කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (4)


මේ සටහන පමනට වඩා දැන් දික් වුනා. මෙය තව දුරටත් දික් ගහන්න බලාපොරොත්තුවක් නැහැ. කියවන දෙතුන් දෙනා මතු කරපු දේවල් වලට තමා මා පිළිතුරු දෙන්න උත්සාහ කෙරුවේ. අන්තිම සටහනේ විචාරක ඇහුව ප්‍රමිතියක් ඇති කර ගන්න මොනවාද බලන්න ඕනේ දේවල් කියන එකට, ටිකක් වෙනස් විදිහකින් පිළිතුරක් ලියන්න අවශ්‍යයි. මොකද ප්‍රමිතිකරණය කියන්නේ වෙනම වැඩක්. අනෙක තමා ප්‍රමිති වලට වඩා වැදගත්, මේවා භාවිතා කරන්නන්, එනම් ගොවියන් හා එම නිෂ්පාදන මිලදී ගන්නන්, එනම් පාරිභෝගිකයන්ගේ දැනුවත් නොදැනුවත්කම, අවංකකම හා ආකල්පයි.

ඕස්ට්‍රේලියාවේ කෘෂි රසායනිකයක් හෝ පශු බෙහෙතක් භාවිතාව පාලනය වන්නේ the National Registration Scheme for Agricultural and Veterinary Chemicals (NRS) යන ආයතනය  යටතේ. මෙය තියෙන්නේ the Australian Pesticides and Veterinary Medicines Authority (APVMA) යන අධිකාරිය යටතේ. මෙම අධිකාරිය නැවත වරක් ප්‍රාන්ත ආණ්ඩුවල අනෙක් අධිකාරි ආයතන සමගත් එකතුව ක්‍රියා කරනවා. එතකොට මොකක් හරි කෘෂි රසායනයක් අනුමත කරවා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ එම රසායනය අදාළ උපදෙස් අනුව භාවිතා කරන විට භෝගයේ ඉලක්ක කෙරෙන දෙයට ඵලදායි හා හානිදායක නොවේ කියා. තව දෙයක් එම උපදෙස් යටතේ පාවිච්චි කරන විට මිනිසුනට, සතුනට, පරිසරයට හෝ ජාත්‍යන්තර හෝ දේශීය වෙළඳාමට හානි නොපමුනවන දෙයක් බවටත් සහතික කරන්න පුළුවන් විය යුතුයි.

එතකොට මේ මධ්‍යම රජයේ ඉහත කියුව ආයතනය තමයි සිල්ලර වෙළඳපොළට එනකම් ඒ කෘෂිරසායනය ගැන බලන්නේ. එතනින් පසු එම කෘෂිරසායනය හරියට භාවිතා වනවාදැයි සොයන්නේ ප්‍රාන්ත ආණ්ඩුවල පරිසර හා කෘෂිකාර්මික අධිකාරියන්. මෙතැනදී තමයි දේශීය තත්වයන් අනුගත කෙරෙන්නේ. සමහර රසායනයන් ප්‍රාදේශීය විශේෂිත හේතු (සතුන්ට, ශාක වලට හෝ පරිසරයට) මත භාවිතාවෙන් ඉවත් කරන්නට හැකියි.

ලංකාවේ උදාහරණයක් ගත්තොත්, අනුරාධපුර පැත්තේ ජලයේ ෆ්ලෝරයිඩ් අඩංගු නිසා, ඒ පැතිවල ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් භාවිතාව ප්‍රශ්න වැඩි කරනවා. එතකොට ලංකාවේ අනෙක් පළාත්වල මිනිසුන්ට ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් විකුණන අතරේ, මේ ප්‍රදේශ වලට ෆ්ලෝරයිඩ් තොර දත් බෙහෙත් පමණක් නිකුත් කරන්න ඕනේ. මේ වගේ දේවල් කෘෂි රසායන වලටත් අදාලයි. වැලි පසකට දමන්න ඕනේ පොහොර ප්‍රමාණය අඩු විය යුතුයි. ඒ වගේම වර්ෂාව අධික ප්‍රදේශ වලට, එම කාල වලට යොදන පොහොර හෝ කෘෂිරසායන වල සීමා කිරීම් පනවන්න පුළුවන්. අනුරාධපුර පැත්තේ ජලය වෙනස් නම්, ඒ අනුව යොදන පොස්පරස් පොහොර වලට, රටේ අනෙක් පළාත්වලට නොමැති තත්ත්ව පාලන සීමා පනවන්න පුළුවන්. මී මැසි පාලනය බහුලව කෙරෙන පෙදෙසක් නම් කෘමිනාශක භාවිතාව අඩු කරන්න නීති ගෙනෙන්න පුළුවන්.

