චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්! Can you take me there?


මා ලියපු අන්තිම සටහන් සියල්ලටම හේතු වුනේ එක කරුණක්. පාසල් සිසුන් හා සරසවි සිසුන් අල්ලා ගෙන රටක බලය අල්ලන්න හදන එකම ගොන් කමක්. පාසල් හා සරසවි වල සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න, ධනපතියන් භංග වේවායි කෑ කෝ ගසන බහුතර පිරිසක්, ජිවිතයේ තමන්ම උපයනවිට, නිර්ධනීන්ට වෛර කරන පිරිසක් බවට පත් වෙන්නේ ඇයිද කියන එකත් හොඳ පර්යේෂණයකට මාතෘකාවක්. නැත්නම් දශක කිහිපයක් තිස්සේ ලංකාවේ මේ සරසවි වලින් පිටවන පිරිස් හා ඔවුනගේ පවුල් වල පිරිස් එකතු කර ගත්තම නිර්ධන පංති ආඥ්යාදායකත්වය පිහිටුවන එක සුළු දෙයක්.

අපගේ පන්ති වලින් පවා සරසවි ගිය එකල “සමාජවාදීන්” අද වනවිට සමාජ සංරක්ෂණ අංග ගැනවත්, සාමාන්‍ය ජනයා ගැනවත් කිසි හැඟීමක් නැහැ. ඔවුන් බොහෝ දෙනෙකු මේවායේ පැවැත්මත් තව දුරට ප්‍රශ්නයකුත් නොවේ. මොකද බොහෝ දෙනෙක් ඒවායින් යැපෙන්නේ නැහැ. ඒ අනුගාමිකයන්. සටන් වලට නායකත්වය දුන්න පිරිස් මෙයට අන්තයි.

තරුණ වයස කියන්නේ ලෝකය ගැන දැනීම් වර්ධනය වෙන වයසක් විතරයි. දැනීම් එකතු කරගන්නේ නැතුව, විප්ලව කරාපු අය උසස් අධ්‍යාපන ඇමතිලා වුනොත් කොහොමද? ඒ විතරක් නොවේ එහෙම අය උසස් අධ්‍යාපන ඇමතිලා බවට පත් වන්නේත් කොහොමද?

ඒ විතරක් නොවේ ඔවුන්ගේ මේ දීර්ග කාලින ක්‍රියාකලාපත් අධ්‍යාපනයේ ගුණාත්මක බව පහල යැවීමටත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරිමටත් බල පාපු ප්‍රධාන කරුණක්. ඒ හින්දම තමා මේවාට නායකත්වය දුන්න පිරිස් තමන්ගේ දරුවන්ව මේවට යවන්න උත්සහයක් වත් නොකරන්නේ. ඔවුන් එක කාලෙක ගරහපු අධිරාජ්‍යවාදී රටවල් වල “සූරා කන සරසවි” වලට තම දරුවන් යැවීමට පියවර ගන්නේ ඒ නිසා. ඉස්සර මේ කතා සාමන්‍ය ජනයා දන්නෙත් නැහැ. හැබැයි අද එහෙම නොවේ.

කුඩා කාලයේ දෙමාපියන්ගෙන් යැපෙන විට, ඉගෙන ගන්න අවස්තාව තියනවා නම් එය කරන්න ඕනේ. සමහරුන්ට එහෙම අවස්තාවක් වත් නැහැ. මොකද එක්කෝ දෙමාපියන් නැහැ. නැත්නම්, ඉන්න දෙමාපියන්ට වත්කමක් හෝ ඕනෙ කමක් නැහැ, දරුවන්ට උගන්වන්න. සමහර රටවල් වල පාසල් අධ්‍යාපනය නීතියෙන්ම අනිවාර්ය කර තියෙන්නේ මෙවැනි මග හැරීම්, මග හරවා ගන්න.

සමාජයට වෛර කරන්න ඉගැන්වීම හොඳ දෙයක් නොවේ. මේ සමාජය කොහෙත් යහපත් නැහැ. හැබැයි ඒ සමාජ හදාගෙන තියෙන්නේ අපමයි. කුඩා කාලයේ හා තරුණ වයසේදී ඉගෙන ගැනීම හා කුසලතා එකතු කර ගැනීම, දිවියේ පසු කාලයේ වඩාත් සමාජවාදී දිවියකට යන්තමින් හෝ පාර කපා දෙනවා. එක් කලක ධනපතියන්ටත්, අනෙක් කල නිර්ධනයන්ටත් වෛර කරමින් ගත කරන ජීවිතය කුමටද?

