කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (3)


ලංකාවේදී අප දන්නා හඳුනන හිතවතෙක් යයි කිව හැකි කෙනෙකු සමග කතා කරන්න ලැබුනා. ඔහුගේ ජිවන වෘත්තීය තමා තෙල් ගැහීම. “තෙල් ගහනවා” කියන්නේ ඔබ හිතන දේ නොවේ. කෘමි හා වල් නාශක ඉසීම. මෙය ලෙහෙසි දෙයක් නම් නොවේ. දෙපැත්තකින්, ලංකාවේ ඔය “ප්‍රටෙක්ෂන්” ඇඳුම් හා මෙවලම් භාවිතයක් නැහැ. එය මේ මනුස්සයාගේ සෞඛ්‍යයට  නරකයි. අනික මෙයත් වෙහෙසකර කටයුත්තක්.

පත්තර වල තියන දේවල් ගැන අපට සැක සාංකා ඇති වෙනවා. නමුත් මෙවැනි මිනිසුන් කියන්නේ ඇත්තටම ඔවුන් කරන දේ, ඇත්තටම වෙන දේ.

ඔය කියමනට කියන්නේ ගම් වල ඉන්න සුන්දර මිනිසුන් කියල. ගොඩක් වෙලාවට ඔය සරල දිවියක් ගෙවනවා යයි කියන ගොවි මහතුන් වගේ කට්ටිය. අර මා කලින් කියපු කෙනා තෙල් ගහන විදිහ, මිනිසුන් ඒවා ගහන්න කියල ඉල්ලන ඉල්ලන විදිහ ගැන කියුවහම ඒ සුන්දරත්වය කොයි වගේද කියල හිතා ගන්න පුළුවන්.

මයියොක්ක යායට තෙල් ගහන කොට ගහන්නේ බෝතලේ  ලියල තියන ගාණට වඩා දහ ගුණයක් විතර වැඩිපුර සාන්ද්‍රණයකින්. මොකද ඉක්මන් “ප්‍රතිඵල” ගන්න. හැබැයි පඳුරු කිහිපයක් ඉතුරු කර ගන්නවා තමන්ට කන්න කියල. පලා පාත්ති වලට හෙට උදේට කඩන්න, කලින්දා තෙල් ගහනවා. නැත්නම් උදේ තෙල් ගහල, හවස කඩනවා. මේවා බෝතලේ තියෙන්නේ වෙනස් විදිහට. හැබැයි පොඩි පාත්ති කෑල්ලක් ඉතුරු කර ගන්නවා.

මෙය අතරින් පතර සිදුවෙන දෙයක් නොවේ. කලාතුරකින් ලංකාවට යන අපට කඩේ තියන එළවලු විතරක් නොවේ, අනෙක් කෑම වලත් තියන බෙහෙත් රසය දිවට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් පලා වල. අප ජිවත් වන්නේත් ඔය කියන “කාබනික” කෘෂිකර්ම තියන රටක නොවේ. හැබැයි සියලු කෘෂිනිෂ්පාදන කාබනිකයි. අකාබනික එළවලු පලතුරු හොයන්න විශ්වයේ වෙන ලෝක වල කරක් ගහන්න වෙයි.

දැන් මයියොක්කා වවන මිනිහ, තමන්ට කන්න හොඳ මයියොක්ක ඉතුරු කර ගත්තට, ඔහු නොවවන අනෙක් නිෂ්පාදන බිහි කරන අනෙක් ගොවියනුත් කරන්නේ ඔහු කරන දේම නේද කියා මොහොතකට සිතනවාද? එතකොට මයියොක්ක කන්න හදා ගන්න ලුණු මිරිස හදා ගත්තේ එයා වගේම මිරිස් ගස් ටිකක් විතරක් ඉතුරු කරගෙන අනෙක්වට දෙහං වෙන්න තෙල් ගහපුවා කියල කල්පනාවට එන්නේ නැහැ.

මෙය එක ක්ෂේත්‍රයකට සිමා වුන දෙයක් නොවේ. මේ කියන අනෙකා ගැන කිසිම සැලකිල්ලක් නොමැති කම ටික දෙනෙකුගේ හැර සමාජයේ මුල් බැස  ගත්ත දෙයක් කියා කනගාටුවෙන් වුවත් කියන්න ඕනේ. අපේ පාසල් අධ්‍යාපනය සමහර විට මෙයට එක හේතුවක් කියා මා හිතනවා.

තමන්ගේම සහෝදර මිනිසුන්ට දැන දැනම අකටයුත්තක් කරනවා කියන එක, වැරැද්දක් විදිහට දකින්න බැරි මිනිහා පරිසරය රැක ගැනීම හෝ තිරසාර ගොවිතැනට ගැන හිතාවිද?

පැය අටෙන් අටට ගන්න ඕනේ ප්‍රතිජීවක, ලෙඩේ ඉක්මනින් හොඳ කරන්න කියා එකවර බොන සිරිතක් නැහැ. දැන් මේ සමාගම් වලට විතරක් වැරැද්ද පටවන අප ඇත්තටම කෘෂිකර්මයේ කරන්නේ එයයි.

