Катынский расстрел (කැතින්ස්කියි රස්ත්‍රෙල්)* ! (2)


ඔබට මතකද මේ පුවත? දෙදහස් දහය වසරේ අප්‍රේල් 10 පෝලන්ත ජනාධිපති හා ඔහුගේ බිරිඳ ඇතුළුව පෝලන්ත රජයේ ඉහල ඇවරියේ බලධාරීන් හා නිලධාරින් ඇතුළුව 96 ක් දෙනා ගමන් ගත් ගුවන් යානය, රුසියාවේ කුඩා නගරයක් වන ස්මොලෙන්ස්ක් වලදී කඩා වැටී එහි ගමන් ගනිමින් සිටිය සියලු දෙනා මිය ගියා. මොවුන් ගමන් ගනිමින් සිටියේ, ස්මොලෙන්ස්ක් වලට කිලෝමීටර 19 ක් පමණ බටහිරට වන්නට තියන කැතින් කියන ප්‍රදේශයට.

එම අනතුරින් මිය ගිය අය අතර කලින් කියුව පරිදි එවකට පෝලන්ත ජනාධිපති ලෙච් කසුන්ස්කි, ඔහුගේ බිරිඳ, හිටපු පෝලන්ත ජනාධිපති රිසාර්ඩ් කසරෝව්ස්කි, පෝලන්ත හමුදාපති, මහ බැංකුවේ සභාපති, නියෝජ්‍ය විදේශ ඇමති, පෝලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 18 ක්, ජේෂ්ට හමුදා නිලධාරීන්, ආගමික නායකයන් සිටියා (දැන් නරක සිතිවිලි වලට යන්න එපා). එම පිරිස අතර එයිට අමතරව එයට වසර 70 කට එපිටදී සිදුවුන අපරාධයකට ලක්වුන පිරිසකගේ ඥාතින්ද සිටියා. මෙන්න ඒ කතාව.

දෙවන ලෝක යුද්ධය ආරම්භයේ, එනම් 1939 වසරේදී නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කෙරුවා. එංගලන්තය හා ප්‍රංශය සමග පෝලන්තය යුද ගිවිසුම් ගහල තිබුනත්, ඔවුන්ගේ උදවු කතාවට සිමාවුනා. මේ කවුරුත් බලාගෙන හිටියේ නාසි ජර්මනිය ලවා, ස්ටාලින්ගේ සෝවියට් සංගමයට බැටේ දෙන්න කියා හිතන්න පුළුවන්.

මේ අතරතුරේ සෝවියට් සංගමය, ජර්මනිය සමග ගිවිසුමක් ගහ ගත්තා එකිනෙකා ආක්‍රමණය නොකරන වගට. ඒ ගිවිසුමේ එක කොන්දේසියක් තමා අවට රටවල් වල කෑලි බෙදා ගන්න එක. ඕකේ කෑල්ලක් හැටියට සෝවියට් සංගම් රතු හමුදාවත් එක පැත්තකින් පෝලන්තයට ඇතුළු වුනා.

කොහොම වුනත්, රතු හමුදාවත් සමග ෆයිට් කරන්න කියල නියෝග, පෝලන්ත හමුදාවට දීලා නොතිබුන නිසා, වැඩේ ලෙහෙසි වුනා. මේ ආක්‍රමණයේදී පෝලන්ත හමුදාවේ හා ජනතාවගේ විශාල පිරිසක් සෝවියට් අත්අඩංගුවට පත් වුනා.

මෙහෙම අත්අඩංගුවට පත් සමහර දෙනා, බටහිර පැත්තෙන් පෝලන්තයට ඇතුළුවුන ජර්මනිය සමග හුවමාරු කර ගත්තා. ඉතිරි පිරිසෙන් කොටසක් රතු හමුදාව විසින් සෝවියට් පොලොසියට, එනම් එන්කවද (НКВД- අභ්‍යන්තර කටයුතු පිලිබඳ මහජන දෙපාර්තමේන්තුව) ට බාර දුන්නා. මෙසේ එන්කවද එකට බාර දුන්න පෝලන්ත යුද සිරකරුවන්ගේ ප්‍රමාණය 40, 000 ක් විතර යයි කියවෙනවා. මොවුන් සෝවියට් රුසියාවේ විවිධ ප්‍රදේශ වල සිර කර තැබුණා