මා කලින් සටහනට මියුරු හා තිසර කියපු කරුණු දෙකකින් අපට පෙනෙන්නේ කුමක්ද? පන්තියේ පළමු වැනියා වීමට, දෙවෙනියා (හා එයාගේ අම්මා) මිනි මරන්න උවත් සුදානම් (මිනියක නම් තව මරණ දෙයක් නැහැ තමා. ඔහොමයි කියන්නේ). හොඳට හිටිය යාළුවන්, විභාග ප්‍රතිඵල ආපුවහම වෙනස් වෙනවා. මොකද ලඟින් හිටිය එකාට තමන්ට වඩා උසස් ප්‍රතිඵල. කාටද යකෝ එහෙම වෙන්න දෙන්න පුලුවන්? මෙයාල තමයි වෛද්‍ය වරුන් වෙලා ආවත්, වතුර ටැංකියට වස දමන්නේ. මෙයාල තමා, වෛද්‍ය වරුන් වෙලා ඇවිත්, අල්ලපු දිස්පෙන්සරිය නැගලා යනවා නම්, කොන්ත්‍රාත් දීලා ඒ වෛද්‍ය වරයාව මරන්නේ. මේ ලිස්ට් එක ඔබටම දික් කර ගන්න පුළුවන්.

අපේ පුතාලට මේ උන්නතිකාමී සමාජයේ උගන්වන්නේ, අල්ලපු සීට් එකේ ඉන්න එකාට ගණන් බැරි නම්, තමන්ගේ වැඩත් ඉවර නම් උදවු කරන්න කියලා. පොත වහගෙන, ලෝකයට වෛර කරමින් ගණන් හදන්න එයාලට දෙමාපියන් කියන්නෙත් නැහැ, ගුරුවරුන් කියන්නෙත් නැහැ.

අපේ අයියලා අතර තියන එකිනෙකා සංසන්දනය කරමින්, අනෙකාගේ දුව ගිටාර් ගහන විට, ඒකම තමන්ගේ දුවටත් කරන්න බල කරන, අනෙකාගේ පුතා ක්‍රිකට් ගහන විට, ඒකම කරන, කිසිම වැඩක් පොලක් කර ගන්න බැරි වුවත් අනෙකට ගරහමින්, ලෝකෙට පේන්න විතරක් ජිවත් වීමට උත්සහ කිරීම උන්නතිකාමය කියල කියන්න බැහැ. මෙයට වෙන වචනයක් හදා ගන්න ඕනේ, ගොන්නතිකාමය වගේ.

උන්නතිකාමී වීම නරක දෙයක් නොවේ. මා දරුවන්ට හැමවිමට කියන්නේ, උන්නතිකාමී වන්න. මේ ලෝකය අදට වඩා යහපත් තැනක් කරන්න පුළුවන් එසේ වීමෙනුයි. අපට තියන වෛද්‍ය, ආහාර, බාලශක්ති පමණක් නොවේ අනෙක් සමාජ ප්‍රශ්න වලටත් අදට වඩා හොඳ විසඳුම් අවශ්‍යයි. එය කරන්න පුළුවන්, අතීත දිවියට යලිත් ගිහින් නොවේ. අලුත් හොඳ විසඳුම් සොයා ගැනීමෙන්.

උදේට ගේ දොරකඩ සකුරා මල් බලන්න හැකි ක්ෂණික වෙනස් කම් කරන්නත් බැහැ, කලත් ඒවාට වැඩි ආයුෂත් නැහැ.

 

ප ලි

ඇල්ටියන් චයිල්ඩ්ස් කියන්නේ ඕස්ට්‍රේලියානු එක්ස් ෆැක්ටර් 2010 unlikely ජයග්‍රාහකයා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 35 යි. ඔහුගේ පහත කුළුඳුල් ගීතය ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ චාර්ට් වල ටොප් ටෙන් අතරට ආව. පෙනුන හැටියට පොරට හොඳ අනාගතයක් තිබුනා. මොකද ගායකයෙක් විතරක් නොවේ, ඔහු ගීත ලියන්නේකුත් නිසා. හැබැයි ඉන්පසු ගෙවුන වසර දෙක තුන තුල මල්-ගංජා-මත්පැන් යනාදිය සමග වැඩිපුර ආශ්‍රය නිසා, අද ඔහු ආගිය අතක් නැහැ. දෛවයේ සරදමකට වගේ මුල් සිංදුවෙන් ඔහු ඉල්ලන්නේ “ඒ තැනට මාව ගෙනියන්න” කියල. අප හැමෝම ගොඩක් දුරට එහෙමයි.

