වෙනස් වෙන්න බැරිකම ප්‍රබුද්ධ ද? Your estimate is high, but still in the ballpark!


සරත්චන්ද්‍රගේ කල්පනා ලෝකය ( සංශෝදිත මුද්‍රණය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2010) පොතේ පෙර වදනේ මෙහෙම කියනවා.”……… මේ පොත විවේචනයට භාජනය වී යයි කීමට වඩා ඊට විරෝධය පාන ලදි කීම යෝග්‍ය යයි සිතමි. විරෝධය එල්ල වූයේ එහි නමට යොදා ඇති  “කල්පනා ලෝකය” යන අර්ථයෙනි. සාහිත්‍යය මනුෂ්‍යයා විසින් මවන ලද කල්පිතයක් නොවේ නම් එය කුමක්දැයි දැනගනු කැමැත්තෙමි. එය මවා ඇත්තේ ඉන්ද්‍රීය ගෝචර වූ භෞතික ලෝකය ඇසුරු කොට ගෙන බව සැබෑවකි. එහෙත් එය මනින්ද්‍රියට පමණක් ගොදුරු වන වෙනම ලොවකි. ඇතැම් බටහිර චින්තකයෙකු විසින් එය “අන්‍ය ලෝකයක්” (හෙටරෝ කොස්මොස් hetero cosmos) වශයෙන් හඳුන්වා ඇති බව මෙහි වෙන තැනක කියවේ.

“කල්පනා ලෝකය” යන යෙදුම වරදවා තේරුම් ගැනීමට එක හේතුවක් නම් ඊට විරෝධය පෑ අයගේ භාෂා ඥානයේ දුර්වලකම නොවේ දැයි ඇතැම් විට සිතේ. ඔවුන් “කල්පනා ලෝකය” යන්න THE IMAGINARY WORLD යන අර්ථයෙන් ගත්තාහු දැයි නොදනිමි. මා එය යෙදුවේ THE WORLD OF THE IMAGINATION යන අර්ථයෙනි.

සාහිත්‍ය හා කලා නිර්මාණ මනුෂ්‍යයාට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ. ඒවායේ විපුල ප්‍රයෝජනය ලෝ තතු හා මිනිසා පිළිබඳව තතු වටහා ගැනීම විය හැකිය. එහෙත් ඇතැම් අවස්ථා වලදී මනුෂ්‍යයා ට සැබෑ ලෝකයේ තතු අමතක කොට කල්පිත ලෝකයකට පිවිස ස්වල්ප කාලයක් හෝ ගත කළ හැකි නම් එය ඔහුට මහත් සහනයක් වන බව පිළිගත යුතුය. එබඳු අවස්ථා වලදී කාල්පනික වශයෙන් හෝ මෙලොවින් පලා යාමට අවශ්‍යවේ. එබඳු පලා යාම් අහිතකර වන්නේ කවියා විසින් මවනු ලබන “ඒ කල්පිත ලෝක වලින් සැබෑ ලොවේ තතු වික‍‍ෘත කොට දැක්වේ නම් පමණි. කවියා හෝ ච්ත්‍ර කරුවා හෝ මූර්ති ශිල්පියා මවන ලෝකය අභව්‍ය ලෝක නොව, විය හැකි ලෝකය ය…….”

සාහිත්‍යය හෝ වෙනත් කලාවන් කියන්නේ මේ “විය හැකි ලෝකයන්”. ඒවාට එකම අර්ථකතයක්, එකම කතාවක්, එකම තේරුමක් නැතුව විවිධ අර්ථකතන, තේරුම්, අවසානයන් දෙන්න පුළුවන් ඒ නිසා. ඇයි අඩෝ උඹ එහෙම හිතන්නේ? කොහොමද එහෙම දෙයක් වන්නේ? මට හේතු ඉදිරිපත් කරපං! යනාදී වශයෙන් ඇසීමට පෙර, තමන්ගෙන්ම අසා ගත යුතු කරුණක් තමා, ඇයි මේ කියන දෙය ත් වෙන්න බැරි ද? එහෙම මිනිසුන් ලෝකයේ නැති ද ? ඒ වගේ අවසානයක් දීමෙන් මට අපහාසයක් කෙරෙනවා ද ? යනාදී දේවල්.