හැබැයි මෙය නොවේ මා දකින හැටියට වඩාත් වැදගත්. එම රසායන අවසාන නිෂ්පාදනයට බලපාන විදිහයි. එනම් හානිදායි නොවන උපරිම ශේෂය ( maximum residue limit ) කොපමණ තියෙන්න පුලුවන්ද? හානිදායි නොවන දෛනිකව ගන්න පුළුවන් ප්‍රමාණය (acceptable daily intake) (එනම්, මේ ප්‍රමාණය දෛනිකවජිවිත කාලය තුලම දෛනිකව ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ). “වස” උනත් කන්න බැරි නැහැ. ඇත්තටම වස වෙන්නේ යම් ප්‍රමාණයකට ඉහල ගිය විට විතරයි. මේවා ගැන පොදු ගයිඩ්ල්යින්ස් හදල තියනවා. (http://www.codexalimentarius.org/standards/list-of-standards/). හැබැයි යලිත් දේශීය පරිසරයට ගලපා ගන්න ඕනේ.

මේවා ගොඩක් වෙලාවට තාක්ෂණික කරුණු. එතැනදී මහා ජනතාවට හෝ ගොවියනට සම්බන්ධ වෙන්න තියන ඉඩ අවමයි. ඒ නිසා වැල් වටාරම් තේරුමක් නැහැ. මා පටන් ගැන්මේදීම ලියුවා වගේ, මොන නීති හා ප්‍රමිතිකරණ තිබුනත් වැඩක් නැහැ. කෘෂිකර්මයේ මෙවැනි භාවිතාවන් වලට වඩාත් බල පාන්නේ, ගොවියන්ගේ අවංකකම හා දැනුවත් බව. මොකද මේවා පිටිපස්සෙන් ඉඳන් පාලනය කිරීම ප්‍රායෝගික නැතුවා පමණක් නොවේ, වියදම්කාරියි.

යුරෝපයේ රටවල කෘෂිරසායන හා පොහොර භාවිතය ගැන ප්‍රමිතිකරණ ගොඩක් තියනවා. ඒ රටවල කලින් මේවා භාවිතයේදී කරපු අපයෝජන වල අත්දැකීම් වලින් තමා මේ නීති රීති හා සිමා කිරීම් ගෙනත් තියෙන්නේ.  උදාහරණ රටක් හැටියට ඩෙන්මාර්කය ගතහොත්, ඩෙන්මාර්ක ගොවියෙකුට තමන්ට අවශ්‍ය විදිහට හෝ අවශ්‍ය ආකාරයට හෝ අවශ්‍ය ඕනේ වෙලාවක ගොවිපොළේ පොහොර (නයිට්‍රිජන් විශ්ෂයෙන්) ගහන්න බැහැ. එක ගොවිපොලකට වසරකට නිකුත් කරන උපරිම පොහොර ප්‍රමාණයක් තියනවා.

ඒ ක්‍රියාවලියේදී, බලාපොරොත්තු වන අස්වැන්න, ගොවිපොළේ නිපදවෙන කාබනික පොහොර හා වර්ෂයේ දින වකවානු ආදිය සැලකිල්ලට ගන්නවා. එය ගණනය කිරීම මට උදාහරණයකින් දක්වන්න පුළුවන් වුවත්, එතරම්ම සාමාන්‍ය පාඨකයෙකුට වැදගත් නැහැ. ඒ වෙනුවට මෙතන අමුණන්න දෙයක් මෙය පළ කරන්න ප්‍රථම මා සොයා ගන්නම්.

ගිය වසරේ (2013), ඩෙන්මාර්ක රජය කෘමිනාශක වලින් අය කරන බද්ද 200% කින් පමණ ඉහල දැමුවා. මේ නීති රීති තද වැඩිය කියලත් ගොවියන් කියනවා. ඒ වෙනුවට නීති අඩු නමුත්, දැනට පවත්වාගෙන යන ආකාරයේම අඩු යෙදවුම් කෘෂිකර්ම රටාව දිගටම පවත්වාගෙන යාමට හැකියි කියා ඔවුන් කියනවා. අමතක කරන්න එපා ඩෙන්මාර්කය කියන්නේ කෘෂිකර්මයේ දැනටත් හොඳ ආර්ථික ප්‍රතිඵල ගන්න රටක්.

හැබැයි එවැනි තත්වයක් ලෝකේ හැම රටකටම ලබා ගන්න එකවරම නොහැකියි. මේ ගොවියන් කියන්නේ, තමන් කරන්න මොකක්ද? පස කියන්නේ මොකක්ද? මේ වසරේ මොනවාද වගා කරන්න හොඳ, කොපමණ පොහොර දාන්න ඕනෙද, ඉලක්ක කරන්න පුළුවන් අස්වැන්න මොකක්ද? යනාදී වශයෙන් සියල්ල ගැනම අවධියෙන් ඉන්න, තාක්ෂණයෙන් ඉහල යන්ත්‍ර භාවිතා කරන පිරිසක්.