වසර 1941 ජුනි මාසයේ නාසි ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමෙන්, අර කලින් කියුව ගිවිසුම ඉරා දමනවා. නාසි ජර්මනියේ කඩා වැටීමේ ආරම්භයත් මේ ආක්‍රමණය සනිටුහන් කරනවා. බාබරෝස්සා මෙහෙයුම (Operation Barbarossa) යනුවෙන් හඳුන්වන මෙය, ලෝකයේ මෙතෙක් කර තිබෙන විශාලතම යුධ ආක්‍රමණයයි. සෝවියට් සංගමයේ කිලෝමීටර 2900 ක් හරහා ජර්මන් සොල්දාදුවන් මිලියන හතරක් සෝවියට් සංගමයට ඇතුළු වුනා.

ඔහොම යුද්ධය යන අතරේ, පෝලන්තයේ රටින් පිට පිහිටවපු රජය හා ස්ටාලින් 1941 වසරේ ගිවිසුමකට එළඹෙනවා, නාසි පොදු සතුරාට එරෙහිව එකට සටන් කරන්න. එතැනදී පෝලන්ත හමුදාව ප්‍රති සංවිධානය කරන, ව්ල්දිස්ලාව් නම් ජෙනරාල් වරයා, සෝවියට් අත් අඩංගුවේ සිටින හමුදා නිලධාරීන්ව ඉල්ලනවා. ස්ටාලින් කියන්නේ ගොඩක් දෙනා ඒ වනවිට නිදහස් කරලා, නමුත් සමහර දෙනාගේ තොරතුරු නැහැ කියලා.

එක්දහස් නවසිය හතලිස් දෙකේදී සෝවියට් සංගමයට අයත්, ස්මොලෙන්ස්ක් කියා ප්‍රදේශය නාසි හමුදාව යටතට පත් වෙනවා. මෙහිදී තමා ඔවුන් සොයා ගන්නේ, කැතින් වනාන්තරයේ තිබෙන සමූහ මිනි වල. මොනවාත් නැතුව, බොරුවෙන් ජිවත් වන ජෝශප් ගොබෙල්ස්ට මේ සොයා ගැනීම, නිකම් ගෙදරට නිධානයක් ගෙනත් දුන්න වගේ වුනා. සෝවියට් වරුනට එරෙහිව කෙරුණ ප්‍රචාරක කටයතු වලදී, නාසි කාරයන් මේ මිනී යොදා ගත්තා.

මෙතැනදී, තියන ලොකුම ඛේදවාචකය තමා, මහා පරිමාන වදකාගාර පවත්වාගෙන ගිය නාසීන්, තවත් එවැනිම අපරාධයක් තමන්ගේ ප්‍රචාරණය වෙනුවෙන් යොදා ගත්ත එක. එතැනදී තමා මිත්‍ර රටවල් කියපු බටහිර රටවල් වලත් නිරුවත හෙළි වන්නේ.

එක්දහස් නවසිය හතලිස් තුනේදී ස්මොලෙන්ස්ක් ප්‍රදේශය නැවත සෝවියට් හමුදා යටතට පත් වෙනවා.

වසර 2010 නොවැම්බරයේදී රුසියානු පාර්ලිමේන්තුවේ පහල මණ්ඩලය එනම් ඩුමාව සම්මත කරපු පනතකින් කියැවෙන්නේ කාලයක් රහස් ලේඛන වශයෙන් පැවතී තොරතුරු වලට අනුව, කැතින් වනයේ කෙරුන පෝලන්ත යුද සිරකරුවන්ගේ සමූල ඝාතනය ස්ටාලින් ඇතුළු සෝවියට් බලධාරීන්ගේ නියෝග අනුව කෙරුණක් බවයි. වර්තමාන රුසියානු ජනාධිපති පුටින්ට අනුව කැතින් සමුලඝාතනය දේශපාලන අපරාධයක්.

කැතීන් වනාන්තරයේ මරා දැමුණු පෝලන්ත යුද සිරකරුවන් අතර ජනරාල් වරු දෙදෙනෙක්ද, කර්නල් වරුන් 24 ක් ද, ලේෆ්ටිනන්ටලා 79 ක් ද, මේජර් ලා 258 ක් ද, කැප්ටන් ලා 654 ක් සමග තවත් හමුදා හා නාවික නිලධාරින්ද, ඉඩම් හිමියන් 3 දෙනෙක්, කුමාරයෙක්, මහාචාර්ය වරු 20 ක්, දොස්තරලා 300ක්, පයිලට්ලා 200ක්, ලේඛකයන් 100 ක් හා නීතිඥයන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් විශාල පිරිසක්ද සිටියා. පෝලන්ත ජනගහනයෙන් 22% ක් දෙවන ලෝක යුද්ධය බිලි ගත්තා.