මොකද මේවා විය හැකි ලෝකයන්. මා ඉනුත් එහාට යනවා අපට කාල්පනික ලෝක වලටත් යන්න පුළුවන්. ඒ කියන්නේ imaginary world වලට. මොකද කියනවා නම්, අප ලෝකය ගැන වඩාත් සොයා ගන්න ගන්න, එයට කලින් අප කොහොමත් ඉඳල තියෙන්නේ මේ කාල්පනික ලෝක වල තමා කියල හිතෙනවා. ඉතින් කල්පිත ලෝකයන් මවා ගැනීමටත් අප තහනම් දාන්නේ කොහොමද? ඒ කියන්නේ අපට කළා නිර්මාණ මගින් වෙන්න පුළුවන් ලෝකත් හදන්න පුළුවන් කියා මා හිතනවා. විද්‍යාවත් කරන්නේ මෙයම තමා. එනම් වෙන්න පුළුවන් ලෝක සොයා යාම. ඒවා අදත් තියනවා. නමුත් මොනවාදැයි අප දන්නේ නැහැ. ඒ නිසා ඒවා අපට කාල්පනික ලෝකම වෙනවා. ලෝකයේ සොයාගෙන තියන බොහෝ දේවල්ද අප දන්නේ නැහැ. ඒ නිසාත් එවැනි දේවල් අපට කාල්පනික ලෝක වෙනවා.

“සිනමා සිත්තම් බැලීමෙන් කොතෙක් ආස්වාදයක් ලැබූවත් ලෝකයේ අගමුල අරබයා මා තුළ ගමදී උපන් කුහුල අතුරුදහන් නොවිය. මුහුදු වෙරළට ගිය හැම විට ගල්පරයෙහි ඇලී සිටි අරුම පුදුම සතුන් බැලීමෙන් මම මහත් සන්තෝෂයක් ලැබීමි. ඈත ක්ෂිත්ජයේ යාත්‍රා කළ නැවක කුඹගස් තුඩු දුටු විට පාසලේදී ගුරුවරයා භූගෝල ශාස්ත්‍රය අරබයා කියූ කරුණක් පසක් කරගන්ට ලැබිනැයි සිතා සන්තෝෂ වීමි. පෙඳ කටින් වැසුණු හුණුගල පළාගෙන නික්මී ලෙලෙන කෙඳි පොකුර සතෙක් ද? පෙඳ වර්ගයක්ද? ඉතා සීන් කැටක් දැමූ ඒ කෙඳි පොකුර හැකිල අතුරුදහන් වෙයි. දමනු ලබන ආහාර ඇබිත්ත නම් කෙඳි පොකුරට අසුවෙයි. මම යවුල් තුඩින් ගල කැඩූ නමුත් ජීවියෙක් එහි නොවිය. මූදු කුඩැල්ලා රුක්ඇත්තන මල් කිනිත්තක් වැනි අඬුපොකුරක් ඇත්තෙකි. කෝටු තුඩ වැදුණු විගස ඌ මේ අඬුපඬු ඇතුලට ඇද ගනියි. ඇතුලට ඇද ගන්නා අඬුපඬු පොකුරට කුමක් වන්නේදැයි දැනගනු රිසියෙන් මම මූදු කූඩැල්ලෙකු ගෙන ගලක් උඩ තබා පිහියා තුඩින් පැළුවෙමි. ඇතුලට ඇදගත් අඬුපඬු පොකුරෙහි සලකුණකුදු උගේ හම්පයියක් වැනි ඇතුළු කයෙහි නොවිය. වෘක්ෂ ලතාවන්ගේ හා සත්වයන්ගේ නෑ සබඳ කම ගැන ප්‍රශ්න කරන්ට පසු කලක මට අනුබල දුන්නේ මේ මුහුදු ජීවින් පිලිබඳ දැනුමත් පොතින් ලත් දැනුමත් යන දෙකයි.

