Am I alone here? නැහැ, ඊට කමක් නැහැ!


මේ තියෙන්නේ මා කලින් සටහනක ලියුව පොඩි කෑලි දෙකක්. යලිත් කියවන්න කියායි ඔබට ආරාධනය.

“ඉන්ද්‍රානි පෙරේරා සැණකෙළියේ වෙන කිසිවක්ම දැක්කේ නැත්තේ, එක දෙයකට පමණක් හිත යොමුව තිබුණු නිසා. මේක සාමාන්‍ය ජිවිතයේ සැණකෙළි නැති වෙලාවලටත් වෙනවා. මොකද පුරුදු වෙලා ඉන්නේ එක අච්චුවක. එයට පිටින් හිතන්න පුරුදු වෙලා නැහැ. කොහොම වුනත් සමහර දේවල් මේකයි කියල කෙලින් ලියුවත් තේරුම් ගන්නේ වෙනස්ව නිසා පැහැදිලි කිරීම් කරනවා. හැබැයි ඒකෙන්  අදහස් වෙන්නේ නැහැ, ඒ වෙනස් විදිහට තේරුම් ගන්න තහනමක් තියනවා කියා. මා හිතන හැටි විතරයි පැහැදිලි කරන්නේ.

කලින් කතාවට මේ දාන පැහැදිලි කිරීම, ඔබගේ සිතුවිලි හා සංසන්දනය කිරීමකට පමණයි. මේවා කියවල ආතල් කඩා ගන්න එපා. මා ලියන්නේ මගේ ආතල් එකට කියා ලියුවේ මිට සති දෙකකට පමණ පෙර…………”

මේ එයට කලින් සටහනේ ප්‍රතිචාරයකට මා ලියපු ප්‍රති-ප්‍රතිචාර කෑල්ලක්

“කාශ්‍යප, මේවා අමනාප හෝ කේන්ති අරගන්න ලියන දේවල් නොවේ. මගේ සටහන් කියවන පිරිස්, මා දන්නා තරමින් මුහුකුරා ගිය පිරිස්. මේවා ඔබට අවශ්‍ය ආකාරයට තේරුම් ගන්න එක තහනම් කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. එහෙම අවශ්‍ය වෙන්නෙත් නැහැ. මොකද මුලික බලාපොරොත්තුවම එයයි.”

දැන් මේ ලියන්නේ මගේ “නව්‍ය” සිතුවිලි. ඒවාත් පරම සත්‍යය නොවේ. මා රස විඳින හැටි හා තේරුම් ගන්න ආකාරය.

මෙයට කලින් මා ලියුව සුනිල් ආරියරත්න ලියුව නන්දා මාලිනි ගයන ගීතය, තම සැමියාත් සමග එකම නිවසක වසන කාන්තාවකගේ තනි වීම, සුනිල් හිතල ලියුවත්, නොදැන ලියුවත් මට අලුත් අරුතක් ගෙන දෙනවා. එනම්, ඇය විවාහ දිවියේ මෙතරම් දිග කලක් ආපු එකම හේතුව තමන්ගේ දරුවන් මිස, සැමියා සමග තියන සම්බන්දය නොවේ. අර නන්දාම කියන්නේ (කපුගේ සමග) දෑඟිලි පමණක් එකට බැඳී ඇත කියල. අන්න ඒ වගේ.

දරුවන් නිසා විතරක්, වෙන් වෙන්න අවශ්‍ය වුවත් විවාහ දිවියේ නොකැඩි ඉන්න යුවලවල් අපට අමුතු දේවල් නොවේ. එවැනි අම්මා කෙනෙක්, දරුවන් ගෙදරින් ගිය පසුව “තනි” වීම (සැමියා ගෙදර සිටියත්) මහා අරුමයක්ද? එවැනි සිතුවිල්ලක් කියන්නේ ගරහාවට ලක් කල යුතු දෙයක්ද? සමාජයේ එවැනි මිනිසුන් හා ගැහැනුන් නැතිද? එවැනි සිතුවිල්ලකින් මේ ගීතය මා රස විඳීම “සුනිල් නම් දෙවියාට” කරන අපහාසයක් ද?