මෙය පැති කීපයකින්  ආර්ථිකයට පාඩුයි. කෘෂිරසායන සහිත ආහාර ගැනීම නිසා ජනතාව ලෙඩ වෙනවා. අඩුවන වැඩකරන පැය ගණන, බෙහෙත් හේත් වලට වියදම් යනාදී වශයෙන් මේකේ කෙළවරක් නැහැ. පරිසරය විනාශ වෙනවා. ගොවි බිම් වල ඵලදායි තාවය අඩු වෙනවා. පොහොර වැඩිපුර ගහන එක වැඩකට ඇති දෙයක් නොවේ වගේම, ලැබෙන්න ඕනේ අස්වැන්නත් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ එම නාස්තිය දෙයාකාරයි. එනම් ගන්න මිනිහා වියදම් කරන මුදල්. අනෙක තමා මේවා මහජන මුදල් යොදවා, ගන්න මුදලට වඩා අඩුවෙන් ගොවියන්ට දෙන්නේ.

ඇත්තම කරුණ නම්, නිකරුනේ කෘෂිරසායන භාවිතා නොකිරීමෙන්, මෙයිට අඩු පිරිවැයකින් මේ ප්‍රතිඵලයම හෝ මෙයිට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ලාභය වැඩි කර ගන්න පුළුවන් නිෂ්පාදනයේ පිරිවැය අවම කර ගනිමින් බඩු විකුණා ගැනීම  මගින් (මෙතැනදී කෘෂිනිෂ්පාදන වෙලඳපොලේ තියන දේශපාලන මාෆියාව මා අමතක කරලයි ලියන්නේ. සියලු ප්‍රශ්න වලට කලින්, රටේ නිතිය හා යහපාලන කතාවට ආවොත් මෙවැනි දේවල් කතා කරන එකත් නිෂ්ඵලයි. නමුත් කවදා හෝ අපට අනෙක් රටවල කෘෂිකර්මයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න අවස්තාවක් ලැබේවි කියා උපකල්පනය කරමු). ඒ වගේම නිර්දේශිත කාලය හා මාත්‍රා දීමෙන්, නිෂ්පාදනයේ හා පරිසරයේ ශේෂ වන රසායනික ප්‍රමාණය අවම වෙනවා. පාරිභෝගිකයාට වඩා හොඳ නිෂ්පාදනයක් විකුනන්න පුළුවන්.

ලෝකයේ හැම රටකටම ගැලපෙන පොදු කෘෂිරසායන භාවිතාවක් ගැන ප්‍රමිති හදන්න නොහැකියි. මොකද කාලගුණය දේශගුණය වෙනස්, වැවිලි වෙනස්, වල් පැල හා වෙනත් පලිභෝදකයන් වෙනස්, පස වෙනස්, යොදා ගන්නා තාක්ෂනයන් වෙනස්, ඓතිහාසික තත්ත්ව එනම් පෙරදී පාවිච්චි කළ හැටි වෙනස්. රට රට වල් මේ තත්ත්ව සැලකිල්ලට අරන් ප්‍රමිති හා නීති රීති සම්මත කර ගෙන තියනවා. එයින් යුරෝපා රටවල් විශේෂයි.

 

(මතු සම්බන්දයි).

Advertisements

17 Comments

Filed under Agriculture

17 responses to “කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (3)

  1. Pingback: කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඔබ මතුකරනා කාරණය ඇත්ත. මාත් දැකලා තියනවා තමන්ට කියා වෙනම බව භෝග හදන ගොවියන්. ඒත් ඔබ කිවා සේම අනිත් අඩුම කුඩුම ගන්නේ වෙනත් ගොවියන්ගෙන්ම නේ. නොදැන නොසිතා එයාලත් වහ කනවා. අපිත් කනවා.

    • අවිචාරවත් බව ජාතික චින්තනයේම ලක්ෂණයක් වගේ නලින්. ඇත්තද බොරුද මන්දා, අර වෛද්‍ය සංගමයත්, එයාලට වෙනම “කාබනික හීනටි හාල්” රජයෙන් ඉල්ලලා තිබුනා යයි මා කොහෙද කියෙව්වා. මේ වගේම විවි ආචාර්ය සංගමයත් එයාලගේ මුල් ඉල්ලීම් වල, එයාලගේ දරුවන්ට පෞද්ගලික පාසල යවන්න වෙනම දීමනාවක් ඉල්ලා තිබුනා. මේ වැඩේ පෙන්නා දුන්නහම තමා ඒක අයින් කර ගත්තේ. මොකද එයාල ඉල්ලුවේ, නිදහස් අධ්‍යාපනයට වැඩි පුර මුදල්. මේ ඉල්ලීම් දෙකෙහිම තියන දෙපිටකාට්ටු ගතිය අපට පෙනෙනවා නේ නලින්. ඉතිං එතරම් වැඩිපුර “ඉගෙන නොගත්ත” යයි කියන ගොවි මහතුන් ගැන මොන කතාද?

  3. අපිට ගැලපෙන කෘෂි රසායන සහ පලිබෝධ පාලන පනතක් ගෙනෙන කතාවක් තිබුණා නේද? ඒවා ගෙන්වන සමාගම් වලින් ඒ පනත ගෙන එම වලක්වන්න ලොකු සටනක් දෙනවා ඇති. ඇත්තටම අපි මෙවැනි පනතක් සෑදීමේදී කුමන කරුණුද පදනම් කරගත යුත්තේ?

    • ඒ ගැන මා අනික් රටවල් දෙක තුනක් ඇසුරින් ලියන්න බලන්නම් විචාරක මෙහි ඊළඟ/බොහෝ විට අන්තිම කොටසින්.

