ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ!! When you look behind you!*


මා ඒ මාවත දිගේ ඇවිද ගියේ දශක දෙකකට පමණ පසුව. දවල් දවසේ කම්මැලිකමට, මට ඒ ගමන යන්න හිතුනේ කාරනා දෙකක් නිසයි. එකක් තමා පරණ පාරක් දිගේ යාමෙන් අතීතයට යාම. අනික තමා දශක දෙකකින් පමණ හමු නොවූ කෙනෙකු සොයා යාම.

අව් කාෂ්ටයකය ඉතා සැර වුනත්, එදා කුඩා දෙපා වලට මහා දිග ගමනක් වුන ඒ කිලෝමීටර එකහමාර ඇවිදින්නට ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. දෙපස ඉදිවී තියන නිමක් නොමැති වෙළඳ සල් හැරුන විට, මහා වෙනසක් මට දැනුනේ නැහැ.

ඔන්න මා බලාපොරොත්තු වන මන්ඩියට ආවහම තමා, මගේ මතකය සේදී ගිහින් කියා හරියට දැනුනේ.  කුඩා කාලයේ මතකය ඔය වගේ. කාලය හා අවකාශය පිලිබඳ අපේ තේරුම් ගැනීම එදා වෙනස්.

මා හිතේ ඇඳිලා තිබුන තැනින් ඇහුවම තමයි මට මතකය වැරදි වග තේරුනේ. හැබැයි ඒ නිවසේ හිටිය තරුණ ඉලන්දාරියා මා සොයන කෙනා දැනගෙන හිටියා. ඔහු කියුව මාර්ග විස්තරය හිතේ තියාගෙන මා යලිත් මහ පාරට ආවා.

ටික දුරක් ඉදිරියට ගිය මා කොයිකටත්, පාර අසල තිබුන පොඩි ගරාජයක ඉදිරිපස ඉඳගෙන කයිවාරු ගහමින් හිටිය මිනිසුන් තුන් දෙනෙක්ගෙන් මට යන්න ඕනේ නිවස ගැන ඇහුවා. ඉන් එක මිනිහෙක් මට උත්තර දෙන්න කලින්, මොකටද එයාව හොයන්නේ කියා මගෙන් පෙරලා ඇසුවේ මන්ද කියා අදත් කියන්න මට බැහැ.

මා විස්තරේ කියුවහම ඔහු මගෙන් ඇසුවේ “උඹගේ ඉපදුන අවුරුද්ද මොකක්ද” කියා. මා අවුරුද්ද කියන විට ඔහු ඇසුවේ “උඹට මාව මතක නැත්ද?” කියා. එතකොට තමා මා ක්ෂණිකව අතීතයට ගියේ. කොතරම් වසර ගණනකට පසුද? හැබැයි අප දෙදෙනාගේම මුහුණුවරවල් එතරම් වෙනසක් වී නැතුව ඇති.

ඔහුත් දන්නා, මා සොයන්න ආපු කෙනාගේ ගෙදරට ගියේ අප දෙදෙනාම.  අදාළ පුද්ගලයා එයාගේ රැකියාව ඔහු කරන්න යන්න සුදානම් වෙමින් සිටි නිසා, අපට වැඩි වෙලාවක් එහි ගතකරන්න හම්බ වුනේ නැහැ.

ආපසු එන ගමන්, පරණ පාසලත් බලා ගත්තු අප දෙදෙනා ආයිත් පාරට ආවා. ඉන්පසු මා කතාව කොට කරන්නම්. “අයියා උඹ දැන් මොකද කරන්නේ?” (ඔහු මට වඩා මාසයකින් දෙකකින් පමණ වැඩිමහල් වුවත්, කුඩා කාලයේ අප දෙදෙනා හිටියේ එකම පන්තියේ වුනත්, මා මචං කියන විට ඔහු මාව ඇමතුවේ අයියා කියා).

“මා දැන් ටවුමට ගිහින් ගෙදර  යනවා”.

“අයියා මොකුත් කරමුද?”

“කොහාටද යන්නේ? හොඳ තැනක් තියනවද?”

ත්‍රී වීලර් රථයට මා ගෙවුවේ රුපියල් තිහක් පමණයි. අප දෙදෙනා නැවතුනේ නගරයේ ඒ අපිරිසිදු තානායම් අවන්හලේ. මට දැන් අපිරිසිදු තැන්  වලින් කන්න-බොන්න හිතෙන්නේ නැහැ. ගෙම්බන් වුනත් කන්න පුළුවන්. හැබැයි පිරිසිදුවට හදලා. නමුත් බොන්න මොන පිරිසිදු කම්ද? අප දෙදෙනා පුටු දෙකක වාඩිගත්තේ දුම් වැටී දෙකකුත් දල්වාගෙන. එය තමා ඒ පරිසරයට ඔබින්නේ.

මධ්‍යසාර උගුරෙන් පහලට යවමින් අප දොඩමලු වුනා. ඔහුගේ ගරාජය එතරම් සරු නැති බවක් තමා මට තේරුනේ. ඔහුත් දැන් දරුවන් තුන්දෙනෙකුගේ පියෙක්. ඔහුගේ අම්මා ඉංගිරිසි ගුරුවරියක්. තාත්තාට ඒ කාලයේ ඒ ප්‍රදේශයේ තිබුන කාර් කිහිපයෙන් එකක් අයිතිව තිබුනා.

