ඒ මධු සඳෙන් පලක් නෑ, මේ රෑ ආවත් දී ආලෝකේ! My lengthy reply to Aru’s comment!


උඹම දන්නවා ඇතිනේ, අපත් ලංකාව ගැන අප කියවන දෙයට අමතරව, එහි ජිවත් වීමෙන් ලද දැනීම් ද හින්ද යමක් තේරුම් ගන්න ආකාරය, මේ බටහිර ඉන්න පුවත් කියවීමෙන් පමණක් තේරුම් ගන්න කෙනෙකුට වඩා චුට්ටක් වෙනස් කියා. ඒ වගේම දැන් බටහිර ජිවත් වෙන හින්දාත් මේ රටවල් වල තියන තත්වය, ලංකාවේ ඉඳිද්දී අප කියවපු දේවල් වලින් තේරුම් ගත්තු දෙයට වඩා ටිකක් වෙනස් කියලත් දැන් දන්නවනේ. බොහෝ විට මේ වෙනස විශාල නොවුනත් හරි තීරණාත්මකයි, ලෝකය තේරුම් ගන්න.

මේ රටවල් වල (අරාබි) මේ විප්ලව වලින් පස්සේ බලයට ආවේ උඹ කියන අන්දමේ කල්ලි තමයි. මේකත් බටහිර කෘමන්ත්‍රණයක් කියල දැන් කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මචන් මේ රටවල් වල දශක ගණනාවක ඒකාධිපති පාලන ක්‍රමයන් නිසා සංවිධානය වුන දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් තිබුනේ නැහැ. තිබුන එකම සංවිධානය ආණ්ඩුවේ හෙන්චයියලාගේ සංවිධානයයි. එයිට අමතරව සමාජයේ පැන නැගුන හා පැන නැගීමට උත්සහ කල ප්‍රතිපක්ෂ සමාජ නායකයන් හා ක්‍රියාකාරීන් එක්කෝ රටින් එලෙව්වා, නැත්නම් මරා දැම්මා. මෙය දශක දෙක තුනක් ගියයි කියන්නේ, විශාල රික්තයක් ඇති කරනවා. යූඑන්පියේ නැගී එන්නට හිටිය (හොඳ හෝ නරක) නායකයන් සියල්ල අස්වාභාවික ක්‍රමයක් ඔස්සේ මුලිනුපුටා දැමීම තුලින් ඇතිවෙලා තියන නායකත්ව රික්තය තවමත් පුරවා ගන්න බැරි වීම මෙය තේරුම් ගැනීමට පොඩි උදව්වක්.

උතුරට නොගියත් දකුණේ සහෝදරවරුන් විසින් ගම්වල හිටිය ඔය ප්‍රභූ/යමක් කමක් කර ගන්න/තේරුම් ගන්න පුළුවන් පිරිස එලොව යැවීම නිසාත් මේ වගේම රික්තයක් අපේ ලංකා සමාජයේ තියනවා. මාළු පැටවූ විග්‍රහ මා පිලි ගන්නේ නැත්තේ අන්න ඒ නිසා. උඹව කවුරු හරි ලිඳකට දැම්මොත්, ගොඩ එන්න දඟලන විට ඉවුරු කැඩෙන්න පුළුවන්, මාළු පැටවූ මැරෙන්න පුළුවන්. නමුත් මචං උඹ හිතා මතා ඉවුරු කඩන්නේත් නැහැ, හිතා මතා මාළු පැටවූ මරන්නෙත් නැහැ. මොකද ඒ දෙකම ගොඩ එන්න උඹට උදවු කරන්නේ නැහැ. එහෙම වෙන්නේ ගොඩ එන්න කරන උත්සාහයන් වලදී ඉබේම. මේ කියන්නේ සිද්දි දෙකක් ගැන. දැන් මේ ගම් වල මාළු පැටවූ මැරුවේ, හිතාමතා ඉලක්ක ගැනීමෙන්. පරම අරමුණ වුනේ ගොඩ එන එක නොවේ, එයිට එහා ගිය ප්‍රජාතන්ත්‍ර නොවන වෙනක් දෙයක්. එය සාර්ථක වුනා නම්, ඒ මාළු මැරීමේ ක්‍රියාවලිය අද “රජතුමාගේ සුදු වෑන් සංස්කෘතියට” වඩා එහාට ගිය දෙයක් වෙන්නට හොඳටම ඉඩ තිබුන වග ලෝකයේ අනෙක් රටවල් වල මෙම “ලිඳෙන් ගොඩ එන” තියරිය අනුගමනය කරපු කණ්ඩායම් බලය ගත්තු පසු සිදු වෙච්ච දේවල් අපට කියා පානවා.

