කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (1)


ගොවිතැන, විශේෂයෙන් වී වගාව ගුරුවරුන් වූ අපේ තාත්තලාගේ හා අම්මලාගේ ජිවන රටාවේ එක අංගයක් වුනා. තාත්තා ජිවතුන් අතර ඉන්න විට පවා මෙම කර්තව්‍යයන් කෙරුවේ, කුලී ශ්‍රමය යොදාගෙන. එම කටයුතු වලට තාත්තාත් පොඩි කාලේ නම් අපත් දායක වුනා. මේවා විශාල කුඹුරු නොවේ. ලියදි කිහිපයක්. ලැබෙන අස්වැන්නෙන්, මුළු අවුරුද්දටම බත් කෑමට පුළුවන් වුනා. එයට අමතරව සමහර කන්න වලදී පොඩි අතිරික්තයකුත් ලැබුනා.

දමන ශ්‍රමය හා අනෙකුත් පිරි වැය සමග සැසඳීමේදී, මේක එතරම් ඵලදායක කෙරුවාවක් නොවන වග අපට ඒ කාලෙත් තේරුනා. ශ්‍රමයත් ගොඩක් වෙලාවට මිලදී ගත යුතු වීම නිසා නිෂ්පාදන පිරිවැය, ලැබෙන අස්වැන්නට වඩා ඉහලින් තිබුනා. ඒ කියන්නේ කඩෙන් හාල් ගැනීම එයිට වඩා ලාභයි. නමුත් හේතු දෙකක් නිසා මේවා දිගටම කරගෙන යාම ගැන මට ලොකු ගැටලුවක් නැහැ.

එකක් තමා එය ජිවන විලාසිතාවේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි කරන වැදගත් අංගයක්. ශ්‍රමයට හවුල් වීම නිසා, ගුරුවරුන් වුන අපේ දෙමාපියන්ට වෙන කාර්යයකින් නොලැබෙන ව්‍යායාම් එමගින් ලැබෙනවා. කුඹුර වැපිරීම සඳහා සුදානම් කිරීම හා ගොයම් කැපීම පෑගීමට අමතරව, ගොයම බලා කියා ගැනීම කියන්නේ නිරන්තරයෙන් අවධානය දිය යුතු කාර්යයක්. උදේට කුඹුරකට ගොස් වල ගහක් දෙකක් උගුල්ලලා දැමීම, දිනපතාම කරන එක ශරීරයට ගොඩක් හොඳ දෙයක්.

අනික තමා මේ යොදවන මුදල්, එක වරම යොදවන්නේ නැහැ. කඩින් කඩ තමා යෙදවෙන්නේ. එම මුදල් කුඹුරු වැඩට නොයෙදුව්වොත්, සමහර විට හාල් මිලදී ගන්න නොවේ යෙදවෙන්නේ. අන්තිමට අඩුම ගානේ හාල් ටික හරි ගෙදර තියනවා කෑමට. ගොඩාක් වෙලාවට අඩුම ගානේ, වෙන එක හොද්දකින් හෝ වේල පිරිමසා ගන්න පුළුවන්. එය ජිවිතයට සුරක්ෂිත භාවයක් ගෙන දෙනවා. ඒ වගේම තමන්ගේ දේවල් කනවා කියන එකත් සතුටක්.

හැබැයි මා ලංකාවේ සිටියා නම් මේ සම්ප්‍රදාය ගෙන යන්නේ නැහැ. මා කඩෙන් හාල් ගන්නවා. ව්‍යායාමයට වෙන දෙයක් කරනවා. ඒ වගේම මේ කුඹුරු වී වගාව තරම් ඉන්ටෙන්සිව් නොවන වෙනත් කෘෂිකාර්මික යෙදවුමක් සඳහා භාවිතා කරන්න ඕනේ.

කළුතර දිස්ත්‍රික්කයේ අපේ කුඹුරු ආම්ලික, යකඩ වලින් වැඩි, ගොඩක් වෙලාවට නිසරු පස්/මඩ සහිත ඒවා. මේවා මැඩවීමේදී තවත් පෝෂක ප්‍රමාණයක් වතුර මාරු කරන විට හේදි යනවා. අස්වැන්න, ඒ කියන්නේ දහයියා, හාල් සහ ගොඩක් වෙලාවට පිදුරු සමග තවත් පෝෂක ප්‍රමාණයක් කන්නයක් ගානෙම කුඹුරෙන් ඉවත් වෙනවා. මේවා පසට නැවත ලබා නොදුනහොත් අවුරුදු පතාම, මේ කුඹුරු නිසරු බැවින් තමා වැඩි වන්නේ.