      ජේ ආර් පප්පා කියුවේ එයාට (ජනාධිපතිට) කරන්න බැරි පිරිමියෙක් ගැහැණියෙක් හා ගැහැණියෙක් පිරිම් කරන්න බැරි එක විතරයි කියලා. මේ (ප්‍රජාතන්ත්‍රවාදී) ඒකාධිපති ජනාධිපති කරමේ සැබෑ ස්වරූපය හෙළි දක්වපු භයංකාර ප්‍රකාශයක් තමා ඒක. මෑතදී රටේ තුන් වන පුරවැසි යයි සාමාන්‍යයෙන් කියන අගවිනිසුරු වරිය රාත්‍රී කාලයේ අහපු කැන්ගරු නඩුවකින් එලවන්න ගියේ පැය දෙක තුනයි. ඒ නීති හදනවා යයි කියන පාර්ලිමේන්තුව විසින්. හැබැයි ඇත්තටම එය කලේ කවුද කියා ඔබත් දන්නවා, ලෝකේ අනික් මිනිසුනුත් දන්නවා. අර ජේ ආර් පප්පා ඕක අපට කලින් කියුවේ.

      එහෙම කරන්න පුළුවන් බලතල තියන තැනකට සිගරට් පැකට්ටුවේ පින්තූර ටික දාන එක දැන් අවුරුදු ගණනාවක් ඇදිලා යනවා. තවම ඉවර නැහැ. මේක අර කැන්ගරු පාර්ලිමේන්තුව දැන් නීතියක් හැටියට සම්මත කරලත් ඉවරයි. මොකද මේ? ඔන්න බටහිරට කෑ ගහන පිරිස් වල ඇත්ත තත්වය. ගතමනාව හොඳ ඇති. සාමාන්‍ය මිනිහෙක් හවස මහන්සි වෙලා ඇවිදින් රූප පෙට්ටිය බලන්න හදන කොට, ඒකෙ කොටු කොටු. මේවාට ඔය දුම්කොළ සමාගම් එරෙහි වෙන්නෙත් නැහැ. මොකද කියනවා නම්, ඔවුන් කරන පර්යේෂණ වලිනුත් මේ වගේ දේවල් නිකම් සෙප්පඩ විජ්ජා කියන පෙන්වනවා. ඔවුන් එරෙහි වන්නේ ඇත්තටම බලපෑම් කරන දේ වලට විතරයි.

      මෙය කෘෂි රසායනික සමාගම් වලටත් එසේම අදාලයි.

      එදත් අපි ගල අයින් කරනවා කියුවහම මාසයක් ගොන් කමට කන්න දුන්නා. අදත් ගල අයින් කරනවා කියුවහම කරබාගෙන චන්දෙ දෙනවා. හැබැයි ඒ කට්ටිය කනවා විතරයි. ගල තාම එතන. මොකද අයින් නොකරන්නේ ඇහුවොත් කියාවි, තාම කාල මදිය, තව කන්න ඕනය කියා.

  4. රයිගම් කියන කතාවට තව ටිකක් එකතු කරන්ට ඕන. 80 මැදකාලේ ඉඳන් අවුරුදු 4ක් බැංකුවක වැඩකරනකොට උඩරට් එළවළු ගොවියොත් එක්ක වැඩකරන්ට අවස්තාව ලැබුනා. මම අත්දැකපු දෙයක් තමයි ගොවියෝ ගන්න ණය මුදලෙන් සෑහෙන ප්‍රමාණයක් වැයවෙන්නෙ කෘෂි රසායනික ද්‍රව්‍ය වලට. ගොවියොම කියනවා කෘෂි රසායන ගැහුවේ නැත්නං පාඩුයි කියලා. ඒවා ගහන කාලෙට පැත්ත පලාතෙ යන්ට බෑ. ගොවියෝ කියනවා ‘මහත්තයා ගෝවා එහෙම ගන්නකොට සත්තු කාලා තියෙන ඒවා ගන්ට. ඒවාට බෙහෙත් ගහලා තියෙන්නෙ අඩුවෙන්. ඒඋනාට ගෝවානං නොකන තරමට හොඳයි’ කියලා. ගොවියෝ තමන්ට කන්ට වෙනමම වගා කරනවා රසායන ද්‍රව්‍ය නැතුව. ඒ අය දන්නවා කෘෂි රසායන වලින් වෙන හානිය. හැබැයි ගොවියන්ටත් කරන්ට දෙයක් නෑ. විෂම චක්‍රෙට අහුවෙලා ඉවරයි. ලංකාවේ තියෙනවා කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩකරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අයගෙන් හැදුනු මණ්ඩලයක්. එකේ සභාපති ලංකාවට කෘෂි රසායන ගෙන්වන සමාගමක අයිතිකාරයෙක්!

    • ඔබ හරිම වටින මතක් කෙරුවා කැන්ඩියන්. අප ඉගෙන ගත්තේ ගෝවා කියන්නේ ඕනෙම ලෙඩෙකුට පවා තම්බල දෙන්න පුළුවන් දෙයක් කියා. මොකද එච්චරටම පිරිසිදුයි. මුල් කොළ ටික ගලවල ඉවත් කෙරුවහම සෝදන්න පවා අනවශ්‍යයි. ඇත්තටම මා දැනටත් මෙහෙදී කරන්නේ එයයි. දැන් බලන්න එහෙම එළවලුවකට කරන දෙය.
      මේක කැන්ඩියන් කෘෂිරසායන වල තියන නොවේ. නොදැනුවත්කම, අමනුස්සකම හා දේශපාලකයන්ගේ තියන ඔලොමොට්ටල කම යන කරුණු වල සංකලනයක් නිසා ඇතිවුන චක්‍රයක්. එක අතෙකින් සමාජයේ පිරිසක් සිහින මවනවා කාබනික ගොවිතැන මේ සියල්ලටම සුඑන්සු කියලා. අනික් අතින් ගොවියන් කියන පිරිස, පිස්සුවෙන් වගේ තෙල් වල මහා බලයක් ඇති සිතනවා.