පසු වදන
කැතීන් සමුලඝාතනය ගැන සෙවීම් කරපු දැනට නවසීලන්තයේ ජිවත් වන, ඩේවිඩ් පැටර්සන් කියන පහත දේ, මෙවැනි අපරාධ වලට ලෝකේ කොහේ සිදු වුනත් පොදු දෙයක්. එනම් මේවා ලෝකයේ තියන කුහක, දෙපිටකාට්ටු, දේශපාලන යාන්ත්‍රණයන් හා බැඳී තියනවා.

Katyn is an example of the hypocrisy, duplicity and machinations of international politics. A textbook case of the cynical manipulation and destruction of truth, morality and people, aimed at retaining absolute power for a despot. A shameful illustration of the overt and covert support from other nations which colluded in the cover-up for a wide variety of reasons ( David Paterson Mirams:http://katyn.org.au/dead.html).

කැතීන් වනාන්තරයේ සමුලාඝාතනය තමන්ගේ ප්‍රචාරක කටයුතු වලට ජර්මන් නාසිවාදීන් මෙන්ම, සෝවියට් සංගම් නිලධාරින්ද එක සේ යොදා ගත්තා. මෙහි තියන විශේෂ කරුණ තමා, එකම අපරාධය දෙවිදිහකට, මේ දෙගොල්ලොම යොදා ගත්තු එක. ඒ වගේම මේ හා මෙවැනි තවත් අපරාධ වලට අනුකුලත්වය, දායකත්වය හෝ ඇල්මැරුණු ස්වභාවයක් දැක්වීම අනෙක් මහා බලවතුන්ටද පොදුයි. මේ සිද්දියේදී පවා, එක්සත් ජනපද ක්‍රියාකාරිත්වය පිළිබඳව සෙනෙට් විභාගයක් තිබුනා.

බලවතුන් සම්බන්ධ නොවුන රටවල් ඇතුලේ සිදුකල මෙවැනි සමුලඝාතන කිරීම් හා යටපත් කිරීම් වලටත් අර දේශපාලන යාන්ත්‍රණ, එනම් පරම බලය තවදුරටත් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය අංගයක්. ලංකාව ගත්තොත්, අහම්බයකින් මතු වුන මාතලේ සමූහ මිනී වල නම් කරන්න පුලුවන්. ඝාතනය හා ඇටසැකිලි හමුවීම කාල පරාස දෙකකට අයත් වුවත්, ඒවාට සම්බන්ධ පිරිස් ඒ කාල දෙකෙහිදීම, පාලන තන්ත්‍රයේ කොටස් කරුවන් වීම දෛවයේ සරදමක් නොවේද?

ඉහත සිද්දියේදී සත්‍යය එම අපරාධයේ සැබෑ වගඋත්තර කරුවන් ඥාතීන්ට සොයා දෙන්න පෝලන්ත රජය මැදිහත් වුන වග මතක් කරන්න ඕනේ.

මේ සටහන සඳහා කියවන ලද දේවල් වල මගේ මතකය හා විකිපීඩියා පහත පිටුව හා එහි සමහර මුලාශ්‍ර ද, යූ ටියූබ් විඩීයෝ ද උපයෝගී කරගත් බව සලකන්න. මා ලියා ඇත්තේ දල වශයෙන් සිද්ධිය වන අතර, දෙවන ලෝක යුද්ධ සමය ගැන ලියවුන කෘතීන් හා මේ මුලාශ්‍ර සොයා කියවීමෙන්, වඩාත් පරිපුර්ණ වැටහීමක් ලබා ගන්න පුළුවන්. විකිපීඩියා පිටුව පවා, බොහෝ විට දකින්නට නොලැබෙන පරිදි, හොඳ මුලාශ්‍ර ගවේෂණයකින් පසු ලියන ලද්දක්.

http://en.wikipedia.org/wiki/Katyn_massacre

අවසාන වදන ලෙස මේකෙන් මේ සටහන නවත්වන්නම්, එනම් Like much of life and history, one believes what one chooses (http://katyn.org.au/).