ඒ වෙනුවට ලෝකේ කොහේ හිටියත් එකසේ බලපාන දෙයක් ගැන මා ලියන්නම්. එනම් ආර්ථික වශයෙන් ප්‍රශස්ත පොහොර භාවිතාව (economically optimal fertilizer application) නැත්නම්  ප්‍රමාණය කියන්නේ යම් භෝගයක ලබා ගන්න පුළුවන් උපරිම අස්වැන්න ( maximum biological yield ) ලබා ගැනීමට දැමිය යුතු පොහොර ප්‍රමාණය නොවේ. මෙය පොහොර වලට සිමා වන්නේ නැහැ. එය අනෙක් කෘෂි රසායන වලටත් පොදුයි. මොකක්ද මේ කියන්නේ කියන එක මා කුඩාවට පැහැදිලි කරන්නම්.

P2P3

 

ඉහල ප්‍රශ්තාරයේ තියෙන්නේ තිරිඟු (කළු ත්‍රිකෝණ ) හා කැනෝලා (සුදු ත්‍රිකෝණ ) යන භෝග දෙවර්ගයේ අස්වැන්න පසට යොදන පොස්පරස් පොහොර ප්‍රමාණය සමග ඉහල යන විදිහයි (Brennan and Bolland (2004). පොහොර හිටු කියල ගහගෙන ගියාට අස්වැන්න, ඒ ආකාරයෙන්ම හිටු කියල වැඩිවීමක් දකින්න නැහැ. මුලදී නැගල යනවා. එක අවස්තාවක් එනවා මේ නැගීම සමතලා වෙන අවස්තාවක්. එයිට වැඩිය දැම්මට අස්වැන්න එයින් එහාට යාමක් නැහැ. පහලින් තියෙන්නේ ඒ විදිහට පොස්ෆරස් ගහගෙන යනවිට,  පසේ  ශාක වලට ලබාගන්න පුළුවන් ජාතියේ පොස්ෆරස් ප්‍රමාණය වැඩි වන හැටියි, ඒ අනුව සාපේක්ෂ අස්වැන්න (මෙතන සාපේක්ෂ අස්වැන්න යනු, ලැබුන අස්වැන්න, පොහොර නොයොදා ලැබුන අස්වැන්නේ ප්‍රතිශතයක් වශයෙන්). අර කලින් සංගෙදියම තමා.

භෝගයකින් (භෝග ප්‍රබේධයකින්)  රටක යම් ප්‍රදේශයක ලබා ගන්න පුළුවන් උපරිම අස්වැන්නක් තියනවා. හැබැයි එය ලබා ගන්න කියා උපරිම ලෙස පොහොර ගැහුවට වැඩක් නැහැ. මොකද අර ප්‍රශ්තාරයේ ඉහල කොටසේ ඉන්න විට, ඉතා අඩු අස්වනු වැඩිවීමක් සඳහා දමන්න ඕනේ පොහොර ප්‍රමාණය වැඩියි. එතකොට යන වියදම හා වැඩිවන සොච්චම් ආදායම අතර වෙනස බින්දුව වෙන්නත් පුළුවන්. මෙය ඔය “තෙල්” වලටත් පොදුයි. සමහරවිට කෘමි හානිය ඉතා කුඩා නම්, එයට ගහන්න වියදම් කරන තෙල් ටික, අයියෝ සල්ලි.

තව දෙයක් උඩම තියන ප්‍රස්තාරය අපට කියනවා. එනම් විවිධ භෝග වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය එකම වෙන්නේ නැහැ. අර පහල කොටසේදී වැඩි වන කුඩා ෆොස්පරස් ප්‍රමාණයකට, අස්වැන්නෙහි වැඩිවීම විශාලයි. මේ වැඩි වීම එක තැනක් (සමතලා වීම පටන් ගන්න තැන) යන කම් දකින්න පුළුවන්. එය තමා එම භෝගයට එම පරිසර තත්ත්ව වලදී යොදන්න අවශ්‍ය ක්‍රිටිකල් නැත්නම් තීරණාත්මක පොහොර (මෙතැනදී නම් පොස්පරස්) ප්‍රමාණය. මේ ක්‍රිටිකල් නැත්නම් තීරණාත්මක ප්‍රමාණයට වඩා අඩුවෙන් පොහොර යෙදීම, අස්වැන්න ගොඩක් අඩු කරන්න හේතු වෙනවා. වැඩියෙන් දැම්මට වැඩක් නැහැ, ආයිත් අයියෝ සල්ලි!

මේ ප්‍රස්ථාරයේ ඉහල කොටසේ සමතලාවට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. අර උපරිම ජෛව අස්වැන්නට ළඟා වීම හේතුවක්ද? වෙන්න පුළුවන්. නමුත් ඉඩකඩ අඩුයි. මොකද එවැනි අස්වැන්නක් ලබාගැනීමට බලපාන කරුණු ගොඩක් තියනවා; පසේ තියන පෝෂක, හිරු එලිය, පසේ තත්වය, ජලය, වල් පැල හා කෘමීන්, ලෙඩ රෝග යනාදී වශෙයන් ඉතා දීර්ඝ ලැයිස්තුවක්. එතකොට උඩ කොටසේ සීමාකාරී වන දෙය, පොස්ෆරස් නොවන්න පුළුවන්.

