තමන්ට පසුව “පාලනය කරගන්න” පුළුවන් යයි සිතා බේද හා ගැටුම් ඇතිකර, එමගින් පාලන බලය තහවුරු කර ගැනීමේ උපක්‍රමය ලෝකයේ අත්හදා බලා ඇති දෙයක්. උදාහරණ වලට වැඩිදුර යන්නට අවශ්‍යත් නැහැ. ලෝකයේ මෙවැනි ගැටුම් ආරම්භ කරන පිරිස් නොසිතන අයුරින් එම අත්හදා බැලීම් කෙළවර වුනා.
අද ළමයින් දහය පහළොව හදපල්ලා කියමින්, කපපල්ලා මරපල්ලා කියමින් ජාතිය බේරා ගන්නට දේශනා කරන්නවුන්, පිටුපස සිටින ඥාන_අසාර පිරිස් බාහිර ලෝකයට නම් බොහෝ දුරට පැහැදිලියි. මස් මාළු නොකන ජිවිත ගත කරනවා යයි පැවසෙන මොවුන්ගේ තියන මානව දයාව, මෙන්ම ඥාන_සාර බවද, රියැනා ඊයේ පෙරේදා ඇන්ද ඇඳුම වගේම තමා. ඇත්තම සෙළුව, මේ සළු වලින් වහගන්න හැදුවත්, එයින් පලක් නැහැ.
ඇෆ්ගනිස්තානය, පකිස්තානය හෝ ඉරාකයේ ජනතාවට යලිත් සාමාන්‍ය ජිවිතයකට යාම සිහිනයක් පමණයි. කුමන හෝ මිලකින් බලයේ ඉන්නට දතකන අයියලාට, ස්වේච්චාවෙන් චන්දය දෙන පිරිස් ඇත්තටම එවැනි රටවල් වලට අත්වි තිබෙන ඛේදජනක ඉරණම ගැන යන්තමින් හෝ වැටහීමක් ඇති කරගන්න උත්සහ කිරීම හරිම වැදගත් දෙයක්.
මා ආගම් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ, ආගම් අදහන බොහෝ දෙනෙකුගේ (බහුතරයකගේ) සාමාන්‍ය ජිවිතයේ තියන පරස්පර භාවයන් නිසාමයි. මේවා රාජ්‍ය පාලනයට ගාව ගැනීම කියන්නේ ගොන් කමෙත් හොඳ එක. හැබැයි මේවා ඇත්තටම රට පාලනයට පටලවන අයට යටි අරමුණක් තියනවා. ඒවාට සම්බන්ධ වන අනෙක් පිරිස් උපතින්ම ඥාන_අසාර කාණ්ඩයි.
පකිස්තානයෙන් සංක්‍රමණය වුන, ඕස්ට්‍රේලියාවේ විධායක නිලයක් දරන කෙනෙක් සමග මා මිට වසර පහළොවකට පමණ පෙර කතා කරන කොට කියුවේ මේ කතාව. ඔහු පකිස්තානයේ ඉන්න කොට ඉහල මැද පන්තියේ අයෙක්. ඒ දිනවලත්, ඔහු කියුවේ මිනිසුන් “නිකම් විනෝදයටත්” ඉලක්ක අල්ලලා ඔහුගේ ගමේ මිනිසුන් මරනවලු. මොකද කප්පම් හා කොන්ත්‍රාත් වලට මරන්න පුරුදු වෙන්න. ඉතින් බන් කොහොමද නිකම් මැරුම් කන්නේ. මා මෙහෙ ආවා කියලා. අප සංක්‍රමණය වන කොට ලංකාවේ යුද්ධයක් තිබුනත්, එය නොවේ මූලිකවම අපේ සංක්‍රමණයට බලපෑවේ.
මේ දිනවල ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින පකිස්තානයේ නිතිඥයවරියක්/කාන්තා ක්‍රියාකාරිනියක්/ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියාකරන්නියක් වන හීනා ජිලානි සමග තිබුන සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක ඒබීසී ගුවන්විදුලියේ “Law Report” කියන වැඩසටහනේ තිබුනා.
ඇය විස්තර කළා ඇමෙරිකාවේ ආශිර්වාදයෙන්, තිබුන ජනප්‍රිය රජයක් පන්නා බලයට ආපු ෂියා උල් හක් සීයා, ඔහුගේ නිත්‍යානුකුල නොවන රජයට, යම් නිත්‍යානුකුල බවක් ගන්න කරපු එක දෙයක්. එනම් නියන්ඩතාල් ආගමික නීති, ක්‍රමයෙන් පවතින නීති ඉවත් කර, එකතු කිරීමයි.