අපි දොස්තර කෙනෙක් ලඟට ගියහම බේත් දෙන්නේ ඒවා ගත යුතු පිලිවලත් සමග. පෙති දෙකක් දිනකට තුන් වරක් කෑමට පෙර වගේ. එතකොට පැය අටෙන් අටට වගේ කෑමට පෙර මේ පෙති ගන්න ඕනේ. අප විද්‍යාත්මක පර්යේෂණයක් ඉදිරිපත් කරන විටත්, එසේ වීමට හේතු මෙන්න මේවයි කියා පැහැදිලි කරනවා.

දැන් කළා කෘතියක්, මේ වගේ “රස විඳිය යුතු වට්ටෝරුව” නැත්නම් පිළිවෙල මේ වගේ කියා එහි නිර්මාපකයා අපට ලියා දිය යුතුයි කියා ඔබ හිතනවද? එහෙම වුනොත් මේවා අපට කොහෙත්ම රස විඳින්න බැරි වෙනවා. හැම ගීතයකටම පෙර, එම ගීතය ලියුවේ මෙන්න මේ හේතුව නිසා, ඔබට වෙන විදිහකට තේරුම් ගන්න තහනම් කියා අඬ-වැඬියාවක් තිබුනොත් කොහොමද? හැම සිනිමා පටයකම “අඩෝ, මා කියන්නේ මෙන්න මේකයි” කියා අධ්‍යක්ෂකගේ යාන් හෑල්ලක් කතාව පටන් ගන්න පෙර තිබුනොත් කොහොමද?

නිර්මාපකයාට ඔහුගේ මතය, එම සිතිවිලි පහල වුන හේතුව, නිධාන කතාව වගේ දේවල් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා සමහර දෙනාගේ රස වින්දනයට උදවු වෙන්නත් පුළුවන්, සමහරුන්ගේ රස වින්දනය බාදා වෙන්නත් පුළුවන්, තවත් සමහරුන් උපේක්ෂාවෙන් බාර ගෙන, ඔවුන් රස විඳිනා අයුරින් තව දුරටත් රස විඳින්න පුළුවන්. මොකද කියනවා නම් මිනිසුන්ගේ සිතිවිලි නියෝග පනවා නවතන්න කිසිවෙකුටත් බැහැ.

පරණ සටහන්! (අවවාදය: මා කියන්න හදන දෙය තේරුම් ගන්න මේ ගීතයට විතරක් කොටු වෙන්න එපා. මේ සටහනුත් මේ කියන්න හදන දෙයට අදාලයි).

රොන් පිරී සැලෙන්න මල් රේණු!

බඹා කෙටූ හැටි! (දින සටහන්)

මොන කෙන්ගෙඩියකටද? A Pointless Endeavor?

When does that dark knight rise?

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “Am I alone here? නැහැ, ඊට කමක් නැහැ!

  1. ඕන් ඔය සරළ දේ, බොහෝ උගතුන්ට තේරෙන්නේ නැති එකයි කරුමය.

  2. maheshrathnayaka

    ඔක කියන විදියෙ නිර්මාණයට කලිං කතාව තේරුං කරන්න උත්සාහ කලේ ප්‍රසන්න විතානගේ… මට මතක විදියට කර්ම වෙන්න ඕන…
    ඇත්තටම ඒකෙන් රසික වින්දනයට ගොඩක් බාධා පැමිණුන බවයි මගේ අදහස නමි…
    මාර්ටින් වික්‍රමසිංහත් තමන්ගෙම කෘති විචාරය කරගත්තු කෙනෙක්… කොටින්ම කියනව නං එයා තමංන් විසින් ලියල හැම කෘතියක්ම වගේ පසු කාලීනව විචාරයට ලක් කරා… ඒ වගේම පසු මුද්‍රණ වලදි නවකතා කෙටිකතා ආදියෙදි කලිං ලියල තියෙන දේවල් වෙනස් කලා… මං දන්න තඑමින් මාර්ටින් වික්‍රමසිංහ විතරයි එහෙම කලේ… ඒකෙන් උනේ එයාගෙ මුල් කාලීන රචන සම්ප්‍රධාය හදුනාගන්න බැරි තරම් තත්වයකටය පත්වුණ එක..
    අනෙක් කෙනා සයිමන් නවගත්තේගම… මට මතකයි එතුමාම කියල තිබුණ කව්රුවත් එතුමා ලියන පොතක් හෝ කරුණක් සම්බන්ධයෙන් කවුරුවත් විචාරයක් හෝ විවාදයක් කරන්න නොපැමිණි බව… එතුමා කියල ත්බ්බෙ එහෙම ආව නං ඒ එන කෙනා පමණක් නොව එතුමාගේද පාඨකයන්‍ගේද දැනුමට යමක් එකතු වෙන්න තිබුණ කියල..
    මා දන්න තරමින් අඩුවෙන්ම විචාරයට ලකුවුණ කෙනෙකු තමා නවගත්තේතම කියන්නෙ