අරාබි රටවල් වලට ගියොත්, මෙවැනි සංවිධානය වුන විපක්ෂයක් නැති අතරේ තමයි, සාමාන්‍ය ජනතාවගේ ඉවසීමේ සීමාව පුපුරලා ගියේ. මේක මා හිතන්නේ සීඅයිඒ වත් බලාපොරොත්තු නොවුන ආකාරයෙන් ක්ෂණිකව සිදු වුනා. බටහිර ඇඟිලි ගැහීම් එතන තිබුනා කියන්න අමාරු ඒ නිසා. හැබැයි මේක යන විට, තෙල් සහිත ඒ රටවල් වල ස්ථාවර පාලනයක් හා බටහිර හිතකර පාලනයක් ස්තාපිත කර ගන්න, යම් මැදිහත් වීම එයාල කළා. ඒවා එයාල හිතන අයුරින් සාර්ථක වුනේ නැහැ කියල, ඊජිප්තුව, ලිබියාව හා සිරියාව වුනත් අද කියා පානවා.

එයට හේතුව මා කලින් කියපු දෙය. මේවායේ බලය ඇත්තටම අල්ල ගත්තේ මුස්ලිම් අන්තවාදීන් (මධ්‍යම ආණ්ඩු බලය පමණක් නොවේ, ප්‍රාදේශීය පාලන බලය) නැත්නම් රටින් පිටට ගිහින් හිටිය රටේ ඇත්ත ස්වභාවය දැන් දන්නේ  නැති, ඉංගිරිසි කතා කරන අයියලා. නැත්නම් කලින් එකාධිපතියාගේ රජයේම පාට වෙනස් කරපු අයියලා. නැත්නම් මේ අයගේ සංකලනයක්. විප්ලවය ඇත්තටම කරපු ජනතාව අතරමං. හැබැයි දිර්ගකාලින ඒකාධිපති පාලනයන්, එම සමාජයේ ඇති කරපු බිඳුණු ස්වභාවයත් ඒ කල්ලි කියා පානවා.

මෙයම නැගෙනහිර පැරණි සෝවියට් රටවල් වලත් මේ ලෙසම වුනා. එහිදීත් දශක දෙකක් ගිහිල්ලත් තවම පාලක පන්තිය ලෙස ඉන්නේ, අර ජනතාව බලාපොරොත්තු වුන පිරිස නොවේ. කොමියුනිස්ට් පක්ෂයේ ඉහල හා මධ්‍යම තැන්වල හිටිය යටි අරමුණු තිබුන ජරාම පිරිස්. ඇත්තටම ඒ අයට විපක්ෂ කට්ටිය, එනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපේක්ෂා කරන පිරිස් එක පක්ෂයක් හෝ සංවිධානයක් නොවේ. ඔවුන් සීසී කඩ. ඔවුන්ට ලැබෙන චන්ද විසිරි යනවා. මෙයම තමා මට හිතෙන හැටියට ඊජිප්තුවේ පසුගිය ප්‍රජාතන්ත්‍රවාදී ජනපතිවරණයේදී වුනේ. එයට ජිල්-මාර්ට් තිබුනේ නැහැ. බලය ගත්තු පිරිස බලවේගයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරපු කණ්ඩායමක් නොවේ. ඔවුන් අපේක්ෂා කෙරුවේ, ඊජිප්තු මිලිටරියත් සමග ෂරියා සමාජයකට යන්න. එයට තමයි කෙල වුනේ. දැන් යන්නේ ෂරියා නැති මිලිටරි සමාජයට ආයිත්. අවසානයක් ගැන කියන්න තවම කල් මදි.

රුසියාව ගැන කියුවොත්, එහි පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති යෙල්ට්සින් කියන්නේ බේබද්දෙක්. ජනතා රැල්ල මගින් බලයට ඇවිත්, ඔහු ජාතික ධනය ගජ මිතුරන්ට කොල්ල කන්න දුන්නා. පොර කලේ බොන එක විතරයි. රටේ සිදුවුණ සම්පත් කොල්ල කෑම හරිම ඛේදජනකයි. රටේ විශාල පිරිසක්, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව අද කබලෙන් ලිපට වැටිලා.

ඉන්පසු එම රටවල වල පැවැත්වුන ජනාධිපතිවරණ/මැතිවරණ වලට ජිල්-මාර්ට් එකතු වුනා. මේ ජිල් මාර්ට් එදා යුක්රේනයේදී මා දෑසින් දුටුවා. ඒවා මොනවාද කියා ලංකාවේ අපට හුරු පුරුදු ඒවා නිසා ලියන්නේ නැහැ. හැබැයි විශාල පිරිසක් මේ දූෂිත පාලකයන්ට චන්දය දෙනවා, එකිනෙකට වෙනස් හේතුන් වලට.