නවකතා කියවීමෙන් දියුණු කරගත් ඉංගිරිසි බස් දැනුම ඇතිව මම පරිණාමවාදය ගැන පොත් කියවන්නට පටන් ගත්තෙමි. Story of Creation by Edward Clodd යන පොත පළමු වරට මට හොඳින් වටහාගත නොහැකිවූ නමුත් එහිවු ජිව විද්‍යාත්මක චිත්‍ර මගේ කල්පනාව පුබුදු කළේය……” (උපන් දා සිට, මාර්ටින් වික්‍රමසිංහ,සරස, 2012).

අද වෙන කොට ලෝකය හා මිනිසා පිලිබඳ අපේ දැනුම එදාට වඩා ගොඩක් වෙනස්. මේ ලෝකයේ ප්‍රථම වරට මොලය නැත්නම් ස්නායු පද්ධතියක ආරම්භය මෙයට වසර මිලියන හයසියයක් එහාට යනවා. හැබැයි අද වෙනකොට අපගේ ක්‍රියාකාරකම් වලට මුලික ස්නායු වලට උත්තේජන/පණිවිඩ සඳහා මුල් වන්නේ  ප්‍රෝටීන කාණ්ඩ විසින් ඇති කරන බලපෑම් කියල සොයා ගෙන යමින් පවතිනවා. ඒ කියන්නේ ස්නායු ඇතිවෙන්නත් කලින් පටන් ගත්  ක්‍රියාවලියක්. ජීවයේ මූලික සයිලයන් මෙයට වසර බිලියනයකට කලින් මෙලොව තිබුනැයි කියනවා.

අපේ බොහෝ ක්‍රියාකාරකම් වලට හේතුවත් ජිවන විලාසිතාවේ තේරීම් ම නොවේ, වසර මිලියන ගණන් සිට සන්නිවේදනය වන ජානමය ක්‍රියාකාර කම් නිසා කියන දේ එන්න එන්නම සොයා ගැනීම් අතරට එක් වෙනවා. දරුවෙක් ඕස්ටිසම් වැනි තත්වයක් සහිතව උපදින්නේ කොහොමද? අප අතර ඉන්න සමහරුන්ට විරුද්ධ ලිංගික පාර්ශවයට කැමැත්තක් නැතිව, තමන් අයත් වන ලිංගික කාණ්ඩයට ලිංගික ආකර්ෂණයක් ඇති වන්නේ මන්ද? සමහරුන් උපතින්ම විරාගී ඇයි? මේ වගේ දේවල් විතරක් නොවේ, සමහරුන්ගේ තරබාරු කමත්, ජිවන විලාසිතාවේ තේරීම් වල ප්‍රතිඵලයක් නොවේ කියන එකත් අද සොයාගෙන තියනවා. කිසිවකින් වෙනස් කළ නොහැකි සමහරුන්ගේ බේබදු කම, පිළිකා වැනි රෝග වලට සමහරුන් වැඩියෙන් ගොදුරු වීම, පාකින්සන් වැනි රෝග යනාදී වශයෙන් අප අතර පවතින බොහෝ දේවල් වලට හේතු අද සොයමින් පවතිනවා.

කෙනෙක් ජිවන විලාසිතාවේ තේරීම් නිසාම අපට වඩා වෙනස් වුවත්, අපට ගරහන්න පුළුවන් කියා කියන්න බැහැ. හැබැයි මේක අප ගොඩක් වෙලාවට කරනවා. එතකොට කෙනෙකු අතේ නොතිබෙන, එනම් ජිවන විලාසිතා වල තේරීමක් නොවන, අපේ හමේ පාට, උස මිටි කම, ලිංගික ආසාවක් නැති වීම හෝ තමන්ගේ පාර්ශවයට විතරක් ඇති කැමැත්ත ආදිය නිසා (එනම් ඔබට හෝ මට වඩා වෙනස් නිසා) ඔවුන්ට ගරහන්න අපට තියන අයිතිය මොකක්ද?