    අර ඔයා කියල විදියෙ රස විදින වට්ටෝරුවක් නිසා තමා හුගක් පොත් හා අනෙකුතු නිර්මාණ විචාරය කරන ඈයො පොට පටලං ඉන්නෙ…
    සරච්චන්ද්‍ර ලියනව පොතක් විචාර සම්බන්ධයෙන්(නම මතකම නෑනෙ) ඒකෙ පෙරවදනෙදි එයාම කියනව මේ පොතේ තියන කරුණු වල වැරදි දකින කෙනා මෝඩයෙක් බව… ඇත්තටම ඒ පොතේ තියෙන හුගක් කරුණු ලංකාවට නොගැලපීම හා වෙනත් විචාර අක්ෂීන් මත නොගැලපෙන ඒව… ඒත් කවුරුන් වත් ඒ ගැන කියන්න යන්නෑ..
    ඇයි අර පෙරවදනෙන් එයාල මොඩයො කරල තියෙනව නෙ…
    ඒකත් වැරදි නේද

    • මෙහෙමනේ මහේෂ්, මා කියන්නේ විචාරය කරන්න හෝ කරගන්න බැරි වග නොවේ. මාත් මේ ලියන දේවල් තව දුරටත් පැහැදිලි කරනවා. ඒ මා හිතන විදිහ කියන්න විතරයි. විචාරය හා නියෝගය කියන්නේ දෙකක්. නියෝග දීම නිෂ්පල බවයි මා කියන්නේ. සරත්චන්ද්‍රලත් එකතරා ආකාරයකින් නියෝග දීපු කණ්ඩායමක්. මේවා දිගට ලියන්න නම් විවේකය අවශ්‍යයි. මා මේ කරන විනෝදාංශයට එතරම් දුරක් යන්න බැහැ මහේෂ්.

      මෙවැනි “නියෝග දීමෙන්” යහපත් සමාජ හදන්න ගිය totalitarian ආණ්ඩු ක්‍රම සහිත සමාජ සමහර විට කෙළවර වුනේ ඛේදවාචක වලින්, සමහර ඒ ක්‍රම තියන රටවල් වල ජනතාව අදත් ඛේදවාචක වල ඉන්නේ.

    • මහේෂ්, ඉස්සර මිනිසා දඩයම් කර විවේකයෙන් ඉන්න වෙලාවට ගල් ගුහා වල චිත්‍ර අඳින්න ගත්තා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනල්වරුන්  විසින් මෙයට වසර 35,000 කට පෙර ඇඳපු චිත්‍ර අද සොයාගෙන තියනවා. ලැබුන විවේක කාලය එවැනි නිර්මාණ වලට යෙදවීමෙන් ඔවුනගේ කල්පනා ශක්තිය තවත් විකසිත වුනා. ඉන්පසු කාලයේ කවි කල්පනා හා වෙනත් කළා කෘති මගින්, මිනිස් මොළය තවත් තලයකට ගෙන ආවා. මිනිසා හා තිරිසනා අතර මුලික වෙනසක් නම්, අපට තියන කළා රසය. සාහිත්‍ය-කළා කියන්නේ මනුෂ්‍යත්වයේ අග්‍රගන්‍ය නිර්මාණයක්.

      එක්තරා විදිහකට අපගේ විද්‍යා දියුණුවට මග පෑදුනේ මේ නිසා. සාහිත්‍යය මගින් මිනිස්කම තව දුරටත් ප්‍රවර්ධනය කෙරුනා. අප සාහිත්‍යයෙන් කතා කරන්නේ මනුෂ්‍යත්වයයි. එවැනි රස වින්දනයක් තියනවා කියල තප්පුලන්නට කිසි කෙනෙකුට අවශ්‍ය නැහැ. මොකද ඒ රස වින්දනය අපේ එදිනෙදා ජීවිතය තුලින් පිළිබිඹු වෙනවා.