      ඔබ කියනවා වගේ ටියුෂන් මාස්ටර්ලා අධ්‍යාපන ඇමතිලා, පෞද්ගලික පාසල් බිස්නස් කාරයන් අධ්‍යාපන අධීක්ෂණය කරන මන්ත්‍රීලා, කෘමිනාශක ගෙන්වන මුදලාලිලා ප්‍රතිපත්ති හා ප්‍රමිති හදනවා, කට්ටඩියන් ශිෂ්‍ය උපදේශකලා, වෛද්‍ය පිඨ ජෙෂ්ට කතිකාචාර්යල පාරම්පරික ගොවිතැන ගැන අමාත්‍යංශ උපදේශකවරුන්. මෙහි කෙළවරක් තියනවා ද කැන්ඩියන්?

  5. හැබෑව මේක කියලා බොහෝ අය දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ රයිගම්. ලංකාවේ වගේ රටක ඉඳගෙනත් ඔය එළවළු වගාව නොකරන අයගේ කෘමිනාශක භාවිතය හෝ අපිට ලැබෙන කෑම කොයිතරම් සෞඛ්‍යයදායිද කියලා අවබෝධයක් තියෙන්නේ එහෙමත් කෙනෙකුට විතරමයි. නිකම් එළවළු කඩේකට ගිහින් බලන්න මිනිස්සු ගන්නේ ලස්සනට තියෙන එළවලු පළතුරු විතරයි. තමන් කන්නේ මොනවද කියලා බොහොමයක් දෙනෙකුට අවබෝධයක් නෑ.

    • මගේ බ්ලොග් සටහන් මේ දිනවල වපසරියෙන් එපිට ගියා රංගි. ඇත්තටම ඒකීය පාරිභෝගිකයෙකුට කඩේට ගියහම ගන්න පුළුවන් විකල්පයක් නැහැ. මොකද සේරම එක වගේ. ඔබ දන්නවා ඇති, ඔබ ජිවත් වන රටෙත් කෘෂිකර්මය කියන්නේ රසායන පොහොර හා කෘමිනාශක හා වල් නාශක මත ප්‍රධාන වශයෙන් රඳා පවතින දෙයක්. නමුත් ඔය එළවලු කන්න බය වෙන්න ඕනේ නැහැ. කෘෂිරසායන කියන්නේ අතුගා දමන්න පුළුවන් හෝ අතුගා දමන්න අවශ්‍ය දෙයක් නොවේ. කාබනික සිහින ලෝක වල ජිවත් වීම අනවශ්‍යයි.
      තමන් කන්නේ මොනවාද කියන එක විතරක් නොවේ, මේ ප්‍රශ්න වලටත් විසඳුම් හොයන්න පටන් ගන්න නම්, අඩුම ගානේ ගජමිතුරු දේශපාලකයන් විසින් මහා දවාලේ මංකොල්ල නොකන පරිසරයක් උදා කර ගන්න ඕනේ. එවැනි දෙයකට පොදු කැමැත්තක් තවම දකින්න නැහැ. 😦

      • // මයියොක්ක යායට තෙල් ගහන කොට ගහන්නේ බෝතලේ ලියල තියන ගාණට වඩා දහ ගුණයක් විතර වැඩිපුර සාන්ද්‍රණයකින්. //
        මෙහෙ ඔක්කොම ජනප්‍රිය සටන්පාට නේ තියෙන්නෙ. ‘බහු ජාතික රසායනික ද්‍රව්ය ඔක්කොම තහනම් කරව්’ වගේ. කවුරුවත් ප්‍රායෝගික ප්‍රමිතියට කරමු කියන්නෙ නෑහෑනෙ

  6. Madhuka

    මේ ලින්කුවේ සඳහන් කරුනු පිලිබඳ ඔබේ අදහස කුමක්ද?
    http://onemalaysiasinhala.blogspot.com/2014/03/blog-post.html

    • මධුක එය බ්ලොග් සටහනක් ම නොවේ නේද? එහි එන කරුණු එකින් එක අරන් ලියයන්න මට වෙලාවක් නැහැ. නව බිජ හා භෝග වලින් මිනිසාට ලෙඩ ඇති කරනවා වගේ කිසි පදනමක් නැතුව කියන කතන්දර වලට මට උත්තර දෙන්න බැහැ. මා දන්නේ මේ වර ඕස්ට්‍රේලියානු එන්නට තියන නව අය වැය යෝජනා අනුව ජිවත්ව හිටියොත් මට අවුරුදු 70 ක් වෙනකම් පැන්ෂන් ගන්න බැහැ. අපේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීම නිසයි ඒ පියවර යෝජනා කෙරෙන්නේ. මේ වැඩි වන්නේ නව භෝග කාල තමයි.