මෙහෙම වැඩිපුර දාන පොහොර හෝ තෙල් වලට ඇත්තටම මොකද වෙන්නේ කියන එක තමා වැදගත්ම කරුණ.

(මතු සම්බන්දයි?).

 

 

Advertisements

17 Comments

Filed under Agriculture

17 responses to “කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (4)

  1. Pingback: කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (4) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. // “වස” උනත් කන්න බැරි නැහැ. ඇත්තටම වස වෙන්නේ යම් ප්‍රමාණයකට ඉහල ගිය විට විතරයි.//
    Homeopathy!

  3. මම කලිනුත් මේ අඩවියේදී කිව්වා උතුරු මැද පළාතේ ගොවීන් කියන කරන දේවල් මා දුටු බව. වැලිඔය ප්‍රදේශයේදී මා එක ගෙවත්තක් දුටුවා කෘෂි රසායන වලින් තොර. ඒ ගොවි මහතාගේම එක කුඹුරක් තිබුණා කෘෂි රසායන වලින් තොර.

    කැබිතිගොල්ලෑවෙන් මට කන්න ලැබුණා කෘෂි රසායන වලින් තොර දේශීය පැරණි සහල් වර්ගවල බත්. මා ඔවුන් සමග සාකච්ඡා කළා. තරුණ සේවා සභාවේ නිලධාරියකුත් ඊට එක්වුණා. කාටහරි පුලුවන්නම් නිවැරදිව දැණුම දෙන්නට සහ ගොවීන් සංවිධානය කරන්නට ප්‍රමිතිය ඇතිකිරීම කරන්න පුළුවන්, නමුත් ලොකුම සතුරා කෘෂි රසායන සමාගම්. අපිට සිද්ධවෙනවා ඇමරිකාව ජර්මනිය වගේ රටවල තිබෙන ඉතා බලවත් බහුජාතික සමාගම් සමග සටන් කරන්න.

    රජයේ ප්‍රධාන පෙලේ සහල් පර්යේෂණ ආයතනයක ප්‍රධානියා වශයෙන් සිටි මා දන්නා කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ මසකට රු ලක්ෂ 5 ක විතර වැටුපකට මහා පරිමාණ බහුජාතික කෘෂි රසායන සමාගමක කළමනාකාර තනතුරක් ලබාගත්තා. ඔහුගේ දැණුම එතැන්සිට යෙදවෙන්නේ අපේ වී වගාවට හතුරුකම් කරන්නට නෙවෙයිද?

    • ඔබ ඉතා කණගාටුදායක අයුරින් මගේ කතාව යලිත් පටන් ගත්ත තැනටම ගෙනාවා විචාරක!

  4. ස්තූතියි රයිගම්,

    සෑම කළු මොකක්ද එහෙකම රිදී මොකක්ද එකක් තියනව කිව්ව වගේ මේ සිහින ලෝකයක ජීවත්වන දොස්තර මහත්තයගෙ අතාර්කික ප්‍රකාශයෙන් සිද්ද වෙච්ච එක හොඳක් තමයි කෘෂිකර්මයේ පලිබෝධනාශක, වල්නාශක සහ පොහොර යෙදවුම් පිලිබඳව අපූරු ලිපි පෙලක් කියවන්නට අපට අස්ස්ථාව ලැබීම!!!

    • ඔබටත් ස්තුතියි රවී. මා සාමාන්‍යයෙන් ලියන බලාපොරොත්තුවට වඩා වෙනස් බලාපොරොත්තුවකින් මේ වගේ ලිපි ලියන්නේ. සිහින ලෝක වල ජිවත් වීම අප කාටත් ගුණදායක නැහැ. අප කන්නේ මොනවාද? ඒවා හැදෙන්නේ කොහොමද කියන එකට විතරක් නොවේ, තමන්ගේ ගෙවත්තේ මල් පැලයක් හිටවන විටත් මෙවැනි දේවල් දැන සිටීම වැදගත්. ඒ වගේම මේවායින් 0 .1% ක් තමන් දන්නා කෙනෙකුර ප්‍රේරණය වේ යයි මා විශ්වාස කරනවා. We have to lift the game! ලංකාව අවට (අප වගේම) රටවල් වලට අපට අඩු ගානට කෘෂි නිෂ්පාදන කර අපටත් විකුනන්න පුළුවන්කම තියෙත්දී, අප දැනටත් පාඩුවට කරන දේ, තවත් පල්ලෙහාට ගෙන යන්න සිහින මවනවා.

  5. රයිගම්…..මම මේ ලිපි දෙකම (3,4) එක්වර කියෙව්වේ. 3වැනි ලිපියේ මධුක උපුටා දක්වන ලින්ක් එකට ආදාල ලිපියේ සෙනෙවිරුවන්ගේ අදහස් තුල කියවෙන්නේ සුළු පාරිභෝගිකයින් කොටසක් වෙනුවෙන් පවත්වාගෙන යාහැකි ක්‍රමවේදයක් විය යුතුයි.