*කතින් මූකලානේ වෙඩි තැබුම!

Advertisements

16 Comments

Filed under Politics

16 responses to “Катынский расстрел (කැතින්ස්කියි රස්ත්‍රෙල්)* ! (2)

  1. මට තියෙන ගැටලුව ඇයි උඹ මේකට පුදුම වුනේ කියලා. දේශපාලනය ඔහොම නෙවෙයි කියලා උඹ මොහොතකටවත් හිතුවාවත්ද?

    මට දේශපාලන පෝස්ට් අප්‍රිය වීමටත්, ඊටත් වඩා මම දේශපාලනය ගෑවුනු පෝස්ට් නොලියා ඉඳීමෙත් රහස උඹ දන්නවද?

    ඒ තමයි, ඔය දේශපාලනඥයෙක්ගේ හෝ පක්ෂයක එක හොඳක් මධ්‍යස්ථව කිව්වොත්, අහගෙන ඉන්න අය කෙලින්ම මම ඒ දේශපාලනඥයා හෝ පක්ෂය නියෝජනය කරන බවට පූර්ව නිගමනයකට එලඹීම. අපේ මිනිස්සුන්ට අනුව, හැම පුද්ගලයෙක්ම පාටකට සහ පාටියකට අයිතියි. ඊ ලඟට වෙන්නේ මම බලහත්කාරයෙන්ම අර දේශපාලනඥයා හෝ පක්ෂය කරපු ජරාවැඩ අනුමත කරන්නෙක් බවට අහගෙන ඉන්න අය පිළිගැනීම.

    අන්න ඒකයි මම පුලුවන් තරම් ඈතින් ගමන් කරන්නේ.

    • දේශපාලනයෙන් තොර ජිවිතයක් නැහැ බං. මෙය පුදුමයකින් ලියුවක් නොවේ. මා දන්නා කරුණු වලින් එක “textbook case” එකක් ලියුවා. මේවා මා බොහෝ කාලයකට පෙර කියවපු හා හදාරපු කරුණු. මගේ කලින් සටහනට (People want closure….) අදාළ නිසා ලියුවා.

      දේශපාලන පක්ෂ නොමැතිව අපට ගමනක් නැහැ. පක්ෂයකින් අප බලාපොරොත්තු වන්නේ මොනවාද කියන එක, පක්ෂයක නායකත්වයට සන්නිවේදනය කරන එක සාමාන්‍ය චන්ද දායකයෙකුගේ වගකීමක්. එය කරන්නේ කොහොමද? මේ වගේ බ්ලොග් තියෙන්නේ මොකටද? පෞද්ගලිකව, ඊ මේල්, ලියුම් මගින් ද අපට දැනුම් දෙන්න පුළුවන්. උඹ කියාවි වැඩකට නැහැ කියලා. නැහැ මචං, ක්‍රියාවක් නැතුව, ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වෙන්න එපා.

      එංගලන්තයේදී අනුර කුමාර කනගාටුව හා සමාව ගන්න එක ඉදිරි පියවරක්. දැන් මේක ලංකාවේදී නේ කරන්න තිබුනේ? ඇයි යුඑන්පිය තවම එහෙම නොකර මිනිසුන්ගෙන් චන්දෙ ඉල්ලන්නේ? මිනිසුන් එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය සමාජයට අවශ්‍ය නොවන, දේශපාලකයන් සමාජයෙන් බිහි වන්නේ නැහැ.

  2. ඔබට කතා කළ හැකියි රයිගම්. ඒ මන් ද යත් මේ පැණයට පිළිතුරක් දෙන්න. ඔබ දරන්නේ ලාංකිය පුරවැසි බවද? නැතිනම් ද්විත්ව පුරවැසි බවක් ද?