පස කියන මාධ්‍යයෙන් එක අඟලක් හැදෙන්න සමහර විට අවුරුදු දාහක් හෝ එයිට වැඩි කාලයක් ගත වෙනවා. මෙසේ හැදෙන පස, අපේ ක්‍රියා නිසා එක දවසෙන් ඛාදනය වන්න පුළුවන්, සුළඟට ගසාගෙන යන්න පුළුවන්, පෝෂක ජලය සමග ගසාගෙන යන්න හෝ පසෙන් පහලට ඇදී යන්න පුළුවන්. එයිට අමතරව අපේ ක්‍රියාකාරකම් නිසාම ආම්ලිකතාවය හෝ ලවණතාවය ඉහල යාම, පසේ තදකම වැඩි වීම නැත්නම් සවිවර බව නැති වීම වැනි ශාක වර්ධනයට අහිතකර තත්වයන් ඉහල යනවා.

අස්වැන්න වැඩි වෙනවා කියන්නේ මොකක්ද? පසෙන් ඉවත් වන පෝෂකත් වැඩි වනවා කියන එක. එතකොට පිළියම අඩු අස්වැන්න සහිත භෝග වගා කරන එකද? මොකද එතකොට පසෙන් ඉවත් වන පෝෂකත් අඩු වෙනවා. පස නිසරු වීම සිදුවන්නේ හෙමින්. එවිට වැඩි කාලයක් මෙහෙම වගාව කරගෙන යන්න පුළුවන්. නියම තියරිය නේද? ඕව් නරක නැහැ තමා. කෘෂි රසායන හා පොහොර වලට සමු දෙන්නත් පුළුවන්. ඔයා මෙච්චර කල් හිටියේ කොහෙද අයියා!

දැන් ඊළඟට බලන්න තියෙන්නේ, එක අක්කරයකින් හෝ හෙක්ටයාරයකින් කොතරම් අස්වැන්නක් ගන්න පුලුවන්ද? එම අස්වැන්නෙන් දැන් ඉන්න ජනගහනයට කන්න දෙන්න කොතරම් වපසරියක් වගා කරන්න ඕනෙද? එවැනි අස්වැන්නක් ගන්න යන (අර කෘෂිරසායන වලට යන වියදම නම් දැන් බිංදුවයි. හැබැයි පුතේ කුඹුරු මඩ වන්න, ගොයම් කපා ගන්න, කකුල් දෙකෙන් පාගා ගන්න, වී තම්බන්න, වේලන්න, පාහින්න යන වියදම එහෙමමයි) වියදම මොකක්ද කියලත් බැලුවා නම් හොඳයි නේද? කෘමින් හා පලිබෝධකයන් විසින් කා දමපු, කොහොමත් අඩු අස්වැන්නක් දෙන භෝගයේ තවත් පොඩි අස්වැන්නේ ඇත්ත මිල එතකොට ගණනය කරන්න පුළුවන්. කාල වරෙල්ලකෝ!

වල් ගස් නං ඉතින් අතිං උදුරන්න බැරියෑ. සෙනග මදි නම් වැඩ (කට) නැති දොස්තරලා හා අමාත්‍යංශ ලේකම් වරුන්ට එන්න කියන්න පුළුවන්.

මතු සම්බන්දයි.

Advertisements

17 Comments

Filed under Agriculture

17 responses to “කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (1)

  1. Pingback: කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (1) | Syndi.us

  2. Pingback: කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කෘෂිකර්මය කියලා අපි පසත් පරිසරයත් දෙකම වනසනවා කියලා මට තේරුනේ පහුගිය යුද්ද කාලේ අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල සේවය කරද්දී. නමුත් ඒකෙ අනික් පැත්ත දැක්කේ යාපනේදී. භූමිය සූක්ෂ්මව පාවිච්චි කිරීම කියන එක උතුරේ ගොවියාගෙන් නැවත ඉගෙනගත යුතු වෙනවා. ව්‍යාපාරික කෘෂිකර්මය කෙරෙහි ගොවීන් තුල තණ්හාවක් ඇතිකරන කෘෂි රසායන සමාගම් කරන්නේ මහා විනාශයක්.