 

 

12 Comments

Filed under Opinion

12 responses to “චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්! Can you take me there?

  1. Pingback: චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්-දුවේ එපා ඒ කතා අහන්නට! Can you take me there? | Syndi.us

  2. මා හිතන්නේ මේ සියලුම වාමාංශික (යයි කියාගන්නා) ව්‍යාපාර තවමත් කර නැති එකම දේ තමයි අපේ රටට ගැලපෙන මොඩලය සොයා නොගැනීම. සකස්කර නොගැනීම. හැබැයි එදා ඇන්. ඇම්. ලා කොල්වින් ලා මොකක්දෝ මන්තරයකින් සෑහෙන ජනතාවක් ඒකරාශී කරගත්තා. නමුත් හැමදාම ‘සාදුකින් පෙලෙනවුන්’ ගීතය ගායනා කිරීම පමණක් ඵලක් නොවන බව මිනිස්සුන්ට තේරුණා. විශේෂයෙන් ඒ නායකයන් තවදුරටත් නැතිවීමෙන් පසු. ඒ නායකයන් තුල තිබුණා කාලීනව වෙනස්වීමේ හැකියාව. අද ඉන්න අය තවමත් හරියටම පොතේ න්‍යාය එලෙසම කල හැකියයි සිතීම, එසේ කිරීමට උත්සාහ කිරීම, එයින් ලබන පරාජිත අත්දැකීම් හමුවේ වුවද ඔවුන්ගේ චින්තනය සහ වැඩපිළිවෙල වෙනස් නොකරගැනීම තමයි, ඔවුන්ගේ ලොකුම දුර්වලකම.

  3. සයුරි නෙවේ රයිගම් මියුරු…. හික්ස්…
    රයිගම්ට මොනව හරි අත්දැකීම් තියෙනවද මෙහේ තියෙන ගෙදර උගන්වන අධ්‍යාපන ක්‍රමය (Home Schooling) ගැන… මට තවමත් ඒ ගැන හරි හමන් විස්තරයක් සොයාගන්න බැරි වුණා… මට හමුවෙන අය අතර ඒ අත්දැකීම් තියෙන අය අඩුයි… එකම එක නර්ස් නෝනා කෙනෙක් නම් මුණ ගැහිලා තියෙනවා… එයාලට එහෙම කරලා තියෙන්නෙ තාත්තා දැඩි ක්‍රිස්තියානි භක්තිකයෙක් නිසා…
    ඇල්ටියන් චයිල්ඩ්ස් ගැන නම් කියලම වැඩක් නෑ… මිනිහා තරග කරද්දි අපිත් හරිම ආසාවෙන් බැලුවෙ ඇත්තටම දක්ෂයෙක් නිසා… මං හිතන්නෙ ඔය වගේ තරග වලින් බිහි වුනු අසාර්ථකම පුද්ගලයෙක්…

  4. අපේ රටේ මිනිස්සුන්ගේ ලේ වල ජාන වල තියෙන කුහක කම ලේසියෙන් නැති කරන්න බෑ. ඒක මට වඩා ඔහේ දන්නවා ඇති නොවැ. පිට රටකට ගියත් ඒවා වෙනස් වෙන්නේ නෑ. මහා ආත්මාර්ථකාමි කම්මැලි ජාතියක්. කැම්මැලි නැති එකා විතරක් දිනනවා. ළෝකය මොකක්ද කියලා අන්තර්ජාලේ ගෙනත් දුන්නත් දන්නේ නෑ. එක අතකින් මේ පරිඝනකයට සිංහල ආපු එකත් වැරදියි. මොකෝ ඒකෙන් වෙන්නත් නව දැණුමක් සොයාගෙන යාම නෙමෙයි. තියෙන ගෝත්‍රික ගති වන්දනා කිරීමක්. මේ රටට අබ සරණයි.

  5. ජාතිවාදීන්ට නම් සමාජවාදීන් කියල සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. දෙපිට කාට්ටු ජිවිත සහිත පිරිස් වලට කොහොමටත් සමාජ ප්‍රතිසංස්කරණ කරන්නත් බැහැ. අනික අධ්‍යාපනය කඩා කප්පල් කරලා සමාජවාදීන්/සමාජවාදී සමාජ හදන්න බැහැ. අධ්‍යාපනය ධනවාදී/සමාජවාදී යනුවෙන් වෙන් කරන්නත් බැහැ විචාරක. සමහරුන් ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ, මේ “කුණු වූ සමාජය” තවත් කුණු කරලා, අනාගතෙයේ බලය ගන්න. මේවා පාරාවළලු විතරයි.

