සැළලිහිනියෝ උඹ දන්නේ නෑ! It must have been love, but it’s over now!


Capture tony

මගේ කලින් සටහනේ මහේෂ්ගේ ප්‍රතිචාරයට නැවත ගියොත් හොඳයි කියා සිතුනා. ඇත්තටම මාත් මහේෂ් සමග එකඟයි. ඒ කියන්නේ රාවය පුවත්පතක් ලෙස අන් පත්තර හා සසඳන කළ හොඳයි කියන එක. ඒත් මේ පත්තර හෝ අනෙක් ජනමාධ්‍ය පවත්වාගෙන යන්නන් එසේ කරන්නේ යම් අරමුණක් ඇතුව. එක අතෙකින් මේවා ව්‍යාපාර, අනෙක් අතින් මේ ව්‍යාපාර කරන අයටත් දේශපාලන අරමුණු, හිතෙශිකම් හා වෙනත් අපට නොපෙනෙන අරමුණුත් තියෙන්න පුළුවන් හා තියනවා.

මා මේ බ්ලොගය ලියන්නේ වෙනත් සේරම වැඩ කරලා ඉවර තියනවා නම්. ඒ විතරක් මදි, මේ අන්තර්ජාල වලට ගෙවන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඉතිං මට මේක කෙනෙක් බැලුවා හෝ නොබැලුවා කියා, ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නැහැ. අනික මෙය ලියන්නේ, අනික් වැඩ කිරීමෙන් ගතමනාවක් හොයන නිසා. ගතමනාවක් හොයන එක නැවතුන දාට, මේ බ්ලොගේත් හබක්. ඒකයි මා නිතර කියන්නේ මා නම් මේ බ්ලොගය ලියන්නේ  උද්දච්චකමකින් කියලා. ඔබල කිහිප දෙනා කියවන එක මට සතුටක්. නමුත් කියවන්න  කියා පින්සෙන්ඩු වන්න මට අදහසක් නැහැ. මා පොත් පත්තර කියවනවා වුවත් මෙහි ලියවෙන බොහෝ දේවල් වලට පාදක වී තියෙන්නේ මගේ අත්දැකීම්.

හැබැයි පත්තරයක් හෝ ගුවන්විදුලියක් එහෙම ගෙනියන්න බැහැ. කුඩු විකුණලා හොයන සල්ලි තියනවා නම්, මේ වගේ දෙයක් ලාභයක් නැතුව වුනත් ගෙනි යන්න පුළුවන්. හැබැයි ඔය මර්ඩොක් අයියල වගේ අය ලොකු බිස්නස් එකක් කරන්නේ. මේ තරඟකාරී බිස්නස් එකේදී ඔවුන්ට සීමා මායිම් නොමැති වග, අප එංගලන්තයේ එලිවුන සිදුවීම් වලින් දුටුවා. එහෙම එකේ එවැනි තැනක වැඩ කරන “ඒකීය පුද්ගලයෙකුට” පවා, තමන්ට ඕනේ හැටියට ලියන්න හෝ වැඩ සටහන් මෙහෙයවන්න බැහැ.

මර්ඩොක් අයියගේ පත්තර ටික මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයේදී ලිබරල් පක්ෂයේ දිනුම වෙනුවෙන් එළිපිටම කඩේ ගියා. එය වැරදියි කියුව බොහෝ දෙනා, එයට කලින් අගමැති හාවර්ඩ් පැරදුන මැතිවරණයේ, මේ පත්තර පෙනී හිටියේ කා වෙනුවෙන්ද කියා ප්‍රශ්න කරන්නේ නැහැ.  ඔවුන් විවිධ අවස්ථා වල පෙනී ඉන්නේ කවුරුන් වෙනුවෙන්දැයි කියන එක මට නම් මහා ප්‍රශ්නයක් නොවේ. මේවායේ ලියවෙන දේවල් මා කියවනවා වුවත්, මගේ සිතිවිලි හෝ තීරණ පාලනය කිරීමේ හැකියාවක් ඒවාට  (දැන්) නැහැ.