මොන ජිල්-මාර්ට් තිබුනත් සමාජයේ අති බහුතරය අකමැති පක්ෂයක් හෝ මිනිහෙක් බලයට එන්න මැතිවරණයකින් බැහැ (සමහර රටවල් වල චන්දය ඉල්ලීම් වල සීමා දාල තියන විටදී හැර). ලංකාවේදී උතුරේ පැවති  අන්තිම පළාත් සභා චන්දය මෙයට පොඩි උදාහරණයක්. බෙලරුසියාවේ ලුකශේන්කෝ කොතරම් මෝඩ පාලනයක් ගෙන ගියත් විශාල පිරිසක් ඔහුට චන්දය දෙනවා. මුගාබේ රට කෑවා වුනත් අදත් විශාල පිරිසක් ඔහුට චන්දය දෙනවා. කාම්බෝජයේ හුන්සෙන් ට තවමත් විශාල පිරිසක් චන්දය දෙනවා. යුක්රේනයේ පන්නපු යනුකෝවිච් ජනාධිපති ජනතා චන්දයෙන් පත්වුණේ. මේවා පත්තර වල තියන දේවල් නොවේ. එම රටවල් වල ජනතාවම කියන කරුණු. ලංකාවේ විකල්ප වෙබ් අඩවි බැලුවොත් රජතුමාට ඇපත් නැහැ. හැබැයි ඇත්ත තත්වය ඒක නොවේ කියල උඹත් දන්නවා, මාත් දන්නවා.

කවුරුත් කතා නොකලට රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ගෙනාදී සුගානොෆ් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති වෙන්න තිබුනා, මා කියුව ජිල් මාර්ට් නොමැතිව චන්දයක් තිබුනා නම්. මෙන්න මේ සුළු හිඩැස පුරවන්න තමා ජිල්-මාර්ට් ඕනේ. මචං සමහර විට අපට උගන්වන්න එනවා, රුසියාවේ ස්ටාලින්ට කැමති කට්ටිය අද නම් නැහැය කියලා. උඹ දැක්කනේ ඊයේ පෙරේදා රුසියානු ජනතාවගේ පෙළපාලි වල හිටපු ස්ටාලින්. මොනවා වුනත් ගෙනාදී ජනාධිපති වුනා නම් රුසියාව අදට වඩා යහපත් සමාජයක් වෙන්නත් ඉඩ තිබුනා. අද බලයේ ඉන්නේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ජරාම පිරිස් කියල නම් කරන්න පුළුවන්. ගෙනාදීලා සාපේක්ෂව මානව හිතවාදී පිරිස් නියෝජනය කරපු කාණ්ඩය.

මා නම් කැමතියි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජිවත් වෙන්න. එහෙම සමාජයක වුවත් මට ඕනේ පාලනයක් හෝ ආර්ථිකයක් හදා ගන්න ඒකීය පුද්ගලයෙක් හැටියට මට හැකියාවක් නැහැ. රටේ නායකයන් වීමට හෝ ඕනෙකමක් හෝ පෞරුෂයක් හෝ සහජ නායකත්වහැකියාවක් නොමැති බහුතර මිනිසුන්ගෙන් තමා සමාජය හැදිලා තියෙන්නේ. අවුල්ද? නැහැ. අපට සමීප වන අදහස් නියෝජනය කරන නායකත්වයකට/කාණ්ඩයකට අපට පාලන බලය දෙන්න මේ යටතේ අවස්තාව තියනවා. ඔවුන් බලයට ඇවිත් කරන්නෙත් අපට ඕනේ දේවල්ම නොවේ. නමුත් යම් තරමකට සමාජ පොදු මතය ඔවුන්ගෙන් නියෝජනය වෙනවා.

මා ලංකාවේ සිටියා නම්, මට තියෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නය නම්, රජතුමාට කැමති නැති වුනත්, අනෙක් අයට මොකටද චන්දය දෙන්නේ කියන එක. කවුද ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් පෙනී ඉන්නේ? මේ තියන පිළිවෙල විවේචනය කිරීම් හැම තැනින්ම ඇහෙනවා. නෙගටිව් කැම්පේන් විතරයි. මොකක්ද ඇත්තටම කරන්නේ කියා කියන කෙනෙක් නැහැ. මර්වින් සිල්වලා, ජොන්ස්ටන්ලා සම්බන්ධ කර ගන්නේ නැතිය කියන පිරිස් ඉන්නවද? (සහෝදරයන් ගැන මා කතා කරන්නේ නැත්තේ, ඔවුන් හා ඊජිප්තුවේ සහෝදරවරුන් අතර තියන වෙනස ඉතා කුඩා නිසා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇත්තටම පෙනී ඉන්නවා යයි මට තවම සිතන්න කාරනා නැහැ).

