන්න කියල ගෙන්නන අයියලාගෙන් උපදෙස් ගන්නේ මොන ගොන් කමකටද? මේ අයියල සමත් වුන එක විභාගයක් තියනවද? හරිනම් කල්පනාවට එන්න ඕනේ, මොකද යකෝ අපිට කියල දෙන්න කලින් මූට විභාග පාස් කර ගන්න බැරි වුනේ කියල. නැහැ බං, එහෙම කල්පනා ශක්තියක් නැහැ. මොකද කලින් කටපාඩම් කරපු ප්‍රශ්නෙට දෙන උත්තර හතරෙන් හරි එක දැන ගත්තට, මෙහෙම සුළු දෙයක් කල්පනා කරන්න, විචාර බුද්ධිය දියුණු කරගෙන නැහැ. මේ අයියල අතරට ඔය ජාතික චින්තනය වගේ පිස්සුවකුත් පැටලෙවුවහම පට්ට ආතල්.

  4. kathandarakaraya

    මේ පොස්ට් එකේ ටයිටලය මරේ මරු!

    මගේ හිතවතෙක් ලියා තිබුණා කෙටි කතාවක් ගමේ හිටිය කාලේ එල්ලේ සෙල්ලං කරපු හැටි ගැන සඳහන් වෙන.

    ඔහු දාලා තිබුණු ටයිටලය තමයි: ‘නැගෙන තරු’ බැස ගිය සඳ!

    • ඔබට ස්තුති නොකර බැහැ. ඒ වගේ වර්ණනාවකට. ඇත්තම කියනවා නම් කකා ලියන දේවල් මොක වුනත් ටයිටලය වත් රසවත් වෙන්න ඕනේ. නැත්නම් කියවන්න පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ. ටිකක් දුර කියවගෙන යනකොට (මගේ සටහන වගේ) අතහැරලා දාන එක වෙනම කතාවක්. ඔය පර්යේෂණ ලිපි ලියන විටදීත් ලිපියේ මාතෘකාව හරියටම යොදන්න කියල කියනවා. එකක් තමා පාඨකයාට කියවීමට පෙළඹීමක් ඇති වන්නේ එවිට. අනික තමා ඔය සර්ච් එන්ජිං වලට අහු වෙන්න තියෙන්න ලියන්න ඕනේ. අර කෙටි කතා හෙඩිමත් මරු! මාත් ඔබ වගේම, එක බ්ලොග් එකක ටයිටලය හොඳයි කියල ලියුවහම, ඒ ලියපු පොරට තද වෙලා තිබුනා. හැබැයි මා, ඔබ තරම් කාරුණික වුනේ නැහැ. මා ලියුවේ “මොනවා නැති වුනත්, මාතෘකාව නම් මරු!” කියලා 😀

  5. Pra Jay

    //මේවා ගැන සිංහලයෙන් ලියන වෙන කෙනෙක් ඉන්නවද? //
    නාලක ගුනවර්දන ටිකක් ලියල තියනවද?
    ස්පිට්ල් අවුරුදු 70 කට ඉස්සර ලියල තියනව ඈත්ත වෑද්දො ඉවරයි කියල.
    දෑන් වෑදි ජනයා සන්චාරක වියාපාරය සහ සමාජීය දේශපාලන අවශ්යතා සදහාත්, ලේඛකයන් සහ විශ්වවිද්යාල වියතුන් තම පොත් සහ රිසර්ච් සදහාත් වෑදිජන සන්කල්පය ගෙනයනවා