      මාර්ටින් වික්‍රමසිංහට වුනේ ඔහු, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටපු කෙනෙක්.වීම. ඇත්තටම ඔහු ඩබ්ලිව් ඒ ද සිල්වලාගෙන් පසුව මහා පිම්මක් පැන්නා. ඔහු සමග යන්න පුළුවන් තරම් පාඨකයන් හෝ විවේචකයන් ඒ කාලයේ සිටියේ නැහැ. මහා කතරක තනිවුන කෙනෙකු ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඔබ කියන පරිදි , වික්‍රමසිංහ තමන්ගේ කෘති, තමන්ම විචාරය කිරීමට එක හේතුවක් වෙන්න ඇති, ඒවා විචාරයට සුදුසු හෝ හැකි පිරිසක් බිහි වෙලා නොතිබීම, මහේෂ්. 

      මා කුඩා කාලයේ කියවපු මාර්ටින් ගේ සත්ත්ව සන්තතිය පොත ගැන විවේචනයක් ඔබ අද ඇහුවොත් විශ්වාස කරන එකක් නැහැ. එය මගේ තාත්තා ගත්තු එකක්. ඒ කාලයේ විද්‍යා අධ්‍යාපනයක් තිබුනේ නැහැ. කෙනෙකුට පරිනාමය කියන එක හෝ ජීවයේ සම්භවය ගැන කිසිම හැඟීමක් තිබුනේ නැහැ. එවැනි කෙනෙකුගේ අද අදහස කොයි වගේදැයි ඔබට සිතාගන්න අද අමාරුයි.

      ඔය අතරේදී තමා පේරාදෙනි ගුරුකුලය බිහි වුනේ. ඔවුන් විධිමත් අධ්‍යාපනය යටතේ විවේචනය, විචාරය ගැන අධ්‍යාපනයක් ලද අය. මෙයාල වික්‍රමසිංහලා හා සේනානායකලට වඩා “විධිමත් දැනුමින්” සන්නද්ධව සිටිය කට්ටියක්. හැබැයි සහජ හැකියාව අනුව වික්‍රමසිංහ ගවුගානක් ඉදිරියෙන් හිටියේ. තව දෙයක් ඔහුගේ උදව්වට සිටියා, ඒ තමයි ඔහු විසින් අයත් කර ගත් විද්‍යාත්මක දැනුම. විශේෂයෙන් මානව හා සත්ත්ව පරිණාමය ගැන. සේනානායකට එවැනි දැනුමක් තිබුනේ නැහැ. ඒ නිසා තමා ඔහු, අර කට්ටියගේ නිර්ධය ලෙස විචාරයට ලක් වුයේ. එම අඩුව ඔහුගේ නිර්මාණ වලත් දකින්න පුළුවන්. 

      මට වික්‍රමසිංහ හෝ සේනානායකලාට තරම් සාහිත්‍ය කුසලතා නැති වුනත්, ඔවුනගේ සිතුම්-පැතුම් හා ජිවන දෘෂ්ටියේ අඩු පාඩු අද දකින්න පුළුවන්. ලෝකය ගැන අද අපේ දැනුම එදාට වඩා වෙනස්.

      හැබැයි අතීත හා අද විවේචකයන් සියල්ල අවංක පිරිසක් නොවේ. වැඩිපුර දෙනා ඉරිසියා කාර කුහක පිරිසක්. උදාහරණයකට ඔවුනගේ විවේචනයට ලක් වුයේ සේනානායකගේ සාහිත්‍ය කෘති නොවේ. සේනානායකගේ ඇඟේ “අඩුපාඩුකම්”. එවැනි දේ වැරදියි කියන්න තරම් අවධිමත් සමාජයක් එදා තිබුනේ නැහැ. එවැනි දුෂ්ට විවේචන සේනානායක මැරෙන තුරුත් ඔහුට රිදුම් දුන්න අපරාධයන් කියලත් නම් කරන්න පුළුවන්.