    • මා ලියන්නේ කුමන අරමුණකින්ද කියා මෙයට පෙර මා දහස් වරක් කියා තිබෙනවා. මේ සටහන් වල තියෙන්නේ, මුළු ලෝකයේ ජිවත්වන මනුෂ්‍යන්ට අදාළ කරුණු, මිසක් ලංකාවේ ජීවත්වන්නට විශේෂිත ඒවා නොවේ. ලංකාවේ දේශපාලකයන්ට ආමන්ත්‍රණය කිරීම මගේ බලාපොරොත්තුවක් නොවේ. මා ලියන්නේ සිංහල කියවිය හැකි ලෝකයේ ඕනෙම තැනක ඉන්නා කෙනෙකුට. මේවායේ තියන සිද්දි හා අත්දැකීම් ලංකාව පාදක වී තිබෙන්නේ, මගේ ජිවිතයේ කොටසක් එහි ගත කරපු නිසාත්, තවම එය සමග සම්බන්ද කම් තියන නිසාත්. ඒ වගේම සෝවියට් සංගමයේ ලබපු අත්දැකීම් හා අධ්‍යාපනයද, ඕස්ට්‍රේලියාවේ අත්දැකීම් හා අධ්‍යාපනයද ඒවායේ එක ලෙස තියනවා. මා රුසියාව සම්බන්ද දෙයක් කියද්දී, වෙන කෙනෙක් අහන්න පුළුවන්, ඇයි ඔබ ඕවා ලියන්නේ රුසියාවේද ඉන්නේ කියල. දැන් ඕස්ට්‍රේලියාව සම්බන්ද දෙයක් ලියද්දි, ඔබ අහන්න පුළුවන්, ලංකාවේ අපට ඕවා මොනාටද කියලා. එහෙම තමයි නලින්, වෙන රටක ජිවත් වුනත් අප ලෝකය දකින හැටි හා එයට ප්‍රතික්‍රියා දක්වන හැටි කලින් ලබපු අධ්‍යාපනය හා අත්දැකීම් සමග බැඳී තියනවා. මා ලියන්නේ එම අර්ථයෙන්.

      ඔබ හෝ මා සමාජය සමග සම්බන්ද වන්නේ අපේ එදිනෙදා ජිවිතයේ කරන කටයුතු වලින් මිසක්, මේ වගේ දිනපොතක ලියන දේවල් වලින් නොවේ. ඔබ වැඩ කරන විදිහ, ඔබ අනෙක් සගයන්ට දක්වන ප්‍රතික්‍රියාව, බස් එකේ යන හැටි, කඩපොළේ හැසිරෙන විදිය, සහකරු හෝ සහකාරිය, දරුවන් සමග ජිවත් වන ආකාරය යනාදී දේවල් වලින් ඔබගේ සමාජ සම්බන්දතාවය පිළිබිඹු වෙනවා. අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජිවත් වනවා නම්, අපේ දේශපාලන කැමැත්ත ක්‍රියාත්මක වන්නේ කොහොමද යන්නෙනුත් එය පිළිබිඹු වෙනවා.

      මා යුනිවර්සල් අර්ථයෙන් ලියුව දෙයකට ප්‍රතිචාරයක් ලෙස ඔබ වැනි පත්‍ර කලාවේදියෙක්, මාගේ පුරවැසි භාවය ප්‍රශ්න කිරීම ඇත්තෙන්ම මා පුදුමයට පත් කෙරුවා. එවැනි ප්‍රශ්න කිරීමකට කලින්, ඔබ පත්තර කාරයෙක් හැටියට ලංකික අනුර කුමාර, ලන්ඩන් වල ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජිවත් වන අයට ලංකාවේ කම්කරු පන්ති ආඥ්යාදායකත්වයක් පිහිටු වන්නේ කොහොමද කියා දේශනා තියන එකත් ප්‍රශ්න කරනවාද? එමෙන්ම මා ලියුවා වගේ ලංකාවේදී නොගන්න සමාවක් එංගලන්තයේ ගන්නේ ඇයි කියා ප්‍රශ්න කරනවාද? ලංකාවේ පත්තර වල හා බ්ලොග් වල තායිලන්තයේ හමුදා කෘමන්ත්‍රණය ගැන ලිවිම ප්‍රශ්න කරනවද?

      මා කලින් ලියා ඇති. මා ආඥ්යාදායකත්ව වලට වචනයකින් හෝ සහය දෙන්නේ නැහැ. එහෙම දේශනා වලට යන්නෙත් නැහැ. අපට ලංකාවෙන් ඇවිත් එහෙම දේශනා කලත් වැඩක් නැහැ. ඔබ කියන්න වගේ අප එම පාලන ක්‍රමයට දායක වන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජිවත් වුන හා තවමත් ජිවත් වන ලංකාවේ ඉපදුන දෙමල ජනයා, පැසිස්ට්වාදී අරගලයකට කුඩා දරුවන් දැක්ක වීමත් මෙවැනිම දෙයක්. ඒ, එයාලගේ දරුවන් බටහිර පාසල් වල ඉගෙන ගනිද්දී. ඔබ හිතනවද ඔවුන් කවදා හෝ ලංකාවට කොයි ක්‍රමය හෝ යටතේ ඒවිය කියලා. මෙය අනෙක් පිරිසටත් අදාලයි.