ජනතාවගෙන් බහුතරයක් මේ පත්තර හෝ වෙනත් මාධ්‍ය කියන නිසාම කණ්ඩායමකට කැමති වෙනවා හෝ චන්දය දෙනවා කියල මා හිතන්නේ නැහැ. හැබැයි ඔවුන්ට බලපෑමක් කරන්න පුළුවන් ජනමතයට. ගොඩක් වෙලාවට මෙයාල වැල යන අතට මැස්ස ගහනවා. එයින් ඔවුනට දෙපැත්තකින් වාසියි.

හැබැයි එක දෙයක් තියනවා. රාවය වුනත් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණපාල තියනවා කියන එක අප පහුගිය කාලේ දුටුවා. ඒ වගේම තමයි අනෙක් ඔය කුඩා මාධ්‍ය ආයතනත්. බහුතර ජනමාධ්‍ය හා ජනතාව කියන්නේ ගහයි-වැලයි වගේ. එකිනෙකා පවතින්නේ, එකිනෙකාගේ සහයෝගයෙන්. මේ ගල් යුගයට ගෙන යනවා කියන දෙය ගත යුත්තේ ඒ අර්ථයෙන්. මේවා මේ යකැදුරන්, කට්ටඩියන්, සාස්තරකාරයන් වැනි ගල් අයියල සමග එකතු වී තියෙන්නේ, සමාජයේත් එයාලට තියන ඉල්ලුම නිසාමයි

අද වෙනකොට “අනේ! මෙන්න මෙයාල අරුන්ට කඩේ යනවා”යි කියමින් බෑඟිරි ගාන්න අවශ්‍ය නැහැ. මොකද අපට තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රභව විශාල ලෙස වෙනස් වෙලා තියනවා. අද වෙනකොට එක පත්තරයක් හෝ රේඩියෝවක් මත රඳා පවතින මිනිසුන් නැහැ (මේවා නම් වලින් වෙනස් වුවත් අයිති මර්ඩොක්ටමයි).

අද පත්තරේ මා දුටුවා කැන්බරා නිවාස වලින් 89% කට අන්තර්ජාල පහසුකම් තියනවා කියා. අන්තරජාලය කියන්නේ කලින් තිබුන සම්පරදායික මාධ්‍ය වලට වඩා නිදහස්ව තොරතුරු ලබා ගන්න පුළුවන් තැනක්. මුද්‍රිත පත්තර ගන්නා පිරිස සීග්‍රයෙන් අඩු වෙනවා. ගොඩක් දෙනා දැන් මුද්‍රණය කරන්නෙත් නැහැ. සමාජ ජාල කියන්නේ ප්‍රජාවගේ ජනමාධ්‍ය. මේවා ලියන්න හෝ කියවන්න කියා අපට කිසි කෙනෙකුගෙන් බලපෑමක් නැහැ (බිරිඳගෙන් හැර). ඔබට ඕනේ නම් ලියන්නත්, ඕනේ නම් කියවන්නත් පුළුවන්.

යම් මාධ්‍යයකට පැවැත්මක් නැහැ, අසන නරඹන හා කියවන පිරිස් නැත්නම්.  අපට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දේවල් පසුපස යමින්, සමාජයට දොස් පවරන එකේ තේරුමක් නැහැ.

කාටුනය Canberra City News පුවත් සඟරාවෙනි.

ප ලි
පත්තර කියුවහම New York Times පත්තරේ තිබුන ලිපියක් මා සිතුව දෙයක්ම ඒ විදිහට ලියා තිබුනා. දැනට අතුරුදහන් වෙලා තියන Malaysia Airlines Flight MH730 සම්බන්දයෙන් මැලේෂියානු රජයේ අකාර්යක්ෂම ප්‍රවේශය ගැනයි ඒ ලිපිය. මෙය දැන් කාලයක සිට කතා බහේ තියන දෙයක්. එනම් ඔවුනගේ භූමි-පුත්‍ර සංකල්පය විසින්, අද ඔවුන් ගෙනවිත් තියන තැන. වැරදුන ඒ පාරේම යන්න, අද තවත් රටවල් ට්‍රයි කරනවා. පුළුවන් නම් කියවන්න පුළුවන් හොඳ ලිපියක්. මට ලින්කුවක් දාන්න නොහැකියි.

Advertisements

13 Comments

Filed under Media

13 responses to “සැළලිහිනියෝ උඹ දන්නේ නෑ! It must have been love, but it’s over now!