    • සමාජයේ ඇත්ත ප්‍රශ්න ඥාන-අසාර කණ්ඩායම් යොදා විගඩම් බවට පත් කරන පරිසරයක මෙවැනි සටහන් ලියන්නේ ඔබගේ කියවීම සඳහා පමණයි. වෙනත් රටවල් වලත් මෙවැනිම විගඩම් තියනවා. කෘෂිකර්මය යලිත් ප්‍රාථමික යුගයට අරං යන්න ඕනෙය කියන එක ඉන් එක් කරුණක්.

      මෙයට කලකට පෙර මගේ සටහනක් කියවපු හෙන්රි අපූරු ප්‍රතිචාරයක් ඒවා තිබුනා. එනම් ඔහුගේ පන්තියේ ළමුන් පරිසරය රැක ගන්න ඉදිරිපත් කරන විසඳුම්. ඔය බයිසිකලයෙන්, පයින් පාසලට හා වැඩට එන එක උදාහරණයක්. දැන් මේකේ ප්‍රායෝගික පැත්ත බලල, කරන්න පුළුවන් දෙයක්ද කියල ඇහුවහම ඔවුන් ගොළු වෙනවා කියා හෙන්රි කියා තිබුනා. දැන් විචාරක මහා පර්යේෂකයන් කියා කියන ඉගෙන ගත පිරිස් ඉදිරිපත් කරන විසදුම්ද අර කුඩා දරුවන්ගේ ඒවා වගේමයි. මෙයට එක හේතුවක් තමා සමහර විට වෛද්‍ය විද්‍යාවෙන් ඉහලට ඉගෙන ගෙන තියනවා. නමුත් සාමාන්‍ය දැනීම කියන එක නැහැ. සරල සමීකරණයක් විසඳන්න බැරි අන්න ඒකයි. අනුරාධපුර පැත්තේ තියන වකුගඩු රෝගයට විසඳුම, අඩු අස්වැන්න නිසා, අප අත්හල භෝග ප්‍රබේද වලට යලිත් යන්න කියන්නේ අන්න ඒ නිසා.

      පාසලේ අධ්‍යාපනයත් මෙයට බලපානවා. අනික තමා ඔබත් කියන සාහිත්‍යය වගේ විෂයයන් ඉවත් කිරීම. මේවාට ඇත්තට මේ පරපුරට බැනලා වැඩක් නැහැ. උසස්පෙළ විෂයයන් පමණක් නොවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන විෂය ධාරාවන් මෙයට වඩා විවිධාංගිකරණය වෙන්න අවශ්‍යයි. කළා උපාධි වැඩක් නැතිය කියන එක නොවේ කළ යුත්තේ. එම විෂයයන් සමග, වෙනත් විෂයයන්ද ඉගෙනීමට අවස්තාව සලසා දීම. විචාරක ශක්තිය සහිත මිනිසුන්ට වෙනස් ආකාරයකින් ජිවිතයට මුහුණ දෙන්න පුළුවන්. රැකියා උත්පාදනයට පරිසරය හදා ගැනීම කියන දේශපාලන තීරණ විතරක් නොවේ, වෙනස් රැකියාවන් සොයා ගැනීමටත් ඔවුන්ට හැකි වන්නේ එවිටයි.

      මාත් ජිවත් වන්නේ කෘෂිකාර්මික රටක. මෙහෙත් ඔය කියන සමාගම් තියනවා. මෙහෙත් කෘෂි රසායන භාවිතා වෙනවා. ඕස්ට්‍රේලියාව මේ රටට අවශ්‍ය කෘෂි නිෂ්පාදන වලින් බහුතරය මෙහිම නිෂ්පාදනය කරනවා පමණක් නොවේ, ලෝකේ වෙනත් රටවල් වල ඉන්න මිලියන විස්සක ජනකායකට වැඩිපුර ආහාර නිපදවනවා. එතකොට මෙහෙ නේද වකුගඩු රෝග වැඩියෙන්ම තියෙන්න ඕනේ.

