Monthly Archives: May 2014

Катынский расстрел (කැතින්ස්කියි රස්ත්‍රෙල්)* ! (2)


ඔබට මතකද මේ පුවත? දෙදහස් දහය වසරේ අප්‍රේල් 10 පෝලන්ත ජනාධිපති හා ඔහුගේ බිරිඳ ඇතුළුව පෝලන්ත රජයේ ඉහල ඇවරියේ බලධාරීන් හා නිලධාරින් ඇතුළුව 96 ක් දෙනා ගමන් ගත් ගුවන් යානය, රුසියාවේ කුඩා නගරයක් වන ස්මොලෙන්ස්ක් වලදී කඩා වැටී එහි ගමන් ගනිමින් සිටිය සියලු දෙනා මිය ගියා. මොවුන් ගමන් ගනිමින් සිටියේ, ස්මොලෙන්ස්ක් වලට කිලෝමීටර 19 ක් පමණ බටහිරට වන්නට තියන කැතින් කියන ප්‍රදේශයට.

එම අනතුරින් මිය ගිය අය අතර කලින් කියුව පරිදි එවකට පෝලන්ත ජනාධිපති ලෙච් කසුන්ස්කි, ඔහුගේ බිරිඳ, හිටපු පෝලන්ත ජනාධිපති රිසාර්ඩ් කසරෝව්ස්කි, පෝලන්ත හමුදාපති, මහ බැංකුවේ සභාපති, නියෝජ්‍ය විදේශ ඇමති, පෝලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 18 ක්, ජේෂ්ට හමුදා නිලධාරීන්, ආගමික නායකයන් සිටියා (දැන් නරක සිතිවිලි වලට යන්න එපා). එම පිරිස අතර එයිට අමතරව එයට වසර 70 කට එපිටදී සිදුවුන අපරාධයකට ලක්වුන පිරිසකගේ ඥාතින්ද සිටියා. මෙන්න ඒ කතාව.

දෙවන ලෝක යුද්ධය ආරම්භයේ, එනම් 1939 වසරේදී නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කෙරුවා. එංගලන්තය හා ප්‍රංශය සමග පෝලන්තය යුද ගිවිසුම් ගහල තිබුනත්, ඔවුන්ගේ උදවු කතාවට සිමාවුනා. මේ කවුරුත් බලාගෙන හිටියේ නාසි ජර්මනිය ලවා, ස්ටාලින්ගේ සෝවියට් සංගමයට බැටේ දෙන්න කියා හිතන්න පුළුවන්.

මේ අතරතුරේ සෝවියට් සංගමය, ජර්මනිය සමග ගිවිසුමක් ගහ ගත්තා එකිනෙකා ආක්‍රමණය නොකරන වගට. ඒ ගිවිසුමේ එක කොන්දේසියක් තමා අවට රටවල් වල කෑලි බෙදා ගන්න එක. ඕකේ කෑල්ලක් හැටියට සෝවියට් සංගම් රතු හමුදාවත් එක පැත්තකින් පෝලන්තයට ඇතුළු වුනා.

කොහොම වුනත්, රතු හමුදාවත් සමග ෆයිට් කරන්න කියල නියෝග, පෝලන්ත හමුදාවට දීලා නොතිබුන නිසා, වැඩේ ලෙහෙසි වුනා. මේ ආක්‍රමණයේදී පෝලන්ත හමුදාවේ හා ජනතාවගේ විශාල පිරිසක් සෝවියට් අත්අඩංගුවට පත් වුනා.

මෙහෙම අත්අඩංගුවට පත් සමහර දෙනා, බටහිර පැත්තෙන් පෝලන්තයට ඇතුළුවුන ජර්මනිය සමග හුවමාරු කර ගත්තා. ඉතිරි පිරිසෙන් කොටසක් රතු හමුදාව විසින් සෝවියට් පොලොසියට, එනම් එන්කවද (НКВД- අභ්‍යන්තර කටයුතු පිලිබඳ මහජන දෙපාර්තමේන්තුව) ට බාර දුන්නා. මෙසේ එන්කවද එකට බාර දුන්න පෝලන්ත යුද සිරකරුවන්ගේ ප්‍රමාණය 40, 000 ක් විතර යයි කියවෙනවා. මොවුන් සෝවියට් රුසියාවේ විවිධ ප්‍රදේශ වල සිර කර තැබුණා