  1. මං දන්න තරමින් රයිගම් අය්ය මේකයි කේස් එක… පත්තර පනහ හැට දශක වෙනකල් හොද කාර්යයක් ඉටුකලා අදටත් යම් පත්තර ඒ කාර්යය එලෙසින් ඉටුකරනව… නමුත් එකල පැවති රජය මගින් පත්තර වල ප්‍රකාශය වන යම් යම් කර්ණු වලට වාරණයක් දැම්ම… ලේක් හවුසිය රජයට ගත්ත… ඒ නිසාමද යම් යම් පක්ෂ වල එල්ලෙන්න පත්තර උත්සාහ ගත්ත… මොකද එහෙම නොවී මුල්කාලීනව තිබූ ලෙස මධ්‍යස්ථව පවතින්න ගියා නං ඒ පත්තර වල පැවැත්ම ඇත්තටම කෙටි වෙනව… එහෙම බලපුවාම පත්තර වලට හෙණහුරා ගැහුවෙ (මට මතක විදියට සිරිමා ආණ්ඩුව විය යුතුයි) අර කියපු වාරණ කතන්දරය නිසා…
    අද වෙනකොට මව්බිම නමින් පලවන පුවත්පත මුලින්ම නිකුත් වුනේ විකල්ප පත්තරයක් විදියට ඒත් ඉන් නැගුණ බලපෑම නිසා වර්තමාන ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ල වුණා… ඒ හේතුව මතම එය තහනම් වුණා..(ඒ කාලෙ නියම මධ්‍යස්ථ පුවත්පතක් විදියට තිබුණ) දැන් ආපහු කරන්න පටන් ගත්තත් ඒක පාක්ෂීයයි.. තනි නිල් පාටින් තමා දෙවන වර පටන් ගත්තෙ… කොහොමද බලපෑම…
    දැං වුවත් නියම පුවත් පත් කලාවක් කොහෙවත් ශේෂ වෙලා නෑ… ජනමාධය නමින් පමණක් නොව වගකීමෙන් හැඩයෙන් ක්‍රියාවෙන්ද ජනතාවගේ මාධ්‍යයක් වුනේ සෑහෙන කාලෙකට කලින්…
    මං හිතන්නෙ නෑ කවදාවත් ඒ වගේ පුවත්පතක් යලි බිහිවෙයි කියල… මේකට ලෙනින් අංකල්ගෙ සමාජවාදෙ වගේම ලිබරලෙත් බලපෑව දරුණුවටම… ලෙනින් කලේ පුවත්පත් රජය යටතට අරන් එයාලට කැමති විදියට පුවත් ලියල ජනතාව තමන් වෙතට ආසක්ත කරගත්ත එකතතත ලිබරල් වාදීන් කරන්නෙ තමන්ට අවැසි විදියට ජනතාවගෙ මනස නිරිවින්දනය කරන එක

    • ///මනස නිරිවින්දනය කරන////
      නිරි නෙවේ නිර්වින්දනය

    • මා කියුවනේ මහේෂ් ජනමාධ්‍ය හා මහජනයා කියන්නේ එකිනෙකා මත යැපෙන හා එකිනකාගේ අවශ්‍යතා අනුව මෙහෙයවෙන දෙකක්. මෙයින් එකක් විතරක් පිටතට අරන් කතා කරන එක ඵලක් නැහැ.

  2. මා දකින්නේ රාවය පත්තරයේ රාමුව තුල එය ජනතාව තුලට යෑමේ යම් අඩුවක් තිබෙනවා. අද අපි සමාජය ගත්තොත් තොරතුරු කියන දේ එක මාතෘකාවකට කොටු කරන්න බැහැ. ඔබට පුලුවන් බී බී සී සී ඇන් ඇන්, ගාඩියන් වගේ ප්‍රබල නිවුස් චැනල් වල පවා මේ විවිධත්වය දකින්න. නමුත් රාවය ඇතුලෙ කලාව වෙන්කරපු පොඩි ඉඩ සිව්මංසල කොලුගැටයාට වෙන්කරපු ඉඩ සහ චරිත කතාවක් දෙකක් ඇරුනාම සාමාන්‍ය ඉගෙනගන්න වයසේ පරපුරට දෙයක් නැහැ. පත්තරය තුල යන හතර වටේට මඩ ගැසීමේ ආන්ඩු විරෝදී දේශපාලනය පිටරට සිටින ඔබට යම් කිසි රසයක් ගෙනාවාට මේ පොලවෙම ජීවත්‍ වෙන හතර වටේම අසාධාරනය පේන අපිට හරිම නිරසයි.
    අද වාමාංහික කියන දේ ගත්තත් එක එක තාක්ෂණික පැතිවලත් යම් යම් වාමාංශික ගති තිබෙනවා. උදාහරණ ගත්තොත් මෘදුකාංග සහ පරිඝනක පැත්තෙ ලිනක්ස් සහ විවෘත මෘදුකාංග ගැන කතාබහ එවැනි පැත්තක්. පරිසරය ස්වාභාවික විද්‍යාව මානයෙනුත් මහා මතයන්ට අමතර විකල්ප මත ගණනාවක් ඇතිවෙමින් තිබෙනවා. මේ වගේ පවතින ධාරාවට විකල්ප වෙන සහ මිනිස්සුන් අතර ජනප්‍රිය කල හැකි විකල්ප මත පත්‍රය මගින් නියෝජනය වෙනවා න්ම මීඨ වඩා පත්තරය විකිනෙයි කියල මට හිතෙනවා.