      ඔබගේ ප්‍රතිචාරයට හරි පිළිතුර මා මෙම සටහන් පෙලෙන් ලියන්නම්. ගොවිතැන කියන්නේ විවිධ ජෛව කාණ්ඩ ඇති පරිසරයක, ඒවා ඉවත් කර තනි භෝගයක් වැවීම, තනි සතුන් වර්ගයක් ඇති කිරීම. එතනම අප පරිසරයේ සමතුලිතතාවය බිඳිනවා.

      මා නම් හිතන්නේ ව්‍යාපාරික කෘෂිකර්මය පමණක් නොවේ ගොවිතැන දන්නා ගොවියන් තමා අපට අවශ්‍ය. කෘෂි රසායන කියන්නේ තිරසාර ගොවි තැනට (එනම් පරිසරයට අවම හානි කරන අතරේ අපට අවශ්‍ය නිෂ්පාදන බිහි කර ගන්නා ගොවිතැනට) අත්‍යවශ්‍ය අංගයක්.

      • Kandyan

        උතුරු නැගෙනහිර ප්‍රදේශය මහාපරිමාණ ව්‍යාපාර වලට විවෘත උනාට පස්සේ ඉස්සරලාම බූවල්ලා වගේ අඬුපඬු විහිදැව්වේ කෘෂිරසායන වෙළෙන්දෝයි පොහොර වෙළෙන්දෝයි. තව ටික කාලයකින උතුරෙන් එන්නේත් වස විස සහිත හාල් එළවළු සහ පලතුරු.

  4. ලිපිය කියෙව්වෙමි. රයිගම් අර වචනය නම් ඔක්ස්ෆර්ඩ් එකට යවන්න වටිනවා. සත්තකින්ම. Heenatisation of Agriculture!

    • දැන් මචං උඹත් පදිංචියට යන්න හිතං ඉන්න එකේ, ඔය බටහිර කෑම සහ සමාජවාදී ආහාර (කළුකුම් මස් හා බාස්මතී බත්) අමතක කරලා, තිත්තයන් මැල්ලුම් හදන්න ඉගෙන ගත්තොත් නරකද? හීනටි හාලේ බත් එක්ක නැගල යනවයි කියන්නේ එච්චරයි.

  5. මටත් ඔබේ ළමා කාලේ වගේ වී වගාව සම්බන්ද බොහෝ මතක තියෙනවා.
    අපිත් පොඩි කාලේ කඩෙන් හාල් ගත්තේ නෑ. කිසිම කෙනෙක් වී විකුණනවත් මම දැකලා නෑ. ඒත් කවුරුහරි වී නැති කෙනෙක් ආව ගමන් වී උරයක් මෝලට ගිහින් දීලා හාල් කරලා තෑගි දුන්නා. අද එහෙම වුනා නම් කොහොම තියේද?
    දැන් නම් වී වගාව කරන එක ලේසි නෑ කියලා මගේ සහෝදරයාත් කියන්නේ. කම්කරු ශ්‍රමයට හොයා ගැනීම අවුල වගේම නිශ්පාදන වියදම බැලුවම කඩෙන් හාල් ගන්න එක වාසිලු. ඔවුන් කඩෙන් හාල් ගන්නේ. ඒත් මම තවම හිතන්නේ ඊට වඩා වෙනස් විදියට. උදේට කුඹුරට විනාඩි පහක් හයක් ගිහින් එන සතුට හාල් කඩෙන් ගන්න හාල් වල කොහෙද? ඊටත් වඩා අපි කන්නේ මොනවද කියලා අපි දන්නවද?

    • මෙය රංගි, වෙනත් ආදායම් තියන වී වගාව විනෝදාංශයක් වශයෙන් කරන්න හිතා සිහින මවන අය ගැන නොවේ මා ලියන්නේ. ගොවිතැන ජීවිකාව වශයෙන් කිරීම හා පරිසරයට අවම වශයෙන් බලපෑම් කරමින්, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපදවීම ගැනයි.

