ඔය දැන් කෙල ගන්න උක්රෙනයේ, ඒ දවස් වල අධ්‍යයන චාරිකා වලදී දැකපු දෙයක් තමා සමහර ගොවි බිම් වල, මීටර එකහමාරක් ගැඹුරට තියෙන්නේ කළු පස්. “චෙර්නෝසියෝම්” ( කළු පාංශු) කියන රුසියානු වචනය තමා ලෝකේ පස් වර්ගීකරණ පාර්භාෂික වචන වලදී කළු පස් වලට කියන්නේ. ලෝකේ සාරවත්ම පස තියෙන්නේ ලංකාවේ කියල සිහින ලෝක වල ඉන්න අයට මේ පසක හරස්කඩ පෙන්වන්න ඕනේ (රුසියාවේ කළු පාංශු විතරක් නොවේ කළු පානුත් හරිම හොඳයි. ඒවා මේ බටහිර නැහැ).
කුඩා ග්‍රීෂ්ම කාලයේ වේගයෙන් වර්ධනය වන ශාක, දීර්ග ශීත කාලගුණයක් යටතේ පුර්ණ වශයෙන් දිරාපත් වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය අවුරුදු දහස් ගණනක් සිදුවීමෙන් තමා අර විදිහට මිටරයකටත් වැඩියෙන් කාබනික ද්‍රව්‍ය වැඩියෙන් එකතු වුන කළු පසක් බිහි වන්නේ. ලංකාව වගේ සමකය අසල රටවල මුළු අවුරුද්ද පුරාම ශාක වැවුණත්, උෂ්ණත්වයත් අවුරුද්ද පුරාම ඉහල නිසා, දිරාපත් වීමේ ක්‍රියාවලියත් එක සේ වේගවත්ව සිදු වෙනවා. පසේ එකතු වන කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය ඉතා අඩුයි.
කෘෂිකාර්මික පස පෙරලන විට මේ දිරීමේ ක්‍රියාවලිය තවත් වේගවත් වී කාබනික ද්‍රව්‍ය තවත් අඩු වෙනවා. එයිට අමතරව වගාවේ අස්වැන්න හා පිදුරු වැනි වායව කොටස ඉවත් කිරීම නිසා, පසට නැවත ලැබෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයත් එන්න එන්නම අඩු වෙනවා. අර චෙර්නෝසියෝම් පස් වලත් මේ අඩු වීම සිදු වෙනවා. මෙය ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා.
එකක් තමා කාබනික ද්‍රව්‍ය අඩු පස් වල මුල ද්‍රව්‍ය දරා ගැනීමේ හැකියාව අඩුයි. එවිට යොදන පොහොර වල තියන මූල ද්‍රව්‍ය පසේ රඳා ගැනෙන්නේ නැතුව එක්කෝ පහලට ගලාගෙන යන්න පුළුවන්, නැත්නම් පස දිගේ යන වතුරත් එක්ක හේදිලා යන්න පුළුවන්. ශාකයක් උරා ගන්න තරමට හෝ උරා ගන්නා අවස්ථා වලදී දැමුවොත් මේ හානි වීම් අවම කර ගන්න හැකියි.
කෘෂිකාර්මික පස් වල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය යම් තරමකින් පවත්වාගෙන යාම තිරසාර කෘෂිකර්මයේ එක අංගයක්. මේ සම්බන්දයෙන් ගන්නා පියවර ගණනාවක් තියනවා. එතරම් විස්තර අනවශ්‍යයි. හැබැයි, කාබනික ද්‍රව්‍ය මතම පවත්වාගෙන යන කෘෂිකරමයක් ගැන අද හිතන්න බැහැ. ලෝකයේ ජනගහනය විශාල ලෙස අඩු නොවුනොත් එහෙම දෙයක් අනාගතයේත් එන්නේ නැහැ. කුඩා පරිමානයේ ගොවිපොළ වල්වල මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යන්න පුළුවන්.
ලංකාවේ පර්යේෂණ අනුව වසරකට කාබනික ද්‍රව්‍ය ටොන් 4-10 ක් හෙක්ටයාරයකට දැමුවත් පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතයේ කැපී පෙනෙන ඉහල යාමක් වාර්තා වී නැහැ. එහෙම තත්වයක් යටතේත් භෝග වලට අවශ්‍ය සියලු පෝෂක ඇති පමණින් දෙන්න මේ කාබනික පොහොර සමත් නැහැ.