    මගේ පාසල් මිතුරෙක් ඉන්නවා නුවර පලාතේ කෘෂිකාර්මික අධ්‍යක්ෂක කෙනෙක්. උඹේ මේ ලිපි පෙළ ඔහුගේ අවධානයට යොමු කරාට කමක් නැද්ද…අදහස් හුවමාරුවක් පිනිස.

    • රටක කෘෂිකර්මය හෝ වෙනත් දෙයක් නගා සිටුවන එක බ්ලොග් එකකින් කරන්න බැහැ මචං. නමුත් අප ගොඩක් දෙනා යතාර්ථවාදී ලොවක නොවේ ජිවත් වෙන්නේ. ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මය ගැන යම් ප්‍රායෝගික අදහසක් සිංහලෙන් ලියා ඇත්තේ, කෘෂිකර්මය පිලිබඳ විශේෂඥයෙක් නොවන, අපගේ වික්ටර් අයිවන් විතරයි. මා ඔහුගේ අදහස් සියල්ලටම එකඟ නැහැ. හැබැයි වික්ටර් අපගේ වී ගොවිතැන පිළිබඳව මතුකරපු අදහස් වඩාත් යතාර්ථවාදියි.

      ඉහල මධ්‍යම පන්තිය වෙනුවෙන්, මහජන මුදල් යොදවා වගා කර, යෙදවුම් මුදලටත් අඩුවෙන් වී මිලදීගෙන ගෙන යන කෘෂිකර්මයකින්, ගොඩ යනු ඇත්තේ ණය නිකුත් කරන චීනය පමණයි.

      මේවා මචං ඔය කෘෂිකර්මයේ නියුතු නිලධාරීන්ට අමුතු කාරනා නොවේ. හැබැයි, ඔවුන්ට එන නිර්දේශ නිකුත් වන්නේ මෝඩ දොස්තරලාගෙන් වෙන්න පුළුවන්.
      මෙහි ලියවෙන ඕනෙම දෙයක් අවධානයට යොමු කිරීම්, උපුටා ගැනීම්, නැවත පළ කිරීම් ගැන අහන්නත් ඕනේ නැහැ මචං.

  6. මං මෙතන අද මට සිදු වුන සුලු සිදුවීමක් කියන්නම්. කැන්ටිමේ කන්න ගියාම මම වාඩිවුනේ රියදුරු මහත්මයකු කෑම ගනිමින් හිටිය මේසෙ. මිනිහ කෝච්චි වල යනවා කියල දන්න නිසා මම ඇහුවා..? අයියෙ අදත් කෝච්චියක් හැප්පිල ලු නේ කියලා. පොර දීපු පිළිතුර තමයි.. ඔවු මල්ලි ආන්ඩුවෙන් කෝච්චි ගෙන්නනවා. ඒ වගේම ඒ ගේන කෝච්චි මාර වේගෙන් යනවා. ඒත් කෝච්චි වැඩිවන තරමට කෝච්චි පාරවල් වැඩිවෙන්නෙ නැහැ. ඒ නිසා කෝච්චි හැප්පෙනව වැඩියි වගේ..

    දුම්රිය අනතුරුවලට හේතුව ලෙස ඔහු දකින අරුම පුදුම කතාන්දරය සැබැවින්ම මා පුදුමයට පත් කලා. ඔහුගේ අදහස් ගොන්න අතර සිග්නල් කරුවන් ගැන අදහසක් නැහැ. ඔහු මහපාරේ වාහන වැඩිවුනාම වේගය වැඩිවුනාම අනතුරු වන ආකාරයම දුම්රිය වලට ආදේශ කරනවා. මේක පටි රෝලක් නෙමෙයි ඇත්තම ඇත්ත කතාවක්.

    ඔබ කියලා තිබෙනවා කෘෂිකාර්මික රටවල ගොවීන් විවිධ දේ ගැන අධ්‍යනය කරලා පස, බෝගය, හානිය, පලිබෝධකයා ගැන බලලා අවබෝධයෙන් කෘෂි රසායන වගාවට යොදනවා කියලා. එතනදි මට හිතුන දෙයක් තමයි අනිව ඩෙෆා ඒ රටවල නිදහස් අධයාපනය නැතිව ඇති කියන එක. මොකද අද අපේ රටේ අද මේ කතාකරන මොහොතෙ ගොවිතැන් කරත අති බහුතරය නිදහස් අධ්‍යාපනයේ අත පල්ලෙන් වැටුන ගණිතය ෆේල් වුන අය. එහෙම අයට මේවා කියල දෙන එක අමාරුයි. ඒ වගේම සමස්ථ ගොවි ප්‍රජාව තුල තර්කානුකූල බුද්ධිය ඇති අය අඩු නිසා ආදර්ශ ගොවිතැන් පිහිටුවන එක පවා මහත් අසීරු කටයුත්තක්.