      ඔබව විවේචනය කරනවා නොවේ, ඇත්තටම ගොවිතැනින් ජිවත් වන මිනිසෙකුට (ලංකාවේ) ඔය උදේට කුඹුරට ගිහින් ආශ්වාද ලබන්න වෙලාවක් නැහැ. ඔවුන්ට ජිවිතයම අරගලයක්. එයට සමහරවිට හේතුවත් ඔවුන්මයි. මා දිගට ලියන්නේ ඒ පිළිබඳවයි. මෙය කියවන්නේ ගොවියන් නොවුනත්, සාමාන්‍ය ජනතාව කුඩා පිරිසක් හෝ මේවා දැන ගැනීම හොඳය කියා මා හිතනවා.

  6. මේක සංකීර්ණ ප්‍රශ්ණයක්. අපි කවුරුත් කැමතියි වසවිෂ නැතිව කාබනික පොහොර භාවිතා කරලා නිපදවපු ආහාර අනුභව කරන්න. කරුමෙකට ඒ ආකාරයට නිපදවපු ආහාර මහා පරිමානයෙන් නිශ්පාදනය කරන්නා දැනට තියෙන තාක්ෂණය ප්‍රමාණවත් නැති නිසා අපිට සිද්ද වෙලා තියෙන්නේ වැඩි අස්වැන්න ලබාදෙන දෙමුහුන්කරණය කල වර්ග අර සම්ප්‍රදායික වර්ග වෙනුවට ආදේශ කරන්න. මෙයට අපි අකමැති වුනත් වැඩි වන ජනගහනයට අනුව මෙයට වෙන විකල්පයක් නෑ. ඒ එක්කම එන කෘෂිරසායන භාවිතයට මමත් පෞද්ගලිකව අකමැතියි. ඒකට හේතුව මෙන්න මේ කරුණුයි.

    + ලංකාව වගේ රටවල තියෙන්නේ කෘෂි රසායන භාවිතාවකට වඩා අවභාවිතාවක්. ඒ කියන්නේ පාවිච්චි කරන ප්‍රමාණය, වාර ගනන වගේ.

    + ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල භාවිතාකරන්නෙත් ලංකාව වගේ රටවල භාවිතා කරන රසායනමද නැතිනම් ඊට වඩා ආරක්ෂාකාරී ඒවද කියලා සැකයක් තියෙනවා.

    + කෘෂි රසායන නිශ්පාදනයෙදි, ආනයනය කිරීමෙදි, භාවිතා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙදි, සහ උපදෙස් දීමෙදි ඇත්තෙන්ම නිසි ප්‍රතිපත්තියක් ලෝකය පුරාම එක ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එක සැක සහිතයි.

    අර මුලින්ම කීවා වගේ මමත් වත්තේ වවාගත්ත, නැතිනම් හරිතාගාරයක වවාගත්ත කෘෂිරසායන වලින් තොර කෑම කන්න, මහා පරිමානයෙන් රසායනික යොදා වගා කරපු කෑමක් කනවට වඩා කැමතියි. නමුත් මේ වැඩේ ප්‍රායෝගික නැති බව මට පිළිගන්න වෙනවා. නමුත් ඒ නිසාම කෘෂි රසායන අවභාවිතයට සමාව දියයුතු නෑ.

    ඒ එක්කම ආරක්ෂාකාරී ආහාර මහා පරිමානයෙන් නිපදවන්න තාක්ෂණය යොදාගැනීඒ උත්සාහය වඩාත් ධෛර්යමත් කල යුතුයි. මේකත් අර පෙට්‍රෝලියම් හැර විකල්ප බලශක්ති දියුණු කිරීමට එරෙහිව ඇති කුමන්ත්‍රණය වගේ දෙයක් වෙන්නත් බැරි කමක් නෑ කියලා මට වෙලාවකට හිතෙනවා.

    • I’ll take that as a comment Machan! 😀

      මොකද ඉදිරියට මා සමහර විට ලියනවා ඇත්තේ ඔය කියන කරුණු වෙන්නත් පුළුවන්.

      යමක් එකතු කරන්න ඕනේ මචං. මා කිසි දිනෙක කෘෂිරසායන අපයෝජනය කරන්නේ නැතිව නිපදවපු ආහාර තියන විට (නැති වුන විටත්), වැඩිපුර මිලක් දීලා “කාබනික ආහාර” මිලදී ගන්නේ නැහැ. මා රසායන භාවිතාවට 100% ක් පක්ෂයි වගේම ගෙවත්තෙත් රසායන භාවිතා කරනවා. මා දරුවන්ට හෝ “රසායන” නොමැති ආහාර සොයන්නේ නැහැ.