බොරුවට හෝ එවැනි කෘෂිකර්මයක් ගැන හිතුවත් හෙක්ටයාරයකට ටොන් 10 ගානේ මුළු ලංකාවේම වගා බිම් වලට කාබනික පොහොර හදන්නේ මොනවායින්ද?
දැන් වෙන කතාවකට යමු. අපේ ඔය කළුතර දිස්තිරික්කේ ගත්තොත් 1988 ටේ ඉඳල 2008 ට වෙනකම් දශක දෙකක කාලය අතර තුර වී වගාවෙන් ලැබෙන අස්වැන්න කොපමණ වැඩි වෙලා කියල හිතනවද? හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 500 කින් විතරයි වැඩි වෙලා තියෙන්නේ. දෙදහස් අටේදී සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 2.8 ක් පමණයි. ඒ වසරේ ලංකාවේ සාමන්‍යය 4.2 යි (Department of Census and Statistics, Colombo, Sri Lanka).
දැන් බලමු අනික් රටවල් වල කොහොමද කියල. අල්ලපු රට වන ඉන්දියාවේ හෙක්ටයාරයකට ටොන් දෙකකට ටිකක් වැඩියි. ප්‍රධාන නිෂ්පාදකයා වන චීනයේ 6.5 යි, ඇමෙරිකාවේ 7.5 යි, රුසියාවේ 5.5 යි. ඕස්ට්‍රේලියාවේ ටොන් 10ය පන්නනවා (දෙමුහුන් වී නිසා පස දුෂණය වනවා කියන මෝඩ මතය හරි නම්, ඕස්ට්‍රේලියාවේ ටොන් 10 ලබන වී වවන පස් තමා ලෝකයේ දුෂිතම පස්).
එතකොට දැන් මේ කෑ ගැහුවේ වැඩි අස්වනු දෙන දෙමුහුන් වී කියල. කෝ පුතේ දෙමුහුන් කළුතර නැත්ද? ඔය බතලගොඩ නිෂ්පාදනයක් වන BG 300 දෙමුහුන් වී වලට හෙක්ටයාරකයට ටොන් 6.5 ක අස්වැන්නක් ලබා ගැනීමේ ශක්‍යතාවය තියනවා කියල පර්යේෂණ කියනවා. අපේ තාත්තල ඒ දවස් වල වැවුව H4 (මතකය හරි නම්) මෙයිට අඩු ඇති. BG 400-1 වගේ ප්‍රබේදයක් ටොන් 7.5 ක ශක්‍යතාවයක් පෙන්නුම් කරලා තියනවා (මගේ ගාව තියන දත්ත වලින් මේ ලියුවේ. මේවා යාවත්කාලිනත් නැතුව ඇති).
එතකොට සමහර විට අර ටොන් 6 යේ වී වලින් තමා කළුතර ටොන් 2.8 ක් ලැබෙන්නේ. දැන් ලංකාවේ සාම්ප්‍රදායික වී වල අස්වනු ශක්‍යතාවය, එනම් සියලු තත්ත්ව ප්‍රශස්තව දෙන විට ලැබෙන උපරිම අස්වැන්න ටොන් 2.5 ක් වගේ වෙනවා. එතකොට කළුතරදී ගන්න පුළුවන් සාමාන්‍ය අස්වැන්න නිකමට හිතා ගන්න පුළුවන් නේ. ඇඳේ ඉන්න නිසා තමයි මේ තරමින් වත් බේරිලා ඉන්නේ, පැදුරට බැස්සොත් කොහොමද?
මගේ සාමාන්‍ය ගණන් බැලීම් අනුව එහෙම වී වලින් දැන් ජනගහනයේ අවශ්‍යතා සපුරා ගන්න දැනට වගා කරන බිම් ප්‍රමාණය දෙගුණයකින් වගේ ගණනකින් වැඩි කරන්න ඕනේ.