      යම් රටක පාලන බිහි වන්නේ එම රටේ ඉන්න ජනතාවගේ අවශ්‍යතා අනුවයි. ගිය සතියේ මා ලියුව එවැනි සටහනකට අදාළ වුනේ, අප වැනි සංක්‍රමණිකයන්, තමන් ජිවත් වන රටේ ප්‍රශ්න ගැන නොසිතා, ජිවත් නොවන වෙනත් රටවල් වල ප්‍රශ්න විසඳන්නට උත්සහ ගන්න එකයි.

      මේවා නලින් මා විටින් විට මතක් කර දෙන කරුණු. ඒ වග අමතක කිරීමෙන්, මගේ සටහන් කියවන්න උත්සහ කරනා එකේ තේරුමක් නැහැ. 😦

      • kathandarakaraya

        නලින් ගේ මුල් වැකියෙන් මට වැටහුනේ ඔහු කියන්නේ ඔහුට නිදහසේ කතා කිරීමට බැරි හේතුව ගැන කියායි.

      • kathandarakaraya

        ඔය එංගලන්ත කතාවේ කොටසක් මං ඇහැව්වා. අනුර එතැන දී ම කිව්වා ඔවුන් 1978 දී මැතිවරනයට ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වුනාය කියා. ඔබ කියන නිර්ධන පන්ති ආඥ්යාදායකත්ව සංකල්පයෙන් ඔවුන් අයින් වෙලා වෙන්නැති.

        • නලින් කියන දේ අර්ධව මට තේරෙනවා කකා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. එනම් විරුද්ධවීම, නිකම් ඉඳීම, හා ස්වේච්චාවෙන්ම ඒකාධිපති වාදය වෙනුවෙන් කඩේ යාම. මුල් එක ඒකාධිපති වාදයක් යටතේ මරණීය වෙන්නත් පුළුවන්. එහෙම වේලාවකදී තමන්ගේ සහෝදරයන් වත්, තමන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැයි කියන එක, නලින්ට වඩා හොඳින් මා දන්නවා.

          හැබැයි ඉහතින් කියුව තුන් වෙනි එක තමා වැඩිපුර මිනිසුන් තෝරා ගන්නේ. ඔය මොනවා කියුවත් 60% ක ප්‍රතිශතයක් කියන්නේ පොඩි ගානක් නොවේ. මේ ටෝනි ඇබට් ලා ගන්නේ පොපියුලර් වොට් වලින් 30% වගේ ගානක්.

          ඒ වගේම තව එකක් තමා, ලංකාව සම්බන්ද කර යමක් ලිවීමේදී, මා ලංකාවේ ඉන්න කෙනෙකුට වඩා නිකම් බෝල්ඩ් වෙන්න යන්නේ නැහැ. එවැනි කාඩ් බෝඩ් විරකමකින් ඇති වැඩකුත් නැහැ. මෙයට පෙරත් මා මේ කතාවම ලියා ඇති. ඒ නිසාම, මා එහි දේශපාලනය සම්බන්ද කර යමක් ලිවීමේදී, ටිකක් ඈතින් ගමන් කරන්නේ. දේශපාලකයන් ගැන නොවේ, මගේ විවේචනය. සාමාන්‍ය මිනිසුන් ගැන.

          ලංකාවේ ඉන්න කෙනක්, ඊජිප්තුවේ අල්-සිසි හෝ තායිලන්තයේ ප්‍රයුත් ගැන සිංහලයෙන් ලියුවට, මේ රටවල් වල මිනිසුනට ඔවුනගේ ක්‍රියා ගැන කතා කිරීම පවා මරණියයි. හැබැයි ඔවුන්ව පාලනයට ගෙනාවෙත් ඒ රටවල් වල සිවිල් දේශපාලකයන් හා සාමාන්‍ය ජනතාවමයි.