    • එක දෙයක් කියන්න ඕනේ අමිල, මා රාවය අද කියවන්නේ නැහැ. මේ ලියුවේ ඈත අතීතයේ මා ලංකාවේ හිටපු කාලයේ අත්දැකීම් අනුව මහේෂ් කියුව කාරණයත් එක්ක සලකල (මගේ සමහර මාතෘකා ලිපියට අදාලයි 🙂 ). මා මේ වන විට දිවයිනේ හා ලංකාදීපේ අන්තර්ජාල වර්ෂන් වල මුල් පිටුවේ මාතෘකා/ශිර්ෂ පාඨ වලින් එහාට යන්නේ නැහැ.

      මා වික්ටර්ගේ දේශපාලන නොවන ලිපි තාමත් කියවනවා, වෙනම හොයාගෙන. මට ලංකාවේ වත්මන් හෝ පරණ ආණ්ඩු විවේචනය කරන ලිපි හෝ වෙනත් මාධ්‍ය කියවීමෙන් ඔබ හිතන අන්දමේ රසයක් නම් ගෙන එන්නේ නැහැ. ඇත්තටම එවැනි දේවල් කියවනවාත් අඩුයි. මගේ සටහන ලංකාව හා බැඳී තියෙන්නේ, එහි දේශපාලනය හදන අදහසින් නොවේ. මිනිසෙක් විදිහට මා අද ඉන්න තැනට එන්න ලංකාවේ අත්දැකීම් තමා හරි අඩක් හේතු වෙලා තියෙන්නේ.

      පහතින් අරූ ලියල තියනවා වගේ වික්ටර්ට යටි අරමුණු තිබුනා කියල රාවය බලපු ඒ කාලෙත් මට තේරුනා. එයයි මා මහේෂ්ට කියුවේ, එවැනි යටි අරමුණු අමතක කරන්න එපා කියල. මේ අරමුණු ඔහු හිතන අයුරින් ශාක්සාත් වුනේ නැති අවස්ථාවල, ඔහු හැසුරුණු ඛේදජනක අයුරු අප දැක තිබෙනවා. රජයක් බලයට පත් කිරීමේ හෝ නොකිරීමේ මහා බලයක් ඔහු සතුයි කියල චන්ද්‍රිකා ගේ දිනුමින් පසු ඔහු සිතා ගෙන සිටියාකියල අපට පෙනෙනවා. මේ “බලය” යලි ඔහු අත්හදා බලපු අවස්ථා ඒ වගේ හරි ගියේ නැහැ. මෙය මර්ඩොක්ට පවා පොදු දෙයක්. එහෙම එක මාධ්‍යයකට හෝ කෙනෙකුට එවැනි බලයක් තියනවා කියල මා සිතන්නේ නැහැ. ඔවුන් බලපෑම් කරනවා. ඒ බලපෑම වලට අමතරව සමාජයේ වෙනත් හැල හැප්පිලි වලින් තමා අවසාන ජනමතයේ බහුතරය කුමක්ද කියා තීරණය වන්නේ.