    • වැදී ජනයා නොවේ ප්‍රා, කොයි ජනකායක් වුවත් තවත් ජනකායකට ආතල් ගන්න/දෙන්න කැලෑවට වැදිලා ඉන්න ඕනේ කියා මා නම් හිතන්නේ නැහැ. අප අද භුක්ති විඳින සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා ඔවුනටත් ලබාගන්න ඉඩ දෙන්න ඕනේ. ඔවුනගේ තියන කුසලතා වලින් ඔය කීයක් හරි ගරා ගැනීමත් නරක දෙයක් නොවේ. අද හේන් කොටලා, සතෙක් එලාගෙන විතරක් ජිවත් වෙන්න බැහැ. වැද්දන් කියල මොකෝ, කොම්පියුතර පොජ්ජෙන් මලාකබල් පොජ්ජක් වත් ඇච් ගෙජ්ජට මන්දෝ කරන්නේ නැත්ද? බ්ලොග් පොජ්ජක් අටවාගෙන දවල් මැච්චේ හතානන් පොල්ල ගැන, පොස්ටු පොජ්ජක් අයියල ඇත්තොට ඇන උලාකන්න දෙන්නේ නැත්ද? දවස් මැච්චේ මොබයිල් පොජ්ජෙන් නෑනිලැත්තෝට එසෙමෙස් පොජ්ජක් පටාරින්න හිත් පොජ්ජට මන්දෝ වෙන් නැත්ද? අඩුම ගානේ කාර් පොජ්ජෙන් ඉර පොජ්ජ මන්දොවන මැච්චේ, එල මඥෙක් හරි කටු කැච්චෙක් හරි බරි ගහගෙන යන වෙලාවක කළු කෝනම් වටලපු හූරෝ මන්ගච්චන්නේ කොදුයි කියුවොත්, කොළ පොජ්ජක් වත් අත මිට මොලවන්නේ කොදුයි?

      ඕවා මොනවාද ප්‍රා, අද වැලිගම පැත්තේ ඉන්න අර ස්ටිල්ට් ෆිෂර්මන් ලා (මට සිංහල වචනේ මතක නැහැ අනේ!) අද කරන්නේ මේ වගේ දෙයක්. ඔන්න එක පොරක් වෙරළේ ඉන්නවා. තව පොරක් අර කණුවේ නැගලා වතුරට පිත්ත දමාගෙන (මොබයිල් ෆෝන් එකෙන් වැල බලමින්) ඉන්නවා. සුද්දෙක් ආවොත් පොටෝ ගන්න, අර වෙරළේ ඉන්න එකා කියනවා ගානක් දෙන්නේ නැතුව පොටෝ අර ගන්න බැහැ කියලා. වැඩේට සුද්ද කැමති වුනොත් “මචං වැඩේ හරි, ඔන්න පටන් ගනින්” කියනවා. අර මුහුදේ කණුවේ ඉන්න පොර, බිලි පිත්තට අමුණලා තියන මාලුවාව ගස්සලා ගන්නවා. සුද්දගේ ෆොටෝ එකත් පර්ෆෙක්ට්. දවසෙම මාළු ඇල්ලුවත් ජිවත් වෙන්නත් අර මිනිස්සුන්ට බැහැ. මේ වගේ නව ව්‍යාපාරික ඥානය අප හැමටම අවශ්‍යයි.

  6. //එදා ගම් පළාත් වල තිබුන යක්කු ගැහීම, හදි හූනියම් නිසා නිසා ලෙඩ වීම් ආදිය දොස්තර රිචර්ඩ් ස්පිට්ල් විස්තර කරන්නේ මැදහත්ව. වැදී ජනතාව අතර තිබුන ඉර, හඳ හා තාරකා ගැන අදහස්ද ඔහු, ඔවුනගේම වචන වලින් විස්තර කරන්නේ විනිශ්චය කාරයෙකු නොවී. //

    මේ දේම කරන මාධ්‍ය අද ඇත්තෙම නෑ කියලද රයිගම් කියන්නේ. මම අදහස් කලේ, ඔය වගේ යමක් ගැන මත දෙකනේ තියෙන්නේ. එක්කෝ විශ්වාස කරනවා, නැතිනම් නෑ. ඒ අතර විවෘත මනසකින් ඉන්නවා කියලා දේකුත් තියෙනවා නේද? එතකොට සමහර මාධය ඔය දෙපැත්තෙම අදහස් දරන පුද්ගලයයෝ ගෙන්වලා කරන්නේ අර ස්පිටල් කරපු දේම වෙන්න බැරිද?