  6. සොරි මියුරු (කීයක් කියල නම් මතක තියා ගන්නද?). ඒ විහිළු, පොඩි අතපසු වීමක්.
    මොකටද ගෘහස්ත අධ්‍යාපනය ගැන හොයන්නේ? දැන් මේක කරන්නේ ගතානුගතික හා සමහරවෙලාවට මොලේ මංඥන් දෙමාපියන්. Louis Therouxගේ වැඩසටහනකදී මෙවැනි අම්මල ගැන අපපූරුවට හෙළිදරව් කළා හැබැයි ඒ ඇමෙරිකාවේ. මෙහෙ පවා එවැනි ය ඉන්නවා. ඔබ කියන්නෙත් එවැනි උදාහරණයක්.

  7. මෙතන අන්ත දෙකක් තියනවා මාතලන්. අපේ කට්ටිය ලෝකේ ඕනෙම රටක මා කල්පනා කරන විදිහට සාමාන්‍යයෙන් හොඳට වැඩ කරන පිරිසක් ලෙස නමක් තියනවා. හැබැයි ඒ ජාන අතර ඔබ කියන පිරිසත් ඉන්නවා. අප බලන්න ඕනේ අර කලින් කියුව ජාන කිටුව කොහොමද වැඩි කරන්නේ කියා.

    හොර පූසන් වැඩි වීමට බලපාන එක දෙයක් තමා, මේ සමහර ඉගැන්වීම්. දැන් සමහරුන් වැඩ කරන්නේ නැත්තේ, මේ ධනපති ක්‍රමයෙන් රට හදන්න බැරි නිසා. එයාල ඉන්නේ සමාජවාදය එනකම්. ගොඩක් වෙලාවට සුළු ව්‍යාපාරයකට සේවයට කෙනෙක් ගන්න. හූර කනවා කියල නිකම් ඉන්නවා. අන්තිමේ ව්‍යාපාරයත් බංකොලොත්, රස්සාවත් නැහැ. මට උදාහරණ දෙන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ.

    අපි ඒ කාලයේ දවසක් යුක්රේනයේ නගරයක පොලට ගියා බඩු වගයක් ගන්න. මේ සෝවියට් ක්‍රමය නැති කාලේ. ඔන්න ජෝඩුවක් ඉන්නවා බඩු වගයක් තියාගෙන. අපි ලංවෙලා ගණන් ඇහුවා. කියුවේ මොකක්ද දන්නවාද? සිචාස් පිරිරිෆ්! ඒ කියන්නේ දැන් අපට විවේක වෙලාව කියන එක. මුන් දෙන්නා හිටගෙන කතාව, බඩු ටික ඉස්සරහින් තියාගෙන.

    පසුගිය දවසක මේ කතාව මට යලිත් මතක් වුනේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ තියන අර ටොරානා මඩුවේ සංයුක්ත තැටි ටිකක් ගන්න ගිය වෙලාවේ. මෙන්න එක පාරටම කියනවා, “සර් අපි දැන් කඩේ වහල යනවා දවල් කෑමට” කියලා. දැන් මේ දෙන්නාම ජෝඩු දාල යන්න ඕනෙද. එකෙක් පැය භාගයකට ගිහින්, ආවට පස්සේ අනිකට යන්න පුළුවන් නේද? වෙළඳාමත් කැඩෙන්නේ නැතුව කෙරෙනවා. හනේ කාට කියාන්නද?

    ඔබ කියන අන්තර්ජාලයේ සිංහල භාවිතය ගැන මාත් එකඟයි. මෙය උදවු කර ගන්නේ නැහැ ඉංගිරිසියෙන් යමක් කියවන්න, ඉංගිරිසි දැනුම ටිකක් හදා ගන්න. සිංහලෙන් ලබන පාසල් අධ්‍යාපනය ගැන මගේ විරෝධයක් නැහැ. නමුත් දෙවන භාෂාව ඉගෙන ගැනීමට, අපට වඩා අද අවස්තාව තියනවා.