          මේ සතියේ ටයිම් සඟරාවේ අල් සිසි ගැන මෙහෙම තිබුනා, “…..In another interview, two otherwise compliant Egyptian journalists dared to ask him about his continuing connections to the secretive group of military officers that has dominated Egypt for the past 3 1/2 years. “Leave the military alone”, he growled…….”

          ලංකාවත් මෙයිට වෙනස්ද? නැහැ. සමහරුන් ගැන කතා කරන්න බැහැනේ.

          හැබැයි මිනිසුන්ම තමා එක පවුලක් තමන්ගේ පාලකයන් ලෙස පත් කරගෙන තියෙන්නේ. මෙවැනි පොඩි බ්ලොග් එකක් කතා කලත් නැතත්, මිනිසුන්ගේ කැමැත්ත තියන තාක් කල්, ඊජිප්තුවේ හෝ තායිලන්තයේ පන්නයේ පුර්ණ මිලිටරි පාලනයක් දක්වා යාම නැවතෙන එකක් නැහැ. අප වැනි “විදේශිකයන්” වුවත් අනුර කුමාරලා විවේචනය කල යුත්තේ ඒ සන්දර්භය ඇතුලේ. කළු කෝට් කාරයන් හෝ කුරහන් සාටක පටලවා ගත් ජාතික ඇඳුම් වලින් නම් තියන තත්වයට වඩා වෙනසක් බලාපොරොත්තු වන්න බැහැ. සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යාම තමයි සමාජයක අරමුණ විය යුත්තේ.

          • //ලංකාව සම්බන්ද කර යමක් ලිවීමේදී, මා ලංකාවේ ඉන්න කෙනෙකුට වඩා නිකම් බෝල්ඩ් වෙන්න යන්නේ නැහැ. එවැනි කාඩ් බෝඩ් විරකමකින් ඇති වැඩකුත් නැහැ. ///
            ඒත් ලන්කාවෙ ඉන්න එක්කෙනෙකුට ඇති කලකිරීම, අපේක්ෂාභන්ගත්වය සහ hope/helplessness ඒ වගේ ඔබට දැනෙන්නෙ නැහැ. For us, the mere discussion is depressing.

            • ඉතිං ප්‍රා එකට මා මොනවා කරන්නද? මෙවැනි කලකිරීම් ලෝකයේ ජිවත් වන බොහෝ දෙනාට අඩු වැඩි වශයෙන් තියනවා. ඔය වැරදි කියන බ්ලොග් කාරයන් හා අනිකුත් මිනිසුන්, චන්දය දෙනකොට වෙනස් නේ. අන්න ඒ මිනිසුන් ගැන තමා මා ලියුවේ. මේවා වෙනස් කරන්න හෝ පවත්වාගෙන යන්න, 50 ක් එක සටහන කියවන මගේ බ්ලොගයෙන් තියා, ඔය ලක්ෂ ගණන් බලන රුපවාහිනියකිනුත් බැහැ.

              හැබැයි එක දෙයක් මා විශ්වාස කරනවා. අනුන් ගැන හිත හිත ඉන්නේ නැතුව, අපට ඕනේ කමක් තියනවා නම්, වෙනස්ව හිතන්න, වැඩ කරන්න තනිව පුළුවන්. මෙහෙම අයට ලංකාව වැනි රටවල්, සමහරවිට ජිවත් වෙන්න බැරි රටවල් වෙන්නත් ඉඩ තියනවා. එය ලොකු ප්‍රශ්නයක්. සුළුතරයට අයිති වීම, ලෝකයේ ඕනෙම සමාජයක ලෙහෙසි නැහැ. එය මට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය වන්නක් නොවේ.

              මේ සටහන ලංකාවේ දේශපාලනය ගැන නොවේ. තවමත් හැත්තෑව හා අසූව දශකයේ මුල් භාගයේ පරිවර්තනය කරපු සිංහල පොත් කියවන පිරිස් නොදන්නා, ලෝකයේ හැමතැනම සිදුවන ආකාරයේ කරුණක් ගැනයි මා ලියුවේ. එය අපට වඩාත් තේරුම් ගන්න තමා මා ලංකාවේ සිද්දියකුත් ගෙන හැර දැක්වුයේ.