ලංකාව වසර හැත්තෑවක පමණ ඇවිත් තියන ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉතාම ඛේදනීයයි. මෙයට බලයට පත් කරපු මිනිසුන් හා ජනතාව එකසේ වග කියන්න ඕනේ. හැබැයි එතන සමාජයේ බහුතර මතය තාමත් නියෝජනය වෙනවා කියල මට හිතෙනවා. අපගේ බහුතරය තවම නොදියුණු මනසක් තියන, සිතන්නට බැරි හා ආත්මාර්ථකාමී පිරිසක් (මා සමග අමනාප වන්න එපා). උන්නතිකාමී බටහිර සමාජය මෙතරම්ම ආත්මාර්ථකාමී නැහැ. දුප්පත්කම ඉස්සරහා දොරින් එනවිට, මනුස්සකම පිටිපස්ස දොරින් පළා යනවා කියනවනේ. හැබැයි මචං අපගේ සමාජයේ තියන අමනුස්සකමට එකම හා ප්‍රධාන හේතුව නම් දුප්පත්කමම නොවේ.

සිරිමාගේ ආර්ථික කාබසිනියාව ගැන අප තවම කතා කරනවා. චීනයේ සංස්කෘතික විප්ලවය නිසා මෙයටත් වඩා ආර්ථික හා සමාජයීය හානියක් සිදු වුනා. අද චීනය “සුරාකෑම” යලි හඳුන්වා දුන් පසු ලබාගෙන තියන ආර්ථික දියුනුව ගැන හිතන්න පුළුවන් නම් අප ඒ ගැන මෙතරම් කතා කරන එකක් නැහැ. චීනය පසුගිය දශක දෙක තුන තුල ජනතාවගේ ජිවන තත්වය උඩට දමපු අයුරු කාටවත් නැහැයි කියන්න බැහැ. එම සමාජයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ කාලයේ ප්‍රශ්නයක් විතරයි. මේ බටහිර ලෝකයේත් තියන සංවෘත ආර්ථික ලක්ෂණ අපට සහමුලින්ම අමතක කරන්න බැහැ. මේවා කියන විට මගේ මිතුරු කියවන්නට ජුවල් නගිනවා කියා මා දන්නවා. මට ලංකාවේ වුන පසුගිය සිද්දි හෝ අද වෙන සිද්දි ජිවිතයට බල නොපාන නිසා මේවා ගැන මා සිතන අයුරු වෙනස්.

සිරිමා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එල්ල කරපු මරු පහර තමා අවුරුදු දෙකකින් චන්දය කල් දැමීම. එය ජේ ආර්ට දුන්න වැරදි පූර්වාදර්ශයක් පමණක් නොවේ, ශ්‍රී ලංකා පක්ෂයේ 1977 ඛේදනීය ප්‍රතිපලයටත් බලපෑවා. ශක්තිමත් විපක්ෂයක් නොමැතිකම නිසා තමයි ඉන්පසු ගතවුණ වසර දා හත ප්‍රජාතන්ත්‍රවාදයට සාපී කාලයක් වුනේ. ජේ ආර්ගෙන් පසු බලයට පත් වුනේ, එම ඇති කරපු විකුර්තිප්‍රජාතන්ත්‍රවාදයේ අස්වැන්න කපා ගත්තවුන්. අද වෙන කොට මොකාත් බලාගෙන ඉන්නේ ඒ අස්වැන්න කපා ගන්න විතරයි.

අපේ සමාජයේ නිතැතින්ම තියන ම්ලේච්චකම මේ බ්ලොග් වලින් හෝ ප්‍රවර්ධනය කල යුතු නැහැ. තාත්තලාගේ අම්මලාගේ වැරදි වලට දරුවන්වත් මරන්න කියන ම්ලේචත්වය පමණක් නොවේ, ගඩාපිට වගේ පොලු වලින් ගසා ගහල මරණ විට සිනා සෙන ම්ලේචත්වයත් අප පිටු දකින්න ඕනේ. ඒ වගේ දෙයක් අනෙක් අයටත් කරන්න යෝජනා කරන ම්ලේචත්වයත්, විජේවීරව ගහලා පන පිටින් පුච්චන එක ගැන කිරිබත් කන ම්ලේචත්වයත් අප පිටු දකින්න ඕනේ. ප්‍රේමදාසගේ ශරීර කෑලිත් නැතිවෙන විදිහට මරණ විට, කිරිබත් කන සමාජය අප පිටු දකින්න ඕනේ. කොල්ලන්ව පාරේ පුච්චපු ම්ලේචත්වයත්, “කසිප්පු කාරයන්ව” මැරුව ම්ලේචත්වයත් අප පිටු දකින්න ඕනේ. විජයව මැරීමෙන් නවතින්නේ නැතුව, ඔහුගේ රූමත් මුහුණ විකුර්තිකරලා සතුටු වුන ම්ලේචත්වය අප පිටු දකින්න ඕනේ. අත්අඩංගුවට ගෙන වද දීමෙන් නවතින්නේ නැතුව, විකුර්ති ලිංගික ක්‍රියා කර අන්තිමට මරා දැමීමත් හරිය කියන ම්ලේචත්වය අප පිටු දකින්න ඕනේ.