    මා සැමවිටම මගේ පියාව උදාහරණයට ගන්නවා. මෙතනදිත් මට පොඩි වැඩකට එයාව ගන්න වෙනවා. ඔහු 1950 දශකයේ පාසැල් ගිය අයෙක්. ඔහුට එකල පාසැලේ වඩු වැඩ, මේසන් වැඩ, කෘෂි වැඩ ආදිය උගන්වල තිබෙනවා. ඔහු එකල අත තරම් සියල්ල නිකං ලැබෙන පසුබිමක ඉගෙන ගත් අයකු නෙමෙයි. ඒ වගේම සැලකිය යුුත ඉංග්‍රීසි දැනුමක්ද ඔහුට තිබෙනවා. ඔහු ගොවිතැනට එන්නෙ සාමාන්‍ය පෙළ එක්වරක් කරලා ගණිතය සමත් වෙලා. ඒ කාලෙ හැටියට වෙනත් රැකියාවක් තෝරගන්න ඕනා තරම් ඉඩකට තියෙද්දි. කෘෂි කර්මාන්තට ආවට පස්සෙත් ඔහු අවස්ථා කීපෙකදිම රජයන් යටතේ ගොවිපල වල පුරුදු පුහුනුවීම් වලට සහභාගි වෙල තිබෙනවා.

    නමුත් අද බැලුවාම පවුල් වල ඉන්න මෙලෝ දෙයක් කරග්නන බැරි අපතම සෙට් එකක් තමයි කෘෂීකර්මය තෝරගන්නෙ. මොකද හොඳ අය ෆිල්ටර් කරලා නිදහස් අධ්‍යාපනයෙන් නගරයට පොම්ප කරලා ඉවරයි. අද ඉන්න ගොවීන් සහ කෘෂිකර්මය ගැන රජයේ වැඩ ඉතාම දුරස්තයි. ගොවීන් පුරුදු කිරීම, ඔවුන්ට දැනුම දීම වෙන්නෙම නැති තරම්. දැනුම දුන්නත් ගන්න ඉන්නේ අමුම අමු මැට්ටො ටිකක්. නිර්මාණශීලිත්වය ගැන කතා කරල වැඩක් නැහැ. ඔවුන්ගේ ආර්ථික සහ අනෙක් කළමනාකරන කටයුතු පට්ටම පදිරියි.

    නිදහස් අධ්‍යාපනය ගේන කොට ඩී ඇස් සේනානායක උන්නැහැ කිව්වලු මේකෙන් පොල් ගෙඩියක් කඩෝගන්න ගහකට නග්ගන්න එකෙක් නැතිවෙනව කියලා. එතුමා ඒක ඉතාම පටු අර්ථයෙන් කිව්වා කියල තමයි කස්ටිය අදටත් හිතන්නෙ. නමුත් මට හිතෙන්නෙ එතනදි එතුම ාකියන්න ඇත්තේ මේ වැඩෙන් ලංකාවේ මඩට බැහැලා ගහට නැගලා පොලව පෙරලලා බුද්ධීයත් එක්ක වැඩකරන පිරිස අඩුවීම වගේ කතාවක්.

    මම සාමාන්‍යෙය්න දිග කමෙන්ට් දාන්නෙ නැහැ. මේ වගේ දිගට දැම්ම කියල කස්ටිය කියවන්නෙත් නැහැ. ඒත් නිකං බ්ලොග් හිනා කතා විස්සකට තිහකට හටින් දාන හික් හික් කමෙන්ට ්වලට වඩා මේවගේ ඒවා වැදගත් කියල හිතුන නිසා දැම්මා.

    • අමිල, මේ වගේ දිග කොමෙන්ට් තියා මගේ බ්ලොගය කියවන්නේ අතක ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන් ගණනක්. ඒ නිසා ගණන් ගන්න එපා. 🙂

      මා කොමෙන්ට් කොහොමත් දාන කෙනෙක් නොවේ. එක දෙකක දාන්නේ සතා මොකාද කියල යන්තමින් දන්නා තැන්වල. ඒවා ගොඩක් වෙලාවට ඔය වගේම දිග කොමෙන්ටු තමා. ඒවත් කිසිවෙකු (එම බ්ලොග් අයිතිකාරයා හැර) කියවනවා කියා මා හිතන්නේ නැහැ. මාත් හික් හික් කොමෙන්ටු නොදානවා විතරක් නොවේ, මගේ බ්ලොග් එකේ කොමෙන්ටු වලට පිළිතුරු ලියන විටත් හික් හික් කියන්නේ නැහැ. ඔබට ස්තුතියි නැවත, එන්න වෙනුවට මා හිතන දේ ලියනවා. මේ නිසා ඉස්සර කොමෙන්ටු දැමුව පිරිසත් මෙහි දැන් කොමෙන්ටු දමන්නේ නැහැ. එය නරක දෙයක් කියා මා සිතන්නේ නැහැ. මොකද තව දුරටත් කියවන්න බැරි දේවල්, දිගින් දිගට කියවීම හොඳක් කරන්නේ නැහැ.