වසර 1941 ජුනි මාසයේ නාසි ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමෙන්, අර කලින් කියුව ගිවිසුම ඉරා දමනවා. නාසි ජර්මනියේ කඩා වැටීමේ ආරම්භයත් මේ ආක්‍රමණය සනිටුහන් කරනවා. බාබරෝස්සා මෙහෙයුම (Operation Barbarossa) යනුවෙන් හඳුන්වන මෙය, ලෝකයේ මෙතෙක් කර තිබෙන විශාලතම යුධ ආක්‍රමණයයි. සෝවියට් සංගමයේ කිලෝමීටර 2900 ක් හරහා ජර්මන් සොල්දාදුවන් මිලියන හතරක් සෝවියට් සංගමයට ඇතුළු වුනා.

ඔහොම යුද්ධය යන අතරේ, පෝලන්තයේ රටින් පිට පිහිටවපු රජය හා ස්ටාලින් 1941 වසරේ ගිවිසුමකට එළඹෙනවා, නාසි පොදු සතුරාට එරෙහිව එකට සටන් කරන්න. එතැනදී පෝලන්ත හමුදාව ප්‍රති සංවිධානය කරන, ව්ල්දිස්ලාව් නම් ජෙනරාල් වරයා, සෝවියට් අත් අඩංගුවේ සිටින හමුදා නිලධාරීන්ව ඉල්ලනවා. ස්ටාලින් කියන්නේ ගොඩක් දෙනා ඒ වනවිට නිදහස් කරලා, නමුත් සමහර දෙනාගේ තොරතුරු නැහැ කියලා.

එක්දහස් නවසිය හතලිස් දෙකේදී සෝවියට් සංගමයට අයත්, ස්මොලෙන්ස්ක් කියා ප්‍රදේශය නාසි හමුදාව යටතට පත් වෙනවා. මෙහිදී තමා ඔවුන් සොයා ගන්නේ, කැතින් වනාන්තරයේ තිබෙන සමූහ මිනි වල. මොනවාත් නැතුව, බොරුවෙන් ජිවත් වන ජෝශප් ගොබෙල්ස්ට මේ සොයා ගැනීම, නිකම් ගෙදරට නිධානයක් ගෙනත් දුන්න වගේ වුනා. සෝවියට් වරුනට එරෙහිව කෙරුණ ප්‍රචාරක කටයතු වලදී, නාසි කාරයන් මේ මිනී යොදා ගත්තා.

මෙතැනදී, තියන ලොකුම ඛේදවාචකය තමා, මහා පරිමාන වදකාගාර පවත්වාගෙන ගිය නාසීන්, තවත් එවැනිම අපරාධයක් තමන්ගේ ප්‍රචාරණය වෙනුවෙන් යොදා ගත්ත එක. එතැනදී තමා මිත්‍ර රටවල් කියපු බටහිර රටවල් වලත් නිරුවත හෙළි වන්නේ.

එක්දහස් නවසිය හතලිස් තුනේදී ස්මොලෙන්ස්ක් ප්‍රදේශය නැවත සෝවියට් හමුදා යටතට පත් වෙනවා.

වසර 2010 නොවැම්බරයේදී රුසියානු පාර්ලිමේන්තුවේ පහල මණ්ඩලය එනම් ඩුමාව සම්මත කරපු පනතකින් කියැවෙන්නේ කාලයක් රහස් ලේඛන වශයෙන් පැවතී තොරතුරු වලට අනුව, කැතින් වනයේ කෙරුන පෝලන්ත යුද සිරකරුවන්ගේ සමූල ඝාතනය ස්ටාලින් ඇතුළු සෝවියට් බලධාරීන්ගේ නියෝග අනුව කෙරුණක් බවයි. වර්තමාන රුසියානු ජනාධිපති පුටින්ට අනුව කැතින් සමුලඝාතනය දේශපාලන අපරාධයක්.

කැතීන් වනාන්තරයේ මරා දැමුණු පෝලන්ත යුද සිරකරුවන් අතර ජනරාල් වරු දෙදෙනෙක්ද, කර්නල් වරුන් 24 ක් ද, ලේෆ්ටිනන්ටලා 79 ක් ද, මේජර් ලා 258 ක් ද, කැප්ටන් ලා 654 ක් සමග තවත් හමුදා හා නාවික නිලධාරින්ද, ඉඩම් හිමියන් 3 දෙනෙක්, කුමාරයෙක්, මහාචාර්ය වරු 20 ක්, දොස්තරලා 300ක්, පයිලට්ලා 200ක්, ලේඛකයන් 100 ක් හා නීතිඥයන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් විශාල පිරිසක්ද සිටියා. පෝලන්ත ජනගහනයෙන් 22% ක් දෙවන ලෝක යුද්ධය බිලි ගත්තා.