අපට අලුතින් හදා ගන්න/නායකයන් ලෙස පත්කර ගන්න අවශ්‍ය වන්නේ මැන්ඩෙලා ලා මිසක් ප්‍රේමදාසලා,  රන්ජන් විජේරත්නලා, විජේවීරලා, ප්‍රභාකරන්ලා, මහින්ද රාජපක්ෂලා නොවේ. මැන්ඩෙලා වෙනුවට ඉහත අය දකුණු අප්‍රිකානු විමුක්ති සටනට නායකත්වය දුන්නා නම්, අද ඒ රටේ තත්වය අපට හිතා ගන්න පුළුවන්. මැන්ඩෙලාගෙන් පසු ඒ රටේ අප බලාපොරොත්තු වුන යහපාලනය ඇතිවුනේ නැහැ තමා. නමුත් ඔහු නිසා ඒ රට විතරක් නොවේ, ලෝකයත් මෙයටත් වඩා ජරා තැනක් වීම අඩු වුනා.

එක පැත්තක තමන්ගේ අතුරුදහන් වුන තාත්තා ගැන වැලපෙමින් ජිවිතයම ගෙවන වනාතේ සුනිල්ගේ දරුවන් ඉන්න අතරේ, අනෙක් පැත්තේ ලස්සන ගල් අල්ලපු මං මාවත් වල ව්‍යායාමයට ඇවිදින්න හැකි රටක ජීවත්වීම මගේ නම් අභිලාශයක් නොවේ. මොකද මා හොඳටම දන්නවා, තමන්ගේ ඥාතින් අතුරුදහන් වුවන්ගේ ජිවිතයේ ඉතිරි කාලය ගෙවෙන්නේ කොහොමද කියා. ම්ලේච්චකම විතරක් නොවේ, අනුන්ගේ දුක නොදැනීම හා නොදැකීම නොදියුණු මනුෂ්‍ය කොට්ටාශ වල ලක්ෂණයක්.

වඩාත් ශිස්ට සමාජ වලට ඇවිත් පවා, පන්සල් වල සංගම් නිල තල වලට කුණුහරුප කියා ගනිමින්, එලොව කෙසේ වෙතත් මෙලොව එහා මෙහා යන්න පුළුවන් රථ වාහන සූරා ගනිමින් අප මේ පෙන්වන්නේ මොකක්ද කියා උඹ දන්නවා ඇතිනේ!

 

Advertisements

13 Comments

Filed under Opinion, Politics

13 responses to “ඒ මධු සඳෙන් පලක් නෑ, මේ රෑ ආවත් දී ආලෝකේ! My lengthy reply to Aru’s comment!

  1. Pingback: ඒ මධු සඳෙන් පලක් නෑ, මේ රෑ ආවත් දී ආලෝකේ! My lengthy reply to Aru’s comment! | Syndi.us

  2. රයිගම්……පෝස්ට් එකක් හැටියටම කරපු මේ දීර්ඝ පැහැදිලි කිරීම ඉතා ඉහළින් අගය කරනවා.

    //////සහෝදරයන් ගැන මා කතා කරන්නේ නැත්තේ, ඔවුන් හා ඊජිප්තුවේ සහෝදරවරුන් අතර තියන වෙනස ඉතා කුඩා නිසා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇත්තටම පෙනී ඉන්නවා යයි මට තවම සිතන්න කාරනා නැහැ).////////////////

    මට හිතෙනවා දැන් දැන් ජවිපෙ නිවැරදි වෙන්නට උත්සාහ කරනවා කියලා. එය එසේ නොවුනහොත් පැවැත්මක් නැහැ. මමත් බලන් ඉන්නවා මේ පාර ඡන්දේ දීපු අය වගේම.

    • මචං මා ජිවත් වෙන්නේ “පළාත් සභා” හරියට ක්‍රියාත්මක වෙන රටක. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහල පියවරක්. අද විනේශ්ගරම් ඉල්ලන්නේ මේවාට හිමි බල තල. බලය බෙදීමට එරෙහිව, මේවායේ බලය ඉල්ලන කිසිම කාණ්ඩයකට මා නම් දැන් චන්දය දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස නොකරමින්, පාර්ලිමේන්තුවට ඉල්ලන කිසිම කෙනෙකුටත් මා අද චන්දය දෙන්නේ නැහැ. එහෙම කාණ්ඩ වලට චන්දය දුන්නහම අන්තිමට වෙන දෙය ඊජිප්තුව අපට කියා දෙනවා.