“මගේ මිත්‍ර ප්‍රවුර්ති පත්‍රකාරයෙක් බොහෝ අවුරුදු ගණනකට පෙර වරක් මගේ පොතක් ගැන විවේචනයක් ලියා තම කර්තෘ ට දුන්නේ ය. මගේ පිංතුරයක් විවේචනය සමග දැමිය යුතු යයි ඔහු කියා සිටියේය.

“පිංතුරය දැම්මොත් එයාගේ හැටි දැකල මිනිස්සු පොත නොගන්න පුළුවන්” යි කර්තෘ සිනා සෙමින් කිවේය.

එහෙත් මගේ පින්තුරය ඒ සමග පළ විය. මේ පුවත මට කිවේ මගේ පත්‍රකාර මිත්‍රයාය…….” (මගේ සිතුම් පැතුම් හා ජීවිතය, ජි බි සේනානායක, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2013).

ඉහත උපුටා ගත්තු සිදුවීම වුන කාලයට වඩා අප ඉදිරියට ගිහින්ද? ඔබම සිතල බලන්න. අද වුනත් අපට අහන්න ලැබෙනවා අන්න අරූ පොන්නයා, නපුංසකයා කියා. මේවා ඇත්තටම නිග්‍රහ කිරීමට (derogatory) යොදන වචන. එතනින් අදහස් වන්නේ තමන් උසස්  තලයක ඉන්නවා කියන එක. එනම් රති ක්‍රීඩාවේ නියැලෙන්නට පුළුවන් වීම උසස් රසයක් ලෙසත්, එහෙම ආසාවක් නැතිව උපදින මිනිහා පහත්  ගණයක කෙනෙකුත් වශයෙන් සැලකීමත්. එතකොට රති ක්‍රීඩාව ලොකාස්වාදයක් නොවීම, එනම් එවැනි රසයක් නොතිබීම පහත් මනුෂ්‍ය ලක්ෂණයක් කියන එක. මේ රසාස්වාදයේ උසස් පහත් කම් තීරණය කරන්නේ කවුද? අර මනුස්සයාට වෙනම රසාස්වාද ඇති. එකම වෙනස ඔහුගේ හා අපේ රසාස්වාද සමාන නොවීම. ඒ හැරත් ඔහු එවැනි කෙනෙක් වුනේ, ඔහුගේ තේරීමක් නිසා නොවේ. ඒ තියා ජිවන විලාසිතාවේ තේරීම්  නිසාම (lifestyle choices ) වෙනස් රසාස්වාදයන් ලබන පිරිසුත් අපට ගරහන්න පුලුවන්ද?

කළා කෘතියක් රස විඳීමත් එක්තරා අතකට මේ වගේ. හැබැයි එතැනදී, ඉපදෙන හැටිම විතරක් නොවේ, අපට කුසලතා එනම් රසාස්වාද වර්ධනය/වෙනස් කර ගන්න පුළුවන් පුහුණු වීමෙන්. එය ජිවන විලාසිතාවේ තේරීමක්. මෙතනදීත්, උසස්-පහත් කියා නිග්‍රහ කිරීමක් කරන්න නොහැකියි. ඒ වෙනුවට අන්‍යයන්ට අත දීමක් කරන්න පුළුවන්. එය තමා විවේචනය හෝ විමර්ශනය කියා කියන්නේ. එතැනදී තමා මා කියන්නේ අපට කෙනෙකුට නියෝග කරන්න බැහැ කියා මහේෂ්. මොකද ඒවා අපේ තේරීම්. අපේ කල්පනා ලෝක වෙනස්. ඒ කියන්නේ එකම දෙයක් “වෙන්නට පුළුවන් විදි” ගොඩක් තියනවා. අප කැමති වුවත් අකමැති වුවත් එය තමා මේ තත්‍ය ලෝකයේ ස්වභාවය.