      මේ බහුතරය කියන එකත් අප සිතාගෙන සිටින තරම් බහුතරයක් නොවේ. දැන් බලන්න ලංකා ඊ නිවුස් කියවන කෙනෙකුට හිතෙන්නේ ලංකාවත් හරියට යුක්රේනය වගේ කියලා. රජතුමාට විරුද්ධව මහා විරුද්ධත්වයක් ලංකාවේ නැහැ කියල මට වඩා ඔබ හොඳින් දන්නවා ඇතිනේ. යුක්රේනයේ පවා තියන තත්වය සංකීර්ණයි. මෙතනත් බලවේග ගණනාවක ඝට්ටනයක් තියනවා. ඒ බහුතර ජනමතයට අමතරව. රටවල් කිසිදා එකිනෙක හා සසඳන්න නොහැකියි.

      බහුතරයට ආයිත් ගියොත්, මැතිවරණ බහුතරය කියන්නේ චන්දය ප්‍රකාශ කරන පිරිසෙන් එක කණ්ඩායමක් ගන්නා බහුතරය නිසා මෙය ජනතාවගේ 50% කට වඩා වැඩි බහුතරය බවට පත් වෙන්නේ ඉතා කලාතුරකින්. “මේ විරුද්ධ පක්ෂ” කියන කණ්ඩායම් වල එකතුවේ බහුතරය ගොඩක් වෙලාවට අර “ආණ්ඩුව” කියන බහුතරයට වඩා වැඩියි. දැන් රුසියාව ලංකාව වැනි රටවල්ද සැලකෙන්නේ මැජෝරිටෙරියන් පාලන රටවල් හැටියට. මේ රටවල් වල ඒකාධිපති පාලන ක්‍රමය ජනතාවගේ කැමැත්තෙන් යන එකක්.

      පත්තරයක් ගැන ඔබ කියන දෙයට මා 100% ක් එකඟයි. ජනතා පත්තරයක් කියන්නේ එක කණ්ඩායමක් හෝ එක දේශපාලන අදහසක් පමණක් ඉදිරිපත් කරන ප්‍රචාරක මාධ්‍ය නොවිය යුතුයි. එහෙම ඒවා තියනවා. හැබැයි ව්‍යාපාර වශයෙන් ඒවා සාර්ථක නැහැ. ඔවුනට වෙනත් ප්‍රතිපාදන තියනවා. මර්ඩොක්ගේ පත්තර වල මේ සේරම මිනිසුන් වැඩ කරනවා. මර්ඩොක් පෙනී ඉන්නේ මොනවටද කියන එකට අමතරව, මේ පත්තර වල විශාල ලෙස වෙනත් කරුනුත් කතා කරනවා. මෙවැනි තත්වයක් ලංකාවේ නැහැ. මේ ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ග්‍රහණය යටතේ හා කළු සල්ලි බලපෑම යටතේ කියල බැලූ බැල්මටම පේනවා.

      විජේවීරගේ පච පත්තර වර්ජන සටන් පාඨය හරිම අසාර්ථක එකක් කියල මා කලිනුත් කියුවා. ඔවුනගේ සීනුවේ මොනවාද තියෙන්නේ? නිකම් පල්-හෑලි පමණයි. මේවාත් ලියන්නේ ප්‍රතිභාවකින් නොවේ. නිකම්ම ප්‍රචාරක යාන් හෑලි (මේත් අතීතයේ අත්දැකීම්). දැන් මෙයාල අනෙක් පත්තර වර්ජනය කරන්න කියන්නේ, ඒවාට විකල්පයක් ඉදිරිපත් කරලද? නැහැ. ඔබ -අප පත්තරයකින් නොයෙක් දේ බලාපොරොත්තු වෙනවා. පවතින ආණ්ඩුවට බනින එකට අමතරව, කවි, කෙටි කතා, චිත්‍ර කතා, ඕපා දූප, ප්‍රවුර්ති, මිනිසුන්ගේ මතවාද යනාදී වශයෙන් ගොඩක් දේවල්. රාවය ගැන ඔබගේ විවේචනය සාධාරණයි. හැබැයි ඒ අතරෙත් මා සිටිය කාලය තුල තිබුන හොඳ යයි කිව හැකි පුවත් පතක්. අපට කළු හා සුදු වශයෙන් මිනිසුන් වර්ග කිරීමෙන්ම ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්න බැහැ. අප පවා එවැනි මිනිසුන් නොවේනේ. අපෙත් අඩුපාඩු තියනවා . වික්ටර්ගේ යටි අරමුණු මොනවා වුවත් ඔහු කරපු පත්තර වැඩේ නොසලකා ඉන්න බැහැ. හැබැයි ඒ යටි අරමුණු එනම් සතා ගැන නොදැන මේවා කියවන එක තේරුමක් නැහැ. ඔහුගේ තීක්ෂණ බුද්ධිය රජතුමා ලඟදි කදෝ පැණියෙකු වගේ වාෂ්ප වෙන්නේ කුමක් නිසාද කියල කල්පනා කළාද?