      • පලාත් සභා හෝ ඒ සමාන බලතල බෙදීයන පාලන රටාවක්, මධ්‍යම ආන්ඩුවක් තිබියදීම පවත්වාගෙන යෑම අපි වැනි ප්‍රමානයෙන් කුඩා රටකට කොයි තරම් ප්‍රායෝගිකද කියලා මම නිතරම හිතනවා. මොකද..නගර සභා, ප්‍රාදේශීය සභා ව්‍යූහයකුත් මේ ක්‍රමය තුලම පවත්වාගෙන යන නිසා.

        • ඇත්තටම මචං මේකත් මට ලියන්න ඕනේ කරුණක්. මේවා අවලංගු කරන්න ඕනේ, ජනතාව ඒවා නොඉල්ලන පළාත් වල. ජනතාව ඇත්තටම ප්‍රාදේශීය බලය ඉල්ලන පළාත් වලට මේවා දිය යුතුයි (ප්‍රාදේශීය සභා නගර සභා කියන්නේ වෙනස් දෙයක්). ලංකාවේ මේවා පවත්වාගෙන යන්නේ අර මධ්‍යම ආණ්ඩුවේ සහ සමාගම් වගෙ. එහෙම විය යුතු නැහැ. එය තමා විකුර්තිය. ඇත්තටම බලය ඉල්ලන උතුරට, එම බලය දෙන්න සුදානම්ද? නැහැ. එතකොට වෙන බයිලා. දැන් බලපන් ඕස්ට්‍රේලියාවේ අපේ ප්‍රාන්ත මැතිවරණයේදී කතා වෙන්නේ මේ ප්‍රාන්තයේ පාලනය, ආර්ථිකය, පාසල්, බලශක්තිය යනාදිය ගැන. ජිනීවා ගැන තියා මහ ආණ්ඩුවට අයත් කිසි දෙයකට අප චන්දය දෙන්නේ නැහැ. ඒවා කතා කරන්නෙත් නැහැ. එවැනි දෙයක් ලංකාවේ නොමැත්තේ පළාත් සභා වල වරද නොවේ. මේවාට වෙන් කල බල තල දීලත් නැහැ. උතුර හැර අනෙක් පළාත් වලට ඉල්ලන ගසා කන්න විතරක් එන අයියලට එහෙම දෙයක්න් ඕනෙත් නැහැ. හිනා වෙන්න හෝ අඬන්න කරුණ තමා මචං සමහර අයියල ඉල්ලනවා. නමුත් පළාත් සභා ක්‍රමයට විරුද්ධයි.
          අපේ මිනිස්සුනුත් මේවා තියා, මහ මැතිවරණයකදී වත් ප්‍රතිපත්තියකට චන්දය නොදෙන නිසා කිසි ගානකුත් නැහැ.

  3. Maathalan

    අපේ රටේ දේශපාළණයේ තියා, සාමාන්‍ය ජනතාව තුලවත් මනුස්සකම නෑ. නමුත් අපි කුඩා කාළයේ තිබුනේ එහෙම සමාජයක් නෙමෙයි. මට මතකයි ඒ කාළේ මිනිස්සු 3 න් දෙනෙක් එකට මැරුණොත් වැල නොකැඩි මිනිස්සු ආවේ. උඹට මතකද දන්නේ නෑ, ඊරියවැටියේ එකම පවුලේ 9 දෙනෙක් මැරිලා මුලු ලංකාවම ආවා ඒ මල ගෙදරට. ගමේ මිනිස්සු ඒ ආපු මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා. එහෙම සමාජයක් මදුරුවෙක් මරණ ගානටවත් මිනිස් ජීවීතයක වටිනාකම් නැති ජාතියක් කළේ ජෙප්පො තමයි. ජෙප්පො කරපු දේ මහා පරිමානයෙන් කලා කොටි. ඒවට පිළිතුරු දුන්නේ ඊටත් අන්ත තිරිසන් විදියට. දැන් මිනිස්සු ළඟවත්, දේශපාළණය තුලවත් මනුස්සකම නෑ. ඒක හදන එකෙක්වත් පේන තෙක් මානයක නෑ. ආගම් තුල පවා තියෙන්නේ ප්‍රචන්ඩත්වයක් විතරයි. වසර තිහක යුද්ධයක් තිබුන සමාජයක්, යතා තත්වයට පත් වෙන්න නම්, ඒ ජෙනරේෂන් එක නැති වෙලාම යන්න වෙයි. මොකෝඅ අන්තර්ජාලය තුල ඉන්නෙත් උගත්, බුද්ධිමත් උන්ට වඩා ජාතීවාදි, මිලෙඡ්ච මෝඩයෝ රැලක්..

    • අප නම් ලංකාවට එන්නේ ඉඳහිට. “ලාභදායක නිවාඩු” ගත කරන්න නම් නොවේ. එවැනි ලාභදායක වෙනත් තැන් තියනවා. අප එන්නේ වෙනස් හේතුන් නිසයි. අපේ දෙමාපියන් සහෝදර සහෝදරියන් එහි ඉන්න නිසා මාතලන්.