      නව ප්‍රබෙධයක් බිහි කිරීම දීර්ඝ ක්‍රියාවලියක් කියන එකත් ඇත්ත. දේශීය ශාක වල පරිසරයට අවශ්‍ය කරන තත්ත්ව වලට වඩාත් ගැලපෙන ලක්ෂණ ප්‍රමුඛ වී පරිණාමය වී තියන කතාවත් ඇත්ත. පිටින් ගෙනත් හඳුන්වා දෙන භෝග ගැන පරිස්සම් විය යුතු කතාවත් බොරු නොවේ. අප දේශීය ශාක වල ජාන කිටුව පරිස්සම් කර ගන්න ගන්න ඕනේ. වෙන මොකට වත් නොවේ අපේ අනාගත ප්‍රශ්න වලට විසඳුම් වලට මේවා සොයා යන්න වෙන්න පුළුවන්. හැමටම කලින් අද පරම්පරාවට නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න, දරන්න පුළුවන් ආහාර වේලක් දෙන්න ඕනේ. මේ පත්තර වල ලියන පිරිස් බද පුරවාගෙන විනෝදයට ලියන ලිවීම් වලින් නම් එය කරන්න බැහැ. මේවා ගැන මගේ අදහස් මෙහි පරණ සටහන් වලත් තියනවා.

      දෙමුහුන් භෝග වල එතන පළමු පරම්පරාව කියන්නේ F1 වෙන්න ඕනේ. මෙතැනදී වෙන්නේ මධුක, ප්‍රමුඛ ලක්ෂණය (ජානය) භෝගය වවන විට කලවම් වෙලා නිලින වෙලා යන එක. පර්යේෂණය ක්‍රියාවලියකින් හදල දෙන ( homozygous) දෙමුහුන් ස්වපරාගනය වන වී වැනි බීජ හැරුණු කොට, අලුත් බිජ හැම කන්නයකම මුදලට ගන්න ඕනේ කතාව ඇත්ත. ජාන තාක්ෂණයෙන් පවා “හොමොසයිගස් පරම්පරාවක්”, ඒ කියන්නේ වැවුවට ලක්ෂණය නිලින නොවන භෝග බිජ නිපදවන්න පුළුවන්. හැබැයි ඒත් මොන්සන්ටෝ වගේ සමාගම් වලට අවුරුදු පතා ගෙවන්න ඕනේ, එම බිජ භාවිතා කරනවා නම්. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු එවැනි අවස්ථාවල අය කරන්න පුළුවන් උපරිම මිලක් කියල ඔය කපු ගොවීන්ව ආරක්ෂා කරලා තියනවා.

      ඔබට යමක් ස්පෙසිෆික් තියනවා නම් අහන්න. මගේ සටහන් අනුව මා තේරුම් ගන්න මට්ටම ඔබට හිතා ගන්න පුළුවන්නේ. මගේ පටු දැනුමට අනුව පුළුවන් ආකාරයෙන් උත්තර දෙන්නම්.

      එය පුවත්පත් ලිපියක්නේ මධුක!ඒ ලිපියත් (මා හරියට කියෙවුවෙ පසුව -6.05.2014), දෙමුහුමක්. එනම් එහෙන් මෙහෙන් ගත්තු පාරම්පරික යයි කියන දැනුම හා නව දැනුම අතර මෝඩ සංකලනයක්. එහි ඇත්ත තියනවා. නමුත් සාක්ෂි නොමැති මනස්ගාතත් තියනවා. මෙය තමා මා ජාතික චින්තනය නමින් හඳුන්වන්නේ. මා කලින් ලියා ඇති ඔබට අනාගතයේ මෙහි තියන කරුණු ගැන ආයිත් ඉඩ ලැබෙන විට ලියන්නම්.

  7. මට මේ ගැන තිබෙන ඉතාම දීර්ඝ පිළිතුර මෙහි ලියන්න ගියොත් පෝස්ටුවට වඩා මගේ රිප්ලයි එක දිග වෙනවා.
    මේ උවදුර ගැන කියල තියෙන නිසා මේවා නැවැත්වීම ගැන තියෙන මතිමතාන්තර ගැන විතරක් කතා කරමු. අපි හැමදාම හිතන්නෙ අපිට කිසිම දෙයක් වෙනස් කරන්නම බැහැ කියලා. එහෙම හිතුවොත් අපිට මේවා කවදාවත් වෙනස් කරන්න ලැබෙන්නේ නැහැ. රජය මගින් යම් කිසි ක්‍රියාත්මක වැඩපිලිවෙලක් පටන් ගැනීම වඩා සුදුසුයි කියලා මා සිතනවා. මේ ළඟකදි අපේ පැත්තෙ කෙසෙල්ගෙඩි වෙලෙන්දියන්ට කාබයිඩ් ගැසීම ගැන යම් යම් රෙගුලාසි බලාත්මක වුනා. ඔවුන් කෙසෙලේගෙඩි ඉදවන ස්ථාන බලලා ඒවා වටලලා නියමිත පරාමිතික වලට තියෙනවාද කියන එක මහජන සෞඛ්‍ය අධිකාරින් විසින් කරලා තිබුනා. දැන් කෙසෙල් ගෙඩි බිස්නස් කරන අය කලින්ට වඩා බය වෙලා. කාබයිඩ් ගහන්නෙම නැහැ කියන්න බැරිවුනත් ඔවුන් ටිකක් අඩුවෙන් භාවිත කරන්න සහ කලින් තරම් කාබයිඩ් නාවන්න උත්සාහ කරන් නැහැ. මෙතන අක්‍රමිකතා නැතුවාම නෙමෙයි. උදාහරණ ලෙස සමහර නිවෙස්වල ලොකු වලවල් තියාගෙන දුම් ගහනවා කියලා පෙන්වලා නිළධාරින් රවටනවා.