      • මා ගොඩක් විට කරන්නේ ලියන ඒවා කපා දමන එක. හැබැයි මචං ඉහත එකතු කිරීම කෙරුවේ, උඹ ගැන අහිතකින් නොවේ. මූ කාබනික ආහාර කෙලලා , අර බුරියානි කාල හරක් මස් ගැන බණ කියනවා වගේ, මේ කතා කියනවා කියල අදහසක් කියවන කෙනෙකුට එන්න පුළුවන් නිසා. පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහල නැංවීම කෘෂිකර්මයේ එක යහපත් පියවරක් වශයෙන් මා හිතන නමුත්, “කාබනික” ආහාර කියන ව්‍යාජ සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. එවැනි වෙළඳ ලේබල යටතේ එන ආහාර මා මිලදී ගන්නේ නැහැ.

  7. රයිගම්, මාතෘකාවට අදාල නැති එකට සමාවෙන්න!!

    හීනටිහාලෙ බත් බත් එක්ක එකට යන්නෙ මොණර මස් කියලයි මම අහල තියෙන්නෙ. අන්දරේගෙ අර කතාවෙ තියෙන්නෙ එහෙමයි.

    නිළමෙ කෙනෙක්ගෙ කුඹුරක් මැද්දෑවෙ තිබ්බලු මහ විසාල ගල් පරුවතයක්. කුඹුර අයිතිකාර නිළමෙ තුමා බොහොම උත්සාහ කලාලු මේක අයින් කරන්ට. ඒත් බැරි වෙලා. අන්තිමට අන්දරේ ගිහිල්ල කිව්වලු..” අවසර…මම මේ ගල අයින් කරල දෙන්නම්. හැබැයි මාසයක් මට හීනටිහාලෙ බතුයි මොණර මසුයි කන්න ඕන ” කියල. නිළමෙත් කැමති වෙලා ඒ විදිහටම කලාලු. අන්දරෙත් මුලු මාසෙම උගුරට එනකල් කෑවලු හීනටිහාලෙ බතුයි මොණර මසුයි.

    මාසෙ ඉවර වෙන දවසෙ කුඹුර පිරෙන්ට සෙනඟලු, අන්දරේ ගල් පරුවතේ අයින් කරනව බලන්ට. නිළමෙත් ඇවිල්ල හිටියලු. අන්දරේ ඇවිල්ල අත පය එහෙම දිග ඇරල ඔලුවෙ බැඳගෙන උන්නු සුම්බරේ ගලවල දෙකට තුනට නවල කර උඩින් තියාගත්තලු. මිනිස්සු ඔන්න කටවලුත් ඇරගෙන බලාන ඉන්නවලු. අන්දරේ ඊට පස්සෙ නිළමෙ තුමාට මෙහෙම කිව්වලු.” හා..එහෙනම් නිළමෙ තුමා..මේ කට්ටියත් එක්ක එකතු වෙලා මේ ගල උස්සල මගෙ කරේ තියන්ඩකො බලන්ට. “

    • ඕක තමයි අදාළ කතාව රවී! 😀

      එතකොට මිනිසුන් ඇහුවලු “දැන් තමුසේ මාසයක් කෑවේ, ඕක උස්සනවා කියලනේ”

      අන්දරේ කියුවලු, ” හනේ, හනේ, තමුසෙලා සියගානක් එකතු වෙලත්, ඕක උස්සල මගේ කරේ තියන්න බැරිනම්, මේ තනි මං ඕක කොහොම උස්සයිද?” කියලා.

      ඔන්න ඇත්ත කතාව කට්ටියට එතකොට තමයි තේරුනේ. ඒ කියන්නේ තමන් කොතරම් මෝඩ ද කියන එක.ඉතිං පොරවල් අන්දරේට ගහන්නේ නැතුව බේරලා ඇරියා!
      (පෙර රජ දවස තමුසේ කියුවා නම් හිස ගසා දානවා. එය මා නූතන භාවිතාවට අනුව යොදා ගත්තා).

      රවීගේ මේ අතුරු කතා නිසා අපේ අවිහිංසක බැසිල් මහත්තයට තමයි කරදරේ. මෙච්චර කල් එතුමාට කරන්න තිබුනේ තිත්තයන් ඇති කරන ටැංකි හදා ගන්න දිවි නැගුමෙන් ආධාර දෙන එක විතරයි. දැන් දීපල්ලකෝ මොණරු ඇති කරන්නත් සල්ලි!