එහෙම එකතු කරපු එක නීතියක් තමා බ්ලැස්පමි කියන එක. මේ නීතිය උපයෝගී කරගෙන වරදකරුවන් කරපු සමහර දේවල් විශ්වාස කරන්න නොහැකියි. හැබැයි උසාවියක් ඉදිරිපිටම, පොලිසිය හා සියගානක් බලා ඉඳිද්දී වෙඩි තියා නොමැරුනු පසුව ගල් ගසා ගැහැනියක් මරණ රටේ එය සමහර විට පුදුමත් නැහැ. මේ නිතිය යටතේ දොස්තරලා, නීතිඥයන් හා සරසවි ආචාර්යවරුන් දං ගෙඩියට දක්කා තියනවා. මේ මොහොතේදී පකිස්තානය තුල බ්ලැස්පමි යටතේ මිනිසුන් 17 ක් මරණිය දණ්ඩනයට නියම වී බන්ධනාගාරයේ ඉන්නවා, තව 19 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිනවා.
උල් හක් සීයා ගෙනාපු එවැනි තව නීතියක් තමා, මිනිමරුමකට වරදකරුවෙකු වුනත්, වින්දිතයා සමාව දෙනවා නම් නිදහස් කිරීම. මේ වින්දිතයා කවුද කියන එක තමා නියම ප්‍රශ්නය. මේ හීනා ගේ තවත් කතාවක්.
එක්තරා කාන්තාවකට දික්කසාදයක් ගන්න ඕනේ වෙලා හීනා ගාවට ආවා. හීනා නිතිඥයවරියක් නේ. ඔන්න දවසක් හීනා හා අර කාන්තාව, ඇයගේ කාර්යාලයේ දික්කසාද නඩුව ගැන කතා කරමින් ඉන්න විට, කුලී මිනිමරුවෙක් සමග ආපු අර කාන්තාවගේ මව, අර කාන්තාව මරා දමන්නේ, හීනා හා ඇයගේ කාර්ය මණ්ඩලය ඉදිරිපිටමයි. හීනා ගේ ආරක්ෂකයන් අර කුලී මිනීමරුවා මරා දමනවා. හැබැයි ඒ වැඩේටට ඔවුන් එක්ක ආපු අර අම්මගේ සහෝදරයෙක් (ඒ කියන්නේ මරා දමපු කාන්තාවගේ මාමා) ව හීනා නඩු කියල මිනීමැරුමට උදවු දීම වෙනුවන් උසාවියේදී වැරදි කාරයා කරනවා. ඔන්න එතකොට අර “මිනීමරු” අම්මා, ඇගේ සැමියා දෙන්නා වරදට සමාව දෙනවා. මේක හීනා පකිස්තානයේ ඉහලම උසාවියට අරන් ගියත් පලක් වුනේ නැතය කියල ඇය කියුවා.
මිනීමැරීම ඔර්ගනයිස් කරපු කෙනාම අන්තිමට නඩුවේ තීන්දුවත් දුන්නා වගේ නේද?
ඒකාධිපතියෙක් විසින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න ආගමික නීති ගෙනාපු රටක් තමා පකිස්තානය. ඒ වගේම, එම සමාජ අපගමනය ආපසු කිසි ලෙසකින් හරවන්න බැරි රටකුත් තමා පකිස්තානය. ඊයේ පෙරේදා තිබුන ඇෆ්ගනිස්තාන ජනපතිවරණයේදී චන්දය දුන්න වැඩිහිටි පිරිසකගේ, තීන්ත ගෑවුන ඇඟිලි තලේබාන්කාරයන් කපලා තිබුනා. මේවා ස්තාපනය කර ගන්න දතකන අයියලා විතරක් නොවේ, ඒවාට හුරේ දමන මධ්‍යම පාන්තිකයන් ද හරියට ස්පර්ශ නොකරන කරුණ තමා, එහෙම සමාජයක ජිවත් වීම ගැන මුලින්ම කෙඳිරි ගානු ඇත්තෙත් ඔවුන්ම කියන එක.
සිවුර දරා ගෙන ඉන්න හින්දා, විත්තිකරුව, විත්ති කූඩුවට නග්ගන්න බැහැයි කියන විනිසුරු අයියලා, පච්ච නිසා සංචාරකයන් පිටුවල් කරන මහේස්ත්‍රාත්ලා, රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට නීතියේ මුක්තිය සලසන රජ පවුල්, අර වින්දිතයන්ගේ සමාව යටතේ වැරදිකරුවන් නිදහස් කිරීම වැනි කරුණු උල්-හක් පාලනයක බීජානු අවධිය වන්නට පුළුවන්. උල්-හක් සීයා නම් නීති වෙනස් කරලා වැඩේ පටන් ගත්තේ.