    ඒ වගේම උඹට මතක ඇති සීතල යුද්ධය තිබුන කාලේ. බටහිර රජයන්, මාධය විතරක් නෙවේ, සාහිත්‍ය කරුවන්, කලා කරුවන් පවා බොහෝවිට දැරුවේ කොමියුනිස්ට් විරෝධී අදහස්. ඒ වගේම eastern bloc රටවලත් රජයන්, මාධ්‍ය, සාහිත්‍යකරුවන්, කලාකරුවන් සහ වෙනත් ශිල්පීන් පවා කරපු නිර්මාණ වල බටහිර විරෝධී අදහස් දකින්න ලැබුනා. අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ පුරවැසියෝ නිසා මැද්දෙන් ඉඳගෙන මුන් දෙගොල්ලම දෙසන දේවල තාර බර ඇරලා බාරගත්තා. ඒ එක්කම දෙපැත්තෙම හොඳ නරක දැක්කා.

    අදත්, නැෂනල් ජියෝග්‍රැ‍ෆික් වගේ චැනල් වල පෙන්නන වැඩසටහන් වල චිලී, කොලොම්බියා වගේ රටවල් ගැන දැක්කාම යන්න බය හිතෙන්නේ නැද්ද?

    • මට සියල්ලන්ට ටිකක් දිගට වෙනම පිළිතුරු ලියන්න අවශ්‍යයි. හැබැයි උඹගෙන්ම පටන් ගන්නම්. වෙලා තිබුනොත් අද අන් අයටත් ලියනවා. නැත්නම් වෙන දවසක.

      ස්පිට්ල් මචං වැද්දන් අතරට ගිහින් ඔවුනගේ කතා අහල ඕව යක්කු ගැහිලි තමයි කියමින් පොත් ලියුවේ නැහැ. ඔහු ඔය කැලෑ ගමන් වලදී ඔවුනට අවශ්‍ය බෙහෙත් ආදියත් අරන් ගිහින් තියනවා. ඔහු මේවා විශ්වාස කරපු කෙනෙක් නොවේ.

      මේ කියන්නේ විවුර්ත මනසකින් ක්‍රියා කිරීමක් නොවේ මචං. මිථ්‍යා විශ්වාස සමග විවුර්ත මනසක් නැහැ. මේවා විශ්වාස කරනවා කියන්නේ තාම ගල් යුගයේ කියන එක විතරයි. පසුගිය දවස්වල මා දැකපු දේ තමයි මා ලියුවේ. මාව පැත්තක තියමු. අප මොනවා කියුවත් වික්ටර් අයිවන් කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්. ඔහුගේ දේශපාලනය හා වෙනත් මතාන්තර සමග අපට එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. හැබැයි මචං මෙන්න වික්ටර් නිරීක්ෂණය කරන දේ. මේවා රටින් පිට ගියත්, අර හරකාගේ පිටුපස එල්ලා ඇති ගැල මෙන්, මේ මිථ්‍යා දෘෂ්ටික අයියල හා අක්කල අරන් එනවා.

      “මාගේ ජිවිත කාලය තුළ මේ රටේ මේ කාලයේ තරම් ප්‍රාථමික මිත්‍යා විශ්වාසයන්ට ජනමාධ්‍ය මගින් අනුබල දුන් වෙනත් කාලයක් නැති තරම්ය. මිත්‍යා විශ්වාසයන් හා බැඳුනු ජනතාවක් හැමදාමත් මේ රටේ සිටියේය. ඔවුන්ගේ මිත්‍යා අවශ්‍යතා කිසියම් ප්‍රමාණයකට ජනමාධ්‍ය මගින් සපුරාදෙන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. දවසේ පලාපලවලට පුංචි ඉඩක් හැම පුවත්පතකම පාහේ ලබාදෙන ලදී. ජෝතිෂ්‍යය සඳහා වෙනම පුවත්පත් තිබුණු අතර සමහරවිට ඒ ගැන ලියැවුණු ලිපියක් ඉරිදා පුවත්පත්වලද පළවිය.