    අවාසනාවට ලංකාවෙ ඉගෙනගත් මිනිස්සු හරි අකමැතියි ඒප්‍රන් එකක් ඇඳලා අහු මුලු අස්සෙ රිංගන්න. ඔවුන් නිවෙස් වල කෙසෙල්ගෙඩි පරීක්ෂා කරන්න එන්නෙ පුල් සූට් ගහලා. ඉතිං එයාල ආකල්පීයව වගේම බාහිරවත් රැකියාවට ගැලපෙන විදියට පෙනුම පවා වෙනස් කරන්න ඕනි..

    එ් වගේම මම දන්න තැනක ඉතාම අපිරිසිදුවට පාසැල් සඳහා කෑම හදන විදියක් තිබුනා. නමුත් පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට ගිහිපු ඔත්තුවක් අනුව ඔහු ඇවිත් හදමින් සිටි ආහාර පවා සීල් කරලා ඒවා විනාස කලා. ඉන් පසු නැවත කෙටි ආහාර සකස් කිරීම පටන් ගන්න පෙර තිබිය යුතු අවශ්‍යතා ගැන පරාමිතික කිහිපයක්ම ඔහු විසින් නියම කරලා තිබුනා. එකක් දෙකක් මටත් මතකයි. කිසිම විටෙක හදන කෙටි ආහාර ද්‍රව්‍ය කෙලින්ම බිම දැමු පත්තර වල හෝ බඳුන් වල දමන්න එපා. ඒ වගේම බඳුන් අල්ලන රෙදි ආදියත් බඳුන් ආදියත් පිරිසිදුව තබාගන්න ඕනි. ශීතකරණය නිතරම පිළිවෙලට ආහාර අතර වායු සරංසරණය වන විදියට තිබෙන්නට ඕනි..කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා රෙගුලාසි දාල තිබුනා. ඉතිං අර මනුස්සයා ඒ වැරදි හදාගන්න කල් ආයෙත් කෙටි ආහාර හදන්න බැහැ. මෙතනදි තිබෙන තවත් අඩුපාඩුවක් තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආදී සෞඛ්‍ය අධීක්ෂණ කන්ඩායම් වලට රජය යොදන මුදල සහ සම්පත්..

    මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ ඒ සමාන්තර සේවකයන් මගින් ගොවීන්ද වගාවන්ද පරීක්ෂා කල හැකියි. නමුත් නහය දිව සම සරීරය පමණක් අරං ගිහින් මේක කරන්න අමාරුයි. ඒ සඳහා නවීන දැනුම වගේම ඒ පහසුකම් ඒ අයට ලැබෙන්නට ඕනි. ඒ අවස්ථාවලදී ගොවීන්ට නියම වන දඩ ආදිය වෙත්නම් අනිවාර්යෙන් එයින් කොටසක් අර වැටලීම් කරන අයට ලැබෙන්නට ඕනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙදියො,ඇටෙන්ඩන් දොස්තරලා ට සාපේක්ෂව අඩු වරප්‍රසාද තමයි ලබන්නෙ. මොකද ඔවුන් ස්ට්‍රයික් කලා කියලා ලෙඩ්ඩු මැරෙන්නෙ නැති නිසා ඔවුන්ගේ වැටුප් සදහා කරන අරගල ආන්ඩුව සලකන්නෙ නැහැ..

    මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් කිහිප දෙනෙක්ම මම හොඳන් අඳනනවා ඔවුන් බොහෝදෙනෙක් ඉදිරිගාමී ආකල්ප තියෙන අය. පරිඝනක දැනුම නවීන දැනුම ප්‍රාෙයා්ගික වැඩ ගැන උනන්දුයි. නමුත් සාමාන්‍ය සමාජය සහ රජය ඔවුන් දෙස බලන්නෙ මහ කරදරකාරයො තොගයක් විදියට.. පමණයි.

    මේ ප්‍රශ්ණ ගැන අපිට වරු ගනන් ලියත හැකි. නමුත් දැනට තිබෙන ප්‍රාෙයා්ගිකම ක්‍රමය විදියට මම දකින්නෙ මේ මහජන සෞක්‍ය පරීක්ෂක හෝ ඊට සමාන්තර සේවයක් මගින් ආහාර නිෂ්පාදනය ඇසුරුම හා බෙදාහැරීම මීට වඩා විධිමත්ව සහ ප්‍රාෙයා්ගිකව අධීක්ෂනයට ලක්වීම. ඒ සඳහා රජයත් හුදු මහජනයාත් එහි අවශ්‍යතාවය වටහාගත යුතුයි. අපේ පියා මා දන්න කියන කාලයේ සිට විසි අවුරුද්දක් විතර ගොයිතැන් කලා. අපි බොහෝවිට කෘෂීරසායන අපිට සහ කෘෂි රසායන කඩකාරයට ඕනි විදියට භාවිත කලා. නමුත් කිසිම රජයේ වගකිව යුතු හස්තයක් මේවා නියාමනය කරන්න හෝ පාලනය කරන්න නිසි බලපෑමක් කලේ නැහැ. මිනිස්සු ඉබේ සංවර වෙයි කියල හිතන එක මෝඩ කමක්. කිසිම වාසියක් නැතුව බලපෑමක් නැතුව ඉබේ හොඳ බබ්බු වෙන මිනිස්සු ඉන්නෙ සුරංගනා කතා වල.