      ඔබ මා ගැන සිතපු විදිහට මා කැමතිම වෙබ් අඩවිය ලංකා ඊ නිවුස් වෙන්න ඕනේ. මොකද ඔවුන් තමා ජුගුප්සා ජනක විදිහට රජ පවුල විවේචනය කරන්නේ . එය කියවීමෙන් මට ජුගුප්සාවක් විතරයි දැනෙන්නේ. ඔවුනගේ වැන්ඩේටා එක මට සිතා ගන්න පුළුවන්. නමුත් විපක්ෂයට වඩා හානි කරන්නේ මෙවැනි මාධ්‍ය මගින්. අර කඩුව ගත්ත වඳුරෝ වගේ. එය ඔවුන්ට තේරෙන්නේ නැහැ. දැනට විකල්පයක් ගැන ඇත්තටම හිතන මිනිසුන්ට අවශ්‍ය, මේ රජ පවුලේ ප්‍රතිබිම්බය හෝ මේ මාධ්‍ය වල ප්‍රතිබිම්බයන් නොවේ.

      ලංකාවේ ඔබට පෙනෙන අසාධාරණයට විරුද්ධ විකල්පය මොකක්ද කියන එක තමා ඔබ වැනි කෙනෙකුගේ ප්‍රධාන ප්‍රශ්නය කියල මට සිතෙන්නේ. එය නම් ඇත්තටම ලොකු “කොනන්ද්රම්” එකක්. අද නම් යන්නේ අදිවේගී මාර්ග වලින් ගල් යුගයට කියල, ඔබ වැනි එම ප්‍රශ්න වලින් පීඩා නොවිඳින මට පෙනෙන කරුණක්. ලංකාවේ ඉන්න බහුතරයක් නම් එසේ සිතන්නේ නැතුව ඇති. නමුත් මේ “සංවර්ධන” මාර්ගය බහුතර පිරිසක් නොසලකා කරන ඇස් බැන්දුමක් විතරක් නොවේ, රටේ ඉන්න කිසිම කෙනෙකුට යහපතක් අවසානයේ කරන්නේ නැහැ. රජ පවුලට පවා.

  3. රයිගම්…..සෑම රටකම මාධ්‍ය පවත්වාගෙන යන මුදලාලිගේ න්‍යාය පත්‍රයට තමයි වැඩ. නමුත් සමහරුන් අපේ රටේ වගේ ඒ බව විලිලැජ්ජා නැතිව එලිපිට පෙන්නන්න අකැමතියි. රාවය පුවත්පත වික්ටර්ගේ ආධිපත්‍යයෙන් ගැලවුනොත් තවත් විචාරශීලිව ලියයි කියා මට හිතෙනවා. වික්ටර් අයිවන්ගේ රාවය විකුනා දමා ගානක් අතට ගැනීමේ මෙහෙයුම මේ වනකොට සාර්ථක ඇති. රාවය අයිවන්ගෙන් මිලදීගෙන නිදහස්ව පවත්වාගෙන යෑමේ උවමනාව වෙනුවෙන් මහජන අරමුදලක් පටන් ගත්තා අපිත් හැකි අයුරින් දායකවුනා. මම තාමත් හිතනවා ජනරංජන කතෘ උනාට අයිවන් තමයි මෙහෙයවන්නේ කියලා. අයිවන්ව මෙහෙය වන්නේ කවුද කියලා දෙයියෝ තමයි දන්නේ. ලොක්කාටත් අයිවන්ගේ ප්ලග්ස් තියෙන බව පේනවානේ. රාවය තුල නිදහස් මතයකින් අදහස් ලියන්න පුළ්ය්වන් අය ඉන්න බව පේනවා. මේ නිදහස් බව කොයි කාලයකටද කියන එකයි ගැටළුව. අද සමහර වෙබ්සයිට්ස් පවා කාගේ හෝ ග්‍රහනයකට නතුවෙලා. බ්ලොග්ස්තුලත් ඔය දේම වෙයිද? දැනටත් වෙනවා ඇති.