      එහෙත් දැන් ඇතිවී තිබෙන වෙනස අතිවිශාලය. සියලු ජනමාධ්‍ය වැඩිම ඉඩක් වෙන්කර තිබෙන්නේ මිථ්‍යා විශ්වාසයන් අරභයා ලියන හෝ කියන කතා වලටය. සාස්තර කාරයන් පමණක් නොව භුතයන් හා පෙරේතයන් සමග ගනුදෙනු කරන කොඩිවින කාරයන් දැන් ජනමාධ්‍ය වල රසවත් මාතෘකාව බවට පත්ව තිබෙන්නේය. ඒ සඳහා ජනමාධ්‍ය අතර ලොකු තරඟයක් තිබෙන බවද පෙනෙන්නට තිබේ. ජනමාධ්‍ය වැඩිම ඉඩක් වෙන්කර තිබෙන්නේ විද්‍යාව හා නවීන අදහස් වලට නොව යල්පැනගිය මිථ්‍යා විශ්වාසයන්ටය.මිථ්‍යා විශ්වාස විකුණන ව්‍යවසායකයන් හෝ ව්‍යවසායක ආයතන ජනමාධ්‍ය වලට දැන්වීම් ආදායම් ලබාදෙන වැදගත්ම ප්‍රභවයක් බවට පත්වී තිබෙන බවද පෙනෙන්නට තිබේ.

      මීට වසර දෙක තුනකට පමණ ඉහතදී උදේ වැඩට යන්නට පෙර රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හරිමින් තිබුණු වැඩසටහන් උඩින් පල්ලෙන් බලමින් සිටින අවස්ථාවකදී ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක් මගින් විසුරුවා හරිමින් තිබුණු අපූරු වැඩසටහනක් දැකගැනීමේ අවස්තාව ලැබුණි. එය අපොස උසස්පෙළ පන්ති සඳහා විභාග ආරම්භ කර තිබුණු දිනයක් විය. වැඩසටහන ඉලක්ක කොටගෙන තිබුණේද එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන්ය. ඔවුන්ට මගපෙන්වීම් කරන දේශකයා අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක් නොවිය. ඔහු රාජකීය ජෝතිෂ්‍යඥයෙක් විය. එය දීර්ඝ වැඩසටහනක් වූ අතර ඔහු උපදෙස් දුන්නේ අපල දෝෂ දුරුකර ගනිමින් විභාගය ජයගත යුතුව තිබෙන ආකාරය ගැනය. මට එම වැඩසටහන ගැන එක්තරා ප්‍රමාණයකට විස්මයද තවත් ප්‍රමාණයකට මහා කලකිරීමක්ද ඊටත් වැඩි ප්‍රමාණයකට පිළිකුලක්ද ඇතිවිය.

      නුතන සමාජය අර්ථකථනය කෙරෙමින් තිබෙනුයේ “දැනුම් සමාජයක්” වශයෙනි. උසස් පෙළ විභාගය උසස් අධ්‍යාපනය සඳහා තිබෙන ප්‍රධාන කඩඉම ලෙස සැලකිය හැකිය. අප දැනුම් සමාජයට එකතුවෙමින් සිටින තරුණ පරපුර පුහුණු කිරීම සඳහා පාවිච්චි කරමින් සිටින්නේ නූගත් සාස්තර කාරයන් හා කට්ටඩින්ය.”