      මිනිසුන්ගේ වෙනස අපටත් පෙනෙනවා. මේ අරගල වලින් සමාජයට යමක් අරන් දුන්නා කීම නපුරු විහිළුවක්. ඔබ කියන්න වගේ කාලයක් යාවි. නමුත් ඉබේ නම් වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ පාසල් අධ්‍යාපනය ලබා දෙන විදිහ වෙනස් කරන්න ඕනේ. ආකල්ප වර්ධනය කරන්න පුළුවන් කුඩා කාලයේ. ලොකු වුනහම අමාරුයි.

      ගැඹුරු සමාජ ප්‍රතිසංස්කරණ කරන්න බලවේගයක් ප්‍රධාන දේශපාලන ධාරාව තුලින් බිහි වේවිද? එහෙම දෙයකට සමාජයේ ඉල්ලුමක් තියනවාද? එය සුන්දර බලාපොරොත්තුවක් පමණයිද? ඒකාධිපතිවාදය පමණක නොවේ, පවුල්වාදයත් ජනතාව පෝෂණය කරන්නේ මොකද? ඔබලාම තමා මේවා හිතන්න ඕනේ.

      සුන්දර සමාජවාදී කතා කියන පිරිස් වලින් නම් අපට විසඳුමක් බලාපොරොත්තු වෙන්න බැහැ මාතලන්. මේ කියන නිර්ධන පන්ති ආඥ්යාදායකත්වය කියන එකම දුෂ්ට ක්‍රමයක්. මේවා ආපු දවසට විතරයි සමාජයේ මනුස්සකම මතු වෙන්නේ කියන එක මිත්‍යාවක්. ඔවුනගේ මිනිස්කමේ තියන නොගැඹුරු බව, විමල් විරවංශ ජවිපෙන් ඉවත් වෙන වෙලාවේ, කඳුළු සලන විට එලියට ආවා. රටේ දහස් ගණනක් මවු වරුන්, පියවරුන්, සහෝදර-සහෝදරියන් තමන්ගේ දුව පුතා, අයිය, අක්ක, අම්ම, තාත්තා එනතුරු බලා ඉන්නවා. මෙයා අඬන්න ගත්තේ සිගිරි යන්න බැරි වුනා කියලා. මෙය එයාට විතරක් ආවේනික නැහැ. අනික් අයත් ඔය සිතිවිල්ලේම තමා ඉන්නේ.

      නායකත්වයේ ජෙනරේෂන් මාරුවක් දැන් ඕනේ. වශී බෝල මිරිකන, නිධන් හාරන ගොන් නොවේ, ටිකක් ඉගෙන ගත්ත, ලෝකය හා සම්බන්දකම් ගොඩ නගා ගන්න පුළුවන්, රටේ නිතිය හා යහපාලනය නැවත ගොඩ නගන්න පුළුවන් පෞරුෂයක් තියන කෙනෙක්. එහෙම අය හිටියත් මනාප ගොඩේ ඉහල එන්න නම් බැරි වේවි, මේ යන ක්‍රමයෙන් නම්.

      • Maathalan

        මේ ක්‍රමයම සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. එහෙම නැතිව මේ රටේ මනුස්සකම කවදාවත් ඇති වෙන්නේ නෑ. දැන් ඉන්න උන්ට එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයකුත් නෑ..

        • ලංකාව අද ඇවිත් ඉන්න තැන, හොඳ හෝ නරක වේවා, අපගේ සාමුහික ප්‍රයත්නයක්. මෙතැනදී බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, සේනානායකලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලා, විජේවීරලා හා ප්‍රභාකරන්ලා හා සාමාන්‍ය ජනතාව අඩු වැඩි වශයෙන් දායකත්වය සපයා තියනවා. මේ සමහරුන් හොඳ දේවල් මෙන්ම නරකත් කරලා තියනවා. නරක පැත්ත තමා වැඩි කියා මා හිතන්නේ. හැබැයි ප්‍රභා හා විජේවීර හැර අනෙක් අය බොහෝ දුරට මහජන කැමැත්තෙන් පත්වුණ පිරිස්. ජවිපෙ කියන කොට අනෙක් පක්ෂ දෙක තමා රට කෑවේ කියලා, ඇයි ඔයාල මොකද කළේ කියලයි අහන්න ඕනේ?