  8. ඔය එකිනෙකා සංසංදනය කරල දරුවන්ට වද දෙන දෙමවුපියන් ගැන නම් මට තියෙන්නෙ පුදුම අපුලක්….
    ජප්පෝ දවල් කෑම ට යන්නෙත් මාරුවෙන් මාරුවට….. දහවල් කෑම පැයේ වැඩකට ගියත් කිසිදා රස්තියක් නැහැ….
    ලංකාව ගැන මොන කතා ද රයිගම මහත්තයෝ…..

  9. මමත් මේ මියුරුගෙන් අහන්න හිටියේ ඇයි මේ ගෘහස්ථ අධ්‍යාපනය ගැන හොයන්නේ කියලා. මට ඒ ගැන අහන කොටත් පොඩි තැතිගැනීමක් එනවා….කොහොමද එවැනි හුදකලා අධ්‍යාපන රටාවක් සාර්ථක වෙන්නේ කියලා.

  10. @ කෙන්ජි…..යමක් අහලා හැදෙන්නේ නැති එක ටිකක් හිතාගත්ත හැකි අනේ මූ දැක්කේ නැහැනේ කියලා. ඒත් දැකලා හැදෙන්නේ නැති එකාට මොකක්ද කියන්නේ?

  11. ඇයි කෙන්ජි “මල්ලි”, මොකද දැන් මා මහත්තයා වෙලා? 😀
    කියන කොට කියන්නේ ඔය රටවල් දියුණු වෙලා තියෙන්නේ, අපේ “මුතු කැට” සූරා ගෙන කන හින්දා කියලා. මේ මිනිසුන් වැඩ කරන හැටි, දැකලත් අර අරූ කියන්න වගේ හැදෙන්නේ නැති අපේ කඩ කාරයන් මෙහෙත් ඉන්නවා.
    මෙහෙමනේ කෙන්ජි, වැඩිපුර ඉන්න එයාල අතරේ අපි වගේ අපතයනුත් ඉන්නවා කියල පෙන්වන්නයි මා මේ බ්ලොගය දිගටම ලියන්නේ.

  12. මං ඒ ගැන ඇහුවෙ ළඟකදි මං දන්න ඉන්දියන් ගෑණු කෙනෙක් මගෙන් ඔය ගැන දන්නවද කියලා ඇහුව නිසයි… මං ඒ ගැන කියන්න දැනගෙන හිටියෙ නෑ… ඔය සම්බන්ධ වෙබ් සයිට් ගණනාවක් තිබ්බට ප්‍රායෝගිකව කෙරෙන විදිය කොහොමද දන්නෙ නෑනෙ… ඒකයි…
    මං ඉස්කෝලෙ නවය පන්තියේ විතර ඉන්නකොට අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් බයෝ පන්තියට ආවා ඒ පැත්තෙ හිටපු ප්‍රසිද්ධ දොස්තර කෙනෙකුගෙ පුතෙක්… ඒ දවස්වල ළමයි කිව්වා ඒ ළමයා ඊට කලින් ඉස්කෝලෙ ගිහින් නැතය, ගෙදරය ඉගෙන ගෙන තියෙන්නෙ කියලා… මං හිතුවා ළමයින්ගෙ පචයක් කියලා… කොහොම හරි ඒ ළමයා වෛද්‍ය විද්‍යාලෙට තේරුනා… මං මේ මෑතකදි දැක්කා පත්තරේ තියෙනවා එයා ගැන ලිපියක්… මිනිහා දැන් විශේෂඥ වෛද්‍යවරයෙක්… එයා කියලා තිබ්බා එයාගෙ තාත්තා පවුලෙ එකම දරුවා විදියට එයාව ගෙදර තියාගෙන උගන්වපු හැටි…
    අර මං කලින් කීව නර්ස් නෝනා ඇරුනම මට මෙහේදි මේ සම්බන්ධව අහන්න ලැබුනු අනිත් එකම පුද්ගලයා යුනි එකේදි මාත් එක්ක හිටපු පිරිමි ළමයෙක්… මේ පන්තියෙ අවුරුදු දහ අටට වැඩිය අඩු ළමයි ඉන්නවද කියල ඇහුවම ඒ ළමය අත උස්සපු නිසයි ඒ බව දැන ගත්තෙ… කොළුවට අවු: 15… ගෙදර ඉගෙනගෙන තියෙන්නෙ… හේතුව නම් දන්නෙ නෑ… කොල්ලා දක්ෂ නිසා විභාග ටික කලින්ම කරලා…
    ඔය වගේ කේසුත් තියෙනවා බොහොම කලාතුරකින්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.