      අප ගොඩක් දෙනා අලුත් දේවල් ඉගෙන ගන්න බයයි. ඒ වගේම අපට වටාපිටාවෙන් උරුම කර දෙන දෙයක් තමා අලුත් දැනුමට, විවුර්ත වීමට ඇති නොහැකියාව. අහඹු දේවල් සිද්ධාන්ත ලෙස අප පෙන්වන්නට උත්සහ කරනවා. ඔබගේ කලින් කොමෙන්ටුවෙන් නැවතත් පටන් ගත්තොත්, එහි ඔබ ඔය “සමහර කට්ටිය කියාවි පොහොර දාල ගොඩක් කාලයක් යනවා ප්‍රතිඵල ගන්න, එත් යූරියා සතියෙන් වැඩ කරනවා” කියා. එහි ඔබ “සමහරුන්” කියන්න ඇත්තේ මා වෙන්නත් පුළුවන් නේ. මොකද මා මේ සටහන් සියල්ලට උදාහරණයකට ගත්තේ පොස්ෆරස් පොහොර. ඒ එක්තරා හේතුවකට. මේ සටහන් පෙළ ලියන්න ගත්තේ පොස්ෆරස් පොහොර නිසා ඇතිවෙනවා යයි කියන ප්‍රශ්නයක් සම්බන්ධයෙනුයි. යූරියා උරා ගැනීම ඇරඹෙන්නේ ගසපු මොහොතේ සිට. ඒ කියල ඔබ කැට පොහොරත් (P) බන්ඩි ගොයම උඩින් ඉහිනවාට වඩා හොඳයි, කාක්කන්ට ආප්ප අරන් දෙන එක. 

      මේවා ගැන ලියන්න පුළුවන්. මේ ලියපු ඒවයෙත් තියෙන්නේ අන්න ඒ දේ ගැන. එනම් රසායන වල වැරැද්ද නොවේ, ඒවායේ භාවිතාවේ වැරැද්ද කියන එක. අප කාපට් කරපු පාරවල් හදා ගත්තට ඒවායේ ඩ්‍රයිවින් කරන්න දන්නේ නැහැ. එලවන උපදෙස් පාර දෙපැත්තෙත් තියනවා. එත් හෝන් ගහගෙන එක තැනමයි. මා ලඟදි සහභාගී වුන පුහුණු වැඩසටහනකදී, ඔබ හොඳ රියදුරෙක් කියා සිතනවද, ඔව් නම් ඒ ඇයි? කියා ලියන්න තිබුනා. මා ලියුවේ මා හොඳ රියදුරෙක් කියා හිතනවා, මොකද මා ඩ්‍රයිවින් ඉගෙන ගත්ත රටේ දැන් මට එලවන්න හොඳටම අමාරුයි කියල. 

      අමිල, මේ යුරෝපා රටවල් වල පාසල් අධ්‍යාපන අප වගේම නොමිලේ. සමාජ සංරක්ෂණ පද්ධති ලෝකයේ අද තියන ඉහලම ඒවා. මට ලංකාවේ ඉහල රාජ්‍ය නිලධාරියෙක් කියුව මේ කතාව ඔබට ලියන්නම්. මේ නිලධාරියත් සහභාගී වුන ක්ෂේත්‍ර චාරිකාවකදී (ඔහු උපාධියක් කරන විට යුරෝපා රටක), එක ගොවියෙක් මේ වගේ තෙල් හෝ පොහොර ගහන එකක් ගැන කියල මොකක් හරි නීතියක් ගැන කියුවලු. “අපට එහෙම කරන්න බැහැ, මොකද නීතිය මේකයි” කියල. අර කාණ්ඩයේ වැඩිපුර හිටියේ දියුණු වෙමින් පවතින රටවලින් ආපු කට්ටියගෙන්, ඔවුන් අහල තියනවා, “කවුද ඕක බලන්නේ, ඇයි “මෙහෙම” කරන්න පුළුවන්නේ?” කියල. එතකොට අර ගොවියා ආයිත් “කොහොමද එහෙම කරන්නේ, මේ නීතිය මෙහෙමනේ?” කියල. මේ යක්කු ආයිත් කියනවාලු, “ඇයි කවුරුවත් හොයන්න එන්නේ නැත්නම්, “මෙහෙම” කරන්න පුළුවන්නේ” කියල. මේ පොඩි කතාව ගොඩක් දේවල් කියනවා. අප මහ රෑ ගෙදර එනකොට රතු ලයිට් එකට නවත්වනවා. පාරේ බල්ලෙක් වත් නැහැ. ඇයි එහෙම කරන්නේ කියල ඔබ අහන්න පුළුවන්. මේක අමිල අනිව ඩෙෆා, නිදහස් අධ්‍යාපනයට විතරක් පටවා අත පිහ දා ගන්න පුළුවන් දෙයක් නොවේ. ඔබ දන්නවද මා මේ වගේ සටහන් කිහිපයක් හැරුණු කොට, ලියන්නේ මට හා වෙනත් එක පුද්ගලයෙකුට යමක් හිතන්න පුළුවන් දේවල්. මේ සටහන් පෙළ නිම කරන්න හිතුනේ ඒ නිසාමයි.