      ඉහත තියෙන්නේ වික්ටර්ගේ ලිපියේ මුල් කොටස.

  7. ඇත්තටම රාවය කියන්නෙ නමටම හරියන සංවාදශීලී පුවත්පතක්… ඒත් හුගක් දෙනා ඒකෙන් කියවෙන දේ වටහා ගන්නවාද යන්න සැකයි…

    හුගක්ම මේ විකාර ජනතාව අතරට යන්නෙ මාධ්‍ය කියාගන්නා ඉලව් වලින්ම තමා…
    බුද්ධ දර්ශනය වෙනුවට අද ස්ථාන ගත වෙලා තියෙන්නෙත් විකාර රූපී කලවං වෛරය වපුරන ආගම කියන ලේබලේ අලෝගත්ත මගුලක් වෙච්ච 1 ඕවත් මොනාද අෆ්ෆා

    • මා පොඩි දෙයක් කියන්නම් මහේෂ්. ඕනෙම ජනමාධ්‍ය ආයතනයක ඇජෙන්ඩා එක මොකක්ද කියල මුලදී හෝ ටිකක් පසුව හෝ තේරුම් අරන් කියවන්න, බලන්න හෝ අහන්න. එතකොට පසුව සිදුවිය හැකි හිතේ අමාරු මගහරවා ගන්න පුළුවන්. මෙය ලෝකේ ඕනෙම ජනමාධ්‍ය ආයතනයකට පොදුයි. 🙂

      මා වැඩිපුර බර තියන්නේ “ඒකීය හොඳ ජනමාධ්‍ය වේදීන්ට”. මොවුනුත් මේ ඕනෙම ආයතනයක් තුල ඉන්න පුළුවන්.

      මෙහෙමයි මහේෂ්, ඉන්දියාවේ බුදුහාමුදුරුවන් දේශනා කරපු බුදුදහම කියල එකක් තියනවා. ඊට අමතරම ලංකාවේ බුද්දාගම කියල තව එකක් තියනවා. ලංකාවේ එක තේරුම් ගන්න විචාරක බුද්ධිය අවශ්‍ය නැහැ. ලොකු බඩක් විතරයි ඕනේ (බෙල්ලක් නැත්නම් වඩා හොඳයි).

  8. //////////මා පොඩි දෙයක් කියන්නම් මහේෂ්. ඕනෙම ජනමාධ්‍ය ආයතනයක ඇජෙන්ඩා එක මොකක්ද කියල මුලදී හෝ ටිකක් පසුව හෝ තේරුම් අරන් කියවන්න, බලන්න හෝ අහන්න. එතකොට පසුව සිදුවිය හැකි හිතේ අමාරු මගහරවා ගන්න පුළුවන්. මෙය ලෝකේ ඕනෙම ජනමාධ්‍ය ආයතනයකට පොදුයි. :)//////////////
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

  9. Anonymous

    පි

  10. පියදාස මහතාගේ පොත් මාත් කියවලා තියෙනවා. ඉතා වැදගත් කරුණු ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඉන්න වන්නියලා ඇත්තෝගේ තාත්තා ඇත්තම තිසාහාමි නෙවෙයි.මෙතුමාගේ තව පොත් කිහිපයක්ම තියෙනවා දිගාමඩුලු ජනශ්‍රුතිය ගැන.පොඩ්ඩක් කියවල බලන්න. බොලද කතා ලියන කතුවරුන් ඉන්න අද යුගයේ මෙවන් කතුවරු බිහිවීමත් වාසනාවක්.විදිහටයි මම දකින්නේ..

    • යශෙන්, ඔබව මට මග හැරිලා. මා කියවපු මේ පොත් දෙකට අනුව, එම කතුවරයාගේ තව පොත් නිකම් දුන්නත් මා ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒවා සාපේක්ෂව හොඳ වෙන්න පුළුවන් බව මා බැහැර කරන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s