          අනික මාතලන් පිටින් සුද්දා නොවේ, සක්කරයා ඇවිත් අල්ලගෙන පාලනය කලත් එහෙම සමාජයක් හදන්න බැහැ. සමාජ ප්‍රතිසංස්කරණ බලෙන් පටවල, කුඩා කාලයක් “යහපත්” යයි කියන පාලන ගෙන යන්න පුළුවන්. හැබැයි ඒවා සදාකාලික පවතින්නේ නැහැ. සෝවියට් පාලන අවසානයේ එම සමාජ වල තත්වය බලන්න, ජාතිවාදය, සිවිල් අයිතිවාසිකම් (කාන්තා, ලිංගික හා වෙනත්), යහපාලනය වගේ දේවල් වලින් ඒ සමාජ හා බටහිර සමාජ සංසන්දනය කරන්න. අහසට පොලව වගේ. මෙවැනි සමාජ ප්‍රගමන කුඩා කල්ලි වලට අවශ්‍යතාවය තිබුනට බලෙන් පටවන්න බැහැ. එය කරන්න පුළුවන් සාමුහික එකඟත්වයන් තුලින්.කුඩා කල්ලි හා ඒකීය පුද්ගලයන්ට බලපෑම් නම් කරන්න පුළුවනි. ඒවා හොඳ මෙන්ම නරක වෙන්නත් පුළුවන්. හොඳ නරකත් අපමනේ තීරණය කරන්නේ. මේ සිංහල බ්ලොග් ලෝකයම උදාහරණයට ගන්න පුළුවනි.

          අපගේ පෞද්ගලික ජීවිතයත් මේ වගේ. ඔබ හිතනවද අපගේ ජීවන විලාසිතා අනුන් කියුව පමණින් අප වෙනස් කරනවා කියා. නැහැ. වැඩිය එපා දුම් බොන්න එපා කියල ඔබේ පවුලේ වෛද්‍යවරයා කියුවොත්, ඔබ අත හරිනවද? ඒක, ඔබට යහපතක් කරන බව දන්නවා වුනත්, ඔබ ඒ කීමට දුම් බීම නවතන්නේ නැහැ.ඔබට ව්‍යායාම් කරන්න කියා, බිරිඳ හෝ සැමියා කියුවොත් ඔබ අහනවද? ඔබට රස්සාවට ගොස් අයිස් කෙලින්න එපා කියල ඔබේ පුතා කියුවොත්, පසුදා ඉඳන් වැඩ කරන්න පටන් ගන්නවද? නැහැ, මාතලන් අප කවුරුත් එහෙම අනුන් කියනවට වෙනස් වෙන්නේ නැහැ. විශාල සමාජයත් මේ වගේ. එවැනි අවශ්‍යතා සමාජය තුලින්ම පැන නැගෙන්න ඕනේ. අප දකින ආකාරයට එවැනි වෙනස් කිරීම් සඳහා (සුළු හෝ) යහපත් බලපෑම් කිරීම තමයි අප කරන්න ඕනේ. මෙයත් කිකිලියි බිත්තරෙයි වගේ උභතෝකෝටික ප්‍රශ්නයක්(මා පාසල් අධ්‍යාපනය ගැන කියුවේ ඒ නිසා. කුඩා දරුවන් වෙනස්). තුවක්කු බෙල්ලට තියා එවැනි වෙනස්කම් කළ නොහැකියි.

          • තද නීතී රීතී වලින් පුළුවන් නේද…?

            • ඔව් මාතලන් පුළුවන්. නමුත් එය සරල කරුණක් නොවේ. දැන් ඔය අත-පය බෙල්ල කපන අරාබි සමාජ යහපත්ද? මරණ දඬුවම තියන ඇමෙරිකානු සමාජයේ අපරාධ, එල්ලන්නේ නැති ඕස්ට්‍රේලියාවට වඩා අඩුද? මෙය මා ලියන්නම්, ඔබ කියවන්න කැමති නම් වෙන වෙලාවක.

              • ////දැන් ඔය අත-පය බෙල්ල කපන අරාබි සමාජ යහපත්ද? ///////
                කිසිසේත්ම නැහැ. දූෂණය සිද්ධ වෙන්නේ ඉහළින්. ඒවා මිලියන් බිලියන් වලින්. නමුත් පහළින් සිදුවෙන පොඩි වැරැද්දකදි කඩුව බෙල්ලට. පහුගිය කාලේ ආරාබියේ ඇතිවුණ විරෝධතා වලදි ඕමානය වගේ රටවල (විරෝධතා ඇතිවෙලා තිබුණේ සුළුවෙන්. ඒවා සහමුලින්ම මර්දනය කරලා තිබුණා )මිනිස්සු නැගී හිටියේ දූෂණය පිටු දකින්න. මේ නැගිටීම හඳුනාගත් පාලකයා කරේ ඉහළින් සිටි ඇමතින් කිහිප දෙනෙක් එහා මෙහා කිරීම. රජා දන්නවා ගහන්නේ උඩ එවුන් කියලා.

                • අපේ අයියලත් දරුවන් හදල කන්න දෙන්න බැරුව කට්ටියක් මහන කරනවා, තව කට්ටියක් පංචිකාවත්තෙන් හොර පාස්පෝර්ට් අරන් ඔය රටවල් වලටත් යවනවා. ඉන්පසු ඒ නොදරුවන් හිස් ගැසුම් කනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s