පසු වදන
කැතීන් සමුලඝාතනය ගැන සෙවීම් කරපු දැනට නවසීලන්තයේ ජිවත් වන, ඩේවිඩ් පැටර්සන් කියන පහත දේ, මෙවැනි අපරාධ වලට ලෝකේ කොහේ සිදු වුනත් පොදු දෙයක්. එනම් මේවා ලෝකයේ තියන කුහක, දෙපිටකාට්ටු, දේශපාලන යාන්ත්‍රණයන් හා බැඳී තියනවා.

Katyn is an example of the hypocrisy, duplicity and machinations of international politics. A textbook case of the cynical manipulation and destruction of truth, morality and people, aimed at retaining absolute power for a despot. A shameful illustration of the overt and covert support from other nations which colluded in the cover-up for a wide variety of reasons ( David Paterson Mirams:http://katyn.org.au/dead.html).

කැතීන් වනාන්තරයේ සමුලාඝාතනය තමන්ගේ ප්‍රචාරක කටයුතු වලට ජර්මන් නාසිවාදීන් මෙන්ම, සෝවියට් සංගම් නිලධාරින්ද එක සේ යොදා ගත්තා. මෙහි තියන විශේෂ කරුණ තමා, එකම අපරාධය දෙවිදිහකට, මේ දෙගොල්ලොම යොදා ගත්තු එක. ඒ වගේම මේ හා මෙවැනි තවත් අපරාධ වලට අනුකුලත්වය, දායකත්වය හෝ ඇල්මැරුණු ස්වභාවයක් දැක්වීම අනෙක් මහා බලවතුන්ටද පොදුයි. මේ සිද්දියේදී පවා, එක්සත් ජනපද ක්‍රියාකාරිත්වය පිළිබඳව සෙනෙට් විභාගයක් තිබුනා.

බලවතුන් සම්බන්ධ නොවුන රටවල් ඇතුලේ සිදුකල මෙවැනි සමුලඝාතන කිරීම් හා යටපත් කිරීම් වලටත් අර දේශපාලන යාන්ත්‍රණ, එනම් පරම බලය තවදුරටත් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය අංගයක්. ලංකාව ගත්තොත්, අහම්බයකින් මතු වුන මාතලේ සමූහ මිනී වල නම් කරන්න පුලුවන්. ඝාතනය හා ඇටසැකිලි හමුවීම කාල පරාස දෙකකට අයත් වුවත්, ඒවාට සම්බන්ධ පිරිස් ඒ කාල දෙකෙහිදීම, පාලන තන්ත්‍රයේ කොටස් කරුවන් වීම දෛවයේ සරදමක් නොවේද?

ඉහත සිද්දියේදී සත්‍යය එම අපරාධයේ සැබෑ වගඋත්තර කරුවන් ඥාතීන්ට සොයා දෙන්න පෝලන්ත රජය මැදිහත් වුන වග මතක් කරන්න ඕනේ.

මේ සටහන සඳහා කියවන ලද දේවල් වල මගේ මතකය හා විකිපීඩියා පහත පිටුව හා එහි සමහර මුලාශ්‍ර ද, යූ ටියූබ් විඩීයෝ ද උපයෝගී කරගත් බව සලකන්න. මා ලියා ඇත්තේ දල වශයෙන් සිද්ධිය වන අතර, දෙවන ලෝක යුද්ධ සමය ගැන ලියවුන කෘතීන් හා මේ මුලාශ්‍ර සොයා කියවීමෙන්, වඩාත් පරිපුර්ණ වැටහීමක් ලබා ගන්න පුළුවන්. විකිපීඩියා පිටුව පවා, බොහෝ විට දකින්නට නොලැබෙන පරිදි, හොඳ මුලාශ්‍ර ගවේෂණයකින් පසු ලියන ලද්දක්.

http://en.wikipedia.org/wiki/Katyn_massacre

අවසාන වදන ලෙස මේකෙන් මේ සටහන නවත්වන්නම්, එනම් Like much of life and history, one believes what one chooses (http://katyn.org.au/).

*කතින් මූකලානේ වෙඩි තැබුම!

16 Comments

Filed under Politics