              මට තෙරුම් ගන්න පුළුවන්, සිංහලයෙන් මා වගේ කෙනක් මේ වගේ දෙයක් ගැන ලියුවහම ඔබලාට එන හැඟීම. හැබැයි ලංකාවට කිසිම සම්බන්දයක් නැති, කෙනක් ඉංගිරිසියෙන් හෝ වෙන භාෂාවකින් යමක් ලියුවොත්, බොහෝ දෙනා එය මේ වගේ විවේචනය කරන්නේ නැහැ. එයත් අප සිතන්න ඕනේ දෙයක් නේද ප්‍රා?

              • ඇත්ත.
                මා ලියා ඇත්තේ ඔබේ ලිපියට විවේචනයක් නොව ලන්කාවේ වෙසෙන අපි සමහරකට ඇති, ඔබට එතරම් නොමෑති, ප්‍රශ්නයක්.
                සින්හලෙන් හෝ ඉන්ග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියෙව්ව්වත්, මොනවත් නොකියවා හිතුවත් මෙහි තත්වය depressing! 😦

                • මා දන්නවා ප්‍රා. කිසි කෙනෙකුන් නොකියවනවා නම්, මෙය ලියන්නෙත් නැහැ. ඉතිං විවේචනය ප්‍රශ්නයක් නොවේ. ඔව් mere discussion is depressing. මේවායින් නම් ලෝකය තියා නිම් වළලු වත් ලොකු කරන්න බැහැ. ඒකට කම්මලකට වත් යන්න ඕනේ.

  3. maheshrathnayaka

    ඒ කියන්නෙ රයිගම් අය්ය කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනව නේ..
    මං අහල තියෙන්නෙ ස්ටාලින් පාලන කාලය තරං දුර්දාන්ත පාලනයක් රුසියාවේ නොවූ බව… ඔහු රතු ඔළගුවට මුවා වෙලා නොයෙක් නොපනත් කම් කරල තියෙනව නෙව..
    මට හිතෙන්නෙ පෝළන්ත රදලත්වය එක්ක තිබ්බරතු තරහ තමා සියගුණයක් වැඩියෙන් පිටවුනේ

    • මේවා ගැන ලියනවාද, නැත්නම් ඔය සම්බෝලයක් හෝ මිරිස් කරලක් ගැන පමණක් ලියනවද කියන එක මා නිතර සිතන දෙයක්. 🙂

      ඕව මහේෂ්, මේ සේරම අයගේ කිල්ලෝට වල හුණු තියනවා. රටවල් හැටියට පමණක් නොවේ, තනි මිනිසුන් හැටියටත් අතීතයේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙනීම, අපගේ ජිවිතයේ තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක්. මා දරුවන්ට පවා නිතර කියා දෙන්නේ, අප කොහොමද පොඩි කාලේ ඉගෙන ගත්තේ, ජිවත් වුනේ කියන එක. අද පවා අප මහා පොහොසතුන් නොවේ. සාමාන්‍ය වැඩ කරන ජනතාව. ඔය රසිකලා කියන්නේ, ඒ ගොල්ලන් පඩි ගෙවා රැක බලා ගන්න අය කියල. හැබැයි මහේෂ් එකක් තියනවා. මගේ ජීවිතය හරි පහසුයි. එයට මා ලද අධ්‍යාපනය ගොඩක් දුරට හේතු වුනා.

      ඔව් මහේෂ්, ස්ටාලින් හා පොලිට් බියුරෝවේ අරමුණ වෙන්න ඇත්තේ පෝලන්තයේ කොඳු නාරටිය කඩා, තමන්ට ගැලපෙන පාලනයක් ස්ථාපිත කර ගන්න. එය සාර්ථක වුනා. අද පවා මෙම සමාජ එම ඝාතන වලින් සමාජයට කරපු හානියෙන් සහමුලින් මිදිලා නැහැ. එදා මේ සමාජ වලින් ඉවත් කෙරුවේ, සමාජයේ හිටපු ක්‍රීම් එක කියන්නත් පුළුවන්.

      • ස්ටාලින් මැරුවෙ පෝලන්ත හමුදාකාරයන් විතරක් නෙමෙයි.
        ස්ටාලින්ගෙ Red Army Purges ලෝක ඉතිහාසයේ පාලකයෙක් විසින් තමන්ගේ ම හමුදා නිලධාරීන් මරා දැමූ වැඩිම ගණන

  4. kathandarakaraya

    මිනිසා ම යි ලොව දෙවියන් වන්නේ
    මිනිසා ම යි ලොව තිරිසන් වන්නේ

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s