    මගේ පියා ගොවියෙක්. එතුමා ගොවිතැන් කලේ එලවලු. අපි කවදාකවත් අපිට කන්නෙ වෙනම තැනක් හදාගෙත්තෙ නැහැ. බොහෝ වෙලාවට වැටෙකොලු දවස් තුනෙන් තුනට කඩනවා. බණ්ඩක්කා දවස් දෙකෙන් දෙකට අස්වනු නෙලනවා. කරිවිල සතියට දවසක් කඩනවා. මුල් වර අස්වනු හටගත්තාම අපි අස්වනු නිසිකලට නෙලුවෙ නැත්නම් නැවත අස්වනු හටගැනීමේදි අස්වැන්න බාල වීමක් සිදු වෙනවා. ඉතිං මේ විදියට දවස් දෙක තුුනෙන් එලවලු කඩන්න වෙන වගාවක කෘමිනාශක පොතේ විදියට ගහන්න ක්‍රමයක් නැහැ. දවස් දාහතරක් යනතෙක් අස්වනු අවස්ථා හතරක් පහක් මෙට්‍රික් ටොන් කිහිපයක අස්වැන්න අපතේ යවන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ. බොහෝ කෘමිනාශක ලේබල් වල තියෙන්නෙ කෘමිනාශක ඉස දින දාහතරකට පසු අස්වනු නෙලාගන්න කියලා. ඒක මොන තරම් ප්‍රාෙයා්ගිකද? අපිට අස්වනු හටගන්න කලිං තෙල් ගහල තියන්න බැහැ මැස්සට. විශේෂයෙන් වම්බටු වගේ බෝගයකට පනුවො බෝ වුනාම අස්වනු නෙලන කාලසීමාවේදීම කෘමිනාශක යොදන්න වෙනවා. බණ්ඩක්ක වලට අද තෙල් ගහල හෙට කඩනවා..එහෙම නැත්තං අපිට බණ්ඩක්ක කඩලා විසි කරන්න වෙනවා මුර හතක් විතර කාලෙ හරියනකල්..

    මේක කෘෂිකර්මයට අදාල අනෙක් දේවල් පාලනය නොකර කෘෂි රසායන පමණක් පාලනය කරන එක ටිකක් අමාරු පරාමිතිකයක්. අපි එලවලු වගාකරන එක රැකියාවට කරන කොට ඒක ඇවිල් තනිකර කනාමුට්ටි සෙල්ලම වගේ එකක්. අපිට හරිහමන් මාවතක් නැහැ. අපේ එලවලු වලට නිසි මිලක් නැහැ. අපි ආයෝජන කරන මුදලින් අපිට ලැබෙන මුදල මොනම විදියකින් වත් කලින් නිමානය කරන්න අමාරුයි. අපි මේ සතියෙ තෙල්පෝර ගහල මිල තියෙන කාලෙට අස්වැන්න වැඩිපුර ටිකක් බාගත්තෙ නැත්තං ඊලග සතියෙ අනික් මැහි වලිනුත් පලදාව ඇවිත් දඹුල්ලෙත් බඩු හැදිලා අපේ අස්වැන්න දෙන්න වෙන්නෙ හෙන අඩුවට. පෝර එහෙම වැඩ කරන්න කල් යනවා කියල කස්ටිය කියයි. ඒත් හොදට වතුර ගහපු හරි වැස්ස තිබුන කාලෙකදි යූරිය ගහල සතියෙන් වගාවෙ තියෙන කහපාට කොළ පාටට හැරෙනවා.

    • දීර්ග පිළිතුරට ස්තුතියි අමිල. මේකටත් මට තව එකතු කරන්න පුළුවන්. එළවලු වගාවට කුප්පියේ තියන අයුරින් තෙල් ගහන්න ලංකාවේ බැරිය කියල ඔබ කියන දේ සහ තවත් දේ ගැන මට ලියන්න පුළුවන්කම තිබුනත්, මේ කුඩා බ්ලොගයේ මෙවැනි කතාවක් දිගින් දිගට ලිවිම තේරුමක් නොමැති වග සමහර කොමෙන්ට් වලින් පවා මට තේරුම් යනවා. ඔබගේ පියා වගේ කෙනෙකුට යමා ප්‍රයෝජනයක් අත් වේ යයි මා හිතුවා.

      යූරියා ඉක්මනින් වැඩ කරන්නේ ඇයි කියන එකත්, ෆොස්පරස් වැනි පොහොරක් එයිට වඩා කාලයක් ගන්නේ ඇයි කියන එකත් ඉතා සරල කරුණක් අමිල. යුරියා අණු ශාක පත්‍ර වලින් පවා සුළු ප්‍රමාණයක් උරා ගන්නවා. පසේදී යුරියා ඉක්මනින් දියවී ශාකයට උරා ගන්න හැකි ammonium අණු බවට පත්වීමට කලක් යන්නේ නැහැ. මේවා ජල ද්‍රාව්‍යයි. ෆොස්ෆරස් වල කතාව සහමුලින් වෙනස්. මේවා සාමාන්‍ය ගොවියා නොදැන සිටීම තමයි මා දකින ප්‍රධාන ප්‍රශ්නය.

      නීති-රීති මගින් මෙවැනි ප්‍රශ්නයක් සහමුලින්ම ඉවත් කරන්න තියා යම් පමණකට පාලනය කරන්නත් හරි අමාරුයි. ඒ වගේම ඒ ක්‍රියාවලිය මුදල් අධිකව වියදම් යන නිසා මේ නිෂ්පාදන මිල තවත් ඉහල යනවා. ඒ ගැනත් මගේ අන්තිම සටහනේ ලියා ඇති.