      සමාජය හෝ මිනිසුන් දෙස හෝ ක්‍රෝධයෙන් බලන කෙනෙකුට සාහිත්‍යධරයෙකු හෝ විවේචකයෙකු වන්නට පුළුවන් කියා මට සිතන්න බැහැ. මොකද සකල කලාවන් කියන්නේ මනුෂ්‍යත්වයේ කතාවයි.
      (මහේෂ්, මෙහි තුන් වන කොටස සති අන්තයේ ලියන්නම්. මෙවැනි දේ ගැන එතරම් ඇදගෙන යන්න මට ආසාවක් නැහැ. ඔබගේ දීර්ග ප්‍රතිචාරය නොසලකා හරිම වැරදියි කියා සිතුනා)!

  3. රයිගම්, මට මෙතන හිතෙන්නෙ මෙහෙමයි, දෙන්න දෙමහල්ලන්ගෙ කිසිම අවුලක් නෑ. දෙන්න වයසට ගිහිල්ලත් බොහොම සතුටින් ඉන්නව. ඒත් අඹු-සැමි ආදරයයි සහ මව්පිය-දූදරු ආදරයයි දෙක එකිනෙකට වෙනස්. කාලයක් ජීවිතය, දුක සැප බෙදාගත් සැමියා/ බිරිඳ මියගිය පසු ඒ දැනෙන පාළුව තනිකම සම්පූර්ණයෙන්ම අකා මකා දමන්නට දූ දරුවො කොපමණ කිට්ටුවෙන් ආදරෙන් හිටියත් හැකිවෙන්නෙ නෑ. ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඒ වගේමයි ඒකෙ අනික් පැත්ත. මම හිතන්නෙ මෙතන වෙලා තියෙන්නෙ ඒකයි.

    ” මේ අම්මට මොනව වෙලාද මන්ද..කොයිවෙලෙත් ඇස් දෙකේ කඳුලු පුරවගෙන…”

    ” උඹල මට ආදරෙයි තමයි, මමත් උඹලට ආදරෙයි, ඒත් තාත්ත නැති අඩුව පුරවන්ඩ උඹලට බෑ දරුවනේ…”

    මේ ඔය ගීතයෙන් කියවෙන සිද්ධියෙ ප්‍රතිලෝමයක් ..මගේ පෞද්ගලික අත්දැකීමක්…

    • අප ආයිත් මුලට යනවා රවී. එකම දෙයක් වෙනස් ආකාරයකට, දෙදෙනෙක් රස විඳීම වැරදියි කියා ඔබට නියෝග දෙන්නට පුලුවන්ද? පුළුවන්. නමුත් එහි අර්ථයක් තියනවාද? මේ ලෝකය monotonous තැනක් කිරීමට අප කොතරම් උත්සහ ගත්තත් එය සාර්ථක වන්නේ නැහැ. ඒකම තමා මෙහි තියන හොඳ දෙයත්. නැත්නම් ලෝකය හරි බෝරින් තැනක් නේද? 🙂

      • / අප ආයිත් මුලට යනවා රවී. එකම දෙයක් වෙනස් ආකාරයකට, දෙදෙනෙක් රස විඳීම වැරදියි කියා ඔබට නියෝග දෙන්නට පුලුවන්ද? /

        අපොයි රයිගම් මම කොහොමවත් නියෝගයක් දුන්න නෙවෙයි. මෙහෙමත් දෙයක් වෙන්න පුලුවන් නේද කියල මට හිතුන .මට හිතුන දේ මම කිව්ව. ඔබට එසේ නොසිතෙන්න පුලුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි යම් දෙයක් තේරුම් ගන්නෙ පූර්ව අත්දැකීම් අනුවයි. අර මම කලින් කිව්ව මගෙ අත්දැකීම අනුසාරයෙන් ඔය ගීතය ගැන මට හිතුනු දේ තමයි ඔය.එච්චරයි. ඔබට තව කෙනෙකුට තමන් කැමති විදිහට එය විඳිය හැකියි.

        මාඕ මොන අදහසින් කිව්වත් ඒ කතාව නම් හරිම ඇත්ත…..

        දහසක් මත ගැටේවා!! දහසක් මල් පිපේවා!!

        • Spot on Ravi! ඔබ නියෝග දුන්න කියුවේ උපකල්පනයට. මතවාද බලෙන් තලලා යටපත් කරන්න බැහැ. මෙහෙමත් දෙයක් වෙන්න පුළුවන් නේද කියලයි මාත් ලියුවේ.