    රයිගම්…….මම 2010 සැප්තැම්බර් “අයිවන්ගේ පාප කර්මය” කියලා පොඩි පෝස්ට් එකක් ලිව්වා. මට ලින්ක් එක දාන්න දන්නේ නැහැ. පුළුවන්නම් කියවන්න.

    • අයිවන්ගේ පාප කර්මය

      දන්නෙ නෑ කියල බෑ අරූ, මෙව්වා ඉගෙන ගන්න අවශ්‍යම දේවල්.:)
      HTML link

      • රයිගම් &බස්සා……….තැන්ක්යු,තැන්කූයු….වැඩේ ගොඩ දැම්මාට. බස්සා දීපු ලින්ක් එක සේව් කර ගත්තා. අද සිට ට්‍රයි කරමි.

        • මචං අරූ, දෙවෙනි පාරත් එන කම් පිළිතුරක් දෙන්න බැරි වීම ගැන කනගාටුව. මා අර ලින්කුව දැම්මේ, බස්සගේ කොමෙන්ටුව නොදැක. එය තිබුනේ ඔබේ අනුමැතිය බලාපොරොත්තුව සිටී ගොඩේ. ඉතින් මාත් මා ඔබේ කොමෙන්ටුවට කරපු පොඩි සංස්කරණය එහෙමම තියෙන්න හැරියා.

          මේ පහත තියෙන්නේ මා කලින් අර අමිලට ලියපු දිග කොමෙන්ටුවෙන් කපා දමපු කෑල්ල. එම කොටස උඹගේ අදහස් හා වඩා ගැලපෙනවා. 🙂

          රටක ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න ඕනේ එහි ජනතාවමයි. මෙවැනි බ්ලොග් හරහාත් සිදුවිය යුත්තේ ඒ ගැන අදහස් හුවමාරු කර ගැනීමයි. මේවා ඔය නලින් වගේ යලිත් සම්ප්‍රධායික පත්තර වලටම එබීම තේරුමක් නැති දෙයක්. මා ජිවත් වන රටේ තරම් ලංකාවේ අන්තර්ජාලය තවම ප්‍රචලිත නැති වුනත්, මෙය එන්න එන්නම බලපෑම් කරන මාධ්‍යයක් වේවි. ඒ සමගාමිව ලියන අයටත් මර්ධනය, අල්ලස් වගේ දේවල් ඒවි. ඔය රුසියාවේ චීනයේ තියනවා වගේ. අමෙරිකාවත් නිකම් ඉන්නේ නැහැනේ. මෙන්න ලංකාවේ අනාගතය වියට්නාමයේ අද තියනවා.

          ඒ මොනවා වුවත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අංග හෝ ස්ථාපිත කර ගැනීම සමාජයක් විසින් යන්ත දැරිය යුත්තක්. එහෙම නැතුව එහාට යාමක් නැහැ. තෙවන යයි කියන දියුණු වෙමින් පවතින රටවල තියන ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදය (සමහර රටවල තියෙන්නේ රිලේ-පොලු ප්‍රජාතන්තරවාදය; තාත්තාගෙන් පුතාට, සහෝදරයට හෝ මල්ලිට රජකම දෙන) පිටු දැක, යහපාලන ක්‍රමයක් ඇතිකර ගැනීමට ක්‍රම වේදයන් සොයන්න ඕනේ. මෙය එක එක පුද්ගලයන්ටත් පොඩියට කරන්න පුළුවන්. අපේ ජිවන විලාසිතාව මගින් මහා සමාජයේ පැවැත්ම/යන අත කියන ඒවා තීරණය කරනවා.