  8. පැහැදිලියි. මට තියන අවුල මේකයි. මේ තරම් කෘමිනාශක වල් නාශක නෙයෛාදා වගා කරන්න පුළුවන්ද? මම දැක්ක හැලපෙගෙ බ්ලොග් එකේ තියනව බෙල්ජියම් ජාතිකයෙක් අර්තාපල් වවල තියනව එයාගෙ වත්තෙ. කෘමිනාශක යොදල නෑ. කෘමි හාණියකුත් සිදුවෙලා නෑ. එයා පුදුම උනාලු ලංකාවෙ තත්වෙ අහල. මේක නවත්වන්න ඕන කොතනද?
    ගොවියන් තමන්ගේ කෑමට ගන්නෙ කෘමිනාශක නොයෙදු එලවළු කියල කිව්වට මම නං දැකල නෑ එහෙම තත්වයක්. කුඹුරක් උනත් එළවලු උනත් තත්වෙ ඒකයි.
    (ටිකක් පරක්කු උනත් පිළිතුරක් දෙයි කියල හිතනව)

    • ඔය නලින් පවා කියන්නේ. මා තර්ක කරන්න යන්නේ නැහැ රාජ්, ඔබනේ ජිවත් වන්නේ. සමහරවිට ප්‍රාදේශික වෙනස්කම් ඇති.

      ඇත්තටම ඔබ පරක්කුයි. මේ කතාව මා ඉවර කෙරුවා.

      කෘමි හා වල්නාශක හා අකාබනික පොහොර නිසා ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය ඉහල ගියා පමණක් නොවේ, මිනිසුන්ගේ ජිවන තත්වය උසස් වුනා. මේවායින් තොර කෘෂිකර්මය අද හිතන්න වත් බැහැ. මේ කතාන්දරයේ මූලික කරුණ ඒකයි.
      අද කඩන්න තියන දෙයට, අද තෙල් ගැහුවට ඒවායේ පණුවන් ඉන්නවා නම් ඒකෙන් හානියට වෙනසක් වෙන්නේ නැහැ. එය වෙලා ඉවරයි. මෙයින් බලාපොරොත්තු වන්නේ කඩපොලට යවන නිෂ්පාදනයේ, පණුවන් රහිත (පෙනෙන්නට සිටින) බව පෙන්නා “ලස්සන” කිරීම විතරයි.

      මේ සියල්ලම රටේ යහපාලනය සමග බැඳී තියනවා. ගොවියාට නිෂ්පාදන විකුණාගන්න ක්‍රමයක් නැහැ. පාරිභෝගිකයාට එළවලු වැඩි කාලෙදිත් ඉතා අඩුවට බඩු විශාල ප්‍රමාණයක් විකුණලා, ලාභය වැඩිකර ගැනීම වෙනුවට සිල්ලර වෙළෙන්දන් හා තොග වෙළෙන්දන් කරන්නේ මිල පහත යවා ගන්නේ නැතුව, එකම නිෂ්පාදන ප්‍රමාණයක් ගොවියාගෙන් මිලට ගැනීමයි. අර හැමදාම විසි කරන “අතිරික්තය” හැදෙන්නේ එහෙමයි. මෙමගින් මිනිසුන්ගේ ආහාර වේලේ ගුණාත්මක බවත් අඩු වෙනවා. ගොවියනුත් හැමදා දුප්පත්.

      ඒ කතා වැඩක් නැහැ රාජ්. ගෙවතු වගා වගේ පොඩි තැනක අපට සම්ප්‍රදායික ක්‍රම යොදා කෘමින් ගහනය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මහා ගොවිතැනකත් සමෝධානික පලිභෝධක නාශන ක්‍රමයක් (IPMS) අනුගමනය කරන්න ඕනේ. මේ දියුණු රටවල් වල දැන් භාවිතා කරන්නේ එවැනි යොමුවීමක්. ඒ වගේම හාර්ඩ් කෘමිනාශක හා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් (ඒ කියන්නේ වගක් නැතිව මරා දමන) කෘමිනාශක වලින් ඉවත් වෙමින් සොෆ්ට් ඒවාට {(විෂ ගතියෙන් එතරම් ජරා නොවන/ පරිසරයේ හා නිෂ්පාදනයේ රැඳී නොපවතින) හා හානි කරන කෘමීන්ට ඉලක්ක කරන } මාරු වෙමින් ඉන්නවා. මේවා සාපේක්ෂව ගණන්. එය ප්‍රශ්නයක්. GM ශාක පවා එහි අංගයක්. ප්‍රජාවගේ ආකල්ප, රටේ කෙරෙන පර්යේෂණත් මේවාට බලපානවා. අප ආදායම ඉහල යවා ගන්න ඕනේ ඒ නිසයි. අනික ඕනෙම සමාජයක් වඩාත් යහපත් තේරීම් කරා යන්නේ, ආර්ථික දියුණුවත් එක්ක.

      ලංකාවට ආවොත් පලිබෝධනාශක වැඩිපුර ගැහීම නිසාම, මේ පලිබෝධකයන් වල් (ගස් හා කෘමින්) අතර එම පලිබෝධනාශක වලට ප්‍රතිරෝධයත් වැඩි වනවා. ඒ සමගම ගහන්න ඕනේ සාන්ද්‍රණය තවත් ඉහල දාන්න වෙනවා. නිෂ්පාදන වල ඉතුරු වන ශේෂය තවත් වැඩි වනවා. මහරගමට එන පිරිස තවත් ඉහල යන්න පුළුවන්.

      ඇති නේද රාජ්? මේ සේරටම කලින් කරන්න ඕනේ දේ මොකක්ද කියා ඔබ දන්නවා ඇතිනේ. එයට සමාජයේ බහුතර පිරිසක් එක්කර ගන්නේ කොහොමද කියන එක මා දන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s