හැබැයි පකිස්තානයේ සිදුවුණ දෙවල් හා ලංකාවේ සිදුවෙමින් පවතින හා කලින් සිදුවුණ දේවල් අතර ප්‍රධාන වෙනසක් තියනවා. එනම් ලංකාවේ නිදහසෙන් පසු පැවති සියලුම රජයවල් මහජන කැමැත්තෙන් තේරී පත්වුණ ඒවා. ජිල් මාර්ට් ටික ටික නොවුනා කියන්නට නොහැකියි. ඇත්තටම ජිල් මාර්ට් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේත් ටිකක් තියනවා, වෙනස් අයුරකින්. හැබැයි ජනතා කැමැත්තත් එතන තියනවා. අද පවා ලංකාවේ රජයක් චන්දයේදී වෙනස් කිරීමේ හැකියාව එහි ජනතාවට තියනවා කියා මා විශ්වාස කරනවා. හැබැයි ඒ අතිමහත් බහුතරයට ඕනේ නම් විතරයි.
ඒකාධිපතියන් ඉන්න රටවල මිනිසුන්ගේ තේරීම් කරන්නේ තමන් නොවේ. එහෙම එකේ, තමන්ගේ තේරීම් වලින්ම ඒකාධිපතිත්වයක් කරා සමාජය ගෙන යන මිනිසුන්ට මේ කියන කිසිම දෙයක් ගැන හැඟීමක් නැහැ. මොක වුනත් අතිමහත් (ස්වයංක්‍රීයව ටයිප් වුන වචනය තමා ඇති මහත් බහුතරය කියන එක. ඇති මහත් බහුතරය සමාජයේ සුලුතරයයි) බහුතරය කෙසේ වෙතත්, යන්තම් බහුතරයක් කැමති නැති තැනක වෙනස්කම් කළ නොහැකියි. කරන්න පුළුවන්, නමුත් වැඩකට ඇති දෙයක් නොවේ.
ලෝකය ගැන සාමාන්‍ය වැටහීමක් තිබීම ජිවන විලාසිතාවේ එක අංගයක් වෙන්න ඕනේ. එය ඔබ ලෝකයේ කුමන රටකද ජිවත් වන්නේ කියන දෙයින් වෙනස් වන්නේ නැහැ. ඒ වගේම තමන් ජිවත් රට කුමක් වුවත්, අවට මොනවාද වන්නේ කියා අවබෝධයක් තිබීමත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉන්නවා නම් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ කාටද, කොහොමද කියන එකත් ජිවන විලාසිතාවේ තේරීම් වල මුලට ආ යුතු දේවල්.
අර ප්‍රා කලින් ලියල තිබුනා වගේ, මේවා නිකම් බ්ලොග් වලින් හෝ එදිනෙදා කතා කර නිකම් ඉඳීම නිෂ්ඵලයි. ගොඩක් එහෙම කතා කරන පිරිස් අන්තිමට කියන්නේ රජතුමාට වඩා කෙනෙක් නැහැ කියලා. ඒ වගේම විකල්පයක් හොයන මුවාවෙන් මුලින්ම කතා කරන අයියලා නවතින්නේ, එහෙම විකල්පයක් අවශ්‍ය නැතිය කියමින්. පොදු අපේක්ෂකයෙක් ගැන මුලින්ම හඬ තලන කට්ටිය මහා ගෝශාවක් කර, එහෙම කෙනෙක් මොකටද කියමින් කතාව අවසන් කරනවා.
හැබැයි එක දෙයක් තියනවා. එනම්, අර කවුද කියන්නා වගේ අප දේශපාලනය සොයා යනවා නොවේ, දේශපාලනය අපව සොයා එනවා. ක්‍රියාකාරී දේශපාලනයෙහි නොයෙදෙන සාමාන්‍ය මිනිසුන් වන අප කල යුත්තේ මොකක්ද?
To be continued……
අලෙක්සාන්දර් මලිනින් ගයන මේ ගීතය ආදරය ගැන කියන්නක්. එහි අරුත අවශ්‍ය නම් මෙතැනට යන්න.
…….А у меня есть только ты/මට ඉන්නේ ඔබ විතරයි!………