          තෝරා ගැනීම් තියෙන්නේ අපේ අතේ. වඩාත් විචාරශීලි දරු පරපුරක් හදා ගැනීම ගැන මා නිතර ලියන්නේ ඒ නිසා. මා ලියන්නෙත් මා සිතන අයුරු කීමටයි. මේ ලියන්නෙත් වෙනස් වෙවී, ආපු දීර්ග ගමනක් ගැන. මාත් තවත් වෙනස් වෙන්න උත්සහ කරනවා.

  4. kathandarakaraya

    අයිසේ, තමා මේ කාලයක ඉඳලා ගීත විචාරයේ යෙදෙන බව මං දැක්කා.

    තමා සාමාන්‍ය පෙළට සිංහල සාහිත්‍යය කළ උත්තම පුරුෂයෙක්ද?

    නැති නම් සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරේ තවත් අබ්බ ගොබ්බ පරීෂණ නල කාරයෙක්ද?

    විචාරකයෙක් වීම ලේසිය කියලාද තමා හිතාගෙන ඉන්නේ?

    • එහෙම තමයි අයියා. අපිත් මොන මොනවා හරි කරන්න එපෑ! 😀 (ලෙහෙසි නැහැ, මට තාම හති)!

      මා ඔය කතාව දැක්කේ ඊයේ. එතුමා මගේ බ්ලොගයේ පාඨකයෙක්. කිසිදා මෙහි නම් ජරා කතාවක් ලියා නැහැ.

      සම්පුර්ණයෙන්ම මුග්ද, අමන, මරි මෝඩ කතාවක් කියුවේ මන්දැයි මා දන්නේ නැහැ. ඔය පාසල් වල සාහිත්‍යය කරපු අයගේ හැටි නම් අපි දන්නේ නැත්ද? එතකොට ලංකාවේ මහා ගත්කරු පහට විතරනේ ගිහින් තියෙන්නේ? එයා කොහොමද පෙළ පොත් ටික කෙරුවේ? මිනිසුන් මෙවැනි මට්ටමට වැටෙන්නේ ඇයි කියන එකත් විද්‍යාත්මක පර්යේෂණයක් මගින්ම තහවුරු කළ යුත්තක්.

  5. මම මේ කතාවල් කියෙව්වත් සම්බන්ධ නොවුනේ ඒවා මට unchartered territorry නිසයි. මොකද උඹලා ඔය කිව්ව නිර්මාණ මම අහලා තිබුනත්, කිසි දවසක උනන්දුවෙන් අහගෙන ඉඳලා නැති නිසා, මෝඩයා වගේ පැනලා නොදන්න උලව්ව්වක් ගැන බක පණ්ඩිත කතාවක් කියලා ඊට පස්සේ අර මොනවද කාපු රිලවා කට උත්තර නැතුඅ වගේ බලාගෙන ඉන්න වෙයි හිතිලා කට පියාගෙන හිටියා.

    නමුත් උඹ මෙහෙම කියලා තියෙනවා.

    (අවවාදය: මා කියන්න හදන දෙය තේරුම් ගන්න මේ ගීතයට විතරක් කොටු වෙන්න එපා. මේ සටහන් දෙකත් මේ කියන්න හදන දෙයට අදාලයි).

    ඔය ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්ණ පත්තර මාක් කරන ගමන් තියෙන වැඩ මුළුවකදි මම එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඇහුවා මෙහෙම.

    “ඇත්තෙන්ම මේ අපි මේ නිර්මානවලට දෙන අර්ථ කථන මේවා ලියපු මිනිස්සු අද කියෙව්වා නම් මොනවා වෙයිද? අනේ මම එහෙම දෙයක් අදහස් කලේ නෑ. අනික ඔච්චර ගැඹුරු දෙයක්? මම හිතන්නේ මේ නිර්මාණ කරපු එකාම මේ ප්‍රශ්ණෙට උත්තර දුන්නොත් ඉංග්‍රීසි සාහිත්‍ය ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා, නේද?”

    එක්ස්පර්ට් ටිකක් වෙලා මා දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉඳලා කිව්වා, “වෙන්න පුලුවන්. නිර්මාපකයා මොනවා හිතුවත් මේක තමයි නිර්මාණයක් රස විඳිනවා කියන්නේ.”