      • දිග කමෙන්ටු දාපු දෙන්නටම ස්තුතියි. රයිගම් කියන චින්තන වෙනස සෑහෙන්න වටිනව. මම දකින විදියට ඔය චින්තන වෙනස නිකං ඇතිවූවක් නෙවේ. මුලින් නීතියක්ව තිබිල නීතිය රීතියක් වෙලා රීතිය පුරුද්දක් බවට පත්වීම. දියුණු යයි කියන හෑම රටකම තත්වය ඕකයි. මුලින් ආයාසයෙන් ඇති කරගත යුතු උනත් පස්සෙ ලේසියි.

        • හරි රාජ්, ලංකාවේ පාරවල් වල තියන අවුල හොඳම උදාහරණයක්. මං තීරු වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ වගේම තෝරා ගත් පිරිසක් කෙහෙල් පඳුරු වල හංගා තියන ආයුධ සොයන්න එක්කර ගෙන යාමෙන් රටක නීතිය හෝ යහපාලනය ඇතිවන්නේ නැහැ.

  7. රයිගම්..ඇත්තටම අපේ රටේ කෘෂිකර්මාන්තයට වැදිලා තියෙන දසාව දැහින්ම දැකගන්ට වගේම අහගන්ටත් ලැබුනා මොකද මේ දව්ස්වල agriculture value chain ගැන research කරන නිසා. යාපනේ මුලතිව් සහ මන්නාරම ඇරෙන්ට අනික් හැම දිහාවකට ගියා. ගොවියෝ වගේම කෘෂිකර්මාන්තයේ සම්බන්ධ වගකිවයුතු අයත් එක්ක කතාකරන්ට ලැබුනා. ඔය හැම තැනින්ම ආව message එක තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය තව කොයි කාලයක් අල්ලල හිටිවිද කියන එක. .

    • කැන්ඩියන් මා කලින් සටහනේ ලියපු දෙයක් නැවත උපුටා දක්වන්නම්. //මෙතැනදී කෘෂිනිෂ්පාදන වෙලඳපොලේ තියන දේශපාලන මාෆියාව මා අමතක කරලයි ලියන්නේ. සියලු ප්‍රශ්න වලට කලින්, රටේ නිතිය හා යහපාලන කතාවට ආවොත් මෙවැනි දේවල් කතා කරන එකත් නිෂ්ඵලයි. නමුත් කවදා හෝ අපට අනෙක් රටවල කෘෂිකර්මයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න අවස්තාවක් ලැබේවි කියා උපකල්පනය කරමු//.

      දේශපාලන ප්‍රශ්න කියන ඒවා මේ බ්ලොග් වලින් විසඳන්න බැරිය කියා ඔබ දන්නවනේ. නමුත් අපට කරන්න පුළුවන් දේවල් තියනවා. එක්තරා කාලයකදී අධ්‍යාපනය කඩාකප්පල් කර විප්ලවයක් කරන්න හැදුවා. මෙයම වෙනත් රටවලුත් උත්සහ කෙරුවා. ඒ වෙනුවට අධ්‍යාපනය වැඩියෙන් ලබා ගැනීමෙන් තමා විප්ලව කරන්න හැකි වන්නේ කියා මා විස්වාස කරනවා. මා ලියන්නෙත් පොතෙන් පතින් ලබා ගත්තු දැනුම විතරක් නොවේ. මේ සටහන් පෙලටත් එය අදාලයි. මේ ලිපි පෙලෙනුත් මාත් යමක් ඉගෙන ගත්තා. ඒ මොකක්ද කියා ප්‍රතිචාර දෙස හොඳින් බැලුවොත් ඔබටත් දැන ගන්නට ලැබේවි. අන්න එය තමා මා බලාපොරොත්තු වන දේ. දැන් මා ලියන දින සටහන් පබ්ලිෂ් කරන්නෙම නැති ගානයි. නමුත් ලෝකේ කොහේ ගියත් මට ඒවා කියවන්න පුළුවන් වීමත් ලොකු දෙයක්.

  8. රයිගම්ගෙ ලිපිය දැක්කම මට හිතුන දෙයක් තමයි “රජයක්” කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියන එක අපේ රජය හඳුනාගෙන නෑ කියන එක. උදාහරණයක් විදියට කෘෂි රසායන ගැන ප්‍රතිපත්තිමය තීන්දු පරීක්ෂාවන් වලට අඩු අවධානයක් යොදනව. ලෙහෙසි තීරණයක් වන කුඹුරු වලට පොහොර බෙදන්නයි වී මිලදී ගන්නයි යාන්ත්‍රණ හදන්න මහන්සි වෙනව. බලන්න විහිළුවේ තරම. 🙂

    • ඔය දෙකෙහිම අරමුණ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන එක නොවේ. මිනිසුන් දාස භාවයේ තබා ගැනීම. මහජන මුදල් යොදා ග්‍රාමීය ආර්ථිකයේ කළ හැකි සැබෑ වෙනස්කම් සඳහා යොමු නොවන්නේ ඒ නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s