          හැබැයි සමාජයේ ඉන්න සියලුම දෙනා මේ අසීමිත සුවපහසුවක් හඹා යන පිරිසක් නොවේ. ලෝකය ගැන, අනෙක් මිනිසුන් ගැන, සිතන ක්‍රියා මාර්ග ගන්න, ගන්නට සිතන, වෙනත් අය ගන්න ක්‍රියාමාර්ග වලට සහයෝගය දෙන විශාල පිරිසක් ඒ අතරේ ඉන්නවා. නමුත් බොහෝ දෙනා සමාජවාදයක් ගැන කතා කරන්නේ හා කැප වන්නේ මොකවත් කර ගන්න බැරි නිසා. දැන් බලන්න විශ්ව විද්‍යාල වල (ලෝකයේ නොයෙකුත් රටවල) සමාජවාදයක් ගැන කතා කරන බොහෝ දෙනා, ඇත්ත සමාජයට ආවහම වැඩ කරන හැටි. මෙහෙ පවා මට හමු වුන පිරිස් ගැන මා කලින් ලියා තියනවා. තමන්ම මේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගෙන, ඉහලට ඇවිත් පුතාව පෞද්ගලික පාසලට දාපු ගමන් ගෙවන බදු ගැන කෙඳිරි ගානවා. තව සමහරුන් වෙන රටවල පුර්ණ සමාජවාදය ඇති කරන්න වෙනත් රටවල ඉඳන් අරගල කරන ගමන්, ඒ තමන් ඉන්නා රටේ තියන සමාජවාදී අංගයන් එනම් නිදහස පාසල් අධ්‍යාපනය, යුනිවර්සල් සෞක්‍ය සේවය වැනි ඒවා පවත්වාගෙන යාම ගැන වගක්වත් නැහැ. ඇත්ත තත්වය තමා අපගෙන් බොහෝ දෙනෙක් විමල් විරවංශලා.

  4. අද අපී ජීවත් වෙන ළෝකේ ආතර් සී ක්ලාක් හිතුවටත් වඩා අති සීඝ්‍රගාමී ගමනක් යන්නේ. හැම දේම ටික කාළයයි. මහින්ද ලොක්කා කිව්වේ රටත් පොඩි වෙලා වගේ එයාට දැනෙනවා කියලා.. ඒක ඇත්ත. එදා මාතරට යන්න පැය 4.30 යනවා. අද පැයයි විනාඩි දහයයි. නමුත් ඒ පාරේ යන්න වෙනම මුදලක් ගෙවන්න ඕන. ඒ කියන්නේ සැප ලබන්න නම් මිලක් ගෙවන්න ඕන. ඒ නිසා සෑම දේකටම මිලක් නියම කරන්න වෙලා තියෙනවා. මිලක් නැත්නම් අඩුම ගානේ අල්ලසක් වගේ දෙයක් හරි. ඉතින් හතරවෙනි බලවේගය කියන තැන තියෙන, ජනමාධ්‍ය කියන විෂයට ඒකෙන් කිසි සේත්ම ගැලවෙන්න බෑ..

    • සීග්‍රගාමි ගමනක් නම් යනවා මාතලන්, හැබැයි හරි දිශාවටද කියන එක තමා ප්‍රධාන ප්‍රශ්නය. රටක සංවර්ධනයේ ප්‍රධාන ප්‍රතිලාභීන් විය යුත්තේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව. ඒ අයගේ ජිවන තත්ත්වය ඉහල යාම තමා සංවර්ධනය. එය කෙරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ජනමාධ්‍ය පවා එම මානව සංවර්ධනය පිළිඹිබු කරන තැන්.

  5. Kenji @ Japan

    ලංකාවෙ මාධ්‍ය ගැන නම් කතා කර වැඩක් නැත.මමත් ඔබ කිව්ව දිවයින වගේ පත්තර වල දැරියක් දුසනේ කොළ එකක්,දේශපාලුවො කාට හරි ගහපු එකක්,කුඩු/එතනෝල් කොන්ටෙනර් ගෙන්නපුව වගේ රස කතා කියවනව ඇරෙන්න වෙන කිසි දෙයක් කියවන්නෙ නැහැ රයිගම.
    ඉස්සර නම් ඉරිදා දිනවල දේශපාලන ලිපි කියෙව්ව.

    • කොහොමද කෙන්ජි? කාලයකට පසු නේද ආවේ? මාත් මගේ බ්ලොගයට එන්නෙත් ඉස්සර වගේ නොවේ. මාත් ගෙදර ඉන්නා කාලය තුලදී අන්තර්ජාලයේ කරක් ගහන කාලය සීමිත කෙරුවා. දැන් යලිත් පරණ මාධ්‍ය වල පිහිට පතනවා. කුඩු නම් භයානකයි නේද? එතනෝල් නම් වරදක් නැහැ. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s