එතකොට මේ දොස්තරලත් පරණ වී වලට යමු කියල කියන්නේ මොන පදනමකින්ද? විහිලුම කාරණය නම් පස දැනටමත් දුෂණය වී ඇත්නම්, ඒ පසේ වවන සම්ප්‍රදායික වී පමණක් හොඳ වන්නේ කොහොමද. ශාක පෝෂක උරා ගන්නේ එකම විදිහකට (සමහර ශාක තෝරා උරා ගන්නවා තමයි. හැබැයි මේ වී වර්ග එහෙමයි කියල සොයාගෙන නැහැ). අනාගතයේ නියුමෝනියාව හැදිලා මේ අයියල ගාවට ගියහමත්, ගෙදර ගිහින් වෙනිවැල් ගැට තම්බල බොන්න කියල කියන්නත් ඉඩ තියනවා.
දෙමුහුන් වී හෝ වෙන භෝගයක් කියන්නේ මේ පිට සක්වලින් ගෙනාපු දේවල් නොවේ. මේවා එකම විශේෂයේ ශාක දෙකක දෙමුහුමෙන් ලබා ගත් භෝගයන්. මේ දෙමුහුම නැත්නම් ලන්ෂණ මිශ්‍ර වීම ස්වාභාවික පරිසරයේත් සිදු වනවා. ඇත්තටම දෙමුහුම කියන්නේ ස්වභාවික පරිසයේත් සිදුවන ක්‍රියාවලියකට අපගේ මිනිස් මොලය එකතු කිරීම. මෙවැනි ධාන්‍ය බිජයක ගබඩා වී තියන පෝෂක ගුණාත්මක බවින් වෙනස් වන්නේ නැහැ. ඒ විතරක් නොවේ මේවායේ පෝෂණ ගුණය, ගෙඩියේ ප්‍රමාණය, පොත්තේ ඝනකම ආදී තව නොයෙක් දේවල් අපගේ අවශ්‍යතා වලට වැඩිපුර ගැලපෙන ඒවා.
කැළෑ ශාක ගෘහස්තගතකරණය (domestication of wild plants) මිනිසා විසින් අවුරුදු දහස් ගණනක් තිස්සේ කළ ක්‍රියාවක්. මේවා කුඩා දරුවන් පවා දැන ගත යුතු කරුණු (මෙන්න පුතේ කියවන්න සරල සටහනක්). එම ගෘහස්තකරණය කෙරුවේ ජාන හෝ පරාගනය යන දේවල් අප දැන ගන්නටත් පෙර. මේ දෙමුහුන් භෝග කියන දේවල් හොඳ නැතිය කියන පිරිස් සමහරවිට නොදන්නා දෙයක් තමා අප අද කන තිරිඟු, ඉරිඟු,වී හා කුරක්කන් වල මුල් වල් ශාකයන්ගේ බීජ ආහාරයට ගන්නත් බැහැ කියන එක. අවුරුදු ගණන් දොස්තර උපාධියට ඉගෙන ගත්ත වුනත්, මුලික කරුණු එක්කෝ අමතක කරනවා, නැත්නම් ඉගෙන ගන්නේ නැහැ. අද ජාන පිළිබඳව දන්නා අප කරන්නේ මෙහිම තවත් ඉහල අවස්තාවක්. ඒ පිළිබඳව මා ලියන ලිපි පෙළ, ඉදිරියට ගෙන යන්න පෙර ලියන්න අවශ්‍ය තව දේවල් තියනවා කියල හිතුනේ, මේ “නියන්ඩතාල් හීනටිකරණ ක්‍රියාවලිය” දැකීමෙන්.
මා කලින් කියපු දෙමුහුන් වී වර්ග බහු ජාතික සමාගම් වල නිෂ්පාදන නොවේ. මේවා දේශීය පර්යේෂකයන් විසින් අවුරුදු ගණනාවක පර්යේෂණ වලින් එලි දක්වපු නිෂ්පාදන. ඔවුන් ගේ කතන්දර, මේ අයියලාගේ සම්ප්‍රලාප හමුවේ යට යනවා ඇති. මොකද කියනවා නම්, මේවා රජ පවුල් වලත් අනුග්‍රහය ලබන හිස් ව්‍යාපෘති නිසා.
(මතු සම්බන්දයි)!
ප ලි
කලින් ප්‍රතිචාර අනුව මා ලියන්න සිතා සිටි සටහන වෙනස් කෙරුවා.