    මම “හා” කිව්වා.

    • අර ප්‍රසිද්ධ ජෝක් එක මෙතනට ඇමිණුවේ නැතිනම් නිකන් අඩුවක් වගේනේ… 😀

      • Beetle! Absof**kinglutely! Thanks dude. 😀

        • ඇත්තෙන්ම මචං උඩින් මහේෂ් ලියල තියෙන්නේ මා කියන කැරුණේ විස්තීර්ණ කිරීමක්. මට මහේෂ්ට වඩා “හොඳ” පිළිතුරක් ලියන්න අවශ්‍යයි. නමුත් මේ දුවන ගමන් බැහැ. රවී ඒ කතාව යලිත් ගීතය තුලට ගෙනාව හින්දා තමයි මා අර “අවවාදය” දැමුවේ.

          නිර්මාණකරුවා හිතපු නැති දෙයක් රසිකයා ග්‍රහණය කර ගැනීම වැරදියි කියන්නවත්, එහෙම දෙයක් වෙන්න හැකියාවක් නැති කියන්නත් බැහැ. සමහරුන්ගේ ජිවිත (කතා) දෙස බැලීමෙන්, අප ඔවුන්ට නොපෙනෙන ඔවුන් නොදකින දේවල් ග්‍රහනය කර ගන්නවා. අන්න ඒ වගේ තමා. අපේ කාල්පනික ලෝකය කියන්නේ එයයි. නවකතාවක් කියවන අප මවා ගන්නා කාල්පනික ලෝකය, සිනමාකරුවා හදා දෙන සිත්තම් තුල දකින්න නැති වෙන්න පුළුවන්. මොකද ඔහු දකින්නේ වෙනස් ආකාරයකට නිසා.

          මේ බ්ලොග් ලෝකයේ රස විඳින අතීත කතා වලින් මා කියවන්නේ අප හිතවත් අරූ ගේ කතාව පමණයි. මොකද එහි තියන දේශපාලනය ඔහු මටම තේරුම් ගන්න පුළුවන් අයුරින් එය ලියනවා. එහිදී නියෝග දීමක් නැහැ. ඒ වගේම විනිශ්චයකුත් නැහැ. හැබැයි කියවන්නාට තමන්ගේ දේශපාලනය සමග එය කියවන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කිරීමක් හැමටම කරන්න බැහැ.

          බ්ලොග් කියන්නෙම වෙනස් මාධ්‍යයක්. මේවාත් අතීත කෝවයන්ට දමලා අච්චු හදන්න යාම අද පෙනෙන්න තියන දෙයක්. මේවා කියවන හා ලියන බොහෝ මිනිසුන් පොඩි පෙට්ටි ඇතුලේ ඉන්නේ ( රටවල් ඇතුලෙත් නොවේ). දැන් මගේ කුඩා සටහන් කියවන පිරිසම කොතරම් විචිත්‍ර පිරිසක්ද? එයම විශාල කතාවක් කියනවා. අන්‍යයන් තමන්ට වඩා වෙනස් නිසා, වෙනස්කම් කිරීම, පහත් කර සැලකීම අපගේ ගෝත්‍රික ලක්ෂණයක්. ඒ වගේම නොපෙනන ගූට විශ්වාස පසුපස යාමත් ගෝත්‍රික යුගයේ නටබුන්. මගේ ලියමන් සියල්ලම එවැනි වෙනස්කම් කිරීම් වලට හා ගූට විශ්වාසයන්ට එරෙහිවයි ලියා ඇත්තේ.

  6. හ්ම්ම්ම්…. මේ ටිකේම කියවමි….උගනිමි….කිසිවක් නොඩොදවමි … යමි….

    • දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමු වුනේ! 😀

      හමුදාකාරයන් ගොඩක් දෙනෙක් එක්ක ඇවිත් “මම ආමි” කියුවොත් ව්‍යාකරණ නම් හරි, ඒත් කියන දේ වැරදියි. “අපි ආමි” කියුවොත් “ව්‍යාකරණ” වැරදියි, නමුත් “කියන” දේ හරි. (මේ පොඩි “සාහිත්‍ය විවරණයක්” කෙන්ජි!)

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s