පාසල් අධ්‍යාපනය ඔහුට එතරම් හරි ගිහින් නැහැ. පාසලෙන් අස් වෙලා තමයි, මෝටර මිකැනික් තාක්ෂනය, වෙන කෙනෙකු වැඩ කරලා හදාරා තිබුනේ. එය ඔහුගේ ඇඟේම තිබුන හින්දා තමයි, අද වුනත් අලුත් මෝටර් සයිකලයක් ඔහුට කරකවා දෙන්න පුළුවන් කියා, ඔහු මට කියුවේ (ඔහුගේ ගරාජය මෝටර් බයිසිකල් හදන එකක්).

අප දෙදෙනාම දවල්ට කාල තිබුනේ නැහැ. මධ්‍යසාර වලටත් කෙලින්ම රුධිරයට උරා ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැති ගානයි. හැබැයි ඒ පරිසරයේ කන්න තැනකුත් මට හොයා ගන්න ඕනේ කමක් තිබුනේ නැහැ. අප දෙදෙනා එලියට බැස්ස.

“එහෙනම් බං මං යන්නම්”.

“මේ වගේ දෙයක් උඹගෙන් අහන එකත් හරි නැහැ” (ඔන්න ඕක තමයි කියන්නේ, මධ්‍යසාර මිනිස් පරතරය අඩු කරනවා කියා, මා කියන්නේ අයියා කෑල්ල ගැනයි). “මට පුළුවන් නම් රුපියල් …… ක් දියං, මොකකටවත් නොවේ දුවලගේ පංති වලට” (ඔහු සාක්කුවෙන් රුපියල් … ක් ඇදල පෙන්නුවා, ඔහු කියුවේ ඉතිරි ගණන අඩුය කියා).

“මහත්තය අද දවල්ම අරන් වගේ” එහෙම කියුවේ මා ගෙදර යන්න නවත්ත ගත්තු ත්‍රී විල් කාරයා.

(මනස්කල්පිත කතාවක් විය හැක).

*When you look behind you, You can always see your tracks-Matilada House (An Australian aboriginal elder).

Advertisements

9 Comments

Filed under Social

9 responses to “ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ!! When you look behind you!*

  1. Pingback: ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ!! When you look behind you!* | Syndi.us

  2. Pingback: ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ!! When you look behind you!* | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. පරණ මතකයන් ගොඩක් සුන්දර විදියට දැනෙන්නේ කාලයක් ගිහින් මතක් වෙද්දී.මොකද පරණ වෙන්න වෙන්නනේ වටිනාකම වැඩි වෙන්නේ….

  4. maheshrathnayaka

    මේ වගේ චරිත අනන්තවත් හම්බවෙනව…
    ඉස්කෝලෙ අකුරු ඇලජික් වෙලා අන්තිමේ හිතට හරියන දෑතෙ රස්සාවක් හොයන් ගොඩ යන වගෙම මඩටම වැටෙන අයත් අනන්තයි….

  5. kathandarakaraya

    වෙනස් කතාවක්. මා කැමති ආකාරයේ.

    ජීවිත දෙකක් ආරම්බයේ දී එක් අංශකයකින් වෙනස් වුණොත් අවුරුදු තිහ හතලිහක් යනකොට සෑහෙන අපගමනයක් වෙනවා.

  6. //ඔබ ඔබේ පැලේ, මම මගේ පැලේ//
    When you look behind you හෑදෙන පැලේ දෙපෙත්තෙන් දෑනේ නේ?

  7. ජීවිත දෙකක්, කතන්දර දෙකක්, බොන වෙලාවට විතරයි ඔය දෙක එකක් වෙන්නේ.

    මම කැමතියි මේ කොටසට.
    ////අපිරිසිදු තානායම් අවන්හලේ. මට දැන් අපිරිසිදු තැන් වලින් කන්න-බොන්න හිතෙන්නේ නැහැ. ගෙම්බන් වුනත් කන්න පුළුවන්. හැබැයි පිරිසිදුවට හදලා. නමුත් බොන්න මොන පිරිසිදු කම්ද? අප දෙදෙනා පුටු දෙකක වාඩිගත්තේ දුම් වැටී දෙකකුත් දල්වාගෙන. එය තමා ඒ පරිසරයට ඔබින්නේ.//////

  8. මා අද මගේ ඊළඟ සටහන ලිවීමට (ඇත්තටම පළ කිරීමට) පෙර මෙයත් ලියන්න කැමතියි. මේ කතාවට පසු කතාවක් ලියන්න මා අකමැතියි. ඒ වෙනුවට මගේ පාඨකයන්ට ඔවුනගේ කල්පනා හා කාල්පනික ලෝක වලට ගොඩ වෙන්න ඉඩ හරින්න මට ඕනේ. ඉහත ප්‍රතිචාර එයට දෙස් දෙනවා. ඔබගේ සිතිවිලි වලට ඉඩ දෙන්න.

    ප්‍රතිචාර වල‍ට වෙනදා වගේම ඉතාම ස්තුතියි. කියවන ඔබලා නැත්නම් මා මේවා පළ කරන්නේ නැහැ.

  9. Anonymous

    නැති කම කියා කියක්වත් ඉල්ලා සිටීමට වඩා නරක පරණ යහළුවන් මට හමුවී තියෙනවා.. බොන්න පටන් ගත්ත වෙලාවේ ඉඳං ඇමරිකාවට බැන බැන, ඒ මදිවට කාර් ගැනයි, ගෙවල් ගැනයි, බැංකු එකවුන්ට් ගැනයි නයි ඇදලා, බිල ආවම උඹට ගෙවන්න පුළුවන් නේද අහනවා.