  8. ශක්තිජනක පානයක කෑලරි ප්‍රමාණය අඩු යයි සහ තවත් ආනයනය කල ආහාර පෑකට් එකක සින්හල දෙමල අකුරුවල ප්‍රමාණය මිලිමීටර් ගානකින්අඩුයි (should be 1/3 the size of the brand name) කියල පොලොන්නරුවෙදි නඩු දාපු PHI කෙනෙක් ගෙන් මම ඈහුව ඕව හොයනවට වෑඩිය අපි කන එලවලුවලට ප්‍රමිතිය ඉක්මවා කෘමිනාශක යොදා තියනවද කියල හොයන්න බෑරිද කියල.
    උත්තරය – ගෝවා ගෙඩියක් රජයේ රස පරීක්ශකට යවල රිපොර්ට් එක එනකම් මාස 3ක් ඉන්නවට වඩා සුපර් මාකට් එකක රාක්කයකින් ගන්න පෑකට් එකක ලේබල් එකක් ගෑන නඩු දාන එක කොයිතරම් ලේසිද !!
    ලන්කාවෙ රසායනික පොහොර සහ පලිබෝද නාශක ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කරනව.
    අපේ අය ඔය “බහු ජාතික විරෝදී, ජාත්යන්තර කුමන්ත්‍රන පෑරදවීමේ සහ සම්පූර්ණ කාබනික ආහාර ” ආදී ජනප්‍රිය වුවද ප්‍රායෝගික නොවන දේශපාලනික සටන් පාට අතහෑරල රසායනික ද්‍රව්ය ප්‍රායෝගිකව ප්‍රමිතියට අනුව යොදන විදිහ ගෑන අවදානය යොමු කලා නම් හරි

    • ඔන්න ප්‍රා ඔබ හරි කතන්දරේට වේලාසනින්ම ආවා. අර මනුෂ්‍යත්වයට එරෙහිව කරපු අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට ඔය ධනවාදී, සමාජවාදී, බෙදුම්වාදී, පෙරටුගාමී, කුරුටුගාමි, අනාගාමි, සකෘදාගාමි යනාදී සියල්ල විරුද්ධයි. මොකද ඔවුන් සියල්ලන්ටම කොන් තියනවා මේ අපරාධ වලට. අනෙක් කරුණ තමා ඉහත කියපු වාදීන් හා ගාමින් සියල්ලත්, ඥාන-අසාර කාණ්ඩත් එකඟ කරුණක් තියනවා. එනම් මේ සියලු ප්‍රශ්න ඇති කරන්නේ බටහිර හා බහුජාතික සමාගම් කියන එක. මේක ඉතාම විහිළු සහගත අවස්ථාවකට යනවා මා දැක්කා. එනම්, ඥාන-අසාර ලාත් බටහිර කෘමන්ත්‍රණයක් කියන එක. මේවා ගොඩක් දෙනාට කනට මි පැණි වගේ. මොකද ගංජා ගහනවා වගේම තමා. ජිවිතයේ සියලු ප්‍රශ්න අමතක වෙනවා. මේවා ගැන ඇත්තටම තේරෙන සුළුතර පිරිස තමා දුක් විඳින්නේ.

      කෘෂි රසායනික ද්‍රව්‍ය විතරක් නොවේ, ලෙඩට දුකට ගන්න බෙහෙත් හේත් ආදියත් ගන්නා මාත්‍රා ගණනක්, ගන්න වෙලාවක් තියනවා. එයිට වැඩිපුර අරං අන්න අර සමාගම මට වැඩිපුර ගන්න කියුවෝ, මා ගත්තෝ, මා දැන් මැරෙන්න යනවෝ, බහු ජාතික කෘමන්ත්‍රණයක් මේක කියන එක කොතරම් දුරට ඔබට පිලි ගන්න පුලුවන්ද? හැබැයි මේ කතාව ධනවාදී හා සමාජවාදී දෙගොල්ලන්ගේම එකම තර්කය.

  9. හොඳ ලිපි මාලවක්. මම කියවන්න පටන් ගත්තෙ දැන්. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s