මිනිසුන් කාලයක් තිස්සේ රස විඳපු විදිහකට වඩා වෙනස් විදිහකට රස විඳීම, කෙනෙකුට ජුගුප්සාවක් ඇති කරන්නේ නම්, එයින් කියා වෙන්නේ කුමක්ද මහේෂ්? මිනිසුන් කාලයක් තිස්සේ රස විඳපු දෙයක්, “වෙනත් විය හැකි දෙයක්” විදිහට රසවිඳීම ගැන කියවෙන කොට, කේන්ති ගිහිං ඔය මොනවාද කියන විකාර කතා, ඕකේ ඔහොම තේරුමක් නැහැ කියන විට, ඔවුනගේ කල්පනා ලෝක වල ඇති පටුකම අපට කියා දෙනවා. කාල්පනික ලෝකය පටු වීම සමහරුන් ප්‍රබුද්ධකම කියාත්, නිර්වචනය කර ගන්නවා. එහිත් මා වරදක් දකින්නේ නැහැ මහේෂ්. මොකද එය ඔවුනගේ තේරීමයි.

(මෙය මගේ කලින් සටහනට මහේෂ් රත්නායක ලියූ ප්‍රතිචාරයට පිළිතුරකි).

ප. ලි.

මහේෂ් ඔබට දීර්ඝ පිළිතුරක් මුලින් නොලීවේ, මෙවැනි දේවල් ලිවීමට කාලය වැය වන නිසා. මා ගොඩක් වෙලාවට ලියන්නේ මගේ අදහස්. හැබැයි අපේ සියලුම අදහස් ගොඩ නැගිලා තියෙන්නේ, එයට පෙර සිටිය අයගේ අදහස් පදනම් කරගෙන. පර්යේෂණයක් වුනත් කරන්නේ, එයිට පෙර කරපු පර්යේෂණ වල පිහිටෙන්, හැබැයි ඒවායින් ඉදිරියට යන්න.

මා වික්‍රමසිංහ, සේනානායක හා සරත්චන්ද්‍ර උපයෝගී කර ගත්තත් මෙයත් අර ගීතයට දුන්න අර්ථ කථනය වගේ තමා. මොවුන්ට සිමා වන කතාවක් නොවේ ඉන් එහාට යන එකක්. ඒ අර්ථයෙන් මෙය කියවන්න.  මා “කල්පනා ලෝකය” කියවුවේ පාසල් සමයේ. ලඟදි මේවා නැවත ගත්තේ මගේ කල්පනා ලෝකය දැන් කොතරම් වෙනස්දැයි සොයා බලන්න. මා සිංහල සාහිත්‍යය ටිකක් හෝ යලිත් කියවන්න ගත්තේ මේ බ්ලොගය පටන් ගැනීමෙන් පසු. වික්‍රමසිංහගේ කෘති වුනත් එහෙමයි. මේවායින් මා එදා ලද ආස්වාදය අද ලබන්න බැහැ. අද මගේ කල්පනා ලෝකය හා කාල්පනික ලෝකය යන දෙකම වෙනස්.

අද පුතාගේ සංගීත පන්තියට කල් මරණ අතරේ කියවපු Readers Digest සඟරාවේ මෙහෙම විහිළුවක් තිබුනා. Age = A high price to pay for maturity. මා මේ ටිකත් එකතු කරන්නම් If the price you pay is too high, you won’t get enough time to use what you buy. හැබැයි මහේෂ්  late is better than never කියනවානේ. අපට වෙනස් වෙන්න හැමදා පුළුවන්.

මෙන්න මේ සතියේ මා SBS රූපවාහිණියේ නරඹපු වැඩසටහනක කතාව.

Tom Olsen describes life as a Neo-Nazi thug and how he was ‘de-radicalised’

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “වෙනස් වෙන්න බැරිකම ප්‍රබුද්ධ ද? Your estimate is high, but still in the ballpark!

  1. Pingback: වෙනස් වෙන්න බැරිකම ප්‍රබුද්ධ ද? Your estimate is high, but still in the ballpark! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Pingback: වෙනස් වෙන්න බැරිකම ප්‍රබුද්ධ ද? Your estimate is high, but still in the ballpark! | Syndi.us

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s